ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 1 පාඩම 83 පි.-85 පි. 3 ¶
  • නිවැරදි කියවීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවැරදි කියවීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • කියවීමට අවධානය යොමු කරන්න
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • නිසි විරාම යෙදීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • කියවා මතක තබා ගත හැකි අයුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • දිනපතා බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 1 පාඩම 83 පි.-85 පි. 3 ¶

පාඩම 1

නිවැරදි කියවීම

කළ යුතු වන්නේ කුමක්ද?

මුද්‍රිත පිටුවෙහි දක්වා ඇති දේ ඒ ආකාරයටම ශබ්ද නඟා කියවන්න. එක වචනයක් හෝ එක අකුරක්වත් අත්හරින්න එපා. දී ඇති වචනය වෙනුවට තවෙකක් යොදා නොගන්න. වචන නිවැරදිව උච්චාරණය කරන්න. යොදා ඇති විරාම ලකුණු සහ ශබ්ද දක්වන ලකුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

එය වැදගත් වන්නේ මන්ද?

බයිබල් සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබා දීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වන දෙයක් නම් පරෙස්සමින් හා නිවැරදිව කියවීමයි.

දෙවිගේ කැමැත්ත සියලු ආකාර මනුෂ්‍යයන් “සැබෑව දැනගැනීම” බව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ය. (1 තිමෝ. 2:3) මෙම අදහසට එකඟව, අප බයිබලය ශබ්ද නඟා කියවන විට අප කියවන අන්දමට නිවැරදි දැනුම ලබා දීම සඳහා අප සතු ආශාව බලපෑ යුතුය.

බයිබලය සහ බයිබලයෙහි තොරතුරු පැහැදිලි කරන පොත පත ශබ්ද නඟා කියවීමට සමත් වීම බාල මහලු දෙපාර්ශ්වයම වැදගත් සේ සැලකිය යුත්තකි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන්, යෙහෝවා ගැනත් ඔහුගේ මාර්ග ගැනත් අන් අය සමඟ දැනුම බෙදාගැනීම අප සතු වගකීමකි. ඒ සඳහා බොහෝ විට පුද්ගලයෙකුට හෝ කුඩා කණ්ඩායමකට කියවීමට සිදු වේ. පවුල් කවය තුළදීද එලෙස කියවීමෙන් වැදගත් කාර්යයක් ඉටු වේ. දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී ශබ්ද නඟා කියවීමේ හැකියාව දියුණු කරගැනීමට සහෝදරයන්ට සහ සහෝදරියන්ට, තුරුණු වියේ හා මහලු වියේ අයට උපදෙස් ලැබිය හැකි ප්‍රස්තා උදා වේ.

පුද්ගලයන් ඉදිරියෙහි හෝ සභාවක් ඉදිරියෙහි හෝ බයිබලය ප්‍රසිද්ධියේ කියවීමට සිදු වුවහොත් එය බැරෑරුම්ව සැලකිය යුතුය. බයිබලය දේවානුභාවයෙන් ලියන ලද්දකි. මීට අමතරව, ‘දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය . . . සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.’ (හෙබ්‍රෙ. 4:12) වෙනත් කිසිදු මූලාශ්‍රයකින් ලබාගත නොහැකි අනභිභවනීය දැනුම් සම්භාරයක් දෙවිගේ වචනයෙහි අන්තර්ගතය. සැබෑ දෙවිව දැනහඳුනා ගැනීමටත්, ඔහු සමඟ හොඳ සබඳතාවක් ප්‍රවර්ධනය කරගැනීමටත්, ජීවිතයේ ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමටත් උපකාර ඉන් ලැබිය හැක. දෙවිගේ නව ලොවෙහි සදාතනික ජීවනයට මඟ කුමක්ද කියාත් ඉන් පැහැදිලි කෙරේ. එසේ නම්, අපගේ ඉලක්කය විය යුත්තේ අපට හැකි උපරිමයෙන්ම බයිබලය කියවීමයි.—ගීතා. 119:140; යෙරෙ. 26:2.

