10වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
ඔබේ සේවය පුළුල් කළ හැකි ආකාර
109 සිට 119 දක්වා පිටු
“අස්වැන්න නම් බොහෝය, නමුත් වැඩ කරන්නෝ ස්වල්පදෙනෙක්ය. එහෙයින් තම අස්වැන්න නෙළීමට වැඩ කරන්නන් එවන ලෙස අස්වැන්නේ ස්වාමියාගෙන් අයැදින්න.” (මතෙ. 9:37, 38) යේසුස් එම වදන් ඔහුගේ ගෝලයන්ට පැවසුවේ දේවරාජ්‍යය ගැන දේශනා කිරීමට ඔවුන්ව පිටත් කර හැරිය අවස්ථාවේදීයි. යේසුස් දේවසේවය කළ යුතු ආකාරය ගැන ගෝලයන්ට නිශ්චිත උපදෙස් ලබා දුන්නා. “මනුෂ්‍ය පුත්‍රයා එන තෙක්, ඔබට ඊශ්‍රායෙල්හි සෑම නුවරකටම ගොස් සංචාරය නිම කිරීමට කිසිසේත් නොහැකි වනු ඇත” කියා යේසුස් පැවසූ වදන්වලින් පෙනී යන්නේ ගෝලයන් දේශනා කිරීමේ කාර්යයේ හදිසිතාවේ හැඟීමකින් නියැලිය යුතු වූ බවයි.—මතෙ. 10:23.
මේ කාලයේද දේවසේවකයන් විශාල පිරිසකගේ අවශ්‍යතාවක් තිබෙනවා. මේ සේවය කරන්න තව වැඩි කාලයක් ඉතිරි වී නැහැ. අවසානය පැමිණෙන්න කලින් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන ජනයාට දේශනා කළ යුතුයි. (මාක් 13:10) කෙත හෙවත් ක්ෂේත්රය වන්නේ ලෝකයයි. මින් පෙනී යන්නේ අද අප සිටින්නෙත් එදා යේසුස් සහ ඔහුගේ ගෝලයන් සිටි තත්වයට සමාන තත්වයක බවයි. මහ පරිමාණයකින් ශුභාරංචිය දේශනා කරන්න තිබෙනවා. ලෝකයේ සිටින බිලියන ගණනක් වූ ජනයා සමඟ බලන කළ දේවසේවකයන් සිටින්නේ සුළු පිරිසක්. එහෙත් යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන් හැටියට අපිට උපකාර කරන බව නම් ස්ථීරයි. මුළු ජනාවාස පොළොව පුරාම රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ වීමට සලස්වන්න ඔහුට හැකියි. ශුභාරංචිය දේශනා කිරීමෙන් පසු, යෙහෝවා දෙවි අරමුණු කර තිබෙන ආකාරයට ඔහුගේ නියමිත කාලයේදී අවසානය පැමිණෙන බව නිසැකයි. එහෙත් ඒ කාලය වන විට අපි දේවසේවයේ හවුල් වීම සඳහා අපිට තිබෙන වගකීම අපි විශ්වාසවන්තව ඉටු කරමින් සිටීවිද? (එස. 33:8, 9) අපේ දේවසේවය සම්පූර්ණ කිරීමට හැකි වන පරිදි අපේ ජීවිතයේ මුල් තැන දේවරාජ්‍යයට අපි දී තිබෙනවාද? අපි සේවය සම්පූර්ණයෙන් ඉටු කිරීම සඳහා තබා තිබෙන ඉලක්ක මොනවාද? මේ ප්‍රශ්න ගැන අපි ගැඹුරින් සිතා බැලීම වැදගත්.
යෙහෝවා දෙවි ඔහුට කැප වී සිටින සෑම සේවකයෙකුගෙන්ම බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා පෙන්වා දෙමින් යේසුස් මෙසේ පැවසුවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.” (මාක් 12:30) අපි මුළු සිතින්ම තමන්ට සේවය කිරීම දෙවි අපි සියලුදෙනාගෙන්ම බලාපොරොත්තු වෙනවා. මින් පෙනී යන්නේ දෙවි කෙරෙහි අපට කොතරම් භක්තියක් තිබෙනවාද කියාත් දෙවිට වූ අපේ කැපවීම අප අවංක චේතනාවෙන් කළ බවත් අපේ උපරිමයෙන් දේවසේවයේ නිරත වීමෙන් අපි එක් එක්කෙනාට පෙන්වන්න පුළුවන් බවයි. (2 තිමෝ. 2:15) අපේ තත්වයන්ට හා හැකියාවන්ට අනුව අපි සෑම කෙනෙකුටම දෙවිට සේවය කිරීම සඳහා බොහෝ ප්‍රස්තා විවෘත වී තිබෙනවා. දැන් අපි එම ප්‍රස්තාවලින් කිහිපයක් ගැන සලකා බලමු. ඔබ දෙවිට සේවය කිරීමේදී ඔබට අත් කරගත හැකි ඉලක්ක මොනවාද කියා හොඳින් සිතා බලන්න.
