ගුරුවරයෙකු ලෙස දියුණු වන්න
ගුරුවරයෙකු ලෙස ඔබේ ඉලක්කය කුමක්ද? ඔබ රාජ්‍ය ප්‍රකාශකයෙක් බවට පත් වූයේ මෑතකදී නම්, යේසුස් තම අනුගාමිකයන්ට දුන් ගෝලයන් සෑදීමේ පැවරුමට අනුව, නිවාස බයිබල් පාඩමක් පවත්වන අන්දම ඉගෙනීමට ඔබ තුළ ආශාවක් ඇති බවට සැකයක් නොමැත. (මතෙ. 28:19, 20) මේ සම්බන්ධයෙන් දැනටමත් ඔබට යම් අද්දැකීමක් තිබෙනවා නම්, උපකාර කිරීමට ඔබ කැමැත්තෙන් සිටින අයගේ හදවත්වලට වඩාත් ඵලදායී ආකාරයෙන් ළංවීම ඔබේ ඉලක්කය විය හැකියි. ඔබ දෙමාපියෙක් නම්, ඔබේ දරුවන් දෙවිට තම ජීවිත කැප කිරීමට පෙලඹවිය හැකි ආකාරයේ ගුරුවරයෙකු වීම ඔබේ අභිප්‍රාය වනවාට සැකයක් නැත. (3 යොහ. 4) ඔබ වැඩිමහල්ලෙක්ද? එසේ නැතහොත් වැඩිමහල්ලෙකු වීමට උත්සාහ දරනවාද? යෙහෝවා සහ ඔහුගේ මාර්ගයන් ගැන ගැඹුරු අගයක් ඔබට සවන් දෙන අය තුළ ගොඩනැංවිය හැකි ප්‍රසිද්ධ කථිකයෙකු වීම ඔබේ අභිප්‍රාය විය හැක. මෙවන් ඉලක්කයන් අත් කරගැනීමට ඔබට හැකි වන්නේ කෙලෙසද?
අතිදක්ෂ ගුරුවරයෙකු වූ යේසුස් ක්‍රිස්තුස්ගෙන් පාඩමක් ඉගෙනගන්න. (ලූක් 6:40) කඳු බෑවුමක සිටි සමූහයකට වේවා, මාර්ගයක් දිගේ ගමන් කළ සුළු පිරිසකට හෝ වේවා යේසුස් කතා කළ විට, එකී දේ සිය ශ්‍රාවකයන්ගේ මනස් සහ හදවත්වල නොමැකෙන සේ සනිටුහන් විය. තම ශ්‍රාවකයන්ගේ මනස් සහ හදවත් උත්තේජනය කළ හෙතෙම, කරුණු ප්‍රායෝගිකව අදාළ කළේ ඔවුන්ට තේරුම්ගැනීමට හැකි වන පරිද්දෙනි. ඔබට ඒ හා සමාන යමක් කළ හැකිද?
යෙහෝවා මත රඳා සිටින්න
යේසුස්ගේ ඉගැන්වීමේ හැකියාව ඔප් නැංවීමට ඉවහල් වූ තවත් දෙයක් නම් ඔහු තම ස්වර්ගික පියාණන් සමඟ භුක්ති විඳි කිට්ටු සම්බන්ධතාවයි. එමෙන්ම දෙවිගේ ආත්මයේ ආශීර්වාද ඔහුට නොමසුරුව ලැබුණේය. නිවාස බයිබල් පාඩම් ඵලදායී ලෙස පැවැත්වීමට උපකාර ඉල්ලමින් ඔබ යෙහෝවාට කන්නලව් කරනවාද? ඔබ දෙමාපියෙක් නම්, ඔබේ දරුවන්ට ඉගැන්වීම සඳහා දිව්‍ය මඟ පෙන්වීම් ඉල්ලා ඔබ නිතිපතා යාච්ඤා කරනවාද? කතා දීමට සහ රැස්වීම් මෙහෙයවීමට සූදානම් වන විට ඔබ හෘදයාංගම යාච්ඤාවක් ඉදිරිපත් කරනවාද? එසේ යෙහෝවා කෙරෙහි යාච්ඤාපූර්වකව රඳා සිටීම වඩාත් ඵලදායී ගුරුවරයෙකු වීමට ඔබට උපකාරයක් වනු නොඅනුමානය.
