ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • කාව විශ්වාස කරන්නද?
    2006 පිබිදෙව්! | සැප්තැම්බර්
    • කාව විශ්වාස කරන්නද?

      “සෑම ගෘහයක්ම යමෙකු විසින් ඉදි කරනු ලබන බව සැබෑය. නමුත් සියල්ල ඉදි කළ තැනැත්තා දෙවිය.”—හෙබ්‍රෙව් 3:4.

      මෙම වදන් තර්කානුකූලද? ඊට එකඟ විය හැකිද? මෙම වදන් ලියනු ලැබුවේ බයිබල් ලේඛකයෙකු විසින් මීට වසර 2,000කට කලිනුයි. එදා මෙදා තුර කාලය පුරා විද්‍යාව මහත් දියුණුවක් ලබා තිබියදීත් සොබාදහමේ නිර්මාණයන් දෙස බලා නිර්මාතෘවරයෙක් එනම් මැවුම්කාර දෙවි කෙනෙක් සිටිනවා කියා විශ්වාස කරන අය තවමත් සිටිනවාද?

      ඔව්, කාර්මික රටවල සිටින බොහෝදෙනෙක් පවා එසේ විශ්වාස කරනවා. උදාහරණයකට එක්සත් ජනපදයේ නිව්ස්වීක් සඟරාවේ ලේඛකයන් 2005දී සිදු කළ සමීක්ෂණයකින් සොයාගත්තේ සියයට 80ක ජනතාවක් “දෙවි විසින් විශ්වය මැව්වා කියා විශ්වාස කරන” බවයි. මෙවැනි විශ්වාසයක් තිබෙන්නේ නූගත්කම නිසාද? විද්‍යාඥයන් දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාසයක් තබයිද? සමීක්ෂණයකට භාජන කළ ජීව විද්‍යාඥයන්, භෞතික විද්‍යාඥයන් හා ගණිතඥයන්ගෙන් සියයට 40ක්ම දෙවි කෙනෙකුව විශ්වාස කරනවා පමණක් නොව ඔහු යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙන බවද විශ්වාස කරනවා කියා නේචර් නම් විද්‍යා සඟරාවේ 1997දී වාර්තා වුණා.

      කෙසේනමුත් වෙනත් විද්‍යාඥයන් ඊට තදින්ම විරුද්ධ වුණා. උදාහරණයකට නොබෙල් ත්‍යාග ලාභී වෛද්‍ය හර්බර්ට් ඒ. හොප්ට්මන් මෑතකදී විද්‍යාව පිළිබඳ සම්මේලනයකදී පැවසුවේ මනුෂ්‍යත්වය ඉක්ම වූ කෙනෙකු විශේෂයෙන්ම දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාස කිරීම විද්‍යාව හා එකඟ නොවන බවයි. “මෙවැනි විශ්වාසයක් තිබීම මිනිස් ජාතියේ ශුභසිද්ධියට විශාල හානියක්” කියා ඔහු පැවසුවා. එමෙන්ම සමහර විද්‍යාඥයන් දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාස කළත්, ශාක හා සත්වයන් නිර්මාණය වී තිබෙන ආකාරයෙන් නිර්මාතෘ කෙනෙකු සිටින බව විශ්වාස කරන්න සිදු වෙනවා යන කාරණය ඉගැන්වීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ස්මිත්සෝනියන් ආයතනයේ ෆොසිල පිළිබඳ විද්‍යාඥයෙකු වූ ඩග්ලස් එච්. අර්වින් ඊට එක් හේතුවක් දක්වමින් මෙසේ පැවසුවා. “විද්‍යාවට අනුව නම් ප්‍රාතිහාර්යයන් විශ්වාස කරන්න බැහැ.”

      ඔබට වුවමනා නම්, අනිත් අයට ඕන විදිහට සිතන්නත්, විශ්වාස කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තිබෙන සාක්ෂි ගැන ඔබම සෝදිසි කර බලා යම් නිගමනයකට එළඹෙන්නත් පුළුවන්. මෑතකදී සොයාගත් විද්‍යාත්මක සොයාගැනීම් ගැන සඳහන් අනෙක් ලිපිද කියවන විට ඔබ මේ ගැනත් සිතන්න. ‘නිර්මාතෘවරයෙක් හෙවත් මැවුම්කරුවෙක් සිටින බව නිගමනය කිරීම තර්කානුකූලද?’

      [3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

      සාක්ෂි ගැන ඔබම සෝදිසි කරන්න

      [3වන පිටුවේ කොටුව]

      යෙහෝවාගේ සාක්ෂිකරුවන් මැවුම්වාදීන්ද?

      යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලයේ උත්පත්ති පොතේ ඇති මැවීම පිළිබඳ වාර්තාව විශ්වාස කරනවා. කෙසේවෙතත් ඔවුන්ව මැවුම්වාදීන් කියා හැඳින්විය නොහැකියි. මන්ද සාමාන්‍යයෙන් මැවුම්වාදීන් විශ්වාස කරන්නේ විශ්වයත්, පෘථිවියත්, එහි ඇති සියල්ලත් මීට වසර 10,000කට පමණ පෙර පැය 24කින් යුත් දවස් හයකින් මැවූ බවයි. නමුත් බයිබලයේ උගන්වන්නේ එවැනි දෙයක් නොවෙයි.a එමෙන්ම මැවුම්වාදීන් බයිබලයේ නැති ඉගැන්වීම් බොහොමයක් විශ්වාස කරනවා. නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම විශ්වාසය ගොඩ නඟාගෙන තිබෙන්නේ දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට එකඟවයි.

      සමහර රටවල දේශපාලනයෙහි ප්‍රබල ලෙස හවුල් වී සිටින මූලධර්මවාදී කණ්ඩායම්ද, “මැවුම්වාදීන්” ලෙසත් හඳුන්වනවා. එම කණ්ඩායම්වල වෑයම වන්නේ මැවුම්වාදීන්ගේ ආගමික විශ්වාසයන්ට අනුව නීති රීති පැනවීමට හා ඉගැන්වීම් කිරීමට දේශපාලනඥයන්ට, විනිශ්චයකරුවන්ට හා ගුරුවරුන්ට බලපෑම් කිරීමයි.

      එහෙත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශපාලනයට හවුල් වන්නේ නැහැ. ඔවුන් රජයේ නීති රීතිවලට ගරු කරනවා. (රෝම 13:1-7) නමුත් “ලෝකයේ කොටසක් නොවෙති” කියා යේසුස් පැවසූ දෙයෙහි අර්ථය ඔවුන් බැරෑරුම්ව සලකනවා. (යොහන් 17:14-16) ප්‍රසිද්ධ දේවසේවයේ යෙදෙද්දී ඔවුන් ජනයාට අවස්ථාව සලසා දෙන්නේ දෙවිගේ ප්‍රමිති අනුව ජීවත් වීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන ඉගෙනගන්නයි. ඔවුන් පැති නොගෙන මධ්‍යස්ථව සිටිනවා. අන්‍යයන්ට බයිබල් ප්‍රමිති අදාළ කරගැනීමට බල කරන නීති පනවාගෙන සිටින මූලධර්මවාදී කණ්ඩායම්වලට ඔවුන් සහයෝගය දෙන්නේ නැහැ.—යොහන් 18:36.

      [පාදසටහන]

      a මෙම කලාපයේ 18වන පිටුවේ “බයිබලයෙන් පිළිතුරක්: විද්‍යාව උත්පත්ති පොතේ වාර්තාවට පටහැනිද?” යන ලිපිය බලන්න.

  • සොබාදහමෙන් ගත හැකි පාඩම්
    2006 පිබිදෙව්! | සැප්තැම්බර්
    • සොබාදහමෙන් ගත හැකි පාඩම්

      “මෘගයන්ගෙන් අසන්න; උන් ඔබට උගන්වන්නෝය; අහසේ පක්ෂීන්ගෙන් අසන්න; උන් ඔබට කියන්නෝය; නොහොත් පොළොවට කතා කරන්න; ඒක ඔබට උගන්වන්නීය; මුහුදේ මත්ස්‍යයෝ ඔබට ප්‍රකාශ කරන්නෝය.”—යෝබ් 12:7, 8.

      මෑත ඉතිහාසයේදී විද්‍යාඥයන් හා ඉන්ජිනේරුවන් ගස් කොළන්වලින් හා සතුන්ගෙන් බොහෝ දේ ඉගෙනගෙන තිබෙනවා. අලුත් දේවල් නිපදවීමටත්, තිබෙන යන්ත්‍රසූත්‍ර තව දියුණු කිරීමටත් ඔවුන් ජීව අනුකාරී විද්‍යා ක්ෂේත්‍රයේ නොයෙක් ජීවීන් ගැන අධ්‍යයනයක යෙදෙමින්ද ඒවා අනුකරණය කරමින්ද සිටිනවා. මතු දැක්වෙන උදාහරණ සලකා බලද්දී මේ ප්‍රශ්නය ගැනත් මදක් කල්පනා කර බලන්න. ‘මෙම නිර්මාණයන් සඳහා පැසසුම් ලැබිය යුත්තේ කවුද?’

      තල්මසාගේ වරල්වලින් පාඩමක්

      ගුවන් යානා නිපදවන්නන්ට මොල්ලි තල්මසාගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? බොහෝ දේ ඉගෙනගත හැකියි. දිගු කලක් ජීවත් වූ මොල්ලි තල්මසෙකුගේ බර බඩු පිරෙවූ ට්‍රක් රථයක බරට සමානයි. එය ටොන් 30ක් පමණ වෙනවා. උගේ ශරීරය පහසුවෙන් නැමෙන්නේ නැති අතර උගේ වරල් විශාල අත්තටු වගෙයි. මීටර් 12ක් දිග තල්මසා දක්ෂ පිහිනුම්කරුවෙක්. උදාහරණයකට කූනිස්සන් වැනි ජීවීන්ව ආහාරයට ගැනීමේ අටියෙන් ඌ ඉහළට පීනන්නේ දඟරයක ආකාරයටයි. ඒ අතරම හුස්මත් පිට කරන නිසා එයින් ජල බුබුළු රැසක් ඇති වෙනවා. මෙම බුබුළු මීටර් 1.5ක විශ්කම්භය ඇති වළල්ලක හැඩයෙන් පිහිටා තිබෙන්නේ හරියට කූනිස්සන්ව දැලකින් වට කරලා වගෙයි. බේරී යා නොහැකි එම ජීවීන්ව ඌ නිදහසේ ගිල දමනවා.

      පර්යේෂකයන්ව විශේෂයෙන්ම පුදුමයට පත් කළේ නොනැමෙනසුලු ශරීරය පුංචි රවුමක හැඩයකට හරවා පීනන ආකාරයයි. ඒකට රහස තල්මසාගේ වරල්වල හැඩය බව ඔවුන් සොයාගත්තා. උගේ වරල් අග ගුවන් යානයක තටු මෙන් සුමුදු නැහැ. එහි එක පේළියට තැනින් තැන ගැටිති තිබෙනවා.

      තල්මසා ඉහළට පීනද්දී මෙම ගැටිති නිසා ඉහළට යෑමේ බලය වැඩි වී පස්සට ඇදීමේ බලය අඩු වෙනවා. මෙම ගැටිති නිසා වරල්වලට ජලය කපාගෙන යෑමේ හැකියාව තිබෙන අතර වරල් උඩින් පහසුවෙන් ජලය ගලා යන බැවින් එක තැන ජලය කැලතෙන්නේ නැහැ. බාධාවක් නැතුව වැඩි වේගයකින් උඩු අතට පිහිනා යා හැක්කේ එමනිසයි. මෙම ගැටිති නොතිබුණා නම් වක්‍රාකාරව පිහිනන විට ජලය එක තැන කැලතෙන නිසා ඒක ඌට විශාල බාධකයක් වෙයි කියා නැචුරල් හිස්ට්‍රි සඟරාව පැහැදිලි කරනවා.

      මෙයින් ලබාගත හැකි ප්‍රයෝජනය කුමක්ද? මෙය අනුකරණය කරමින් ගුවන් යානාවල තටු නිර්මාණය කළොත් ආයාසයකින් තොරව ඉහළ නැඟීමටත්, පියාසර කිරීමටත්, නඩත්තු කිරීමටත් පහසු වෙයි. ජෛව යන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණ ජෝන් ලෝං පවසන්නේ නොබෝ කලකින් “සෑම ජෙට් යානාවකම තටුවල මොල්ලි තල්මසාගේ වරලේ තිබෙන ගැටිති දැකගත හැකි වෙයි” කියලයි.

      මුහුදු ලිහිණියාගේ අත්තටුවල අනුකරණයක්

      ගුවන් යානාවල තටු සාදා තිබෙන්නේ කුරුල්ලන්ගේ අත්තටුවල හැඩයෙන්. නමුත් මෑතකදී ඉන්ජිනේරුවන් තවත් පියවරක් ඉදිරියට තබා තිබෙනවා. “ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් දුරස්ථ පාලකයක් සහිත ගුවන් යානයක් නිර්මාණය කර තිබෙනවා. එමනිසා මුහුදු ලිහිණියෙකු මෙන් ගුවනේ පාවීමටත්, වේගයෙන් ඉහළට යෑමට හා පහළට ඒමටත් එයට හැකියි.” මෙය වාර්තා කර තිබුණේ නිව් සයන්ටිස්ට් සඟරාවේයි.

      මුහුදු ලිහිණීන් තම අත්තටු අකුළමින් හා විහිදමින් විශිෂ්ට ලෙස පියාසර කරනවා. ඇකිළීමට හා විහදීමට හැකි මෙම අත්තටු අනුකරණය කරමින් “අඩි දෙකකින් යුත් මෙම ගුවන් යානයේ තටු ඇකිළීමට හා දිග හැරීමට හැකි වන්නේ එහි සවි කර තිබෙන කුඩා මෝටරය හා යකඩ කූරූ මගින්” බව එම සඟරාවේ පවසනවා. නවීන පන්නයේ තටු නිර්මාණය කර තිබෙන නිසා මේ කුඩා අහස් යානයට උස් ගොඩනැඟිලි දෙකක් අතර පාවීමට හා කරණම් ගැසීමට හැකියි. ඒ වගේම එක්සත් ජනපදයේ ගුවන් හමුදාව උනන්දුවෙන් සිටින්නේ නගරයක් තුළ තිබෙන රසායනික හෝ ජීව විද්‍යාත්මක යුධ අවි සොයාගැනීමට පහසුවෙන් හැසිරවිය හැකි එවැනි ගුවන් යානයක් සෑදීමටයි.

      හූණාගේ පාදයේ යටි පැත්තේ පිටපතක්

      නිතර දෙවේලේ දකින සතුන්ගෙන්ද බොහෝ දේ ඉගෙනගත හැකියි. හූණාට හැකියාවක් තිබෙනවා බිත්ති දිගේ නඟින්නත්, සීලිමේ යටිකුරුව එල්ලිලා ඉන්නත්. උගේ මේ පුදුමාකාර හැකියාව ගැන බයිබල් කාලවලදී පවා සඳහන් කර තිබුණා. (හිතෝපදේශ 30:28) හූණාට මෙවැනි හැකියාවක් තිබන්නේ කොහොමද?

