23 පාඩම
ශබ්දය සහ විරාමය
1, 2. අප ප්‍රමාණවත් ශබ්දයකින් කථා කළ යුත්තේ මන්ද?
1 ඔබ කියන දේ සවන් දෙන්නන්ට හොඳින් නෑසුණොත් එයින් ඔවුන්ට වැඩක් නොවනු ඇත. අනෙක් අතට අධික ශබ්දයකින් කථා කිරීමෙන් සිදු වන්නේ ඔබේ අසන්නෝ ප්‍රකෝප වීමත්, ඔබ විසින් සූදානම් කර ඇති කදිම අදහස්වලින් ඔවුන්ගේ සිත් වෙනතකට හැරීමත් ය. බොහෝ රාජ්‍යය ශාලාවල රැස්වීම් පවත්වන අවස්ථාවේ දී ඉදිරියෙන් වාඩි වී සිටින අය කියන දේ පිටුපසින් සිටින අයට නෑසී යාමෙන් පෙනී යන්නේ ප්‍රමාණවත් කට හඬ පිළිබඳ සැලකිලිමත්වීම අවශ්‍ය බව ය. ඇතැම් අවස්ථාවල දී වේදිකාවේ සිට කථා කරන පුද්ගලයෙකුගේ හඬ ප්‍රමාණවත් නොවීම නිසා ඔහු සභාව ප්‍රකෘතිමත් කිරීමට අපොහොසත් වේ. ක්ෂේත්‍ර සේවයේ දී පවා විවිධ මට්ටමේ ශ්‍රව්‍යාබාධවලින් පෙළෙන පුද්ගලයෝ අපට මුණ ගැසේ, එමෙන් ම අප යන නිවෙස් ඇතුළතින් හෝ බාහිරෙන් නික්මෙන ශබ්දවලට විරුද්ධ ව තරඟ කිරීමට ද අපට සිදු වේ. මේ කරුණු සියල්ලෙන් ම පෙනී යන්නේ සුදුසු ශබ්දය පිළිබඳ ව අප ඕනෑකමින් සැලකිලිමත් විය යුතු බව ය.
2 පහසුවෙන් ඇසීමට තරම් ප්‍රමාණවත් හඬ. සුදුසු ප්‍රමාණයෙන් යුත් ශබ්දය තීරණය කිරීමේ දී සැලකිලිමත් විය යුතු ප්‍රථම කරුණ නම්, කථිකයා ප්‍රමාණවත් ලෙස කට හඬේ බලය මෙහෙය වූවා ද? යන ප්‍රශ්නයයි. එනම් ඉදිරි පෙළේ අසුන්ගෙන සිටින්නන්ගේ කන් බිහිරි නොකරවා අවසාන පෙළේ අසුන්ගෙන සිටින්නන්ට ඇසෙන ලෙස කථා කළා ද? යන්නයි. නවක ශිෂ්‍යයාට මේ කරුණ පිළිබඳ ව සැලකිලිමත්වීම ප්‍රමාණවත් වුවත්, වඩා දියුණු අය පහත දැක්වෙන කරුණු ගැන ද දක්ෂතාවයක් ලබා ගැනීමට වෑයම් කළ යුතු ය. මේ කථික ගුණාංගය පිළිබඳ ව එක් එක් ශිෂ්‍යයාට කොතරම් දුරට උපදෙස් දිය යුතු දැයි පාසල් අවේක්ෂක තීරණය කළ යුතු ය.
3-10. භාවිතා කළ යුතු ශබ්ද ප්‍රමාණය තීරණය කිරීමට අපට උපකාර කරන අවස්ථා මොනවා ද?
