පාඩම 42
ඔබේ සබය දැනුවත් කරවන තොරතුරු
ඔබේ සබය දැනුවත් කරවන තොරතුරු ඉදිරිපත් කිරීමට නම්, හොඳ විෂයක් ඔස්සේ නිකම්ම කතාවක් ඉදිරිපත් කිරීමට වඩා වැඩි යමක් කළ යුතුය. ඔබෙන් මෙසේ අසන්න. ‘මෙම සබයට මෙම විෂය වැදගත් වන්නේ මන්ද? තමන් මෙම සාකච්ඡාවෙන් ඇත්තටම ප්‍රයෝජන ලැබුවා යන්න සබයට හැඟෙන්නට සැලැස්වීමට නම් මා ඔවුන්ට කිව යුත්තේ කුමක්ද?’
පාසැලේදී යමෙකුට සාක්ෂි දරන ආකාරය නිරූපණය කිරීමේ පැවරුම ඔබට ලබා දී ඇත්නම් ඔබේ සබය නැතහොත් නිවැසියා ලෙස ක්‍රියා කරනු ඇත්තේ ඔබේ සහායකයාය. තවත් අවස්ථාවලදී ඔබ මුළු සබය අමතනවා විය හැක.
ඔබේ සබය දන්නා දේ. ‘සාකච්ඡා කරන විෂය ගැන සබය දන්නේ මොනවාද’ යන්න ඔබෙන්ම අසන්න. ඔබේ කතාව පිළියෙළ කිරීමට පදනම විය යුත්තේ එයයි. මේරූ ක්‍රිස්තියානීන් රැසක් සිටින සභාවක් අමතමින් සිටිනවා නම්, නිකම්ම මූලික ඉගැන්වීම් ඔවුන් ඉදිරියෙහි තබන්න එපා. ඒවා සම්බන්ධයෙන් ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට දැනුමක් ඇත. එනමුත් මෙම මූලික සත්‍යයන් පදනමක් ලෙස යොදාගෙන ඔබේ කතාව ගොඩනඟන්න. කෙසේවෙතත්, උනන්දුවක් දක්වන නවකයන් බොහොමයක් සිටිනවා නම් මෙම දෙපාර්ශ්වයේම අවශ්‍යතා සැලකිල්ලට ගැනීම යහපති.
ඔබේ සබය දන්නා දේ අනුව කතාව ඉදිරිපත් කිරීමේ වේගය වෙනස් කරන්න. වැඩිදෙනා හොඳින් දන්නා තොරතුරු පියවන විට ඒවා කඩිනමින් ඉදිරිපත් කිරීමට බලන්න. එනමුත්, ඔබේ සවන්දෙන්නන්ගෙන් බහුතරයට නුහුරු වූ අදහස් ඉදිරිපත් කරන විට හෙමින් කතා කරන්න. එවිට මෙම අලුත් අදහස් පැහැදිලිව ග්‍රහණය කරගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.
දැනුවත් කරවනසුලු තොරතුරු තේරීම. කෙනෙකුව දැනුවත් කරවන තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අදහස් වන්නේ නිතරම අලුත් යමක් පැවසීම නොවේ. සමහර කථිකයෝ අසා පුරුදු ඇතැම් සත්‍යතා මනා සරලභාවයකින් ඉදිරිපත් කරති. ඔවුන්ගේ වෑයම කොතරම් සාර්ථකද කිවහොත් සබයේ වැඩිදෙනා එම සත්‍යයන් පැහැදිලිවම අවබෝධ කරගන්නේ එම අවස්ථාවේදීය.
ක්ෂේත්‍ර සේවයේදී, අප අන්තිම දවස්වල ජීවත් වන බව නිදර්ශනය කිරීමට යම් පුවතක් නිකම්ම සඳහන් කිරීම පමණක් මදිය. එම සිදුවීමෙන් අර්ථවත් වන දේ පෙන්නුම් කිරීමට බයිබලය භාවිත කළ යුතුය. මෙවන් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් සිදු වන්නේ ඔබේ නිවැසියා සැබවින්ම දැනුවත් වීමයි. ඒ හා සමානව, ස්වභාව ධර්මයේ නීති හෝ ශාක හෝ සතුන් පිළිබඳව යම්කිසි තොරතුරක් සඳහන් කරද්දී, නිවැසියා වෙන කිසිදාක අසා නැති සංකීර්ණ විද්‍යාත්මක තොරතුරක් ඔහුගේ අවධානයට හසු කිරීම ඔබේ ඉලක්කය නොවිය යුතුය. ඒ වෙනුවට, ඔබේ පරමාර්ථය විය යුත්තේ ස්වභාව ධර්මයෙන් රැගත් සාක්ෂි බයිබලයෙහි සඳහන් දේවල් සමඟ සසඳා, අපට ප්‍රේම කරන මැවුම්කරුවෙකු සිටින බව පැහැදිලිව පෙන්නුම් කිරීමයි. මෙසේ කළහොත්, නිවැසියාට නැවුම් දෘෂ්ටියකින් දේවල් දෙස බැලීමට අවස්ථාව උදා වනු ඇත.
