ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 9 පාඩම 111 පි.-114 පි. 3 ¶
  • හඬ පාලනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හඬ පාලනය
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • අර්ථය අවධාරණය කිරීම සහ කට හඬ පාලනය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • හඬ පාලනය
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සුදුසු ශබ්දය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ශබ්දය සහ විරාමය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 9 පාඩම 111 පි.-114 පි. 3 ¶

පාඩම 9

හඬ පාලනය

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබේ කටහඬේ ස්වරය වෙනස් කරන්න. කතා කරන ශබ්දයේ, වේගයේ සහ තාරතාවේ වෙනස්වීම් මෙම පාඩමේදී සලකා බලනු ලැබේ.

එය වැදගත් වන්නේ මන්ද?

නිසි හඬ පාලනයක් කතාවක් ප්‍රාණවත් කරන අතර, හැඟීම් පුබුදුවාලමින්, ක්‍රියාවට පොලඹවයි.

හඬ පාලනයේ ඌනතාවක් ඇති විටෙක, ඔබේ විෂය ගැන ඔබට එතරම් උනන්දුවක් නැතැයි යන අදහස ලබා දිය හැක.

අර්ථය කාවැද්දීමේ ගුණය භාවිත කිරීම, ඔබට කීමට තිබෙන දේ තේරුම්ගැනීමට සබයකට රුකුලක් වේ. එනමුත්, ශබ්දය, වේගය සහ තාරතාව මනා විවිධත්වයකින් යොදාගන්නා විට, ඔබේ කතාවට සවන් දීම ඉතා මිහිරි අද්දැකීමක් විය හැක. ඊටත් වඩා වැදගත් කාර්යයක් ඉටු වේ. ඔබ පවසන දේ ගැන ඔබට හැඟෙන්නේ කෙසේද යන්න ගැන ඉන් සබයට යමක් කියාපායි. තොරතුරු සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පය, ඒ ගැන ඔවුන්ට ඇති වන හැඟීමට යම් අන්දමකින් බලපෑ හැකිය. ඔබ වේදිකාවේ සිට හෝ ක්ෂේත්‍ර සේවයෙහි පුද්ගලයෙකුට හෝ කතා කරන විට මෙය සැබෑවක් වේ.

මිනිසාගේ කටහඬ පුදුම දනවන්නකි. සුවිශේෂ විවිධත්වයකින් යුත් එය නිසි ලෙස භාවිත කළහොත්, කතාවකට ජීවයක් ගෙන දිය හැක. හදවතට තට්ටු කළ හැක. හැඟීම් කැලතිය හැක. එමෙන්ම ක්‍රියාවටද පෙලඹවිය හැක. කෙසේවෙතත්, ශබ්දය වෙනස් කළ යුතු තැන්, කතාවේ වේගය සකස් කරගත යුතු තැන් හෝ තාරතාව උස් පහත් කළ යුතු තැන් ඔබේ සටහන්වල නිකම්ම සලකුණු කිරීමෙන් මෙවැන්නක් ඉටු කරගත නොහැකිය. මෙලෙස යම් සලකුණු කිහිපයකට අනුව හඬ පාලනය කිරීමට වෑයම් කළහොත්, යම් අස්වාභාවික ගතියක් දක්නට ලැබෙනු ඇත. එය ඔබේ ඉදිරිපත් කිරීම වර්ණවත් කරමින් ඊට ජීවයක් ලබා දෙනවා වෙනුවට, ඔබේ සබය යම් අපහසුතාවකට පත් කරනු ඇත. නිසි ලෙස හඬ පාලනය කිරීම නික්මෙන්නේ ඔබේ හදවතින්ය.

ඥානවන්තව හඬ පාලනය කරන විට, එමගින් කථිකයා වෙතට අනවශ්‍ය ලෙස අවධානය ඇදගනු ලබන්නේ නැත. ඒ වෙනුවට සාකච්ඡා කරනු ලබන විෂයේ නියම සාරය හොඳින් ග්‍රහණය කරගැනීමට සබයට එය උපකාරයක් වේ.

ශබ්දය සකස් කරගන්න. ඔබේ මුවින් පළ වන අදහස්වලට යම් විවිධත්වයක් ගෙන දිය හැකි එක් ක්‍රමයක් නම්, ඔබේ හඬේ ශබ්දය වෙනස් කිරීමයි. එනමුත් යම් නිරස, ඒකාකාරි බවකින් ශබ්දය අඩු වැඩි කිරීම මින් අදහස් වන්නේ නැත. ඔබ පවසන දෙයෙහි අර්ථය මින් විකෘති වනවාට සැකයක් නැත. නිතරම ඔබේ ශබ්දය වැඩි කළහොත්, යම් අප්‍රසන්න බවක් සබයට දැනෙනු ඇත.