      වීදුරු මතුපිට පවා රැඳී සිටීමට හූණාට හැකියාව තිබෙන්නේ උගේ පාදයේ යටි පැත්ත කෙටි කෙඳි සහිත ආවරණයකින් වැසී තිබෙන නිසයි. උගේ පාදයෙන් මැලියම් වෑස්සෙන්නේ නැහැ. නමුත් පාදයේ යටි පැත්තේ සෛලවල සුළු අණුක ශක්තියක් තිබෙනවා. එම අණුක ශක්තිය හා වීදුරු පෘෂ්ඨයේ අණුක ශක්තිය නිසා එකිනෙකට සම්බන්ධ වන ස්වභාවයක් තිබෙනවා. නමුත් මිනිසෙකුට තම දෑත් උපයෝගී කරගනිමින් බිත්තියක් දිගේ නැඟිය නොහැකි වන්නේ ගුරුත්වාකර්ෂණ ශක්තිය වැඩි නිසයි. එපමණක් නොව හූණාගේ පාදවල තිබෙන කෙටි කෙඳි දහස් ගණනත් එවැනි මතු පිටක ගමන් කිරීමට ඌට උපකාරයක් වෙනවා.

      මෙම සොයාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? සොබාදහමේ දායාදයක් නිසා වෙල්ක්‍රෝ නම් ඇලෙනසුලු පටි නිපදවා තිබෙනවා.a දැනටමත් ඒවා භාවිතයට ගැනෙනවා. නමුත් හූනාගේ පාදයේ යටි පැත්ත අනුකරණය කරමින් “ඇලෙනසුලු කෘත්‍රිම රෙදි පටි සෑදිය හැකි නම්, ඇලෙනසුලු රසායනික ද්‍රව්‍යයක් යොදාගන්න බැරි වෛද්‍යමය කටයුතුවලදී” ඒවා හුඟක් ප්‍රයෝජනවත් විය හැකියි කියා දි ඉකොනොමිස්ට් සඟරාවට එක් පර්යේෂකයෙක් පැවසුවා.

      ප්‍රශංසාව හිමි විය යුත්තේ කාටද?

      ජාතික ගුවන් ගමන් හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය ගෝනුස්සෙක් මෙන් ඇවිදින පාද කීපයක් ඇති රොබෝ යන්ත්‍රයක් සාදමිනුයි සිටින්නේ. එමෙන්ම ෆින්ලන්තයේ ඉන්ජිනේරුවන් යෝධ කෘමියෙකු නඟින්නාක් මෙන් නැඟිය හැකි පාද හයකින් යුත් ට්‍රැක්ටරයක් නිපදවා තිබෙනවා. තවත් පර්යේෂක කණ්ඩායමක් විශේෂ රෙදි වර්ගයක් නිර්මාණය කර තිබෙන්නේ දිගහැරෙන හා ඇකිළෙන පයින් ගෙඩිය අනුකරණය කරමිනුයි. ඒ වගේම වාහන නිෂ්පාදන සමාගමක්ද පේත්තයා මාළුවාව අනුකරණය කරමින් වාහනයක් නිපදවමින් සිටිනවා. තවත් පර්යේෂක කණ්ඩායමක් බෙල්ලන්ගේ කට්ටේ තිබෙන කම්පනයට ඔරොත්තු දීමේ හැකියාව ගැන ගවේෂණය කරමින් සිටින්නේ වඩාත් සැහැල්ලු මෙන්ම ශක්තිමත් උඩු කය ආවරණයක් සෑදීමේ අදහසින්.

      විවිධ ජීව විද්‍යාත්මක පද්ධති දහස් ගණනක් අන්තර්ගතව ඇති සොබාදහමෙන් අගනා දත්ත රැසක් සොයාගැනීමට පර්යේෂකයන්ට හැකි වී තිබෙනවා. “තමන් නිර්මාණය කරන දේවල ප්‍රශ්නයක් ඇති වුණොත් සොබාදහමේ තිබෙන දේවලින් විසඳුමක් සොයාගන්න” විද්‍යාඥයන්ට එම දත්ත උපකාර විය හැකියි කියා දි ඉකොනොමිස්ට් සඟරාව පවසනවා. මෙම දත්ත අන්තර්ගත ස්වාභාවික ජීව පද්ධතිවල අයිතිය නැතහොත් ‘පේටන්ට් බලපත්‍රය’ තිබෙන්නේ ඒ ඒ ජීවීන්ට කියා පවසා තිබෙනවා. පේටන්ට් බලපත්‍රයක් සතු කෙනෙක් හෝ සමාගමක් අලුත් සොයාගැනීමක් හෝ අලුත් යන්ත්‍රයක් සඳහා රජයේ ලියාපදිංචි කර තනි අයිතිය ලබාගෙන සිටිනවා. මේ ගැන දි ඉකොනොමිස්ට් සඟරාවේ සඳහන් වන්නේ මෙවැන්නක්. “සොබාදහමේ අසිරිමත් නිර්මාණයන් වන ඒ ඒ ජීවීන්ට තනි අයිතිය තිබෙනවා කීමෙන් පර්යේෂකයන් ඉඟියෙන් අවධාරණය කරන්නේ සොබාදහම ඒ ජීවීන්ගේ හිමිකරු බවයි.”

      සොබාදහම තුළ තිබෙන මෙවැනි අරුමයන් ඇතිවීමට හේතු වුණ නිපුණ අදහස් ආවේ කොහෙන්ද? බොහෝ පර්යේෂකයන්ගේ අදහස වී තිබෙන්නේ සොබාදහමේ බුද්ධිමත් නිර්මාණයන් ලෙස පෙනෙන සියල්ල වසර මිලියන ගණනක් පුරා ප්‍රබල පරිණාමික වෙනස්කම්වලට ලක් වී කෙසේ හෝ අහම්බෙන් බිහි වූ බවයි. එහෙත් තවත් පර්යේෂකයන් විවිධ නිගමනවලට එලඹෙනවා. ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ මයිකල් බීහී 2005දී ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලිව්වේ මෙයයි. “[සොබාදහමේ] නිර්මාණයන්වලට හේතුව සොයාගැනීමට පුංචි තර්කයක් විතරයි අවශ්‍ය වෙන්නේ. පෙනුමෙන්, ගමනෙන් හා හඬෙන් තාරාවෙකුව ඇඳිනිය හැකි නම් ඌ තාරාවෙකු මිස වෙන සතෙක් වේද? ඌට තාරාවා කීමට අපට හොඳ හේතුවක් තිබෙනවා.” එබැවින් ඔහුගේ නිගමනය මෙයයි. “ඇස් දෙකට පෙනෙන්න පැහැදිලි සාක්ෂි තිබෙනවා නම් නිර්මාණයට නිර්මාතෘවරයෙක් සිටින බව නොසලකා නොහැරිය යුතුයි.”

      ගුවන් යානයක තට්ටක් ආරක්ෂිතව මෙන්ම දක්ෂ ලෙස නිර්මාණය කර තිබෙනවා නම් ඊට ප්‍රශංසාව ලැබිය යුත්තේ එය නිර්මාණය කළ ඉන්ජිනේරුවායි. එලෙසම විවිධාකාරයෙන් ප්‍රයෝජනගත හැකි වෙළුම් පටියක් නිර්මාණය කරන තැනැත්තා හෝ වටිනා රෙදි වර්ගයක් හෝ අගනා වාහනයක් නිපදවන තැනැත්තා තම දක්ෂතාව වෙනුවෙන් ප්‍රශංසාව ලැබිය යුතුයි. නිර්මාණය කළ තැනැත්තාට ප්‍රශංසාව නොදී අනුකරණයන් නිපදවා, භාණ්ඩවල හිමිකම ලබාගන්නා තැනැත්තාව අපරාධකාරයෙක් ලෙස සැලකිය හැකියි.

      සොබාදහමේ තිබෙන දේවලින් තම නිර්මාණයන් දියුණු කිරීමට විද්වතුන්ට මහත් වෑයමක් දරන්න සිදු වෙනවා නම්, සොබාදහමේ නිර්මාණයන් අහඹු සිදුවීමක් හේතුවෙන් පරිණාමය වුණායයි නිගමනය කිරීම තර්කානුකූලද? අනුකරණයන්ට බුද්ධිමත් නිර්මාතෘ කෙනෙක් අවශ්‍ය නම් මුල් නිර්මාණයට නිර්මාතෘ කෙනෙක් අවශ්‍ය නැද්ද? ඇත්තෙන්ම වඩාත් දක්ෂ චිත්‍රශිල්පියාද නැත්නම් ඔහුගේ ශිල්පයන් අත්හදා බලන ශිෂ්‍යයාද?

      තර්කානුකූල නිගමනයක්

      සොබාදහමේ නිර්මාණයන්ගේ සැකැස්ම දෙස කල්පනාකාරීව බලන බොහෝදෙනා බයිබලයේ ගීතිකාකරු පවසන දේට එකඟ වෙනවා. ඔහු ලීවේ මෙයයි. “යෙහෝවා, ඔබගේ වැඩ කොපමණ නානාප්‍රකාරද? ඔබ මේ සියල්ල ඥානයෙන් සෑදුවේය. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.” (ගීතාවලිය 104:24) බයිබල් ලේඛක පාවුල්ද එවැනිම නිගමනයකට එලඹුණා. ඔහු මෙසේ පැවසුවා. “මන්ද ඔහුගේ අදෘශ්‍යමාන ගුණාංග, එනම් ඔහුගේ සදාකාලික වූ බලය සහ දෙවිකම ලෝකය මැවීමේ පටන් පැහැදිලිව පෙනේ. සාදා තිබෙන දේවල්වලින් ඒවා පැහැදිලි ලෙස වටහාගත හැකි නිසා තම නිදහසට ඉදිරිපත් කළ හැකි කිසි කරුණක් ඔවුන්ට නැත.”—රෝම 1:19, 20.

      බයිබලයට ගරු කරන හා නිර්මාතෘ දෙවිව විශ්වාස කරන අවංක බොහෝදෙනෙක් පවා සොබාදහමේ දක්නට ලැබෙන අසිරිමත් දේ මැවීමට දෙවි පරිණාමය යොදාගත්තා කියා තර්ක කළ හැකියි. නමුත් බයිබලයේ ඒ ගැන පවසන්නේ කුමක්ද?

      [පාදසටහන]

      a වෙල්ක්‍රෝ යනු ශාකයක බීජයක් අනුසාරයෙන් කොකු සහ ලූපයන් යොදා නිමැවූ ඇලෙනසුලු පටි ජාතියක්.

      [5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

      සොබාදහමේ මනා නිර්මාණයන් රැසක් බිහි වුණේ කොහොමද?

      [6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

      සොබාදහමේ හිමිකරු කවුද?

      [7වන පිටුවේ කොටුව/පින්තූර]

      අනුකරණයන්ට බුද්ධිමත් කෙනෙක් අවශ්‍ය නම් මුල් නිර්මාණයට නිර්මාතෘවරයෙක් අවශ්‍ය නැද්ද?

      හූණාගේ පාදයේ යටි පැත්ත කිලිටි වන්නෙත්, උගේ අඩි පාර සිටින්නෙත් නැහැ. ටෙෆ්ලෝන් ගැල් වූ මතුපිටක් හැර වෙන ඕනෑම මතු පිටක ඇලී සිටීමටත් ඉන් ගැලවීමටත් ඌට හැකියි. පර්යේෂකයන් මෙය අනුකරණය කිරීමට වෑයම් කරනවා

      මුහුදු ලිහිණියෙකුගේ තට්ට අනුවයි හොඳින් හැසිරවිය හැකි මෙම ගුවන් යානය සාදා තිබෙන්නේ

      පහසුවෙන් හැසිරවිය හැකි මෙම වාහනය පේත්තයා මාළුවාගේ අනුකරණයක්

      [හිමිකම් විස්තර]

      Airplane: Kristen Bartlett/ University of Florida; gecko foot: Breck P. Kent; box fish and car: Mercedes-Benz USA

      [8වන පිටුවේ කොටුව/පින්තූරය]

      සහජ නුවණක්කාරයෝ

      බොහෝ සතුන් තම නිවහන සොයාගන්න ආකාරය බලන කල උන් “සහජයෙන්ම නැණවතුන්’ කිව හැකියි. (හිතෝපදේශ 30:24, 25) උදාහරණ දෙකක් බලමු.

      ◼ කුහුඹු ගමනාගමන පාලනය තම ආහාර සොයාගත් පසු යළි තම නිවහන කරා උන් එන්නේ කෙසේද? සුවඳ අනුව ඉව අල්ලනවාට අමතරව පහසුවෙන්ම තම නිවහන සොයාගත හැකි වන සේ රේඛගණිතයට අනුව මාර්ගය සකස් කරගැනීමට සමහර කුහුඹුවන්ට හැකියාවක් තිබෙන බව එක්සත් රාජධානියේ පර්යේෂකයන් සොයාගත්තා. උදාහරණයකට එක් කුහුඹු වර්ගයක් (Pharaoh ants) “තම නිවහනේ සිට මාර්ගය සකස් කරද්දී අංශක 50ත් 60ත් අතර කෝණයකින් විහිදී යන අතුරු පාරවල් තනාගනියි” කියා නිව් සයන්ටිස්ට් සඟරාව පවසනවා. මෙම ක්‍රමය විශිෂ්ට වන්නේ ඇයි? යළි තම ගණාවාසය කරා ගමන් කරද්දී මාර්ගයේ එවැනි කෝණයකට පැමිණි විට අතුරු පාරකට හැරෙන්නේ නැතුව තම ගණාවාසය වෙත යෑමට සහජ හැකියාවක් ඌට ලැබී තිබෙන නිසයි. “මෙම පාරවල් ගණිතමය ක්‍රමයකට පිහිටා තිබෙන නිසා මාර්ග පද්ධතියේ බාධාවකින් තොරව ගමන් කිරීමට උන්ට හැකියි. විශේෂයෙන්ම උන් විරුද්ධ දිශාවලට ගමන් කරන විට වැරදි දිශාවට හැරී ගොස් තම ශක්තිය අපතේ යෑම අඩු කරගන්න එම ගණිත ක්‍රමය උන්ට ඉමහත් උපකාරයක් වෙනවා” කියා එම ලිපියේ තවදුරටත් පවසනවා.

      ◼ කුරුල්ලන්ගේ දිශා දර්ශකයන් හුඟක් කුරුල්ලන් දුර ඈත ගමන් යද්දීත්, ඕනෑම කාලගුණයකදීත් නිශ්චිත ගමන් මඟක් ගන්න දන්නවා. ඒ කෙසේද? පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ පොළොවේ චුම්බක ක්ෂේත්‍රය සොයාගැනීමට කුරුල්ලන්ට හැකි බවයි. කෙසේවුවද, පොළොවේ “චුම්බක ක්ෂේත්‍රය ඇදී යන දිශාවන් ස්ථානයෙන් ස්ථානයට වෙනස් වන අතර සැමවිටම උතුරටම යොමු වන්නේ නැහැ” කියා සයන්ස් සඟරාව පවසනවා. වැරදි දිශාවකට සංක්‍රමණය කිරීමෙන් කුරුල්ලන්ව වළක්වන්නේ කුමකින්ද? හිරු බැස යෑමත් සමඟ කුරුල්ලාට සහජයෙන් ලැබී තිබෙන දිශා දර්ශකය සෑම දිනකම සකස් වෙන නිසා ඌට නිශ්චිත ගමන් මඟක් ඔස්සේ පියාසර කිරීමට හැකියි. දිශාව හා ඍතුව අනුව හිරු බැස යෑම වෙනස් වන නිසා මෙම කුරුල්ලන්ට “තමන් සිටින්නේ වසරේ කුමන කාලයේදීද කියා දැනගැනීමට සහජයෙන්ම උපක්‍රමයක් පිහිටා තිබෙන බවට පර්යේෂකයන් උපකල්පනය කරනවා” කියා සයන්ස් සඟරාව තවදුරටත් පවසනවා.

      කුහුඹුවාට රේඛ ගණිතය තේරුම්ගන්න හැකියාව දුන්නේ කවුද? දිශා දර්ශකයක්, කාලය දැනගැනීමේ උපක්‍රමයක් සහ ඒවා මඟින් දෙන ඇඟවීම් දැනගත හැකි මොළයක් කුරුල්ලන්ට සැපයුවේ කවුද? බුද්ධියක් නැති පරිණාමයද? නැතහොත් බුද්ධිමත් නිර්මාතෘවරයෙක්ද?

