ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 38 පාඩම 215 පි.-219 පි. 3 ¶
  • උනන්දුව අවදි කරවන හැඳින්වීමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උනන්දුව අවදි කරවන හැඳින්වීමක්
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • බලපෑමෙන් යුත් හැදින්වීම්
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • හිතට කාවදින හැඳින්වීමක්
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • තොරතුරු බරිත කරුණු පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ඔබේ සබය දැනුවත් කරවන තොරතුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 38 පාඩම 215 පි.-219 පි. 3 ¶

පාඩම 38

උනන්දුව අවදි කරවන හැඳින්වීමක්

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබ මුලින්ම පවසන වාක්‍ය කිහිපයේදී සබයේ අවධානය ඇදගන්නා, ඔබේ කතාවේ පරමාර්ථය ඉටු කරගැනීමට කෙළින්ම දායක වන උචිත යමක් පවසන්න.

එය වැදගත් වන්නේ මන්ද?

ඇතැම් අය සවන් දෙයිද, ඔවුන් කොතරම් දුරට සාවධානව සිටිනු ඇද්ද යන්න තීරණය විය හැක්කේ ඔබේ හැඳින්වීමෙනි.

ඕනෑම කතාවක හැඳින්වීම මගින් ඉතා වැදගත් කාර්යයක් ඉටු වේ. ඔබේ සබයේ උනන්දුව අවදි කිරීමට ඔබ සැබවින්ම සමත් වෙනවා නම්, ඊළඟට ඔබ පවසන දේට හොඳින් සවන් දෙන්නට ඔවුන් වැඩි නැඹුරුවාවක් දක්වනු ඇත. ක්ෂේත්‍ර සේවයෙහි නිරත වන විට, ඔබේ හැඳින්වීමෙන් උනන්දුව අවදි කිරීමට ඔබ අපොහොසත් වෙනවා නම්, ඔබ පවසන දේ මඟදී නතර කිරීමට සිදු විය හැක. රාජ්‍ය ශාලාවේදී, සබය නැඟිට ශාලාවෙන් පිටත්ව යන්නේ නැත. එනමුත් එහි සිටින සමහරදෙනෙකු, වෙනත් දේවල් ගැන කල්පනා කරන්නට පටන්ගත හැක.

ඔබේ හැඳින්වීම සූදානම් කරද්දී මතු දැක්වෙන පරමාර්ථ සිහියේ තබාගන්න. (1) ඔබේ සබයේ අවධානය ලබාගැනීම, (2) සාකච්ඡා කරන විෂය පැහැදිලිව හඳුන්වා දීම සහ (3) එම විෂය සබයට වැදගත් වන්නේ මන්ද යන්න පෙන්නුම් කිරීම. ඇතැම්විට මෙම පරමාර්ථ තුනම එකම අවස්ථාවේදී ඉටු කරගත හැකිය. කෙසේවෙතත්, සමහර අවස්ථාවන්හිදී එසේ සිදු නොවේ. එම පරමාර්ථ විවිධ අවස්ථාවන්හිදී ඉටු වන අතර, ඒවා ඉටු වන අනුපිළිවෙළද වෙනස් වේ.

ඔබේ සබයේ අවධානය ලබාගන්නා අයුරු. යම් පිරිසක් කතාවකට සවන් දීම සඳහා එක්රැස් වූ පමණින්, සාකච්ඡා කරනු ලබන විෂයට පූර්ණ අවධානයක් දීමට ඔවුන් සූදානමින් සිටින බව අදහස් නොකරයි. ඒ මන්ද? ඔවුන්ගේ අවධානය ඇදගන්නා නොයෙකුත් දේවලින් මනස් පිරී පවතින නිසාය. ඔවුන්ට නිවසේ ගැටලුවක් තිබෙන්නට පුළුවන. එසේ නැතහොත් ඔවුන්ගේ සිත්තැවුලට හේතු වන වෙනත් ප්‍රශ්නයක් තිබිය හැක. එසේ නම්, කථිකයෙකු වශයෙන් ඔබට තිබෙන අභියෝගය වන්නේ සබයේ අවධානය ලබාගැනීම සහ එය දිගටම රඳවාගැනීමයි. එවැනි දෙයක් කිරීමට ක්‍රම කිහිපයක් ඇත.

