අධ්‍යයනය මහඟු ඵලවිපාක ලබා දෙයි
වෙළඳපොළක පුද්ගලයෙකු පලතුරු තෝරන ආකාරය ඔබ කෙදිනක හෝ දැක ඇද්ද? පලතුර ඉදී තිබේද කියා තීරණය කිරීමට ඔහු එහි වර්ණය සහ ප්‍රමාණය සැලකිල්ලට ගනියි. සමහරු එහි සුවඳද පරීක්ෂා කර බලති. තවත් අය එය අතින් අල්ලති, ඇඟිලිවලින් මදක් තද කර පවාද බලති. තවත් සමහරුන් ගෙඩි දෙකක් අතට ගෙන යුෂවලින් වැඩියෙන් බර වී ඇත්තේ කවර ගෙඩියද කියා තීරණය කිරීම සඳහා එම ගෙඩි දෙකේ බර සන්සන්දනය කර බලති. මෙවන් අය කල්පනා කරමින් සිටින්නේ කුමක් ගැනද? ඔවුන් කරමින් සිටින්නේ එකතු කරගත් තොරතුරු විග්‍රහයකට ලක් කිරීමයි. යම් වෙනස්කම් ඇතොත් ඒවාද සැලකිල්ලට ගනිති. තවද කලින් තෝරාගත් යමක් මතකයට නඟන ඔවුහු, දැන් දකින දේ සහ දැනටමත් දන්නා දේ අතර යම් සැසඳීම්ද කරමින් සිටිති. මේ අනුව, හදිසි නොවී, ගත යුතු තේරීම සම්බන්ධයෙන් කාලය ගෙන, හොඳ අවධානයක් දෙන නිසා, මිලට ගන්නා පලතුරු අනුභව කිරීම ඔවුන්ට රසවත් අද්දැකීමක් වනවා නිසැකය.
කෙසේවෙතත්, දේවවචනය අධ්‍යයනය කිරීමෙන් අත් වන විපාක මේ හා සැසඳිය නොහැකි තරම්ය. එවන් අධ්‍යයනයක් අපගේ ජීවිතයේ මුල් තැන ගන්නා විට, අපගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වේ. අපගේ ප්‍රේමය තවත් ගැඹුරු වේ. අප දේවසේවයේ ලබන ප්‍රතිඵල තවත් වැඩි වේ. තවද අප පෙරට වඩා විචාර බුද්ධියෙන් සහ දිව්‍ය ප්‍රඥාවෙන් කටයුතු කරන බව අප ගන්නා තීරණවලින් හෙළි වේ. එවන් විපාකයන් සම්බන්ධයෙන් හිතෝපදේශ 3:15හි [න. අ.] මෙසේ පැවසේ. “ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය.” ඔබත් එවන් විපාකයන් අද්දකිමින් සිටිනවාද? මේ සඳහා ඔබේ අධ්‍යයන පුරුදු පරීක්ෂා කර බැලීම වටී.—කොලො. 1:9, 10, 12ආ.
ඔබේ පෞද්ගලික අධ්‍යයනයෙන් උපරිම ප්‍රයෝජන නෙළාගැනීමට, ඔබේ හෘදය සූදානම් කරගන්න
අධ්‍යයනය යනු කුමක්ද? එය නිකම්ම උඩින් පල්ලෙන් කියවීමට වඩා වැඩි යමකි. යම් විෂයක් පරෙස්සමින් හෝ සෑහෙන කාලයක් යොදවමින් සැලකිල්ලට භාජන කිරීම සඳහා ඔබේ ඥාන ශක්තිය භාවිත කිරීම ඊට අයත් වේ. කියවන දේ විග්‍රහ කර බැලිය යුතුයි. මේ වන විටත් අප එකතු කරගත් දැනුම් සම්භාරය සමඟ යම් සැසඳීමක් කිරීමද අවශ්‍යය. එමෙන්ම ඉදිරිපත් කර ඇති අදහස්වලට හේතු මොනවාදැයි සැලකිල්ලට යොමු කළ යුතුය. ඔබ අධ්‍යයනයක් කරනවා නම්, මුල්ම වතාවට ඔබේ අවධානයට ලක් වන අදහස් ගැන ගැඹුරින් කල්පනා කරන්න. නිදසුනකට, ඔබේ සිතට ඇතුල් වන ශුද්ධ ලියවිලිමය උපදෙස් ඔබට පෞද්ගලිකව වඩාත් හොඳින් අදාළ කරගත හැක්කේ කෙසේද කියා සලකා බලන්න. ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු නිසා, ඔබ අධ්‍යයනය කරන තොරතුරු අනුන්ට උපකාර කිරීම සඳහා යොදාගත හැකි අවස්ථාවන් ගැන සිතා බැලීමද සුදුසුය. මෙනෙහි කිරීමද අධ්‍යයන ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම ඇතුළත් වන බව මින් මොනවට පැහැදිලි වේ.