නිවැරදිව කියවන අන්දම. බලපෑමෙන් යුක්තව කියවීමට පැති බොහොමයක් තිබුණද, මුල් පියවර වන්නේ නිවැරදිව කියවීමට ඉගෙනගැනීමයි. ඉන් අදහස් වන්නේ මුද්‍රිත පිටුවෙහි තිබෙන දේ ඒ ආකාරයෙන්ම කියවීමට වෑයම් දැරීමය. වචනයක් දෙකක් අත් නොහැරීමට, වචනයක අකුරක්වත් අත් නොහැරීමට හෝ වෙනත් වචනවලට සමානකමක් ඇති නිසා වචන වැරදි ආකාරයට ශබ්ද නොකිරීමට වගබලා ගත යුතුය.

වචන නිවැරදිව කියවීමට නම්, අවට පාඨ සම්බන්ධය තේරුම්ගැනීම අවශ්‍යය. ඒ සඳහා හොඳින් සූදානම් විය යුතුය. කල් යත්ම, කියවන අතරතුරේදී ඉදිරියට කියවීමට සිදු වන අදහස් ගලා යන ආකාරය සලකා බැලීමට හැකි වනු ඇත. මෙසේ, නිවැරදිව කියවීමට ඔබ සතු හැකියාව දියුණු වනවාට සැකයක් නොමැත.

ඕනෑම ලිඛිත භාෂාවක විරාම ලකුණු සහ ශබ්ද දක්වන ලකුණු භාවිතයෙන් වැදගත් කාර්යයක් ඉටු වේ. විරාමයක් යොදන්නේ කොතැනද, කොතරම් දිග විරාමයක්ද, ස්වරය උස් පහත් කළ යුතුද යන්න තීරණය කිරීමට විරාම ලකුණුවලින් යම් අදහසක් ලබා දේ. ඇතැම් භාෂාවල යොදා ඇති විරාම ලකුණුවලින් ස්වරයේ උස් පහත් වීම බලාපොරොත්තු වන ආකාරයට සිදු නොවන විට, ප්‍රශ්නයක් සාමාන්‍යය වාක්‍යයක් බවට පත් විය හැක. එසේ නැතහොත් අදහස සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි. ඇතැම් අවස්ථාවලදී, ඇත්ත වශයෙන්ම, විරාම ලකුණු යොදා ඇත්තේ ව්‍යාකරණ නීතිවලට අනුකූල වීම සඳහාය. බොහෝ භාෂාවල ශබ්ද දක්වන ලකුණුවලට නිසි අවධානයක් දුන්නේ නැත්නම් නිවැරදිව කියවිය නොහැක. මෙම ලකුණු සාමාන්‍යයෙන් ලිඛිතව අකුරක් උඩින් හෝ පහළින් දැකගත හැකි අතර, ඇතැම් භාෂාවල යොදා ඇති ශබ්ද ලකුණු මගින් අවට පාඨ සම්බන්ධය තේරුම්ගත හැකි වේ. එම ලකුණු භාවිතය නිසා ඒවා යොදා ඇති අකුරුවල ශබ්ද වෙනස් වේ. ඔබේ භාෂාවේ විරාම ලකුණු යොදා ඇති ආකාරය සහ ශබ්ද ලකුණු භාවිතය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න. අර්ථවත් ලෙස කියවීමට නම් මෙවන් අවබෝධයක් අත්‍යවශ්‍යය. ඔබේ පරමාර්ථය නිකම්ම වචන ශබ්ද කිරීම පමණක් නොව නමුත් අදහස් ප්‍රකාශ කිරීමත් බව මතක තබාගන්න.

නිවැරදිව කියවීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමට නම්, පෙරහුරුව අවශ්‍යය. මුලින්ම එක ඡේදයක් කියවන්න. කිසිදු වැරදීමකින් තොරව කියවීමට හැකි වන තෙක්, නැවත නැවතත් කියවන්න. එසේ කළ හැකි වූ විට, ඊළඟ ඡේදයට යන්න. අවසාන වශයෙන්, වචන අත්හරින්නේ නැතුව, නැවත නැවත කියන්නේ නැතුව හෝ වැරදි ආකාරයට ශබ්ද කරන්නේ නැතුව පිටු කිහිපයක්ම කියවීමට උත්සාහ දරන්න. මෙම පියවර ගැනීමෙන් පසු, ඔබේ කියවීමට සවන් දී ඔබ අතින් සිදු විය හැකි වැරදි පෙන්වා දෙන්නට කියා කෙනෙකුගෙන් ඉල්ලා සිටින්න.