3 අවස්ථාවලට ගැළපෙන ශබ්දය. කථිකයා තමාට කථා කිරීමට සිදු වෙන විවිධ තත්ත්වයන් පිළිබඳ ව දැන සිටිය යුතු ය. මෙය ඔහුගේ අවබෝධ ශක්තිය පුළුල් කරයි. ඔහු වඩා නම්‍ය වෙයි, සභාවේ අවධානය පහසුවෙන් යොමු කර ගැනීමටත් රඳවා ගැනීමටත් ඉඩ දෙයි.
4 ශාලාවෙන් ශාලාවටත් අසන්නන්ගේ සංඛ්‍යාව අනුවත් තත්ත්වයන් වෙනස් වේ. මෙම තත්ත්වයන් පාලනය කිරීමට නම් ඔබ ඔබේ කට හඬ පාලනය කළ යුතු ය. අලුතෙන් උනන්දු වූ පුද්ගලයෙකුගේ විසිත්ත කාමරයක කථා කරන අවස්ථාවකට වඩා මහත් හඬක් රාජ්‍යය ශාලාවක කරන කථාවකට අවශ්‍ය ය. මීට අමතර ව, සේවා රැස්වීමක දී මෙන් ශාලාව පිරී තිබෙන අවස්ථාවකට වඩා ක්ෂේත්‍ර සේවය සඳහා ශාලාවේ ඉදිරිපිට පමණක් රැස් වී සිටින කුඩා පිරිසකට කථා කිරීමට අවශ්‍ය වන්නේ අඩු හඬකි.
5 එහෙත් මෙම තත්ත්වයන් පවා නිතර වෙනස් වේ. ශාලාවේ ඇතුළතින් හෝ පිටතින් හදිසි ශබ්ද ඇති විය හැක. අසලින් යන වාහනයක්, ළඟපාත දුම්රියක්, සතුන්ගේ ඝෝෂාව, ළමයින්ගේ හැඬීම, ප්‍රමාද වී පැමිණෙන්නෙක්—ආදි විවිධ කරුණුවලට අනුරූප ව ඔබට ඔබේ කට හඬේ බලය හසුරුවා ගැනීමට සිදු වේ. මෙම තත්ත්වයන් හඳුනාගෙන ඒවාට විවිධ ප්‍රතිකාර කිරීමට අසමත්වීම නිසා සමහර විට ඔබ කියන වැදගත් කරුණක් නෑසී යාමට ඉඩ තිබේ.
6 බොහෝ සභාවල ශබ්දය වැඩි කිරීමට වර්ධක යන්ත්‍ර උපයෝගි කර ගනු ලැබේ. එහෙත්, මේවා උපයෝගි කිරීමේ දි ප්‍රවේසම් නොවීම නිසා ශබ්දය දැඩි ලෙස උස් පහත් වුවහොත්, මෙම තත්ත්වයන් සැලකිල්ලට නොගැනීම ගැන ශිෂ්‍යයාට උපදෙස් දීමට සිදු වනු ඇත. (මයික්‍රෝෆෝනය භාවිතය පිළිබඳ 13වන පාඩම බලන්න.)
7 ඉඳහිට කථිකයෙකුට තමාගේ කට හඬේ ගුණය නිසා හඬ පාලනය පිළිබඳ ව දක්ෂතාවයක් ලබා ගැනීම දුෂ්කර විය හැක. ඔබේ ගැටලුවත් මෙය නම්, එනම් ඔබේ කට හඬ කිසිසේත් විසිර නොයයි නම්, ඔබට උපදෙස් දීමේ දී පාසල් අවේක්ෂක මෙම කාරණය සැලකිල්ලට ගනු ඇත. සමහර විට ඔබේ කට හඬ දියුණු කොට ශක්තිමත් කරවන විධියේ ව්‍යායාම්වලින් යුතු පුහුණු වීමේ වැඩසටහනක් ඔහු ඔබට යෝජනා කරනු ඇත. කෙසේ වුවත්, කට හඬේ ගුණය සම්පූර්ණයෙන් ම වෙනත් කරුණක් නිසා, ශබ්දය ගැන උපදෙස් දීමේ දී එය ගැන අවධාරණය කරනු නොලැබේ.