සබය කලින් කිහිප වතාවක්ම අසා ඇති විෂයක් ඉදිරිපත් කිරීම අභියෝගයක් විය හැක. එනමුත් බලපෑමෙන් යුත් ගුරුවරයෙකු වීමට නම්, එම අභියෝගය සාර්ථකව භාරගැනීමට ඉගෙනගත යුතුය. ඒ කෙසේද?
පර්යේෂණ කිරීම, ඉමහත් උපකාරයකි. නිකම්ම ඔබේ මනසට නිරායාසයෙන්ම නැඟෙන තොරතුරු ඇතුළත් කරනවා වෙනුවට, පර්යේෂණ කිරීම සම්බන්ධයෙන් 33 සිට 38වන පිටු දක්වා සාකච්ඡා කර ඇති මෙවලම් භාවිත කරන්න. ඔබ අත් කරගැනීමට වෙහෙසිය යුතු පරමාර්ථ පිළිබඳව එහි දී ඇති යෝජනා සලකා බලන්න. පර්යේෂණ කරන අතරතුරේදී, එතරම් ප්‍රසිද්ධ නොවූ ඓතිහාසික සිදුවීමක් ඔබේ විෂයට ඍජුව සම්බන්ධ වී ඇති බව ඔබට අනාවරණය විය හැක. එසේ නැතහොත්, ඔබ සාකච්ඡා කිරීමට අදහස් කරන කාරණය විස්තර කිරීමට උපකාරවත් වන බව පෙනෙන පුවතක් ඔබේ නෙත ගැටිය හැක.
මෙම තොරතුරු විමර්ශනය කරද්දී කුමක්ද, ඇයි, කවදාද, කොහෙද, කවුද සහ කෙසේද වැනි ප්‍රශ්න අසමින් ඔබේ කල්පනා ශක්තිය අවදි කරවන්න. නිදසුනකට, මෙම ප්‍රශ්න සලකා බලන්න. මෙය සැබෑවක් වන්නේ ඇයි? මට එය ඔප්පු කළ හැක්කේ කෙසේද? මෙම බයිබල් සත්‍යතාව තේරුම්ගැනීමට සමහරුන්ට අසීරු වන්නේ කවර ජනප්‍රිය විශ්වාසයන් නිසාද? එය වැදගත් වන්නේ ඇයි? මෙය පුද්ගලයෙකුගේ ජීවිතයට බලපෑ යුත්තේ කෙසේද? එය අදාළ කරගැනීමේ ප්‍රයෝජන පැහැදිලි වන්නේ කුමන උදාහරණයෙන්ද? මෙම බයිබල් සත්‍යතාවෙන් යෙහෝවාගේ පෞද්ගලිකත්වය ගැන හෙළි වන්නේ මොනවාද? සමහරවිට, ඔබ සාකච්ඡා කරන තොරතුරුවලට අනුව මෙය සිදු වූයේ කවදාද යන ප්‍රශ්නයද ඉස්මතු කළ හැක. එමෙන්ම අපට මෙම තොරතුරු අදදිනට ප්‍රායෝගිකව අදාළ කළ හැක්කේ කෙසේද? කතාව ඉදිරිපත් කරද්දී මෙවැනි ප්‍රශ්න කිහිපයක් ඉස්මතු කිරීමෙන් හා අනතුරුව ඒවාට පිළිතුරු සැපයීමෙන් ඔබේ ඉදිරිපත් කිරීම ප්‍රාණවත් කරන්නටද පුළුවන.
