ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 8 පාඩම 107 පි.-110 පි. 2 ¶
  • සුදුසු ශබ්දය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සුදුසු ශබ්දය
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • ශබ්දය සහ විරාමය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • හඬ පාලනය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • තොරතුරු බරිත කරුණු පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • හඬ පාලනය
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 8 පාඩම 107 පි.-110 පි. 2 ¶

පාඩම 8

සුදුසු ශබ්දය

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබේ කටහඬට නිසි ප්‍රබලත්වයක් නැතහොත් තීව්‍රතාවක් දෙමින් කතා කරන්න. සුදුසු ශබ්දය කුමක්දැයි තීරණය කරද්දී, (1) ඔබේ සබයේ සිටින සංඛ්‍යාව හා සිටින්නේ කොයි ආකාරයේ අයද, (2) බාධාවට හේතු විය හැකි ශබ්ද, (3) සාකච්ඡා කරනු ලබන තොරතුරු සහ (4) ඔබේ පරමාර්ථය සලකා බලන්න.

එය වැදගත් වන්නේ මන්ද?

අන් අයට පැහැදිලිව ඔබේ කටහඬ නොඇසේ නම්, ඔවුන්ගේ සිත් එහෙ මෙහෙ දිව යා හැකි අතර ඔබ ඉදිරිපත් කරන තොරතුරු පැහැදිලිව තේරුම්ගැනීමට ඔවුන් අසමත් වනු ඇත. වැඩි ශබ්දයකින් කතා කරනවා නම්, අසා සිටින අයට එය කන්දොස්කිරියාවක් විය හැක. ඇතැම් රටවලදී එය අගෞරවනීය දෙයක් හැටියට පවා සලකන්නට ඉඩ තිබේ.

ප්‍රසිද්ධ කථිකයෙකු ප්‍රමාණවත් ශබ්දයකින් කතා කරන්නේ නැත්නම්, සබයේ ඇතැම් අයට නිදිබර ගතියක් දැනෙන්නට පුළුවන. ප්‍රචාරකයෙක් ක්ෂේත්‍ර සේවයේදී ඉතා පහත් කටහඬකින් කතා කරයි නම්, නිවැසියාගේ අවධානය ඔහු කියන දේට යොමු කරවා තබාගැනීම අසීරු කාර්යයක් විය හැක. රැස්වීම්වලදී සබයේ අය ප්‍රමාණවත් ශබ්දයකින් කතා නොකර අදහස් දක්වන විට, පැමිණ සිටින අය එම අදහස්වලින් අවශ්‍ය දිරිගැන්වීමක් ලබන්නේ නැත. (හෙබ්‍රෙ. 10:24, 25) අනික් අතට, කථිකයා නුසුදුසු අවස්ථාවන්හිදී තම ශබ්දය වැඩි කරයි නම්, සබය අපහසුතාවකට ලක් විය හැකි අතර ඔවුන් තුළ නොසන්සුන්තාවක් පවා ඇති කරන්නට පුළුවන.—හිතෝ. 27:14.

ඔබේ සබය සැලකිල්ලට ගන්න. ඔබ කතා කරන්නේ කාටද? එක පුද්ගලයෙකුටද? පවුලකටද? ක්ෂේත්‍ර සේවය සඳහා රැස් වෙන කුඩා කණ්ඩායමකටද? මුළු සභාවටමද? එසේ නැතහොත් සමුළුවකදී රැස්ව ඇති විශාල සෙනඟකටද? පැහැදිලි වන එක් දෙයක් නම්, එක්තරා අවස්ථාවකදී භාවිත කරන ශබ්දය වෙනත් අවස්ථාවකදී යෝග්‍ය නොවිය හැකි බවය.