සභා ප්‍රචාරකයෙකු ලෙස සේවය කිරීම
දේවවචනයේ සත්‍යය විශ්වාස කරන සියලුදෙනාටම තිබෙන වරප්‍රසාදය වන්නේ ශුභාරංචිය දේශනා කිරීමයි. යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවරූ ප්‍රධානතම කාර්යය වන්නේ එයයි. (මතෙ. 24:14; 28:19, 20) යේසුස්ගේ ගෝලයෙක් වන කෙනෙක් ශුභාරංචියේ තිබෙන වැදගත්කම තේරුම්ගත් විගස එය අන් අයට පවසන්න පටන්ගන්නවා. අන්දෘ, ෆිලිප්, කොර්නේලියස් සහ තවත් අය කළේ එයයි. (යොහන් 1: 40, 41, 43-45; ක්‍රියා 10:1, 2, 24; 16:14, 15, 25-34) එයින් අදහස් කරන්නේ බව්තීස්ම වීමට කලින් පවා ශුභාරංචිය ගැන අන් අයට පැවසීමේ කාර්යයේ හවුල් වීමට යමෙකුට හැකියි කියාද? ඔව්, බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු ලෙස සේවය කිරීමට අනුමැතිය ලැබීමත් සමඟම ගෙයින් ගෙට සේවයේ හවුල් වීමට ඔහුට හැකියි. එමෙන්ම තමන්ගේ හැකියාවන්ට හා තත්වයන්ට අනුව ඔහුට නැවත බැලීම් කිරීම හා බයිබල් පාඩම් පැවැත්වීම ඇතුළු දේවසේවයේ අනිත් අංගවලද නිරත විය හැකියි.
ශුභාරංචිය ගැන දැනගැනීමට අන් අයට උපකාර කිරීම සඳහා ඔබට හැකි සෑම දෙයක්ම කිරීමට, සභාවේ බව්තීස්ම ලත් සාමාජිකයෙකු හැටියට ඔබ මහත් වෑයමක් දැරීමට කැමැත්තෙන් සිටිනවාට සැකයක් නැහැ. දෙවි විසින් පවරා තිබෙන දේශනා කිරීමේ කාර්යයේ හවුල් වීමේ වරප්‍රසාදය ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම තිබෙනවා. සෑම කෙනෙක්ම සභාවේ තමන්ට හිමි කාර්යයන් ඉටු කිරීමේදී කදිම ආදර්ශයක් තැබිය යුතුයි. (1 තිමෝ. 2:9-15; තීත. 2:1-10; 1 පේතෘ. 5:5) සත්‍යය තුළ ප්‍රගතියක් ලබමින් ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් සපුරාලන පුරුෂයන්ව සභා සේවකයන් ලෙස පත් කළ හැකියි. (1 තිමෝ. 3:8-10, 12, 13) අවේක්ෂකයන් සඳහා ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් සපුරාලන සභා සේවකයන්ව වැඩිමහල්ලන් ලෙස පත් කරනු ලබනවා. ඔවුන් සභාවේ ඉගැන්වීමේ කාර්යයේ හවුල් වන අතර එඬේරුන් ලෙසද සභාවේ සේවය කරනවා. (1 තිමෝ. 3:1-7; තීත. 1:5-9) දේවරාජ්‍යය හා බැඳි ක්‍රියාකාරකම්වල වර්ධනය සඳහා සුළුවෙන් හෝ දායක වෙන්න ලැබීම ඇත්තෙන්ම වරප්‍රසාදයක්. අමතර සේවා වරප්‍රසාද අත් කරගනිමින් තම සේවය පුළුල් කරන අය ඉන් මහත් ප්‍රීතියක් ලබනවා.
අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීම
සමහරවිට ඔබ සේවය කරන්නේ ප්‍රචාරකයන් නිතර ගෙයින් ගෙට සේවයේ හවුල් වෙමින් කදිම සාක්ෂියක් දරන බලප්රදේශයක විය හැකියි. එසේනම් දේශනා සේවය සඳහා වැඩි අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශයකට ගොස් ඔබේ සේවය පුළුල් කරන්න ඔබට හැකිද? (ක්‍රියා 16:9) මේ ගැන ඔබේ චාරිකා අවේක්ෂක සමඟ කතා කළ හැකියි. ඔහුගේ චාරිකාවට අයත් අවශ්‍යතාව තිබෙන සභාවකට උපකාර කරන්න ඔබට හැකි ආකාර ගැන ඔහු යම් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. වෙනත් ප්‍රදේශයක සේවය කරන්න ඔබ කැමති නම් ඒ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ශාඛා කාර්යාලයට ලියන්න ඔබට පුළුවන්. ඔබ වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු ලෙස සේවය කරනවා නම් උපකාරය අවශ්‍ය සභාවක සේවය කරන්න ඔබට හැකියි. ඒ සභාවේ අය ඔබ කරන සේවය මහත් සේ අගය කරනවාට සැකයක් නැහැ.