නිසි මානසික රාමුවක සිටීම
බයිබල් පද පෙරළා බැලීම අතපසු නොකරන්න
සාමාන්‍යයෙන් ඔබ අධ්‍යයනය කිරීමට පෙර ඔබේ බයිබලය, අධ්‍යයනය සඳහා යොදාගැනීමට අදහස් කරන වෙනත් ප්‍රකාශන, පැන්සලක් හෝ පෑනක් සහ සටහන් පොතක් සූදානම් කරගන්නවා ඇති. එනමුත් ඔබ ඔබේ හෘදයත් සූදානම් කරගන්නවාද? එස්රා ‘යෙහෝවාගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඉශ්‍රායෙල්හි පනත්ද විනිශ්චයන්ද උගන්වන්ටත් තමාගේ සිත යොමු කරගත්තේය [හෘදය සූදානම් කරගත්තේය, NW]’ කියා බයිබලයෙහි පැවසේ. (එස්රා 7:10) හෘදය එලෙස සූදානම් කරගැනීමට අයත් වන්නේ කුමක්ද?
නිසි ආකල්පයක් ඇතුව දේවවචනය අධ්‍යයනය කිරීම වෙත පිවිසීමට මහඟු උපකාරයකි, යාච්ඤාව. අපගේ ආශාව විය යුත්තේ යෙහෝවා අපට දෙන දැනමුතුකම් භාරගැනීමට අපගේ හෘදය නැතහොත් ඇතුළාන්තය සුදුසු තත්වයකට සකස් කරගැනීමයි. අධ්‍යයනය ආරම්භ කිරීමට පෙරාතුව, යෙහෝවාගේ ආත්මය ඉල්ලා ඔහුට කන්නලව් කරන්න. (ලූක් 11:13) ඔබ අධ්‍යයනය කරන්නට යන දෙයෙහි අර්ථය ඔබ තේරුම්ගත යුතුය. ඒ දේවල් දෙවිගේ අරමුණට සම්බන්ධ වන ආකාරයද අවබෝධ කරගැනීම අවශ්‍යය. තවදුරටත් හරි වැරැද්ද අතර වෙනස නිශ්චය කරගැනීමද, දෙවිගේ ප්‍රතිපත්ති ඔබේ ජීවිතයෙහි අදාළ කරගත යුතු අන්දමද, ඉගෙනගන්නා තොරතුරු ඔහු සමඟ ඇති ඔබගේ සම්බන්ධයට බලපාන ආකාරයද අවබෝධ කරගත යුතු වේ. මේ සියල්ල සඳහා උපකාර ඉල්ලා දෙවිට යාච්ඤා කළ හැක. (හිතෝ. 9:10) අධ්‍යයනය කරද්දී, දිගටම ‘දෙවිගෙන් ප්‍රඥාව ඉල්ලන්න.’ (යාකො. 1:5) ඔබ ඉගෙනගන්නා දෙය මිනුම් දණ්ඩක් කරගෙන ඔබේ තත්වය අවංක ලෙස තක්සේරු කර බලන විට, වැරදිසහගත සිතුවිලි හෝ හානිකර තෘෂ්ණාවන් මුලිනුපුටා දැමීම සඳහා යෙහෝවාගේ උපකාර පතන්න. යෙහෝවා යමක් එළිදරව් කරන විට, නිතරම ‘ස්තුති දීමෙන් යෙහෝවාට’ ඔබේ කෘතඥතාවද පළ කරන්න. (ගීතා. 147:7) මෙවැනි යාච්ඤාපූර්වක ආකල්පයකින් අධ්‍යයනය වෙත පිවිසෙන විට, යෙහෝවා සමඟ කුලුපග සමීපකමක් භුක්ති විඳිය හැකි වේ. මන්ද ඔහු තම වචනය ආධාරයෙන් අපට කතා කරන විට, ඔහුට ප්‍රතිචාරය දැක්වීමට අපට ඉන් මඟ සැලසෙන බැවිනි.—ගීතා. 145:18.