8 එක කථාවක දී පවතින සෑම තත්ත්වයක් ම විනිශ්චය කළ නොහැක. උපදෙස් දිය යුත්තේ දැන් පවත්වන කථාව පිළිබඳ ව මිස, පැන නැගිය හැකි සෑම තත්ත්වයක් ගැන ම නොවේ. එහෙත් අවශ්‍යතාවයක් පෙනී ගියහොත් දැන් පැවැත් වූ කථාව සඳහා ශිෂ්‍යයාට ප්‍රශංසා කොට ඔහුගේ කථික උපදෙස් පත්‍රිකාව “හො’’ යයි ලකුණු කිරීමෙන් පසු, විවිධ තත්ත්වයන් යටතේ ශිෂ්‍යයාට මුහුණ දීමට සිදු විය හැකි ගැටලු පිළිබඳ ව පාසල් අවේක්ෂක විසින් අනතුරු ඇඟවීමට ඉඩ තිබේ.
9 තමාගේ කට හඬ ප්‍රමාණවත් දැයි ශිෂ්‍යයෙකු විසින් තීරණය කළ හැක්කේ කෙසේ ද? මේ පිළිබඳ ව හොඳ ම මිම්ම වනුයේ සභා ප්‍රතිචාරයයි. පළපුරුදු කථිකයෙක් තමාගේ හැඳින්වීමේ දී ශාලාව පිටුපසින් හිඳගෙන සිටින අයගේ ප්‍රතිචාරය නිරීක්ෂණය කරයි. ඔවුන්ගේ මුහුණේ ස්වභාවයන් සහ පොදු ඉරියව්වලින් තමා කියන දේ ඔවුන්ට පහසුවෙන් ඇසේ දැයි තීරණය කළ හැක, මේ අනුව ඔහු තමාගේ කට හඬ හසුරුවා ගනී. ශාලාවේ “තත්ත්වය’’ තේරුම් ගත්තායින් පසු ඔහුට ගැටලු මතු නොවේ.
10 තවත් ක්‍රමයක් නම් එම වැඩසටහනට ඇතුළත් අනෙක් කථිකයන් නිරීක්ෂණය කිරීමයි. ඔවුන් කියන දේ පහසුවෙන් ඇසෙයි ද? ඔවුන් යොදා ගන්නා කට හඬ කොපමණ ද? ඔබේ කට හඬ ද ඒ අනුව සකස් කර ගන්න.
11, 12. කරුණුවලට ගැළපෙන ශබ්දයෙන් කථා කිරීම වැදගත් වන්නේ මන්ද?
11 කරුණුවලට සුදුසු ශබ්දය. ශබ්දයේ මේ අංගය පිළිබඳ ව අපේ සාකච්ඡාවේ කට හඬ පාලනය සමඟ පටලවා නොගත යුතු ය. දැනට අප උනන්දුවෙන් සාකච්ඡා කරනු ලබන කරුණුවලට අනුකූල කර ගනුයේ ශබ්දය පිළිබඳ ව පමණ ය. උදාහරණයක් වශයෙන් ශිෂ්‍යයා ශුද්ධ වූ ලියවිල්ලෙන් හෙලා දැකීම් කියවන්නේ නම්, ඔහු ශබ්දය හසුරුවා ගන්නා ආකාරය, සහෝදර ප්‍රේමය පිළිබඳ ව උපදෙස් කියවන ආකාරයට වඩා පැහැදිලි ව ම වෙනස් ය. යෙසායා 36:11 සමඟ 12වන සහ 13වන පද සන්සන්දනය කොට මෙම ප්‍රකාශ කියවීමේ දී තිබෙන්නට ඇති වෙනස සලකා බලන්න. ශබ්දය කරුණුවලට අනුව සකස් කර ගත යුතු අතර, එය වුවමනාවට වඩා නොකළ යුතු ය.