මෙතෙක් දී ඇති සුප්‍රසිද්ධ දේශනා අතුරින් එකකි, කන්ද උඩ දේශනාව. එය ඇරඹුණේ කෙසේද? ලූක්ගේ වාර්තාවට අනුව යේසුස් පැවසුවේ මෙසේය. “දිළිඳු වූ ඔබ සන්තෝෂවත්ය. . . . දැන් කුසගින්නෙන් සිටින ඔබ සන්තෝෂවත්ය. . . . දැන් හඬන ඔබ සන්තෝෂවත්ය. . . . මිනිසුන් ඔබට වෛර කරන විට . . . ඔබ සන්තෝෂවත්ය.” (ලූක් 6:20-22, NW) එවන් හැඳින්වීමක් උනන්දුවක් ඇති කළේ මන්ද? තමාට සවන් දෙමින් සිටි අයට බැරෑරුම් ගැටලු කිහිපයකට මුහුණ දෙන්නට සිදු වූ බව යේසුස් පැවසූ වචන ස්වල්පයෙන් ඔහු ඒත්තුගත් බව පැහැදිලිය. එනමුත්, ඔහු මෙම ගැටලු ගැන දිගින් දිගට කතා කරන්නට ගියේ නැත. ඒ වෙනුවට ඔහු පෙන්වා දුන්නේ මෙවැනි ගැටලුවලින් පෙළෙන අයට පවා සන්තෝෂයෙන් සිටිය හැකි අන්දමයි. එසේ පෙන්වා දුන්නෙත්, ඔහුගේ සවන්දෙන්නන්ට දිගටම සවන් දීම සඳහා ආශාවක් ඇති කරවමිනි.

උනන්දුව අවදි කරවීමට ප්‍රශ්න බලපෑමෙන් යුතුව භාවිත කළ හැකිය. එනමුත්, එම ප්‍රශ්න උචිත ඒවා විය යුතුය. ඔබ අසන ප්‍රශ්නවලින් සබය මේ වන විටත් දැන සිටින දේවල් ගැන ඔබ කතා කිරීමට යන බවට අදහසක් දේ නම්, උනන්දුව විගස හීන වී යා හැක. ඔබේ සබය අපහසුතාවකට ලක් කරවන හෝ ඔවුන්ව පහත් කොට සලකන බවට හැඟෙන ප්‍රශ්න අසන්න එපා. ඔවුන්ගේ කල්පනා ශක්තිය පුබුදුවන අන්දමකින් ඔබේ ප්‍රශ්න සකස් කිරීමට වෑයම් කරන්න. ප්‍රශ්නයක් ඇසුවායින් පසු, මදකට විරාමයක් දෙන්න. ඉන්, සිතින් පිළිතුරු දීමට ඔබේ සවන් දෙන්නන්ට ඉඩ කඩ සැලසේ. ඔබ සමඟ මනසින් යම් දෙබසක් කරන බව සබයට දැනෙන විට, ඔවුන්ගේ අවධානය ලබාගැනීමට ඔබ සමත් වී ඇතැයි පැවසිය හැක.