යෙහෝවාගේ සේවකයෝ දිව්‍ය ඉගැන්වීම් පිළිගැනීමට නැඹුරුවාවක් දක්වති. එහෙත් සැබෑ දේවභක්තියක් නැති සෙස්සෝ ලියා තිබෙන දේවල් සැක කිරීමට හා විවේචනය කිරීමට ප්‍රවණතාවක් දක්වති. යෙහෝවාගේ සේවකයන් සෙස්සන්ගෙන් වෙනස් වන්නේ මෙලෙසය. මන්ද අප එවන් ආකල්ප නොදරන හෙයිනි. අපේ දැඩි විශ්වාසය යෙහෝවා කෙරෙහිය. (හිතෝ. 3:5-7) අපට යමක් හරියාකාරව අවබෝධ කරගත නොහැකි නම්, යම් වරදක් තිබිය යුතුයි කියා අප හිතුවක්කාර ලෙස නිගමනය කරන්නේ නැත. පිළිතුරු සඳහා ගැඹුරට හාරා බලමින් ගවේෂණය කරන විට, අප බලා සිටින්නේ යෙහෝවා කෙරෙහිය. (මීකා 7:7) අපගේ ඉලක්කය එස්රාගේ ඉලක්කයට සමානය. එනම්, අප ඉගෙනගන්නා දේ ක්‍රියාවට නැංවීමත්, එය අනුන්ට ඉගැන්වීමත් අපගේ අභිප්‍රාය වේ. අපට මෙවන් හෘද නැඹුරුවාවක් ඇත්නම්, අපගේ අධ්‍යයනයෙන් මහඟු විපාක නෙළාගැනීමට හැකි වනවා නොඅනුමානය.
අධ්‍යයනය කළ යුතු ආකාරය
සාමාන්‍යයෙන් මුල්ම ඡේදයේ සිට අවසානය දක්වා කියවීමට අප පුරුදු වී තිබෙනවා වන්නට පුළුවන. එවන් දෙයක් කරනවා වෙනුවට, මුළු ලිපිය හෝ පරිච්ඡේදය ගැන සමස්ත අදහසක් ලබාගැනීමට උත්සාහයක් දරන්න. එවන් දෙයක් කරන්නේ කෙසේද? මුලින්ම මාතෘකාවේ භාවිත කර ඇති වචන පරීක්ෂා කර බැලිය හැක. ඇත්තෙන්ම ඔබ අධ්‍යයනය කරනු ලබන තොරතුරුවල තේමාව මෙයයි. ඊළඟට උපමාතෘකා තේමාවට සම්බන්ධ වී ඇති ආකාරයට හොඳ අවධානයක් දෙන්න. යම් පින්තූර, ප්‍රස්තාර හා ඉගැන්වීමට යොදා තිබෙන කොටු ඇත්නම් ඒවා වෙතට ඔබේ අවධානය යොමන්න. ඊළඟට ඔබෙන් මෙසේ අසන්න. ‘සමස්ත අදහසක් ලබාගැනීම සඳහා මා දැන් කළ මෙම අධ්‍යයනයට අනුව, ඉගෙනගැනීමට මට අපේක්ෂා කළ හැකි දේවල් මොනවාද? මට මෙම තොරතුරුවලින් කවර ආකාරයේ ප්‍රයෝජනයක් ලැබෙනවාද?’ මෙසේ කිරීමෙන් ඔබේ අධ්‍යයනය නිශ්චිත අරමුණකට එකඟව ස්ථානගත කළ හැකිය.
