යෙසායාගේ අනාවැකිය අධ්‍යයනය කරන්න සූදානම් වෙමු!
1 “යෙහෝවා යුක්තිය ඉෂ්ට වෙන්ට අවශ්‍ය කරන කාලයට වඩා එක දවසක්වත් සාතන්ගේ ලෝකයට පවතින්ට ඉඩ දෙන්නේ නැති බව ඇදහිලිවන්ත නමස්කාරයන්ට නිසැක විය හැකියි.” ඇත්තෙන්ම, එය මොනතරම් දිරිගන්වනසුලු ප්‍රකාශයක්ද! එය උපුටා ගෙන ඇත්තේ කොහෙන්ද? යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I නමැති පොතෙනුයි. අපව දිරිමත් කරවන එවන් නිගමනයකට එලඹීම සඳහා යෙසායාගේ අනාවැකිය අපට හොඳ හේතු සපයනවාද? ඔව්! බයිබලයේ අඩංගු යෙසායාගේ පොතෙහි ගැළවීම නමැති තේමාව පැහැදිලිව අවධාරණය කර තිබෙනවා. (යෙසා. 25:9) මේ නිසා බයිබලයේ අඩංගු මෙම පොත සභා පොත් පාඩම්වලදී පාඩම් කිරීම අපට මහත් දිරිගැන්වීමක් වන බව නිසැකයි. එම දිරිගැන්වීම ලබාගන්න අප සෑම සතියකම පොත් පාඩමට යනවාද? ඇයි අපි එසේ යා යුත්තේ?
2 යෙසායා 30:20හි යෙහෝවාව හඳුන්වා තිබෙන්නේ අපේ “ශ්‍රේෂ්ඨ උපදේශකයා [NW]” ලෙසයි. යෙහෝවා ඔහුගේ වචනයෙන් හා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගින් සපයන බයිබලය මත පදනම් ප්‍රකාශන ඇසුරෙන් කතා කරන විට, සෑම ක්‍රිස්තියානියෙකුම පරෙස්සමින් එයට සවන් දිය යුතුයි. (මතෙ. 24:45; යෙසා. 48:17, 18) ඇත්තෙන්ම, යෙසායාගේ අනාවැකිය I නමැති පොත සම්බන්ධයෙන්ද එය සැබෑවක් වේ. මෙම පොත පාඩම් කිරීමෙන් ඔබට උපරිම ප්‍රයෝජන නෙළාගත හැක්කේ කෙසේද?
3 සහභාගි වීම සඳහා සූදානම් වන්න: පොත් පාඩමට සූදානම් වීම සඳහා සෑම සතියකම ප්‍රමාණවත් කාලයක් වෙන් කරගන්න. පාඩම් කිරීමට නියමිත සෑම ඡේදයක්ම කියවන්න. සෑම මුද්‍රිත ප්‍රශ්නයකින්ම අසන දෙය ගැන කල්පනා කරන්න. අදාළ උත්තර ඔබේ පොතේ ලකුණු කරගන්න. බයිබලයේ යෙසායා පොතෙන් උපුටා ගෙන තිබෙන පද තද කළු අකුරින් දක්වා තිබෙනවා. ඒවා පරෙස්සමින් කියවන්න. බයිබලයේ වෙනත් පොත්වලට යොමු දක්වන පද පෙරළා බලමින් ඒවා සාකච්ඡා කරනු ලබන විෂයට අදාළ වන ආකාරය තේරුම්ගැනීමට වෑයම් කරන්න. ඔබ ඉගෙනගනිමින් සිටින දේවල් මෙනෙහි කරන්න. අනතුරුව පොත් පාඩමේදී අදහස් දැක්වීමෙන් ඔබ සූදානම් කරගත් තොරතුරු අනිත් අයත් සමඟ බෙදාගන්න.
4 බයිබලය හොඳින් භාවිත කිරීමටත් සාකච්ඡා කරනු ලබන තොරතුරුවල ප්‍රායෝගික වටිනාකම තේරුම්ගන්නත් පැමිණ සිටින සියලුදෙනාටම පොත් පාඩම මෙහෙයවන සහෝදරයා උපකාර කළ යුතුයි. මුල්ම උත්තරය ඔබෙන් ඇසුවොත් සරලව ඍජු උත්තරයක් සපයන්න. දැනටමත් යමෙක් එසේ උත්තර දී තිබෙනවා නම්, ඔබට පුළුවන් සාකච්ඡා කරනු ලබන කරුණ ගොඩනඟන ආකාරයෙන් අදහස් දැක්වීමට. මේ සඳහා ඔබට පුළුවන් ප්‍රධාන ශුද්ධ ලියවිලි පාඨයක් තේමාවට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරන්න. ඔබේම වචනවලින් අදහස් දැක්වීමට උත්සාහ කර, සාකච්ඡාවට සහභාගි වීමෙන් ප්‍රීතිය ලබන්න.
5 අපි සියලුදෙනාම එක්ව යෙසායා පොතේ සඳහන් අනර්ඝ පණිවිඩය මහත් උනන්දුවෙන් පරීක්ෂා කර බලමු. සෑම දවසකම යෙහෝවාගේ ගැළවීම ප්‍රීතියෙන් බලා සිටීමට එය අපව දිරිගන්වන බව නිසැකයි!—යෙසා. 30:18.