ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 පෙබරවාරි 8-13 පි.
  • අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාට අපි ගොඩක් ආදරෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාට අපි ගොඩක් ආදරෙයි
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන්ට ළං වෙලා ඉන්න
  • කීකරු වෙලා ඔයා ආදරෙයි කියලා පෙන්නන්න
  • අපේ තාත්තාට ආදරේ කරන්න අනිත් අයට උදව් කරන්න
  • අපේ තාත්තාට ආදරේ කරලා සතුට අද්දකින්න
  • අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා අපිට හුඟක් ආදරෙයි
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන්ගේ පවුලට තවත් ළං වෙමු
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම දිගටම තියාගන්න
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • දෙවියන්ගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 පෙබරවාරි 8-13 පි.

පාඩම් ලිපිය 7

අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාට අපි ගොඩක් ආදරෙයි

‘අප ප්‍රේම කරන්නේ දෙවි මුලින්ම අපට ප්‍රේම කළ නිසාය.’—1 යොහ. 4:19.

ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

මේ ලිපියෙන්a

1-2. ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙන්න දෙවියන් අපිට අවස්ථාව දීලා තියෙන්නේ කොහොමද? ඒ ඇයි?

යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන අය අතරට එන්න කියලා ඔහු අපිට ආරාධනා කරලා තියෙනවා. ඒක මොන තරම් වටින ආරාධනයක්ද! ඒ ආරාධනය පිළි අරන් තියෙන අය දෙවියන්ට තමන්ගේ ජීවිතේ කැප කරලා, ඔහුගේ පුතාගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියනවා. අපි සතුටින් ඉන්න පවුලක්. අපි ගත කරන්නේ අර්ථවත් ජීවිත. අපිට ස්වර්ගයේ හෝ මේ පොළොවේ සදහටම ජීවත් වෙන බලාපොරොත්තුවත් තියෙනවා.

2 අපිට ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙන්න අවස්ථාව දීලා තියෙන්නේ යෙහෝවා දෙවියන් අපිට ගොඩක් ආදරේ කරන නිසයි. ඒත් ඒ අවස්ථාව අපිට දෙන්න ඔහු ලොකු කැප කිරීමක් කළා. (යොහ. 3:16) ඔහු අපිව “මිල දී ගත්තේ ඉතා වටිනා යමක් දීමෙනි.” (1 කොරි. 6:20) යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අපිට පුළුවන්. මේ විශ්වයේ ඉන්න ශ්‍රේෂ්ඨතම තැනැත්තාණන්ට තාත්තා කියලා කතා කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි කලින් ලිපියේ බැලුවා වගේ අපිට ඉන්න පුළුවන් හොඳම තාත්තා යෙහෝවා දෙවියන්.

3. අපේ මනසට මොන වගේ ප්‍රශ්න එයිද? (“යෙහෝවා දෙවියන්ගේ අවධානයට මාව ලක් වෙනවාද?” කියන කොටුව බලන්න.)

3 බයිබල් ලේඛකයෙක්ට හැඟුණ මේ දේම අපිටත් හැඟෙන්න පුළුවන්. “යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ සියලු යහපත් දේවලට මම කෙසේ ඔහුට ස්තුති කරන්නද?” (ගීතා. 116:12) ඇත්තටම අපේ ආදරණීය තාත්තා අපි වෙනුවෙන් කරලා තියෙන දේවලට ඔහුට ස්තුති කරලා ඉවර කරන්න අපිට කවදාවත් බැහැ. ඒත් ඔහු අපිට පෙන්නලා තියෙන ආදරේ නිසා අපිත් පෙලඹෙනවා ඔහුට ආදරේ කරන්න. යොහන් මෙහෙම කිව්වා. ‘අප ප්‍රේම කරන්නේ දෙවි මුලින්ම අපට ප්‍රේම කළ නිසාය.’ (1 යොහ. 4:19) අපේ ආදරණීය තාත්තාට අපි ආදරෙයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවියන්ගේ අවධානයට මාව ලක් වෙනවාද?

පාරේ ඇවිඳගෙන යන මිනිසුන් අතරේ සිටින කාන්තාවක්. එයා අහස දිහා බලන්නේ හරියට ‘මාවත් දෙවියන්ගේ අවධානයට ලක් වෙනවාද’ කියලා හිතන විදිහටයි.

