පාඩම 5
නිසි විරාම යෙදීම
කතා බහේදී නිසි තැන විරාම යෙදීම වැදගත්ය. මෙය අදාළ වන්නේ කතාවක් ඉදිරිපත් කරන විටදී හෝ පුද්ගලයෙකු සමඟ කතා කරද්දීය. එවන් විරාම නොයොදා කතා කළහොත්, අදහස් පැහැදිලිව තේරුම්ගත නොහැකි වේ. ඒ වෙනුවට දොඩමලු ස්වභාවයක් දිස්විය හැක. ඔබේ කතාව පැහැදිලි ස්වභාවයක් ගන්නේ නිසි විරාම යොදන විටය. එමෙන්ම ඔබට සවන්දෙන්නන්ගේ මනස්වල මූලික කරුණු නොමැකෙන සේ සනිටුහන් කරගැනීමට ආධාරකයක් සේද එය යොදාගත හැක.
ඔබ විරාම යෙදිය යුත්තේ කවර අවස්ථාවේද යන්න තීරණය කළ හැක්කේ කෙසේද? එවන් විරාම කොතරම් දීර්ඝ ඒවා විය යුතුද?
විරාම ලකුණු සඳහා විරාම යෙදීම. විරාම ලකුණු ලිඛිත භාෂාවෙහි වැදගත් අංගයක් බවට පත්වී ඇත. ප්‍රකාශයක අවසානය දැක්වීමට හෝ යම් ප්‍රකාශයක් ප්‍රශ්නයක්ද යන්න දැක්වීමට ඒවා යොදාගත හැක. සමහර භාෂාවල ඒවා යොදා ඇත්තේ උපුටා දැක්වීම් උලුප්පා දැක්වීමටය. ඇතැම් විරාම ලකුණුවලින් වාක්‍යයක විවිධ කොටස් අතර ඇති සම්බන්ධයද දක්වයි. තනිව කියවන පුද්ගලයෙකුට එවැනි විරාම ලකුණු දැකගත හැකිය. එනමුත් අන් අයගේ ප්‍රයෝජනය සඳහා ඔහු ශබ්ද නඟා කියවන විට, ලේඛනයෙහි සඳහන් විරාම ලකුණුවල අරුත ඔහුගේ කටහඬ මගින් පිළිබිඹු විය යුතුය. (අමතර තොරතුරු සඳහා “නිවැරදි කියවීම” යන පාඩම් අංක 1 බලන්න.) විරාම ලකුණු යොදා ඇති තැන්හි විරාමයක් යෙදීමට අපොහොසත් වුවහොත්, ඔබ කියවන දේ අන් අයට තේරුම්ගැනීම අපහසු කරවිය හැකි අතර, කියවන දෙයෙහි අර්ථය විකෘති වන්නට පවා පුළුවන.
උචිත විරාම යෙදිය යුතු තැන් තීරණය කිරීමට විරාම ලකුණුවලට අමතරව, වාක්‍යයක අදහස් දක්වා ඇති අන්දමද බලපායි. සුප්‍රසිද්ධ සංගීතඥයෙක් වරක් මෙසේ පැවසීය. “මගේ පියානෝ වාදනය අන් අයගේ වාදනයට වඩා එතරම් වෙනස් කියා පැවසිය නොහැකිය. එනමුත් ස්වර අතර විරාමය යෙදීම, අන්න, එතන තමයි කලාවේ රසය පිහිටන්නේ.” කතා කිරීමේදීත් සිදු වන්නේ මෙයමයි. හොඳින් සූදානම් කරගත් ඔබේ තොරතුරුවලට උචිත විරාම යෙදීම මගින් අලංකාරයකුත්, අර්ථවත්බවකුත් මුසු කරයි.
ප්‍රසිද්ධියේ කියවීමට සූදානම් වන විට, ඔබේ කියවීමට මුල් වන මුද්‍රිත ලේඛනයෙහි සටහන් කිහිපයක් කිරීම ඔබට ප්‍රයෝජනවත් බව පෙනී යා හැක. ඉතා කෙටි විරාමයක් යෙදිය යුතු තැන්හි කුඩා සිරස් ඉරක් අඳින්න. වඩාත් දිග විරාමයක් සඳහා එක ළඟ කුඩා සිරස් ඉරි දෙකක් අඳින්න. සමහරවිට ඇතැම් යෙදුම් ඔබට අමුතු විය හැක. ඒ හේතුවෙන් නිතරම වැරදි ස්ථානයෙහි විරාමයක් යෙදීමට පෙලඹිය හැක. එවැන්නක් සිදු වේ නම්, කියවීමට අමාරු ඒ යෙදුමට අදාළ සියලුම වචන පැන්සලෙන් සලකුණු යොදා යා කරන්න. ඊළඟට ඒ යෙදුම මුල සිට අග දක්වා කියවන්න. ඇත්තෙන්ම අද්දැකීම් සම්භාරයක් ඇති බොහෝ කථිකයෝ මෙය කරති.