ඇතැම් අවස්ථාවලදී, සබයට හුරු ශුද්ධ ලියවිලි පද ඔබේ කතාවේදී භාවිත කිරීමට සිදු වේ. මෙම පදවල තොරතුරු ඉදිරිපත් කරන විට එය ප්‍රයෝජනවත් වන අන්දමකින් ඉදිරිපත් කිරීමට ඔබට කුමක් කළ හැකිද? ඒවා නිකම්ම කියවීමෙන් සෑහීමට පත් නොවන්න. ඒවා පැහැදිලි කර දෙන්න.
හුරුපුරුදු බයිබල් පදයක් සබය දැනුවත් කරවන අන්දමකින් සාකච්ඡා කිරීම සඳහා ඒ බයිබල් පදය කොටස් කිහිපයකට බෙදන්නට පුළුවන. එම කොටස්වල ඔබේ කතාවේ තේමාවට සම්බන්ධ වන කොටස් හඳුන්වා දී, ඒවා පැහැදිලි කිරීම ප්‍රයෝජනවත් වේ. නිදසුනකට, නව ලෝක පරිවර්තනයෙහි පළ වී ඇති ආකාරයට මීකා 6:8 වැනි බයිබල් පදයකින් කළ හැකි දේ සලකා බලමු. “යුක්තිය” නැතහොත් “ධර්මිෂ්ඨකම” යනු කුමක්ද? මෙහිදී සාකච්ඡා කෙරෙන්නේ යුක්තිය සම්බන්ධයෙන් කාගේ ප්‍රමිතිය ගැනද? “යුක්තිය ඉටු කිරීම” යන්නෙන් අදහස් කරන දේ නැතහොත් “කරුණාවට ප්‍රේම කිරීම” ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? “නිහතමානීකම” නැතහොත් “යටහත්කම” යනු කුමක්ද? මෙම තොරතුරු මහලු කෙනෙකුට අදාළ වනු ඇත්තේ කෙසේද? කෙසේවෙතත්, ඔබ භාවිත කරනු ඇති තොරතුරු තීරණය වන්නේ ඔබේ තේමාව, පරමාර්ථය, සබය සහ ලබා දී ඇති කාලය වැනි සාධකවලට අනුකූලවය.
ඇතැම් යෙදුම් සරලව නිර්වචනය කිරීම බොහෝදුරට ප්‍රයෝජනදායකය. සමහර පුද්ගලයෝ මතෙව් 6:9හි සඳහන් “රාජ්‍යය” යන වචනයෙහි නියම තේරුම දැනගැනීමෙන් පුදුමයට පත් වෙති. එනමුත් සත්‍යයේ දිගු කලක් පුරා ගමන් කර ඇති ක්‍රිස්තියානියෙකුට යම් වචනයකින් අර්ථවත් වන දේ සිහිගැන්වීම, අදාළ බයිබල් පදයෙහි ඇත්තටම පවසන්නේ මොනවාද යන්න වඩාත් නිවැරදිව වටහාගැනීමට පිටුවහලක් විය හැක. නිදසුනකට අප 2 පේතෘස් 1:5-8 [NW] කියවා එම පදවල සඳහන් ඇදහිල්ල, සුචරිතය (ගුණය), දැනුම, ආත්ම-දමනය (පමණ දැන ක්‍රියා කිරීම), විඳදරාගැනීම (ඉවසිල්ල), දේවභක්තිය, සහෝදර ස්නේහය හා ප්‍රේමය වැනි විවිධ ගුණාංග නිර්වචනය කරද්දී එවැනි දෙයක් කිරීමෙහි ප්‍රයෝජන පැහැදිලි වේ. එකිනෙකට සමාන අරුත් ඇති වචන එකට භාවිත කරන විට, ඒවා නිර්වචනය කළහොත් එම වචන අතර සියුම් වෙනස්කම් තේරුම්ගැනීමට රුකුලක් විය හැක. නිදසුනකට, හිතෝපදේශ 2:1-6හි [NW] සඳහන් ප්‍රඥාව, දැනුම, විචාර බුද්ධිය (ඥානය) සහ අවබෝධය (නුවණ) වැනි යෙදුම් සම්බන්ධයෙන් මෙය සැබෑවක් වේ.
