8වෙනි පරිච්ඡේදය
දුෂ්ට පාලකයෙක්ගෙන් ගැලවෙයි
යෝසෙප්ගේ පවුලේ අය ඊජිප්තුවට පලා යයි
යෝසෙප් පවුලේ අයව නාසරෙත්වලට ගෙන යයි
නින්දේ ඉන්න යෝසෙප්ට දේවදූතයෙක් මේ වැදගත් පණිවිඩය දැනුම් දෙනවා. “නැඟිටින්න, කුඩා දරුවාද ඔහුගේ මවද රැගෙන ඊජිප්තුවට පලා යන්න. මා ඔබට කියන තුරු එහි නැවතී සිටින්න. මන්ද හෙරොද් කුඩා දරුවාව මරා දැමීමට සොයමින් සිටියි.” (මතෙව් 2:13) ඒ නිසා යෝසෙප් හදිස්සියේම මරියාව අවදි කරනවා.
ඒ රාත්‍රියේම යෝසෙප් සහ මරියා පුංචි පුතු එක්ක එහෙන් පිට වෙනවා. ඒක කොයි තරම් හොඳද! මොකද ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් තමන්ව රැවටූ බව හෙරොද් රජට දැනගන්න ලැබෙන නිසා ඔහු බොහෝ සෙයින් කෝප වෙනවා. පුංචි යේසුස්ව මරලා දාන කල් ඔහුට ඉස්පාසුවක් නැහැ. ඒ නිසා බෙත්ලෙහෙමේ සහ ඒ අවට ඉන්න අවුරුදු දෙකක් හෝ ඊට අඩු හැම පිරිමි දරුවෙක්වම මරා දමන්න කියා ඔහු නියෝග කරනවා. ඔහු ඒ වයස තීරණය කරන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් දැනගත් විස්තරවලට අනුවයි.
හෙරොද් පැනෙව්වේ මොන තරම් කුරිරු නියෝගයක්ද! ඒ නියෝගය නිසා පිරිමි දරුවන් කී දෙනෙක්ව මරා දැම්මාද කියා අපි හරියටම දන්නේ නැහැ. කොහොමවුණත් දරුවන් අහිමි වුණු මව්වරුන් ශෝකයෙන් විලාප දෙද්දී යෙහෝවා දෙවියන් යෙරෙමියාට කියපු අනාවැකියක් ඉටු වුණා.—යෙරෙමියා 31:15.
යෝසෙප්ගේ පවුලේ අය දැන් ජීවත් වෙන්නේ ඊජිප්තුවේ. දවසක් දේවදූතයෙක් සිහිනයකින් යෝසෙප්ට මෙහෙම කියනවා. “නැඟිටින්න, කුඩා දරුවාද ඔහුගේ මවද රැගෙන ඊශ්‍රායෙල් දේශයට යන්න. මන්ද කුඩා දරුවාගේ ජීවිතය නැති කර දමන්න උත්සාහ කළ අය දැන් මිය ගිහින්.” (මතෙව් 2:20) ඒ නිසා පවුලේ අයත් එක්ක ආපහු තමන්ගේ මව්රටට යන්න යෝසෙප් සූදානම් වෙනවා. ඒ විදිහට තමයි දෙවිගේ පුත්‍රයාව ඊජිප්තුවෙන් කැඳවාගන්නවා කියලා බයිබලයේ සඳහන් අනාවැකිය ඉටු වෙන්න මඟ විවර වුණේ.—හොෂෙයා 11:1.
පෙනෙන විදිහට යෝසෙප් පවුලේ අයත් එක්ක යුදයේ පදිංචි වෙන්න ආසාවෙන් ඉන්නවා. ඊජිප්තුවට යන්න කලින් ඔවුන් ජීවත් වුණේ යුදයට අයත් බෙත්ලෙහෙමේ නිසා ආපහු එහෙට යන්න ඔහු කැමති ඇති. ඒත් හෙරොද්ගේ පුත්‍රයා වන දුෂ්ට ආකෙලාවුස් යුදයේ රජකම් කරනවා කියලා ඔහුට දැනගන්න ලැබෙන නිසා ඔහු පවුලේ අයත් එක්ක ගලීලයට අයිති නාසරෙත් නම් නුවරට පැමිණෙනවා. යේසුස් මේ ප්‍රදේශයේ හැදී වැඩෙන නිසා “ඔහුව නාසරෙත්හි වැසියෙක්යයි හඳුන්වනු ලබන්නේය” කියා බයිබලයේ සඳහන් අනාවැකිය ඉටු වෙනවා.—මතෙව් 2:23.