සාතන් හා ඔහුගේ ක්‍රියාවලට එරෙහිව ජයගැනීම
“එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටපල්ලා; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටපල්ලා, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.”—යාකොබ් 4:7.
1. “දුෂ්ටයාගේ අත” අදදින මානවවර්ගයාට බලපා ඇත්තේ කෙසේද?
යෝබ් ඉතා නිවැරදි ලෙස “පොළොව දුෂ්ටයාගේ අතට භාරදී තිබේ” යයි පැවසුවේය. (යෝබ් 9:24) තවද අප දැන් මුහුණ දී සිටින්නේ මුළු මානව ඉතිහාසයේ වඩාත්ම අර්බුදකාරී කාලවලටය. ඒ මන්ද? ඊට හේතුව මෙය පොළොව කෙරෙහි සාතන්ගේ භූතමය ආධිපත්‍යය පැවැත්වීමේ “අන්තිම දවස්” වීමය. සාතන්ගේ පෙලඹවීම යටතේ ‘නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක් වීම’ පුදුමයක් නොවේ. (2 තිමෝති 3:1, 13) එපමණක් නොව, පීඩා කිරීම්, අසාධාරණකම්, කෲරකම්, අපරාධ, ආර්ථික දුෂ්කරතා, දුස්සාධ්‍ය අසනීප, මහලු වයසේ බලවත් වේදනා, චිත්තවේගී කලකිරීම් යනාදිය හා තව තවත් දේවල් අප කෙරෙහි මහත් බරක් පමුණුවනවා විය හැක.
2. අද දවසේ සාතන්ගේ ප්රහාරයන් සමඟ අපට කටයුතු කළ හැක්කේ කෙසේද?
2 ප්‍රධාන විරුද්ධකාරයා වන, සාතන් නම් යක්ෂයා, මිනිස්වර්ගයා කෙරෙහිත් විශේෂයෙන්ම දෙවියන්වහන්සේගේ සැබෑ නමස්කාරකයන් කෙරෙහිත් නිශ්චිතව යොමු කරන ලද ප්‍රහාරයක් දියත් කරමින් සිටී. ඔහුගේ ඉලක්කය වන්නේ අඛණ්ඩතාව පවත්වන්නන් විය හැකි සියල්ලන්ව දෙවියන්වහන්සේට එරෙහිව හරවා ඔහු හා ඔහුගේ භූතමය දූතයන් සමඟ ඔවුන්ව විනාශයට පත්කරවීමය. එහෙත්, අපට සහතික කර ඇත්තේ අප අඛණ්ඩතාව ඇතුව විඳදරාගෙන සිටින්නේ නම්, යක්ෂයා අප වෙතින් පලා යන බවය. යේසුස්වහන්සේ මෙන්, අප විඳින දේවලින් දෙවියන්වහන්සේ කෙරෙහි ‘කීකරුකම’ අපට ‘ඉගෙනගත’ හැකි අතර ලැබීමට නොවටිනා තරම් වූ උන්වහන්සේගේ කරුණාව මගින් සදාකාල ජීවනය අත්කරගැනීමට අපට හැකිවෙයි.—හෙබ්‍රෙව් 5:7, 8; යාකොබ් 4:7; 1 පේතෘස් 5:8-10.
3, 4. (අ) පාවුල්ට පොර බැදීමට සිදුවූයේ කිනම් බාහිර පරීක්ෂාවන් සමඟද? (ආ) ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු හැටියට පාවුල්ගේ සැලකිල්ලට ලක්වූයේ කුමක්ද?
3 ප්‍රේරිත පාවුල්ද ක්‍රම බොහොමයකින් පරීක්ෂාවට ලක්කරනු ලැබීය. ක්‍රිස්තුස්වහන්සේගේ දේව සේවකයෙකු හැටියට තමාගේ සුදුසුකම් දක්වමින්, ඔහු මෙසේ ලීවේය: “මම වැඩිවශයෙන් එසේය . . . එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යෑමෙනුත්, අප්‍රමාණලෙස පහර කෑමෙනුත්, බොහෝ වර මරණ උපද්‍රවයෙනුත් යන මේවායින්ය. යුදෙව්වරුන්ගෙන් පස්වරක් එකුත් සතළිසක් පහරකෑවෙමි. තුන් වරක් වේවැල්වලින් තැළුම්කෑවෙමි, එක වරක් ගල්ගසනු ලැබීමි, තුන් වරක් නැව් බිඳී උපද්‍රවයට පැමුණුනෙමි, රාත්‍රියකුත් දවාලකුත් ගැඹුරේ සිටියෙමි. තවද බොහෝවිට ගමන්වලටද, ගංගා උපද්‍රවවලටද, සොර උපද්‍රවවලටද, මාගේ රට වැසියන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, අන්‍යජාතීන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, නුවරෙහි උපද්‍රවවලටද, වනයේ උපද්‍රවවලටද, මුහුදේ උපද්‍රවවලටද, බොරු සහෝදරයන්ගෙන් පැමිණි උපද්‍රවවලටද; වැඩ සහ වෙහෙසීම්වලටද, නොයෙක්විට නිදිමැරීමටද, ක්ෂුධාව සහ පිපාසයටද, නොයෙක්විට නිරාහාරව සිටීමටද, ශීතලයටද, නග්නභාවයටද පැමිණියෙමි.
