21 පාඩම
තොරතුරු බරිත කරුණු පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම
1-3. කෙනෙකුගේ කථාව ප්‍රයෝජනවත් එකක් කර ගැනීමට නිශ්චිත කරුණු අවශ්‍ය වන්නේ මන්ද?
1 ප්‍රයෝජනවත් කථා ආරම්භ වන්නේ අනලස සූදානමෙන් ය, ඒ සඳහා කාලයත් උත්සාහයත් අවශ්‍ය ය. එහෙත් එය කොපමණ විපාකදායක ද! ඔබ ඔබේ ම නිවැරදි දැනුම් සම්භාරය වැඩි කර ගන්නා අතර, ඔබට සවන් දෙන්නන්ට සැබවින් ම ප්‍රයෝජනවත් දෙයක් කීමට එමඟින් ඔබට හැකි වනු ඇත. පොදු වශයෙන් කථා කරනවා වෙනුවට පැහැදිලි විස්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකි වෙයි. එමෙන් ම ඔබ කියන දේ සත්‍ය බව ද ඔබ දනී. මෙය දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි සවන් දෙන්නන්ගේ අගය කිරීම වැඩි වන අතර ඒ නිසා යෙහෝවඃ වහන්සේට ගෞරවය ද ගෙන දෙයි. අප සලකා බලන තොරතුරු බරිත කරුණු විශේෂයෙන් ම සම්බන්ධ වන්නේ ඔබේ කථාවේ කියන්නේ කුමක් ද යන්නට ය. මේ කාරණයට සම්බන්ධ විවිධ අංග කෙටියෙන් සලකන්න. එය කථික උපදෙස් පත්‍රිකාවේ සඳහන් ප්‍රථම කරුණයි.
2 නිශ්චිත කරුණු. සාමාන්‍ය කාරණා ඇතුළත් කථාවක් වැදගත්කමින් හා බලයෙන් හීන ය. එය අපැහැදිලි ය. එය සභාව අස්ථිරත්වයට පමුණුවයි. අදහස් මතක තබා ගැනීමට නම් ඒවා නිශ්චිත විය යුතු ය, නිරවද්‍ය විය යුතු ය, මෙය කරුණු සොයා ඇති බවටත්, විෂය පිළිබඳ දැනුමටත් සාක්ෂියකි.
3 කථාව සූදානම් කිරීමේ දී, මන්ද? කවදා ද? කොහේ ද? කියා ඇසීමෙන් මේ ගුණාංගය වර්ධනය කර ගත හැක. යමක් සිදු වූවා යයි කීම පමණක් ප්‍රමාණවත් නොවේ. ස්ථාන, නාම, දිනයන් සහ හේතු පවා ඉදිරිපත් කරන්න. ඇතැම් සත්‍යයන් ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒවා සත්‍ය මන්දැයි පෙන්වා දෙන්න; ඒවා දැනගැනීමේ වටිනාකම පැහැදිලි කරන්න. දෙනු ලබන්නේ උපදෙසක් නම් යමක් කළ යුත්තේ කෙසේ දැයි පැහැදිලි කරන්න. මෙලෙස කථාවක් වර්ධනය කිරීම කොතරම් අවශ්‍ය දැයි යන තීරණය, දැනටමත් සභාව කොපමණ දන්නවා ද යන කරුණ මත රඳා පවතී. එමනිසා අවශ්‍ය විස්තර මොනවා දැයි තීරණය කිරීමට සභාව පිළිබඳ ව සලකා බලන්න.
4-6. ඔබේ කථාව ඔබේ විශේෂ අසන්නන් පිරිසට ප්‍රයෝජනවත් එකක්වීම සඳහා ඔබේ සිතේ තබා ගත යුතු සාධක මොනවා ද?
4 සභාවට ප්‍රයෝජනවත් තොරතුරු. එක් ශ්‍රාවක පිරිසකට ප්‍රයෝජනවත් තොරතුරු වන යමක් තවත් පිරිසකගේ දැනුම කිසිසේත් වර්ධනය නොකළ හැක, එසේත් නැත්නම්, ඔවුන් සම්පූර්ණයෙන් ම අන්ධකාරයේ තබනු ඇත. මෙනයින් බලන විට, ඉදිරිපත් කරන කරුණු එක්තරා සභාවකට සුදුසු විය යුතු බව පැහැදිලි ය. උදාහරණයක් වශයෙන්, සේවා රැස්වීමක දී අප සේවය කරන ආකාරය පිළිබඳ කථාවක් කරන විට, එම කරුණු ඉදිරිපත් කරන ආකාරය යෙහෝවඃ වහන්සේට කැපවීමට සූදානම් වන පුද්ගලයෙකුට හෝ ලෞකික පිරිසකට හෝ ඉදිරිපත් කරන ආකාරයට වඩා සම්පූර්ණයෙන් වෙනස් ය.