අවස්ථා කිහිපයකදී දෙවිගේ සේවකයෝ විශාල සමූහයන් ඉදිරියෙහි කතා කළෝය. සාලමොන්ගේ පාලන සමයේ යෙරුසලමෙහි දේවමාළිගාව කැප කළ අවස්ථාවේදී ශබ්ද විකාශන යන්ත්‍ර තිබුණේ නැත. එමනිසා සාලමොන් වේදිකාවක සිටගෙන “මහත් හඬින්” ජනතාවට ආශීර්වාද කළේය. (1 රාජා. 8:55; 2 ලේක. [2 වංශා.] 6:13; න. අ.) සියවස් ගණනාවකට පසුව, පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්මය වගුරුවනු ලැබුවායින් පසු, යෙරුසලමෙහි සිටි කුඩා ක්‍රිස්තියානීන් කණ්ඩායම වටා විශාල සමූහයක් එක්රොක් වූහ. සමහරෙකු එසේ එක්රොක් වූයේ උනන්දුව නිසාය. තවත් අය එසේ කළේ සරදමට මෙනි. කෙසේවෙතත්, ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා කළ පේතෘස්, “නැගිට ශබ්ද නඟා” ඔවුන්ට කතා කළේය. (ක්‍රියා 2:14) ඔව්, එහි ප්‍රතිඵලයක් ලෙස බලගතු සාක්ෂියක් දෙන ලදි.

යම් අවස්ථාවකදී ඔබ භාවිත කරන ශබ්දය ගැළපෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට ඔබට හැකි වන්නේ කෙසේද? හොඳම දේ නම් සබයේ ප්‍රතික්‍රියාවට සාවධානව සිටීමයි. සබයේ ඇතැම් අය සවන් දීමට දැඩි වෙහෙසක් දරන බව ඔවුන්ගේ ඉරියව්වලින් පෙනේ නම්, ඔබේ ශබ්දය වෙනස් කිරීමට උත්සාහයක් දැරීම යහපති.

අප පුද්ගලයෙකුට කතා කළත් කණ්ඩායමකට කතා කළත්, ඔවුන් කවර අන්දමේ අයද යන්න සලකා බැලීම නුවණට හුරුය. යමෙකු ශ්‍රවණාබාධයකින් පෙළෙනවා නම්, ඔබේ කටහඬේ ශබ්දය වැඩි කිරීමට සිදු විය හැක. කෙසේවෙතත්, වයෝවෘද්ධ අය මදක් හෙමින් ප්‍රතිචාරය දැක්වූ පළියට ශබ්ද නඟා කතා කිරීම ඔවුන්ගේ සතුටට හේතුවක් නොවන බව මතක තබාගත යුතුය. ඇත්තෙන්ම එය ඔවුන්ට කරන අගෞරවයක් හැටියට පවා සැලකීමට ඉඩ ඇත. ඇතැම් සංස්කෘතීන්වල පමණ ඉක්මවා ශබ්ද නඟා කතා කිරීම කෙනෙකු කෝපයෙන් සිටින බවට හෝ නොඉවසිලිමත්ව සිටින බවට සාක්ෂියක් ලෙස සැලකේ.

බාධාවක් ඇති කළ හැකි ශබ්ද සැලකිල්ලට ගන්න. ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වන විට, සාක්ෂියක් දැරීමට කොපමණ ශබ්ද නඟා කතා කරනවාද යන්න තීරණය කරන්නේ කෙසේද? මෙහිදී ඔබ අවට මුහුණ දීමට සිදු වන තත්වයන් බෙහෙවින් බලපායි. වාහනවලින් නිකුත් වන ශබ්දය, අසංවර ළමුන්ගේ ඝෝෂාව, බුරන බල්ලන්, මහා හඬින් නාද වන සංගීතය හෝ රූපවාහිනිය වැනි බාධාවන්වලට මුහුණ දීමට සිදු විය හැක. අනික් අතට, නිවාස එකිනෙකට ළංව පිහිටා ඇති ප්‍රදේශවල අසල්වාසීන්ගේ අවධානය ඇදගන්නා පරිද්දෙන් ශබ්ද නඟා කතා කිරීම නිවැසියාට බාධාවක් විය හැක.

සභාවක හෝ සමුළුවලදී කතා දීමට සිදු වන සහෝදරයන්ටද විවිධාකාර තත්වයන්ට අනුව හැඩගැසී කටයුතු කිරීමට සිදු වෙයි. එළිමහනේ සිටින සබයකට කතා කිරීමට වඩා කදිම ලෙස ඇසිය හැකි ශාලාවක කතාවක් ඉදිරිපත් කිරීම ඉඳුරාම වෙනස් අද්දැකීමකි. ලතින් අමෙරිකාවේ සිදු වූ මේ දෙය සලකා බලන්න. උනන්දුව දක්වන කෙනෙකුගේ ගෙමිදුලේ මිෂනාරිවරුන් දෙදෙනෙක් ප්‍රසිද්ධ කථාවක් දෙමින් සිටියහ. ඒ අවස්ථාවේදී ළඟපාත ටවුමේ තිබූ ඝෝෂාකාරි ගිනි කෙළි ප්‍රදර්ශනය හා අහළ පහළ නිරන්තරයෙන්ම හඬලමින් සිටි කුකුළා ඔවුන්ට බාධා වූ සැටි ඔබට සිතාගත හැකියි!