අවධානය ඇදගැනීමට යෝග්‍ය වන තවත් ක්‍රමයක් නම් සැබෑ ජීවිත අද්දැකීම් භාවිත කිරීමයි. එනමුත් විස්තර කරන අද්දැකීම ඔබේ සබයේ කෙනෙකුව අපහසුතාවකට ලක් කරයි නම්, ඔබේ අරමුණ ඉටු කරගත නොහැකි වේවි. අනික් අතට, පවසන කතාව මතක තබාගත හැකි වුවත්, ඒ හා බැඳි උපදෙස අමතක වේ නම්, ඔබේ ඉලක්කය සාර්ථකව අත් කරගැනීමට ඔබට හැකි වී නැත. හැඳින්වීමේදී අද්දැකීමක් භාවිත කරනු ලබන විට, එය යොදාගත යුත්තේ ඔබේ කතාවේ ශරීරයේ එක්තරා වැදගත් අංගයකට අඩිතාලම දැමීම සඳහාය. ඉදිරිපත් කරන කතාව හෝ අද්දැකීම පණගැන්වීමට යම් අමතර විස්තර ලබා දිය යුතු වුවත්, ඒවා අනවශ්‍ය ලෙස දිග්ගැස්සීමෙන් වළකින්න.

ඇතැම් කථිකයන් කතාවක් අරඹන්නේ මෑතක ප්‍රචලිත වූ ප්‍රවෘත්තියක්, පුවත්පතකින් රැගත් උපුටනයක් නැතහොත් පිළිගත් බලධාරියෙකු පැවසූ දෙයක් සඳහන් කරමිනි. මෙවැනි දේවල් විෂයට සැබවින්ම සම්බන්ධ වේ නම්, සබයට ගැළපේ නම්, බලපෑමෙන් යුතුව භාවිත කළ හැකිය.

ඔබේ කතාව කතා මාලාවක කොටසක් නම්, එසේ නැතහොත් සේවා රැස්වීමේ ඉදිරිපත් කරන කොටසක් නම්, සාමාන්‍යයෙන් හොඳම දේ ඔබේ හැඳින්වීම පැහැදිලිව හා කෙටියෙන් ඉදිරිපත් කිරීමය. ප්‍රසිද්ධ කථාවක් දෙන විට, හැඳින්වීමේ කොටසට නියම කර ඇති වේලාවට අනුකූල වන්න. ඔබේ සබයට ප්‍රයෝජන ගෙන දෙන වටිනා තොරතුරු තිබෙන්නේ කතාවේ ශරීරයේය.

ඇතැම් අවස්ථාවලදී දේවල් දෙස සැකයෙන් බලන හෝ එදිරිවාදි ආකල්පයක් ඇති අය ඉදිරියෙහි පවා කතා කිරීමට සිදු විය හැක. ඔවුන්ගේ අවධානය ලබාගැනීමට ක්‍රියා කළ හැක්කේ කෙසේද? “ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණ වූ” කෙනෙකු ලෙස හැඳින්වූ මුල් ක්‍රිස්තියානියෙකු වූ ස්තේපන්ට මෙවැන්නක් සිදු විය. ඔහුව යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියට බලෙන් ගෙනයන ලදි. එහිදී ඔහු ක්‍රිස්තියානි ධර්මයට පක්ෂව ඉතා ව්‍යක්ත ලෙස කතා කළේය. ඔහු සිය කතාව ආරම්භ කළේ කෙසේද? ගෞරවාන්විත එළඹීමකිනි. දෙපාර්ශ්වයම පිළිගත් යමකට යොමු දැක්වීමෙනි. ඔහු මෙසේ පැවසීය. ‘සහෝදරයෙනි, පියවරුනි, ඇහුම්කන් දෙන්න. අපගේ පියවූ ආබ්‍රහම්ට මහිමාන්විත දෙවි පෙනුණේය.’ (ක්‍රියා 6:3; 7:2) ඇතන්ස්හි ඇරියෝපගය මැද හාත්පසින්ම වෙනස් වූ සබයක් ඉදිරියෙහි ප්‍රේරිත පාවුල් කතා කළේ, තම හැඳින්වීම ඔවුන්ට ගැළපෙන සේ සකස් කරමිනි. ඔහු පැවසුවේ, “ඇතන්ස්හි පුරුෂයෙනි, ඔබ සියලු කාරණාවලදී අනුන්ට වඩා දෙවි දේවතාවන් කෙරෙහි භයක් ඇතිව සිටින බව මට පෙනේ” යනුවෙනි. (ක්‍රියා 17:22, NW) මෙම අවස්ථා දෙකේදීම බලපෑමෙන් යුත් හැඳින්වීම් භාවිත කළ නිසා, රැස්ව සිටි පිරිස තවදුරටත් සවන් දීමට කැමති වූහ.