5 දිව්‍යාණ්ඩු සේවා පාසලේ විවිධ පැවරුම් සම්බන්ධයෙන් ද මෙම කරුණු සැලකිල්ලට ගත යුතු ය. ඕනෑ ම පැවරුමක ඉදිරිපත් කරන කරුණු සවන් දෙන්නන්, පසුබිම සහ කථාවේ අරමුණ සලකා බලා ඉදිරිපත් කළ යුතු ය. කථාවේ ස්වභාවය සහ කථිකයා තෝරා ගත් පසුබිම අනුව මෙම සාධක තීරණය වෙයි. උපදෙස් කථාව සභාවට ඉදිරිපත් කරන කථාවක් බව සැබෑ ය. අනෙක් කථා වෙනස් විය හැක, පසුබිම මගින් සවන් දෙන්නන් හා අරමුණ හඳුනාගනු ලබයි. සෑම අවස්ථාවක ම ශිෂ්‍යයා සහ උපදේශකයා විසින් මෙසේ තමන්ගෙන් ම ප්‍රශ්න කර ගත හැක. කථාවට සම්බන්ධ විශේෂ ශ්‍රාවක පිරිසට යෝග්‍ය වන පරිදි කරුණු සකස් කොට තිබේ ද? එයින් සවන් දෙන්නන්ට ප්‍රයෝජනවත් තොරතුරු සහ උපදෙස් සපයනු ලබයි ද?
6 සූදානම් කිරීමේ දී ඔබෙන් ම මෙසේ අසාගන්න, මෙම කථාවෙන් මා ඉටු කරන්න යන්නේ කුමක් ද? මා කියන්නට යන දේ ගැන අසා සිටින පුද්ගලයා හෝ පිරිස දැනටමත් කොපමණ දැන සිටිත් ද? මෙම කරුණු පැහැදිලි කිරීම සඳහා මා යෙදිය යුතු පදනම කුමක් ද? සම්පූර්ණයෙන් ම වෙනත් පිරිසකට මා මේ කථාව තවත් ආකාරයකට ඉදිරිපත් කරන්නේ කෙසේ ද? සන්සන්දනය කිරීම බොහෝ විට අපේ මත පැහැදිලි කරයි. ඔබ කථා කරන්නට යන විශේෂ සභාවට යෝග්‍ය ලෙස කරුණු විස්තර කිරීමටත් සභාව ගැන සැලකිලිමත් වීම පිළිබඳ ව හැඟීමක් ඇති කර ගැනීම සඳහාත් ඔබ කථාව සූදානම් කරද්දී එය විවිධ ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ කෙසේ දැයි සලකා බලන්න.
7, 8. අපට අපේ කථා ප්‍රායෝගික කර ගත හැක්කේ කෙසේ ද?
7 ප්‍රායෝගික වටිනාකමින් යුතු කරුණු. ඉගෙනීමට බොහෝ දේ තිබුණත්, සියල්ලක් ම ප්‍රායෝගික නැත. අපට ප්‍රයෝජනවත් කරුණුවලින් අදහස් වෙන්නේ ක්‍රිස්තියානි ජීවිතයටත් අපේ සේවයටත් අවශ්‍ය වන දේවල් දැනගැනීම ය. අපට අවශ්‍ය වන්නේ අප ලබා ගත් මෙම තොරතුරු උපයෝගි කරන්නේ කෙසේ දැයි කියා දැනගැනීමට ය.
8 පහත දැක්වෙන ප්‍රශ්නවලට සිත යොමු කිරීමෙන්, කථාව සූදානම් කරන ශිෂ්‍යයාටත් උපදෙස් දෙන අවේක්ෂකටත් මෙම කරුණ ගැන සැලකිලිමත් විය හැක: මෙම කථාවේ අඩංගු උපදේශාත්මක ප්‍රතිපත්ති මොනවා ද? තීරණ ගැනීම සඳහා මෙම කරුණු උපයෝගි කර ගත හැකි ද? ඉදිරිපත් කරනු ලබන කරුණු ක්ෂේත්‍ර සේවයට අදාළ වන පරිදි සකස් කර ගත හැකි ද? එය දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රශංසා කරන අතර, උන් වහන්සේගේ අරමුණ පෙන්වා දෙයි ද? මෙම කරුණු සියල්ලක් ම අඩංගු කළ හැක්කේ කථා ස්වල්පයකට පමණ ය, නමුත් කරුණු ප්‍රායෝගික වීමට නම්, ඉදිරිපත් කරන කරුණු සවන් දෙන්නන් විසින් යම් ආකාරයකින් භාවිතා කළ හැකි විය යුතු ය.