4 “බාහිර වූ ඒ දේ හැර සියලු සභාවන් ගැන සිතේ බරක් දවස්පතා මට ඇත්තේය. යමෙක් දුර්වල නම් මමත් දුර්වල නොවෙම්ද? යමෙක් පැකිලීමට පමුණුවනු ලබන්නේනම් මම නොදැවෙම්ද?” (2 කොරින්ති 11:23-29) මෙසේ, බාහිර පීඩා හා පරීක්ෂාවන්ට මුහුණ දෙන විට පාවුල් අඛණ්ඩතාව පැවැත්වූ අතර ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු හැටියට, අඛණ්ඩතාව පැවැත්වීමට සභාවේ දුර්වල සහෝදර සහෝදරියන්ට උපකාර කරමින්, ඔවුන්ව ශක්තිමත් කිරීම ගැන ඔහු අතිශයින් සැලකිලිමත් විය. අද දවසේ ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සඳහා මොනතරම් කදිම ආදර්ශයක්ද!
පීඩා යටතේ අඛණ්ඩතාව
5. ඍජු පීඩාවට තිබෙන පිළිතුර කුමක්ද?
5 අඛණ්ඩතාව බිඳ හෙළීම සඳහා සාතන් කිනම් උපක්‍රම පාවිච්චි කරයිද? ඉහත දැක්වූ පරිදි, ඍජු ලෙස පීඩා පැමිණවීම සාතන්ගේ වඩාත් දුෂ්ට උපායන්ගෙන් එකක් වුවද, පිළිතුරක් ඇත. එපීස 6:10, 11 අපට මෙසේ උපදෙස් දෙයි: “ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙයල්ලා. යක්ෂයාගේ උපායවලට [නැතහොත් “කපටි ක්‍රියා,” NW පාදසටහන] විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගනිල්ලා.”
6. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් “අතිශයින්ම ජයගන්නෝ” වී ඇති බව පෙන්විය හැක්කේ කෙසේද?
6 බොහෝ අවස්ථාවන්හි මෙම අන්තිම දවස් තුළ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පරීක්ෂා සමඟ සටන් කිරීමට සිදුවී ඇත. මෙබැවින්, අපට පාවුල් සමඟ මෙසේ පවසන්ට පුළුවන: “අපට ප්‍රේමකළාවූ තැනැන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජයගන්නෝ වමු.” (රෝම 8:37) වර්ෂ 1933 සිට 1945 දක්වා වූ නාට්සි සමය තුළ ජර්මනියේ, ඕස්ට්‍රියාවේ, පෝලන්තයේ හා යුගෝස්ලාවියාවේ තිබූ දේශපාලන සිරකඳවුරුවලත්, 1945 හා 1989 අතර තුර නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට්වාදී බලවත් පීඩා මධ්‍යයෙත්, එමෙන්ම වඩාත් නවීන කාලවල අප්‍රිකාවේ හා ලතින් අමෙරිකාවේ ඇතැම් කොටස්වලත්, බලවත් වේදනා පමුණුවා තිබෙන පීඩාවන් තුළ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ අඛණ්ඩතාව සම්බන්ධ වාර්තාවන්ගෙන් මෙය සනාථ වේ.
7. ඉතියෝපියාවෙන් අඛණ්ඩතාව පිළිබඳව කුමන උනන්දුවදනවන ආදර්ශයන් වාර්තා වන්නේද?
7 ඉතියෝපියාවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ 1974 හා 1991 අතර කාලය තුළ අඛණ්ඩතාව පිළිබඳව පොලඹවනසුලු ආදර්ශයක් සපයති. දේශපාලනයට ගැති හිර භාරයට ගන්නෙකු, සිරගතව සිටි සහෝදරයෙකුට පැවසුවේ මෙසේය: “ඔයගොල්ලන්ට ආපසු නිදහසේ සිටීමට ඉඩ දෙනවාට වඩා සත්වෝද්‍යානයෙන් සිංහයන් මුදා හැරීම වඩා හොඳය!” කෲර වූ මෙම පීඩා කරන්නන් යෙහෝවඃවහන්සේගේ සේවකයන්ට මහත් සේ පීඩා පැමිණෙවූ අතර වසර කීපයකට පසු අභියාචනාධිකරණයක් මගින් මරණයට පත්කිරීම නියෝග කරන ලදි. එක් සහෝදරයෙකුගේ මළ සිරුර අන්‍යයන්ට අනතුරු ඇඟවීමක් හැටියට ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කොට තිබුණි. මරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කළ වෙනත් සහෝදරයන් එතරම් දැඩි නැති අධිකරණයක් මගින් නිදහස් කරන ලද අතර මෙම ඇදහිලිවන්ත ‘ජයග්‍රාහකයන්ගෙන්’ සමහරෙක් 1994දී අඩිස් අබාබාහි පවත්වන ලද “දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික් සමුළු වැඩසටහනේ කොටස් ඉදිරිපත් කළහ.a—යොහන් 16:33; සසඳන්න 1 කොරින්ති 4:9.