      [හිමිකම් විස්තර]

      © E.J.H. Robinson 2004

  • දෙවි ජීවීන්ව බිහි කළේ පරිණාමයෙන්ද?
    2006 පිබිදෙව්! | සැප්තැම්බර්
    • දෙවි ජීවීන්ව බිහි කළේ පරිණාමයෙන්ද?

      “යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය. මන්ද, ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය; ඒවා මවන ලද්දේය.”—එළිදරව් 4:11.

      පරිණාමවාදය ප්‍රචලිත කළේ චාල්ස් ඩාවින් විසින්. වැඩි කලක් යෑමට පෙර බොහෝ ක්‍රිස්තියානි නිකායන් දෙවි කෙරෙහි ඇති තම විශ්වාසය හා පරිණාමය යන මතය එකට සම්බන්ධ කළ හැකි ක්‍රම සොයන්න පටන්ගත්තා.

      අද දින ප්‍රමුඛ පෙළේ “ක්‍රිස්තියානි” ආගමික කණ්ඩායම් බොහොමයක් පරිණාමය පිළිගන්න බවක් පෙනෙන්න තිබෙනවා. ඔවුන් පවසන්නේ ජීවීන් බිහි කිරීමට දෙවි පරිණාමය යොදාගන්න ඇති කියලයි. අජීවී රසායනික ද්‍රව්‍යයන්වලින් ඉබේම ජීවියෙක් හටගෙන, ඉන්පසු පරිණාමය වී අවසානයේදී මිනිසාගේ බිහිවීම සිදු වන ආකාරයට සැලසුම් කර දෙවි විශ්වය නිර්මාණය කළ බවයි සමහරු උගන්වන්නේ. දෙවි පරිණාමය සිදු කළාය යන මේ ඉගැන්වීම විශ්වාස කරන අයට හැඟෙන්නේ දෙවි යමක් හටගන්න සැලැස්වූ පසුව එම ක්‍රියාවලියට මැදිහත් නොවන බවයි. තවත් සමහරු සිතන්නේ ශාක වර්ග සහ සත්ව වර්ග පරිණාමය වීමට ඉඩහැර දෙවි බලා සිටියත් ඇතැම් අවස්ථාවල එම ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට මැදිහත් වුණා කියායි.

      පටහැනි ඉගැන්වීම් සම කළ හැකිද?

      පරිණාමවාදය බයිබලයේ ඉගැන්වීම්වලට එකඟද? පරිණාමය සැබෑවක් නම් මුල් මිනිසා වූ ආදම්ව මැවීම පිළිබඳ බයිබල් වාර්තාව සාරධර්ම ඉගැන්වීමට ගෙතූ කතන්දරයක් මිස සැබෑ වාර්තාවක් වන්නේ නැහැ. (උත්පත්ති 1:26, 27; 2:18-24) යේසුස් එම වාර්තාව සැලකුවෙත් එලෙසමද? යේසුස් පැවසුවේ මෙයයි. “ඔවුන්ව මැවූ තැනැත්තා පටන්ගැන්මේ සිට පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව මැවූ බවත්, ‘ඒ නිසා, මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය කියාද, ඒ දෙදෙනා එක මාංසයක් වන්නෝය’ කියාද පැවසූ බවත් ඔබ කියවා නැද්ද? මෙසේ ඔවුහු එතැන් පටන් දෙදෙනෙකු නොව එක මාංසයක් වන්නෝය. එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!”—මතෙව් 19:4-6.

      යේසුස් එම කොටස උපුටා දැක්වුවේ උත්පත්ති පොතේ දෙවන පරිච්ඡේදයේ සඳහන් මැවීමේ වාර්තාවෙනුයි. මුල්ම විවාහය ගෙතූ කතන්දරයක් කියා යේසුස් විශ්වාස කළා නම් විවාහයේ පවිත්‍රත්වය රැකගන්න කියා පවසද්දී එම කතන්දරයට ඔහු යොමු දක්වයිද? නැහැ. යේසුස් උත්පත්ති වාර්තාවට යොමු දැක්වුවේ එය ඉතිහාසයේ සැබෑ සිද්ධියක් නිසයි.—යොහන් 17:17.

      යේසුස්ගේ ගෝලයනුත් උත්පත්ති පොතේ තිබෙන මැවීමේ වාර්තාව විශ්වාස කළා. නිදසුනකට, ලූක්ගේ ශුභාරංචි පොතේ ආදම් දක්වා යේසුස්ගේ පෙළපත සඳහන් වී තිබෙනවා. (ලූක් 3:23-38) ආදම් සැබෑ පුද්ගලයෙක් නොවේ නම් මෙම පෙළපතේ කුමන අවස්ථාවේදීද සැබෑව බොරුවක් බවට හැරුණේ? මෙම පවුල් පෙළපතේ මූලාරම්භය ගෙතූ කතාවක් නම් තමා පොරොන්දු වූ ගැලවුම්කරු බවත්, දාවිත්ගේ පෙළපතෙන් උපන් බවත් යේසුස් පැවසූ දේ සැබෑවක් වේවිද? (මතෙව් 1:1) ශුභාරංචි පොතක් ලියූ ලූක් පැවසුවේ “සියල්ල මුල පටන් නිවැරදිව සොයා බලා තිබෙන” බවයි. උත්පත්ති පොතේ මැවීමේ වාර්තාව ඔහු විශ්වාස කළ බව පැහැදිලියි.—ලූක් 1:3.

      පාවුල්ට යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබීමට උත්පත්ති පොතේ වාර්තාවත් එක් හේතුවක් වුණා. එමනිසයි පාවුල් මෙසේ ලිව්වේ. “මිනිසෙකු තුළින් මරණය පැමිණි හෙයින්, මළවුන්ගේ නැවත නැඟිටීමත් සිදු වන්නේ මිනිසෙකු තුළිනි. මන්ද ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන්, ක්‍රිස්තුස් තුළ සියල්ලෝ ජීවත් කරනු ලබන්නෝය.” (1 කොරින්ති 15:21, 22) “ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල්” වීමට හේතු වූ ආදම් මුළු මිනිස් වර්ගයාගේ ආදි පියා නොවුණා නම් එම පාපයේ පල විපාකවලින් මිනිස් වර්ගයාව බේරාගැනීමට යේසුස් දිවි පිදුවේ ඇයි?—රෝම 5:12; 6:23.

      උත්පත්ති පොතේ මැවීමේ වාර්තාව කෙරෙහි ඇත්තේ මද විශ්වාසයක් නම් ඉන් අදහස් වන්නේ ක්‍රිස්තියානි ඇදහිල්ලට මූලිකව අවශ්‍ය වන දෙයක් කෙරෙහි විශ්වාසයක් නැති බවයි. පරිණාමවාදය ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනියි. මේ දෙක සම කරන්න යෑමෙන් සිදු වන්නේ ඇදහිල්ල දුර්වල කරගෙන ‘සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබ මොබ විසි වෙන, රළ පහරින් ගසාගෙන’ යන පුද්ගලයන් බවට පත් වෙන්නයි.—එෆීස 4:14.

      ස්ථිර පදනමක් මත ඇදහිල්ල ගොඩ නැඟීම

      සියවස් ගණනාවක් පුරා බයිබලය විවේචනයට හා ප්‍රහාරවලට ලක් වී තිබෙනවා. එහෙත් යළි යළිත් ඔප්පු වී තිබෙන්නේ බයිබලයේ ඇති දේ සත්‍යය බවයි. ඉතිහාසය, සෞඛ්‍යය හා විද්‍යාව ගැන එහි යමක් පවසනවාද එය විශ්වාසදායකයි. ඒ වගේම මානව සබඳතා පිළිබඳව දී ඇති උපදෙස් එදාටත් අදටත් සැමදාටත් ප්‍රයෝජනවත්. මිනිස් දර්ශනයන් හා සිද්ධාන්ත තණකොළ මෙන් වැඩී වියළී යතත් දෙවිගේ වචනය ‘සදාකල් පවතිනවා.’—යෙසායා 40:8.

      පරිණාමයේ ඉගැන්වීම විද්‍යාත්මක සිද්ධාන්තවලට පමණක් සීමා වී නැහැ. එය දශක ගණනාවක් පුරා වැඩී මල්පල ගත් මානව දර්ශනයක්ද වෙනවා. කෙසේනමුත් මෑත වසරවලදී ඩාවින්ගේ මතය පවා වෙනස් වෙලා. නැතහොත් විකෘති වෙලා. ඊට හේතුව සොබාදහමේ පවතින දේවල් නිර්මාණයක් බවට සාක්ෂි තිබෙන නිසයි. මේ විෂය ගැන තවදුරටත් සෝදිසි කර බලන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. මේ සඟරාවේ අනෙක් ලිපිත් කියවීමෙන් ඔබට එය කළ හැකියි. ඊට අමතරව, මෙම පිටුවෙත් 32වන පිටුවෙත් සඳහන් කර ඇති ප්‍රකාශන කියවා බලන්න ඔබට පුළුවන්.

      මෙම විෂය ගැන පර්යේෂණයක යෙදුණු පසු අතීතය ගැන බයිබලයේ පැවසූ දේ සැබෑවක් බව ඔබට ස්ථිර වනු ඇත. එපමණක්ද නොව අනාගතය ගැන දී ඇති බයිබල් පොරොන්දු කෙරෙහිද ඔබේ විශ්වාසය තවත් වැඩි වේවි. (හෙබ්‍රෙව් 11:1) එමෙන්ම ‘අහසත් පොළොවත් මැවූ’ තැනැත්තා වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නත් ඔබ පෙලඹෙයි.—ගීතාවලිය 146:6.

      මේවා කියවා බලන්න

      සියලුම ජනයා සඳහා පොතක් මෙම විවරණිකාවේ බයිබලයේ විශ්වාසවන්තභාවය ගැන නිශ්චිත උදාහරණ සඳහන් වෙනවා

      ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? තවත් විද්‍යාත්මක සාක්ෂි සෝදිසි කර සැලකිලිමත් දෙවි කෙනෙක් මෙතරම් දුක් වේදනාවන්ට ඉඩහැර තිබීමට හේතුව දැනගන්න

      බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු “පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද” යන ප්‍රශ්නයට උත්තර මේ පොතේ 3වන පරිච්ඡේදයේ තිබෙනවා

      [10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

      යේසුස් මැවීම පිළිබඳ උත්පත්ති වාර්තාව විශ්වාස කළා. ඔහුට වැරදීමක් සිදු වුණාද?

      [9වන පිටුවේ කොටුව]

      පරිණාමය යනු කුමක්ද?

      “පරිණාමය” යන්නෙහි එක් අර්ථකථනයක් නම් “යම් දිශාවක් ඔස්සේ සිදු වෙමින් පවතින පරිවර්තන ක්‍රියාවලියක්” යන්නයි. මෙම වචනය විවිධාකාරයෙන් යොදාගෙන තිබෙනවා. විශ්වය බිහිවීම සඳහා ඉවහල් වූ අජීවී වස්තුවල සිදු වන විශාල පරිවර්තනයන් ගැන විස්තර කිරීමටද එම වචනය භාවිත කරනවා. ඊට අමතරව ශාක හා සත්ව ජීවීන් පරිසරයට අනුව සුළු සුළු වෙනස්වීම්වලට භාජන වන ආකාරය දැක්වීමටද එය යොදාගන්නවා. නමුත් වැඩියෙන්ම එම වචනය භාවිත වන්නේ අජීවී රසායනික ද්‍රව්‍යවලින් ජීවය බිහි වූවාය යන සිද්ධාන්තය විස්තර කිරීමටයි. එම සිද්ධාන්තය ගොඩ නඟා තිබෙන්නේ එම ද්‍රව්‍යවලින් සරල සෛලයක් සෑදී එම සෛලයෙන් තවත් සෛල සෑදෙමින් ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ ජීවීන් බිහි වී අවසානයේදී බුද්ධිමත්ම ජීවියා ලෙස මිනිසා බිහි වූ බව දැක්වීමටයි. මෙම ලිපියේ “පරිණාමය” යන වචනය යොදා තිබෙන්නේ අවසානයේදී සඳහන් කළ අදහස ගැන විස්තර කිරීමටයි.

      [10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

      Space photo: J. Hester and P. Scowen (AZ State Univ.), NASA

  • ජීව රසායන විද්‍යාඥයෙකු සමඟ කළ සාකච්ඡාවක්
    2006 පිබිදෙව්! | සැප්තැම්බර්
    • ජීව රසායන විද්‍යාඥයෙකු සමඟ කළ සාකච්ඡාවක්

      එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ලීහයි විශ්වවිද්‍යාලයේ ජීව රසායන විද්‍යාඥයෙක් වන මහාචාර්ය මයිකල් ජේ. බීහී 1996දී ඩාවින්ස් බ්ලැක් බොක්ස් ද බයෝකෙමිකල් චැලෙන්ජ් ටු ඉවලූෂන් යන පොත නිකුත් කළා. වර්ෂ 1997 මැයි 8 පිබිදෙව් සඟරාවේ අපි මෙහාට ආවේ කොහොමද? අහම්බෙන්ද නැත්නම් නිර්මාණයකින්ද? යන මාතෘකාව යටතේ තිබෙන ලිපිවල බීහීගේ මේ පොත ගැන සඳහන් කර තිබුණා. බීහී තම පොත නිකුත් කළාට පසු පරිණාමවාදී විද්‍යාඥයන් එහි ඇති තර්කයන් බිඳ හෙළන්න උත්සාහ කළා. විවේචකයන් කියා සිටින්නේ ඔහු රෝමානු කතෝලිකයෙක් නිසා ඔහුගේ ආගමික විශ්වාසයන්ට ඔහු මුල් තැන දී තිබෙනවා කියායි. තවත් සමහරුන් කියන්නේ ඔහුගේ තර්ක විද්‍යානුකූල නැහැ කියලයි. පිබිදෙව්! ලේඛකයන් මහාචාර්ය බීහී සමඟ සාකච්ඡා කළේ ඔහුගේ අදහස් මෙතරම් මතභේදයකට තුඩු දුන්නේ ඇයි කියා දැනගන්නයි.

      පිබිදෙව්!: ජීවය, බුද්ධිමත් නිර්මාතෘවරයෙකු සිටින බවට සාක්ෂි සපයනවා කියා ඔබට හැඟුණේ ඇයි?

      මහාචාර්ය බීහී: ඕනෑම සංකීර්ණ දෙයක් දකින විට අපි එය ඉතා හොඳ නිර්මාණයක් කියා නිගමනය කරනවා. මහන මැෂිමක් හෝ වාහනයක් ඊට කදිම උදාහරණයි. මම නම් කියන්නේ මී කතුර දෙස බැලුවත් අපිට නිගමනය කරන්න වෙන්නේ එය කවුරු හරි නිර්මාණය කළා කියලයි. ඊට හේතුව මීයෙකුව අල්ලාගැනීමට හැකි වෙන විදිහට එහි එක් එක් කොටස් යම් සැලැස්මකට අනුව සම්බන්ධ කර සාදා තිබීමයි.

