අඛණ්ඩතාව පවත්වාගෙන ජීවත්වන්න!
“දෙවියන්වහන්සේ අත්හැරදමා මැරෙව!” අපගේ සඟරාවේ පිට කවරයේ චිත්රයෙන් දැක්වෙන්නේ, එම වදන්වලින් යෝබ්ට දොස් නැගූ ඔහුගේ භාර්යාවයි. එය සිදුවූයේ දැනට අවුරුදු 3,600කට පමණ පෙරදීය. එහෙත් දෙවියන්වහන්සේගේ එම විශ්වාසවන්ත සේවකයා කෙරෙහි යොමු කරන ලද එම වාචික ප්‍රහාරය ගෙනහැර දක්වන්නේ, මෙදින දක්වා මිනිස්වර්ගයාට මුහුණ දීමට සිදුවී තිබෙන ප්රශ්නයකි. විශ්වාසවන්ත යෝබ් ඒ වන විට—ඔහුගේ සත්ත්වයන්, ඔහුගේ නිවස, ඔහුගේ දරුවන් දසදෙනා යනාදි—බොහෝ දේවල් අහිමි වීමෙන් පහර ලැබ සිටියේය. මේ අවස්ථාව වන විට සුව කිරීමට අපහසු රෝගයකින් ඔහුගේ ශරීරයට මහත් වේදනා පැමිණවීමෙන්, ඔහුට දරාගත හැකි උපරිම සීමාව දක්වා ඔහු පරීක්ෂාවට ලක් වෙමින් සිටියේය. ඊට හේතුව? දෙවියන්වහන්සේගේ හා මිනිසාගේ පරම සතුරා වන, සාතන් නම් යක්ෂයා, දැඩි පරීක්ෂාව යටතේ මිනිසාට දෙවියන්වහන්සේ කෙරෙහි අඛණ්ඩතාව පැවතිය නොහැකි බවට කළ අභියෝගයක් තහවුරු කිරීමට ඒ ඔස්සේ ක්‍රියා කරමින් සිටීමය.—යෝබ් 1:11, 12; 2:4, 5, 9, 10.
යෝබ්ගේ දවසේ මෙන්, අදදිනත්, ‘මුළු ලෝකය නපුරා’ වන සාතන් නම් යක්ෂයාගේ බලය තුළ පවතී. (1 යොහන් 5:19) ඇත්තවශයෙන්ම, අදදින එය ඊටත් වඩා සැබෑවක්ව පවතී, මන්දයත් “මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයා” නමැති “සාතන්” මේ වන විට, ස්වර්ගයෙන් පොළොවට හෙළාදමා තිබෙන බැවිනි. (එළිදරව් 12:9) අපගේ කාලයේ මිනිස්වර්ගයාට දුක් හිරිහැර පමුණුවන්නාවූ දැඩි විපත් සඳහා මෙය හේතු වේ. වර්ෂ 1914න් පටන්ගත්, පළමුවන ලෝක යුද්ධය, සලකුණු කළේ, 20වන ශතවර්ෂය අවසානය දක්වා පැවත ඇති “ගාවිනාවල පටන්ගැන්ම[ය].”—මතෙව් 24:7, 8.
මෙම කෲර, පහත වැටුණු ලෝකය තුළ, මිනිසුන්ගේ විඳදරාගැනීමේ සීමාවට ඔබ පැමිණ ඇති බව ඔබට යම් විටෙක හැඟෙන්නේද? ‘ජීවිතයට යම් අරමුණක් තිබේද’ යන්න ගැන ඔබ කවදා නමුත් කල්පනා කරමින් සිටියෙහිද? යෝබ්ට එයාකාරව හැඟුණා විය හැක, මෙහිදී ඔහු අතින් වැරදි සිදුවුවත්, දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ ඇදහිල්ල ඔහු කවදාවත් අත්හැරියේ නැත. ඔහු සිය අධිෂ්ඨානය ප්‍රකාශ කළේ, “මා නසින තුරුම මාගේ අවංකකම [අඛණ්ඩතාව, NW] පහ නොකරන්නෙමි” යන වදන්වලිනි. දෙවියන්වහන්සේ ‘ඔහුගේ අඛණ්ඩතාව දැනගනු ඇති’ බවට නිසැකකමක් ඔහු තුළ තිබුණි.—යෝබ් 27:5; 31:6.
දෙවියන්වහන්සේගේම පුත්‍රයා වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේටත් මිහිපිට පරීක්ෂා විඳදරාගැනීමට සිදුවිය. සාතන් යේසුස්වහන්සේට නානාප්‍රකාර අන්දමින් පහර දුන්නේය. පරීක්ෂාව සිදුවූ කන්දේදී මෙන්, යේසුස්වහන්සේට ඒ අවස්ථාවේදී තිබූ ශාරීරික අවශ්‍යතා වාසියටගනිමින්, දේව වචනය කෙරෙහි උන්වහන්සේ රඳා පැවති අන්දම ඔහු පරීක්ෂාවට ලක් කළේය. (මතෙව් 4:1-11) ඔහු යේසුස්වහන්සේට හිරිහැර කළේ, ඇදහිල්ල අත්හළ ලියන්නන් හා ඵරිසිවරුන් මෙන්ම ඔවුන්ගේ ඉත්තන් උන්වහන්සේව පීඩා කිරීමට තමා දේව අපහාස කළ බව චෝදනා කිරීමට හා උන්වහන්සේව මරණයට පත් කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමට සැලැස්වීමෙන්ය. (ලූක් 5:21; යොහන් 5:16-18; 10:36-39; 11:57) ඔවුන් යේසුස්වහන්සේට කළ දෙය බොරුකාර සනසන්නන් තිදෙනා යෝබ්ට කළ දෙයට වඩා අතිශයින් දරුණු විය.—යෝබ් 16:2; 19:1, 2.