ක්ෂේත්‍ර සේවයෙහි නිරත වී සිටින විටත්, ජනයාගේ අවධානය ලබාගැනීම අවශ්‍යතාවක්ව පවතී. ඔබේ බැහැදැකීම කල් තියා සැලසුම් නොකරන ලද්දක් නම්, නිවැසියා වෙනත් කටයුතුවල කාර්යබහුලව නිරත වී සිටිනවා විය හැක. ලෝකයේ ඇතැම් රටවල, මෙසේ දැනුම් දීමකින් තොරව පැමිණෙන ආගන්තුකයෙකුට තමාගේ බැහැදැකීමට හේතුව ඉක්මනින් පැවසීමට සිදු වේ. තවත් සමහර ප්‍රදේශවල, බැහැදැකීමට හේතුව සඳහන් කිරීමට පෙර යම් චාරිත්‍ර අනුගමනය කළ යුතුය.—ලූක් 10:5.

මෙම අවස්ථා දෙකේදීම අවංක සුහදශීලිත්වයක් පෙන්නුම් කිරීමෙන් සංවාදයක් පැවැත්වීමට තුඩු දෙන වාතාවරණයක් ඇති කරගැනීමට හැකි වේ. බොහෝ දුරට පුද්ගලයාගේ මනසට වධ දෙන යම්කිසි දෙයකට කෙළින්ම සම්බන්ධ වන යමකින් සංවාදය ඇරඹීම ප්‍රයෝජනදායකය. භාවිත කළ යුතු එළඹීම තීරණය කරන්නේ කෙසේද? හොඳයි, මෙය සලකා බලන්න. පුද්ගලයා ළඟට යද්දී ඔහු සිටියේ යම් කටයුත්තක නියැලෙමින්ද? එම පුද්ගලයා ගොවිතැන් කරමින් සිටිනවාද? නිවස අවට වත්ත පිරිසිදු කරමින් සිටිනවාද? වාහනයක් අලුත්වැඩියා කරනවාද? ආහාර පිසිනවාද? රෙදි සෝදනවාද? දරුවන් බලා ගන්නවාද? ඔහු යමක් දෙස, එනම් පුවත්පතක් හෝ පාරේ ගමන් කරන අයගේ ක්‍රියාකාරකම් දෙස බලමින් සිටිනවාද? අවට තිබෙන දේවලින් ඔහුගේ උනන්දුවට හේතු වන යම් විශේෂිත දෙයක් දැකගත හැකිද? මසුන් ඇල්ලීම, ක්‍රීඩා, සංගීතය, ගමන් බිමන් යෑම, පරිගණක හෝ වෙනත් යමක් මීට ඇතුළත් විය හැක. මෑතකදී ගුවන්විදුලියෙන් අසන්නට ලැබුණු දෙයක් හෝ රූපවාහිනියේ නැරඹූ දෙයක් බොහෝ දුරට මිනිසුන්ගේ අවධානයට නතු වේ. එවැනි ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇසීමෙන් හෝ කෙටි යමක් පැවසීමෙන් සුහද සාකච්ඡාවක් ඇරඹිය හැක.

සාක්ෂියක් දැරීමේ අදහසින් සංවාදයක් ඇරඹිය හැකි ආකාරය පිළිබඳව කැපීපෙනෙන උදාහරණයක් වන්නේ සිඛාර්හි ළිඳක් අසල යේසුස් සමාරිය ස්ත්‍රියකට කතා කළ අවස්ථාවයි.—යොහ. 4:5-26.