යෙහෝවා කෙරෙහි රඳා සිටින බවට පෙන්නුම් කළ හැකි තවත් මාර්ගයක් නම්, ඔහුගේ වචනය වන බයිබලය විශ්වාස කිරීමයි. පරිපූර්ණ මනුෂ්‍යයෙකු වශයෙන් යේසුස් මිහිපිට ගෙවූ අන්තිම රාත්‍රියේදී තම පියාණන්ට යාච්ඤා කළ විට මෙසේ පැවසීය. “මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි.” (යොහ. 17:14) යේසුස් ඉතා පුළුල් අද්දැකීම් ලැබූ කෙනෙකු වුවත්, ඔහු කිසිදාක තමාගේම අදහස් ඉදිරිපත් කළේ නැත. ඔහු නිතරම කතා කළේ තම පියා උගන්වා තිබූ දේවල් පදනම් කරගෙනයි. එය අප සඳහා කදිම ආදර්ශයකි. (යොහ. 12:49, 50) පුද්ගලයන්ට, ඔවුන්ගේ ක්‍රියාවන්ට, ඔවුන්ගේ ගැඹුරුම සිතිවිලි හා හැඟීම්වලට ප්‍රබල ලෙස බලපෑම් කිරීමට හැකි අපූරු බලයක් දේවවචනය සතුය. (හෙබ්‍රෙ. 4:12) දේවවචනය පිළිබඳ දැනුමෙන් වර්ධනය වෙමින්, ඔබේ දේවසේවයේදී එය මැනවින් භාවිත කිරීමට ඉගෙනගනිත්ම, පුද්ගලයන්ව දෙවි වෙත ළඟා කරවන ආකාරයේ ඉගැන්වීමේ හැකියාවක් ප්‍රගුණ කරගැනීමට ඔබ සමත් වනු ඇත.—2 තිමෝ. 3:16.
යෙහෝවාට ගෞරවය ගෙන දෙන්න
ක්‍රිස්තුස්ව අනුකරණය කරමින් ගුරුවරයෙකු වීම යන්නෙන් අදහස් වන්නේ නිකම්ම සිත්ගන්නා කතාවක් ඉදිරිපත් කිරීම පමණක් නොවේ. යේසුස්ගේ “මුවින් පහළ වූ කාරුණික [කන් කලු, NW] වචන” ජනතාව පුදුමයට පත් කළ බව සැබෑය. (ලූක් 4:22, න. අ.) කෙසේවෙතත්, මෙසේ මැනවින් කතා කිරීමේදී යේසුස්ගේ පරමාර්ථය වූයේ කුමක්ද? යෙහෝවාට ගෞරවය ගෙන දීම මිසක තමාටම අවධානය ඇදගැනීම නොවේ. (යොහ. 7:16-18) ඔහු තම අනුගාමිකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙසේය. “මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ [පියාණන්ට] ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.” (මතෙ. 5:16, අකුරු ඇල කළේ අපය.) එම උපදෙස් අප උගන්වන ආකාරය කෙරෙහි යම් බලපෑමක් කළ යුතුය. යේසුස්ගේ පරමාර්ථයට සමාන වූ අපගේ පරමාර්ථයෙන් අපව වෙනතකට යොමු කළ හැකි ඕනෑම දෙයකින් වැළකී සිටීම අපගේ ඉලක්කය විය යුතුය. එමනිසා, අප කියන්නේ කුමක්ද නැතහොත් එය කියන්නේ කෙසේද යන්න සැලසුම් කිරීමේදී අපගෙන් මෙසේ ඇසීම යෝග්‍යය. ‘මම කියන දෙයින් යෙහෝවා කෙරෙහි ඇති අගය තවත් ගැඹුරු වෙයිද එසේ නැතහොත් මා කෙරෙහි වැඩි අවධානයක් යොමු වේවිද?’
නිදසුනක් සලකා බලමු. ඉගැන්වීමේදී උපහැරණ සහ සැබෑ ජීවිත අද්දැකීම් ඉතා බලපෑමෙන් යුක්තව භාවිත කළ හැකිය. කෙසේවෙතත්, උපහැරණය ඉතා දීර්ඝ එකක් වුණොත්, එසේ නැතහොත් යම් අද්දැකීමකට තොරතුරු හා සිදුවීම් බොහොමයක් ඇතුළත් කර තිබුණොත්, සිදු වන්නේ දීමට උත්සාහ කරන උපදේශයෙහි පරමාර්ථය බොඳ වී යෑමයි. ඒ හා සමානව, සබයේ අයව නිකම්ම පිනවීම සඳහා යම් කතාවක් කීම අපගේ දේවසේවයෙහි අරමුණෙන් අවධානය වෙනතකට යොමු කිරීමක් වේ. ඇත්තෙන්ම සිදු වන දේ නම්, ගුරුවරයා දිව්‍යාණ්ඩු අධ්‍යාපනයේ නියම ඉලක්කය ඉටු කරගන්නවා වෙනුවට අවධානය තමා වෙතට ඇදගැනීමයි.