යම් පදයක අදහස තර්කානුකූලව ගෙනහැර දැක්වීමෙන්ද ඔබේ සබය දැනුවත් කරන්නට පුළුවන. නිදසුනකට, යොහන් 11:11-14හි යේසුස් තම මිත්‍රයා ගැන කීවේ ඔහු “සැතපී” සිටින බවයි. ඒ හා සසඳද්දී බයිබලයේ දේශනාකාරයා 9:5හි මළවුන් ‘කිසිවක් නොදන්නා’ බව ඍජුව පවසයි. බොහෝදෙනෙක් මෙම සම්බන්ධය තේරුම්ගැනීමෙන් දැනුවත් වෙති. එක්තරා අවස්ථාවකදී යේසුස් නැවත-නැඟිටීම විශ්වාස නොකළ සද්දුසිවරුන්වද මවිතයට පත් කළේ ඔවුන් පිළිගත් නික්මයාම 3:6ට යොමු දක්වමින් එය මළවුන්ගේ නැවත-නැඟිටීමට අදාළ කිරීමෙනි.—ලූක් 20:37, 38.
ඇතැම්විට යම් ශුද්ධ ලියවිලි පදයක අවට පාඨ සම්බන්ධය, එය ලිවීමට හේතු වූ සිද්ධීන් සහ වචන පවසන තැනැත්තා ගැන හෝ ඊට සවන් දෙන තැනැත්තාගේ අනන්‍යතාව හෙළි කිරීමෙන්ද සබය දැනුවත් විය හැක. නිදසුනකට, 110වන ගීතිකාව ගැන මනා දැනුමක් ඇතුව සිටි ඵරිසිවරුන් සම්බන්ධයෙන් සලකා බලන්න. පළමු පදයෙහි තිබෙන වැදගත් තොරතුරකට යේසුස් ඔවුන්ගේ අවධානය යොමු කළේය. ඔහු: “‘ඔබ ක්‍රිස්තුස් ගැන සිතන්නේ කුමක්ද? ඔහු කාගේ පුත්‍රයාදැ’යි ඇසීය. ‘දාවිත්ගේ’ යයි ඔවුහු කීවෝය. එවිට ඔහු ඔවුන්ගෙන් මෙසේ ඇසීය. ‘එසේ නම්, දාවිත් ආනුභාවයෙන් ඔහුට “ස්වාමීන්” යයි කියන්නේ කෙසේද? මන්ද ඔහු, “යෙහෝවා මාගේ ස්වාමීන්ට කතා කොට: ‘මා ඔබේ සතුරන් ඔබේ පාද යට දමන තුරු මාගේ දකුණු පැත්තේ හිඳගන්න’” යයි කීවේය. එබැවින් දාවිත් ඔහුට “ස්වාමීන්” යයි කියනවා නම්, ඔහු දාවිත්ගේ පුත්‍රයා වන්නේ කෙසේද?’” (මතෙ. 22:41-45, NW) යේසුස් මෙන් ශුද්ධ ලියවිල්ලෙහි කරුණු තර්කානුකූලව ඉදිරිපත් කිරීමට ඔබ සමත් වන විට දෙවිගේ වචනය වඩාත් පරෙස්සමින් කියවීමට අන් අයට උපකාර කරන්නට ඔබට හැකි වේවි.
කථිකයෙකු බයිබල් පොතක් ලියූ කාලපරිච්ඡේදය නැතහොත් එක්තරා සිද්ධියක් සිදු වූ අවස්ථාව ගැන සඳහන් කරන විට එම කාලයේදී පැවති තත්වයන්ද විස්තර කළ යුතුය. මෙසේ කිරීමෙන් එම පොතෙහි හෝ සිද්ධියෙහි වැදගත්කම වඩාත් පැහැදිලිව තේරුම්ගැනීමට සබයට හැකි වනු ඇත.
සැසඳීම් කිරීමෙන්ද ඔබ පවසන දෙයින් සබය වඩාත් දැනුවත් විය හැක. ජනප්‍රිය මතයක් සහ ඒ සම්බන්ධයෙන් බයිබලය පවසන දේ අතර වෙනස දැක්විය හැක. එසේ නැතහොත් සමාන්තරව දිව යන බයිබල් වාර්තා දෙකක් සැසඳිය හැක. යම් වෙනස්කම් ඇද්ද? ඒ මන්ද? ඒවායින් අප ඉගෙනගන්නේ කුමක්ද? මෙවැනි දෙයක් කිරීමෙන් විෂය දෙස නැවුම් දෘෂ්ටිකෝණයකින් බැලීමට ඔබේ සවන්දෙන්නන්ට අවස්ථාව ලැබිය හැක.