වෙනත් රටකට ගොස් සේවය කරන්න ඔබ කැමතිද? ඔබ කැමති නම් ඒ ගැන හොඳින් කල්පනා කර බැලීම වැදගත්. මන්ද ඔබ ගන්න තීරණය ඔබට පමණක් නොවෙයි, ඔබත් සමඟ සේවය කරන්න යන කෙනාටත් බලපානවා. (ලූක් 14:28) සේවය සඳහා යන රටේ දිගු කාලයක් නතර වීමට ඔබට නොහැකි නම් හොඳම දෙය වන්නේ ඔබේ රටේ යම් ප්‍රදේශයක සේවය කිරීම ගැන සිතා බැලීමයි.
ඔබේ රටේ හා වෙනත් රටක තිබෙන ශාඛා කාර්යාලයක් මගින් ඔබේ සේවය අවශ්‍ය කරන සභාවල නම් ඔබට දැනුම් දීමට කලින් ඔබේ සභාවේ සේවා කමිටුව නිර්දේශ කිරීමේ ලිපියක් ශාඛා කාර්යාලයට යැවිය යුතුයි. ඔබ වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු හෝ පුරෝගාමියෙකු හෝ ප්‍රචාරකයෙකු ලෙස සේවය කළත් එවැනි ලිපියක් අවශ්‍යයි. ඔබ කළ විමසීම ගැනද සඳහන් කරමින් සේවා කමිටුව විසින් නිර්දේශ කිරීමේ ලිපියක් ඔබ සේවය කිරීමට කැමති රටේ ශාඛා කාර්යාලයට යවනු ලබනවා.
අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමට ඔබ කැමති නම් ඒ ගැන ඔබේ සභාවේ වැඩිමහල්ලන් සමඟ කතා කරන්න. එසේ වෙනත් ප්‍රදේශයකට යෑම සැලසුම් කරන ආකාරය ගැන හෝ අනාගතයේ යම් දවසක එසේ සේවය කිරීම සඳහා සුදුසුකම් ලැබිය හැකි ආකාරය ගැන ඔබට ප්‍රයෝජනවත් යෝජනා ඉදිරිපත් කරන්න ඔවුන්ට හැකියි.
වෙනත් භාෂාවක් කතා කරන සභාවක සේවය කිරීම
සංඥා භාෂාව ඇතුළුව වෙනත් භාෂාවක් ඉගෙනගැනීමෙන් ඔබේ සේවය පුළුල් කරන්න ඔබට හැකියි. භාෂා දෙකක් කතා කරන ඇතැම් පවුල්වල දෙමාපියන් මෙන්ම දරුවන්ද තම සේවය පුළුල් කරගෙන තිබෙන්නේ තම හැකියාව යොදාගනිමින් වෙනත් භාෂාවක් කතා කරන සභාවක සේවය කිරීමෙනුයි. ඔබේ දේවසේවය පුළුල් කිරීම සඳහා වෙනත් භාෂාවක් ඉගෙනගන්න ඔබ කැමති නම් ඒ ගැන සභාවේ වැඩිමහල්ලන් හා චාරිකා අවේක්ෂක සමඟ කතා කරන්න. ඔබට යම් යෝජනා ඉදිරිපත් කරන්නත් දිරිගැන්වීම් සපයන්නත් ඔවුන්ට හැකියි. බොහෝ විදේශිකයන් වෙසෙන රටවල ඔවුන්ට දේශනා කිරීම සඳහා ඒ රටවල ශාඛා කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ ඇතැම් චාරිකාවන් භාෂා ඉගැන්වීම් පංති සැලසුම් කර තිබෙනවා.