8. “ජනවර්ග ශෝධනය” සාතන් වාසියට හරවාගෙන ඇත්තේ කෙසේද?
8 ඍජු පෙරමුණු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පක්ෂපාත සහෝදර සහෝදරයන්ගේ අඛණ්ඩතාව බිඳ හෙළීමට සාතන් අසමත් වී ඇත. එනිසා, ඔහු යොදාගන්නේ වෙනත් කුමන කපටි උපක්‍රමද? එළිදරව් 12:12 මෙම අන්තිම දවස් ගැන පවසන්නේ, “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය” යනුවෙනි. පීඩා මගින් දෙවියන්වහන්සේගේ පක්ෂපාත ජනතාව විනාශ කර දැමීමට අසමත්ව සිටින ඔහු, සිය කෝපයෙහි පිහිටා වෑයම් කරන්නේ, මුළු මහත් ජනගහනයම සමූල ඝාතනය කිරීමටය. මෙසේ කරන්නේ සෙස්සන් සමඟ යෙහෝවඃවහන්සේගේ ජනතාවත් විනාශ කර දැමීමේ අරමුණෙන් බවට කිසිදු සැකයක් නැත. මෙසේ, කලින් යුගෝස්ලාවියාව ලෙස පැවති දේශයේ ඇතැම් කොටස්වල ජනවර්ග ශෝධනය යනුවෙන් හඳුන්වනු ලබන ක්‍රියාවක් සිදු කරන ලද අතර ලයිබීරියාව, බුරුන්ඩි හා රුවන්ඩාහි ජාති ඝාතන සිදුකිරීමට වෑයම් දරා ඇත.
9. සාතන්ගේ උපාය මාර්ග බොහෝ විට අසාර්ථක වන්නේ මන්ද? උදාහරණ ඉදිරිපත් කරන්න.
9 කෙසේවෙතත්, බොහෝ අවස්ථාවන්හි, සාතන්ගේ උපාය මාර්ග ආපසු කැරකී ඔහු මතට කඩා වැටෙයි, එසේ වන්නේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ජ්වලිතව ප්‍රකාශ කරනු ලබන දේව රාජ්‍යය මත තම එකම බලාපොරොත්තුව රඳා පවතින බව වටහාගැනීමට සාතන්ගේ හිංසා පීඩා අවංක හදවත් ඇති ජනතාව පුබුදුවාලන නිසාය. (මතෙව් 12:21) ඇත්තවශයෙන්ම, උනන්දුව දක්වන්නෝ රාජ්‍යයට එක්රොක් වෙති! උදාහරණයක් වශයෙන්, සාහසික සටන්වලින් භේදභින්න වී ඇති බොස්නියා සහ හර්ට්ස්ගොවිනාහි, 1994, මාර්තු 26වන දින පවත්වන ලද යේසුස්වහන්සේගේ මරණය සිහිකිරීමේ උත්සවයට 1,307දෙනෙකු පැමිණි අතර එය ඊට කලින් වසරට වඩා 291දෙනෙකුගේ වැඩිවීමකි. සරයේවෝ (414), සෙනට්ස (223), ටූස්ලා (339), බාන්ය ලූක (255) හා වෙනත් නගරවල මෙතෙක් ඉහළම පැමිණීම් වාර්තා වුණි. ඒ අසල පිහිටි කොඅෂියා 8,326දෙනෙකුගේ අලුත් ඉහළ පැමිණීමේ සංඛ්‍යාවක් තිබුණි. අවට සිදුවෙමින් පැවති සැහැසියාවන් “ස්වාමීන්වහන්සේ එන තුරු . . . උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්න[ට]” වූ ආඥාවට කීකරු වීමෙන් එම රටවල්වල වාසය කරන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව වැළැක්වූයේ නැත.—1 කොරින්ති 11:26.
සටන්වලින් භේදභින්න වූ රුවන්ඩාවෙහි
10, 11. (අ) ක්‍රිස්තියානි යයි කියනු ලබන රුවන්ඩාවේ කුමක් සිදුවී තිබේද? (ආ) විශ්වාසවන්ත මිෂනාරිවරුන් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කර ඇත්තේ කෙලෙසද?
