මරියාගේ ස්වර්ගාරෝහණය—දෙවියන්වහන්සේ විසින් හෙළි කරන ලද සිද්ධාන්තයක්ද?
මරියාගේ ස්වර්ගාරෝහණය—එනම් යේසුස්වහන්සේගේ මව වන, මරියා මාංසයෙන් ස්වර්ගයට නැගුණේයයි කියන ධර්ම ඉගැන්වීම—මිලියන සංඛ්‍යාත රෝමානු කතෝලිකයන් විසින් භක්තියෙන් සමරණු ලබන්නකි. ජෝර්ජ් විලියම් ඩග්ලස් නම් ඉතිහාසඥයා මෙසේ පවසයි: “කන්‍ය මරියතුමියගේ ස්වර්ගාරෝහණය, නැතහොත් ස්වර්ගයට ගනු ලැබීම ඇයගේ උත්සවවලින් ශ්‍රේෂ්ඨතම උත්සවය හැටියටත් පල්ලි වර්ෂයේ ප්‍රධාන ගරුගාම්භීරව සමරන උත්සවවලින් එකක් හැටියටත් [දීර්ඝ කාලයක් පුරා] මහත් භක්තියෙන් පවත්වා ඇත.”
එසේ නමුත්, මරියා එවන් ස්වර්ගාරෝහණයක් කළේ යයි බයිබලය නොපවසන බව, කතෝලික දේවධර්මාචාර්යයෝ පිළිගනිති. ඇත්ත වශයෙන්ම, මෙම ඉතා ප්‍රේමවන්ත ධර්ම ඉගැන්වීම විවාදයට හා දැඩි තර්කයට භාජනය වූ ශතවර්ෂ ගණනාවක් පැරණි විෂයක් බව වටහාගෙන ඇත්තේ කතෝලිකයන් ස්වල්ප දෙනෙක්ය. මෙලෙස මරියාගේ ස්වර්ගාරෝහණය සිද්ධාන්තයක් හැටියට පල්ලිය විසින් පිළිගන්නට යෙදුණේ කෙසේද?a එය දිව්‍යමය වශයෙන් එළිදරව් කරනු ලැබූවක් හැටියට කල්පනා කරන්නට යම් හේතුවක් තිබේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු නිකම්ම ශාස්ත්‍රීය ක්ෂේත්රයට අයත් ඒවා නොවේ. සත්‍යයට ප්‍රේම කරන කවරෙකුට නමුත් ඉතා ගැඹුරු ඇඟවීම් එහි තිබේ.
සිද්ධාන්තයක ක්රමානුකූල වර්ධනය
යේසුස්වහන්සේගේ මරණයෙන් පසු පළමු ශතවර්ෂවල මරියාගේ ස්වර්ගාරෝහණය පිළිබඳ සංකල්පය ක්‍රිස්තියානින්ගේ චින්තනයට සහමුලින්ම නුහුරු නුපුරුදු යමක් වූ බව දැනගැනීමෙන් ඔබ පුදුම වන්නට පුළුවන. ලො’සේවාටෝරේ රොමානො නම් පුවත්පතේ කතෝලික දේවධර්මාචාර්ය ජොං ගලෝ මෙසේ ලියයි: “මුලාරම්භයේ, මරියාගේ මරණය පිළිබඳ කිසිඳු සිහි කිරීමක් ක්‍රිස්තියානි ප්‍රජාව හා බැඳී පැවතුණේ නැත.”
ත්‍රිත්ව ඉගැන්වීම පල්ලියේ නිල ධර්ම ඉගැන්වීම බවට පත්වීමෙන් පසු, කෙසේවෙතත්, මරියාට ක්‍රමිකව වර්ධනය වූ වැදගත් ස්ථානයක් දෙනු ලැබීය. මෙහිදී “දේව මෑණියෝ,” “ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය,” “මැදහත්කාරිය,” හා “ස්වර්ග රාජිනිය” වැනි, උත්කර්ෂවත් කරවන වදන් ඇයට භාවිතා කරන්නට පටන් ගැනුණි. කාලයාගේ ඇවෑමෙන් ඇති වූ, “මරියතුමියගේ මරණය පිළිබඳ මුල් කාලීන සම්ප්රදායේ නිහැඬියාව, මරියතුමියගේ සම්පූර්ණත්වය පිළිගෙන ඇයට ගෞරවනීය භක්තියක් පුදන්නට උනන්දුවෙන් සිටි ක්‍රිස්තියානින්ව සම්පූර්ණයෙන් තෘප්තියට පත් කරන්නට නොහැකි විය. මෙසේ, ජනප්‍රිය උපකල්පනයක ප්‍රතිඵලයක් වූ, ස්වර්ගාරෝහණය පිළිබඳ විස්තරය එහි ස්වරූපය ගත්තේය” යයි ගලෝ තර්ක කරයි.
පොදු යුගයේ හතරවන සියවසේදී මරියා ස්වර්ගාරෝහණවාදි යයි කියන අසම්මත ග්රන්ථ, ව්‍යවහාරයේ භාවිතා කරන්නට පටන් ගති. මෙවන් ලියවිලි, සිදුවූ බවට කියන මරියාගේ ස්වර්ගාරෝහණය ගැන චිත්තාකර්ෂණීය වාර්තා දුණි. උදාහරණයක් වශයෙන්, “ශුද්ධ වූ දේව මෑණියන්ගේ මරණය” යනුවෙන් හඳුන්වනු ලබන පාඨය සැලකිල්ලට ගන්න. එය අන් යමෙක් නොව ප්‍රේරිත යොහන් විසින් ප්රබන්ධනය කරනු ලැබුවේ යයි කියනු ලැබුවත්, එය බොහෝ දුරට සකස් කරනු ලැබුවේ යොහන්ගේ මරණයෙන් වසර 400කට පමණ පසුවය. මෙම සැකකටයුතු වාර්තාවට අනුව, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරුන්ව ආශ්චර්යවත් ආකාරයකට මරියා වෙතට රැස් කරනු ලැබූ අතර, ඇය අන්ධ, බිහිරි හා කොර අයව සුව කරනු එහිදී ඔවුහු දුටහ. අවසානයේ, මෙහි ප්‍රකාශ කර ඇති පරිදි, ස්වාමීන්වහන්සේ මරියාට මෙසේ පවසනවා එම ප්‍රේරිතයෝ ඇසූහ: “බලව, මෙතැන් පටන් ඔබගේ අනගි ශරීරය පාරාදීසයට උත්තාරණය කරනු ලබනවා ඇත. ඔබගේ ආත්මය ශුද්ධ වූ දේවදූතයන්ගේ සමාදානය හා ප්‍රීතිය හා සදාතනිකබාවය තිබෙන ස්වර්ගයේ මාගේ පියාණන්වහන්සේගේ ගබඩාවන්හි පරම දීප්තියකින් දිගටම පවතිනවා ඇත.”
එවන් ලියවිලිවලට අදහන්නෝ ප්‍රතික්‍රියා කළේ කෙසේද? කන්‍ය මරියතුමිය පිළිබඳ ධර්ම ඉගැන්වීම් හදාරන්නෙක් වන රෙනේ ලොරන්ටන් මෙසේ පැහැදිලි කරයි: “ප්‍රතික්‍රියාවන් මහත් විවිධත්වයකින් යුක්ත විය. ඉක්මනින්ම විශ්වාස කරනසුලු අය, වැඩිදුරට කල්පනා කරන්නේ නැතිව, චිත්තාකර්ෂණීය කථාන්තරයේ කාන්තියෙන් රවටනු ලබත්. බොහෝ විට පරස්පර විරෝධීවූද, බලතලයක් නොමැතිවූද මෙම අස්ථීර වාර්තා, වෙනත් අය සුළු කොට සලකති.” මරියාගේ ස්වර්ගාරෝහණය පිළිබඳව න්‍යාය නිල පිළිගැන්මක් ලැබීමෙහිලා මෙසේ අරගලයක යෙදුණි. මරියාගේ ශරීරයේ ධාතු යයි සිතනු ලැබූ කොටස් ඇතැම් ස්ථානවල ගෞරවාන්විතව සලකනු ලැබීමේ සිද්ධිය ආකූලභාවය තවත් වැඩි කළේය. ඇයගේ මාංසික ශරීරය ස්වර්ගයට ගනු ලැබූ බවට වූ විශ්වාසය සමඟින් මෙය එකඟ කරවීම දුෂ්කර විය.
දේවධර්මාචාර්යන් බොහෝ දෙනෙකු මෙන්, 13වන ශතවර්ෂයේදී, තොමස් එක්වයිනස්, ස්වර්ගාරෝහණය “ශුද්ධ ලියවිල්ලේ උගන්වනු නොලබන” බැවින්, එය සිද්ධාන්තයක් හැටියට නිර්වචනය කළ නොහැකි බව පිළිගත්තේය. එහෙත්, එම විශ්වාසය නොකඩවා ජනප්‍රිය වන්නට පටන් ගත් අතර රෆායෙල්, කොරෙගියෝ, ටිෂන්, කරාට්චි හා රූබෙන්ස් වැනි සුප්‍රකට චිත්‍ර ශිල්පීන් විසින් සිදුවූයේ යයි කියනු ලබන මරියාගේ ස්වර්ගාරෝහණය විස්තර කරමින් අඳිනු ලැබූ චිත්‍ර ප්‍රමාණයද වැඩි විය.
මෙම විෂය මෑත කාලයක් දක්වා තිබුණේ නොවිසඳුන තත්ත්වයකයි. ජේසු නිකායට අයත් ජූසෙප්පෙ ෆිලොග්රාසිට අනුව, අපගේ ශතවර්ෂයේ පළමු අර්ධය තරම් මෑත කාලයක් දක්වා, කතෝලික විශාරදයෝ මරියාගේ ස්වර්ගාරෝහණ කල්පිතයට “නිතර හිතකර නොවන්නා වූ රචනා හා සාකච්ඡාවන්” දිගටම ප්‍රකාශයට පත් කළහ. XIIIවන ලියෝ, Xවන පයස් හා XVවන බෙනඩික්ට් වැනි, පාප්වරු පවා “මෙම විෂය සම්බන්ධයෙන් කිසිවක් ඍජුව ප්‍රකාශ නොකළහ.” එහෙත් 1950 නොවැම්බර් 1වන දින, පල්ලිය අවසානයේ නිශ්චිත ස්ථාවරයක් ගත්තේය. XIIවන පයස් පාප් මෙසේ නිවේදනය කළේය: “අපි එය, එනම්, ජම්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුණා වූ දේවමැණියෝ, සදාකාලයටම කන්‍යාවක්ව සිටින මරියතුමිය, සිය භූමික ජීවිත කාලය නිම කළ පසු, ස්වර්ගීය මහිමයට ශරීරයෙන් හා ආත්මයෙන් ගනු ලැබීම, දෙවියන්වහන්සේ විසින් එළිදරව් කරන ලද සිද්ධාන්තයක් බව පැහැදිලි කරමු.”—මුනිෆිකෙන්ටිසිමුස් ඩෙවුස්.
ස්වර්ගයට මරියාගේ ශාරීරික ගමන විශ්වාස කිරීම තවදුරටත් කතෝලිකයන්ගේ කැමැත්ත අනුව තෝරා ගත හැකි යමක් නොවීය—එය දැන් පල්ලියේ සිද්ධාන්තයක් විය. මෙහිදී XIIවන පයස් පාප් ප්‍රකාශ කළේ “යමෙක් . . . අප නිර්වචනය කර ඇති දෙය සම්බන්ධයෙන් ගරුසරු නැතිව ප්‍රතික්ෂේප කරන්නට හෝ ස්වේච්ඡාවෙන් සැක පහළ කරන්නට හෝ යෙදෙන්නේ නම්, තමා දිව්‍ය හා කතෝලික විශ්වාසයේ මට්ටමෙන් පහත වැටී සිටින බව හේ දැනගත යුතුය” යනුවෙනි.
ශුද්ධ ලියවිලි සැබවින්ම පවසන දෙය
එහෙත් පල්ලිය මෙම නිර්භීත ස්ථාවරය ගත්තේ කිනම් පදනමක් මතද? XIIවන පයස් පාප් කියා සිටියේ මරියාගේ ස්වර්ගාරෝහණය පිළිබඳ සිද්ධාන්තයට “එහි පරම අත්තිවාරම ශුද්ධ ලියවිල්ලේ” ඇති බවය. මරියාගේ ස්වර්ගාරෝහණය පිළිබඳ සාක්ෂි හැටියට බොහෝවිට උපුටා දක්වනු ලබන පාඨයන් අතර ලූක් 1:28, 42 දක්නට ලැබේ. මෙම වගන්ති මරියා ගැන මෙසේ පවසයි: “ප්‍රසාද පූරණවන්තිය, ඔබට මංගල වේ; ස්වාමීන්වහන්සේ ඔබ සමඟය . . . ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දීය. ඔබ කුස ඔත් දරු ඵලයද ආශීර්වාද ලද්දේය.” ස්වර්ගාරෝහණයට පක්ෂවාදීන් තර්ක කරන්නේ මරියා ‘බොහෝ කරුණාව ලැබූ තැනැත්තියක්’ නිසා ඇය කිසි කලෙක මරණයට ගොදුරු විය නොහැකි බවය. තවද ‘තමාගේ ගර්භයේ ඵලය’ හා සමානව ‘ආශීර්වාද ලබා’ සිටින බැවින්, ඇයටත් යේසුස්වහන්සේට සමාන—උන්වහන්සේගේ ස්වර්ගාරෝහණයද ඇතුළුව—වරප්රසාදයන් තිබිය යුතුය. මෙය සාධාරණ තර්කයක් යයි ඔබ කල්පනා කරනවාද?
පළමුකොට, භාෂා විශාරදයන් කියා සිටින්නේ “බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය” යන ප්‍රකාශය හරි නොවූ පරිවර්තනයක් බවත්, ලූක් විසින් භාවිතා කරන ලද මුල් ග්‍රීක් ප්‍රකාශය වඩාත් නිවැරදිව අදහස් කරන්නේ “දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ලැබූ කෙනෙක්” බවත්ය. ඒ අනුව කතෝලික ජෙරුසලම් බයිබල් පිටපතේ ලූක් 1:28 සඳහන්ව ඇත්තේ “එතරම් අනුග්‍රහයක් ලද්දිනි, ප්‍රීති වන්න!” යනුවෙනි. මරියා දෙවියන්වහන්සේගේ “මහත් අනුග්‍රහය” ලද නිසාම, ඇය ශරීරය පිටින් ස්වර්ගයට ගනු ලැබූ බව නිගමනය කිරීමට හේතු නොමැත. පළමු ශතවර්ෂයේ ප්‍රාණ පරිත්‍යාගියෙක් වූ, ස්තේපන් ගැනත්, සමානාකාරයෙන් කතෝලික ඩුවේ බයිබලය කථා කරන්නේ, මහත් අනුග්‍රහය ලැබූ තැනැත්තෙක්, නැතහොත් “බොහෝ කරුණාව ලැබූ තැනැත්තෙක්” හැටියටයි—එහෙත් කිසිඳු මාංසික නැවත නැගිටීමක් ඔහුට ආරෝපණය කොට නැත.—ක්‍රියා 6:8.
එහෙත්, මරියා ආශීර්වාදලත්, නැතහොත් අනුග්‍රහයලත් තැනැත්තියක් නොවීද? එසේය, එනමුත් ඉශ්රායෙලයේ විනිශ්චයකාරයන්ගේ දවස්වල විසූ යායෙල් නම් ස්ත්‍රිය “වෙන ස්ත්රීන්ට වඩා ආශීර්වාදලත්තියක්” හැටියට සලකනු ලැබුවාය. (විනිශ්චයකාරයන් 5:24) ඇත්ත වශයෙන්ම, යායෙල් පවා ශරීරාකාරයෙන් ස්වර්ගයට ගනු ලැබූ බව කිසිවෙක් තර්ක කරන්නට යන්නේ නැත. මීට අමතරව, ස්වර්ගාරෝහණය පිළිබඳ මුළු සංකල්පයම පදනම් වී ඇත්තේ යේසුස්වහන්සේම මාංසයෙන් ස්වර්ගයට නැගුණ බවට වූ පූර්ව කල්පිතය මතය. කෙසේවෙතත්, යේසුස්වහන්සේව “ජීවත්කරනු,” නැතහොත් නැවත උත්ථාන කරනු ලැබුවේ “ආත්මය සම්බන්ධයෙන්” බව බයිබලය කියයි. (1 පේතෘස් 3:18; සසඳන්න 1 කොරින්ති 15:45.) ප්‍රේරිත පාවුල් වැඩිදුරටත් පවසන්නේ “මාංසයට හා රුධිරයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්ට බැරි” බවය.—1 කොරින්ති 15:42-50.
ආත්මයෙන් ආලේපලත් ඇදහිලිවන්ත ක්‍රිස්තියානින් සඳහා ස්වර්ගීය නැවත නැගිටීමත් ගැන බයිබලය කථා කරන බව සැබෑවකි. කෙසේවෙතත්, 1 තෙසලෝනික 4:13-17 පැහැදිලි කරන්නේ, මෙම නැවත නැගිටීම, මෙම දුෂ්ට පිළිවෙළේ අන්තිම දවස් තුළ “ස්වාමීන්වහන්සේගේ ඊම [පැමිණ සිටීම, NW] දක්වා” පටන් නොගන්නා බවය. එතෙක්, දහස් සංඛ්‍යාත වෙනත් ඇදහිලිවන්ත ක්‍රිස්තියානින් සමඟ මරියා මරණයේ සැතපී සිටිනු ඇත්තීය.—1 කොරින්ති 15:51, 52.
මරියා—ඇදහිලිවන්ත ස්ත්‍රියකි
ඉහත කාරණා දැක්වීම මගින් මරියාව අගෞරවයට ලක් කිරීමට අදහස් නොකරන බව සහතික කරමු. නිසැකවම, මරියා ආදර්ශවත් ස්ත්‍රියක් වූවාය—අනුකරණය කිරීමට වටිනා ඇදහිල්ලක් තිබූ කෙනෙකි. යේසුස්වහන්සේගේ මව වීමේදී මුහුණ දෙන්නට සිදුවන පරීක්ෂා හා පරිත්‍යාගයන් සමඟ, එම වරප්රසාදලත් වගකීම ඇය එකහෙළා පිළිගත්තාය. (ලූක් 1:38; 2:34, 35) යෝසෙප් සමඟ, ඇය යේසුස්වහන්සේව දිව්‍ය ප්‍රඥාවෙන් ඇති දැඩි කළාය. (ලූක් 2:51, 52) වධ කණුව මත යේසුස්වහන්සේ වේදනාවෙන් සිටියදී ඇය උන්වහන්සේ සමඟ සිටියාය. (යොහන් 19:25-27) තවද විශ්වාසනීය ගෝලයෙක් හැටියට, ඇය කීකරුව යෙරුසලමේ රැඳී සිට පෙන්තකොස්තයේදී දෙවියන්වහන්සේගේ ආත්මයේ වැගිරවීම අද්දැක්කාය.—ක්‍රියා 1:13, 14; 2:1-4.
මරියා පිළිබඳ විකෘති දෘෂ්ටියක් මැවුම්කරුවාණන්ව හෝ මරියා ගෞරවයට පත් කරන්නට යන්නේ නැත. මරියාගේ ස්වර්ගාරෝහණය පිළිබඳ සිද්ධාන්තය ක්‍රියාත්මක වන්නේ ඇය දෙවියන්වහන්සේ කෙරෙහි මැදහත්කාරියක් බවට වූ පදනම් රහිත ප්‍රකාශය තහවුරු කිරීමටය. එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එවන් ඉගැන්වීමක් කිසිදාක සනාථ කළ සේක්ද? මීට පටහැනිව, උන්වහන්සේ මෙසේ වදාළ සේක: “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ටකරන්නෙමි.” (යොහන් 14:6, 14; සසඳන්න ක්‍රියා 4:12.) එසේය, මැවුම්කරුවාණන් සමඟ මැදහත්කරුවෙක් හැටියට ක්‍රියා කරන්නේ, මරියා නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පමණකි. “අපේ ඕනෑ එපාකම්වලදී අපේ සරණ” සඳහා අපගේ ජීවිත-දායකයාණන් වෙත අප සමීප විය යුත්තේ—මරියා තුළින් නොව—යේසුස්වහන්සේ තුළින් පමණකි.—හෙබ්‍රෙව් 4:16, නව අනුවාදය.
මරියා පිළිබඳ සත්‍යය පිළිගැනීම ඇතැමෙකුට වේදනාසහගත වන්නට පුළුවන. අඩු තරමින්, එය යම් දීර්ඝ කාලයක් පුරා තබාගෙන සිටි විශ්වාසයක් මෙන්ම රැකබලා ගත් අදහස්, අත්හැර දැමීමක් අදහස් කරන්නට පුළුවන. කෙසේවෙතත්, එය ඇතැම් අවස්ථාවන්හි වේදනාකාරී වුවත්, සැබෑව අවසානයේ ‘කෙනෙකුව නිදහස් කරන්නේය.’ (යොහන් 8:32) සිය පියාණන්වහන්සේ සොයමින් සිටින්නේ “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කළවුන් බව යේසුස්වහන්සේ වදාළ සේක. (යොහන් 4:24) අවංක කතෝලිකයන්හට, මෙම වදන් අභියෝගයක් වන්නේය.
[පාදසටහන්වල]
a කතෝලික ධර්මයේ හැටියට සිද්ධාන්තයක් වනාහි, සරල විශ්වාසයක් මෙන් නොව, සභා හවුල්වීමේ සම්මේලනයකින් හෝ නැතහොත් පාප්ගේ “නොවරදින සුලු ඉගැන්වීමේ බලතල” මගින් ගම්භීර පූර්වකව සකස් කරනු ලබන සත්‍යයක් යයි පැවසේ. කතෝලික සභාව මගින් එසේ නිශ්චිත වශයෙන් දක්වන ලද ආගමේ ඉගැන්වීම් අතර, වඩාත්ම මෑතකාලීන ඉගැන්වීම වන්නේ මරියාගේ ස්වර්ගාරෝහණය පිළිබඳ ඉගැන්වීමයි.
[27වන පිටුවේ කොටුව]
මරියා මිය ගියාද?
මරියා සම්බන්ධයෙන් සිදුවුණේ යයි කියනු ලබන ස්වර්ගාරෝහණයට පෙර ඇය ඇත්තෙන්ම මිය ගියාද? මෙම කරුණ සම්බන්ධයෙන් තමන් දේවධර්මශාස්ත්‍රීය වූ උභතෝකෝටික ප්‍රශ්නයක පැටලී සිටින බව කතෝලික දේවධර්මාචාර්යයන් සොයාගෙන ඇත. “ක්‍රිස්තුස්වහන්සේ පවා හිමි කරගෙන නොසිටි, මරණයෙන් නිදහස්ව සිටීමේ වරප්‍රසාදය මරියතුමියට පැවරීම අපහසු වනු ඇත” කියා නුඕවෝ ඩිට්සියෝනාරියෝ ඩි ටෙයොලොජියා ගෙනහැර දක්වයි. අනෙක් අතට, මරියා මරණයට පත් වුණා යයි පැවසීම ඒ හා සමාන කටුක ප්‍රශ්නයක් මතු කරයි. දේවධර්මාචාර්ය කාරි බර්රර්සන් පවසන ආකාරයට “මුල් පාපයේ වන්දිය මරණය වන අතර එය [“ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳීම” නම් දේවධර්ම ඉගැන්වීම] අනුව මරියතුමියට බලපෑවේ නැත.” එසේ නම්, ඇය මැරෙන්නට ඇත්තේ, කිනම් පදනමක් මතද? ඇයගේ ස්වර්ගාරෝහණයේ සිද්ධාන්තය නිර්වචනය කරන විට මරියාගේ මරණය පිළිබඳ මුළු ප්‍රශ්නයම XIIවන පයස් පාප් ප්‍රවේසමෙන් මඟ හැරිය බව පුදුමයක් නොවේ.
භාග්‍යයකට මෙන්, බයිබලයේ ඉගැන්වීම එවන් ව්යාකුලත්වයන්ගෙන් නිදහස්ය. මරියා “නිර්මල පිළිසිඳීමේ” ඵලයක් බව, එය කිසිඳු ස්ථානයක උගන්වන්නේවත්—නැතහොත් ඉඟි කරන්නේවත්—නැත. ඊට පටහැනිව, එය අඟවන්නේ මරියා පවින් මිදීම අවශ්‍යව සිටි අසම්පූර්ණ තැනැත්තියක බවය. මෙම හේතුව නිසා, යේසුස්වහන්සේගේ උපතට පසුව, ඇය දේවමාලිගාවට ගොස් දෙවියන්වහන්සේට පාප පූජාවක් ඔප්පු කළාය. (ලෙවී කථාව 12:1-8; ලූක් 2:22-24) අසම්පූර්ණ අන් සියලු මිනිසුන් මෙන්, මරියා අවසානයේ මිය ගියාය.—රෝම 3:23; 6:23.
මෙම සරල සත්‍යය මරියාගේ ස්වර්ගාරෝහණය පිළිබඳ සිද්ධාන්තය මතු කරන ලද පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නවලට සහමුලින්ම වෙනස්ව පවතී.
[26වන පිටුවේ පින්තූරය]
ටිෂන් විසින් සිතුවම් කරන ලද ‘කන්‍යාවගේ ස්වර්ගාරෝහණය.’ (1488පමණ-1576)
[හිමිකම් විස්තර]
Giraudon/Art Resource, N.Y.
[28වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේගේ උපතෙන් පසු දේවමාලිගාවට පාප පූජාවක් ගෙන ඒමෙන්, තමා පාපයෙන් මිදීම අවශ්‍ය කරන පව්කාරියක් බව මරියා ප්‍රකාශ කළාය