12 යෙදිය යුතු ශබ්ද ප්‍රමාණය තීරණය කිරීමේ දී, ඔබ ඉදිරිපත් කරන්නට යන කරුණු සහ ඔබේ කථාවේ අරමුණ සුපරීක්ෂාකාරී ව විග්‍රහ කර බලන්න. ඔබට අවශ්‍ය වන්නේ ඔබට සවන් දෙන්නන්ගේ කල්පනාව වෙනස් කිරීමට නම් මහත් හඬින් කථා කිරීමෙන් ඔවුන්ගේ අවධානය පලවා නොහරින්න. එහෙත් ඔබේ අරමුණ වන්නේ මහත් උනන්දුවෙන් ක්‍රියා කිරීමට ඔවුන් උත්තේජනය කිරීම නම්, ඔබේ ශබ්දය වඩා ශක්තිමත් කළ හැක. ඔබ ඉදිරිපත් කරන කරුණු දැඩි ස්වරයකින් ඉදිරිපත් කළ යුතු වන්නේ නම් පහත් ශබ්දයෙන් කථා කිරීමෙන් එය දුර්වල නොකරන්න.
**********
13-16. විරාමයෙහි වටිනාකම පෙන්වන්න.
13 ඔබේ කථාව ඉදිරිපත් කිරීමේ දී සුදුසු ස්ථානවල විරාම යෙදීම ප්‍රමාණවත් ශබ්දය තරම් ම වැදගත් කරුණකි. එයින් තොර ව ප්‍රකාශවල අර්ථය අඳුරු වන අතර සභාව විසින් මතක තබා ගත යුතු ප්‍රධාන කරුණු ස්ථාවර ලෙස ඔවුන්ගේ සිතට කාවදින්නේ නැත. විරාමයන් ඔබට ආත්ම විශ්වාසය සහ සන්සුන්කම ලබා දෙන අතර, හුස්ම පාලනය කර ගැනීමට ද ඉඩ ප්‍රස්තාව සපයයි. එමෙන් ම, කථාවේ දුෂ්කර කරුණුවල දී තැන්පත්කම ආරක්ෂා කර ගැනීමට ද අවස්ථාව සපයයි. ඔබ අවස්ථාව පාලනය කර ගෙන සිටින බවත් අනිසි ලෙස කලබල වී නැති බවත්, සභාව ගැන සැලකිලිමත් වන බවත්, තමන් විසින් ඇහුම් කන් දී මතක තබා ගත යුතු යමක් කීමට ඔබට අවශ්‍ය බවත්, විරාමයන් සභාවට පෙන්නුම් කරයි.
14 නවක කථිකයෙක් හැකි තරම් ඉක්මනින් ඵලදායී ලෙස විරාමයන් භාවිතා කිරීමේ හැකියාව ලබා ගත යුතු ය. ප්‍රථමයෙන් ඔබට කියන්නට ඇති දේ වැදගත් බවත්, එය අසන්නන් විසින් මතක තබා ගත යුතු බවත් ඔබ ඒත්තු ගත යුතු ය. ළමයෙකුට තරවටු කරන මවක් ඇයට කියන්නට තිබෙන දේ කීමට කලින් දරුවාගේ අවධානය ලබා ගැනීමට යමක් කියයි. දරුවා සම්පූර්ණ අවධානය යොමු කරන තුරු ඇය කිසි ම වචනයක් නොකියයි. ඇය තමාගේ සිතේ තිබෙන දේ කියන්නේ ඉන් පසු ව ය. තමා කියන දේ දරුවා නොසලකා නොහරින බවටත්, එය මතක තබා ගන්නා බවටත් නිශ්චය කර ගැනීමට ඇයට අවශ්‍ය වේ.