10 වර්ෂ 1993දී, රාජ්‍යය ප්‍රචාරකයන් 2,080දෙනෙකු සිටි, රුවන්ඩාහි, “දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික් සමුළුවට 4,075දෙනෙකු පැමිණි අතර, 230දෙනෙක් බව්තීස්ම කරනු ලැබූහ. මොවුන්ගෙන් 142දෙනෙක් වහාම උපකාරික පුරෝගාමි සේවයට අයදුම් කළහ. පවත්වනු ලබන නිවාස බයිබල් පාඩම් සංඛ්‍යාව, 1994දී 7,655 දක්වා ඉහළ නැංගේය, සාතන් නම් මෙම වර්ධනය ගැන කැමති නොවූ බව පැහැදිලිය! එහි ජනගහනයෙන් බහුතරයක් තමන් ක්‍රිස්තියානීන් යයි කියා සිටියද, අන්තර් ගෝත්‍රික සමූලඝාතන දියත් කරනු ලැබීය. වතිකානුවේ ලොසර්වාටොරේ රොමානෝ නම් පුවත්පත මෙසේ පිළිගත්තේය: “මෙය වනාහි සෑම අතින්ම බලන කල, අවාසනාවකට මෙන් කතෝලිකයන්ද පවා වගකිවයුතු, මහජන සංහාරයකි.” තක්සේරු කරන ලද මිලියන භාගයක් පමණ පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් මියගොස් ඇති අතර මිලියන දෙකකට තම නිවාස අහිමි විණි, නැතහොත් ඔවුන්ට පලායෑමට සිදුවිය. තමන්ගේ සැහැසියාවෙන් තොර ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය පවත්වමින්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ එකට වාසය කිරීමට වෑයම් කළහ. අපගේ සහෝදර සහෝදරියන් සිය ගණනක් මරා දමන ලදි. එහෙත්, 13දෙනෙකු මරාදමන ලද රාජ්‍යය ප්‍රචාරකයන් 65න් සමන්විත සභාවකට රැස්වීමට පැමිණි සංඛ්‍යාව 1994 අගෝස්තුවලදී 170 දක්වා වැඩි විය. වෙනත් රටවල්වල සාක්ෂිකරුවන් විසින් එවන ලද සහනාධාර ළඟාවූ පළමු සහනාධාර තොග අතර විය. බේරී ජීවත්ව සිටින්නන් උදෙසා අපි අපගේ යාච්ඤා ඉහළ ඔසවා පිරිනමමු.—රෝම 12:12; 2 තෙසලෝනික 3:1, 2; හෙබ්‍රෙව් 10:23-25.
11 සියලු සංත්රාසයන් මධ්‍යයෙහි රුවන්ඩාහි සිටි මිෂනාරිවරු තිදෙනා බේරුණාහ. ඔවුහු මෙසේ ලියති: “ලොවපුරා අපගේ සහෝදරයන්ට සමාන නැතහොත් ඊටත් වඩා භයානක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවී ඇති බව අප තේරුම්ගන්නා අතර, මේ සියල්ල මෙම දුෂ්ට දේවල පිළිවෙළේ අන්තිම දවස්වල ලකුණේ කොටසක් බවද අපි දනිමු. එහෙත්, කෙනෙකු පෞද්ගලිකව ඊට සම්බන්ධ වී සිටින විට, එය දේවල නියම ස්වභාවය පිළිබඳව තියුණු අවබෝධයක් ලබා දෙන අතර ජීවිතයේ වටිනාකම අගය කිරීමටද කෙනෙකුට සලස්වනු ඇත. ඇතැම් ශුද්ධ ලියවිලි පද අපහට අලුත් මුහුණුවරක් ගෙන තිබෙන අතර පළමු දේවල් යළිත් සිහියට නොපැමිණෙන කාලය කෙරෙහි අපි උනන්දුවෙන් බලා සිටින්නෙමු. මේ අතර අපට ඕනෑ වී තිබෙන්නේ යෙහෝවඃවහන්සේගේ සේවයෙහි කාර්ය බහුලව යෙදී සිටින්නටයි.”
යෞවන අඛණ්ඩතාව පවත්වන්නෝ
12, 13. (අ) එක් දරුවෙකු ගත්තේ අඛණ්ඩතාව-රකින කිනම් ක්‍රියාමාර්ගයද? (ආ) අපගේ යෞවනයන්ට අදදින දිරිගැන්වීම සොයාගත හැක්කේ කොතැනකින්ද?