උපකාරික, ස්ථාවර හා විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කිරීම
උපකාරික, ස්ථාවර හා විශේෂ පුරෝගාමී සේවයේ මෙන්ම පූර්ණ කාලීන සේවයේ වෙනත් අංගවල නිරත වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ගැන සියලුම ප්‍රචාරකයන් දැන සිටීම වැදගත්. මේ ගැන නිශ්චිත තොරතුරු අපගේ රාජ්‍යය සේවාවේ කලින් කලට පළ වෙනවා. පුරෝගාමියෙකු ලෙස සේවය කරන කෙනෙක් බව්තීස්ම ලත් ආදර්ශවත් ක්‍රිස්තියානියෙකු විය යුතුයි. ඔහුට හෝ ඇයට ශුභාරංචිය දේශනා කිරීම සඳහා සෑම මාසයකම නිශ්චිත පැය ගණනක් වැය කළ හැකි විය යුතුයි. උපකාරික පුරෝගාමීන්ගේ අයදුම් පත් අනුමත කරන්නේ සභාවේ සේවා කමිටුව වුවත් ස්ථාවර හා විශේෂ පුරෝගාමීන්ගේ අයදුම් පත් අනුමත කරන්නේ ශාඛා කාර්යාලයයි.
උපකාරික පුරෝගාමීන්ව අඩුම තරමින් එක මාසයක් සඳහා හෝ එක දිගටම මාස කිහිපයක් සඳහා හෝ දිගටම සේවය කිරීම සඳහා පත් කළ හැකියි. ප්‍රචාරකයන් බොහෝදෙනෙක් සිහි කිරීම කාලයේ හා චාරිකා අවේක්ෂක තම සභාව බැහැදකින මාසය වැනි විශේෂ කාලවලදී උපකාරික පුරෝගාමී සේවයේ නිරත වෙනවා. තවත් අය රැකියාවේ වැඩියෙන් නිවාඩු තිබෙන මාසවල මේ සේවයේ හවුල් වෙනවා. බව්තීස්ම වී සිටින පාසැල් යන ප්‍රචාරකයන් පාසැල් නිවාඩු කාලයේ උපකාරික පුරෝගාමී සේවය කරනවා. ඔබේ තත්වයන් කුමක් වුණත්, ඔබ හොඳ සදාචාර මට්ටමක සිටිනවා නම්, අදාළ පැය ගණන සම්පූර්ණ කිරීම සඳහා නිශ්චිත සැලසුම් සකස් කරගත හැකි නම්, උපකාරික පුරෝගාමියෙකු ලෙස මාසයක් හෝ මාස කිහිපයක් සේවය කිරීමට හැකියි කියා ඔබ සිතනවා නම්, මෙම සේවා වරප්‍රසාදය ඔබට ලබා දීමට වැඩිමහල්ලන් සතුටු වෙයි.
ස්ථාවර පුරෝගාමියෙකු ලෙස සේවය කිරීම සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔබ වාර්ෂික ක්ෂේත්‍ර සේවයේ නිශ්චිත පැය ගණනක් සම්පූර්ණ කළ හැකි තත්වයක සිටිය යුතුයි. මෙම වගකීම ඉටු කිරීමට හැකි වන පරිදි සෑම මාසයකම නිශ්චිත පැය ගණනක් ඉලක්ක කරගන්න කියා අපගේ රාජ්‍යය සේවාවේ යෝජනා කර තිබෙනවා. ස්ථාවර පුරෝගාමියෙකු ලෙස ඔබ සේවය කරන සභාව සමඟ නිතරම සහයෝගයෙන් ක්‍රියා කිරීම වැදගත්. උද්යෝගයෙන් සේවය කරන පුරෝගාමීන් සභාවකට මහත් ආශීර්වාදයක්. ඔවුන් ක්ෂේත්‍ර සේවයේ මහත් උනන්දුවෙන් හවුල් වන අතර පුරෝගාමී සේවය කිරීමට එය අන් අයටත් දිරිගැන්වීමක් වෙයි. කෙසේවෙතත් වැඩිමහල්ලන් ස්ථාවර පුරෝගාමි සේවය සඳහා ඔබව අනුමත කිරීමට කලින් ඔබ බව්තීස්ම වී අඩුම තරමින් මාස හයක්වත් ගත වී තිබිය යුතුයි. එමෙන්ම යහපත් සදාචාර මට්ටමක් පවත්වාගනිමින් සිටින ආදර්ශවත් ප්‍රචාරකයෙක් විය යුතුයි. ඔබට ක්‍රියාත්මක කළ හැකි කාලසටහනකට අනුව ක්ෂේත්‍ර සේවයේ නිශ්චිත පැය ගණනක් සපුරාලීමටත් හැකි විය යුතුයි.