එදිනෙදා කතා බහේදී ඉදිරිපත් කළ යුතු අදහස් මොනවාදැයි ඔබ දන්නා නිසා, විරාම යෙදීම සාමාන්‍යයෙන් අභියෝගයක් නොවේ. කෙසේවෙතත්, අදහස කුමක් වුවත් නිතරම විරාම යෙදීමට ඔබ පුරුදු වී සිටිනවා නම්, ඔබේ කතා ශෛලියේ ප්රබලත්වයේ සහ පැහැදිලිකමේ අඩුවක් දකිනු ඇත. වැඩිදියුණු වීම සඳහා යෝජනා “චතුර කථිකත්වය” යන පාඩම් අංක 4හි සපයා ඇත.
අදහස වෙනස් වන විට විරාම යොදන්න. එක් ප්‍රධාන කරුණක සිට තවෙකක් දක්වා මාරු වන විට, උචිත විරාමයක් යෙදීමෙන් ඔබේ සබයට කල්පනා කිරීම සඳහා අවස්ථාවක් ලබා දිය හැක. එසේ කළහොත්, මානසිකව සකස් වීමට, කතාවේ ගමන වෙනස් වී ඇති ආකාරය හඳුනාගැනීමට සහ ඊළඟට ඉදිරිපත් කරනු ලබන අදහස වඩාත් හොඳින් ග්‍රහණය කරගැනීමට ඉඩ කඩ සැලසේ. මංසන්ධියකට පිවිසෙන විට, තවත් පාරකට හැරෙන්නට පෙර වාහනයක වේගය අඩාළ කරන්නාක් මෙන්, එක් අදහසක සිට තවෙකක් දක්වා මාරු වෙද්දී විරාම යෙදීම වැදගත්ය.
ඇතැම් කථිකයන් එක් අදහසක සිට තවෙකක් දක්වා විරාම නොයොදා වේගයෙන් ඇදී යෑමට එක් හේතුවක් වන්නේ තොරතුරු ඕනෑවට වඩා පියවීමට උත්සාහ කරන නිසාය. සමහරු දෛනික කතා බහේදී එසේ කිරීමට පුරුදු වී සිටීම මෙයට හේතු වේ. ඇතැම්විට ඔවුන් වටා සිටින උදවියද එසේ කතා කිරීමට පුරුදු වී සිටිනවා ඇති. එහෙත් එලෙස කතා කිරීම දක්ෂ ලෙස ඉගැන්වීමට දායක නොවේ. සවන් දීමට හා සිහියේ තබාගැනීමට වටිනා යමක් කීමට තිබෙනවා නම්, ඒ අදහස පැහැදිලිව ගෙනහැර දැක්වීමට ප්‍රමාණවත් කාලය ගන්න. අදහස් පැහැදිලිව දක්වා කතා කිරීම සඳහා විරාම යෙදීම අත්‍යවශ්‍ය බව තේරුම්ගන්න.
දළ සටහනක් ඇසුරෙන් කතාවක් දෙනවා නම්, ඔබේ තොරතුරු පෙළගැස්විය යුත්තේ ප්‍රධාන කරුණු අතර පැහැදිලි විරාමයක් යෙදීමට අවකාශය සැලසීමෙන්ය. ලේඛනගත කතාවක් කියවන විට, එක් ප්‍රධාන කරුණක සිට තවෙකක් දක්වා මාරු වන තැන් සලකුණු කරන්න.
විරාම ලකුණු සඳහා යොදන විරාමවලට වඩා අදහස වෙනස් කරන විට යොදන විරාමය දීර්ඝය. කෙසේවෙතත්, කතාව ඇදි ඇදී යන පරිද්දෙන් ඒවා දිග්ගැස්සිය යුතු නැත. ඉතා දීර්ඝ විරාම යොදනවා නම්, ඔබ හොඳට සූදානම් වී නැති බවත්, ඊළඟට පැවසිය යුත්තේ කුමක්ද යන්න ගැන සිතන බවත් සබය නිගමනය කළ හැකිය.