කතාවක් දෙන අතරතුරේදී යම්කිසි බාධාවක් ඇති විය හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන් බාධාවට හේතු වූ දේ නතර වන තෙක් මද විරාමයක් ගැනීම හෝ ශබ්දය වැඩි කර කතා කිරීම හෝ අවශ්‍ය වේ. නිදසුනකට, රැස් වන ස්ථානය ටකරම් තහඩුවලින් සෙවලි කර ඇත්නම්, හදිස්සියේ ඇදහැලෙන වර්ෂාවක් නිසා සබයට කථිකයා පවසන දේ සම්පූර්ණයෙන්ම පාහේ නොඇසිය හැක. කුඩා දරුවෙකු යටිගිරියෙන් කෑ ගැසීම එසේ නැතහොත් ප්‍රමාද වී පැමිණෙන අය නිසා යම් බාධාවන් ඇති විය හැක. මෙවැනි අවස්ථාවලට මුහුණ දීම අභියෝගයක් වනවාට සැකයක් නොමැත. ඔබ ඉදිරිපත් කරන තොරතුරුවලින් සබයට උපරිම ප්‍රයෝජන නෙළාගත හැකි වන පරිද්දෙන් මෙවැනි බාධා අබිබවා කටයුතු කිරීමට ඉගෙනගන්න.

ශබ්ද විකාශන යන්ත්‍ර ඇත්නම් එය ප්‍රයෝජනයක් වනවාට සැකයක් නැත. කෙසේවෙතත්, ශබ්ද විකාශන යන්ත්‍ර තිබූ පමණින් කථිකයාට අවස්ථානුකූලව තම ශබ්දය වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැතැයි සිතිය නොහැක. විදුලි බලය නිතරම පාහේ ඇණ හිටින ප්‍රදේශවල මයික්‍රෆෝනයක ආධාරය නොමැතිව තම කතාව දිගටම ඉදිරිපත් කිරීමට කථිකයන්ට සිදු වේ.

සාකච්ඡා කරනු ලබන තොරතුරු සලකා බලන්න. භාවිත කළ යුතු ශබ්දයට බලපාන තවත් දෙයක් වන්නේ ඔබේ කතාවේ අඩංගු තොරතුරුවල දක්නට ලැබෙන මුහුණුවරයි. විෂය ප්‍රබලව ඉදිරිපත් කළ යුතු නම්, ඉතා පහත් කටහඬකින් කතා කර ඔබේ ඉදිරිපත් කිරීම බාල නොකරන්න. නිදසුනකට, ශුද්ධ ලියවිල්ලෙන් ඇතැම් විනිශ්චයමය පණිවිඩ කියවන විට ඔබේ කටහඬේ ශබ්දය ප්‍රබල විය යුතුය. අනික් අතට, ප්‍රේමය පෙන්වීම පිණිස උපදෙස් සඳහන් කොටසක් කියවන විට භාවිත කරන කටහඬෙන් පිළිබිඹු විය යුත්තේ මුදු මොළොක් ගතියකි. එමනිසා, තොරතුරුවලට අනුව ඔබේ කටහඬේ ශබ්දය සකස් කරගන්න. එනමුත්, ඔබ වෙත අනවශ්‍ය අවධානයක් ඇදගන්නා අන්දමකින් එසේ නොකිරීමට වගබලා ගන්න.

ඔබේ පරමාර්ථය සලකා බලන්න. ඔබේ අභිප්‍රාය ජ්වලිත සේවයක් කිරීමට ඔබේ සබය පෙලඹවීම නම්, යම් දුරකට ඔබේ ශබ්දය ප්‍රබල විය යුතුය. අනික් අතට ඔබ අදහස් කරන්නේ ඔවුන් කල්පනා කරන අන්දමෙහි යම් වෙනසක් කිරීමට නම්, අධික ශබ්දයකින් කතා කරමින් ඔවුන්ව ඔබෙන් දුරස් නොකිරීමට වගබලා ගන්න. සබයට යම් සැනසීමක් ලබා දීමට ඔබ උත්සාහ කරනවා නම්, සාමාන්‍යයෙන් එසේ කිරීමට මුදු මොළොක් කටහඬක් යෝග්‍යය.