9-11. ප්‍රකාශ නිරවද්‍ය වීම එතරම් වැදගත් වන්නේ මන්ද?
9 ප්‍රකාශයේ නිරවද්‍යතාවය. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සත්‍යවාදී සංවිධානයකි. අපට අවශ්‍ය විය යුත්තේ සත්‍ය කථා කිරීමටයි, එමෙන් ම සෑම අවස්ථාවක ම අප ඉදිරිපත් කරන සෑම විස්තරයක් ම සම්පූර්ණයෙන් ම නිරවද්‍ය විය යුතු ය. ධර්මානුකූල කරුණු සම්බන්ධයෙන් පමණක් නොව, අප උපුටා දක්වන දේවල් ද අන් අය ගැන කියන දේවල් හෝ අන් අය පෙන්නුම් කරන ආකාරය මෙන් ම විද්‍යාත්මක දත්තයන් සහ ප්රවෘත්ති පිළිබඳ ව ද තත්ත්වය මෙසේ විය යුතු ය.
10 සභාවකට ඉදිරිපත් කරන වැරදි ප්‍රකාශන නැවත කියනු ලැබීමටත් වරද විශාල කරනු ලැබීමටත් ඉඩ තිබේ. සභාව විසින් හඳුනා ගනු ලබන සාවද්‍යතාවයන් කථිකයාගේ ආධිපත්‍යය කෙරෙහි ද වෙනත් කරුණු සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතු කරන අතර, ඉදිරිපත් කරන පණිවුඩයේ සත්‍යතාවය ගැන පවා සැක උපදවීමට ඉඩ තිබේ. මෙවැනි ප්‍රකාශවලට සවන් දෙන නවකයෙක් වෙනත් අවස්ථාවක දී වෙනත් මතයක් ප්‍රකාශ කරනවා අසන විට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් අතර අදහස් පිළිබඳ ව ගැටීමක් ඇතැයි නිගමනය කොට, කිසි ම හේතුවක් ප්‍රකාශ නොකොට අපේ ආශ්රයෙන් ඉවත් විය හැක.
11 උපදේශකයා සෑම ප්‍රකාශයක් ම දැඩි විවේචනයට ලක් කළ යුතු යයි මෙයින් අදහස් නොකෙරේ. විශේෂයෙන් ම දේව වචනයේ ගැඹුරු දේවල් සම්පූර්ණයෙන් වටහා නොගත් සත්‍යයට පැමිණි නවකයෙක් සම්බන්ධයෙන් මෙය සැබෑ ය. ඒ වෙනුවට උපායශීලී අන්දමින් ඔහු ශිෂ්‍යයාගේ චින්තනය හැඩගැස්විය යුතු අතර, සැලකිලිමත් පෙර සූදානමින් නිවැරදි බව රැක ගන්නේ කෙසේ දැයි ඔහුට පෙන්වා දිය යුතු ය.
12, 13. අමතර පැහැදිලි කිරීමේ කරුණුවල වටිනාකම කුමක් ද?
12 අමතර පැහැදිලි කිරීමේ කරුණු. එක්තරා විෂයක් පිළිබඳ ව මෙනෙහි කිරීමෙන් හෝ වැඩි දුර පර්යේෂණ කිරීමෙන් එකතු කර ගන්නා අදහස් ඉදිරිපත් කිරීම කථාවක් ප්‍රාණවත් කරන අතර, ඇතැම් අවස්ථාවල දී, සභාව දැනටමත් දන්නා කරුණු නිරස භාවයෙන් නැවත කීම ද වළක්වයි. එය කථාවට නැවුම් භාවයක් ගෙන දෙයි, සභාවේ උනන්දුව පණ ගන්වයි, හොඳින් දන්නා විෂයක් සැබවින් ම ප්‍රියජනක කිරීමට ද පුළුවන. එමෙන් ම එය කථිකයාගේ ආත්ම විශ්වාසය ද වැඩි කරයි. ඉදිරිපත් කිරීමට තරමක් හෝ නව දෙයක් ඇතැයි යන දැනුමෙන් හට ගන්නා උනන්දුවෙන් යුක්ත ව කථාවට පිවිසෙයි.