විශේෂ පුරෝගාමීන්ව සාමාන්‍යයෙන් තෝරාගනු ලබන්නේ ස්ථාවර පුරෝගාමීන් අතරෙනුයි. මෙසේ තෝරාගන්න අය දේවසේවයේ සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙන අතර ශාඛා කාර්යාලය විසින් පවරන ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට කැමැත්තෙන් සිටිය යුතුයි. බොහෝ අවස්ථාවලදී ඔවුන්ට පැවරුම් ලබා දෙන්නේ උනන්දුව දක්වන අය බොහෝ සේ සිටින අලුත් සභාවන් පිහිටු විය හැකි ඈත ප්‍රදේශවල සේවය කිරීමටයි. තම බලප්‍රදේශය ක්‍රමානුකූලව පියවීම සඳහා උපකාර අවශ්‍ය කරන සභාවලටද විශේෂ පුරෝගාමීන්ව පත් කරන අවස්ථා තිබෙනවා. දේශනාකරුවන් වැඩිදෙනෙක් අවශ්‍ය නොවන ප්‍රදේශයක වුණත් එහි තිබෙන කුඩා සභාවකට උපකාර කිරීම සඳහා වැඩිමහල්ලන් ලෙසද සේවය කරන විශේෂ පුරෝගාමීන්ව පත් කරනු ලබනවා. වියහියදම් සපුරාගැනීම සඳහා විශේෂ පුරෝගාමීන්ට යම් දීමනාවක් ලබා දෙනවා.
දේවසේවකයන් පුහුණු කිරීමේ පාසැල
සෑම වසරකම අලුත් සභා පිහිටු වීමෙන් පෙනී යන්නේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම සඳහා තම සෙනඟ දරන වෑයම්වලට යෙහෝවා දෙවි ආශීර්වාද කර තිබෙන බවයි. (ක්‍රියා 16:5) සභා වැඩි වන විට ඒවායේ සේවය කිරීම සඳහා වැඩිමහල්ලන්ගේ හා සභා සේවකයන්ගේ අවශ්‍යතාවද වැඩි වෙනවා. “මම මෙහිය. මා යැව්ව මැනව” කියා යෙහෝවා දෙවිට පවසමින් එම අවශ්‍යතාව ඉටු කිරීමට සුදුසුකම් ලත් අවිවාහක සහෝදරයන්ව දිරිගන්වනු ලබනවා. (යෙසා. 6:8) බොහෝදෙනෙක් එසේ ඉදිරිපත් වී තිබෙන බව දේවසේවකයන් පුහුණු කිරීමේ පාසැලට අයදුම් කරන අයගේ ගණනින් පෙනී යනවා. මෙම පාසැලට සහභාගි විය හැක්කේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීමට කැමති අවිවාහක වැඩිමහල්ලන් හා සභා සේවකයන්ටයි. මෙම පාසැලට සහභාගි වීමට කැමති සහෝදරයන් සඳහා චාරිකා එක්රැස්වීම්වලදී පවත්වනු ලබන රැස්වීමේදී තව වැඩි විස්තර දැනගත හැකියි.
මෙම පාසැලේදී බයිබලයේ ඉගැන්වීම් හා සභාවල කටයුතු හසුරුවන ආකාරය ගැන පැහැදිලි කරනු ලබනවා. මෙමගින් එඬේරුන් ලෙස සභාවල සේවය කිරීමටත් වෙනත් වගකීම් දැරීමටත් සුදුසුකම් ලත් පුරුෂයන්ට කදිම පුහුණුවක් ලැබෙනවා. (යෙරෙ. 23:4) මෙම පුහුණුව ලබන සමහරුන්ව ඔවුන්ගේම රටේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීමට යවනු ලබන අතර තවත් සමහරුන්ට වෙනත් රටවල සේවය කිරීමට පැවරුම් ලබා දෙනවා. එම පුහුණුවෙන් පසු තමන් කලින් සිටි සභාවේ සේවය කරමින් සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමටත් ඔවුන්ව දිරිගැන්වීමටත් තවත් අයට පැවරුම් ලැබෙනවා. මෙම පුහුණුව ලබා තිබෙන සහෝදරයන්ට දේවවචනය ගැන ඉගැන්වීම මෙන්ම සභාවේ වෙනත් කටයුතු හැසිරවීම සම්බන්ධයෙන් දෙවිගේ සෙනඟට හොඳින් උපකාර කළ හැකියි.—2 තිමෝ. 3:16, 17.
මිෂනාරි සේවය
අවසානය පැමිණෙන්න කලින් “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වා” ශුභාරංචිය දේශනා කිරීම සඳහා මිෂනාරිවරුන් ලෙස වෙනත් රටවලට ගොස් සේවය කිරීමට දේවසේවකයන් අවශ්‍ය වී තිබෙනවා. (ක්‍රියා 1:8; මතෙ. 24:14) උද්යෝගයෙන් සේවය කරගෙන යන, මුළු සිතින්ම දෙවිට මහත් භක්තියක් විදහාපෙන්වන, සාර්ථක ලෙස දේවසේවයේ නිරත වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දහස්ගණනකට තම සේවය පුළුල් කරගැනීම සඳහා එමගින් ප්‍රස්තාව උදා වී තිබෙනවා. වෙනත් රටකට ගොස් සේවය කිරීම සඳහා ආරාධනා කරනු ලබන අයට සාමාන්‍යයෙන් ගිලියද් මුරටැඹ බයිබල් පාසැල කියා හඳුන්වන ලබන පාසැල මගින් විශේෂ පුහුණුවක් දෙනු ලබනවා.