‘වෙනස’ හඳුනාගන්න
පුද්ගලයෙක් සැබවින්ම ගෝලයෙක් වීමට නම්, ඔහු ඉගෙනගන්නා දේ පැහැදිලිව අවබෝධ කරගත යුතුය. සත්‍යයට සවන් දිය යුතු ඔහු, එය වෙනත් විශ්වාසයන්ට වඩා වෙනස් වන ආකාරය දැකගත යුතුය. එක්තරා දෙයක් හා තවත් දෙයක් අතර වෙනස දැකීමට සැලැස්වීම මෙහිලා උපකාරවත් වේ.
යෙහෝවා පුන පුනා තම සෙනඟගෙන් ඉල්ලා සිටියේ අපවිත්‍ර හා පවිත්‍ර දේ අතර ‘වෙනස’ හඳුනාගන්නා ලෙසය. (ලෙවී. 10:9-11) තම ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගයෙහි සේවය කරන අය “ශුද්ධ වූ එක සහ ශුද්ධ නැති එක අතරේ තිබෙන වෙනස” ගැන ජනතාවට උගන්වන බව ඔහු පැවසීය. (එස. 44:23) ධර්මිෂ්ඨකම හා දුෂ්ටකම අතරද, ප්‍රඥාව සහ මෝඩකම අතරද වෙනස දැක්වීමට හිතෝපදේශ පොතෙහි නොයෙකුත් උදාහරණ ඇත. අනික් අතට, යම් සමානකමක් ඇති දේවල් අතර පවා තිබෙන වෙනස්කම් ගෙනහැර දැක්විය හැක. රෝම 5:7හි [NW] වාර්තා වී ඇති පරිදි ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු හා යහපත් මනුෂ්‍යයෙකු අතර වෙනස ප්‍රේරිත පාවුල් පැහැදිලි කළේය. තවද හෙබ්‍රෙව් පොතෙහි, ක්‍රිස්තුස් උත්තම පූජක වශයෙන් කරන සේවය ආරොන්ගේ සේවයට වඩා උතුම් වන ආකාරය ඔහු පෙන්නුම් කළේය. ඇත්තෙන්ම, 17වන සියවසේ විසූ අධ්‍යාපනඥ යෝහාන් ආමොස් කොමෙන්ස්කි ලියූ මේ දේ සත්‍යයකි. “ඉගැන්වීම යනු අරමුණු, ස්වරූප හා මූලාරම්භය සම්බන්ධයෙන් යම් දේවල් එකිනෙකට වෙනස් වන ආකාරය පෙන්නුම් කිරීම පමණි. . . . මේ අනුව, යම් දේවල් අතර තිබෙන වෙනස දක්ෂ ලෙස පෙන්නුම් කරන තැනැත්තා, දක්ෂ ගුරුවරයෙකි.”
අපි නිදසුනක් සලකා බලමු. යමෙකුට දෙවිගේ රාජ්‍යය ගැන උගන්වනවායයි සිතන්න. ඇතැම්විට ඔහුට රාජ්‍යය කියන්නේ කුමක්ද කියා නොතේරෙනවා විය හැක. එසේ නම්, රාජ්‍යය යනු පුද්ගලයෙකුගේ සිත තුළ තිබෙන දෙයක් බවට වූ අදහසට බයිබලයෙහි සඳහන් වන දේ වෙනස් වන ආකාරය පෙන්වා දීමට ඔබට පුළුවන. එසේ නැතහොත් රාජ්‍යය මිනිස් ආණ්ඩුවලට වඩා වෙනස් වන අන්දම පෙන්නුම් කළ හැකිය. එනමුත්, මෙම මූලික සත්‍යතාවන් දන්නා අය සඳහා කුමක් කළ හැකිද? වඩාත් ගැඹුරු විස්තර ඉදිරිපත් කරන්න. මෙසියානු රාජ්‍යය, ගීතාවලිය 103:19හි විස්තර කර ඇති පරිදි විශ්වයේ පරමාධිපති ලෙස යෙහෝවා හොබවන රජකමට වඩා වෙනස් වන ආකාරය හෝ කොලොස්සි 1:13හි සඳහන් ‘ප්‍රේමයේ පුත්‍රයාගේ රාජ්‍යයට’ හෝ එපීස 1:9, 10හි දක්වා ඇති “පරිපාලන වැඩ පිළිවෙළට” [NW] වඩා වෙනස් වන ආකාරය පෙන්නුම් කිරීමට ඔබට පුළුවන. මෙලෙස, වෙනස්කම් ගෙනහැර දැක්වීමෙන්, මෙම වැදගත් බයිබල් ඉගැන්වීම ඔබට සවන්දෙන්නන්ගේ සිත් තුළ කාවැදිය හැක.