‘ලෝකේ පුරාම ඉන්න මිනිසුන් බිලියන ගාණක් අතරින් යෙහෝවා දෙවියන්ගේ අවධානයට මාව ලක් වෙයිද’ කියලා සමහරවිට ඔයාට හිතිලා ඇති. තව හුඟදෙනෙකුට එහෙම හිතිලා තියෙනවා. දාවිත් රජටත් එහෙම හිතුණා. එයා මෙහෙම ඇහුවා. “යෙහෝවා දෙවියනි, ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද? ඔබේ අවධානයට ලක් වීමට තරම් මිනිසුන් වටින්නේද?” (ගීතා. 144:3) යෙහෝවා දෙවියන් එයා ගැන හොඳින් දන්නවා කියලා දාවිත් දැනන් හිටියා. (1 ලේක. 17:16-18) දෙවියන් වෙනුවෙන් ඔයා පෙන්නන ආදරේ ඔහු දකිනවා කියලා ඔහුගේ වචනය සහ සංවිධානය මාර්ගයෙන් ඔහු ඔයාටත් සහතික වෙනවා. බයිබලේ සඳහන් මේ දේවල් බලන්න.

  • ඔයා ඉපදෙන්නත් කලින් යෙහෝවා දෙවියන්ගේ අවධානයට ඔයා ලක් වුණා.—ගීතා. 139:16.

  • ඔයා හිතන විදිහ, ඔයාට හැඟෙන විදිහ යෙහෝවා දෙවියන් දන්නවා.—1 ලේක. 28:9.

  • ඔයාගේ හැම යාච්ඤාවකටම යෙහෝවා දෙවියන් ඇහුම්කන් දෙනවා.—ගීතා. 65:2.

  • ඔයා කරන කියන දේවල් යෙහෝවා දෙවියන්ගේ සතුටට නැත්නම් දුකට හේතු වෙනවා.—හිතෝ. 27:11.

  • ඔයාව ඔහුගේ අවධානයට ලක් වුණ නිසයි ඔහු ගැන දැනගන්න ඔයා තුළ ආසාවක් ඔහු ඇති කළේ.—යොහ. 6:44.

  • යෙහෝවා දෙවියන් ඔයා ගැන කොච්චර හොඳින් දන්නවාද කියනවා නම් ඔයා මැරුණත් ඔයාට ආයෙත් ජීවිතේ දෙන්න ඔහුට පුළුවන්. ඔහු ඔයාට දෙන්නේ දැන් ඔයාට තියෙන ශරීරයට සමාන අලුත් ශරීරයක්. ඔයාගේ මතකයන්, ඔයාගේ පෞද්ගලිකත්වය ඇතුවයි ඔහු ඔයාට ආයෙත් ජීවිතේ දෙන්නේ.—යොහ. 11:21-26, 39-44; ක්‍රියා 24:15.

යෙහෝවා දෙවියන්ට ළං වෙලා ඉන්න

1. සහෝදරියක් යාච්ඤා කරනවා. එයා ඉස්සරහා දිග හැරපු බයිබලයක් තියෙනවා. 2. ඉස්කෝලේ යාළුවෙක් සිගරට් එකක් දෙද්දී ඒක ප්‍රතික්ෂේප කරන තරුණ සහෝදරයෙක්. 3. සහෝදරයෙක් කෝකියෙකුට පත්‍රිකාවක් පෙන්වමින්.

නිතරම යාච්ඤා කරලා යෙහෝවා දෙවියන්ට ළං වෙලා ඉද්දී, ඔහුට කීකරු වෙද්දී, ඔහුට ආදරේ කරන්න අනිත් අයට උදව් කරද්දී අපි පෙන්නන්නේ අපේ තාත්තාට අපි කොච්චර ආදරෙයිද කියලා (4-14 ඡේද බලන්න)

4. යාකොබ් 4:8 අනුව යෙහෝවා දෙවියන්ට ළං වෙන්න අපි වෑයමක් දරන්න ඕනෙ ඇයි?