අවධාරණය සඳහා විරාම යොදන්න. අවධාරණය සඳහා විරාම යොදන විට, බොහෝ විට යම් බලාපොරොත්තුවක්, හැඟීමක් ජනිත කරවීමට එය භාවිත කෙරේ. බොහෝ දුරට එය යොදන්නේ යම් බලපෑමෙන් යුතුව ඉදිරිපත් කරනු ලබන ප්රකාශනයකට හෝ ප්‍රශ්නයකට පෙර හෝ පසුවය. මෙවන් විරාම යොදන විට, පැවසූ දේ ගැන කල්පනා කර බැලීමට සබයට ප්‍රස්තාවක් සැලසේ. එසේ නැතහොත් කීමට යන දේ සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් ජනිත කරයි. මේ අවස්ථා දෙක එක සමාන නොවන බව මතක තබාගන්න. භාවිත කිරීමට යෝග්‍ය වන්නේ කවර ක්රමයද යන්න තීරණය කරන්න. කෙසේවෙතත්, අවධාරණය සඳහා විරාම යෙදිය යුත්තේ සැබවින්ම වැදගත් ප්රකාශනවලට පමණක් බව මතක තබාගන්න. එසේ නොවුවහොත්, එම ප්රකාශනවල වටිනාකම බොඳ වී යයි.
යේසුස් නාසරෙත් නුවරේ සිනගෝගයෙහි ශුද්ධ ලියවිල්ල ශබ්ද නඟා කියෙවූ විට, ඔහු විරාම යෙදුවේ ඉතා දක්ෂ අන්දමිනි. මුලින්ම අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ලෙන් තමාට ලැබූ පැවරුම ගැන කියෙව්වේය. කෙසේවෙතත්, එහි අදාළත්වය පැහැදිලි කිරීමට මත්තෙන් ඔහු ලියවිල්ල අකුළා, සේවකයාට නැවත භාර දී අසුන්ගත්තේය. මෙම විරාමයෙන් අනතුරුව, සිනගෝගයේ සියලුදෙනාගේ ඇස් බලාපොරොත්තු සහගතව ඔහු වෙත යොමු වී තිබුණු විට ඔහු මෙසේ පැවසීය. “අද නුඹලා අසා සිටියදී මේ ලියවිල්ල සම්පූර්ණ වීය.”—ලූක් 4:16-21.
අවශ්‍යතාවක් පැනනඟින විට විරාම යොදන්න. විටින් විට යම් බාධාවන් ඇති වන විට, ඔබේ කතාව මඟදී නතර කිරීමට සිදු විය හැක. ක්ෂේත්‍ර සේවයෙහි හමු වී ඇති නිවැසියෙකු සමඟ කරන සංවාදයක් මදකට නතර කිරීමට සිදු වන අවස්ථා පැනනැඟිය හැක. වාහනවල ශබ්දය නිසා හෝ දරුවෙකු හඬන විට, මදකට නතර කිරීම සුදුසුය. රැස් වන ස්ථානයක සිදු වන මෙවැනි බාධාවක් එතරම් ප්රබලව බලපාන්නේ නැති බවට පෙනී යයි නම්, ඔබේ කටහඬේ ශබ්දය මදක් වැඩි කර දිගටම කතා කළ හැකිය. එනමුත්, බාධාවට හේතු වන දෙය ඝෝෂාකාරි සහ අඛණ්ඩව පවතින එකක් නම්, මදකට කතාව නතර කිරීමට සිදු වේ. මන්ද ඔබ කතා කළත්, ඔබේ සබය ඔබට සවන් නොදෙන බැවිනි. එමනිසා සබයට කීමට ඔබ ආශාවෙන් සිටින යහපත් දේවලින් ඔවුන්ට උපරිම ප්‍රයෝජන නෙළාගැනීමට උපකාරයක් වශයෙන්, උචිත ලෙස විරාම යොදන්න.
ප්‍රතිචාරයක් ලැබීමට විරාම යොදන්න. සබයේ සහභාගිත්වය විධිමත් ලෙස අවශ්‍ය නොකරන කතාවක් දෙමින් සිටින විටකදී පවා, සබයට ප්‍රතිචාරය දැක්වීම සඳහා ඉඩ කඩ සැලසීම වැදගත්ය. මෙහිදී ප්‍රතිචාරය දැක්වීම යන්නෙන් අදහස් කරන්නේ මුවින් නොව නමුත් මනසින්ය. සබයට කල්පනා කිරීමට සැලැස්විය යුතු ප්‍රශ්න අසා, ප්‍රමාණවත් විරාමයක් නොදෙන්නේ නම්, එම ප්‍රශ්න ඇසීමේ වටිනාකම නැති වී යයි.