මෙනෙහි කිරීමට කාලය ගන්න
ඊළඟට තොරතුරු වෙත ඔබේ අවධානය යොමු විය යුතුය. මුරටැඹ පාඩම් ලිපිවල සහ ඇතැම් පොත්වල මුද්‍රිත ප්‍රශ්න තිබේ. ඡේදයක් ඡේදයක් පාසා කියවද්දී, එම ප්‍රශ්නවලට අදාළ උත්තර යටින් ඉරි ගැසීම ප්‍රයෝජනදායක විය හැක. ඇතැම් අවස්ථාවලදී, අධ්‍යයනය සඳහා ප්‍රකාශනයෙහි මුද්‍රිත ප්‍රශ්න නැත. කෙසේවෙතත්, මතක තබාගත යුතු වැදගත් කාරණා සටහන් කරගැනීම ප්‍රයෝජනදායක වන්නට පුළුවන. අලුත් කරුණක් ඔබේ නෙත ගැටෙන විට, එය හොඳින් තේරුම්ගැනීමට අමතර කාලයක් වැය කිරීම නුවණට හුරුය. ඇතැම් අවස්ථාවල, එනම් ක්ෂේත්‍ර සේවයේදී හෝ පවරා ඇති කතාවකදී භාවිත කළ හැකි උපහැරණ හෝ සුවිශේෂ තර්කයන් ඔබ කියවන කොටසෙහි තිබිය හැක. එමනිසා, විමසිල්ලෙන් සිටින්න. මෙමගින් යමෙකුගේ ඇදහිල්ල ශක්තිමත් කළ හැකිද? එසේ නම් ඔබ අධ්‍යයනය කරන දෙය ඔවුන් සමඟ බෙදාගැනීමට අදිටන් කරගන්න. උපයෝගි කරගැනීමට කැමති කරුණු සටහන් කරගෙන, අධ්‍යයනයෙන් පසු ඒවා පුනරීක්ෂණය කරන්න.
තොරතුරු සලකා බලන අතරතුරේදී, සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පාඨ පෙරළා බලන්න. සෑම බයිබල් පදයක්ම එක් එක් ඡේදයේ උලුප්පා දැක්වෙන මූලික කරුණට සම්බන්ධ වන ආකාරය විග්‍රහ කර බලන්න.
බැලූ බැල්මට තේරුම්ගැනීමට අසීරුයයි හැඟෙන කාරණා ඔබේ නෙත ගැටෙනවා විය හැක. එසේ නැතහොත් වඩාත් හොඳින් ගවේෂණය කළ යුතුයයි ඔබට පෙනී යන කරුණු ඔබේ අවධානයට හසු වන්නට පුළුවන. කෙසේවෙතත්, එවැනි කරුණුවලින් බාධාවට පත් නොවී පසු වේලාවක සලකා බැලීම සඳහා ඒවා සටහන් කරගන්න. සමහරවිට ලිපිය හෝ පරිච්ඡේදය දිගටම කියවගෙන යද්දී, කලින් අපැහැදිලිව තිබූ කරුණු පැහැදිලි කර තිබෙනු ඇත. එවන් දෙයක් එහිදී සිදු නොවේ නම්, අමතර පර්යේෂණ කරන්නට පුළුවන. එලෙස අවධානයට ගත යුත්තේ කවර අන්දමේ කරුණුද? සමහරවිට, ඔබට පැහැදිලිව නොතේරෙන බයිබල් පදයක් උපුටා දක්වා තිබෙනවා වෙන්නට පුළුවන. එසේ නැතහොත් සාකච්ඡා කරනු ලබන විෂයට එය අදාළ වන ආකාරය ඔබට සැණෙකින් පැහැදිලි නොවනවා විය හැක. සමහරවිට, ඔබ කියවන කොටසෙහි යම් අදහසක් ඔබට ගත හැකි වුවද, වෙනත් කෙනෙකුට එය පැහැදිලි කිරීමට තරම් ප්‍රමාණවත් අවබෝධයක් ඔබට නොතිබෙන්නට පුළුවන. මෙවැනි කරුණු නොසලකා හරිනවා වෙනුවට, අධ්‍යයනය කිරීමට නියමිත වූ කොටස අවසන් කළායින් පසු ඒවා ගැන පර්යේෂණ කිරීම ඥානවන්ත දෙයක් විය හැක.