යේසුස් මෙම ඉගැන්වීමේ උපක්‍රමය විටින් විට භාවිත කළේය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනප්‍රිය මතය හා ව්‍යවස්ථාවෙහි සැබෑ අභිප්‍රාය අතර වෙනස ඔහු ගෙනහැර දැක්වීය. (මතෙ. 5:21-48) ඔහු පෙන්නුම් කළ තවත් දෙයක් නම්, සැබෑ දේවභක්තිය හා ඵරිසිවරුන්ගේ කුහක ක්‍රියා අතර වෙනසයි. (මතෙ. 6:1-18) කිසි හැඟීමක් නොමැතිව අන් අය කෙරෙහි “අධිපතිකම්” කළ උදවිය විදහාපෙන්වූ ස්වභාවය හා ඔහුගේ අනුගාමිකයන් පෙන්නුම් කරනු ඇති ආත්ම-පරිත්‍යාගී ස්වභාවය අතර වෙනසද ඔහු අවධාරණය කළේය. (මතෙ. 20:25-28) තවත් අවස්ථාවක් මතෙව් 21:28-32හි වාර්තා වී ඇත. මෙහිදී යේසුස් ආත්ම-ධර්මිෂ්ඨකම සහ සැබෑ පසුතැවිල්ල අතර තිබෙන වෙනස කුමක්ද කියා අවබෝධ කරගැනීමට තම ශ්‍රාවකයන්ට ආරාධනා කළේය. ඇත්තෙන්ම යේසුස් කළ මෙම ආරාධනය ගැන සිතන විට, දක්ෂ ඉගැන්වීමෙහි තවත් වටිනා පැත්තක් සලකා බැලීමට එය ඉවහල් වේ.
ඔබේ සවන්දෙන්නන්ට කල්පනා කිරීමට දිරිගන්වන්න
මතෙව් 21:28 කියවන විට යේසුස් යම් සැසඳීමක් කිරීමට මුල පිරුවේ “නුඹලා සිතන්නේ කුමක්ද” යන ප්‍රශ්නය ඇසීමෙන් බව අපට පෙනී යයි. දක්ෂ ගුරුවරයෙක් නිකම්ම තොරතුරු ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේවත්, පිළිතුරු වැලක් සපයන්නේවත් නැත. ඒ වෙනුවට තම ශ්‍රාවකයන්ට දිරිගන්වන්නේ ඔවුන්ගේ කල්පනා කිරීමේ හැකියාව දියුණු කරගැනීමටයි. (හිතෝ. 3:21; රෝම 12:1) මෙය කරන්නේ යම් දුරකට ප්‍රශ්න ඇසීමෙනි. මතෙව් 17:25හි [න. අ.] දැකිය හැකි පරිදි යේසුස් මෙසේ ඇසීය. “සීමොන්, මේ ගැන ඔබගේ අදහස කුමක් ද? මෙලොව රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන් ද? සිය සෙනඟගෙන් ද නොහොත් විදේශීන්ගෙන් ද?” (අකුරු ඇල කළේ අපය.) පෞද්ගලිකව කල්පනා කිරීමට පේතෘස්ට උපකාර කළ යේසුස්ගේ මෙම ප්‍රශ්න නිසා, දේවමාළිගාවට සුංගම් නොහොත් බදු ගෙවීම සම්බන්ධයෙන් නිවැරදි නිගමනයට එළඹෙන්නට පේතෘස්ට හැකි විය. ඒ හා සමානව “මාගේ අසල්වැසියා කවරෙක් දැයි” මනුෂ්‍යයෙක් යේසුස්ගෙන් ඇසූ විට, ඊට ප්‍රතිචාරයක් වශයෙන් පූජකයෙකු හා ලෙවීවරයෙකු කළ දේ, සමාරිය ජාතිකයෙකු කළ දේ සමඟ සැසඳීය. අනතුරුව යේසුස් විසින් මෙම ප්‍රශ්නය අසන ලදි. “සොරුන් අතට අසුවූ ඒ තැනැත්තාට මෙකී තිදෙනාගෙන් අසල්වැසියා වූයේ කවරෙක් ද කියා ඔබ සිතන්නෙහි ද?” (ලූක් 10:29-36, න. අ.) මෙහිදී නැවතත්, තමාට සවන් දෙමින් සිටි තැනැත්තා වෙනුවෙන් කල්පනා කර නිගමනයකට එළඹෙනවා වෙනුවට, යේසුස් කළේ ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඔහුටම ඇරයුම් කිරීමයි.—ලූක් 7:41-43.