ඔබේ හඬේ ශබ්දය තොරතුරුවලට අනුකූල විය යුතුය. එළිදරව් 14:6, 7හි හෝ එළිදරව් 18:4හි ඇති අන්දමට යම් හදිසි ආඥාවක් හෝ නික්මයාම 14:13, 14 දකින පරිදි ප්‍රබල විශ්වාසයක් මුසු ප්‍රකාශයක් හෝ කියවනවා නම්, ඒ එක් එක් අවස්ථාවට අනුව ඔබේ හඬේ ශබ්දය වෙනස් කිරීම නුවණට හුරුය. එසේ නැතහොත්, යෙරෙමියා 25:27-38හි දකින පරිද්දෙන්, බයිබලයෙන් ඉතා ප්‍රබල විනිශ්චයේ පණිවිඩයක් කියවනවා නම්, ඔබේ ශබ්දය වෙනස් කිරීමෙන්, ඇතැම් යෙදුම් පාඨයේ අනික් වචනවලට වඩා උලුප්පා දැක්වීමට ඔබ සමත් වනු ඇත.

ඔබේ අරමුණුද සලකා බැලිය යුතුය. ඔබ උත්සාහ කරන්නේ සබය ක්‍රියාවට පෙලඹවීමටද? එසේ නැතහොත් ඔබේ අභිප්‍රාය වන්නේ ඉදිරිපත් කරන තොරතුරුවල මූලික කරුණු කැපීපෙනෙන්නට සැලැස්වීමද? මෙවැනි ඉලක්ක ඉටු කරගැනීමට නම් තැනට සුදුසු නුවණ යොදාගනිමින් හඬේ ශබ්දය වැඩි කිරීම උපකාරවත් වේ. කෙසේවෙතත්, ඔබේ ශබ්දය නිකම්ම වැඩි කිරීමෙන් ඔබේ අරමුණු ඉටු කරගත නොහැකිය. ඒ මන්ද? සමහරවිට අවශ්‍ය වන්නේ ඔබ පවසන දේ ශබ්ද නඟා කියනවා වෙනුවට, උණුසුම්භාවයකින් හා හැඟීමකින් පැවසීම විය හැක. මෙම කරුණ 11වන පාඩමේදී සාකච්ඡා කරනු ඇත.

ස්ථානෝචිත ප්‍රඥාව ඇතුව ඇතැම් අවස්ථාවලදී ශබ්දය මදක් අඩු කළහොත් සබය තුළ ඊළඟට කීමට තිබෙන දේ සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් ජනිත කළ හැක. එනමුත්, ඉන්පසු වහාම කටහඬේ තීව්‍රතාව තවත් වැඩි කළ යුතුය. යම් කාන්සාවක් හෝ බියක් ප්‍රකාශ කිරීමට ශබ්දය අඩු කොට, හඬේ තීව්‍රතාව වැඩි කළ හැකිය. අනික් අතට, ඒ මොහොතේ කියන දේ කලින් පැවසූ අනික් දේවලට සාපේක්ෂව වැදගත්කමින් අඩු බව දැක්වීමට පවා ශබ්දය අඩු කොට කතා කළ හැකිය. කෙසේවෙතත්, ඔබ සෑම විටකම කතා කරන්නේ පහත් හඬකින් නම්, යම් අවිනිශ්චිතභාවයක් හෝ අවිශ්වාසයක් ඔබට ඇති බව නැතහොත් ඔබේ විෂය ගැන ඔබට එතරම් උනන්දුවක් නැති බව ඇඟවිය හැක. මින් පැහැදිලි වන්නේ කටහඬ පහත් කර කතා කළ යුත්තේ තැනට ඔබින නුවණකින් යුතුව බවය.

කතා කරන වේගය වෙනස් කරන්න. දෛනික කතා බහේදී අප අපගේ අදහස් පළ කරද්දී වචන කිසිදු ආයාසයකින් තොරව පිට වන්නේ කරාමයකින් ජලය ගලා එන්නාක් මෙනි. අප උද්‍යෝගයෙන් සිටින විට, වේගයෙන් කතා කිරීමට නැඹුරුවාවක් දක්වමු. අප පවසන දේ අන් අය හොඳින් මතක තබාගන්නවාට අප කැමති නම්, අප කතා කරන්නේ වඩාත් සෙමින්ය.