4 යෙහෝවා දෙවියන්ට ඕනෙ අපි ඔහුගේ යාළුවන් වෙනවා දකින්න. අපි ඔහුත් එක්ක නිතරම කතාබහ කරනවාට ඔහු කැමතියි. (යාකොබ් 4:8 කියවන්න.) “නොකඩවාම යාච්ඤා කරන්න” කියලා ඔහු අපිට කියනවා. අපි යාච්ඤා කරන හැම වෙලාවකම ඔහු අපිට ඇහුම්කන් දෙනවා. (රෝම 12:12) අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න බැරි තරමට ඔහු කාර්යබහුල නැහැ. ඔහු වෙහෙසට පත් වෙන්නෙත් නැහැ. බයිබලය සහ අපේ ප්‍රකාශන අපි කියවද්දී අපි ඔහුට ඇහුම්කන් දෙනවා. රැස්වීම්වලට හොඳ අවධානයක් දෙන එකෙනුත් දෙවියන්ට ඇහුම්කන් දෙන්න අපිට පුළුවන්. දරුවෝ දෙමාපියන් එක්ක නිතරම කතාබහ කරද්දී දෙමාපියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න දරුවන්ට පුළුවන් වෙනවා වගේ අපි දෙවියන් එක්ක නිතරම කතාබහ කරද්දී ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න අපිට පුළුවන්.

සහෝදරියක් යාච්ඤා කරනවා. එයා ඉස්සරහා දිග හැරපු බයිබලයක් තියෙනවා.

5 ඡේදය බලන්න

5. අපේ යාච්ඤා තව අර්ථවත් කරගන්න පුළුවන් කොහොමද?

5 ඔයා යෙහෝවා දෙවියන්ට කරන යාච්ඤා මොන වගේද කියලා හිතන්න. ඔහු කැමතියි අපි අපේ හිතේ තියෙන හැම දෙයක්ම ඔහුට කියනවාට. (ගීතා. 62:8) අපි අපෙන්ම මේ ප්‍රශ්න අහලා බලමු. ‘මගේ යාච්ඤා හරියට එකම වචන ටික ආයේ ආයේ පිටපත් කරලා යවන පණිවිඩයක් වගේද? එහෙම නැත්නම් හිතේ තියෙන දේ වචනවලට පෙරළලා යවන ලියුම් වගේද?’ ඔයා දෙවියන්ට ගොඩක් ආදරෙයි කියලත් ඔයාට ඕනෙ දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න කියලත් කිසිම සැකයක් නැහැ. ඒකට ඔයා දිගටම ඔහුත් එක්ක කතාබහ කරන්න ඕනේ. ඔයාගේ හිතේ තියෙන, කාටවත් කියන්න බැහැ කියලා හිතෙන හැඟීම් දෙවියන්ට කියන්න. ඔයා සතුටු වෙන දේවල් ගැනත් ඔයාට දුකක් ගේන දේවල් ගැනත් ඔහුට කියන්න. උදව් අවශ්‍ය ඕනෙම වෙලාවක ඔයාට දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න පුළුවන් කියලා නිසැක වෙන්න.

6. අපේ ආදරණීය තාත්තාට ළං වෙලා ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

6 අපේ ආදරණීය තාත්තාට ළං වෙලා ඉන්න නම් ඔහු අපි වෙනුවෙන් කරන දේවල් ගැන අපිට ලොකු අගයක් තියෙන්න ඕනේ. අපිට හැඟෙන්නෙත් ගීතිකාකරුට හැඟුණ මේ විදිහටමයි. “යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය. ඔබ බොහෝ දේවල් අප වෙනුවෙන් සැලසුම් කළෙහිය. කිසිවෙකුව ඔබට සමාන කළ නොහැක. ඔබ කළ දේවල් ගැන මම කතා කිරීමට උත්සාහ කළෙමි. නමුත් ඒවා ගණන් කිරීමට බැරි තරම් බොහෝය.” (ගීතා. 40:5) ඒ අගය නිකම්ම අපේ හිතේ විතරක් තිබිලා මදි. ඒක අපි කියන, කරන දේවලින් පේන්න ඕනේ. එතකොට අද ඉන්න හුඟදෙනෙකුට වඩා අපි වෙනස් කියලා පේනවා. මොකද අපි ජීවත් වෙන්නේ දෙවියන් මිනිසුන් වෙනුවෙන් කරලා තියෙන දේවලට කිසි අගයක් පෙන්නන්නේ නැති මිනිසුන් අතරේ. ඒක “අවසාන කාලයට” ලකුණක්. (2 තිමෝ. 3:1, 2) ඒත් අපිට ඕනෙ දෙවියන්ට ස්තුතිවන්ත වෙන්නයි.

7. යෙහෝවා දෙවියන් කැමති අපි මොනවා කරනවා දකින්නද? ඒ ඇයි?