      ඒක සෛල ජීවීන්ව හා අණු පිළිබඳව අධ්‍යයනය කිරීමට තරම්ම විද්‍යාව දැන් දියුණු වී තිබෙනවා. එහි තිබෙන සැලැස්ම හා ක්‍රියාකාරිත්වය ගැන විද්‍යාඥයන් පුදුම වෙනවා. උදාහරණයකට, සෛලයක් තුළ තිබෙන කුඩා අණු සමහරක්, සෛලයේ එක් පැත්තක සිට අනිත් පැත්තට නොයෙක් ද්‍රව්‍යයන් ප්‍රවාහණය කරනවා. ඒ වගේම තවත් සමහර අණු මේ ද්‍රව්‍යය රැගත් අණුවලට යන්න අවශ්‍ය තැනට යන්න සංඥා කරනවා. සමහර අණු “බෝට්ටුවක පිටතින් ඇති මෝටරය” වගේ ක්‍රියා කරන නිසා ශරීරයේ තිබෙන දියර ඔස්සේ ගමන් කරන්න සෛලයට හැකියාව ලැබෙනවා. ඕනෑම දෙයක මේ හා සමාන සංකීර්ණ සැලැස්මක් දකින විට ඒවාට බුද්ධිමත් නිර්මාණකරුවෙක් සිටින බව අපි පිළිගන්නවා. ජීවීන් තුළ තිබෙන සංකීර්ණත්වය හා සැලැස්ම දකින විට ජීවය අහම්බෙන් ඇති වුණා කියන ඩාවින්ගේ මතය එයට ගැළපෙන්නේ නැහැ. ඇත්තටම ජීවයට බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටින බව නිගමනය කිරීම සාධාරණයි.

      පිබිදෙව්!: බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවා කියා ඔබ කළ නිගමනයට ඔබේ වෘත්තියේ යෙදෙන්නන් එකඟ නොවීමට හේතුව කුමක් කියාද ඔබ සිතන්නේ?

      මහාචාර්ය බීහී: බොහෝ විද්‍යාඥයන් කියන්නේ ජීවයේ පිටුපස බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවා නම් එය විද්‍යාවට එකඟ නැහැ වගේම සොබාදහමටත් පිටින් තිබෙන දෙයක් කියායි. ඒ නිසා ඔවුන් කැමති නැහැ මගේ නිගමනය පිළිගන්න. මම නම් ඉගෙනගෙන තිබෙන්නේ විද්‍යාවෙන් යමක් නිගමනය කරන්න නම් එය ඔප්පු කරන්න සාක්ෂි තිබෙන්න ඕනෙ කියලයි. ඇත්තටම මම දකින්නේ යමක් ඔප්පු කරන්න ප්‍රබල සාක්ෂි තිබියදීත් අපේ මතයට එය නොගැළපෙනවා කියා ප්‍රතික්ෂේප කිරීම මහ බියගුලුකමක් හැටියටයි.

      පිබිදෙව්!: බුද්ධිමත් නිර්මාතෘවරයෙකුව පිළිගැනීම අඥානකමක් කියා විවේචකයන් කියද්දී ඔබ එය භාරගන්නේ කෙසේද?

      මහාචාර්ය බීහී: ජීවය බුද්ධිමත් මැවුම්කරුවෙකුගේ නිර්මාණයක් කියා පිළිගැනීම අඥානකමක් නෙවෙයි. එය පදනම් කරගෙන තිබෙන්නේ නොදන්නා දේවල් මත නෙවෙයි දන්නා දේවල් මතයි. ඩාවින් විසින් ජීවයේ සම්භවය යන පොත ප්‍රකාශයට පත් කළේ මීට වසර 150කට ඉහතදීයි. එදා සිටි විද්‍යාඥයන් හිතුවේ ජීවය කියන්නේ සරල දෙයක් කියලයි. එදා ඔවුන්ට තිබුණ අවබෝධයට අනුව ඔවුන් විශ්වාස කළේ සරල සෛලයකට මුහුදේ මඩවලින් වුවත් මතුවිය හැකි බවයි. නමුත් දැන් විද්‍යාව දියුණුයි. නවීන දින සොයාගැනීම්වලින් හෙළි වන්නේ සෛලය 21වන සියවසේ තිබෙන ඕනෑම යන්ත්‍ර සූත්‍රයකට වඩා සංකීර්ණ දෙයක් හැටියටයි. මෙතරම් සංකීර්ණ දෙයකින් අනිවාර්යයෙන්ම අරමුණක් ඇති නිර්මාතෘවරයෙක් සිටින්න ඕන බව ඔප්පු වෙනවා.

      පිබිදෙව්!: සෛල හා ඒ තුළ තිබෙන අණුවලින් ඉතා සංකීර්ණ වැඩ කොටසක් ඉටු වන බව ඔබ පැහැදිලි කළා. මේ සියල්ල ස්වාභාවික වරණය මගින් ඇති වූ බවට විද්‍යාවෙන් සාක්ෂි සපයා තිබෙනවාද?

      මහාචාර්ය බීහී: නැහැ. ඕනෑම විද්‍යා පොතක් කියෙව්වොත් ඔබට පැහැදිලි වෙයි අද වන තුරු කිසිම කෙනෙකුට ඩාවින් විස්තර කළ දෙයට මෙතරම් සංකීර්ණ දේවල් ඇති වුණ බව ඔප්පු කරන්න බැරි වෙලා තිබෙනවා කියලා. මගේ පොත පළ කළේ මීට අවුරුදු 10කට පෙරයි. එදා සිට විද්‍යා කටයුතු පිළිබඳ ජාතික ඇකඩමිය සහ විද්‍යාවේ උන්නතිය තකා පිහිටුවා ඇති අමෙරිකානු සංගමය වැනි ආයතන ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් පුන පුනා ඉල්ලන්නේ මැවුම්කරුවෙක් නැහැ කියන්න තිබෙන සාක්ෂි හොයන්න කියලයි. ඒත් තාම ඒක කරන්න බැරි වෙලා තිබෙනවා.

      පිබිදෙව්!: සමහර අය ශාකවල හෝ සතුන්ගේ යම් යම් කොටස් බලා පවසන්නේ මේවා නිර්මාණයේ දෝෂයක් කියලයි. එයට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

      මහාචාර්ය බීහී: ජීවීන්ගේ හෝ ශාකවල යම් කොටස්වල අර්ථය අපට හරියටම තේරුම්ගන්න අමාරු නිසා එය වැඩක් නැහැයි කීම සුදුසු නැහැ. කලින් ශරීරයේ තිබෙන සමහර අවයවයන් ගැනද හිතුවේ ඒ විදිහටයි. උදාහරණයක් හැටියට උණ්ඩුක පුච්ඡය හා සෙම්ගෙඩි (උගුර දෙපැත්තේ තිබෙන කුඩා ග්‍රන්ථි දෙක) සුළු ශල්‍යකර්මයකින් ඉවත් කළේ එම හේතුව නිසයි. නමුත් දැන් අපි දන්නවා මේ කුඩා අවයවයන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට අවශ්‍යයි කියලා. ඒවා නිර්මාණයේ දෝෂයක් නෙවෙයි.

      තවත් කරුණක් නම් ජීව විද්‍යාවේ සිදු වන හැම දෙයක්ම අපට විස්තර කරන්න බැරි වීමයි. නමුත් නොදන්නාකම නිසා එය නිර්මාණය කළේ නැහැ කියා තර්ක කරන්න අපට බැහැ. මෙහෙම හිතන්න. මගේ කාර් එකේ තැල්මක් තිබුණා කියලා හරි, ටයර් එකේ හුළං ගියා කියලා හරි ඒවා නිර්මාණය කළේ නැහැ කියලා මට තර්ක කරන්න පුළුවන්ද? එසේ කිරීම අසාධාරණයි. ඒ වගේම ජීව විද්‍යාවේ සිදු වන හැම දෙයක්ම විස්තර කරන්න බැරි නිසා හෝ තේරුම්ගන්න බැරි නිසා එය අහම්බෙන් සිදු වුණා කියලා කියන්න බැහැ. ඒක තර්කානුකූල නැහැ.

      [12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

      “මම දකින්නේ යමක් ඔප්පු කරන්න ප්‍රබල සාක්ෂි තිබියදීත් අපේ මතයට එය නොගැළපෙනවා කියා ප්‍රතික්ෂේප කිරීම මහ බියගුලුකමක් හැටියටයි.”

  • පරිණාමය සත්‍යයක්ද?
    2006 පිබිදෙව්! | සැප්තැම්බර්
    • පරිණාමය සත්‍යයක්ද?

      “සූර්යාගේ තාපය සත්‍යයක් වගේම පරිණාමයත් සත්‍යයක්” කියා ප්‍රසිද්ධ පරිණාමවාදී විද්‍යාඥයෙක් වන රිචඩ් ඩෝකින්ස් තරයේ කියා සිටිනවා. පරීක්ෂණවලින් ඔප්පු කර තිබෙන්නේ සූර්යයා රස්නෙ බවයි. නමුත් පරිණාමය සත්‍යයක් කියා පරීක්ෂණවලින් ඔප්පු කර තිබෙනවාද?

      මුලින්ම අපි යමක් පැහැදිලි කරන්න අවශ්‍යයි. කාලයත් සමඟ පරම්පරාවෙන් පරම්පරාවට ජීවීන්ගේ සුළු වෙනස් වීමක් සිදු විය හැකි බව බොහෝ විද්‍යාඥයන් දැක තිබෙනවා. (microevolution) මෙය දැක තිබෙනවා පමණක් නොව වාර්තා කරලත් තිබෙනවා. මෙයින් සතුන් හා ශාක බෝකරන්නන් ප්‍රයෝජන ගන්නවා.a විද්‍යාඥයන් පවසන්නේ කාලයත් සමඟ ජීවීන්ට සුළු වෙනස් වීමක් වෙන්න පුළුවන් නම් ජීවීන්ට විශාල කාලයක් ඇතුළත ලොකු පරිණාමයක් වෙන්නත් පුළුවන් බවයි. (macroevolution) ඒත් මේ සඳහා කිසිම සාක්ෂියක් නැති අතර පරීක්ෂණවලින් ඔප්පු කරලත් නැහැ.

      ඩාවින් ඔප්පු කරන්න පුළුවන් දේවලටත් වඩා ඔබ්බට ගියා. ඔහු ජීවයේ සම්භවය නමැති පොතේ පෙන්වා තිබෙන්නේ මෙසෙයි. “ජීවී විශේෂ බොහොමයක් තිබුණත් ඒ සියල්ල පැමිණියේ විශේෂ කිහිපයක් පරිණාමය වී මිස මැවිල්ලකින් නෙවෙයි.” ඩාවින් කිව්වේ විශාල කාලයක් තුළ ඒක සෛලී ජීවීන් ටිකෙන් ටික වෙනස් වී අවසානයේදී බොහෝ ජීවී විශේෂ ඇති වුණා කියලයි. පරිණාමවාදීන් උගන්වන්නේ මේ වගේ කුඩා වෙනස් වීම් රාශියක් එකතු වෙලා මාළුවන්ගෙන් උභයජීවීන් හෝ වානරයන්ගෙන් මනුෂ්‍යයන් බිහි වුණා කියලයි. බොහෝදෙනෙකුට මෙවැනි තර්කයක් සාධාරණ විය හැකියි. ‘යම් විශේෂයක කුඩා වෙනස්කම් සිදු වෙන්න පුළුවන් නම්, විශාල කාලයක් තුළ පරිණාමය වීමෙන් ලොකු වෙනස්කම් සිදු වෙන්න බැරි ඇයි’ කියා ඔවුන් සිතනවා.b

      විශාල වෙනස්කම් සිදු වුණා කියා පැවසීම පදනම් වී තිබෙන්නේ මූලික උපකල්පනයන් තුනක් මතයි:

      1. අලුත් විශේෂයන් බිහිවීමට හේතු වූ විකෘති තිබීම.c

      2. අලුත් විශේෂයක් බිහිවීමට ස්වාභාවික වරණය පෙරමුණ ගෙන තිබීම.

      3. ශාක හා සතුන්ගේ මහ පරිමාණයෙන් සිදු වන වෙනස් වීම් ෆොසිලවල දක්නට ලැබීම.

      විශාල ලෙස පරිණාමය සිදු වුණා කියා ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි තිබෙනවාද?

      විකෘති මගින් අලුත් වර්ග බිහි වේද?

      ශාකයක හා ජීවියෙකුගේ වැඩීම තීරණය වන්නේ එහි තිබෙන ජානවලට අනුවයි. මෙම ජාන පිහිටා තිබෙන්නේ සෛලයේ ඇති න්‍යෂ්ටිය තුළයි.d පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ ජාන විකෘති වීමෙන් ඇති වන ශාකය හා ජීවියා විකෘති වන බවයි. නොබෙල් ත්‍යාග ලාභියෙක් හා ජාන විකෘතිය අධ්‍යයනය කිරීම ආරම්භ කළ තැනැත්තා වන හර්මන් ජේ. මුලර් 1946දී මෙසේ පැවසුවා. “සුළු සුළු වෙනස් වීම් නිසා ශාකයක් හා ජීවියෙක් වඩා හොඳ තත්වයකට පත් වෙනවා පමණක් නෙවෙයි ස්වාභාවික වරණය හේතුවෙන් පරිණාමයකටද ලක් වෙනවා.”

      විද්‍යාඥයන් පවසන්නේ විකෘති මගින් අලුත් විශේෂයන් පමණක් නොව අලුත් කුලද ඇති විය හැකි බවයි. මෙම ක්‍රියාවලිය පරිණාමයකට මඟ පාදනවා කියාද ඔවුන් පවසනවා. නමුත් ඔවුන් තරයේ පවසන මේ දෙයට පදනමක් තිබෙනවාද? දැනට අවුරුදු 100ක පමණ සිට ජාන පිළිබඳව කළ පරීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ කුමක්ද?

      ස්වාභාවික වරණයට ලක්වීම හේතුවෙන් ඉතිරි වන විකෘති මගින් ශාකවල අලුත් විශේෂයන් බිහි විය හැකි නම් එම ක්‍රියාවලියට මිනිසා මැදිහත් වුණොත් ඊට වඩා සාර්ථක විශේෂයන් බිහි කළ හැකියි කියා 1930 ගණන්වල අග භාගයේදී විද්‍යාඥයන් තීරණය කළා. ජර්මනියේ ශාක පිළිබඳ පර්යේෂණ සිදු කළ මැක්ස් ප්ලැන්ක් ආයතනයේ අවුරුදු 28ක් පමණ ශාකවල විකෘති අධ්‍යයනය කළ වොල්ෆ්-එකාට් ලෝනිග් පිබිදෙව්! සමඟ කළ සාකච්ඡාවකදී මෙසේ පැවසුවා. “ජීව විද්‍යාඥයන් අතර පමණක් නෙවෙයි විශේෂයෙන්ම ප්‍රවේණි විද්‍යාඥයන් හා ශාක බෝකරන්නන් අතරත් පුදුමාකාර සතුටක් ඇති වුණා. ඔවුන් හිතුවේ පාරම්පරික ක්‍රමයට සතුන් හා ශාක බෝ කිරීම වෙනස් කිරීමට කාලය පැමිණ තිබෙනවා කියලයි. ඒ වගේම හිතකර විකෘති තෝරාගෙන අලුත් සහ වඩාත් හොඳ, ශාක හා සතුන් ඇති කරන්න පුළුවන් කියලත් ඔවුන් හිතුවා.”e

      තමන්ට පරිණාමය වේගවත් කරන්න හැකි වෙයි කියා සිතාගෙන එක්සත් ජනපදයේ ආසියාවේ හා යුරෝපයේ සිටින විද්‍යාඥයන් එකතු වී විශාල මුදලක් යට කර ඔවුන්ගේ පර්යේෂණ පැවැත්තුවා. අවුරුදු 40ක් පුරා කරන ලද ඔවුන්ගේ පර්යේෂණවල ප්‍රතිඵලය වූයේ කුමක්ද? එක් විද්‍යාඥයෙක් වන පීටර් ෆොන් සේංබුෂ් ඊට පිළිතුරක් දුන්නේ මෙසේයි. “මෙතරම් විශාල මුදලක් වැය කරලත් විකෘති මගින් වඩා හොඳ ශාක ඇති කරන්න දැරූ උත්සාහය අසාර්ථක වුණා.” ලෝනිග් මේ ගැන මෙසේ පැවසුවා. “විද්‍යාඥයන්ට තිබූ බලාපොරොත්තුව බොඳ වී ගියා. මේ සම්බන්ධයෙන් අත්හදා බැලීම සඳහා විකෘති පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට වෙනම අංශයක් පිහිටුවා තිබුණත්, 1980 ගණන්වලදී බටහිර රටවල් තමන් දැරූ උත්සාහය සම්පූර්ණයෙන්ම අත්හැරියා. විකෘති මගින් බිහි කළ සතුන් හා ශාක දුර්වල වුණා නැත්නම් මිය ගියා.”f

      විකෘති පිළිබඳව පසු ගිය අවුරුදු 100 පුරාම කළ පර්යේෂණවලින් සහ අවුරුදු 70ක් තිස්සේ කළ බිහි කිරීම්වලින්, විකෘති තුළින් අලුත් විශේෂ බිහි කිරීමට හැකි වී තිබෙනවාද? තිබෙන සාක්ෂි සලකා බැලුවායින් පස්සේ ලෝනිග් මෙසේ පැවසුවා. “සතුන් හෝ ශාක විශේෂයකින් ගත් විකෘතිවලින් අලුත් විශේෂයක් බිහි කරන්න බැහැ. මෙම නිගමනය 20වන සියවසේදී කර තිබෙන පර්යේෂණවල ප්‍රතිඵලවලින් ඔප්පු වෙනවා. අපට දකින්ට තිබෙන්නේ ඕනෑම විශේෂයක යම් සීමාවක් තිබෙන බවයි. එම සීමාව අහම්බෙන් සිදු වන විකෘති මගින් වෙනස් කරන්න බැහැ.”