ඔබේ භාෂාවෙන්ම පර්යේෂණ කිරීම සඳහා යොදාගත හැකි මූලාශ්‍රයන්ට හුරු පුරුදු වන්න
ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් වෙත ඉතා සවිස්තරාත්මක ලිපියක් ලියූ විට, ලිපියේ මැදට වන්න ඔහු එක් තැනකදී “ඉතින් අප කියන දේවලින් ප්‍රධාන එක නම්” කියා කීමට මදකට නතර වූයේය. (හෙබ්‍රෙ. 8:1) ඔබත් ඒ හා සමානව විටින් විට ප්‍රධාන කරුණු මතකයට නඟනවාද? පාවුල් එසේ කළේ මන්දැයි සලකා බලන්න. දේවානුභාවයෙන් තමා ලියූ ලිපියේ කලින් පරිච්ඡේදවල, ක්‍රිස්තුස් දෙවිගේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා හැටියට ස්වර්ගයට ඇතුල් වූ බව පෙන්වා තිබිණ. (හෙබ්‍රෙ. 4:14-5:10; 6:20) එනමුත්, හෙබ්‍රෙ 8වන පරිච්ඡේදයේ 1වන පදය මුල එම ප්‍රධාන කරුණ වෙන් කොට අවධාරණය කිරීමෙන්, පාවුල් තම පාඨකයන්ගේ මනස් සූදානම් කරමින් සිටියේ එම කාරණය ඔවුන්ගේ ජීවිතයට අදාළ වූ ආකාරය ගැන ගැඹුරින් කල්පනා කිරීමටය. ක්‍රිස්තුස් දෙවි ඉදිරියෙහි පෙනී සිටිය බවත්, එමගින් එම ස්වර්ගික ‘ශුද්ධස්ථානයට’ ඇතුල් වීම සඳහා ඔවුන්ට මාර්ගය විවෘත කර දුන් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. (හෙබ්‍රෙ. 9:24; 10:19-22) මීට අමතරව ඇදහිල්ල, විඳදරාගැනීම සහ ක්‍රිස්තියානි හැසිරීම සම්බන්ධයෙන් අමතර උපදෙස් මෙම ලිපියෙහි අන්තර්ගත වී තිබිණ. එමනිසා, ඔවුන්ගේ බලාපොරොත්තුව ඉහත සඳහන් පරිද්දෙන් සහතික වීම, ඒ අමතර උපදෙස් අදාළ කරගැනීමට පෙලඹීමක් වනු ඇත. අපද අධ්‍යයනය කරන විට මූලික කරුණු වෙතට අවධානය යොමු කරනවා නම්, තේමාව ගොඩනඟා ඇති ආකාරය තේරුම්ගැනීමට හැකි වේ. ප්‍රතිඵලයක් වශයෙන් එයට එකඟව ක්‍රියා කිරීම සඳහා දී ඇති පැහැදිලි හේතු අපගේ මනසේ නොමැකෙන සේ සනිටුහන් කරගත හැකිය.