හදවතට කිඳා බැසීමට උත්සාහ කරන්න
සැබෑ නමස්කාරය යනු නිකම්ම යම් කරුණු සම්භාරයක් කටපාඩම් කිරීමවත්, යම් නීති මාලාවකට අනුකූල වීමවත් නොවන බව දේවවචනයෙහි නියම අරුත තේරුම්ගන්නා ගුරුවරු වටහාගනිත්. එය ගොඩනැඟී තිබෙන්නේ යෙහෝවා සමඟ හොඳ සම්බන්ධතාවක් ඇති කරගැනීම මතත්, ඔහුගේ මාර්ග ගැන ඇති අගය කිරීම මතත්ය. එවන් නමස්කාරයක් හදවත හා බැඳී පවතී. (ද්වි. 10:12, 13; ලූක් 10:25-27) ශුද්ධ ලියවිල්ලෙහි “හදවත” නැත්නම්, “හෘදය” හෝ “සිත” යන්න භාවිත කරන විට, ඒවායින් බොහෝ දුරට අදහස් වන්නේ සම්පූර්ණ ඇතුළාන්ත පුද්ගලයාය. ඊට ඒ පුද්ගලයාගේ ආශාවන්, ස්නේහයන්, හැඟීම් සහ චේතනා වැනි දේවල්ද ඇතුළත් වේ.
මනුෂ්‍යයන් පිටාතර පෙනුම දෙස බැලුවත්, දෙවි හදවතෙහි තිබෙන දේ දකින බව යේසුස් දැන සිටියේය. (1 සාමු. 16:7) එසේ නම්, දෙවිට සේවය කිරීම සඳහා අපව පෙලඹවිය යුත්තේ ඔහු කෙරෙහි අපට තිබෙන ප්‍රේමය මිස අන් මනුෂ්‍යයන්ගේ සිත් දිනාගැනීම නොවේ. (මතෙ. 6:5-8) එනමුත්, ඵරිසිවරුන් බොහෝ දේවල් කළේ ප්‍රදර්ශනය පිණිසය. ව්‍යවස්ථාවේ සෑම සුළු දෙයක්ම අකුරටම පිළිපැදිය යුතු බව අවධාරණයෙන් කියා සිටි ඔවුහු, තමන් විසින්ද සාදාගත් නීතිවලට එකඟව කටයුතු කළ යුතු බවද පැවසූහ. එනමුත්, දෙවිගේ නමස්කාරකයන් බවට ඔප්පු කරනු ඇති ගුණාංග තම ජීවිත තුළ විදහාපෙන්වීමට ඔවුහු අපොහොසත් වූවෝය. ඉන් අදහස් වන්නේ ඔවුන් දෙවිට නමස්කාර කළේ වචනයෙන් පමණක් බවය. (මතෙ. 9:13; ලූක් 11:42) දෙවිට අපගෙන් ඕනෑ කරන දේවලට කීකරු වීම වැදගත් බව යේසුස් ඉගැන්වූවත්, එම කීකරුකම වටින්නේ එය හදපත්ලෙන්ම නැඟෙන එකක් නම් පමණක් බව ඔහු අවධාරණය කළේය. (මතෙ. 15:7-9; මාක් 7:20-23; යොහ. 3:36) මේ අනුව, අපගේ ඉගැන්වීමෙන් උපරිම යහපතක් සිදු වන්නේ අප යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන විටය. දෙවිට මනුෂ්‍යයන්ගෙන් ඕනෑ කරන දේ කුමක්ද කියා තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කිරීම වැදගත්ය. එනමුත් පුද්ගලයෙකු ලෙස යෙහෝවාව දැනහඳුනා ගෙන ඔහුට ප්‍රේම කිරීමද වැදගත්ය. එවිට සැබෑ දෙවි සමඟ අනුමැතිය ලත් සබඳතාවක් දිගටම පවත්වාගෙන යෑම ඔවුන් කොතෙක් දුරට අගය කරනවාද යන්න ඔවුන්ගේ හැසිරීමෙන් පිළිබිඹු වෙයි.