      මේ ගැන ටිකක් සිතා බලන්න. දැනුමත් හැකියාවත් තිබෙන විද්‍යාඥයන්ට එක් විශේෂයකින් විකෘති ලබාගෙන අලුත් විශේෂයක් බිහි කරන්න බැරි වුණා නම් කිසිම කෙනෙකුගේ මැදිහත් වීමක් නැතුව අහඹු සිදුවීමකින් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිද? විකෘති මගින් අලුත් විශේෂ ඇති වුණේ නැති බව ඔප්පු වී තිබෙනවා නම් පරිණාමයට අවශ්‍ය ආකාරයට විශාල වෙනස්කම් සිදු වුණේ කොහොමද?

      ස්වාභාවික වරණය මගින්ද?

      ස්වාභාවික වරණය මගින් පරිසරයට අනුව සකස් වන ශාක හා ජීවීන් පමණක් ඉතුරු වී අනිකුත් ඒවා විනාශ වෙන බව ඩාවින් විශ්වාස කළා. නවීන දින පරිණාමවාදීන් උගන්වන්නේ විවිධ විශේෂයන් විවිධ ප්‍රදේශවලට පැතිර ගිය විට ස්වාභාවික වරණය මගින් එම විශේෂ තුළ වෙනස්කම් ඇති කර පරිසරයට අනුව සකස් වීමට ඉඩහැරිය බවයි. ඒ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් එක් විශේෂයකින් අලුත් විශේෂයක් ඇති වුණා කියායි.

      විකෘති මගින් අලුත් සත්ව හෝ ශාක වර්ග බිහි කළ නොහැකි බව ඔප්පු වී තිබෙනවා. ඒ බව ලිපියේ කලින් සඳහන් කළා. එසේනම් ස්වාභාවික වරණය මගින් වඩාත් සුදුසු විකෘති තෝරාගෙන අලුත් විශේෂ ඇති කළ හැකි බවට විද්‍යාඥයන් ඉදිරිපත් කරන සාක්ෂි මොනවාද? එක්සත් ජනපදයේ විද්‍යා කටයුතු පිළිබඳ ජාතික ඇකඩමිය මගින් 1999දී මුද්‍රණය කළ අත් පොතක මෙවැනි අදහසක් පළ කරනවා. “මේ ආකාරයෙන් අලුත් විශේෂයන් බිහිවීමට කදිම සාක්ෂියක් වන්නේ ගලාපගස් දූපත්වල සිටින පිංචි නමැති කුඩා කුරුලු විශේෂ 13යි.”

      පීටර් සහ රෝස්මරී ග්‍රාන්ට් පෙරමුණ ගෙන පර්යේෂණ කණ්ඩායමක් සමඟ මේ පිංචියන් ගැන අධ්‍යයනය කරන්න පටන්ගත්තේ 1970 ගණන්වලදීයි. ඔවුන් සොයාගත්තේ දූපතට නියඟයක් ආ විට ඊට සාර්ථකව මුහුණ දීමේ හැකියාව තිබෙන්නේ ලොකු හොටක් තිබෙන පිංචියන්ට කියායි. මේ පිංචියන් විශේෂ 13 හඳුනාගන්නේ උන්ගේ හොටේ ප්‍රමාණය හා හැඩය අනුව නිසා මේ සොයාගැනීම සැලකිය යුතු දෙයක් කියා ඔවුන් සිතුවා. එම අත් පොතේ තවදුරටත් සඳහන් කර තිබුණේ “ග්‍රාන්ට් යුවළ ගණන් බලා තිබෙන විදිහට සෑම අවුරුදු දහයකට වරක්ම මේ දූපත්වලට නියඟයක් ආවොත් අවුරුදු 200කට පමණ පස්සේ අලුත් පිංචි විශේෂයක් බිහි වෙයි” කියලයි.

      කෙසේවෙතත් මේ අත් පොතේ සඳහන් කර නැති ඉතා වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. නියඟය අවසන් වූ විගස කුඩා හොටක් ඇති පිංචියන්ගේ සංඛ්‍යාව නැවත ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියා. මේ අනුව පීටර් ග්‍රාන්ට් සහ උපාධිධාරී ශිෂ්‍යයෙක් වන ලයිල් ගිබ්ස් 1987දී නේචර් නමැති සඟරාවේ මෙසේ වාර්තා කළා. ‘අපි හිතපු විදිහට නෙවෙයි ස්වාභාවික වරණය සිදු වුණේ.’ පසුව 1991දී ග්‍රාන්ට් පැවසුවේ ස්වාභාවික වරණය එකම විදිහකට සිදු වන්නේවත්, එකම විශේෂයකට හැමවිටම අවස්ථාව දෙන්නේවත් නැහැ කියායි. දේශගුණය වෙනස් වන හැමවිටම මෙය දකින්න ලැබෙනවා. පරීක්ෂකයන් දුටු තවත් දෙයක් නම් සමහර අවස්ථාවලදී පිංචියන් විශේෂ දෙකක් එකට එකතු වී පැටව් බෝ කිරීමයි. මේ ආකාරයට ඇති වන පැටවුන්ට උන්ගේ දෙමාපියන්ට වඩා පරිසරයට හොඳින් හැඩගැසීමේ හැකියාව තිබෙනවා. ග්‍රාන්ට් යුවළ කියා සිටින්නේ දිගටම මේ ආකාරයට සිදු වුණොත් අවුරුදු 200ක කාලයක් ඇතුළත විශේෂයන් දෙකක් එකතු වී එක් විශේෂයක් ඇති වෙයි කියලයි.

      වර්ෂ 1966දී පරිණාම පිළිබඳ ජීව විද්‍යාඥයෙක් වන ජෝර්ජ් ක්‍රිස්ටෝෆ විලියම්ස් මෙසේ ලිව්වා. “පරිණාමයට හේතු වුණේ ස්වාභාවික වරණයයි කියා පැවසීම ඇත්තටම අපරාධයක්. විශේෂයක් තුළ යම් සකස් කිරීම් දිගටම පවත්වාගෙන යෑමට ස්වාභාවික වරණය උපකාරවත් වෙයි කියා පැවසුවොත් එය වඩාත් නිවැරදියි.” පරිණාමවාදියෙක් වන ජෙෆ්රි ෂ්වෝට්ස් 1999දී පැවසුවේ, විලියම්ස් කියූ දෙය නිවැරදි නම් ස්වාභාවික වරණය මගින් සිදු වන්නේ, තිබෙන විශේෂයකට තම වර්ගයාගේ පැවැත්ම සඳහා යම් සකස් වීම් කරන්න දායක වීම මිස “අලුත් යමක් බිහි කිරීම නොවෙයි” කියලයි.

      ඩාවින් උදාහරණයක් ලෙස පෙන්වූ පිංචීන් තවම වෙනස් වී නැහැ. උන්ගෙන් ‘අලුත් යමක්’ බිහි වීත් නැහැ. ඊට අමතරව උන්ගෙන් විශේෂයන් දෙකක් එකතු වී වර්ගයා බෝ කිරීමෙන් ඇති වන්නේ විශේෂයක්ද කියා හඳුනාගැනීමට පරිණාමවාදීන්ට තිබූ හේතු මේ පැටවුන් ළඟ ඇත්තෙත් නැහැ. තවත් දෙයක් නම් ප්‍රසිද්ධ විද්‍යා ආයතන පවා විටින් විට තමන්ගේ මතයන්ට එකඟ වන තොරතුරු පමණක් ඉදිරිපත් කරන බවයි පෙනෙන්න තිබෙන්නේ.

      පරිණාමය ෆොසිල වාර්තාවෙන් ඔප්පු වේද?

      කලින් සඳහන් කළ ඇකඩමිය විසින් පළ කළ අත් පොතේ පරිණාමය සහතික කරන්න ඕන තරම් සාක්ෂි තිබෙන බවට අදහසක් පළ වුණා. එහි කියන්නේ “මාළුන්ගෙන් උභයජීවීන්, උභයජීවීන්ගෙන් උරගයන්, උරගයන්ගෙන් ක්ෂීරපායින් යන මේ හැම විශේෂයක්ම පරිණාමය වූ ආකාරය ෆොසිලවලින් පැහැදිලිවම දැකගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වානර විශේෂයන් එකින් එකට පරිවර්තනය වුණා කියා පැවසීමට ඕන තරම් ෆොසිල වාර්තාත් තිබෙනවා” කියලයි.

      මෙය නිවැරදි වාර්තාවක්ද? තවත් පිළිගත් ප්‍රකාශනයක් වන නැෂනල් ජියොග්‍රෆික් සඟරාව 2004දී ෆොසිල වාර්තා ගැන මෙසේ පවසා තිබුණා. “මෙය හරියට චිත්‍ර පටියක තිබෙන දර්ශන පෙළ වගෙයි. නමුත් සෑම දර්ශන 1,000කින් 999ක්ම නැති වී තිබෙනවා.” එසේ නම් පැහැදිලි සාක්ෂි තිබෙනවා කියා සිතිය හැකිද? ෆොසිල වාර්තාවලින් ඇත්තටම හෙළි කරන දේ පිළිබඳව දැඩි ලෙස පරිණාමය විශ්වාස කරන්නෙක් වන නයිල්ස් එල්ඩ්‍රෙජ් පවසන්නේ, සෑහෙන කාලයක් ගෙවී ගොස් තිබුණත් ෆොසිලවලින් “එක් එක් විශේෂයන් තුළ ඉතා සුළු වෙනස්කම් පමණයි අපට දකින්න තිබෙන්නේ” කියලයි.

      අද දක්වා ලොව පුරා සිටින විද්‍යාඥයන් විශාල ෆොසිල මිලියන 200ක් පමණ සහ කුඩා ෆොසිල කැබලි බිලියන ගණන් සොයාගෙන පරීක්ෂණ පවත්වා තිබෙනවා. ෆොසිල වාර්තාවලින් පෙනී යන්නේ සියලුම ප්‍රධාන සත්ව වර්ග ඒ ඒ වර්ග ලෙස ඇති වූ අතර පරිණාමයක් ලෙස හැඳින්විය හැකි වෙනස් වීම් ඒවායේ දකින්න නැති බවයි. බොහෝ පර්යේෂකයන් ඊට එකඟ වෙනවා. ජීව විද්‍යාඥයෙක් වන ජොනතන් වෙල්ස් ෆොසිල වාර්තා පරීක්ෂා කළායින් පසු මෙවැන්නක් පැවසුවා. “සත්ව හා ශාක ලෝකය තුළ තිබෙන වංශ හා වර්ග දෙස බලද්දී මේවා එක පොදු ජීවියෙකුගෙන් ක්‍රම ක්‍රමයෙන් වෙනස් වී ඇති වුණා කියා පැවසීම ෆොසිල වාර්තාවෙන් කොහෙත්ම ඔප්පු වී නැහැ. පරිණාමය මතයක් පමණයි. ඒ මතය ඔප්පු කරන්න හරි හැටි සාක්ෂි නැහැ.”

      පරිණාමය—සත්‍යයක්ද අසත්‍යයක්ද?

      ප්‍රසිද්ධ පරිණාමවාදීන් බොහෝදෙනෙක් පරිණාමය සත්‍යයක් හැටියට ඉදිරිපත් කිරීමට හේතුව කුමක්ද? මේ අයගෙන් කෙනෙක් වන රිචඩ් ලෙවන්ටන් ඩෝකින්ගේ තර්ක කිහිපයක් ප්‍රතික්ෂේප කළායින් පසු මේ ප්‍රශ්නයට පිළිතුරු සපයනවා. ඔහු කියා සිටින්නේ “අපේ වගකීම වන්නේ දකින දේ මත පමණක් නිගමනයකට ඒමයි.g නොපෙනෙන දෙවි කෙනෙක් මේවාට සම්බන්ධයි යන අදහසට අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ.” මේ නිසයි බොහෝ විද්‍යාඥයන් බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවා යන අදහසට එකඟ නොවන්නේ.

      ඒ හා සමාන අදහසක් සයන්ටිෆික් අමෙරිකන් සඟරාවේ සමාජ විද්‍යාඥයෙක් වන රොඩ්නි ස්ටාක් පවසා තිබුණා. “විද්‍යාව හදාරන්න කැමති නම් තමන්ගේ ආගම අත්හරින්න වෙනවා යන ආකල්පය අවුරුදු 200ක් පුරා තිබිලා තියෙනවා.” බොහෝ පර්යේෂණ පවත්වන විශ්ව විද්‍යාලවල “විද්‍යාඥයන් අතර සිටින ආගම දහමට ලැදි අයව ඔවුන් කොන් කරන නිසා මේ අයට සිදු වන්නේ කට වහගෙන ඉන්නයි” කියා ඔහු තවදුරටත් පවසනවා. ස්ටාක්ගේ අදහසට අනුව “විද්‍යා ක්ෂේත්‍රයේ පිළිගැනීමක් හා ජනප්‍රියත්වයක් ලබාගන්නේ ආගමක් අදහන්නේ නැති අය පමණයි.”

      ඔබ පරිණාමය සත්‍යයක් හැටියට පිළිගන්න කැමති නම්, ඔබට සිදු වන්නේ අදේවවාදී හා අඥෙයවාදී විද්‍යාඥයන් තම පෞද්ගලික මතයන් ඉදිරිපත් නොකර සැබෑ විද්‍යාත්මක දේ පමණක් ඔබට හෙළි කරයි කියා විශ්වාස කිරීමටයි. ඊට අමතරව සියවසක් පුරා විකෘති ගැන අධ්‍යයනය කරලා, විකෘති මගින් අලුත් විශේෂ ඇති වුණේ නැති බව ඔප්පු වී තිබුණත්, ඇති වුණා කියා විශ්වාස කිරීමටයි. ප්‍රධාන සත්ව වර්ගයන් ඒ ඒ වර්ග ලෙස ඇති වූ බවත් ඉන් එහාට විශාල පරිණාමයක් සිදු වී නැති බවත් ෆොසිල වාර්තාවෙන් ඔප්පු වී තිබුණත් සියලු සත්ව වර්ගයන් පොදු ජීවියෙකුගෙන් පරිණාමය වුණා කියා ඔබ විශ්වාස කිරීමට සූදානමින් සිටිය යුතුයි. මෙවැනි විශ්වාසයන් පදනමක් සහිතද? නැතහොත් පදනමක් රහිතද? එසේනම් පරිණාමය—සත්‍යයක්ද අසත්‍යයක්ද?