15 එදිනෙදා කථනයේ දී පවා ඇතැම් පුද්ගලයෝ කිසි විටෙකත් විරාමය භාවිතා නොකරති. ඔබේ ගැටලුවත් එය නම් ඔබේ ක්ෂේත්‍ර සේවය සඵල කර ගැනීම සඳහා මෙම කථික ගුණය වර්ධනය කර ගැනීමට ඔබට වුවමනා වනු ඇත. එහි දී අප කථා කරන්නේ සංවාදයක විලාසයෙන් ය. ඔබේ කථාවට නිවැසියා බාධා නොකොට ඇහුම් කන් දීමට නම් සුදුසු විරාමයෙන් යුක්ත ව කථා කිරීමට ඔබට හැකි විය යුතු ය. එහෙත් කථා බහ කිරීමේ දී දක්ෂතාවයෙන් සහ ප්‍රවීණතාවයෙන් යුක්ත ව විරාමයන් යෙදීමට හැකි වීම, වේදිකාවේ සිට එය ක්‍රියාත්මක කිරීම තරම් අවශ්‍ය සහ ඵලදායක වන්නේ ය.
16 දේශනයක් කරන විට විරාමය යෙදීමේ දී මුහුණ පාන්නට සිදුවන එක් උග්‍ර ගැටලුවක් නම් කරුණු අධික වීමයි. මෙයින් වළකින්න. විරාමයන් සඳහා කාලය වෙන් කරන්න; ඒවා අත්‍යවශ්‍ය ය.
17-21. විරාම ලක්ෂණය සඳහා විරාමය යෙදීමේ වැදගත්කම පැහැදිලි කරන්න.
17 විරාම ලක්ෂණ සඳහා විරාමය. විරාම ලක්ෂණ සඳහා විරාමයෙන් අදහස් වන්නේ අදහස්වල පැහැදිලි බවත්; එකිනෙකට සම්බන්ධ අදහස් වෙන් කොට දැක්වීමත්; වාක්‍ය ඛණ්ඩත්; අන්තර් වාක්‍යයත්, වාක්‍යවල සහ ඡේදවල අවසානයන් දැක්වීමත් ය. බොහෝ විට මෙවැනි වෙනස්කම් කට හඬ උස් පහත් කිරීමෙන් පෙන්නුම් කළ හැක. එහෙත් කට වචනයෙන් කියන දේ විරාමයෙන් යුක්ත ව කීමෙන් වඩා සඵල කළ හැක. එමෙන් ම වාක්‍යය බෙදීම සඳහා යොදනු ලබන කොමාව (අල්ප විරාම ලක්ෂණය) සහ තිත් කොමාව (වාක්‍යය බෙදීමේ ලකුණ) යනාදි විරාම ලක්ෂණවල වැදගත්කම වෙනස් වන නිසා, ඒවායේ භාවිතයට අනුව විරාමය ද වෙනස් විය යුතු ය.
18 වැරදි තැන්වල විරාමය යෙදීමෙන් වාක්‍යයක අදහස සම්පූර්ණයෙන් ම වෙනස් කළ හැක. ලූක් 23:43 [NW] හි සඳහන් යේසුස් වහන්සේගේ වචන මෙයට උදාහරණයක් වශයෙන් ගත හැක. “සැබවක් ඔබට කියමි අද, ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහි ය.” මෙහි කොමාව හෝ විරාමය “කියමි” සහ “අද” අතරට දැමීමෙන් ප්‍රතිඵලය වන්නේ අදහස සම්පූර්ණයෙන් ම වෙනස් වීමයි. මෙම පදය පිළිබඳ ව අද සාමාන්‍යයෙන් පවතින වැරදි අර්ථ කථනය මෙයට සාක්ෂියකි. ඒ නිසා අරමුණු කර ගෙන සිටින අදහස ඉදිරිපත් කිරීම සඳහා නිවැරදි විරාමයන් යෙදීම අත්‍යවශ්‍ය ය.