ලෝකයේ ඇතැම් ප්‍රදේශවල කියවීමේ දුෂ්කරතාවට දෘශ්‍යාබාධ සහ ප්‍රමාණවත් ආලෝකයක් නොතිබීම හේතු වේ. මෙම බාධා ජයගැනීමට යම් ප්‍රායෝගික පියවර ගත හැකි නම්, එහි ප්‍රතිඵලයක් වශයෙන් කියවීමේ හැකියාව දියුණු වනවාට සැකයක් නොමැත.

කල් යත්ම, හොඳින් කියවන සහෝදරයන්ට සභා පොත් පාඩමෙහි සහ මුරටැඹ පාඩමෙහි අධ්‍යයනය කරන කොටස ප්‍රසිද්ධියේ කියවීමට සහභාගි වන්නට ඇරයුම් ලැබිය හැක. එනමුත් එවන් වරප්‍රසාදයක් හොඳින් ඉටු කිරීමට නම්, වචන නිවැරදිව ශබ්ද කිරීමට වඩා වැඩි යමක් අපේක්ෂා කෙරේ. සභාවෙහි බලපෑමෙන් යුක්ත ප්‍රසිද්ධ කියවන්නෙකු වීමට නම්, පෞද්ගලිකව කියවීම සම්බන්ධයෙන් හොඳ පුරුදු ප්‍රවර්ධනය කරගත යුතුය. වාක්‍යයක තිබෙන සෑම වචනයකින්ම වැදගත් කාර්යයක් ඉටු වන බව තේරුම්ගැනීම මීට අයත් වේ. ඇතැම් වචන සුළු කොට තැකුවොත්, පවසනු ලබන දේ සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබාගත නොහැක. පෞද්ගලිකව කියවද්දී පවා, ඔබ වචන වරදවා කියෙව්වොත්, වාක්‍යයෙහි අර්ථය විකෘති වේ. වචන වරදවා කියවීමට හේතු වන්නේ, ශබ්ද ලකුණු නිවැරදිව හඳුනා නොගැනීම හෝ යොදා ඇති වචනවල අවට පාඨ සම්බන්ධය තේරුම්ගැනීමට අපොහොසත් වීමයි. එමනිසා, අවට පාඨ සම්බන්ධයට අනුව යොදා ඇති වචනවල අරුත තේරුම්ගැනීමට වෑයමක් දරන්න. මීට අමතරව, යොදා ඇති විරාම ලකුණු වාක්‍යයේ අරුතට බලපාන අන්දමද සලකා බලන්න. අදහස් සාමාන්‍යයෙන් වචන කාණ්ඩයක් මගින් ඉදිරිපත් කරනු ලබන බව මතක තබාගන්න. මෙය සැලකිල්ලට ගතහොත්, ශබ්ද නඟා කියවන විට, නිකම්ම වචන වෙන වෙනම කියවනවාට වඩා වචන කාණ්ඩ, එනම් වාක්‍යාංශ සහ වගන්ති කියවීමට ඔබ පුරුදු වනු ඇත. ප්‍රසිද්ධ කියවීමෙන් අන් අයට නිවැරදි දැනුම ලබා දීමට සමත් වීම සඳහා වැදගත් ඉදිරි පියවරක් නම් ඔබ කියවන දේ පැහැදිලිව අවබෝධ කරගැනීමය.

ප්‍රේරිත පාවුල්, ‘ප්‍රසිද්ධියේ කියවීමට අවධානය යොමු කරන්න’ කියා ලිව්වේ අද්දැකීම් ලත් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුටය. (1 තිමෝ. 4:13, න. අ.) මේ අනුව, අප සැමට මේ අංගයේදී දියුණු විය හැකි බවට සැකයක් නොමැත.

විරාම ලකුණු

තිත (.) වාක්‍යයක අවසානය දැක්වීම සඳහා යෙදේ.

කොමාව (,) වාක්‍යයක නොයෙක් කොටස් අතර තිබිය හැකි මද විරාමයක් දැක්වීම සඳහා යෙදේ.