ශබ්දය වැඩි කිරීමේ කාර්යය බලපෑමෙන් යුක්තව යොදාගැනීම. සාමාන්‍යයෙන් කඩිසරව යම් වැඩක නියැලී සිටින කෙනෙකුගේ අවධානය ඇදගැනීමට ශබ්දය වැඩි කර කතා කිරීම උපකාරවත් වේ. මෙය දෙමාපියන් හොඳින් දන්නා කරුණකි. එළියේ හෝ වත්තේ සෙල්ලම් කරන දරුවන්ට තම සෙල්ලම නතර කර ගෙතුළට එන්න කියා පවසද්දී ඔවුහු සාමාන්‍යයෙන් කෑගසා නැතහොත් ශබ්දය වැඩි කර කතා කරති. සභා රැස්වීමකදී හෝ එක්රැස්වීමකදී, රැස්වීමේ හෝ සැසිවාරයේ ආරම්භය සඳහා සියලුදෙනාගේ අවධානය ලබාගැනීම සඳහා සභාපතිට ශබ්ද නඟා කතා කිරීමට සිදු විය හැක. ප්‍රචාරකයන් ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වන විට, එළිමහනේ වැඩ කරන අයට ශබ්ද නඟා ආචාර කරමින් ඔවුන් වෙතට පිවිසෙන්නට පුළුවන.

කෙනෙකුගේ අවධානය ලබාගත්තායින් පසුව පවා, ශබ්දය සමබරව දිගටම පවත්වාගෙන යෑම වැදගත්ය. ඉතා අපැහැදිලි කටහඬකින් කියාපාන්නේ කථිකයා සූදානම් වී නැති බවයි. එසේ නැතහොත් පවසන දේ සම්බන්ධයෙන් තමාට එතරම් විශ්වාසයක් නොමැති බවයි.

ශබ්ද නඟා යම් නියෝගයක් දීම පුද්ගලයන්ව ක්‍රියාවට පෙලඹවිය හැක. (ක්‍රියා 14:9, 10) ඒ හා සමානව, ශබ්ද නඟා යමක් විධාන කිරීමෙන් යම් අනතුරක් වළක්වාගැනීමට පවා පුළුවන. පිලිප්පියෙහි සිරගෙයි මුලාදෑනියෙකු සිය දිවි හානි කරගැනීමට සැරසුණේ තම භාරයේ සිටින සියලුම සිරකරුවන් පැන ගොස් ඇතැයි සිතාගෙන සිටි නිසාය. කෙසේවෙතත්, “පාවුල් කතාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝම මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය.” ප්‍රතිඵලයක් වශයෙන්, සිය දිවි හානි කරගැනීමක් මඟහරවා ගත හැකි විය. අනතුරුව, පාවුල් සහ සීලස් එම මුලාදෑනියාට සහ ඔහුගේ පවුලට සාක්ෂි දැරූ විට, ඔවුන් සැවොම සත්‍යය පිළිගත්තෝය.—ක්‍රියා 16:27-33.

ඔබේ ශබ්දය දියුණු කරගත හැකි අන්දම. සුදුසු ශබ්දයක් භාවිත කළ යුතු අන්දම ගැන ඉගෙනීමට ඇතැම් අය සාමාන්‍යයට වඩා වැඩි උත්සාහයක් දැරිය යුතුය. යමෙකු අඩු ශබ්දයකින් කතා කරනවා විය හැක්කේ, ඔහුට දුර්වල කටහඬක් තිබෙන නිසාය. කෙසේවෙතත්, ඔහුට මෘදු කටහඬක් තිබුණත්, වෑයමක් දැරුවොත් ඔහුට දියුණු විය හැක. ඔබ හුස්ම ගන්නා ආකාරයට හා සිටින ඉරියව්ව ගැන සැලකිලිමත් වන්න. ඍජුව අසුන් ගැනීමට හා සිටගෙන සිටීමට පුරුදු වන්න. උරහිස් කෙළින් තබාගෙන ගැඹුරින් හුස්ම ගන්න. ඔබේ පෙණහලු සම්පූර්ණයෙන්ම වාතයෙන් පිරවෙන බවට වගබලා ගන්න. කතා කරන විට ඔබේ ශබ්දය පාලනය කිරීමට හැකි වන්නේ ආශ්වාස කළ මෙම වායු කන්දරාව මනා පාලනයකින් යුතුව පිට කිරීමෙනි.