19 කියවීමේ දී ඔබට හමු වන ලිඛිත විරාමයන් හිටිවන ලෙස කථා කිරීමේ දී වාචික ව යොදා ගැනීමට ද ඉගෙන ගන්න. කියවීමේ දී ඔබට නොසලකා සිටිය හැකි එක ම ලිඛිත විරාම ලක්ෂණය කොමාවයි. කොමාවක් ළඟ විරාමයක් තියෙනවා ද, නැද්ද යන්න පුද්ගලික ලෙස තීරණය කළ යුතු කරුණකි. එහෙත් තිත් කොමාව (වාක්‍යය බෙදීමේ ලකුණ), නැවතීමේ ලකුණු, උද්ධෘත පාඨ ලක්ෂණ මෙන් ම ඡේද වෙන් කිරීම යන සියල්ලක් ම පිළිපැදිය යුතු ය.
20 අත් පිටපතක් හෝ බයිබලයේ කොටසක් කියවීමේ දී, එය ලකුණු කර තබා ගැනීම ඔබට උපකාර විය හැක. වාක්‍ය ඛණ්ඩ දෙකක් අතර කෙටි විරාමයක් අවශ්‍ය වන සිරස් රේඛාවක් ද (සමහර විට සුළු නතර වීමක්); ඊට වඩා දිග විරාමයක් අවශ්‍ය වූ විට සිරස් රේඛා දෙකක් හෝ “X” ලකුණක් ඇඳ ගන්න.
21 අනෙක් අතට, ඔබ කියවීමට හුරු වී තිබෙන අන්දමට ඇතැම් වාක්‍යය ඔබට නුහුරු නිසා වැරදි තැන්වල විරාමය යොදන්නේ නම්, එක් වාක්‍ය ඛණ්ඩයක් සෑදෙන වචන සියල්ලක් ම පැන්සලකින් ලකුණු කර ගන්න. එවිට කියවීමේ දී මෙසේ ලකුණු කර ඇති වචන සමූහයේ අවසාන වචනයට පැමිණෙන තුරු ම නොනවත්වා කියවන්න. බොහෝ පළපුරුදු කථිකයෝ පවා මෙම ක්‍රමය පාවිච්චි කරති.
22-24. අදහස් වෙනස් වූ බව පෙන්නුම් කිරීමට විරාමය යෙදීම අවශ්‍ය වන්නේ මන්ද?
22 අදහස් මාරු වූ බව පෙන්වීමට විරාමය යෙදීම. විරාමය සමඟින් එක් අදහසකින් තවත් අදහසකට මාරු වීමෙන් අසන්නන්ට මෙනෙහි කිරීමට අවස්ථාවක් ලැබේ. මීට අමතර ව, එය වැරදි වැටහීම වළක්වයි. මනස සකස්වීමටත්, කථාවේ දිසාව වෙනස් වූ බවට හඳුනා ගැනීමටත්, ඉදිරිපත් කරනු ලබන නව අදහස වටහා ගැනීමටත් එය අවස්ථාව සපයයි. රිය පදවන්නා වාහන හැරවීමට රියේ වේගය අඩු කළ යුත්තාක් මෙන් ම, කථිකයාට ද නව අදහසකට මාරුවීමේ දී විරාමය යෙදීම වැදගත් ය.
23 හිටිවන කථාවක දී ප්‍රධාන අදහස් අතර විරාමය යෙදීමට ඉඩ සැලසෙන පරිදි කරුණු කටු සටහනක සංවිධානය කර ගත යුතු ය. මෙසේ කිරීම කථාවේ අඛණ්ඩතාවයට හෝ අනුසන්ධානයට හෙවත් ඒකාබද්ධතාවයට බාධාවක් වීමට අවශ්‍ය නැත, එහෙත් සුවිශේෂ කරුණක් උච්චාවස්ථාව දක්වා දියුණු කොට විරාමයක් යොදා නව අදහසකට පිවිසීමට හැකිවන පරිදි අදහස් ක්‍රමවත් ව සකස් කළ යුතු ය. අවශ්‍ය නම්, ඔබට මතක්වීම සඳහා එවැනි උච්චාවස්ථා සහ වෙනස්වීම ඔබේ කටු සටහනේ ම ලකුණු කර ගත හැක.