කෙසේවෙතත්, එවන් ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ලබාගැනීමට නම්, යමෙකු තම හදවතෙහි නියම ස්වභාවයට මුහුණ දිය යුතුය. යේසුස් මිනිසුන්ට දිරිගැන්වූයේ තම පෞද්ගලික චේතනා විග්‍රහ කර, තමන්ගේම හැඟීම් පරීක්ෂා කර බලන්නට කියාය. වැරදි මතයක් නිවැරදි කළ අවස්ථාවලදී, තමාට සවන් දුන් අය ඇතැම් දේවල් ගැන එසේ කල්පනා කරන්නේ, කියන්නේ හෝ කරන්නේ මන්ද කියා ඔහු ඔවුන්ගෙන් ඇසීය. එනමුත් ඔහු එසේ ඇසීමෙන් පමණක් සෑහීමට පත් වූයේ නැත. ඇසූ ප්‍රශ්නයට අමතරව, යේසුස් යමක් පැවසීය. උපහැරණයක් සඳහන් කළේය. එසේ නැතහොත් කාරණා දෙස නිවැරදි ආකාරයෙන් බැලීමට ඔවුන්ට දිරිගැන්වූ යම් ක්‍රියාවක් කළේය. (මාක් 2:8; 4:40; 8:17; ලූක් 6:41, 46) අපටද අපගේ සවන්දෙන්නන්ට උපකාර කළ හැකිය. ‘මෙලෙස ක්‍රියා කිරීමට මා තුළ පෙලඹීමක් ඇති වී තිබෙන්නේ මන්ද? මෙම තත්වයට මා මෙලෙස ප්‍රතික්‍රියා කරන්නේ මන්ද?’ වැනි ප්‍රශ්න තමාගෙන්ම අසාගැනීමට යෝජනා කිරීමෙන් අපට එසේ කළ හැක. අනතුරුව, කාරණා දෙස යෙහෝවාගේ දෘෂ්ටිකෝණයෙන් බැලීමට ඔවුන් තුළ පෙලඹීමක් ඇති කරන්න.
අදාළ වීම පැහැදිලි කරන්න
“ප්‍රඥාව ප්‍රධාන දෙය” බව හොඳ ගුරුවරයෙක් දනියි. (හිතෝ. 4:7) ප්‍රඥාව යනු ගැටලු විසඳාගැනීමට, අනතුරුවලින් බේරීමට, ඉලක්කයන් අත් කරගැනීමට හා අන් අයට උපකාර කිරීම සඳහා දැනුම සාර්ථකව අදාළ කරගැනීමට තිබෙන හැකියාවයි. ගුරුවරයෙකුගේ වගකීම වන්නේ එය කිරීමට ඉගෙනගැනීම සඳහා ශිෂ්‍යයන්ට උපකාර කිරීම මිස, ඔවුන් වෙනුවෙන් තීරණ ගැනීම නොවේ. විවිධ බයිබල් ප්‍රතිපත්ති සාකච්ඡා කරන විට, ශිෂ්‍යයාට තර්කානුකූලව සිතීමට උපකාර කරන්න. එදිනෙදා ජීවිතයේ පැනනඟින තත්වයක් සඳහන් කරන්න. ඉන්පසුව, එවන් තත්වයකට මුහුණ දීමට සිදු වුවහොත්, මොහොතකට පෙර සාකච්ඡා කළ බයිබල් ප්‍රතිපත්තිය ඔහුට උපකාරවත් වන්නේ කෙසේදැයි ඔහුගෙන් විමසන්න.—හෙබ්‍රෙ. 5:14.