7 තමන්ගේ දරුවෝ හැම පොඩි දේටම රණ්ඩු කරනවා දකින්න දෙමාපියන් කැමති නැහැ. එයාලට ඕනෙ දරුවෝ යාළුවෝ වගේ ඉන්නවාට. යෙහෝවා දෙවියන්ට ඕනෙත් ඔහුගේ දරුවෝ යාළුවෝ වගේ ඉන්නවා දකින්නයි. අපි අතරේ තියෙන ආදරේ නිසා අපි සැබෑ ක්‍රිස්තියානීන් කියලා ඔප්පු වෙනවා. (යොහ. 13:35) ගීතිකාකරු කිව්ව මේ දේට අපිත් එකඟයි. “සහෝදරයන් එකමුතුව ජීවත් වීම කොතරම් යහපත්ද! කොතරම් ප්‍රසන්නද!” (ගීතා. 133:1) සහෝදර සහෝදරියන්ට ආදරෙන් සලකද්දී අපි පෙන්නන්නේ අපි යෙහෝවා දෙවියන්ට ආදරෙයි කියලා. (1 යොහ. 4:20) “එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන” අය ඉන්න පවුලක සාමාජිකයන් වෙන්න ලැබුණ එක මොන තරම් දෙයක්ද!—එෆී. 4:32.

කීකරු වෙලා ඔයා ආදරෙයි කියලා පෙන්නන්න

ඉස්කෝලේ යාළුවෙක් සිගරට් එකක් දෙද්දී ඒක ප්‍රතික්ෂේප කරන තරුණ සහෝදරයෙක්.

8 ඡේදය බලන්න

8. 1 යොහන් 5:3 අනුව අපි යෙහෝවා දෙවියන්ට කීකරු වෙන ප්‍රධානම හේතුව මොකක්ද?

8 දෙමාපියන්ට කීකරු වෙන එක යෙහෝවා දෙවියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අපි ඔහුට කීකරු වෙයි කියලත් ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා. (එෆී. 6:1) ඔහු අපේ නිර්මාතෘ. අපිට ජීවිතේ පවත්වගෙන යන්න ඕනෙ කරන දේවල් දෙන්නේ ඔහුයි. ඒ වගේම ඕනෙම දෙමාපියෙක්ට වඩා ඔහු ප්‍රඥාවන්තයි. ඒ නිසා අපේ කීකරුකම ලබන්න ඔහු වටිනවා. ඒත් අපි ඔහුට කීකරු වෙන ප්‍රධානම හේතුව අපි ඔහුට ආදරේ නිසයි. (1 යොහන් 5:3 කියවන්න.) දෙවියන්ට කීකරු වෙන්න ගොඩක් හේතු තිබුණත් කීකරු වෙන්න කියලා දෙවියන් අපිට බල කරන්නේ නැහැ. ඔහු අපිට තීරණ ගැනීමේ නිදහස දීලා තියෙනවා. ඔහුට තියෙන ආදරේ නිසා අපි ඔහුට කීකරු වෙද්දී ඔහු ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.

9-10. යෙහෝවා දෙවියන්ගේ ප්‍රතිපත්ති දැනගෙන ඒවාට අනුව ජීවත් වෙන්න ඕනෙ ඇයි?

9 දෙමාපියන්ට ඕනෙ තමන්ගේ දරුවන් සුරක්ෂිතව ඉන්නවා දකින්නයි. ඒ නිසයි එයාලා දරුවන්ට නීති දාන්නේ. දරුවෝ දෙමාපියන් දාන නීතිවලට කීකරු වෙද්දී එයාලා පෙන්නන්නේ දෙමාපියන් ගැන එයාලට විශ්වාසයි කියලා. ඒ වගේම එයාලා දෙමාපියන්ට ගරු කරනවා කියලා. එහෙමනම් අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන් දීලා තියෙන නීති, ප්‍රතිපත්ති ගැන දැනුවත් වෙලා ඒවාට කීකරු වෙන එක ඊට වඩා කොච්චර වැදගත්ද! අපි එහෙම කරද්දී අපි පෙන්නන්නේ යෙහෝවා දෙවියන්ට අපි ආදරෙයි, අපි ඔහුට ගෞරව කරනවා කියලයි. ඒකෙන් අපිට ප්‍රයෝජනත් ලැබෙනවා. (යෙසා. 48:17, 18) ඊට වෙනස්ව යෙහෝවා දෙවියන්ව සහ ඔහුගේ ප්‍රමිති පිළිගන්න අකමැති අයට වෙන්නේ වේදනාකාරී දේවල් අද්දකින්නයි.—ගලා. 6:7, 8.