වෙනත් රටකට ගොස් සේවය කිරීමට කැමති බොහෝදෙනෙකුව යවන්නේ දුෂ්කර තත්වයන් යටතේ ජීවත් වීමට සිදු වන රටවලට සේවය කිරීමටයි. සමහරවිට ලෙඩ රෝග වැළඳිය හැකි නිසා මේ සේවය සඳහා සුදුසුකම් ලබන අය ශාරීරිකව හා මානසිකව නිරෝගීව සිටිය යුතුයි. ඔවුන්ට ජීවත් වීමට සිදු වන්නේ වෙනස් සංස්කෘතියකට අනුව නිසා ඊට හැඩ ගැසීමටත් සිදු වෙනවා.
දැනටමත් පූර්ණ කාලීන සේවයේ නිරත වන ඔබ වෙනත් රටකට ගොස් සේවය කිරීමට කැමති නම් ඒ සඳහා තිබිය යුතු සුදුසුකම් ගැන වැඩි විස්තර දිස්ත්‍රික් සමුළුවලදී එවැනි අය සඳහා පවත්වනු ලබන රැස්වීම්වලදී දැනගත හැකියි. මේ සම්බන්ධයෙන් ඔබට කදිම මඟ පෙන්වීම් සැපයීමට ඔබේ චාරිකා අවේක්ෂකට හැකියි. ඔබ වෙනත් රටක සේවය කිරීමට සුදුසුකම් ලබයි නම්, ඇත්තෙන්ම එය මහත් වරප්‍රසාදයක්. සැබෑ නමස්කාරය ලොව පුරා ව්‍යාප්ත වීමට එම සේවය බොහෝ සේ දායක වී තිබෙනවා.
බෙතෙල් සේවය
බෙතෙල් යන නමේ තේරුම “දෙවිගේ ගෘහය” යන්නයි. ලොව පුරා දේවසේවය හා සම්බන්ධ කාරණා හසුරුවන මධ්‍යස්ථාන එලෙස හැඳින්වීම යෝග්‍යයි. ලොව පුරා බෙතෙල් නිවාස ගණනාවක් පිහිටා තිබෙන අතර ඉන් එකක සේවය කරන්න ලැබීම මහඟු වරප්‍රසාදයක්. බෙතෙල් නිවාසවල සේවය කරන සහෝදර සහෝදරියන් ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අවශ්‍ය පොත් පත් සඟරා මුද්‍රණ කිරීමේ හා බෙදාහැරීමේ කාර්යයට සම්බන්ධ වැදගත් වැඩ කොටසක් ඉටු කරනවා. බෲක්ලින්හි පිහිටි බෙතෙල් නිවසේ සිට පාලක මණ්ඩලය ලොව පුරා පිහිටි සභාවල කටයුතු අධීක්ෂණය කරන අතර ඒවාට අවශ්‍ය මඟ පෙන්වීම්ද සපයනවා.
බෙතෙල්හි කරන වැඩවලින් බොහොමයක් වෙහෙස කරයි. මේ හේතුව නිසා බෙතෙල්හි සේවය කිරීම සඳහා බොහෝවිට තෝරාගනු ලබන්නේ කැප වී බව්තීස්ම වී සිටින නිරෝගී ශක්තිමත් තරුණ සහෝදරයන්වයි. ඔබ ජීවත් වන රටේ අවශ්‍යතාවක් තිබේ නම්, ඔබ බෙතෙල්හි සේවය කිරීමට කැමති නම්, දිස්ත්‍රික් සමුළුවලදී බෙතෙල් සේවයට කැමති අය වෙනුවෙන් පවත්වනු ලබන රැස්වීමේදී ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ඔබේ චාරිකා අවේක්ෂකගෙන්ද තොරතුරු දැනගත හැකියි.