      [පාදසටහන්]

      a බල්ලන්ව බෝකරන්නන්ට හැකියාව තිබෙනවා වර්ග දෙකක බල්ලන් එකතු කිරීමෙන් කකුල් කොට, ලෝම දිග බලු පැටවුන්ව බෝ කරන්න. නමුත් මෙවැනි වෙනස්කම් කරද්දී පැටවුන්ගේ ජාන විකෘති වෙනවා. උදාහරණයකට කුරු බල්ලන් (dachshund) ඇති වන්නේ උන්ගේ අස්ථි නියමාකාරයෙන් හැදෙන්නේ නැති නිසයි.

      b මෙම ලිපියේ “විශේෂ” යන වචනය භාවිත කළත් එම වචනය බයිබලයෙහි සඳහන් වී නැහැ. බයිබලයේ භාවිත කරන්නේ ඊට වඩා පුළුල් අර්ථයක් ඇති “වර්ග” යන වචනයයි. බොහෝදුරට විද්‍යාඥයන් අලුත් විශේෂයක් පරිණාමය වෙනවා කියා කිව්වත්, එය ඇත්තටම බයිබලයේ සඳහන් කර ඇති ‘වර්ගය’ තුළ සිදු වන වෙනස් වීමක් පමණයි.

      c “ජීවීන් වර්ග කරන ආකාරය” යන කොටුව බලන්න.

      d ජීවියෙකුගේ හා ශාකයක වැඩීමට ඒවායේ සෛලවල අභ්‍යන්තරයේ තිබෙන කොටස් දායක වෙන බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා.

      e මෙහිදී ලෝනිග් පවසන්නේ ඔහුගේ පෞද්ගලික අදහස් පමණයි. මේවා ඔහු වැඩ කරන ආයතනයේ අදහස් නොවිය හැකියි.

      f විකෘති පිළිබඳව කළ පර්යේෂණවලින් පෙනී ගියේ යම් විශේෂයක් තුළ බිහි කළ හැකි විකෘති සීමිත බවයි. බිහි කළ ශාක විකෘතිවලින් සියයට එකක් පමණයි වැඩි පර්යේෂණ සඳහා යොදාගත හැකි වුණේ. එයිනුත් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් පමණයි වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකි වුණේ. සතුන් සම්බන්ධයෙන් කළ පර්යේෂණ මීටත් වඩා අසාර්ථක වූ නිසයි සියලු පර්යේෂණ නතර කළේ.

      g මේ මතයට අනුව ඔවුන් විශ්වාස කරන්නේ දකින දේ පමණක් සැබෑයි. ජීවීන් ඇතුළුව විශ්වයේ තිබෙන සියල්ලම ඇති වෙලා තිබෙන්නේ කිසිම දෙවි කෙනෙකුගේ මැදිහත් වීමකින් තොරවයි කියායි.

      [15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

      “සතුන් හෝ ශාක විශේෂයකින් ගත් විකෘතිවලින් අලුත් විශේෂයක් බිහි කරන්න බැහැ”

      [16වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

      පිංචියන් දේශගුණයට අනුව සකස් වුවත් උන් පරිණාමයක් කියා සඳහන් කරන්න බැහැ

      [17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

      ප්‍රධාන සත්ව වර්ගයන් ඒ ඒ වර්ග ලෙස ඇති වූ බවත් ඉන් එහාට විශාල පරිණාමයක් සිදු වී නැති බවත් ෆොසිල වාර්තාවෙන් පෙනේ

      [14වන පිටුවේ වගුව]

      (මුද්‍රිත පිටපත බලන්න)

      ජීවීන් වර්ග කරන ආකාරය

      ජීවීන් වර්ග කර තිබෙන්නේ විශේෂයේ සිට රාජධානිය දක්වා.h උදාහරණයක් හැටියට මිනිසාව හා පලතුරු මැස්සාව පමණක් වර්ග කර තිබෙන ආකාරය පහත සඳහන් වේ.

      මිනිසා පලතුරු මැස්සා

      විශේෂය සේපියන්ස් මැලොනෝගැස්ටර්

      ගණය හෝමෝ ඩ්‍රොසොෆිලා

      කුලය හොමිනිඩ් ඩ්‍රොසොෆිලිඩ්

      ගෝත්‍රය ප්‍රිමේට්ස් ඩිප්ටරා

      වර්ගය ක්ෂීරපායි කෘමීන්

      වංශය කෝඩේටා සන්ධිපාදිකයෝ

      රාජධානිය සත්ව සත්ව

      [පාදසටහන]

      h සටහන: උත්පත්ති පළමුවන පරිච්ඡේදයේ පවසන්නේ සියලුම ශාක හා සතුන් “ඒ ඒ වර්ගයට අනුව” හටගන්නවා කියායි. (උත්පත්ති 1:12, 21, 24, 25) බයිබලයේ භාවිත කරන “වර්ගය” යන වචනය විද්‍යාවෙන් හඳුන්වන “විශේෂය” යන වචනයට සමාන නැහැ.

      [හිමිකම් විස්තර]

      මෙම ශ්‍රේණිගත කිරීම ලබාගත්තේ ජොනතන් වෙල්ස් විසින් ලියූ පොතකින්. එම පොත—Icons of Evolution—Science or Myth? Why Much of What We Teach About Evolution Is Wrong.

      [15වන පිටුවේ පින්තූර]

      විකෘති වූ පලතුරු මැස්සෙක් (ඉහළ) තවමත් පලතුරු මැස්සෙක්මයි

      [හිමිකම් විස්තර]

      © Dr. Jeremy Burgess/​Photo Researchers, Inc.

      [15වන පිටුවේ පින්තූර]

      ශාක සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් හෙළි වූයේ එක් ශාකයකින් ලබාගත හැකි අලුත් විකෘති සීමිත බවයි. (ලොකු මල විකෘතියක්)

      [13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

      From a Photograph by Mrs. J. M. Cameron/​U.S. National Archives photo

      [16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

      Finch heads: © Dr. Jeremy Burgess/​Photo Researchers, Inc.

      [17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

      Dinosaur: © Pat Canova/​Index Stock Imagery; fossils: GOH CHAI HIN/​AFP/​Getty Images

  • නිර්මාතෘවරයාව විශ්වාස කිරීමට හේතු
    2006 පිබිදෙව්! | සැප්තැම්බර්
    • නිර්මාතෘවරයාව විශ්වාස කිරීමට හේතු

      විද්‍යා ක්ෂේත්‍රවල නිරත වන ප්‍රවීණයන් බොහෝදෙනෙක් බුද්ධිමය නිර්මාණවලින් සොබාදහම පිරී ඇති බව ඒත්තුගෙන තිබෙනවා. ජීවීන්ගේ සංකීර්ණ සැකැස්ම දෙස බලද්දී ඒවා ඉබේ ඇති වුණා කීම තර්කානුකූල නොවන බවයි ඔවුන්ගේ අදහස. එමනිසා විද්‍යාඥයන් හා පර්යේෂකයන් හුඟදෙනෙක් නිර්මාතෘවරයෙකුව විශ්වාස කරනවා.

      මොවුන්ගෙන් කීපදෙනෙක් දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්. බයිබලයේ සඳහන් වන දෙවි විශ්වයේ නිර්මාතෘ මෙන්ම මැවුම්කරු බව ඔවුන් ඒත්තුගෙන තිබෙනවා. එවැනි නිගමනයකට එළඹුණේ ඇයි කියා පිබිදෙව්! ලේඛකයන් ඔවුන්ගෙන් විමසූ විට මතු දැක්වෙන සිත්ගන්නා අදහස් ඔවුන් ඉදිරිපත් කළා.a

      “ජීවීන් තේරුම්ගත නොහැකි තරම් සංකීර්ණයි”

      ◼ වොල්ෆ්-එකාට් ලෝනිග්

      පෞද්ගලික තොරතුරු: වසර 28ක් පුරා මම ශාකවල ජාන විකෘති පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ පවත්වා තිබෙනවා. ඉන් වසර 21ක්ම මම රැකියාව කළේ ජර්මනියේ කොලාන්හි ශාක පිළිබඳ පර්යේෂණ සිදු කළ මැක්ස් ප්ලැන්ක් ආයතනයෙයි. ඒ වගේම මේ වන තුරු වසර 30ක පමණ කාලයක් පුරා මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙකු ලෙසත් සේවය කරමින් සිටිනවා.

      ජාන පිළිබඳව පර්යේෂණ පැවැත්වීමෙන් හා භෞතික විද්‍යාව මෙන්ම රූප විද්‍යාව වැනි ජීව විද්‍යාත්මක විෂයන් හැදෑරීමෙන් ජීවය මොන තරම් සංකීර්ණද කියා මම දැනගත්තා. මේ විෂයන් හැදෑරීමෙන් ඉතාම සරල ජීවියෙක් පවා බිහිවීම පිටුපස යම් බුද්ධිමත් කෙනෙක් සිටිය යුතු බව පිළිගන්න මට සිදු වුණා.

      විද්‍යා ක්ෂේත්‍රයේ සිටින්නන් හොඳින්ම දන්නවා ජීවය මොන තරම් සංකීර්ණද කියලා. ඒත් ඔවුන් කැමති වන්නේ මෙවැනි පුදුමාකාර දේවල් පරිණාමයෙන් ඇති වුණා කියා පිළිගන්නයි. කොහොමවුණත් මගේ අදහස නම් විද්‍යාත්මක ලෙස බලන කල බයිබලයේ මැවීම පිළිබඳ වාර්තාවට විරුද්ධව නඟා ඇති තර්කයන් බොරු වෙන බවයි. මොකද මම වසර ගණනාවක් පුරා එවැනි තර්කයන් ගැන අධ්‍යයනය කර තිබෙනවා. ජීවීන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදීමෙන් පසුව හා ජීවය පැවතීමට හැකි වන ලෙසින් විශ්වය තුළ පොළොව පිහිටුවා තිබෙන ආකාරය ගැන සලකා බැලීමෙන් පසුව මේ සියල්ලට නිර්මාතෘ කෙනෙක් සිටිය යුතු බව විශ්වාස නොකර ඉන්න මට බැහැ.

      “හැම දේකටම හේතුවක් තියෙනවා”

      ◼ බයිරන් ලියෝන් මෙඩෝස්

      පෞද්ගලික තොරතුරු: මම ඉන්නේ එක්සත් ජනපදයේ. වැඩ කරන්නේ ජාතික ගුවන් ගමන් හා අභ්‍යවකාශ පරිපාලන ආයතනයේ ඉලෙක්ට්‍රොනික විද්‍යා අංශයේ ලේසර් කිරණවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්. දැන් මම ලෝක දේශගුණය, කාලගුණය හා වෙනත් සංසිද්ධීන් පාලනය කළ හැකි තාක්ෂණයක් වැඩිදියුණු කරමින් ඉන්නවා. ඒ වගේම මම වර්ජීනියාවල කිල්මාර්නක් නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙක්.

      මගේ වැඩවලට බොහෝදුරට භෞතික නීති සම්බන්ධයි. සමහර දේවල් සිදු වෙන විදිහත්, ඒවා සිදුවීමට හේතුවත් තේරුම්ගන්න මම උත්සාහ කරනවා. මේ ක්ෂේත්‍රයේ අධ්‍යයනයන්වල යෙදෙද්දී දකින හැම දේකටම හේතුවක් තියෙන බව පේනවා. විද්‍යාත්මකව බලන කල සොබාදහමේ පවතින සියල්ලේ මූලාරම්භක හේතුව, නිර්මාතෘ දෙවි කෙනෙක් කියා පිළිගන්න සිද්ධ වෙනවා. සොබාදහමේ භෞතික නීති කොතරම් ස්ථිරද කියනවා නම් සංවිධායකයෙකු නැතහොත් නිර්මාතෘවරයෙකු ඒවා පිහිටුවා තිබෙන බව විශ්වාස කරන්නම වෙනවා.

      එළඹෙන්න සිදු වන්නේ මෙවැනි නිගමනයකට වුණත් බොහෝ විද්‍යාඥයන් පරිණාමය විශ්වාස කරන්නේ ඇයි? සාක්ෂි තිබුණත් බොහෝ පරිණාමවාදීන් පිළිගන්නේ තමන්ගේ මතවලට ගැළපෙන තොරතුරු පමණක් විය හැකියි. මෙවැනි දේවල් විද්‍යා ක්ෂේත්‍රයේ සිදුවීම පුදුමයක් නොවෙයි. නමුත් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත නොහැකි වුණත් නිරීක්ෂණයකින් එළඹෙන නිගමනය සියයට සීයක් නිවැරදි වන්නේ නැහැ. උදාහරණයකට ලේසර් කිරණවල ක්‍රියාකාරිත්වය ගැන පර්යේෂණය කරන කෙනෙක් ආලෝකය තරංගයක් මෙන් ක්‍රියා කරන නිසා ආලෝකය ධ්වනි තරංගයක් වැනි තරංගයක් බව තරයේ කියා සිටිය හැකියි. එහෙත් ඔහුගේ නිගමනය සීයට සීයක් නිවැරදි නොවේවි. මොකද ආලෝකය පෝටන ලෙස හැඳින්වෙන අංශු කාණ්ඩයකින් හෙබි කදම්බයක් ලෙසත් ක්‍රියා කරන බව සාක්ෂිවලින් පෙන්වනවා. එලෙසම පරිණාමය සැබෑවක් ලෙස දක්වන අය තම නිගමනයන්ට එළඹී තිබෙන්නේ සම්පූර්ණයෙන්ම ඔප්පු කරන ලද සාක්ෂි අනුව නෙවෙයි. එමෙන්ම ඔවුන් නිගමනවලට එළඹෙන්නේ තමන් එම සාක්ෂිය දෙස බලන ආකාරය අනුවයි.

      පරිණාමය සත්‍යයක් කියා යමෙක් පිළිගන්නවා නම් ඒක මට පුදුමයක්. මොකද තාමත් පරිණාමයවාදී “ප්‍රවීණයන්” පවා එය කෙසේ සිද්ධ වෙන්න ඇද්දැයි විවාද කරමිනුයි ඉන්නේ. උදාහරණයකට, දෙකයි දෙකයි හතරයි කියා ඇතැම් ප්‍රවීණයන් පවසද්දී තවත් අය 3ක් නැත්නම් 6ක් වෙන්නත් පුළුවන් කියා පැවසුවොත් එම එකතු කිරීම සැබෑවක් ලෙස සැලකිය හැකිද? විද්‍යාව කියන්නේ පරීක්ෂණය, නිරීක්ෂණය හා නිගමනය තුළින් යමක් සොයාගැනීමයි. විද්‍යාවෙන් යමක ඇත්ත නැත්ත ඔප්පු කරන්න නම් ඒ සොයාගත් දේ යළි නිපදවීමේ හැකියාවක් තිබෙන්න ඕන. ඒ අනුව සියලුම ජීවීන් එක ජීවියෙකුගෙන් පරිණාමය වුණා යන සිද්ධාන්තය විද්‍යාත්මකව බලන කල සත්‍යයක් වන්නේ නැහැ.