ප්‍රේරිත පේතෘස් පො.යු. 33 පෙන්තකොස්ත දිනයේදී දුන් දේශනය, ජනතාවගේ හදවත්වලටම තට්ටු කළ ප්‍රායෝගික අදාළ වීමක් සහිත කතාවකට උදාහරණයක් ලෙස ගත හැක. (ක්‍රියා 2:14-36) සමූහය විශ්වාස කළ බවට පවසා සිටි ශුද්ධ ලියවිලි පද තුනක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පේතෘස් ඒවායේ අදාළ වීම පැහැදිලි කළේ, ඒ වන විට ඔවුන් සියලුදෙනා ඇසින් දුටු දේවලට සම්බන්ධ කරමිනි. එහි ප්‍රතිඵලය වූයේ තමන් සවන් දුන් දේට එකඟව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව සමූහයාට හැඟී යෑමයි. ඔබේ ඉගැන්වීම ජනයාට ඒ හා සමාන අන්දමකින් බලපායිද? නිකම්ම තොරතුරු ලැයිස්තුවක් ඉදිරිපත් කරනවාට වඩා, යම් දේවල් එසේ වන්නේ ඇයි කියා තේරුම් කර දීමට ඔබ උත්සාහ දරනවාද? ඔවුන් ඉගෙනගන්නා දේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට බලපෑ යුතු ආකාරය ගැන සලකා බැලීමට ඔබ ඔවුන්ව දිරිගන්වනවාද? පෙන්තකොස්ත දවසේදී සිටි සමූහයන් මෙන් “අප කුමක් කළ යුතු ද”? කියා ඔවුන් මොරගසන්නේ නැතුවා වන්නට පුළුවන. එනමුත්, ඔබ ඒ ශුද්ධ ලියවිලි පදයේ අදාළ වීම හොඳින් පැහැදිලි කර ඇත්නම්, අවශ්‍ය ක්‍රියාමාර්ගය ගැනීම ගැන සිතා බැලීමට පෙලඹීමක් ඔවුන් තුළ ඇති විය හැක.—ක්‍රියා 2:37, න. අ.
දෙමාපියෙනි, ඔබේ දරුවන් සමඟ බයිබලය කියවන විට, බයිබල් ප්‍රතිපත්ති ප්‍රායෝගිකව අදාළ වන ආකාරය ගැන සිතා බැලීමට ඔවුන්ට පුහුණු කිරීම සඳහා කදිම ප්‍රස්තාවක් ඔබට උදා වේ. (එපී. 6:4) නිදසුනකට, සතියට නියමිත බයිබල් කියවීමෙන් පද කිහිපයක් තෝරා, ඒවායෙහි තේරුම සාකච්ඡා කර මෙවැනි ප්‍රශ්න ඇසීමට ඔබට පුළුවන. ‘මෙය අපට මඟ පෙන්වීමක් ලබා දෙන්නේ කෙසේද? මෙම බයිබල් පද ක්ෂේත්‍ර සේවයෙහි භාවිත කළ හැක්කේ කෙසේද? යෙහෝවා ගැන හා ඔහු යම් දේවල් කරන ආකාරය ගැන ඒවායින් අපට එළිදරව් වන්නේ මොනවාද? ඔහු කෙරෙහි අපගේ අගය එයින් ගොඩනැඟෙන්නේ කෙසේද?’ දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී විශේෂාංග සාකච්ඡා කරන විට, එම කරුණු ගැන අදහස් දැක්වීමට ඔබේ පවුලේ සාමාජිකයන්ට උනන්දු කරන්න. ඔවුන් බොහෝ විට අදහස් දක්වන්නේ ඔවුන්ගේ මනසේ හොඳින් සනිටුහන් වී ඇති පද ගැනයි.
හොඳ ආදර්ශයක් තබන්න
ඔබේ ඉගැන්වීම කියන දේට පමණක් සීමා වී නැත. ඒ අනුව ක්‍රියා කිරීමද වැදගත් වේ. කියන දේ අදාළ කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික ආදර්ශයක් ඔබේ ක්‍රියා තුළින් පිළිබිඹු වේ. සාමාන්‍යයෙන් දරුවන් ඉගෙනගන්නේ එලෙසය. ඔවුහු තම දෙමාපියන් අනුකරණය කරන විට, ඔවුන් හා සමාන වෙන්නට ආශාවක් ඇති බවට සාක්ෂි දෙති. තම දෙමාපියන් කරන දෙයක් කිරීමෙන් එය කවර අන්දමේ අද්දැකීමක්ද යන්න දැනගැනීමට ඔවුන් ආශා වනවාටද සැකයක් නැත. ඒ හා සමානව, ඔබ උගන්වන අය ‘ඔබ ක්‍රිස්තුස්ව ආදර්ශයට ගන්නාක් මෙන් ඔබව ආදර්ශයට ගන්නා’ විට, යෙහෝවාගේ මාර්ගයන්ට අනුව ගමන් කිරීමෙන් ලැබිය හැකි ආශීර්වාද අද්දැකීමට ඔවුන්ට හැකි වේ. (1 කොරි. 11:1) මේ අනුව දෙවි ඔවුන් සමඟ කටයුතු කරන ආකාරය ඔවුන්ගේම අද්දැකීම් සම්භාරයට එකතු වේ.