12 සත්‍යය උදෙසා පවුලේ සාමාජිකයන් විසින් පහකරනු ලබන අය “සියක් ගුණයක්” විපාක ලබනවා ඇතැයි යේසුස්වහන්සේ ඇඟවූසේක. (මාර්ක් 10:29, 30) තමා දෙවියන්වහන්සේගේ නාමය—එනම් යෙහෝවඃ—ඇසූ විගස ඊට ප්‍රේම කළ, උතුරු අප්‍රිකාවේ දස හැවිරිදි දැරියක වන එන්ටෙල්යා සම්බන්ධයෙන් මෙය සැබෑවක් වේ. ඈ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ පාඩම් කළ අතර, රැස්වීම්වලට යෑමටත් ආපසු ඒමටත් විනාඩි 90 බැගින් වැය කරමින් ඇවිද්දාය. ඇය එසේ කළේ, ඇය ආපසු පැමිණි විට විරෝධතාව දක්වන සිය පවුලේ අය බොහෝ අවස්ථාවන්හි ඇයට ඇතුල්වීමට නොහැකි පරිදි දොර වසද්දීත්ය. අවුරුදු 13දී ඇය ගෙයින් ගෙට දේශනා කරන්ට පටන්ගත් අතර පවුලේ විරුද්ධවාදීකම් තවත් උත්සන්න විය. දිනක් ඥාතීහු ඇයගේ අත් පා බැඳ විටින් විට ඇය මත අපිරිසිදු වතුර වත්කරමින් දැවෙන අව්වේ පැය හතක් ඇයව දිගා කර තැබූහ. ඔවුහු ඇයගේ ඇසක් අන්ධ කරමින් දුෂ්ට ලෙස ඇයට පහර දුන් අතර අවසානයේ ඇයව සිය නිවසෙන් එළවා දැමූහ. කෙසේවෙතත්, ඈ රෝහලක රැකියාවක් සොයාගත් අතර අවසානයේ හෙදියක් හැටියට සුදුසුකම් ලැබුවාය. වයස අවුරුදු 20දී ඈ බව්තීස්ම ලැබූ අතර වහාම උපකාරික පුරෝගාමිකාවක් හැටියට බැඳුණාය. ඇයගේ අඛණ්ඩතාව සිතට කාවැදුණු ඇයගේ පවුලේ අය, ඇයව යළිත් නිවසට සාදරයෙන් පිළිගෙන ඇති අතර ඔවුන්ගෙන් නවදෙනෙක් නිවාස බයිබල් පාඩම් බාරගෙන ඇත්තාහ.
13 එන්ටෙල්යා ගීතාවලිය 116න්, විශේෂයෙන්ම ගීතා 116:1-4 දක්වා වගන්තිවලින් මහත් දිරිගැන්වීමක් ලැබූ අතර ඇය එය පුන පුනා කියවා තිබේ: “ස්වාමීන්ට [යෙහෝවඃට, NW] ප්‍රේමකරමි. මක්නිසාද උන්වහන්සේ මාගේ ශබ්දයද මාගේ කන්නලව්වද ඇසූසේක. උන්වහන්සේ මා දෙසට කන් නැමූ බැවින් ජීවත්ව සිටින තෙක් මම උන්වහන්සේට යාච්ඤාකරන්නෙමි. මරණයේ රැහැනෙන් වටකරනු ලැබීමි, ෂෙයෝලේ වේදනා මා අල්වාගත්තේය. විපත හා දුක මට පැමුණුණේය. එවිට මම ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW] නාමයෙන් යාච්ඤාකරමින්: ස්වාමිනි [ආ, යෙහෝවඃවහන්ස, NW] මාගේ ප්‍රාණය මිදුව මැනවයි කීයෙමි.” යෙහෝවඃවහන්සේ එවන් යාච්ඤාවලට පිළිතුරු දෙනසේක!
14. පෝලන්ත ජාතික සාක්ෂිකරුවන් කැපීපෙනෙන අඛණ්ඩතාවක් පෙන්වා ඇත්තේ කෙසේද?
14 යේසුස්වහන්සේගේ දවසේ මෙන්, පීඩාවේ ගිනිදැල්වලට පවන් සලන්ට සාතන් බොහෝ අවස්ථාවන්හි—එහෙත් අසාර්ථකව—පාවිච්චි කර ඇත්තේ ධර්මෝන්මාදයයි. 1994 යියර් බුක් ඔෆ් ජෙහෝවා’ස් විට්නසස් තුළ විස්තර කර ඇති ආකාරයට, පෝලන්තයේ අපගේ සහෝදරයන්ගේ ආදර්ශය කැපී පෙනෙන එකකි. තමන් අඛණ්ඩතාව පවත්වන්නන් බව ඔප්පු කිරීමට බාලයන්ව පවා කැඳවනු ලැබීය. ඉන් එක්කෙනෙක් අවුරුදු 15ක ගැහැනු ළමයෙකි, ඇයට 1946දී මෙසේ පවසන ලදි: “කතෝලික සාන්ත කුරුසියේ ලකුණ දමන්න. නැත්නම් ඔබට වෙඩි තියනවා!” අඛණ්ඩතාව පැවැත්වීම නිසා ඇයව වනාන්තරයකට ඇදගෙන ගොස්, දරුණු වදහිංසා පමුණුවා, වෙඩි තබන ලදි.—මතෙව් 4:9, 10, සසඳන්න.
සාතන්ගේ වෙනත් කපටි උපක්‍රම
15, 16. (අ) සාතන්ගේ යක්ෂාකාර ප්‍රතිපත්තිය කුමක්ද, එමෙන්ම ඔහුට විරුද්ධව අපට සිටිය හැක්කේ කෙසේද? (ආ) අපගේ යෞවනයන්ට පැකිළීමට කිසිදු හේතුවක් නැත්තේ මන්ද?