කෙසේවෙතත්, නවක කථිකයන් වැඩිදෙනා කතා කරන වේගය වෙනස් කරන්නේ නැත. ඒ මන්ද? ඊට හේතුව පවසන සෑම වචනයක්ම ඔවුන් ඉතා පරෙස්සමින් සූදානම් කරගන්නා නිසාය. ඇත්තෙන්ම ඔවුන් සෑම දෙයක්ම ලේඛනයක් සේ ලියාගෙන තිබෙනවා විය හැක. කොහොම නමුත්, කතාව ලේඛන පිටපතක් ඇසුරෙන් නොදෙන අවස්ථාවලදී පවා ඔවුන් සෑම වචනයක්ම පාහේ කටපාඩම් කර තිබෙන්නට පුළුවන. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කතාව සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරන්නේ ඒකාකාර වේගයකිනි. මෙම දුර්වලකම නිවැරදි කරගැනීමට මඟ වන්නේ දළ සටහනක් ඇසුරෙන් කතාවක් දීමට ඉගෙනගැනීමයි.

හෙමින් සීරුවේ පියමං කරන පූසෙක් බල්ලෙකු දකින විට ප්‍රතික්‍රියා කරන අන්දම අප කවුරුත් දැක ඇති. ඔබේ කතාවේ වේගය එලෙස වෙනස් නොකිරීමට ඔබ වගබලා ගත යුතුය. අනික් අතට, ඔබේ කතාවේ පැහැදිලිකම පරදුවට තබා අධි වේගයකින් කතා නොකරන්න.

ඔබ කතා කරන වේගයෙහි යම් විවිධත්වයක් ඇති කිරීමට මාරුවෙන් මාරුවට යාන්ත්‍රිකව ඔබේ කතාවේ වේගය අඩු වැඩි නොකරන්න. එසේ කළහොත් ඔබ ඉදිරිපත් කරන තොරතුරු ඔපවත් වෙනවා වෙනුවට එවන් විලාසයක් සබය තුළ යම් නිරස ගතියක් දැනෙන්නට සැලැස්විය හැක. ඔබේ කතාවේ වේගය වෙනස් කළ යුත්තේ ඔබ පවසන දෙයට අනුවය. එය ඔබ සබය තුළ ජනිත කිරීමට උත්සාහ කරන හැඟීම හා ඔබේ කතාවේ අරමුණ හා බැඳී පවතී. කතාව සාමාන්‍ය වේගයකින් ඉදිරිපත් කරන්න. යම් උද්‍යෝගයක් දැක්වීමට, එදිනෙදා කතා බහේදී කරන්නාක් මෙන් වේගය වැඩි කර කතා කරන්න. එතරම් වැදගත්කමක් උසුලන්නේ නැති තොරතුරු හෝ කරුණු විස්තර කරද්දී ඒවා ඉක්මනින් පියවීම යෝග්‍යය. මෙය ඔබේ කතාවට විවිධත්වයක් මුසු කර දෙන අතර, කතාව ඉතා ගම්භීර එකක් සේ දිස් වන්නේ නැත. අනික් අතට, බැරෑරුම් තර්කයන්, මූලික කරුණු සහ ඇතැම් උච්චාවස්ථාවන් ඉදිරිපත් කරද්දී වඩා අඩු වේගයකින් කතා කිරීම යෝග්‍ය වේ.

ඔබේ කටහඬේ තාරතාව වෙනස් කරන්න. යමෙකු සංගීත භාණ්ඩයක් එකම ස්වරයෙන් පැයකට පමණ වාදනය කරනවායයි සිතන්න. මුලදී ශබ්දය වැඩි කර වාදනය කරයි. පසුව ශබ්දය අඩු කරයි. ඇතැම්විට වේගයෙන් වාදනය කරයි. තවත් අවස්ථාවලදී හෙමින් වාදනය කරයි. එනමුත් ශබ්දයේ සහ වේගයේ වෙනසක් දක්නට ලැබුණත්, තාරතාවේ (ස්වරයේ උස් පහත් වීමේ) කිසිදු වෙනසක් දක්නට නොලැබේ. ඒ “සංගීතය” ඉතා මිහිරියි කියා සැලකිය හැකිද? මේ හා සමානව අපගේ කටහඬේ තාරතාව වෙනස් කළේ නැත්නම්, අපගේ කතාව වෙනත් අයගේ සවන්වලට මිහිරි එකක් වේවි කියා සිතිය නොහැක.