ඔබේ හැඳින්වීම හොඳින් සූදානම් කිරීම අවශ්‍යය. ඔබේ සභාවෙහි බලප්‍රදේශය නිතරම පියවනු ලැබේ නම්, මේ සඳහා විශේෂ අවශ්‍යතාවක් පවතී. එසේ නොකළහොත් සාර්ථකව සාක්ෂියක් දැරීමට ඔබට නොහැකි වේවි.

සාකච්ඡා කරන විෂය පැහැදිලිව හඳුන්වා දෙන්න. ක්‍රිස්තියානි සභාවේ කතාවක් දෙන විට, සභාපති කෙනෙකු හෝ ඔබට කලින් කතාව දුන් තැනැත්තා ඔබේ කතාවේ මාතෘකාව නිවේදනය කර ඔබව හඳුන්වා දීම සාමාන්‍ය පුරුද්දයි. එනමුත්, ඔබේ ප්‍රාරම්භක අදහස් කිහිපය දක්වද්දී ඔබ සාකච්ඡා කරන විෂය සබයට මතක් කර දීම ප්‍රයෝජනදායක විය හැක. කැමති නම්, තේමාව නැවතත් ඒ විදිහටම සඳහන් කරන්නට පුළුවන. කෙසේවෙතත්, මෙය අනිවාර්ය දෙයක් නොවේ. එනමුත් කතාව යන අතරතුරේදී තේමාව ක්‍රමානුකූලව අනාවරණය කළ යුතුය. එමනිසා හැඳින්වීමේදී යම් ආකාරයකින් ඔබේ විෂය කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍යය.

දේශනා කිරීමේ කාර්යයෙහි නිරත වීම සඳහා සිය ගෝලයන්ව යැවූ විට, ඔවුන් ඉදිරිපත් කළ යුතු පණිවිඩය යේසුස් ඉතා පැහැදිලිව දැක්වීය. “ඔබ ගොස්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී තිබේ’ යයි දේශනා කරන්න.” (මතෙ. 10:7, NW) අපගේ කාලය හා සම්බන්ධව යේසුස් පැවසුවේ මෙසේය. “රාජ්‍යයේ මේ ශුභාරංචිය . . . දේශනා කරනු ලබන්නේය.” (මතෙ. 24:14, NW) ඇත්තෙන්ම “වචනය දේශනා” කිරීමට අපගෙන් උදක්ම ඉල්ලා ඇත. ඉන් අදහස් කරන්නේ සාක්ෂි දරන විට බයිබලයටම යොමු දැක්වීමයි. (2 තිමෝ. 4:2) කෙසේවෙතත්, බයිබලය විවෘත කිරීමට හෝ රාජ්‍යය වෙත අවධානය යොමු කිරීමට පෙර, පොදුවේ සැලකිල්ලට භාජන වී ඇති යම් කාරණයක් පැහැදිලිව දැක්වීම අවශ්‍යය. අපරාධ, රැකියා හිඟය, අයුක්තිය, යුද්ධ, යොවුන් පරපුරට උපකාර කළ හැකි අයුරු, අසනීප හෝ මරණය ගැන අදහස් දැක්වීමට පුළුවන. එනමුත් දිගින් දිගට නිෂේධාත්මක කාරණා ගැන කතා නොකරන්න. ඔබේ පණිවිඩය ඒකාන්ත, වර්ධනය ගෙන දෙන පණිවිඩයකි. එමනිසා සංවාදය දේවවචනය සහ රාජ්‍යය පිළිබඳ බලාපොරොත්තුව වෙත යොමු කිරීමට උත්සාහ දරන්න.