15 ඇත්තවශයෙන්ම සාතන්ගේ යක්ෂාකාර ප්‍රතිපත්තිය වනුයේ “පාලනය කරන්න නැතහොත් විනාශ කරන්න”! ඔහුට තම අවි ගබඩාවේ දරුණු අවි බොහොමයක් ඇත. එබැවින් ප්‍රේරිත පාවුල් මෙලෙස අනතුරු ඇඟවීම පුදුමයක් නොවේ: “අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණකරගන ස්ථිරව සිටින්ටත් පුළුවන්වෙන පිණිස, දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ අරගනිල්ලා.” (එපීස 6:12, 13) ද්‍රව්‍යවාදී ආශාවන්, නීච කරවන විනෝදාංශ හා ප්රචාරක කටයුතු, යක්ෂාකාර සංගීතය, පාසැලේදී තුල්‍ය පීඩනය, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය හා බීමත්කම යනාදී ඕනෑම දෙයකට අපගේ ජීවිතය විනාශ කරන්ට පුළුවන. එබැවින්, ප්‍රේරිතවරයා වැඩිදුරටත් මෙසේ උපදෙස් දෙයි: “ඒ සියල්ල ඇර, ඇදහිල්ල නමැති පලිහ අරගනිල්ලා. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්වන්නේය.”—එපීස 6:16.
16 සාතන් මෙම ලෝකය තුළ පෙවීමට සලස්වන අශෝභන සංගීතය ගැන සලකා බැලීමේදී අදදින මෙය විශේෂාකාරයෙන් අවශ්‍ය බව පෙනේ. ඇතැම් සංගීතයන් ගත් කල සාතන් පිදීමට ඒවා ඍජු ලෙස සම්බන්ධ වී ඇත. සැන් ඩියේගා ප්‍රාන්තයේ (ඇ.එ.ජ.) ෂෙරිෆ් ආරක්ෂක බලධාරියාගේ කාර්යාලයේ වාර්තාවක මෙසේ ප්‍රකාශ විය: “අපට මෙම ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් තිබූ අතර, එහි සංගීත කණ්ඩායම ළමුන් 15,000කට සැලැස්සුවේ නාටස් (Natas) කියා පුන පුනා කීමටය—‘නාටස්’ යනු ඉංග්‍රීසියෙන් සාතන්ගේ නම (Satan) ආපස්සට කීමය.” සාතන් වන්දනාව විස්තර කර ඇත්තේ “ඔවුන් බලාපොරොත්තු සුන්ව, කෝපව, එමෙන්ම තනිව මංමුළාවී ඇවිදිමින් සිටි නිසා,” යෞවන අය ඇද වැටෙන වළක් හැටියටය. ක්‍රිස්තියානි සභාවේ සිටින යෞවනයෙනි, ඔබට පැකිළීමට අවශ්‍යතාවක් නැත! සාතන්ගේ උල් කටුවලට ඔබව පසාරු කරගෙන යා නොහැකි ආත්මික යුද්ධායුධ කට්ටලයක් යෙහෝවඃවහන්සේ ඔබට සපයනසේක.—ගීතාවලිය 16:8, 9.
17. චිත්තවේගී කලකිරීම මැඩපැවැත්විය හැක්කේ කෙසේද?
17 සාතන්ගේ ගිනිහෙලි සැලසුම් කර තිබෙන්නේ සිතෙහි ඇතිවන බලවත් හැඟීම් මත බලපෑම් කිරීමටය. කායික රෝග නැතහොත් ගැඹුරු කලකිරීමේ ස්වභාවයක් වැනි, ජීවිතයේ පීඩනයන් මගින්, අපගේ විරුද්ධකාරයා නොවටිනාභාවයක හැඟීමක් ඇතිව සිටින්ට ඇතැමෙකුට සලස්වන්ට පුළුවන. දේව සේවයේ වැඩි කාලයක් ගත කරන්ට නොහැකි වීම නිසා, නැතහොත් සභාවේ ඇතැම් රැස්වීම් අතපසු වීම නිසා කෙනෙකු අධෛර්යයට පත්විය හැක. වැඩිමහල්ලන්ගේ මෙන්ම කාරුණික වූ වෙනත් සහෝදර සහෝදරියන්ගේ ප්‍රේමනීය සැලකිල්ල සිතෙහි ඇතිවන අසීරු කම්පනයන් මැඩපැවැත්වීමට උපකාරවත් විය හැකිය. යෙහෝවඃවහන්සේ ස්වකීය විශ්වාසවන්ත සේවකයන්ට ප්‍රේම කරන බව හැමවිටම මතක තබාගන්න. (1 යොහන් 4:16, 19) ගීතාවලිය 55:22 මෙසේ පවසයි: “නුඹේ බර ස්වාමීන් [යෙහෝවඃවහන්සේ, NW] පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.”
18. ඇතැමෙකුට පොර බදන්ට සිදුවී ඇත්තේ කුමන යක්ෂාකාර වූ උපායවල් සමඟද?