තාරතාවේ වෙනසක් කිරීමේ බලපෑම සෑම භාෂාවකදීම එක සමාන නොවන බව සැලකිල්ලට ගත යුතුය. නිදසුනකට, චීන වැනි තානික (tonal) භාෂාවක ශබ්දයක හෝ වචනයක තාරතාව වෙනස් කිරීමෙන් එහි තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක. කෙසේවෙතත්, එවැනි භාෂාවක පවා තම මුවින් ප්‍රකාශ වන දේවලට විවිධත්වයක් ලබා දීමට පුද්ගලයෙකුට යම් යම් දේවල් කළ හැකිය. විවිධ තානවලට (tones) අනුව කතා කරද්දී අවශ්‍ය මට්ටම රඳවාගනිමින්, ඔහුට තම කටහඬේ ශබ්ද පරාසයට විවිධත්වයක් දීමට උත්සාහ දැරිය හැක. මේ අනුව උච්ච තාන තවත් උච්ච ආකාරයකින්ද, පහත් තාන තවත් පහත් හඬකින්ද ශබ්ද කිරීමට ඔහුට පුළුවන.

තානික නොවන භාෂාවල පවා අදහස වෙනස් කිරීමට තාරතාවේ වෙනසක් බලපෑ හැක. නිදසුනකට, අර්ථය කාවැද්දීම සඳහා තාරතාව මදක් වැඩි කරමින් ශබ්දය ඒ හා සමානව වැඩි කොට යමක් පැවසිය හැක. එසේ නැතහොත්, තාරතාව වෙනස් කිරීමෙන් යමක ප්‍රමාණය හෝ දුර දැක්වීමට පුළුවන. වාක්‍යයක අවසානයේදී ශබ්දය උස් කිරීමෙන් එය ප්‍රශ්නයක් බව දක්වන්නට පුළුවන. ඇතැම් භාෂාවලදී ඒ සඳහා ශබ්දය පහත් කළ යුතු වේ.

උද්වේගය සහ උද්‍යෝගය තාරතාවෙන් වැඩි කටහඬකින් ප්‍රකාශ කළ හැකිය. (මේ සඳහා තානික භාෂාවක නම්, වචන ශබ්ද කරන විට කටහඬෙන් නික්මෙන ස්වරවල විවිධත්වය පුළුල් කළ යුතුය.) දුක හෝ කනස්සල්ල පළ කිරීමට කටහඬේ තාරතාව අඩු කිරීමට සිදු විය හැක. (මේ සඳහා තානික භාෂාවක නම්, වචන ශබ්ද කරන විට කටහඬෙන් නික්මෙන ස්වරවල විවිධත්වය සීමා කළ යුතුය.) මෙහිදී සඳහන්ව ඇති චිත්තවේගයන් කථිකයාට හදවත ස්පර්ශ කිරීමට ඉවහල් වන ඒවාය. මෙවැනි චිත්තවේගයන් පළ කිරීමට අවශ්‍ය වන විට නිකම්ම අදාළ වචන පමණක් පවසන්න එපා. ඒ වචනවල මුසු වී ඇති හැඟීම් ඔබට දැනෙන බව අඟවමින් ඔබේ කටහඬ භාවිත කරන්න.

අත්තිවාරමක් දැමීම. එසේ නම්, හඬ පාලනය ඇරඹෙන්නේ කොහෙන්ද? ඔබේ කතාවට අවශ්‍ය තොරතුරු තෝරාගැනීමේදීය. ඔබේ කතාවේ තිබෙන්නේ තර්ක පමණක් නම්, එසේ නැතහොත් අවවාද පමණක් නම්, ඔබේ ඉදිරිපත් කිරීමට යම් විවිධත්වයක් දීමට ප්‍රස්තාවක් නොලැබේ. එමනිසා, ඔබේ දළ සටහන හොඳින් විග්‍රහ කොට සබයට ප්‍රයෝජනවත් තොරතුරුවලින් පිරි සාර්ථක කතාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය සංඝටක ඔබ සතුව තිබෙන බව සහතික කරගන්න.