13 මෙහි දී මඟ හැරිය යුතු අවදානමක් නම් පෞද්ගලික අනුමාන කිරීම ය. සමිතියේ පොත් පත් ප්‍රයෝජනයට ගත යුතු අතර, ඒවා කෙරෙහි රඳා පැවතිය යුතු ය. සමිතියේ සූචි සහ ශුද්ධ වූ ලියවිලිවල පාද සටහන් පරීක්ෂා කර බලන්න. පැහැදිලි කිරීමක් සඳහා ඔබ කියන දේ වරදවා විස්තර කිරීමක් නොවන බවට වග බලා ගන්න.
**********
14-16. කරුණු සරල ලෙස සඳහන් කිරීමට නම් කථාව සූදානම් කිරීමේ දී කළ යුත්තේ කුමක් ද?
14 ඔබේ කථාව සූදානම් කිරීමේ දී, ඔබ කියන්නට තිබෙන දේ කියන්නට යන්නේ කෙසේ ද, යන වග ඕනෑකමින් සැලකිලිමත්වීම ද වැදගත් ය. කථික උපදෙස් පත්‍රිකාවේ “පැහැදිලිකම, තේරුම් ගත හැකිකම” යනුවෙන් සඳහන් වී ඇත්තේ මෙයයි. මෙම කරුණට ප්‍රමාණවත් ලෙස අවධානය යොමු කිරීමට අසමත්වීම නිසා ඔබ හට සබයට ළංවීම වැළැක්වීමට හෝ ඔවුන්ට තමන් ඇහුම් කන් දෙන දේ මතක තබා ගැනීමට බාධාවක් ද විය හැක. මේ කාරණය ගැන සලකා බැලිය යුතු ප්‍රධාන අංග තුනක් ඇත.
15 සරල ලෙස සඳහන් කිරීම. මෙයින් අදහස් කරන්නේ කල් තියා ම කියන්නට යන වචන මොනවා දැයි තීරණය කිරීම නොවේ. එහෙත් ඉදිරිපත් කිරීමට තිබෙන අදහස් විග්රහ කළ යුතු අතර ඇතැම් නිශ්චිත සාධක සැලකිල්ලට ගත යුතු ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කථාව සංක්ෂිප්ත වන අතර, අදහස් සරල ලෙසත් සාමාන්‍ය භාෂාවෙනුත් ප්‍රකාශ වනු ඇත. විෂය කථිකයාගේ මනස තුළ පැටලිලි සහිත වූ විට, ඉදිරිපත් කිරීමේ දී ද, එය වියවුල් සහගත වේ.
16 අවසාන-මොහොතේ දී සූදානම් වීමෙන් වැළකිය යුතු ය. කථිකයාට පැහැදිලි වන තෙක් සහ සරල වන තෙක් කථාවේ සෑම කරුණක් ම සම්පූර්ණයෙන් සිතා බැලිය යුතු ය. කථාව ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වීමේ දී, මෙම කරුණු නැවත නැවත සලකා බැලීම නිසා ඔහුගේ මනසේ ඒවා තියුණු ලෙස සටහන් වේ, ඒ නිසා ඕනෑ ම මොහොතක ඔහුට ඒවා මතකයට නැංවිය හැක. එමෙන් ම ඒවා කථිකයාට මෙන් ම සබයටත් සක් සුදක් සේ පැහැදිලි වනු ඇත.
17, 18. නුපුරුදු යෙදුම් පැහැදිලි කළ යුත්තේ මන්ද?
17 නුපුරුදු යෙදුම් පැහැදිලි කිරීම. අපේ මෙහෙය පිළිබඳ නොදන්නා වූ අයට සම්පූර්ණයෙන් ම අමුතු වාග් මාලාවක් ශුද්ධ ලියවිලි සහ වොච් ටවර් සමිතියේ ප්‍රකාශන අධ්‍යයනය කිරීම නිසා අපට ලැබී තිබේ. මෙවැනි යෙදුම් පාවිච්චි කිරීමෙන් ඇතැම් අසන්නන්ට බයිබල් සත්‍යයන් පැහැදිලි කිරීමට අප වෑයම් කළොත් එක්කෝ අප කියන දෙයින් වැඩි හරියක් ඔවුන්ට ව්‍යාකූල වනු ඇත, එසේ නැත්නම්, අපේ කථාව ඔවුන්ට සම්පූර්ණයෙන් ම නොවැටහෙනු ඇත.