      “නැති දෙයකින් යමක් ඇති වෙන්න බැහැ”

      ◼ කෙනත් ලොයිඩ් ටානාකා

      පෞද්ගලික තොරතුරු: භූ විද්‍යාඥයෙක් වන මම එක්සත් ජනපදයේ ඇරිසෝනාහි ෆ්ලැග්ස්ටාෆ් නගරයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටිනවා. වසර 30කට ආසන්න කාලයක් පුරා ග්‍රහලෝකවල භූ විද්‍යාව ඇතුළු විවිධ භූ විද්‍යා ක්ෂේත්‍රවල විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීමට මම සහභාගි වෙලා තියෙනවා. පිළිගත් විද්‍යා සඟරාවල මගේ පර්යේෂණ ගණනාවක් මෙන්ම අඟහරු ග්‍රහයාගේ භූ විද්‍යා සිතියම් පළ කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන මම හැම මාසෙකම පැය 70ක් විතර ගත කරනවා අනිත් අයට බයිබලය කියවන්න උනන්දු කරන්න.

      මට උගන්වා තිබෙන්නේ පරිණාමය විශ්වාස කිරීමට වුණත් මෙතරම් විශාල විශ්වයක් සෑදීමට අවශ්‍ය වූ අතිමහත් බලය බලවත් නිර්මාතෘවරයෙකු නැතුව ඇති වෙයි කියා හිතන්න බැහැ. නැති දෙයකින් යමක් ඇති වෙන්න විදිහක් නැහැ. නිර්මාතෘවරයෙකු හෙවත් මැවුම්කරුවෙකු ඉන්න බවට බයිබලයෙන්ම ප්‍රබල තර්කයක් සොයාගන්න පුළුවන්. මගේ ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් සොයාගෙන ඇති විද්‍යාත්මක සත්‍යයන් ගණනාවක් බයිබලයේ තියෙනවා. උදාහරණයකට පෘථිවිය ගෝලාකාර බවත්, එය “කිසිත් නැතිකමේ” එල්ලෙන බවත් එහි සඳහන් වෙනවා. (යෝබ් 26:7; යෙසායා 40:22) බයිබලයේ මෙවැනි සත්‍යයන් සඳහන් වී තිබුණේ මිනිසුන් ඒවා සොයාගැනීමට බොහෝ කලකට පෙරයි.

      අපව සෑදී තිබෙන ආකාරය ගැනත් හිතන්න. සංවේදන ඉන්ද්‍රියයන්, දැනුම හා අවබෝධය, බුද්ධිය පාවිච්චි කිරීමේ හැකියාව, අදහස් හුවමාරු කිරීමේ හැකියාව සහ හැඟීම් අප සතුව තිබෙනවා. විශේෂයෙන්ම අපිට ප්‍රේමය ලැබීමට, එය අගය කිරීමට හා පෙන්වීමට හැකියාව තිබෙනවා. මෙම අද්විතීය හැකියාව ඇති වුණේ කොහොමද කියලා පරිණාමය යන ඉගැන්වීම තුළින් පැහැදිලි කරන්න බැහැ.

      ‘පරිණාමය පැහැදිලි කිරීමට සොයාගෙන තිබෙන තොරතුරු ඇත්තෙන්ම විශ්වාසදායකද නිවැරදිද’ කියා ඔබම කල්පනා කර බලන්න. භූ විද්‍යාව ගැන අපි දන්නා තොරතුරු අසම්පූර්ණයි, සංකීර්ණයි වගේම පැටලිලි සහිතයි. පරීක්ෂණාගාරවලදී කරන ලද විද්‍යාත්මක අත්හදා බැලීම්වලින් පරිණාම ක්‍රියාවලිය සිදු වූ ආකාරය සීයට සීයක් ඔප්පු කිරීමට පරිණාමවාදී විද්‍යාඥයන් සමත් වී නැහැ. දත්ත එකතු කරගැනීමට විද්‍යාඥයන් දක්ෂ ලෙස පර්යේෂණ කළත් බොහෝවිට සිදු වන්නේ ඔවුන් තම සොයාගැනීම් ගැන පැහැදිලි කරද්දී ඔවුන්ගේ ආත්මාර්ථකාමි චේතනාවන් ඉස්මතු වීමයි. එම දත්තවලින් හරි නිගමනයකට එන්න බැරි නම් හෝ දත්ත එකිනෙකට සම්බන්ධ කරගත නොහැකි නම් විද්‍යාඥයන් පෙලඹී තිබෙන්නේ තමන්ගේම මතයන් ඉදිරිපත් කිරීමටයි. ඊට හේතුව ඔවුන් තම වෘත්තිය ගැනත් තමන් ගැනත් ඕනෑවට වඩා සිතීමයි.

      විද්‍යාඥයෙකු හා බයිබල් ශිෂ්‍යයෙකු වන මම සොයන්නේ සත්‍ය තොරතුරු වගේම සියලු සාධක හා නිරීක්ෂණයන් මගින් නිවැරදි අවබෝධයක් ලබාගැනීමටයි. මට හිතෙන්නේ නිර්මාතෘව විශ්වාස කිරීම තමයි සුදුසුම දේ කියලා.

      “සෛලය නිර්මාණයක් බව පැහැදිලියි”

      ◼ පෝල කින්චලෝ

      පෞද්ගලික තොරතුරු: සෛල හා අණුක ජීව විද්‍යාව මෙන්ම ක්ෂුද්‍ර ජීව විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි පර්යේෂිකාවක් ලෙස මට වසර කීපයක පළපුරුද්දක් තියෙනවා. මම දැනට සේවය කරන්නේ අමෙරිකාවේ ජෝර්ජියාවල ඇට්ලෑන්ටා නගරයේ ඉමරි විශ්ව විද්‍යාලයෙයි. ඒ වගේම රුසියානු භාෂාව කතා කරන අයට ස්වේච්ඡාවෙන් මම බයිබලය උගන්වනවා.

      ජීව විද්‍යාව හදාරද්දී සෛලය හා එහි අඩංගු කොටස් ගැන අධ්‍යයනය කිරීමට පමණක් මම අවුරුදු හතරක් මිඩංගු කළා. මම DNA හා RNA යන අණු, ප්‍රෝටීන, රසායනික මෙන්ම භෞතික විපර්යාසයන් ගැන වැඩි වැඩියෙන් ඉගෙනගනිද්දී ඒවාවල තිබෙන සංකීර්ණත්වය, සංවිධානාත්මකබව හා නිරවද්‍යතාව දැකලා හුඟක් පුදුම වුණා. සෛලය ගැන කෙනෙකුට මේ තරම් දේවල් ඉගෙනගන්න තියෙනවා නම් තවත් කොච්චර දේවල් තියෙනවද ඉගෙනගන්න කියන එක ගැන හිතාගන්නවත් බැහැ. සෛලය නිර්මාණයක් බව මට පැහැදිලියි. මම දෙවි කෙනෙකුව විශ්වාස කිරීමට එය එක් හේතුවක්.

      බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඒ දෙවි කවුද කියා දැනගත්තා. ඔහු මැවුම්කාර දෙවි වන යෙහෝවායි. ඔහු බුද්ධිමත් නිර්මාතෘවරයෙකු පමණක් නොව මා ගැන සැලකිලිමත් වන කරුණාවන්ත මෙන්ම ප්‍රේමණීය පියෙකු බවත් මට ස්ථිරයි. ජීවිතයේ අරමුණ ගැන බයිබලයේ පැහැදිලි කරලා තියෙනවා. ප්‍රීතිමත් අනාගතයක් ගැන බලාපොරොත්තුවක්ද එහි සපයනවා.

      පරිණාමවාදය ගැන පාසැලේදී ඉගෙනගන්නා බාලයන්ට කුමක් විශ්වාස කළ යුතුද කියා හිතාගන්න බැරි වෙන්න පුළුවන්. ඇත්තෙන්ම මෙය ඔවුන්ව වියවුලට පත් කරවන කාලයක්. ඔවුන් දෙවිව විශ්වාස කරනවා නම් ඔවුන්ගේ ඇදහිල්ලත් පරීක්ෂණයට ලක් වෙයි. අප අවට සොබාදහමේ තිබෙන පුදුමාකාර දේවල් සෝදිසි කර බැලීමෙනුත් නිර්මාතෘ හා ඔහුගේ ගුණාංග ගැන නොකඩවාම දැනුම ලබාගැනීමෙනුත් එම අභියෝගය ජයගන්න ඔවුන්ට හැකියි. මමත් ඒ විදිහට කරලා තියෙන නිසා මැවීම පිළිබඳව බයිබලයේ සඳහන් වාර්තාව නිවැරදි මෙන්ම විද්‍යාවට පටහැනි නොවන බව මට ස්ථිරයි.

      “නීති හරිම සරලයි”

      ◼ එන්රීකේ හර්නාන්ඩෙස් ලේමූස්

      පෞද්ගලික තොරතුරු: මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණකාලීන දේවසේවකයෙක්. ඒ වගේම මම මෙක්සිකෝවල ජාතික විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක් ලෙස වැඩ කරනවා. දැනට මම කරන්නේ තාරකා ඇතිවීමට විද්‍යාත්මක හේතු ගැන පර්යේෂණ පැවැත්වීමයි. ඒ වගේම සංකීර්ණ DNA අණුව සම්බන්ධයෙනුත් මම වැඩ කරලා තියෙනවා.

      ජීවය දෙස බලන කල එය ඉබේ ඇති වූවක් නොවන බව අවංකවම පිළිගන්න සිදු වෙනවා. උදාහරණයකට ඩිඔක්සිරයිබොනියුක්ලෙයික් අම්ලය හෙවත් DNA අණුවක අන්තර්ගත තොරතුරු සම්භාරය ගැන සිතා බලන්න. වර්ණදේහයක ඉබේ ඇතිවීම ගැන සංඛ්‍යාත්මකව බලනවා නම් එය හිතාගන්නවත් බැරි සංඛ්‍යාවක්. එම සංඛ්‍යාව, එකයි බිංදු දහඅටකින් ලියා දක්වන සංඛ්‍යාවක් වන ට්‍රිලියනයක් නවයෙන් වැඩි කර ඒ එන සංඛ්‍යාවෙනුත් එකක් ලෙසයි දැක්විය හැක්කේ. මේ අනුව බැලුවොත් එය අහම්බෙන් ඇති වුණා කියන්න පුළුවන්ද? බුද්ධිමය හැකියාවක් නැති ශක්තීන්ට වර්ණදේහයක් විතරක් නොව සියලුම ජීවීන් තුළ තිබෙන පුදුමාකාර සංකීර්ණ දේවල් ඇති කරන්න පුළුවන් කියා විශ්වාස කිරීම මට හිතෙන විදිහට ඇත්තෙන්ම මෝඩකමක්.

      විශ්වයේ තිබෙන කුඩාම දේවල් එනම් අණ්වීක්ෂයකින් බලා දැකගැනීමට සිදු වන දේවල් හා අහසේ දකින්න තිබෙන ග්‍රහලෝක වැනි විශාලතම දේවල් නිර්මාණය වීමට ඉවහල් වූ සෑම ද්‍රව්‍යයකම සංකීර්ණ ක්‍රියාකාරිත්වය ගැන මම අධ්‍යයනය කරද්දී මට පුදුම හිතුණා. මොකද ඒවා එසේ ක්‍රියා කිරීම සඳහා තිබෙන නීති හුඟක් සරලයි. මේ සියලුම නීති දෙස බලද්දී අතිදක්ෂ ගණිතඥයෙක් වගේම දක්ෂ චිත්‍ර ශිල්පියෙකු ඒවා පිහිටුවා තිබෙන බව පැහැදිලියි.

      බොහෝවිට ජනයා පුදුම වෙනවා මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියා ඔවුන්ට පවසද්දී. සමහරවිට ඔවුන් මගෙන් අහනවා කොහොමද ඔයා දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ කියලා. තමන් ඉගෙනගත් දේ සැබෑවක්ද කියා ඔප්පු කරන්න කියලවත්, තම විශ්වාසයන් ගැන යම් ගවේෂණයක නියැලෙන්න කියලවත් හුඟක් ආගම්වලින් ඔවුන්ට උගන්වන්නේ නැති නිසයි ඔවුන් එහෙම අහන්නේ. කොහොමවුණත් බයිබලයේ අපිට දිරිගන්වන්නේ “තීක්ෂණ ඥානය” පාවිච්චි කරන්න කියායි. (හිතෝපදේශ 3:21, නව අනුවාදය) සොබාදහමේ පවතින බුද්ධිමය නිර්මාණයන් දෙසත්, බයිබලයේ තිබෙන සාක්ෂි දෙසත් බලද්දී, මැවුම්කාර දෙවි කෙනෙක් ඉන්නවා විතරක් නෙවෙයි අපේ යාච්ඤාවලටත් ඔහු සවන් දෙනවා කියන එක මට ස්ථිරයි.

      [22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

      Mars in background: Courtesy USGS Astrogeology Research Program, http://astrogeology.usgs.gov

      [පාදසටහන]

      a මෙම ලිපියේ ඉදිරිපත් කර තිබෙන අදහස් එක් එක් ප්‍රවීණයන්ගේ පෞද්ගලික අදහස් පමණයි.

  • ශාකවල දැකුම්කලු මෝස්තර
    2006 පිබිදෙව්! | සැප්තැම්බර්
    • ශාකවල දැකුම්කලු මෝස්තර

      බොහෝ ශාකවල තිබෙන දඟරාකාර හැඩයන් ඔබ දැක තිබෙනවාද? උදාහරණයකට අන්නාසි ගෙඩියේ පොත්තේ තිබෙන දඟරාකාර හැඩය දෙස බලන්න. එක පැත්තකට කැරකෙන දඟර 8ක් සහ අනිත් පැත්තට කැරකෙන දඟර 5ක් හෝ 13ක් දැකගත හැකි වෙයි. (1. පින්තූරය බලන්න.) සූරියකාන්ත මලේ බීජ දෙස බලන කල එකිනෙක හරහා යන දඟර 55ත් 89ත් අතර සංඛ්‍යාවක් හෝ ඊට වැඩි ගණනක් දැකිය හැකියි. සමහරවිට මල්ගෝවාවලත් මෙයාකාර හැඩයක් ඔබට දකින්න පුළුවන් වෙයි. ශාකවල තිබෙන මෙම දඟරාකාර හැඩය ගැන ඔබ දැනගත්තා නම්, මින්පසු ඔබ ඕනෑම ශාකයක් දෙස දැඩි උන්දුවකින් බලාවි. මේ විදිහට ශාක වැඩෙන්නේ ඇයි? ශාකයක තිබෙන දඟර ප්‍රමාණය වැදගත්ද?

      ශාක වැඩෙන ආකාරය

      බොහෝ ශාකවල නටු, කොළ හා මල් වැඩෙන්න පටන්ගන්නේ ශාකයේ විභාජකය ලෙසින් හැඳින්වෙන ප්‍රරෝහ අග්‍රයෙන්. අලුතෙන් එන දළු, නටු හා මල් හඳුන්වන්නේ මෞලය ලෙසිනුයි. විභාජකයකින් එක් එක් මෞලයන් නැතහොත් දළු හා රිකිලි දමන්නේ කෝණාකාර දිශාවලටයි.a (2. පින්තූරය බලන්න.) උදාහරණයකට දළු දමන විදිහ ගැන බලමු. හැම දල්ලක්ම විශේෂ කෝණයකින් පිහිටුණේ නැත්නම් දඟරාකාර හැඩය ඇති වෙන්න විදිහක් නැහැ. මෙය විස්තර කරන්නේ කොහොමද?