ක්‍රිස්තියානි දේවසේවයෙහි එක්තරා අංගයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔබට පැවරී ඇත්නම්, ඔබේ ඉදිරිපත් කිරීමට පා තැබීම සඳහා යම්කිසි සාරාංශයක් දෙන්නට පුළුවන. කළ යුත්තේ කුමක්ද, එසේ කළ යුත්තේ මන්ද සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස අපගේ සමස්ත ඉලක්කවලට එය සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා කරන්න. ඉන්පසුව, එම කාර්යය සිදු කරන්නේ කොහේදීද, කවදාද, සහ කෙසේද යන්න පැහැදිලි කරන්න.
ඔබේ කතාවෙන් “දෙවිගේ ගැඹුරු දේවල්” කිහිපයක් සාකච්ඡා කිරීමට සිදු වේ නම්, කුමක්ද? (1 කොරි. 2:10) ඔබ සාකච්ඡා කරන විෂයේ මූලික අංග කිහිපයක් හඳුන්වා දීමෙන් සහ පැහැදිලි කිරීමෙන් කතාව ආරම්භ කළහොත්, අමතර තොරතුරු සියල්ල වඩාත් පහසුවෙන් තේරුම්ගත හැකි වේ. ඉන්පසු, ඔබේ තොරතුරු කෙටියෙන් සාරාංශ කොට ඔබේ සාකච්ඡාව නිම කරනවා නම් ඇත්තටම තමුන් වටිනා යමක් දැනගත් බවට තෘප්තිමත් හැඟීමක් සබය තුළ සිටින අයට ඇති වනු ඇත.
ක්‍රිස්තියානි ජීවිතය පිළිබඳ උපදෙස්. ඔබේ කතාවේ තොරතුරු සබයේ සිටින අයගේ ජීවිතවලට අදාළ වන ආකාරය දැකගැනීමට ඔවුන්ට උපකාර කරනවා නම්, ඔවුන් විශේෂයෙන්ම ප්‍රයෝජන ලබනවාට සැකයක් නැත. ඔබට පවරා ඇති කොටසෙහි ශුද්ධ ලියවිලි පද පරීක්ෂා කර බලන විට ඔබෙන්ම මෙසේ අසන්න. ‘මෙම තොරතුරු අපගේ කාලය දක්වා ශුද්ධ ලියවිල්ලෙහි ආරක්ෂා කර තිබෙන්නේ මන්ද?’ (රෝම 15:4; 1 කොරි. 10:11) ඔබේ සබයේ සිටින අය ඔවුන්ගේ ජීවිතවල මුහුණ දෙන තත්වයන් මොනවාදැයි කල්පනා කර බලන්න. ඊළඟට එම තත්වයන් ශුද්ධ ලියවිල්ලෙහි ඇති උපදෙස් හා ප්‍රතිපත්ති ඇසුරෙන් සලකා බලන්න. කතාව දෙන අතරතුරේදී, එවැනි තත්වයන්වලට ඥානවන්තව මුහුණ දීම සඳහා ශුද්ධ ලියවිලි උපකාර කළ හැකි අන්දම පෙන්නුම් කිරීමට ඒවායේ කරුණු තර්කානුකූලව ගෙනහැර දක්වන්න. සුවිශේෂ අදාළ කිරීමක් නොකර තොරතුරු පොදුවේ ඉදිරිපත් කිරීමෙන් වැළකෙන්න. සබයට සුවිශේෂීව අදාළ වන ආකල්ප සහ ක්‍රියාකලාපයන් ගැන සාකච්ඡා කරන්න.
මුලින්ම, ඔබ සූදානම් කරන කතාවකට ඉහත සඳහන් යෝජනාවක් දෙකක් අදාළ කරගන්න. අද්දැකීම් ලබද්දී, ඒවා වැඩියෙන් අදාළ කරගත හැක. කල් ගතවීමත් සමඟ ඔබේ කතා ඇසීමට සබය ඉමහත් කැමැත්තක් දක්වන බව ඔබට පෙනී යනු ඇත. මන්ද තමන්ට ඇත්තෙන්ම ප්‍රයෝජනවත් යමක් අසන්නට ලැබෙයි යන්න ගැන ඔවුන් නිසැක වන බැවිනි.