18 සාතන්ගේ කපටි “උපායව[ල්]” මෑත කාලයේ පටන් තවත් එක් ආකාරයකින් දිස්වී ඇත. ඇතැම් දේශවල වැඩිහිටියන් පීඩිත සිතුවිලි පහළවීම අද්දැක ඇත, ඉන් ඔවුන්හට ප්රබලව ලබා දෙන හැඟීම වනාහි ඔවුන් දරුවන්ව සිටියදී සාතන්ගේ ලබ්ධි මගින් ඔවුන්ට කෲර ලෙස පීඩා කරනු ලැබූ බවය. එවන් අදහස් පැමිණියේ කොතැන් සිටද? පුළුල් පර්යේෂණ කර තිබෙතත්, ලෞකික මත බොහෝසෙයින් වෙනස් වේ. ඇතැමෙකු මෙම සිතුවිලි සලකන්නේ සැබෑ මතකයන් හැටියටය, අන්‍යයන්—ඇතැම් අවස්ථාවන්හි ප්රශ්නකටයුතු චිකිත්සක මගින් පොලඹවන ලද—මනඃකල්පිතයන් හැටියටය. එමෙන්ම තවත් අය ළමාවියේ සිතේ හටගත් කම්පිත අද්දැකීම් නිසා යම් ආකාරයක මායාවක් හැටියටය.
19. (අ) යෝබ්ට පොර බදන්ට සිදුවූයේ කිනම් සිතිවිලි සමඟද? (ආ) වැඩිමහල්ලන්ට එලීහුගේ ආදර්ශය කෙසේ අනුගමනය කළ හැකිද?
19 සාතන් එලීපස් හා ශෝපර් තුළින් ප්‍රකාශ කළ නොසන්සුන් කරවන “සිතිවිලි” සමඟ දෙවියන්වහන්සේගේ සේවකයා වන යෝබ්ට පොර බදන්ට සිදුවීම සිතට ගත යුතු යමක් වන්නේය. (යෝබ් 4:13-18; 20:2, 3) යෝබ් එසේ, තමාගේ මනසට පීඩා පැමිණෙවූ “භයානකකම්” සම්බන්ධ “අනුවණ” කථාවල නියැලීමෙන් විපාක වූ “ශෝක[යෙන්]” වේදනා වින්ඳේය. (යෝබ් 6:2-4; 30:15, 16) එලීහු නිහඬව යෝබ්ට සවන්දෙමින් සිට, කාරණා පිළිබඳව යෙහෝවඃවහන්සේගේ සර්ව ප්‍රඥාවන්ත දෘෂ්ටිය දකින්ට අවංකව උපකාර කළේය. සමානාකාරයෙන් අදදිනත්, අවබෝධයෙන් යුත් වැඩිමහල්ලන් පීඩාවට පත්වූවන්ට තමන් සලකන බව පෙන්වන්නේ ඔවුන්ට තවත් “පීඩනය” [NW] එකතු නොකිරීමෙනි. ඒ වෙනුවට, එලීහු මෙන්, ඔවුහු ඉවසීමෙන් ඔවුන්ට සවන් දී අනතුරුව දේව වචනයේ නිවාරක තෛලය ආලේප කරති. (යෝබ් 33:1-3, 7; යාකොබ් 5:13-15) මෙසේ සැබෑ හෝ සිතින් මවාගන්නාවූ, චිත්ත කම්පනයන්ගෙන් කරදරයට පත්ව සිටින, එසේත් නැතහොත් යෝබ් මෙන්, “ස්වප්නවලින් . . . දර්ශනවලින්ද . . . ත්‍රස්ත” වී සිටින ඕනෑම කෙනෙකුට සභාව තුළින් සමනය ගෙන දෙන ශුද්ධ ලියවිලිමය සහනයක් සොයාගත හැක.—යෝබ් 7:14; යාකොබ් 4:7.
20. මානසික පීඩනයට ලක්ව සිටින ක්‍රිස්තියානීන්ට තමන්ගේ ආත්මික සමබරතාව පවත්වාගැනීමට උපකාර කළ හැක්කේ කෙසේද?
20 එක් ආකාරයකින් හෝ තවෙකකින්, සාතන් මෙම භයානක සිතිවිලි පිටුපස සිටින බව වර්තමානයේ ක්‍රිස්තියානි කෙනෙකුට නිසැක වන්ට පුළුවන. සභාවේ යමෙකු මෙලෙස වේදනා විඳින්නේ නම්, එවන් ත්‍රස්ත කරවන මානසික හැඟීම් තමන්ගේ ආත්මික සමබරතාව අවුල් කිරීමට සාතන්ගේ ඍජු වෑයමක් හැටියට දැකීම ඔවුන්ට ඥානවන්ත දෙයක් වනු ඇත. මොවුන්ට ඉවසිලිවන්ත හා අවබෝධයෙන් යුත් ශුද්ධ ලියවිලිමය අනුබලයක් අවශ්‍ය වේ. යාච්ඤාපූර්වකව යෙහෝවඃවහන්සේ වෙත හැරීමෙන් හා ආත්මික රැකවරණයෙන් ප්‍රයෝජන ගැනීමෙන්, විපත් අද්දකින්නන් සාමාන්‍යය ඉක්මවූ බලයෙන් තමන්ට ප්‍රයෝජන අත්කරගන්නවා ඇත. (යෙසායා 32:2; 2 කොරින්ති 4:7, 8) මෙසේ ඔවුන්ට විශ්වාසවන්තව විඳදරාගන්නටත් සභාවේ සාමයට බලපෑම් කිරීමට දුෂ්ට ආක්‍රමණශීලී සිතිවිලිවලට ඉඩදීම ප්‍රතික්ෂේප කරන්ටත් හැකියාව ලැබෙනවා ඇත. (යාකොබ් 3:17, 18) එසේය, යේසුස්වහන්සේ “සාතන් අහක්ව යව” යයි පැවසූ විට, උන්වහන්සේ පෙන්වූ එම ස්වභාවයම පෙන්වමින්, ඔවුන්ට යක්ෂයාට විරුද්ධව සිටින්ට පුළුවන් වනු ඇත.—මතෙව් 4:10; යාකොබ් 4:7.