10 යෙහෝවා දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙද්දී අපේ ශරීරයට, මනසට හානියක් වෙන්න පුළුවන් දේවලින් අපි ආරක්ෂා වෙනවා. ඔහු එක්ක අපිට තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන් දේවලිනුත් අපි ආරක්ෂා වෙනවා. අපිට හොඳම දේ මොකක්ද කියලා දෙවියන් දන්නවා. එක්සත් ජනපදයේ ජීවත් වෙන ඔරෝරා මෙහෙම කියනවා. “අපි යෙහෝවා දෙවියන්ට කීකරු වෙන එකෙන් අපිට ලැබෙන්නේ හොඳම ප්‍රතිඵල කියලා මං දන්නවා.” ඒක අපි හැමෝටම අදාළයි. දෙවියන් ආදරෙන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වුණ නිසා ඔයා ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද?

11. යාච්ඤා කරන එක අපිට උදව් වෙන්නේ කොහොමද?

11 කීකරු වෙන්න අමාරු අවස්ථාවලදී අපි දෙවියන්ට යාච්ඤා කරනවා නම් කීකරු වෙන්න ඒක අපිට උදව්වක්. අපිට පාපය උරුම වෙලා තියෙන නිසා සමහර අවස්ථාවලදී යෙහෝවා දෙවියන්ට කීකරු වෙන එක අමාරු වෙන්න පුළුවන්. ඒත් අපි ඒ හැඟීම්වලට විරුද්ධව සටන් කරන්න ඕනේ. ගීතිකාකරු දෙවියන්ගෙන් මෙහෙම ඉල්ලුවා. “දිගටම ඔබේ කැමැත්ත කිරීමට මා තුළ ආශාවක් ඇති කරගැනීමට මට උපකාර කරන්න.” (ගීතා. 51:12) ස්ථාවර පුරෝගාමි සේවය කරන සහෝදරි ඩෙනිස් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන්ගේ ආඥාවකට කීකරු වෙන්න අමාරුයි කියලා හැඟෙද්දී හරි දේ කරන්න මට ශක්තිය දෙන්න කියලා මං දෙවියන්ට යාච්ඤා කරනවා.” ඒ වගේ ඉල්ලීම් දෙවියන් ඉටු කරනවා කියලා අපිට නිසැකයි.—ලූක් 11:9-13.

අපේ තාත්තාට ආදරේ කරන්න අනිත් අයට උදව් කරන්න

12. එෆීස 5:1 අනුව අපි කරන්න ඕනෙ මොකක්ද?

12 එෆීස 5:1 කියවන්න. දෙවියන්ගේ “ප්‍රේමණීය දරුවන්” විදිහට අපිට ඕනෙ පුළුවන් උපරිමයෙන් ඔහුව ආදර්ශයට ගන්නයි. අපි අනිත් අයට ආදරෙන්, කරුණාවෙන් සලකද්දී, එයාලට සමාව දෙද්දී අපි ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවියන්වයි. ඒ වගේ ලස්සන ගුණාංග අපි පෙන්නද්දී දෙවියන්ව දන්නේ නැති අයට දෙවියන් ගැන ඉගෙනගන්න ආසාවක් ඇති වෙයි. (1 පේතෘ. 2:12) යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන දෙමාපියන් තමන්ගේ දරුවන්ට සලකන්න ඕනෙ දෙවියන් ඔහුගේ දරුවන් වන අපිට සලකන විදිහටයි. එතකොට අපේ ආදරණීය තාත්තාගේ යාළුවන් වෙන්න දරුවන් තුළත් ආසාවක් ඇති වෙයි.

සහෝදරයෙක් කෝකියෙකුට පත්‍රිකාවක් පෙන්වමින්.

13 ඡේදය බලන්න

13. නිර්භීතව වැඩ කරන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද?

13 සාමාන්‍යයෙන් පොඩි දරුවෙක් එයාගේ තාත්තා ගැන ආඩම්බර වෙනවා. ඒ නිසා එයා තාත්තා ගැන කතා කරන්නේ හරිම සතුටින්. යෙහෝවා දෙවියන් වගේ ආදරණීය තාත්තා කෙනෙක් ඉන්න එක ගැන අපිට දැනෙන්නෙත් ලොකු ආඩම්බරයක්. අනිත් අයත් ඔහුව දැන හඳුන ගන්නවා දකින්න අපි කැමතියි. “මම යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කරමි” කියලා දාවිත් කිව්වා. (ගීතා. 34:2) ඒත් ඔහු ගැන කතා කරන්න පොඩි බයක් දැනෙනවා නම් මොනවාද කරන්න පුළුවන්? අපි අනිත් අයට ඔහු ගැන කියද්දී ඔහු කොයි තරම් සතුටු වෙයිද වගේම ඒකෙන් අනිත් අයට කොයි තරම් ප්‍රයෝජන ලැබෙයිද කියන දේවල් ගැන අපි හිතනවා නම් නිර්භීතව දෙවියන් ගැන කතා කරන්න අපිට පුළුවන්. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට නිර්භීතව වැඩ කරන්න ඔහු උදව් කළා වගේ ඔහු අපිටත් උදව් කරනවා.—1 තෙස. 2:2.