18 ඔබට සවන් දෙන්නන් ගැන සලකා බලන්න. ඔවුන්ගේ වටහා ගැනීමේ මට්ටම කෙබඳු එකක් ද? අපේ මෙහෙය ගැන ඔවුන් දන්නේ කොපමණක් ද? කථිකයාට මෙන් ඔවුන්ට ද මෙම වචන කිහිපයක් පහසුවෙන් වටහා ගත හැකි ද? “දිව්යාණ්ඩුව,” “ඉතිරි කොටස,” “වෙනත් බැටළුවෝ,” වැනි යෙදුම් මෙන් “අර්මගෙදොන්,” සහ “රාජ්‍යය” යන වචනය ද අසන්නාගේ මනසට සම්පූර්ණයෙන් ම වෙනස් අදහසක් ගෙන දිය හැකි වේ, එසේ නැත්නම් ඔහුට ඒවායින් කිසි ම තේරුමක් නොලැබේ. අපේ මෙහෙය පිළිබඳ ව නොදන්නා අසන්නෙකුට “ප්‍රාණය” “නිරය” “අමරණීයත්වය” වැනි යෙදුම් පවා පැහැදිලි කිරීමට සිදු වේ. එහෙත් කථාව දෙනු ලබන්නේ සභාවට නම්, මෙම යෙදුම් පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. එමනිසා පසුබිම සැලකිල්ලට ගත යුතු ය.
19, 20 කථාවකට ප්‍රමාණයට වඩා කරුණු ඉදිරිපත් කිරීමෙන් අප වළකින්නේ කෙසේද?
19 ප්‍රමාණයට වඩා කරුණු අධික නොවීම. කථාවකට තොරතුරු විශාල ප්‍රමාණයක් අඩංගු වීම නිසා සවන් දෙන්නන් මත කරුණු රාශියක් ගලා ඒමෙන් වැටහීම අඳුරු වෙයි, නැතහොත් සම්පූර්ණයෙන් නැති වී යයි. කථාවේ අරමුණ ඉටු කර ගැනීමට නම් නියමිත කාලය තුළ පැහැදිලි ලෙස වර්ධනය කළ හැකි කරුණු ප්‍රමාණයට වඩා ඉදිරිපත් නොකළ යුතු ය. සවන් දෙන්නන් විසින් සාධාරණ අන්දමින් වටහා ගත හැකි ප්‍රමාණයට වඩා විස්තර ඉදිරිපත් නොකළ යුතු ය. යම් විෂයක් පිළිබඳ ව සභාවට ඉදිරිපත් කරන කරුණු අමුත්තෙකුට හෝ අලුතෙන් උනන්දුවක් දක්වන පුද්ගලයෙකුට හෝ සෑහෙන තරම් සරල අන්දමින් ඉදිරිපත් කළ යුතු ය. මෙහි දී ද උපදේශකයා සැලකිල්ලට ගත යුත්තේ කථිකයා විසින් අමතනු ලබන අසන්නන් ගැන ය.
20 කථාවකට කොපමණ කරුණු ප්‍රමාණයක් ඇතුළත් කළ යුතු දැයි ශිෂ්‍යයෙකුට දැනගත හැක්කේ කෙසේ ද? සූදානම් කිරීමේ දී සන්සන්දනය කර බැලීම ප්‍රයෝජනවත් ය. ඔබට ඉදිරිපත් කරන්නට තිබෙන දේ විග්රහ කර බලන්න. මෙම කරුණුවලින් කොපමණ ප්‍රමාණයක් පිළිබඳ ව අල්ප වශයෙන් අසන්නන්ට දැනුමක් ඇද්ද? කොපමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන් අලුත් විය හැකි ද? දැනටමත් තිබෙන දැනුමේ පදනම පුළුල් වන තරමට නියමිත කාලයක් තුළ දී එය මත වැඩිදුරටත් ගොඩනැංවිය හැකි ය. එහෙත් සාකච්ඡා කරන්නට යන මාතෘකාව පිළිබඳ ව සවන් දෙන්නන්ට එපමණ දැනුමක් නැත්නම්, එවිට ඉදිරිපත් කිරීමට යන කරුණු ප්‍රමාණය සහ සවන් දෙන්නන් විසින් සම්පූර්ණයෙන් වටහා ගත හැකි වන පරිදි මෙම කරුණු පැහැදිලි කිරීමට ගත වෙන්නට යන කාලය පිළිබඳ ව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය.