පාඩම 44
බලපෑමෙන් යුතුව ප්‍රශ්න යොදාගැනීම
ප්‍රශ්න අසද්දී ඔබේ සවන්දෙන්නන්ගෙන් වාචිකව හෝ සිතින් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන නිසා ප්‍රශ්න ඇසීමෙන් ඔබේ සවන්දෙන්නන්ව සාකච්ඡාවකට පහසුවෙන්ම හවුල් කරගත හැකි වේ. සංවාදයක් ඇරඹීමට සහ ඉතා ඵලදායී ලෙස අදහස් හුවමාරු කරගැනීමට ප්‍රශ්න ඇසීමෙන් ඉටු වන්නේ වැදගත් කාර්යයකි. කථිකයෙකු සහ ගුරුවරයෙකු ලෙස ඔබ ප්‍රශ්න යොදාගන්නා විට සිදු වන්නේ උනන්දුව අවදි කිරීම, යම් විෂයක හරය තර්කානුකූලව තේරුම්ගැනීමට උපකාර කිරීම හෝ ඔබ පවසන දෙය අවධාරණය කිරීමය. ප්‍රශ්න හොඳින් යොදාගන්නා විට නිකම්ම උදාසීනව සවන් දෙනවාට වඩා පිබිදුණු මනසකින් සිතීමට ඔබ අන් අයට දිරිගන්වනු ඇත. එමනිසා ඔබේ මනසෙහි යම්කිසි ඉලක්කයක් තිබිය යුතුය. අනතුරුව, එම ඉලක්කය අත් කරගැනීමට උපකාරවත් වන ප්‍රශ්න අසන්න.
සංවාදයක් ඇරඹීමට පිටුවහලක් ලෙස. ක්ෂේත්‍ර සේවයෙහි නිරත වන විට පුද්ගලයන් අදහස් පළ කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්නට උත්සුක වන්න.
“ඔබ කවදාහරි කල්පනා කර තිබෙනවාද . . . ” යන ප්‍රශ්නය ඇසීම අර්ථවත් සාකච්ඡාවක් ඇරඹීමට මඟක් බව බොහෝ සාක්ෂිකරුවන්ට පෙනී ගොස් ඇත. බොහෝදෙනෙකුගේ අවධානයට සැබවින්ම ලක්ව ඇති ගැටලුවක් තෝරාගන්නා විට, ක්ෂේත්‍ර සේවයෙහි ඔබ ගත කරන කාලය ඉතා සතුටින් පිරි එකක් වන බවට සැකයක් නැත. ඔබ අසන ප්‍රශ්නය අනික් පුද්ගලයා කලින් සලකා නොබැලූ එකක් වුවත්, ඔහුගේ කුතුහලය ඇවිස්සිය හැක. “ . . . ගැන ඔබ හිතන්නේ කුමක්ද?” “ . . . ගැන ඔබට මොනවාද හැඟෙන්නේ?” සහ “ . . . ගැන ඔබට විශ්වාසයක් තිබෙනවාද?” වැනි ප්‍රශ්න ඇසීමෙන් කාරණා කිහිපයක්ම හඳුන්වා දෙන්නට පුළුවන.
යෙසායාගේ අනාවැකිය ශබ්ද නඟා කියවමින් සිටි ඉතියෝපීය නිලධාරියා වෙත පැමිණි එවැන්ජලිස්ත ෆිලිප් ඔහුගෙන් ඇසූ සරල ප්‍රශ්නය වූයේ “ඔබ කියවන්නේ කුමක්ද කියා ඔබ ඇත්තටම දන්නවාද [නැතහොත්, ඔබට තේරෙනවාද]” යන්නයි. (ක්‍රියා 8:30, NW) ෆිලිප් ඇසූ මෙම ප්‍රශ්නය යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව සත්‍යයන් පැහැදිලි කිරීමට මං උදා කළේය. ඒ හා සමාන ප්‍රශ්නයක් යොදාගනිමින් ඇතැම් නවීන දින සාක්ෂිකරුවන් බයිබල් සත්‍යය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට සැබෑ ආශාවකින් පසු වූ අයව සෙවීමට සමත් වී ඇත.
තම අදහස් උදහස් දැක්වීමට අවස්ථාවක් දුන් පසු, වැඩිදෙනා කැමති වන්නේ ඔබට සවන් දීමටයි. ප්‍රශ්නයක් ඇසීමෙන් පසු හොඳින් සවන් දීම අවශ්‍යය. පුද්ගලයා ඉදිරිපත් කරන අදහස්වලට ප්‍රතිචාරය දක්වන විට කාරුණික වන්න. විවේචනය කිරීමෙන් වැළකෙන්න. අවංකව ප්‍රශංසා කළ හැකි නම් එසේ කරන්න. එක්තරා අවස්ථාවකදී, “බුද්ධිමත් ලෙස පිළිතුරු දුන්” ලියන්නෙකුට යේසුස් ප්‍රශංසා කළේ “ඔබ දෙවිගේ රාජ්‍යයට නුදුරුව සිටින්නේය” යයි පවසමිනි. (මාක් 12:34, NW) අනික් පුද්ගලයා ඉදිරිපත් කරන අදහසට එකඟ විය නොහැකි වුවත් ඔහු තම අදහස් පළ කිරීම ගැන ස්තුතිවන්ත වීමට ඔබට හැකියි. ඇත්තෙන්ම ඔහු පවසන දෙයින් ඔහු දරන ආකල්ප ගැන යමක් දැනගන්නට පුළුවන් වන නිසා, එම ආකල්ප සැලකිල්ලට ගෙන බයිබල් සත්‍යයන් ඔහු සමඟ බෙදාගැනීමට මඟ පෑදිය හැක.
වැදගත් අදහස් හඳුන්වා දීම සඳහා. ඔබ කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට කතා කරද්දී වැදගත් අදහස්වලට මඟ පාදන ප්‍රශ්න යොදාගැනීමට උත්සාහ කරන්න. ඔබ අසන ප්‍රශ්න සබයේ උනන්දුවට සැබවින්ම භාජන වී ඇති කාරණා හා සම්බන්ධ බවට සහතික වන්න. බැලූ බැල්මට පැහැදිලි පිළිතුරක් නැති යම් කුතුහලයක් දනවන ප්‍රශ්නද භාවිත කළ හැකිය. ප්‍රශ්නය ඇසීමෙන් පසු මද වේලාවකට විරාමයක් දෙනවා නම් ඊළඟට පවසන දේට ඔබේ සබය වැඩි උනන්දුවකින් සවන් දෙනු ඇත.
එක් අවස්ථාවකදී, අනාගතවක්තෘ මීකා ප්‍රශ්න කිහිපයක්ම යොදාගත්තේය. දෙවි තමන්ට නමස්කාර කරන අයගෙන් අපේක්ෂා කරන්නේ මොනවාදැයි ඇසීමෙන් පසු, එම අනාගතවක්තෘවරයා තවත් ප්‍රශ්න සතරක් ඇසීය. එම ප්‍රශ්න තුළ පිළිතුරු විය හැකි ප්‍රකාශයන්ද ඇතුළත් කර තිබිණ. ඒවා ඉදිරිපත් කිරීමෙන් ඔහු සමත් වූයේ, එම සාකච්ඡාව අවසානයකට ගෙනා අරුත්බර පිළිතුර භාරගැනීමට තම පාඨකයන්ගේ මනස් සූදානම් කරවීමටයි. (මීකා 6:6-8) ඉගැන්වීමේදී ඔබටත් ඒ හා සමාන දෙයක් කළ හැකිද? අත්හදා බලන්න.
යම් විෂයක කරුණු තර්කානුකූලව ගෙනහැර දැක්වීමට. එක්තරා තර්කයක් ගොඩනඟා තිබෙන ආකාරය තේරුම්ගැනීමට අන් අයට උපකාර කිරීම සඳහා ප්‍රශ්න යොදාගත හැක. ඉශ්‍රායෙල් වෙත ඉතා බැරෑරුම් ප්‍රකාශයක් කළ අවස්ථාවේදී යෙහෝවා මෙවැන්නක් කළ ආකාරය අපට මලාකී 1:2-10හි දැකගන්නට පුළුවන. ඔහු මුලින්ම පැවසුවේ, “මම නුඹලාට ප්‍රේම කළෙමි” යන්නයි. එම ප්‍රේමය අගය කිරීමට ඔවුන් අපොහොසත් වූ නිසා ඔහු මෙසේ විමසීය. “ඒසව් යාකොබ්ගේ සහෝදරයා නොවේද?” ඊළඟට ඒදොම් ජාතියේ පාළු වූ තත්වයට යොමු දැක්වූයේ එහි දුෂ්ටකම හේතුවෙන් දෙවි එම ජාතියට ප්‍රේම නොකළ බවට සාක්ෂියක් ලෙසය. අනතුරුව ඔහු නිදර්ශන හා ප්‍රශ්න සංකලනයක් යොදාගෙන අවධාරණය කළේ තමා දැක්වූ ප්‍රේමයට නිසි ලෙස ප්‍රතිචාරය දැක්වීමට ඉශ්‍රායෙල් අපොහොසත් වූ අන්දමයි. ඒවායින් ඇතැම් ප්‍රශ්න තනා ඇත්තේ එම නොඇදහිලිකාර පූජකයන් විසින් අසනු ලබන ඒවා සේය. තවත් ප්‍රශ්න යෙහෝවා පූජකයන්ගෙන් කෙළින්ම ඇසූ ප්‍රශ්න වේ. මෙම දෙබස හැඟීම් කලතන අතර අපගේ අවධානය වෙනතකට යොමු නොකර තබාගනියි. එහි භාවිත කොට ඇති තර්කයන්ද බිඳහෙළිය නොහැක. පණිවිඩය මතකයේ නොමැකෙන සේ සනිටුහන් වේ.
ඇතැම් කථිකයෝ ඒ හා සමාන අන්දමකින් ප්‍රශ්න බලපෑමෙන් යුතුව යොදාගනිති. සබයෙන් යම් වාචික ප්‍රතිචාරයක් අපේක්ෂා නොකළද, ඔවුන් සිතින් සාකච්ඡාවට සම්බන්ධ වී දෙබසකදී මෙන් සහභාගි වෙති.
බයිබල් පාඩම් පවත්වන විට ශිෂ්‍යයාව සහභාගි කරගන්නා ක්‍රමයක් අපි යොදාගන්නෙමු. ශිෂ්‍යයා නිකම්ම මුද්‍රිත පිළිතුරු කටපාඩමෙන් මෙන් කියවීමට පුරුදු වී ඇත්නම්, වැඩි යහපතක් සිදු නොවේ. එමනිසා ශිෂ්‍යයාට කරුණු තර්කානුකූලව පෙන්වා දීමට අමතර ප්‍රශ්න කාරුණික ස්වරයකින් අසන්න. වැදගත් කරුණු පියවද්දී, ඔහුගේ පිළිතුරට පදනම වශයෙන් බයිබලය භාවිත කිරීමට ඔහුව දිරිගන්වන්නට පුළුවන. ඔහුගෙන් මෙසේද ඇසිය හැක. “අප දැන් සාකච්ඡා කරන මෙම කාරණය අප කලින් සාකච්ඡා කළ අනික් කරුණට අදාළ වන්නේ කෙසේද? එය වැදගත් වන්නේ මන්ද? එය අපගේ ජීවිතවලට බලපෑ යුත්තේ කෙසේද?” ඔබට ඒ සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය පළ කරනවා හෝ දීර්ඝ පැහැදිලි කිරීමක් කරනවා වෙනුවට මෙවැනි ක්‍රමයක් අනුගමනය කිරීම වඩාත් බලපෑමෙන් යුක්තය. මෙසේ, දෙවිට නමස්කාර කිරීම සඳහා තම ‘බුද්ධිය’ හෝ ‘ඥානය’ භාවිත කිරීමට ඔබ ශිෂ්‍යයාට උපකාර කරයි.—රෝම 12:1, NW.
ශිෂ්‍යයෙකු යම්කිසි අදහසක් නිසි ලෙස තේරුම්ගන්නේ නැත්නම් ඉවසිලිවන්ත වන්න. ඔබ පවසමින් සිටින දෙය වසර ගණනාවක් පුරා තමා විශ්වාස කර ඇති දේ හා සසඳා බැලීමට ඔහු උත්සාහ කරමින් සිටිනවා විය හැක. එමනිසා වෙනත් ආකාරයකින් විෂය වෙත එළඹීම උපකාරවත් විය හැකියි. කෙසේවෙතත්, ඇතැම් අවස්ථාවලදී අවශ්‍ය වන්නේ තර්කය ඉතා සරලව ගොඩනැඟීමයි. ශුද්ධ ලියවිලි පද නොඅඩුව භාවිත කරන්න. නිදර්ශනද භාවිත කරන්න. ඒත් සමඟම, සාක්ෂි මත තර්කානුකූලව සිතා බැලීමට පුද්ගලයෙකුව පොලඹවන සරල ප්‍රශ්නද යොදාගන්න.
ඇතුළාන්ත හැඟීම් පිටතට ඇදගැනීමට. පුද්ගලයන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන විට ඔවුන් නිතරම තම සැබෑ හැඟීම් එළිදරව් කරන්නේ නැත. සමහරවිට ඔබ අපේක්ෂා කරනවායයි ඔවුන් සිතන පිළිතුර දීමට ඔවුන් නැඹුරු විය හැක. එමනිසා විචාර බුද්ධිය අවශ්‍යය. (හිතෝ. 20:5, NW) යේසුස් කළාක් මෙන් “ඔබ මෙය විශ්වාස කරනවාද” වැනි ප්‍රශ්නයක් ඔබට ඇසිය හැක.—යොහ. 11:26, NW.
යේසුස් පැවසූ දෙයක් නිසා ඔහුගේ ගෝලයන් බොහෝදෙනෙකු අමනාප වී ඔහුව අත්හළ විට, තම හැඟීම් පළ කරන්නට හෙතෙම සිය ප්‍රේරිතයන්ට ඇරයුම් කළේය. “නුඹලාත් අහක්ව යන්ට කැමතිද” යන්න ඔහුගේ ප්‍රශ්නය විය. පේතෘස් ඔවුන්ගේ හැඟීම් එළිපිට ප්‍රකාශ කරමින් පැවසුවේ මෙසේය. “ස්වාමිනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබට ඇත්තේය. අපිද ඔබ දෙවිගේ ශුද්ධ තැනැත්තා බව විශ්වාස කරගෙන දැනගෙන සිටිමු.” (යොහ. 6:67-69) තවත් අවස්ථාවකදී යේසුස් ඔහුගේ ගෝලයන්ගෙන් මෙසේ ඇසීය. “මනුෂ්‍ය පුත්‍රයා කවුරුන් කියා මිනිසුන් කියනවාද?” අනතුරුව ඔවුන්ගේම හදවත්වල තිබූ අදහස් පළ කිරීමට අවස්ථාව සලසා දුන් ප්‍රශ්නයක් මෙලෙස ඇසීය. “එහෙත් ඔබ? ඔබ මා කවුරුන් කියා පවසනවාද?” පිළිතුරු වශයෙන් පේතෘස් පැවසුවේ “ඔබ ක්‍රිස්තුස්ය, ජීවමාන දෙවිගේ පුත්‍රයා” යන්නයි.—මතෙ. 16:13-16, NW.
බයිබල් පාඩමක් පවත්වන විට ඇතැම් කරුණු සාකච්ඡා කරද්දී ඒ හා සමාන එළඹීමක් භාවිත කිරීම ප්‍රයෝජනදායක බව ඔබට පෙනී යා හැක. මෙසේ අසන්නට ඔබට පුළුවන. “ඔබේ පංතියේ (හෝ රැකියා ස්ථානයේ) මිත්‍රයන්ට මේ ගැන තිබෙන්නේ කවර ආකල්පයක්ද?” ඊළඟට, “මේ ගැන ඔබට හැඟෙන්නේ කෙසේදැයි” අසන්න. පුද්ගලයෙකුගේ සැබෑ හැඟීම් දැනගන්නා විට ඔහුට උපරිම අන්දමින් උපකාර පිරිනමන්නට ගුරුවරයෙකු වශයෙන් ඔබට අවස්ථාව උදා වේ.
අමතර අවධාරණය සඳහා. ඇතැම් අදහස් අවධාරණය කිරීමටත් ප්‍රශ්න යොදාගත හැකිය. රෝම 8:31, 32හි වාර්තා වී ඇති පරිද්දෙන් ප්‍රේරිත පාවුල් මෙවැන්නක් කළේය. “දෙවි අපේ පක්ෂයට සිටින්නේ නම්, අපට විරුද්ධ වෙන්නේ කවුද? තමන්ගේම පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නාවූ තැනැත්තා පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?” මෙහිදී ප්‍රශ්නය තනා ඇත්තේ කලින් වාක්‍යයේ පැවසූ යමක් පදනම් කරගෙන බව ඔබ දුටුවාද?
බබිලෝනියේ රජුට විරුද්ධව යෙහෝවාගේ විනිශ්චය වාර්තා කිරීමෙන් පසු අනාගතවක්තෘ යෙසායා තම ස්ථිර විශ්වාසය පළ කළේ මෙවැන්නක් එකතු කරමිනි. “සේනාවල යෙහෝවා අදහස් කළේය. එය අවලංගු කරන්නේ කවුද? ඔහුගේ අත දිගු කර තිබේ. එය ආපසු හරවන්නේ කවුද?” (යෙසා. 14:27) මෙවැනි ප්‍රශ්න තනා ඇති ආකාරයෙන් පැහැදිලි වන්නේ එතුළ තිබෙන අදහස ප්‍රතික්ෂේප කළ නොහැක්කක් බවයි. පිළිතුරක්ද බලාපොරොත්තු වන්නේ නැත.
වැරදිසහගත සිතුවිලි හෙළි කිරීමට. කල්පනාකාරිව තනා ඇති ප්‍රශ්න වැරදිසහගත සිතුවිලි හෙළි කිරීමට ප්‍රබල ආධාරකයක් වේ. මිනිසෙකුව සුව කිරීමට පෙර යේසුස් ඵරිසිවරුන්ගෙන් සහ නීතිය ගැන මනා දැනුමක් ඇති කිහිපදෙනෙකුගෙන් මෙසේ ඇසීය. “සබත් දවසේදී සුව කිරීම නීත්‍යනුකූලද, නැද්ද?” එම මිනිසාව සුව කිරීමෙන් පසුව ඇසූ තවත් ප්‍රශ්නයක් මේ. “සබත් දවසේදී තම පුත්‍රයා හෝ ගොනා හෝ ළිඳකට වැටුණු වහාම, ගොස් ඔහුව හෝ ඌව පිටතට ඇද නොගන්නේ ඔබ අතරෙන් කවරෙකුද?” (ලූක් 14:1-6, NW) මෙහිදී පිළිතුරක් අපේක්ෂා නොකෙරිණ. පිළිතුරක් ලැබුණේද නැත. එම ප්‍රශ්නවලින් ඔවුන්ගේ වැරදිසහගත සිතුවිලි මනා ලෙස හෙළි කරන ලදි.
ඇතැම් අවස්ථාවලදී සැබෑ ක්‍රිස්තියානීන් තුළ පවා වැරදිසහගත සිතුවිලි ඇති විය හැක. මුල් සියවසේ කොරින්ති සභාවේ සමහරු පෞද්ගලිකව විසඳාගත හැකිව තිබූ ගැටලු නිරාකරණය කිරීමට තම සහෝදරයන්ව අධිකරණයට ගෙන ගියහ. ප්‍රේරිත පාවුල් මෙම තත්වය සමඟ කටයුතු කළේ කෙසේද? ඔවුන්ගේ සිතුවිලි සකස් කිරීමට ඍජු ප්‍රශ්න කිහිපයක් ඇසීමෙනි.—1 කොරි. 6:1-8.
ප්‍රශ්න බලපෑමෙන් යුක්තව යොදාගැනීමට ඔබට පළපුරුද්දෙන් උගත හැක. කෙසේවෙතත්, වැඩිහිටියන්ට, ඔබ පෞද්ගලිකව නාඳුනන අයට සහ යම් අධිකාරයක් හොබවන අයට කතා කරද්දී ගෞරවනීය අන්දමකින් එසේ කරන්නට වගබලා ගන්න. බයිබල් සත්‍යයන් සිත්ගන්නා ආකාරයකින් ඉදිරිපත් කිරීමට ප්‍රශ්න යොදාගනිමු.