14. අපි අනිත් අයට යෙහෝවා දෙවියන් ගැන කියන්න ඕනෙ මොන වැදගත් හේතු නිසාද?

14 යෙහෝවා දෙවියන් හැමෝටම එක හා සමානව සලකන දෙවි කෙනෙක්. අපිත් අනිත් අයගේ පසුබිම මොකක් වුණත් එයාලට ආදරෙන් සලකනවා නම් යෙහෝවා දෙවියන් අපි ගැන සතුටු වෙනවා. (ක්‍රියා 10:34, 35) අනිත් අයට අපේ ආදරේ පෙන්නන්න පුළුවන් හොඳම විදිහ තමයි ශුභාරංචිය ගැන එයාලට කියන එක. (මතෙ. 28:19, 20) අපේ පණිවිඩය පිළිගන්න අයගේ ජීවිත දැන් යහපත් අතට හැරෙනවා වගේම අනාගතයේදී සදහටම ජීවත් වෙන බලාපොරොත්තුව එයාලට ලැබෙනවා.—1 තිමෝ. 4:16.

අපේ තාත්තාට ආදරේ කරලා සතුට අද්දකින්න

15-16. අපිට සතුටු වෙන්න පුළුවන් මොන හේතු නිසාද?

15 යෙහෝවා දෙවියන් ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුට ඕනෙ ඔහුගේ පවුලේ අය සතුටින් ඉන්නවා දකින්න. (යෙසා. 65:14) දැන් අපිට දුෂ්කරතා අද්දකින්න වුණත් අපිට සතුටින් ඉන්න ඕනෙ තරම් හේතු තියෙනවා. උදාහරණෙකට ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා අපිට ගොඩක් ආදරෙයි කියලා අපිට ස්ථිරයි. බයිබලේ ගැන නිවැරදි දැනුමක් අපිට තියෙනවා. (යෙරෙ. 15:16) අපි දෙවියන්ට ආදරේ කරන, ඔහුගේ උසස් ප්‍රමිතිවලට ඇලුම් කරන, එකිනෙකාට ආදරේ කරන අයගෙන් සෑදුණු විශේෂ පවුලක සාමාජිකයන්.—ගීතා. 106:4, 5.

16 අනාගතේදී අපේ ජීවිත මීට වඩා හොඳ අතට හැරෙනවා කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. යෙහෝවා දෙවියන් ළඟදීම හැම නපුරු දෙයක්ම ඉවත් කරනවා කියලත් දේවරාජ්‍යය මාර්ගයෙන් පොළොව පාරාදීසයක් කරනවා කියලත් අපි දන්නවා. මිය ගිය අයට ආයෙත් ජීවිතේ ලැබෙනවා කියන ලස්සන බලාපොරොත්තුවත් අපිට තියෙනවා. (යොහ. 5:28, 29) ඒ හැම දේටම වඩා අපි වැඩියෙන්ම සතුටු වෙන්නේ ළඟදීම ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න හැම කෙනෙක්ම අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන්ට ප්‍රශංසාවත් නමස්කාරයත් ගෞරවයත් ලබා දෙන්න යනවා කියලා අපි දන්න නිසයි.

ඔයා හිතන විදිහට ඇයි අපි . . .

  • නිතරම දෙවියන්ට යාච්ඤා කරන්න ඕනේ?

  • යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න ඕනේ?

  • අපේ ආදරණීය තාත්තා ගැන අනිත් අයට කියන්න ඕනේ?

ගීතිකාව 12 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි

a අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන් අපිට ගොඩක් ආදරෙයි කියලත් ඔහුට නමස්කාර කරන අය අතරට ඔහු අපිව පිළි අරන් තියෙනවා කියලත් අපි දන්නවා. ඒ නිසා අපිටත් ඕනෙ ඔහුට ආදරේ කරන්න. අපි අපේ ආදරණීය තාත්තාට ආදරෙයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? අපිට කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන මේ ලිපියේ කතා කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න