ඔබේ පෞද්ගලික පාඩම යම් පියවර ගැනීමට ඔබ තුළ පෙලඹීමක් ඇති කරාවිද? මෙය සැලකිල්ලට ගත යුතු අතිවැදගත් ප්‍රශ්නයකි. ඔබ යමක් ඉගෙනගන්නා විට ඔබ ඔබෙන්ම මෙසේ අසන්න. ‘මේ දේවල් මගේ ආකල්පවලට, ජීවිතයේ මට තිබෙන ඉලක්කවලට බලපෑ යුත්තේ කෙලෙසද? ගැටලුවක් නිරාකරණය කිරීමේදී, තීරණයක් ගැනීමේදී, එසේ නැතහොත් යම් ඉලක්කයක් කරා ළඟාවීමේදී මට මෙහි සඳහන් තොරතුරු අදාළ කරගත හැක්කේ කෙසේද? මගේ පවුලේ සාමාජිකයන් සමඟ කටයුතු කිරීමේදී, ක්ෂේත්‍ර සේවයේදී සහ සභාවේදී එය අදාළ කරගත හැක්කේ කෙසේද?’ මෙම ප්‍රශ්න යාච්ඤාපූර්වකව සැලකිල්ලට ගැනීම යහපති. ඒත් සමඟම, ඔබ ලබා ඇති දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ඔබගේ ජීවිතයේ සැබෑ තත්වයන් ගැනත් සිතා බලන්න.
මේ ආකාරයට පරිච්ඡේදයක් නැතහොත් ලිපියක් ගැන සිතා බැලීමෙන් පසු, කෙටි පුනරීක්ෂණයක් සඳහා කාලය වෙන් කරගන්න. ප්‍රධාන කරුණු සහ ඒවාට අනුබල දෙන තර්කයන් ඔබට මතක් වේදැයි බලන්න. මෙවැනි පියවරක් ගැනීම එම තොරතුරු ඔබේ සිතෙහි ධාරණය කරගැනීමට උපකාරවත් වේ. එවිට අවශ්‍ය වූ අවස්ථාවක එම කරුණු භාවිතයට ගත හැක.
අධ්‍යයනය කළ යුතු දෑ
යෙහෝවාගේ සෙනඟ හැටියට, අපට අධ්‍යයනය සඳහා දේවල් බොහොමයක් ඇත. කෙසේවෙතත්, අප ඇරඹිය යුත්තේ කොතැන සිටද? සෑම දිනකම දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම නමැති පොත් පිංචයෙන් දිනපදය සහ එහි අදහස් අධ්‍යයනය කිරීම යෙහෙකි. ඊළඟට, අපි සතිපතා සභා රැස්වීම්වලට යන්නෙමු. මෙම රැස්වීම්වලට සූදානම් වීම සඳහා යම් අධ්‍යයනයක නිරත වීමෙන් වැඩිමනත් ප්‍රයෝජන නෙළාගත හැකි වේ. මීට අමතරව, තමන් සත්‍යය ඉගෙනගැනීමට කලින් මුද්‍රණය කර තිබෙන අපගේ ක්‍රිස්තියානි පොත් පත් සමහරක් අධ්‍යයනය කිරීමට ඇතැම් අය තම කාලය ඥානවන්ත ලෙස මිඩංගු කර ඇත. තවත් සමහරු සතිපතා බයිබල් කියවීමෙන් කොටසක් තෝරාගෙන, එම පද ගැඹුරු අධ්‍යයනයකට ලක් කරති.
සතිපතා සභා රැස්වීම්වල සලකා බලනු ලබන තොරතුරු සියල්ලම පරෙස්සමින් අධ්‍යයනය කිරීමට අවකාශය නොලැබෙන තත්වයක ඔබ සිටිනවා නම්, කුමක් කිව හැකිද? කෙසේ හෝ සූදානම් කළා කියා කීමට ඒ තොරතුරු උඩින් පල්ලෙන් බැලීමේ උගුලට හසු වන්න එපා. එසේ නැතහොත් කාල වේලා නැති නිසා කොහොමටවත් අධ්‍යයනය නොකිරීමේ උගුලටද හසු වෙන්න එපා. ඒ වෙනුවට, ඔබට ඉඩ සැලසෙන හැටියට කොතරම් ප්‍රමාණයක් අධ්‍යයනය කළ හැකිදැයි තීරණය කොට, ඒ කොටස හොඳින් අධ්‍යයනය කරන්න. මෙය සතිපතාම කරන්න. කල් යත්ම, ඔබට අධ්‍යයනය කළ හැකි එම ප්‍රමාණයට වෙනත් රැස්වීම්වල කොටස්ද ඇතුළත් කරගැනීමට දැඩි ප්‍රයත්නයක් දරන්න.