රාජ්‍ය ශාලා ගොඩනැඟීම
රාජ්‍ය ශාලා සහ එක්රැස්වීම් ශාලා ගොඩනැඟීම අපි දෙවිට කරන සේවයේ එක් අංගයක් වන අතර මෙය සලමොන්ගේ කාලයේ දේවමාළිගාව ගොඩනැඟීමට සමාන කාර්යයක් වෙනවා. (1 රාජා. 8:13-18) ගොඩනැඟීමේ වැඩකටයුතුවල නිරත වෙමින් තමන්ගේ කාලය හා සම්පත් කැමැත්තෙන් ලබා දීමෙන් බොහෝ සහෝදර සහෝදරියන් යෙහෝවාගේ සංවිධානයේ වැඩවල උද්යෝගයෙන් හවුල් වෙනවා.
දෙවිට මේ ආකාරයෙන් සේවය කිරීමට ඔබට හැකිද? ඔබ ගොඩනැඟීමේ වැඩ ගැන පළපුරුද්දක් තිබෙන බව්තීස්ම ලත් ආදර්ශවත් සහෝදරයෙක් හෝ සහෝදරියක් නම් ඔබගේ සහය කලාපීය ගොඩනැඟීමේ කමිටුව බොහෝ සේ අගය කරාවි. වෙනත් රටවල රාජ්‍ය ශාලා හා එක්රැස්වීම් ශාලා ගොඩනැඟීමට හවුල් වීමට තවත් සමහරුන්ට හැකි වී තිබෙනවා. ඔබ ගොඩනැඟීමේ වැඩ ගැන පළපුරුද්දක් නැති බව්තීස්ම නොලත් ආදර්ශවත් ප්‍රචාරකයෙක් නම් ඔබේ ප්‍රදේශයේ රාජ්‍ය ශාලාවක් ගොඩනඟන විට ඊට සහය වන්න ඔබට හැකියි. ඔබේ කැමැත්ත වැඩිමහල්ලන්ට හා චාරිකා අවේක්ෂකට පවසන්න.
ඔබේ ඉලක්ක මොනවාද?
ඔබ යෙහෝවා දෙවිට ඔබේ ජීවිතය කැප කර තිබෙනවා නම්, ඔහුට සදාකාලයටම සේවය කිරීම ඔබේ ප්‍රධානතම ඉලක්කය බව ඔබ දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. මේ ඉලක්කය ඉටු කරගනිමින් සිටින අතරේදී ඔබට ඔබේ කාලය හා ශ්‍රමය ඇතුළු වෙනත් සම්පත් නැණවත්ව පාවිච්චි කිරීම සඳහා අත් කරගත හැකි වෙනත් ඉලක්ක මොනවාද? (1 කොරි. 9:26) මෙසේ ඉලක්ක තබාගැනීම, සත්‍යය තුළ වර්ධනය වීමටත් ඔබ අමතර සේවා වරප්‍රසාද ලබන විට වඩාත් වැදගත් දේවල් කෙරෙහි සිත යොමු කරන්නත් ඔබට උපකාරවත් වේවි.—ෆිලි. 1:10; 1 තිමෝ. 4:15, 16.
සරු පසෙහි වැටුණු බීජ විවිධ ප්‍රමාණවලින් පල දරන බව වපුරන්නාගේ උපමාවේදී යේසුස් පෙන්වා දුන්නා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “සරු පසෙහි වැපුරූ බීජය නම්, වචනය අසා එහි හරය වටහාගෙන සැබවින්ම පල දරන තැනැත්තාය. එක් කෙනෙක් සිය ගුණයක්ද, එක් කෙනෙක් හැට ගුණයක්ද, තවත් කෙනෙක් තිස් ගුණයක්ද පල දරන්නේය.” (මතෙ. 13:23) වචනයේ සැබෑ අර්ථය අපි වටහාගෙන සිටිනවා නම් යෙහෝවා දෙවිව ප්‍රශංසාවට පත් කිරීමේ අරමුණ ඇතිව බහුල ලෙස පල දැරීමට අප වෑයම් කළ යුතු නැද්ද? අපි උද්යෝගයෙන් දේවසේවයේ හවුල් වන්නේ පල දරන්න තිබෙන ආශාව නිසා නොවේද? දෛනික ජීවිතයේදී දෙවිගේ බලයේ මඟ පෙන්වීම ලැබීමෙන් නිපදවන පල තව තවත් වැඩි කරන්න අපි කැමති නැද්ද? (යොහ. 15:2, 3; ගලා. 5:22, 23) මේ සෑම දෙයක්ම කරන්න අපිට උපකාරවත් වන්නේ දේවසේවය පුළුල් කිරීම සඳහා ඉලක්ක තබාගැනීමයි.