තිත් කොමාව (;) තිතට වඩා අඩු නමුත්, කොමාවට වඩා වැඩි මද විරාමයකි.

දෙතිත (:) නිදසුන් පිණිස හෝ විස්තර පිණිස හෝ කරුණු ඉදිරිපත් කිරීමේදී යෙදේ. එනමුත් ස්වරයේ උස් පහත් වීමක් අනවශ්‍යය.

විස්මයාදි ලකුණ (!) ප්‍රබල හැඟීම් අඟවන ප්‍රකාශනයක කෙළවර යෙදේ.

ප්‍රශ්න ලකුණ (?) ප්‍රකාශනයක් ප්‍රශ්නයක් බව දැක්වීමට එහි අගට යෙදේ. සාමාන්‍යයෙන් ඒ සඳහා කතා ශබ්දය උච්ච කර වාක්‍යය කියවිය යුතුය.

උඩුකොමා (උද්ධෘත පාඨ) (“ ” හෝ ‘ ’) ඒවායෙහි අන්තර්ගත වචන මද විරාමයකින් වෙන් කොට දැක්විය යුතුය (අන්තර්ගත වචන වාක්‍යයක කොටසක් නම් ඉතා මද විරාමයකි, සම්පූර්ණ වාක්‍යයක් නම් විරාමය වැඩිය).

ඉර (—), යම් ප්‍රකාශනයක අදහස වඩා පැහැදිලිව වෙන් කොට දැක්වීමට යෙදේ. සාමාන්‍යයෙන් කතා ශබ්දය සහ වේගය මදක් වෙනස් කිරීම අවශ්‍ය කෙරේ.

සරල වරහන් ( ) සහ අහු වරහන් [ ] කතා ශබ්දය මදක් පහත් කොට කියවිය යුතු වචන දැක්වීමට යෙදේ. සරල වරහන් තුළ සඳහන් වී ඇති මූලාශ්‍ර කියවීම අනවශ්‍යය. අනික් අතට කියවනු ලබන වාක්‍යයක අදහස පූර්ණ ලෙස ග්‍රහණය කරගැනීමට අවශ්‍ය අහු වරහන් තුළ සඳහන්ව ඇති වචන කියවන විට, කතා ශබ්දය උස් පහත් කිරීම අනවශ්‍යය.

එය ඉටු කරගත හැකි අන්දම

  • පෙරහුරු කරන්න! පෙරහුරු කරන්න! පෙරහුරු කරන්න! ශබ්ද නඟා පෙරහුරු කරන්න!

  • ඔබේ කියවීමට හොඳින් සවන් දී වැරදුණු තැන් පෙන්වා දෙන්නට කියා කෙනෙකුගෙන් ඉල්ලා සිටින්න.

  • පෞද්ගලික අධ්‍යයනයෙහි නිරත වන විට, පරෙස්සමින් කියවීමට ඔබවම හික්මවාගන්න.

  • නිකම්ම වචන වෙන වෙනම කියනවා වෙනුවට, වචන කාණ්ඩ කියවීමට ඉගෙනගන්න.

අභ්‍යාසය: හොඳින් සූදානම් වීමෙන් පසු, මතෙව් 5 සිට 7 දක්වා පරිච්ඡේදවලින් කොටසක් ශබ්ද නඟා කියවද්දී, ඔබේ කියවීම බයිබලයෙන් බලා පරීක්ෂා කරන්න කියා මිතුරෙකුගෙන් හෝ පවුලේ සාමාජිකයෙකුගෙන් ඉල්ලා සිටින්න. (1) වචනයක් ගිලිහී යන විට, (2) වචනයක් වැරදි ආකාරයට ශබ්ද කරන විට හෝ, වචන යෙදෙන පිළිවෙළ වෙනස් කරන විට හෝ (3) යම් විරාමයක් හෝ ස්වරයේ උස් පහත් වීමක් අවශ්‍ය විරාම ලකුණක් හෝ යොදා ඇති ශබ්ද ලකුණු අතපසු කරන විට ඔබව නතර කරන්නට කියා ඔහුගෙන් ඉල්ලන්න. අඩුම තරමින් විනාඩි දහය බැගින් වතා දෙක තුනකටවත් මෙම අභ්‍යාසයෙහි නිරත වීම හොඳය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න