“ඔබේ පවුලේ අයව ගොඩනංවන්න”
ගෘහ මූලිකයන් තම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව යෙහෝවා දනියි. “ඔබේ වැඩය පිටතදී සූදානම් කර, කෙතෙහි එය පිළියෙළ කරගන්න” කියා හිතෝපදේශ 24:27හි [NW] මුල් වගන්තිය පවසයි. එනමුත් ඔබේ පවුලේ ආත්මික අවශ්‍යතා නොසලකා හැරිය හැකි බව මින් අදහස් නොකෙරේ. මන්ද, “ඉන්පසුව ඔබේ පවුලේ අයව ගොඩනංවන්න” කියා එම පදයෙහි සඳහන්ව ඇති හෙයිනි. ගෘහ මූලිකයන් මෙම කාර්යයට අවතීර්ණ වන්නේ කෙසේද? “විචාර බුද්ධියෙන් [පවුලක්] ස්ථිර වේ” කියා හිතෝපදේශ 24:3හි [NW] පිළිතුරු සපයයි.
ඔබේ පවුලට විචාර බුද්ධිය ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද? විචාර බුද්ධිය යනු බැලූ බැල්මට පෙනෙන දේට ඔබ්බෙන් දැකගැනීමට තිබෙන මානසික හැකියාවයි. පවුලේ පාඩමක් පැවැත්වීමේ කාර්යය ඵලදායී වන්නේ ඔබ ඔබේ පවුලේ තත්වය හොඳට අධ්‍යයනය කළහොත් පමණි. එමනිසා, ඔබේ කාර්යය ඇරඹෙන්නේ මෙම අධ්‍යයනය සමඟිනි. විචාර බුද්ධිය විදහාපෙන්වමින් ඔබට යම් ප්‍රශ්න ඔබෙන්ම අසාගත හැක. ඔබේ පවුලේ සාමාජිකයන් ආත්මික ලෙස ලබන්නේ කෙබඳු ප්‍රගතියක්ද? ඒ ගැන දැනගැනීමට, ඔවුන් සමඟ කතා බහ කරද්දී හොඳින් සවන් දෙන්න. ඔවුන් තුළ කොඳුරන හෝ නුරුස්සන ස්වභාවයක් තිබෙනවාද? ඔවුන් වැදගත් කොට සලකන්නේ ද්‍රව්‍යමය දේවල් පසුපස හඹා යෑමද? ඔබේ දරුවන් සමඟ ක්ෂේත්‍ර සේවයෙහි නිරත වන විට, ඔවුන්ගේ පාසැල් මිතුරු මිතුරියන් ඉදිරියෙහි තමන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු කියා හඳුන්වා දීමට අදිමදි කරනවාද? පවුලක් වශයෙන් බයිබලය කියවන විට හෝ අධ්‍යයනය කරන විට, ඔවුන් එයට සහභාගි වන්නේ සතුටින්ද? ඔවුන් ඇත්තටම ඔවුන්ගේ ජීවිත මාර්ගය යෙහෝවාගේ මාර්ගයන්ට අනුව සකස් කරමින් සිටිනවාද? මේ සම්බන්ධයෙන් හොඳ නිරීක්ෂකයෙකු වන්න. එවිට, පවුලේ සෑම සාමාජිකයෙකු තුළම කවර ආත්මික ගුණාංග ඇති කළ යුතුද කියාත්, තවත් ගොඩනැඟිය යුත්තේ කුමන ඒවාද කියාත් ගෘහ මූලිකයෙකු ලෙස ඔබට පෙනී යාවි.