අපි දෙවිට කරන සේවයේදී අනුකරණය කිරීම සඳහා කදිම ආදර්ශයක් පාවුල් තැබුවා. (1 කොරි. 11:1) ඔහු තමාගේ හැකියාවට අනුව හැකි උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කිරීම සඳහා දැඩි උත්සාහයක් දැරුවා. දෙවිට කරන සේවයේදී තමන්ට බොහෝ ප්‍රස්තා විවෘත වී තිබෙන බව පාවුල් තේරුම්ගත්තා. “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක් මට විවෘත කර ඇත” කියා ඔහු කොරින්තියේ විසූ සහෝදරයන්ට ලියද්දී පැවසුවේ ඒ නිසයි. අපිටත් එසේ පැවසිය හැකිද? සභාව සමඟ එක්ව දෙවිට සේවය කිරීමේදී, විශේෂයෙන්ම ශුභාරංචිය දේශනා කිරීමේදී අපිටත් බොහෝ ප්‍රස්තා විවෘත වී තිබෙනවා. එහෙත් පාවුල් මෙන් අපිත් මෙය මතක තබාගත යුතුයි. එනම් ඒ ‘විශාල දොරෙන්’ ඇතුල් වෙද්දී අපිට ‘බොහෝ විරුද්ධකාරයන්’ සිටින අතර අපි ඔවුන්ට එරෙහිව සිටිය යුතුයි. (1 කොරි. 16:9) තරඟයකදී තෑග්ග දිනාගැනීමට මහත් වෑයමක් දරන ක්‍රීඩකයෙක් මෙන් පාවුල් සැමවිටම තමන්ව හික්මවාගැනීමට වෑයම් කළා. ඒ කාලයේදී තෑග්ග හැටියට ලැබුණු ගස්වල කොළවලින් සෑදු ඔටුන්න ඉක්මනින්ම පර වී ගියා. “මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින්, වහලෙකුව ඇදගෙන යන්නාක් මෙන් එය ඇදගෙන යමි” කියා පාවුල් පැවසූ බවත් සැලකිල්ලට ගන්න. (1 කොරි. 9:24-27) අපිටත් තිබෙන්නේ එවැනිම ආකල්පයක්ද?
අද වෙනත් රටකට ගොස් සේවය කරන බොහෝදෙනෙක් එසේ කරන්නේ තමන්ගේ දෙමාපියන්ගෙන් හෝ වෙනත් අයගෙන් ලැබුණු දිරිගැන්වීම් නිසයි. ගිලියද් පාසැලේ පුහුණුව ලබා වෙනත් රටකට ගොස් සේවය කිරීමේ ඉලක්කය ඔවුන් තැබුවේ තරුණ කාලයේදීයි. සමහරුන් එම ඉලක්කය තැබුවේ කුඩා කාලයේදීමයි. ඒ හා සමානව බෙතෙල්හි සේවය කරන බොහෝදෙනෙක් කුඩා කාලයේදීම එහි සේවය කිරීම ඉලක්ක කරගෙන තිබුණා. තවත් අය එම සේවය ගැන දැනගත් මුල් කාලයේදීම එහි සේවය කිරීම ඉලක්ක කරගෙන තිබුණා.
දෙවිට කරන සේවයේදී තමන්ගේ තත්වයන්ට අනුව ඉලක්ක තබාගැනීමට සෑම කෙනෙකුවම දිරිගන්වනු ලබනවා. මෙම ඉලක්කවලට සෑම සතියකම ක්ෂේත්‍ර සේවයේ හවුල්වීම, බයිබල් පාඩමක් පැවැත්වීම, සභා රැස්වීම්වලට සූදානම් වීමට වෙනදාට වඩා වැඩි කාලයක් යෙදවීම, උපකාරික හෝ ස්ථාවර පුරෝගාමී සේවය කිරීම, අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීම, රාජ්‍ය ශාලා සහ එක්රැස්වීම් ශාලා ගොඩනැඟීමට සහය වීම, බෙතෙල්හි සේවය කිරීම හෝ වෙනත් රටකට ගොස් සේවය කිරීම යනාදිය ඇතුළත් විය හැකියි. ඔබේ තත්වයන්ට අනුව ඔබට අත් කරගත හැකි වෙනත් ඉලක්ක සභා රැස්වීම්වලදී, සමුළුවලදී මෙන්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් සඟරාවලින් ඔබේ අවධානයට ලක් කරවන්න පුළුවන්. වැදගත් දෙය වන්නේ ඇදහිල්ලේ ස්ථිරව සිටිමින් ඔබේ හැකි උපරිමයෙන් දෙවිට සේවය කිරීමයි. මෙසේ කරන විට ඔබ දෙවිව ගෞරවයට පත් කරන අතර ඔබේ මූලිකම ඉලක්කය වන යෙහෝවා දෙවිට සදහටම සේවය කිරීමේ වරප්‍රසාදයද අත් කරගත හැකි වෙනවා නිසැකයි.—ලූක් 13:24; 1 තිමෝ. 4:7අ, 8.