24 සාමාන්‍යයෙන් අදහස් වෙනස් වූ බව දැක්වීමට යොදන විරාමයන් විරාම ලක්ෂණ දැක්වීමට යොදන විරාමයන්ට වඩා දිග ය; එහෙත් දීර්ඝ විරාමයන් ප්‍රමාණයට වඩා වැඩි වුවහොත්, ඉදිරිපත් කිරීමේ වේගය අඩු වෙයි. එපමණක් නොව, එසේ කිරීමෙන් ඔබේ කථාවේ උජාරු ස්වරයක් තිබෙන බව පෙනෙන්ට පුළුවන.
25-28. කරුණක් අවධාරණය කිරීමටත් බාධක අවස්ථාවන්ට මුහුණ දීමටත් විරාමය උපකාර වන්නේ කෙසේ දැයි පෙන්වන්න.
25 අවධාරණය සඳහා විරාමය. අවධාරණය සඳහා යොදන විරාමය සාමාන්‍යයෙන් චමත්කාරය ඇති කරවන විරාමයකි. එය බලාපොරොත්තුව උපදවයි, එසේ නැත්නම්, අසන්නන්ට මෙනෙහි කිරීමට කාලය ලබා දෙයි.
26 වැදගත් කරුණක් ඉදිරිපත් කිරීමට කලින් විරාමය යෙදීම මගින් බලාපොරොත්තුව උපදවයි. එයින් පසු විරාමය යෙදීම මගින් ඉදිරිපත් කරනු ලැබූ අදහසේ වැදගත්කම අසන්නාට හොඳින් කාවැද්දීමට සලස්වයි. විරාමයේ මෙම භාවිතා දෙකෙහි ම අරමුණ එකක් නොවේ, ඒ නිසා සුවිශේෂ අවස්ථාවට ගැළපෙන්නේ කුමන එකක් ද කියා හෝ දෙක ම යොදා ගන්නවා ද කියා ඔබ ම තීරණය කළ යුතු ය.
27 අවධාරණය සඳහා විරාමය ඉතා වැදගත් ප්‍රකාශවලට පමණක් සීමා කළ යුතු ය, එසේ නොකළොත් එහි වටිනාකම නැති වනු ඇත.
28 අවස්ථාවට උචිත විරාමය. බාධාවන් නිසා කථාව තාවකාලික ව නතර කිරීමට කථිකයාට සිදු වෙයි. බාධාව උග්‍ර එකක් නොවේ නම් ශබ්දය වැඩි කොට නොනවත්වා කථා කිරීමට ඔබට හැකි වනු ඇත. සාමාන්‍යයෙන් කළ යුතු හොඳ ම දෙය ද එයයි. එහෙත් බාධාව ඔබේ කථාවට සම්පූර්ණ ලෙස බලපාන්නේ නම් එවිට ඔබ විරාමය යෙදිය යුතු ය. ඔබ මේ අන්දමින් දක්වන සැලකිල්ල සභාව අගය කරනු ඇත. එපමණක් ද නොව, තාවකාලික බාධාව ඔවුන්ගේ සිත වෙන දිසාවකට යොමු කරන නිසා බොහෝ විට ඔවුහු ඔබට කොහෙත් ම ඇහුම්කන් නොදෙති. ඒ නිසා ඔබ ඉදිරිපත් කරන හොඳ කරුණුවලින් සභාව සම්පූර්ණයෙන් ම ප්‍රයෝජන ලබා ගන්නා විධියට සඵල ලෙස විරාමය යොදා ගන්න.