ඔබ කතාවේ මැදට එද්දී එය නිරස ලෙස ඇදෙනවායයි සිතමු. ඔබට අවශ්‍ය වන්නේ ඊට යම්කිසි විවිධත්වයක් දීමයි. කළ හැක්කේ කුමක්ද? ඔබේ තොරතුරු ඉදිරිපත් කරන අන්දම වෙනස් කරන්න. ඒ කෙසේද? නිකම්ම එක දිගට කතා කරන්නේ නැතුව බයිබලය විවෘත කර, ඔවුන්ගේ බයිබල් විවෘත කරන මෙන් සබයයෙන්ද ඉල්ලා, ශුද්ධ ලියවිලි පදයක් එකට කියවීමෙනි. එසේ නැතහොත්, වාක්‍යයක් ලෙස පවසන යම්කිසි දෙයක් ප්‍රශ්නයක් හැටියට අසා එය අවධාරණය කිරීමට විරාමයක් දෙන්න. සරල උපහැරණයක්ද ඇතුළත් කරන්න. අද්දැකීම් ලත් කථිකයන් සාමාන්‍යයෙන් භාවිත කරන්නේ මෙවැනි ක්‍රමයි. කෙසේවෙතත්, ඔබට අඩු හෝ වැඩි අද්දැකීම් තිබුණත් ඔබේ තොරතුරු සූදානම් කරද්දී ඒ හා සමාන අදහස් ප්‍රායෝගිකව යොදාගත හැකි වේ.

හඬ පාලනය කතාවක් රසවත් කරයි කියා පැවසිය හැක. එය නිවැරදි ආකාරයට, නියමිත ප්‍රමාණයකට අනුව කළහොත්, ඔබේ තොරතුරුවල නියම රසය උලුප්පා දැක්විය හැකි අතර, එය ඔබේ සබයේ ඉමහත් සතුටට හේතුවක් වනු ඇත.

එය කරන්නේ කෙසේද?

  • ශබ්දය වෙනස් කරන්න. හදිසිතාවක් අඟවන යම් ආඥාවක්, දැඩි විශ්වාසයක් හෝ හෙළාදකිනසුලු යම් විනිශ්චයේ ප්‍රකාශයක් ඉදිරිපත් කරද්දී එසේ කරන්න. ඔබේ කතාවේ ශබ්දය වැඩි කොට කතා කළ යුතු තැන් මොනවාදැයි හඳුනාගෙන ඒවා ගැන මෙනෙහි කිරීමට කාලය ගන්න.

  • වේගය වෙනස් කරන්න. වැදගත්කමින් අඩු කරුණු පියවද්දී වැඩි වේගයකින් කතා කිරීමෙන් හා බැරෑරුම් තර්ක සහ මූලික කරුණු සලකා බලද්දී හෙමින් කතා කිරීමෙන් වේගය වෙනස් කරන්න. උද්වේගකාරි හැඟීම් පළ කිරීමේදී වේගයෙන් කතා කරන්න.

  • තාරතාව වෙනස් කරන්න. යෝග්‍ය නම්, චිත්තවේගයන් සහ හදවත ස්පර්ශ කිරීමට තාරතාව වෙනස් කරන්න. තානික භාෂාවක නම් එසේ කරන්නේ ඔබේ කටහඬේ ස්වරවලට දෙන විවිධත්වය පුළුල් කිරීමෙන් හෝ සීමා කිරීමෙනි

  • හඬ පාලනයට මුල් වන්නේ ඔබේ කතාවට තෝරාගන්නා තොරතුරුය.

අභ්‍යාස: (1) තනිව 1 සාමුවෙල් 17:17-53 දක්වා කියවන්න. එසේ කරන අතරතුරේදී ශබ්දයේ, වේගයේ සහ තාරතාවේ උචිත වෙනස්කම් දැක්විය හැකි අවස්ථා සලකුණු කරන්න. අනතුරුව, අන්තයට නොගොස් හැඟීම් ප්‍රකාශ වන අයුරින් ඒ කොටස නැවත ශබ්ද නඟා කියවන්න. මෙය කිහිප වතාවක් කරන්න. (2) ඔබේ කටහඬෙහි යම් නම්‍යශීලීභාවයක් ප්‍රවර්ධනය කරගැනීමට 1 සාමුවෙල් 17:48-51 දක්වා පද හැකි තරම් වේගයකින් කියවන්න. කෙසේවෙතත්, වචන අත් නොහැර එසේ කිරීමට බලන්න. පැහැදිලිව වචන ශබ්ද කිරීමේ ගුණය පරදුවට නොතබමින්, එය නැවත නැවතත් කියවන්න. කියවන සෑම අවස්ථාවකදීම ඔබේ වේගය වැඩි කිරීමට බලන්න. ඊළඟට ඒ තොරතුරු හැකි තරම් හෙමින් කියවන්න. වචන හොඳින් ශබ්ද කරන්න. ඉන්පසුව, එක් වතාවක් වේගයෙන් කියවන්න. අනික් වතාවේදී සෙමින් කියවන්න. එසේ කරන විට ඔබේ කටහඬ ඔබට රිසි පරිද්දෙන් හැසිරවිය හැකි වේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න