ගෙත්සෙමනේ උයනෙහි, යේසුස්වහන්සේ මෙම පරීක්ෂා කිරීමේ උච්චාවස්ථාවට ළඟා වූවාත් සමඟම, උන්වහන්සේ සිය ගෝලයන්ට පැවසුවේ, “මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය” යනුවෙනි. අනතුරුව “උන්වහන්සේ . . . මුහුණින් වැටී: අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමතිලෙස නොව ඔබ කැමතිලෙස වේවයි කියා යාච්ඤාකළසේක.” අන්තිමේදී, ගීතාවලිය 22:1හි අනාවැකිමය වදන් ඉටු කරමින්, වදකණුව මත සිටියදී, යේසුස්වහන්සේ “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද” කියා මොරගැසූසේක. එහෙත් අවසානයේදී දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව අත්හැරියේ නැත, මන්දයත් යේසුස්වහන්සේ අනුගමනය කිරීම සඳහා සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාට ආකෘතියක් සපයමින්, දෙවියන්වහන්සේ කෙරෙහි පරිපූර්ණ අඛණ්ඩතාවක් පැවැත්වූ නිසාය. යේසුස්වහන්සේව නැවත නැගිටුවීමෙන්ද, උන්වහන්සේව ඉහළම ස්වර්ගයන් වෙතට උසස් කිරීමෙන්ද යෙහෝවඃවහන්සේ උන්වහන්සේගේ අඛණ්ඩතාවට විපාක දුන්සේක. (මතෙව් 26:38, 39; 27:46; ක්‍රියා 2:32-36; 5:30; 1 පේතෘස් 2:21) දෙවියන්වහන්සේ සමානාකාරයෙන් තමන් කෙරෙහි අඛණ්ඩතාව පවත්වන සියල්ලන්ට විපාක දෙනවා ඇත.
යේසුස්වහන්සේගේ අඛණ්ඩතාව සාතන්ගේ අභියෝගයට පූර්ණ පිළිතුරක් ලබා දුන්නා පමණක් නොව, උන්වහන්සේගේ පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයේ පූජාව මගින් අඛණ්ඩතාව පවත්වන මනුෂ්‍යයන් සදාකාල ජීවනය අත්කරගන්නා පදනම වන, මිදීමේ මිලයද සපයන ලදි. (මතෙව් 20:28) පළමුවෙන්ම, යේසුස්වහන්සේ තමන් සමඟ ස්වර්ගික රාජ්‍යයේ හවුල් උරුමක්කාරයන් වන්නාවූ ආලේප ලත් “කුඩා රැළ[ක්]” එකතු කරනසේක. (ලූක් 12:32) මින්පසු, “මහත් පීඩා[වෙන්]” බේරී ජීවත් වීමට “මහත් සමූහයක්” එක්රැස් කරනු ලැබේ, මොවුන් ඒ මැදින් පැමිණ දේව රාජ්‍යයේ පාලනය යටතේ පොළොව මත සදාකාල ජීවනය උරුම කරගන්නවා ඇත.—එළිදරව් 7:9, 14-17.
සාමකාමී වූ එම “අලුත් පොළොව[ට]” අයත් වන ජන සමාජයේ කොටසක් වීමට නැවත නැගිටුවීමට යන බිලියන සංඛ්‍යාත මළවුන් අතර අඛණ්ඩතාව පැවැත්වූ යෝබ්ද සිටිනවා ඇත. (2 පේතෘස් 3:13; යොහන් 5:28, 29) අපගේ සඟරාවේ පසු කවරයේ චිත්රයෙන් විස්තර කර ඇති ආකාරයට, යෝබ්ගේ කාලයේදී අඛණ්ඩතාව සඳහා විපාකයක් තිබුණි, මන්දයත් එවිට යෙහෝවඃවහන්සේ “යෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශීර්වාද කළ” බැවිනි. ඔහු “වචනින් පව්කළේ නැ[ති]” කෙනෙකු හැටියට ආත්මික ශක්තිය ලබා තිබුණි. දෙවියන්වහන්සේ ඔහුගේ ජීවිතය අමතර අවුරුදු 140කින් දීර්ඝ කළසේක. ද්‍රව්‍යමය වශයෙන්, උන්වහන්සේ යෝබ්ට කලින් තිබුණු සියල්ල මෙන් දෙගුණයක් ලබා දුන් අතර, ඉන්පසු ඔහුට “පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද” ලැබුණි. මුළු දේශය පුරා වඩාත්ම රුව ඇති ස්ත්‍රීන් මොවුන් බවට සලකන ලදි. (යෝබ් 2:10; 42:12-17) එහෙත් මේ මහත් සමෘද්ධිය වනාහි අඛණ්ඩතාව පවත්වන්නන් “අලුත් පොළොව” මත පාරාදීසයේ ප්‍රීතියෙන් භුක්ති විඳින්ට යන ආශීර්වාදයන්හි කලින් රස විඳීමක් පමණක් විය. මීළඟ පිටුවල පැහැදිලි කරනු ඇති ආකාරයට ඔබටත් එම ප්‍රීතියට හවුල් විය හැක!
[4වන පිටුවේ පින්තූරය]
අඛණ්ඩතාව පවත්වන්නෙකු හැටියට යේසුස්වහන්සේ පරිපූර්ණ ආදර්ශය තැබූසේක