අපේ උපරිමයෙන් යෙහෝවා දෙවිට දෙමු
1 දෙවිට දිය හැකි යම් දේවල් අපි සෑම කෙනෙක් ළඟම තිබෙන බව ඔබ දැන සිටියාද? ආබෙල් ඔහුගේ වටිනා සතුන්ව දෙවිට පූජා කළා. ඒ හා සමානව නෝවා හා යෝබ්ද දෙවිට පූජා ඔප්පු කළා. (උත්. 4:4; 8:20; යෝබ් 1:5) යෙහෝවා දෙවි සෑම දෙයකම නිර්මාතෘ වන නිසා සෑම දෙයක්ම අයිති ඔහුටයි. මේ නිසා ඒ ඇදහිලිවන්තයන් කළ එවැනි පූජාවල ප්‍රතිඵලයක් හැටියට දෙවිට අමුතුවෙන් දේවල් ලැබුණේ නැහැ. එහෙත් ඔවුන් එවැනි පූජා ඔප්පු කළේ දෙවිට තිබූ ඉමහත් ප්‍රේමය නිසයි. ඒ හා සමානව අපිටත් අප සතු කාලය, ශක්තිය හා ධන සම්පත් වැය කරමින් “ප්‍රශංසාව නමැති පූජාව” දෙවිට ඔප්පු කළ හැකියි.—හෙබ්‍රෙ. 13:15.
2 කාලය: දේවසේවයේ වැඩියෙන් හවුල් වීම සඳහා නොවැදගත් දේවලින් කාලය ‘මිල දී ගැනීම’ මොන තරම් ප්‍රශංසනීය දෙයක්ද! (එෆී. 5:15, 16 පාදසටහන) අවුරුද්දකට මාසයක් හෝ මාස කිහිපයක් උපකාරික පුරෝගාමි සේවය කිරීම සඳහා අපේ දෛනික වැඩකටයුතු සකස් කරගන්න අපිට අවස්ථාව තිබිය හැකියි. අපි සේවය සඳහා සාමාන්‍යයෙන් යොදවනවාට වඩා වැඩි කාලයක් යෙදවීමේ හැකියාව අපිට තිබෙන්න පුළුවන්. සෑම සතියකම පැය භාගයකින් අපේ සේවය වැඩි කළොත් මාසයකට පැය දෙකක් වැඩියෙන් වාර්තා කරන්න පුළුවන්.
3 ශක්තිය: විනෝදාස්වාදයට හා රැකියාවට අධික කාලයක් වැය කිරීම නිසා අපි වෙහෙසට පත් වුණොත් දෙවිට සේවය කිරීම සඳහා අපේ ශක්තිය උපරිම ලෙස වැය කිරීමට නොහැකි විය හැකියි. අපි යම් දේවල් ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වුණොත් ‘මානසිකව වැටෙන්න’ පුළුවන්. (හිතෝ. 12:25, NW) එහි ප්‍රතිඵලයක් හැටියට දෙවිට සේවය කිරීම සඳහා යෙදවිය හැකි කාලය අඩු වී යා හැකියි. කනස්සලු වීම සඳහා යම් සාධාරණ හේතු තිබුණත් හොඳම දෙය වන්නේ ‘අපේ බර යෙහෝවා දෙවි මත තැබීම’ නොවෙයිද?—ගීතා. 55:22; ෆිලි. 4:6, 7.
4 ධන සම්පත්: දේශනා කිරීමේ කාර්යයේ අභිවෘද්ධිය සඳහා අප සතු මිල මුදල් හා වෙනත් සම්පත් වැය කළ හැකියි. විවිධ අවශ්‍යතාවලින් පෙළෙන අයට උපකාර කිරීම සඳහා ‘යමක් වෙන් කර තබාගන්න’ කියා පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ව දිරිමත් කළා. (1 කොරි. 16:1, 2) ඒ හා සමානව සභාවේ අවශ්‍යතා හා ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කරන්න අපිටත් පුළුවන්. අපි පරිත්‍යාග කරන්නේ කුඩා දෙයක් වුණත් එය මුළු සිතින්ම කරන විට යෙහෝවා දෙවි එය අගය කරනවා.—ලූක් 21:1-4.
5 යෙහෝවා දෙවි අපිට බොහෝ දේවල් සපයා දී තිබෙනවා. (යාකො. 1:17) මෙය අගය කරමින් අප සතු කාලය, ශක්තිය හා ධන සම්පත් වැය කරමින් අපි ඔහුට උපරිමයෙන් සේවය කරමු. අපි එසේ කරනවා දකින විට දෙවි හුඟක් සතුටු වෙනවා. ‘සතුටින් දෙන්නාට දෙවි ප්‍රේම කරන’ බව මතක තබාගනිමු.—2 කොරි. 9:7.