සාකච්ඡා කරන විෂය සබයට වැදගත් වන්නේ මන්දැයි පෙන්නුම් කරන්න. සභාවෙහි කතාවක් දීමට සිදු වේ නම්, ඔබේ සබයේ උදවිය සාමාන්‍යයෙන් ඔබ සාකච්ඡා කිරීමට අදහස් කරන දේවල් ගැන යම් උනන්දුවක් දක්වයි කියා ඔබට සාධාරණව අපේක්ෂා කළ හැක. එනමුත්, තමාට ඇත්තෙන්ම ප්‍රයෝජනවත් වන යමක් ඉගෙනගන්නා කෙනෙකු සවන් දෙන්නාක් මෙන් ඔවුන් ඔබට සවන් දෙයිද? ඔවුන් සවන් දෙමින් සිටින දේ ඔවුන්ගේ ජීවිතවලට පෞද්ගලිකව අදාළ වන බව තේරුම්ගන්නා නිසාත්, ඒ සම්බන්ධයෙන් යමක් කිරීමේ ආශාව ඔබ ඔවුන් තුළ ජනිත කරවන නිසාත් ඔවුන් හොඳ අවධානයක් දෙයිද? එවැන්නක් සැබෑ වන්නේ ඔබේ කතාව සූදානම් කරන විට ඔබේ සබය, ඔවුන් සිටින තත්වය, ඔවුන්ගේ සැලකිල්ලට බඳුන් වී ඇති දේ සහ ඔවුන්ගේ ආකල්ප සලකා බැලුවොත් පමණි. එසේ සලකා බලා ඇත්නම්, ඒ බවට අඟවන යමක් ඔබේ හැඳින්වීමේදී ඇතුළත් කරන්න.

වේදිකාවේ සිට සබයක් අමතනවා හෝ වේවා, පුද්ගලයෙකුට සාක්ෂි දරනවා හෝ වේවා, සාකච්ඡා කරන විෂය සම්බන්ධයෙන් උනන්දුව අවදි කිරීමට හොඳම ක්‍රමයක් වන්නේ ඔබේ සබය ඊට සම්බන්ධ කරගැනීමයි. ඔවුන්ගේ ගැටලු, අවශ්‍යතා නැතහොත් ඔවුන්ගේ මනසට වධ දෙන ප්‍රශ්න, ඔබ සාකච්ඡා කරන විෂයට සම්බන්ධ වන ආකාරය පෙන්නුම් කරන්න. නිකම්ම කරුණු උඩින් පල්ලෙන් පියවනවාට වඩා එක්තරා කරුණක් සම්බන්ධයෙන් සුවිශේෂ පැති සාකච්ඡාවට ලක් කරන බව ඔබ පැහැදිලිව දක්වනවා නම්, ඔවුන් ඊටත් වඩා කිට්ටුවෙන් අවධානය යොමු කරනු ඇත. මෙවැන්නක් ඉටු කිරීම සඳහා ඔබ හොඳින් සූදානම් විය යුතුය.

හැඳින්වීම ඉදිරිපත් කරන අන්දම. ඔබේ හැඳින්වීමේදී පවසන්නේ කුමක්ද යන්න මූලිකවම වැදගත්කමක් දැරුවත්, උනන්දුව ජනිත කරවීමට එය පවසන අන්දම උපකාරවත් විය හැක. එමනිසා සූදානම් වෙද්දී, පවසන්නේ කුමක්ද යන්න පමණක් නොව, එය පවසන අන්දම ගැනත් සලකා බලන්න.