නිසි ආදර්ශයක් තැබීමේ වැදගත්කම සම්බන්ධයෙන් මෙය බැරෑරුම් සිහිගැන්වීමකි. “[අප] කොයි ආකාර අය විය යුතුද” යන්න බෙහෙවින් වැදගත් වේ. අප ‘ශුද්ධ ලෙස හැසිරෙමින් භක්තිවන්ත ලෙස ක්‍රියා කරනවා’ නම්, අප උගන්වන අයට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම සම්බන්ධයෙන් ජීවමාන ආදර්ශයක් වීමට අපට හැක. (2 පේතෘ. 3:11, න. අ.) දෙවිගේ වචනය දිනපතා කියවීමට ඔබේ බයිබල් ශිෂ්‍යයාට ඔබ දිරිගන්වනවා නම්, පෞද්ගලිකව එසේ කිරීමට ඔබද උත්සුක විය යුතුය. ඔබේ දරුවන්, බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමට ඉගෙනගන්නවා දැකීම ඔබේ ආශාව නම්, ඔබේ ක්‍රියාවන් දේවකැමැත්තට එකඟ කරගැනීමට වගබලා ගන්න. සේවයෙහි ජ්වලිත වන්න කියා ඔබ සභාවට උපදෙස් දෙනවා නම්, ඔබත් සේවයෙහි පූර්ණ ලෙස සහභාගි වීමට වගබලා ගත යුතුය. උගන්වන දේ පිළිපදින විට, අන් අයව ක්‍රියාවට පෙලඹීම සඳහා ඔබ සිටින්නේ වඩාත් හොඳ තත්වයකයි.—රෝම 2:21-23.
ඔබේ ඉගැන්වීම දියුණු කරගැනීමේ අටියෙන් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මා උගන්වන විට, මට සවන් දෙන අයගේ ආකල්ප, කතාව හෝ ක්‍රියාවන් තුළ වෙනසක් ඇති කරන අන්දමටද මම එම ඉගැන්වීම් කරන්නේ? ඇතැම් අදහස් හෝ ගත යුතු ක්‍රියා මාර්ගයන් උලුප්පා දක්වද්දී, ඒවා එකිනෙක අතර ඇති වෙනස මා පැහැදිලිව දක්වනවාද? මගේ ශිෂ්‍යයන්ට, දරුවන්ට හෝ රැස්වීමකදී සබයට මා කියන දේ අමතක නොකර මතක තබාගැනීමට උපකාරයක් වශයෙන් මා කරන්නේ කුමක්ද? ඉගෙනගන්නා දේ අදාළ කරගත හැකි අන්දම සවන්දෙන්නන්ට මම පැහැදිලිව පෙන්නුම් කරනවාද? මගේ ආදර්ශය තුළින් ඔවුන්ට ඒ බව දැකගත හැකිද? සාකච්ඡා කරනු ලබන කාරණයට ඔවුන් ප්‍රතිචාරය දක්වන ආකාරය, යෙහෝවා සමඟ ඔවුන්ගේ සබඳතාවට බලපා හැකි බව ඔවුන්ට ඒත්තුගොස් තිබෙනවාද?’ (හිතෝ. 9:10) ගුරුවරයෙකු ලෙස ඔබේ හැකියාව ප්‍රගුණ කරගැනීමට ඔබ දරන උත්සාහයේදී මෙවැනි දේවලට නොකඩවා ඔබේ අවධානය දෙන්න. “ඔබ කෙරෙහිත් ඔබේ ඉගැන්වීම කෙරෙහිත් නිරතුරු අවධානයක් දෙන්න. ඒවායේ පවතින්න. මක්නිසාද ඔබ එසේ කිරීමෙන් ඔබද ඔබේ වචන අසන්නන්ද ගළවාගන්නේය.”—1 තිමෝ. 4:16, NW.