ඔබේ පවුලේ සුවිශේෂ අවශ්‍යතාවන්ට සරිලන ලිපි සෙවීමට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා පරීක්ෂා කර බලන්න. ඊළඟට අධ්‍යයනය කරන්නේ කවර විෂයක්ද කියා පවුලේ සාමාජිකයන්ට කල්තියාම කියන්න. එසේ කිරීමෙන් අදාළ තොරතුරු ගැන කල්පනා කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලැබේවි. පාඩම කරන අතරතුරේදී ප්‍රේමනීය වාතාවරණයක් පවත්වාගන්න. කිසිවෙකු හික්මවීමෙන් හෝ ලජ්ජාවට පත් කිරීමෙන් වැළකී සිටින්න. ඒ වෙනුවට සාකච්ඡා කරනු ලබන තොරතුරු කොතරම් වටිනවාද කියා කැපීපෙනෙන්නට සලස්වන්න. එමෙන්ම ඔබේ පවුලේ අවශ්‍යතාවන්ට සරිලන ආකාරයෙන් ඒ තොරතුරු අදාළ කරගත හැකි අන්දම පැහැදිලි කරන්න. සියලුදෙනාව සහභාගි කරවාගන්න. අපගේ ජීවිතයට මඟ පෙන්වීම සඳහා යෙහෝවාගේ වචනය “සම්පූර්ණ” බව දැකගැනීමට සැමදෙනාටම උපකාර කරන්න.—ගීතා. 19:7.
නිසි ඵල නෙළාගැනීම
ආත්මික දේවල් වටහාගැනීමට හැකියාවක් නොමැති අය හොඳ නිරීක්ෂණාත්මක ඇසකින් විශ්වය, ලොවේ සිදු වන දේවල් හා තමන්වම පවා සියුම් අධ්‍යයනයකට ලක් කරන්නට සමත්ව සිටියද, ඔවුන් දකින දෙයෙහි සැබෑ අරුත වටහාගැනීමට අපොහොසත් වෙති. අනික් අතට දෙවිගේ ආත්මයේ උපකාර ඇතුව දේවවචනය නිතිපතා අධ්‍යයනය කරන අය, මේ දේවල් අධ්‍යයනය කරද්දී, දෙවිගේ හස්ත කර්මාන්තය, බයිබල් අනාවැකි ඉටු වී ඇති ආකාරය හා කීකරු මිනිසුන්ට ආශීර්වාද කිරීම සඳහා දෙවිගේ අරමුණ දිග හැරෙන ආකාරය අවබෝධ කරගැනීමට සමත් වෙති.—මාක් 13:4-29; රෝම 1:20; එළි. 12:12.
මෙය සැබවින්ම ඉමහත් ආශීර්වාදයකි. එනමුත් අප එය අහංකාර වීමට හේතුවක් කර නොගත යුතුය. ඇත්තෙන්ම දිනපතා දේවවචනය පරිශීලනය කිරීම නිහතමානීව සිටීමට අපට උපකාරයක් වේ. (ද්වි. 17:18-20) දේවවචනය අපගේ හදවතෙහි ජීවමානව ක්‍රියාත්මක වන විට පාපය දෙසට ආකර්ෂණය වනවාට වඩා එයට විරුද්ධව සිටීමට අප සතු අදිටන ප්‍රබලව පවතී. ඔව්, දේවවචනය “පාපය සතු රැවටිලිකාර බලයෙන්” අපව ආරක්ෂා කරයි. (හෙබ්‍රෙ. 2:1; 3:13, NW; කොලො. 3:5-10) මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ‘සියලු යහපත් ක්‍රියාවලින් ඵල දරමින් යෙහෝවාට ඔබින ලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන්නට’ අපි සමත් වන්නෙමු. (කොලො. 1:10, 12) දේවවචනය අධ්‍යයනය කිරීමෙහි අපගේ පරමාර්ථය එයයි. එය ඉටු කරගැනීම අපට ලබාගත හැකි විශිෂ්ටතම විපාකයයි.