ඔබේ පරමාර්ථය ඉටු කරගැනීම සඳහා තෝරාගන්නා වචන වැදගත්ය. එමනිසා මුල් වාක්‍ය දෙක තුන ඉතා පරෙස්සමින් සූදානම් කරගැනීම ප්‍රයෝජනදායක වේ. සාමාන්‍යයෙන් කෙටි, සරල වාක්‍ය භාවිත කිරීම හොඳම දෙයයි. සභාවෙහි දෙන කතාවක් සඳහා ඔබේ කෙටි සටහන්වල එම හැඳින්වීමේ වාක්‍ය කිහිපය ලියා ගත හැක. එසේ නැතහොත් වඩාත් බලපෑමෙන් යුතුව ඉදිරිපත් කිරීම සඳහා ඔබ භාවිත කරන එම මුල් වචන ස්වල්පය කටපාඩම් කිරීමට ඔබ තීරණය කරන්නට පුළුවන. කෙසේවෙතත්, හදිසි නොවී බලපෑමෙන් යුක්තව හැඳින්වීමක් ඉදිරිපත් කරන විට, ඔබේ කතාවේ ඉතිරි කොටස් සන්සුන්ව ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ධෛර්යය උපදවාගත හැක.

හැඳින්වීම සූදානම් කරගත යුතු අවස්ථාව. මෙම කාරණය සම්බන්ධයෙන් විවිධ මත ඇත. ඇතැම් අද්දැකීම් ලත් කථිකයන් විශ්වාස කරන්නේ කතාවක හැඳින්වීම මුලින්ම සූදානම් කරගත යුතු බවය. වෙනත් පළපුරුදු කථිකයන්ගේ මතයට අනුව හැඳින්වීම පිළියෙළ කළ යුත්තේ කතාවේ ශරීරය පිළියෙළ කළායින් පසුවය.

උචිත හැඳින්වීමකට ඇතුළත් කළ යුතු තොරතුරු මොනවාදැයි තීරණය කිරීමට පෙර, ඔබේ විෂය ගැනත්, ඒ සඳහා භාවිත කිරීමට අදහස් කරන මූලික කරුණු ගැනත් ඔබට අවබෝධයක් තිබිය යුතුමය. එනමුත් ඔබේ කතාව මුද්‍රිත දළ සටහනක් ඇසුරෙන් සූදානම් කරන්නේ නම් කුමක් කිව හැකිද? දළ සටහන කියවීමෙන් අනතුරුව, හැඳින්වීම සඳහා යම් අදහසක් පහළ වේ නම්, එය ලියාගැනීමෙහි කිසිදු හානියක් නැත. මීට අමතරව, බලපෑමෙන් යුතුව හැඳින්වීමක් ඉදිරිපත් කිරීමට නම් ඔබේ සබය ගැන සලකා බැලිය යුතු බවත්, දළ සටහනෙහි අඩංගු තොරතුරු සැලකිල්ලට ගත යුතු බවත් මතක තබාගන්න.

එය කරන අන්දම

  • ඔබේ සබයේ සිටින අය, ඔවුන් සිටින තත්වය, ඔවුන්ගේ සැලකිල්ලට බඳුන් වී ඇති දේ, ඔවුන්ගේ ආකල්ප, ඔබ සාකච්ඡා කරන විෂය ගැන දැනටමත් ඔවුන් දන්නා දේ ආදිය සලකා බලන්න.

  • ඔවුන්ගේ උනන්දුවට විශේෂයෙන් ලක් වන්නෙත්, ඔවුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන්නෙත් ඔබේ විෂයේ කවර පැතිද යන්න තීරණය කරන්න.

අභ්‍යාස: (1) ගෙයින් ගෙට සේවයෙහි සහභාගි වීමට පෙර, ඔබ ඉදිරිපත් කරන පණිවිඩයට මෙන්ම ඔබේ ප්‍රදේශයෙහි මෑතක සිදු වූ යම් දේවලට ගැළපෙන හැඳින්වීමක් සූදානම් කරගන්න. (2) මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල ලිපි පහක් හයක් ගෙන ඒවායෙහි මුල්ම ඡේදය පුනරීක්ෂණය කර බලන්න. ඒවායෙහි හැඳින්වීම් බලපෑමෙන් යුක්ත වීමට හේතු මොනවාදැයි ඔබෙන්ම විමසන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න