21. ශුද්ධ ලියවිලි සාතන්ගේ ප්‍රයෝගකාර ක්‍රම පිළිබඳව අනතුරු අඟවන්නේ කෙලෙසද?
21 ප්‍රේරිත පාවුල් 2 කොරින්ති 11:3හි මෙසේ පවසමින් අනතුරු ඇඟවූ ආකාරයට, සාතන්ගේ ඉලක්කය කෙසේ හෝ අපගේ මනස් දූෂ්‍ය කිරීම බව අපි දනිමු: “සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.” අදදින දෙවියන්වහන්සේගෙන් විදේශීව සිටින සියලු මාංසවල නැතහොත් මානව සමාජයේ වත්මන් විනාශය, අපට සිහිපත් කරන්නේ නෝවාගේ දවසේ සිටි දූෂිත හා සාහසික දෙමුහුන් “ප්‍රහාරකයන්” විසින් තනන ලද පහත වැටුණු තත්ත්වයයි. (උත්පත්ති 6:4, 12, 13, NW පාදසටහන; ලූක් 17:26) එබැවින්, සාතන්, විශේෂාකාරයෙන් දෙවියන්වහන්සේගේ ජනතාවට එරෙහිව ඇති, තමාගේ කෝපය ප්‍රකාශ කිරීමට කපටි ක්‍රියා හා ප්‍රයෝගකාර ක්‍රමවලට නැඹුරු වීම පුදුමයක් නොවේ.—1 පේතෘස් 5:8; එළිදරව් 12:16ආ.
22. සාතන් ඉවත් කිරීමෙන් පසු, අපේක්ෂා කළ හැක්කේ කුමන ආශීර්වාදයන්ද?
22 යෝබ් පොතේ අවසාන පරිච්ඡේදවල සාතන් ගැන සඳහන් කිරීමක් පවා සිදුකර නැත. මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේ වෙත අඛණ්ඩතාව පැවැත්විය නොහැකි බවට වූ ඔහුගේ දුෂ්ට අභියෝගය යෝබ්ගේ අඛණ්ඩතාවෙන් බොරු බව ඔප්පු කර තිබුණි. සමානාකාරයෙන්, නුදුරු අනාගතයේ අඛණ්ඩතාව පවත්වන්නන්ගේ “මහත් සමූහය” “මහත් පීඩා[ව] මැදින් එ[න]” විට, සාතන්ව පාතාලගත කිරීමක් සිදුවෙනවා ඇත. ඇදහිලිවන්ත යෝබ්ද ඇතුළුව, ඇදහිල්ලේ සිටින පුරුෂයන් හා ස්ත්‍රීන්, යෝබ්ට විපාක කරනු ලැබූ ආශීර්වාදයන්ටත් වඩා ශ්‍රේෂ්ඨ, පාරාදීසමය ආශීර්වාදයන් භුක්ති විඳින්ට එම “මහත් සමූහය[ට]” එකතු වෙනවා ඇත!—එළිදරව් 7:9-17; 20:1-3, 11-13; යෝබ් 14:13.
[පාදසටහන්වල]
a වර්ෂ 1992 යියර්බුක් ඔෆ් ජෙහෝවා’ස් විට්නසස්, 177 පිටුව බලන්න.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ යෝබ්, යේසුස්වහන්සේ සහ පාවුල් තැබුවේ අඛණ්ඩතාව පිළිබඳව කුමන කදිම ආදර්ශද?
◻ අඛණ්ඩතාව පවත්වන්නන් සාතන්ට මුහුණ දී ඇත්තේ කෙලෙසද?
◻ යෞවනයන්ට සාතන්ගේ කපටි ප්‍රයෝගවලට විරුද්ධ විය හැක්කේ කෙලෙසද?
◻ යක්ෂාකාර උපායවල් සමඟ කටයුතු කරන්ට කුමක් කළ හැකිද?
[7වන පිටුවේ පින්තූරය]
ඝාතනය කරන ලද තම පියාගේ ආදර්ශයට අනුව ඉතියෝපියාවේ මෙස්වාට් සහ යොආලන් පූර්ණ-කාලීනව යෙහෝවඃවහන්සේට සේවය කරති
[7වන පිටුවේ පින්තූරය]
උතුරු අප්‍රිකාවේ යෞවන අඛණ්ඩතාව පවත්වන්නෙක් වන, එන්ටෙල්ලා