තවත් සමහරුන්ට තිබෙන ගැටලුව නම්, පමණට වඩා වැඩි ශබ්දයකින් කතා කිරීමයි. ඇතැම්විට, මෙසේ කිරීමට ඔවුන් පුරුදු වී ඇත්තේ එළිමහනේ වැඩ කරන නිසා හෝ ඝෝෂාකාරි වැඩපොළක වැඩ කරන නිසා හෝ විය හැක. අනික් අතට, ඔවුන් ඇති දැඩි වී ඇති පරිසරයට අනුව, සියලුදෙනා කෑ ගැසීමට නැතහොත් වෙනත් කෙනෙකුගේ කතාවට බාධා කරන්නට පුරුදු වී සිටිනවා වන්නට පුළුවන. ප්‍රතිඵලයක් වශයෙන්, තම අදහස් පළ කළ හැකි එකම ක්‍රමය සෙසු අයට වඩා ශබ්ද නඟා කතා කිරීම බව ඔවුහු සිතති. “දයානුකම්පාවෙන්ද කරුණාවෙන්ද නිහතමානිකමෙන්ද මෘදුකමෙන්ද ඉවසිලිවන්තකමෙන්ද සැරසී සිටින්න” යන බයිබලයේ උපදෙස්වලට ප්‍රගතිශීලීව අවනත වනවාත් සමඟ, අන් අය එක්ක කතා බහ කරද්දී ඔවුන් භාවිත කරන ශබ්දයෙහි යම් සකස් වීමක් කරයි කියා බලාපොරොත්තු විය හැක.—කොලො. 3:12, න. අ.

හොඳින් සූදානම් වීම, ක්ෂේත්‍ර සේවයට නිතිපතා සහභාගි වීමෙන් ලබන අද්දැකීම් හා යෙහෝවාට කරන යාච්ඤාව සුදුසු ශබ්දයකින් කතා කිරීමට ඔබට උපකාරවත් වේ. වේදිකාවේ සිට හෝ ක්ෂේත්‍ර සේවයෙහි පුද්ගලයෙකු සමඟ හෝ කතා කිරීමේ ප්‍රස්තාව ඔබට ලැබෙන විට, ඔබ පවසන දෙයට සවන් දීමෙන් අනික් පුද්ගලයා කෙසේ ප්‍රයෝජන ලබයිද යන කාරණය කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න.—හිතෝ. 18:21.

වැඩි ශබ්දයක් අවශ්‍ය වන අවස්ථා

  • වැඩි පිරිසකගේ අවධානය රඳවා තබාගැනීමට.

  • බාධාවට හේතු වන දේවල් අබිබවා යෑමට.

  • ඉතා වැදගත් යමක් පවසන විට, සියලුදෙනාගේ අවධානය රඳවා තබාගැනීමට.

  • ක්‍රියාවට පෙලඹවීම සඳහා.

  • පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ අවධානය ඔබ වෙත ඇදගැනීමට.

දියුණු විය හැකි අන්දම

  • ඔබ කතා කරන අයගේ ප්‍රතික්‍රියාව හොඳින් නිරීක්ෂණය කරන්න. ඔවුන්ට පහසුවෙන් ඇසිය හැකි පරිදි ප්‍රමාණවත් ශබ්දයක් භාවිත කරන්න.

  • හුස්ම ගන්නා විට ඔබේ පෙණහලු සම්පූර්ණයෙන්ම වාතයෙන් පිරවීමට ඉගෙනගන්න.

අභ්‍යාසය: මුලින්ම ක්‍රියා 19:23-41 දක්වා නිහඬව කියවන්න. එසේ කරද්දී විස්තර කර ඇති කතාවෙන් හා අවට පාඨ සම්බන්ධයෙන් එළිදක්වන පසුබිම මනසෙහි පැහැදිලිව සනිටුහන් කරගන්න. කතා කරන්නේ කවුද හා විදහාපෙන්වනු ලබන ආකල්පය කුමක්ද යන්න සැලකිල්ලට භාජන කරන්න. ඉන්පසුව, එක් එක් කොටසට සුදුසු ශබ්දයක් දෙමින් ශබ්ද නඟා කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න