ඇත්තෙන්ම, වේදිකාවක සිට කතාවක් දෙන විටදී පමණක් නොව, නමුත් අන් අයට සාක්ෂි දරන විටදී පවා විරාම යෙදීම වැදගත්ය. ඇතැම් පුද්ගලයන් කතා කරන්නේ කිසිදු විරාමයක් නොමැතිවය. ඔබට එම ගැටලුව තිබේ නම්, මෙම කථික ගුණාංගය වර්ධනය කරගැනීමට උපරිම උත්සාහයක් දරන්න. එමගින් අන් අය සමඟ අදහස් හුවමාරු කිරීමේදී මෙන්ම ක්ෂේත්රයෙහි ඔබ කරන සේවයෙහි ඵලදායිත්වය වැඩි කරගැනීමට ඔබ සමත් වනු ඇත. විරාමයක් යනු නිහඬතාවක් පවතින මොහොතකි. නිහඬතාව, යමක් වෙන් කර ඉස්මතු කර දැක්වීමට, අවධාරණය කිරීමට, අවධානයට යොමු කිරීමට දායක වන අතර එය කන්වලටද සුවදායකය.
දෛනික කතා බහේදී අදහස්වල හුවමාරුවක් සිදු වේයයි පැවසිය හැක. වෙනත් අය ඔබට සවන් දෙන්නට වැඩි කැමැත්තක් දක්වන්නේ ඔබ ඔවුන්ට සවන් දී ඔවුන් කියන දේ කෙරෙහි උනන්දුවක් දක්වන විටය. මින් අදහස් කරන්නේ තම අදහස් පළ කිරීමට ඔවුන්ටත් අවස්ථාවක් දීමට ඔබේ කතාව නතර කළ යුතු බවය.
ක්ෂේත්‍ර සේවයේදී සාක්ෂි දැරීමට අප දරන උත්සාහය වඩාත් ඵලදායී වන්නේ එය සංවාදයක ස්වරූපයෙන් කරන විටදීය. තමාව සුහදව හඳුන්වා දීමෙන් පසු, කතා කරන විෂය පැහැදිලිව සඳහන් කර, ප්‍රශ්නයක් ඇසීම සාර්ථක බව බොහෝ සාක්ෂිකරුවන්ට පෙනී ගොස් ඇත. පිළිතුරක් දීමට ඔවුහු අවස්ථාවක් ලබා දෙන අතර, නිවැසියා පැවසූ දේ තේරුම්ගත් බවට යමක් පවසති. සාකච්ඡාව සිදු කෙරෙන අතරතුරේදී, අදහස් දැක්වීමට නිවැසියාට අවස්ථා කිහිපයක්ම ලබා දිය හැක. මන්ද සාකච්ඡා කරනු ලබන කාරණය ගැන පුද්ගලයා දරන අදහස් තේරුම්ගන්නා විට, ඔහුට වඩාත් සාර්ථක ලෙස උපකාර කළ හැකි බව ඔවුන් දන්නා බැවිනි.—හිතෝ. 20:5.
මින් අදහස් වන්නේ අප අසන ප්‍රශ්නවලට සෑම කෙනෙකුගෙන්ම හිතකර ප්‍රතිචාරයක් ලැබෙන බව නොවේ. කෙසේවෙතත්, එවන් අවස්ථාවලදී පවා යේසුස් තම විරුද්ධවාදීන්ටත් කතා කිරීමට අවස්ථාවක් දීමෙන් වැළකී සිටියේ නැත. (මාක් 3:1-5) අනික් පුද්ගලයාට කතා කිරීමට අවස්ථාවක් ලබා දීම ඔහුට කල්පනා කිරීමට රුකුලක් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු තම සිතෙහි අදහස් අනාවරණය කළ හැකිය. ඇත්තෙන්ම අපගේ දේවසේවයෙහි එක් අරමුණක් වන්නේ ජනයාගෙන් හෘදයාංගම ප්‍රතිචාරයක් ලබාගැනීමය. ඒ සඳහා තීරණාත්මක පියවරක් ගත යුතු වැදගත් ප්‍රශ්න දේවවචනය ඇසුරෙන් ජනයාට ඉදිරිපත් කිරීම ප්‍රයෝජනදායක වේ.—හෙබ්‍රෙ. 4:12.
ඇත්තෙන්ම අපගේ දේවසේවයේදී නිසි විරාම තබමින් කතා කිරීම කලාවකි. දක්ෂ ලෙස විරාම යොදන විට, අදහස් වඩාත් පැහැදිලිව ඉදිරිපත් කෙරෙන අතර, කියන දේ බොහෝ විට නොමැකෙන සේ මතකයේ රැඳෙනු ඇත.