      මෙය විස්තර කිරීම හිතන තරම් පහසු දෙයක් නෙවෙයි. එය තිතටම තිබෙන්නත් අවශ්‍යයි. සාමාන්‍යයෙන් ප්‍රරෝහ අග්‍රයෙන් දළු දමන්නේ අංශක 137.5කට ආසන්න කෝණයකින් පිහිටන ආකාරයටයි. මෙය හඳුන්වා තිබෙන්නේ “මූලික කෝණය” කියලයි. එසේ පිහිටන නිසයි දඟරාකාර හැඩයකට කොළ පිහිටන්නේ. (5. පින්තූරය බලන්න.) හදිසියෙන්වත් මෙම අගය වෙනස් වුණොත් දඟරයේ දෙවනි රවුමට එද්දී දළු දාන්න පටන්ගන්නේ එක පේළියට මිස දඟරාකාරයට නොවෙයි. (3. පින්තූරය බලන්න.)

      කලින් සඳහන් කළ මූලික කෝණය වෙන කිසි ගණිතමය ක්‍රමයකින් විස්තර කිරීම අපහසුයි. මූලික කෝණය සම්පූර්ණ වට රවුමකින් 5/8ක්, 8/13ක්, 13/21ක් ලෙස විස්තර කිරීමට උත්සාහ කළොත් යම් දුරකට එම කෝණයේ අගයට කිට්ටු වුණත් එය නිවැරදි අගය නොවෙයි. එමනිසා මූලික කෝණයට අනුව ශාකයක අලුත් දල්ලක් දැම්මොත් කවදාකවත් දළු දෙකක් එක පේළියට පිහිටන්නේ නැහැ. (4. පින්තූරය බලන්න.) ඒ නිසයි දඟරාකාර හැඩයකට එය අලංකාර ලෙස වැඩෙන්නේ.

      පරිගණකයක් මගින් ශාකයක දළු හා නටු වැඩෙන ආකාරය අනුරූපණය කළ හැකියි. එවිට අපිට දඟරාකාර හැඩය පැහැදිලිවම දකින්න පුළුවන් වෙනවා. නමුත් පරිගණකයෙන් එසේ අනුරූපණය කරද්දී මෙම මූලික කෝණයේ අගය අංශයකින් දශමයක්වත් එහා මෙහා වුණොත් දඟරාකාර හැඩය නැතුව පේළි පමණයි දැකගත හැකි වන්නේ.—5. පින්තූරය බලන්න.

      මලක පෙති කීයක් තිබෙනවාද?

      කලින් සඳහන් කළ මූලික කෝණයට අනුව දළු, නටු හා මල් පිහිටීම හේතුවෙන් සෑදෙන දඟර ප්‍රමාණය කොපමණද කියා මුල් වතාවට විස්තර කළේ ගණිතඥයෙකු වන ලියනාඩෝ ෆිබොනාච්චි 13වන සියවසේදීයි. එමනිසා එය හඳුන්වන්නේ ෆිබොනාච්චි අනුක්‍රමය ලෙසයි. එම අනුක්‍රමයට අනුව එකෙන් පසුව ලැබෙන හැම අගයක්ම කලින් අංක දෙකේ එකතුවක් වෙනවා. එනම් 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55 යන ආකාරයටයි.

      දඟරාකාර හැඩයන් තිබෙන ශාකවල මල් දෙස බලන කල ඒවායේ තිබෙන පෙති ප්‍රමාණය පිහිටා තිබෙන්නෙත් ෆිබොනාච්චි අනුක්‍රමයටයි. එය බොහෝදුරට අපිට දකින්න ලැබෙන්නේ බටර්කප්වල පෙති 5යි; බ්ලඩ්රූට්වල පෙති 8යි; ෆයර්වීඩ්වල පෙති 13යි; ඇස්ටර්වල පෙති 21යි; නිතර දක්නට ලැබෙන ඩේසිවල පෙති 34යි; මයිකල්මාස් ඩේසිවල පෙති 55යි නැත්නම් 89යි. (6. පින්තූරය බලන්න.) පළතුරු සහ එළවළුවල බොහෝවිට තිබෙන්නේ ෆිබොනාච්චි අනුක්‍රමයේ ලක්ෂණයි. උදාහරණයකට කෙසෙල් ගෙඩියෙන් පෙත්තක් කැපුවොත් අපට දැකගත හැකි වන්නේ එය පැති පහකට බෙදී ඇති ආකාරයයි.

      ‘ඔහු සෑම දෙයක්ම සුදුසු ලෙස සකස් කරයි’

      චිත්‍රශිල්පීන් පවා පිළිගෙන තිබෙන්නේ මෙම මූලික කෝණයට අනුව දේවල් සකස් කරද්දී ඒවා ඇසට බෙහෙවින් ප්‍රසන්න බවයි. විවිධ ශාකවල මෙයාකාරයට දැකුම්කලු මෝස්තර ඇති වුණේ කොහොමද? බොහෝ අය නිගමනය කරන්නේ ජීවීන් වගේම ශාකත් බුද්ධිමත් නිර්මාතෘවරයෙකුගේ අත්වැඩක් කියායි.

      ජීවමාන දේවල නිර්මාණය දෙස බලන කලත්, ඒවා දැක වින්දනයක් ලැබීමෙනුත් බොහෝ අයට පැහැදිලි වන්නේ මේවා නිර්මාණය කළ තැනැත්තා අපව සතුටෙන් තබන්න කැමති බවයි. අපේ නිර්මාතෘ හෙවත් මැවුම්කරු ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “ඔහු සියලු දේ ඒ ඒ කාලයට හොබිනා ලෙස සෑදුවේය.”—දේශනාකාරයා 3:11.

      [පාදසටහන]

      a සූරියකාන්ත මල ඊට වෙනස්. පුෂ්ප මංජරියේ දඟර හැඩය පිහිටන්නේ සාමාන්‍ය විදිහට නොව අග සිට මැද දක්වායි.

      [24, 25වන පිටුවේ රූප සටහන්]

      1පින්තූරය බලන්න.

      (සඟරාව බලන්න)

      2පින්තූරය බලන්න.

      (සඟරාව බලන්න)

      3පින්තූරය බලන්න.

      (සඟරාව බලන්න)

      4පින්තූරය බලන්න.

      (සඟරාව බලන්න)

      5පින්තූරය බලන්න.

      (සඟරාව බලන්න)

      6පින්තූරය බලන්න.

      (සඟරාව බලන්න)

      [24වන පිටුවේ පින්තූරය]

      ප්‍රරෝහ අග්‍රය විශාල කර

      [හිමිකම් විස්තර]

      R. Rutishauser, University of Zurich, Switzerland

      [25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

      White flower: Thomas G. Barnes @ USDA-NRCS PLANTS Database

  • ඔබ විශ්වාස කරන දේ එතරම්ම වැදගත්ද?
    2006 පිබිදෙව්! | සැප්තැම්බර්
    • ඔබ විශ්වාස කරන දේ එතරම්ම වැදගත්ද?

      ජීවිතයට අරමුණක් තිබෙනවාද? පරිණාමය සත්‍යයක් නම් එක් සඟරාවක පැවසූ මේ අදහසත් සත්‍යයක්. එහි මෙසේ සඳහන් වෙනවා “පරිණාමය ගැන අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ . . . ජීවිතයට කිසිම අරමුණක් නැහැ කියලයි.”—එම සඟරාව Scientific American.

      මේ ගැන සිතා බලන්න. ජීවිතයට සැබෑ අරමුණක් නැත්නම් ඔබ ජීවත් වන කාලයේ ඔබට සිදු වන්නේ යම් හොඳ දේවල් කිරීමත් දරුවන් බිහි කිරීමත් වැනි දේවල් කරමින් ජීවත් වී අවසානයේදී මිය යන්නයි. එසේනම් ජීවිතයට අරමුණක් තිබෙනවාද කියා සිතීම පවා නිෂ්ඵල දෙයක්. ඊට හේතුව පරිණාමයට අනුව ඔබේ ජීවිතය, හැකියාවන් හා කල්පනා ශක්තිය යන සියල්ලම සොබාදහමේ අහඹු සිදුවීමක් පමණක් වන නිසයි.

      පරිණාමය විශ්වාස කරන බොහෝ අය කියා සිටින්නේ දෙවි කෙනෙක් නැහැ, එහෙමත් නැත්නම් දෙවි කෙනෙක් හිටියත් ඔහු අපේ වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලයි. එය සැබෑවක් නම් අපේ අනාගතය රඳා පවතින්නේ දේශපාලනික, ආගමික හා බුද්ධිමත් පුද්ගලයන්ගේ තීරණ මතයි. එහෙත් ඉතිහාසය දෙස බලද්දී අපිට පැහැදිලි වන්නේ එදා සිට අද දක්වා ආරවුල්, ගැටලු, දූෂණ වැනි දේවල් මනුෂ්‍ය සමාජය තුළ තිබෙන බවයි. පරිණාමය සත්‍යයක් නම් අපට කරන්න තිබෙන්නේ මෙයයි. “හෙට අපි මැරෙන බැවින් කමු, බොමු.”—1 කොරින්ති 15:32.

      යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉහත සඳහන් කළ ප්‍රකාශයන් පිළිගන්නේ නැහැ. ඔවුන් පරිණාමවාදයට දායක වන සිද්ධාන්ත පිළිගන්නෙත් නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ බයිබලයේ පවසන දේ සත්‍යය කියලයි. (යොහන් 17:17) ඒ නිසා ඔවුන් පිළිගන්නේ එහි පවසන මේ වදන්. “ජීවිතයේ උල්පත ඔබය [දෙවිය].” (ගීතාවලිය 36:9) කල්පනා කර බලන කල එහි ඉතා ගැඹුරු අදහසක් ගැබ් වී තිබෙනවා.

      ඉන් අදහස් කරන්නේ ජීවිතය කියන්නේ අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් නොවන බවයි. අපේ මැවුම්කරුට ප්‍රේමණීය අරමුණක් තිබෙන අතර ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වන අයට එයින් ආශීර්වාද ලබන්නත් පුළුවන්. (දේශනාකාරයා 12:13) දෙවිගේ අරමුණ වන්නේ මිනිසාට, ආරවුල්, ගැටලු, දූෂණ හා මරණය පවා නැති පාරාදීස පොළොවක සදාකාල ජීවිතයක් ලබා දීමයි. (යෙසායා 2:4, 25:6-8) ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත යෙහෝවාගේ සාක්ෂිකරුවන් දන්නවා වෙන ඕනෑම දෙයකට වඩා දෙවි ගැන ඉගෙනගනිමින් ඔහුගේ කැමැත්ත කිරීම තුළින් තමන්ගේ ජීවිතවලට විශාල අරුතක් ලැබී තිබෙන බව!—යොහන් 17:3.

      ඔබ විශ්වාස කරන දේ ඇත්තටම වැදගත්. එය අදට පමණක් නොව සන්තෝෂවත් අනාගතයකටද මඟ පාදයි. එසේනම් ඔබ කිසි පදනමක් නැති පරිණාමවාදය විශ්වාස කරනවාද? නැත්නම් බයිබලයේ කියන බුද්ධිමත්ම මැවුම්කරුවා වන යෙහෝවා දෙවි ‘සියල්ල මැවුවා’ කියා විශ්වාස කරනවාද? තේරීම ඔබ අතෙයි.—එළිදරව් 4:11.

  • උත්පත්ති පොතේ වාර්තාව විද්‍යාවට පටහැනිද?
    2006 පිබිදෙව්! | සැප්තැම්බර්
    • බයිබලයෙන් පිළිතුරක්

      උත්පත්ති පොතේ වාර්තාව විද්‍යාවට පටහැනිද?

      බොහෝදෙනා පවසන්නේ බයිබලයේ සඳහන් මැවීම පිළිබඳ වාර්තාව විද්‍යාවට පටහැනි බවයි. නමුත් යථාර්ථය නම් විද්‍යාව පටහැනි වන්නේ බයිබලයේ ඇති වාර්තාවට නොව මූලධර්මාවාදීන් ලෙස හඳුන්වන්නන්ගේ අදහස්වලටයි. මෙවැනි සමහර කණ්ඩායම් කියන්නේ බයිබලයට අනුව භෞතික සියල්ල මවනු ලැබුවේ මීට වසර 10,000කට පෙර පැය 24 දින හයකින් කියායි.

      කෙසේවුවද බයිබලයේ එවැනි නිගමනයකට රුකුල් දෙන්නේ නැහැ. එසේ දුන්නා නම් පසුගිය වසර සියගණන තුළ විද්‍යාත්මකව සොයාගන්නා ලද බොහෝ දේ මගින් බයිබලයේ සඳහන් දේ ගැන සැක පහළ කිරීමට ඉඩ තිබුණා. නමුත් බයිබලය ගැඹුරට අධ්‍යයනය කරද්දී හෙළි වන්නේ සොයාගත් විද්‍යාත්මක සත්‍යතාවන්ට බයිබලය එකඟ වන බවයි. ඒ හේතුවෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් “ක්‍රිස්තියානි” මූලධර්මවාදීන් හා මැවුම්වාදීන්ගේ අදහස්වලට එකඟ වන්නේ නැහැ. බයිබලයෙහි ඇති ඉගැන්වීම්වලින් සමහරක් මතු දැක්වෙයි.

      “පටන්ගැන්ම” කවදාද?

      උත්පත්ති පොත ඇරඹෙන්නේ මෙම සරල බලවත් වචන පෙළින්. “පටන්ගැන්මෙහිදී දෙවි අහසත් පොළොවත් මැව්වේය.” (උත්පත්ති 1:1) මෙම පදයේ විස්තර කරන දෙයත්, තුන්වන පදයේ සිට දැක්වෙන මැවීමේ දවස්වල සිදු කෙරෙන ක්‍රියාත් අතර වෙනසක් තිබෙන බවට බයිබල් විශාරදයන් එකඟ වෙනවා. ඉන් ගැඹුරු දෙයක් අදහස් වෙනවා. බයිබලයේ මුලින්ම සඳහන් වන ප්‍රකාශයට අනුව මැවීමේ දවස් හයට පෙර අපේ පෘථිවිය ඇතුළු මුළු විශ්වයම අනියත කාලයක් පැවත තිබෙනවා.

      භූ විද්‍යාඥයන් ගණන් බලා තිබෙන ආකාරයට පොළොව වසර බිලියන හතරකට ආසන්න කාලයක් පැරණියි. එමෙන්ම තාරකා විද්‍යාඥයන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම විශ්වය වසර බිලියන 15ක් පමණ පැවතී තිබෙනවා. මෙම සොයාගැනීම් හෝ ඉදිරියේදී සොයාගැනීමට ඉඩ ඇති දත්තයන් උත්පත්ති 1:1ට පටහැනිද? නැහැ. ‘අහස හා පොළොව’ කොතරම් පැරණිද කියා බයිබලයේ හරියටම පවසන්නේ නැහැ. විද්‍යාවෙන් බයිබලයේ සඳහන් දේ නිෂ්ප්‍රභ කරන්නෙත් නැහැ.

      මැවීමේ දවස් කොතරම් දීර්ඝද?

      මැවීමේ දවස් කෙතරම් දීර්ඝ කාලයක්ද? ඒවා සාමාන්‍ය පැය 24 දවස්ද? බයිබල් ලේඛක මෝසෙස් සතිපතා සබත ගැන සඳහන් කළේ මැවීමේ දවස් හයට පසුව හත්වෙනි දවසට යොමු දක්වමිනුයි. ඒ නිසා සමහරු පවසන්නේ සෑම මැවීමේ දවසක්ම පැය 24ක කාලයක් විය යුතු බවයි. (නික්මයාම 20:11) උත්පත්ති පොතේ එම අදහස තහවුරු කරනවාද?

      නැහැ. මන්ද “දවස” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනය පැය 24ක කාලයකට සීමා වී නැහැ. එයින් විවිධ කාල පරාසයන් අදහස් විය හැකියි. උදාහරණයකට උත්පත්ති 2:4හි දෙවිගේ මැවීමේ දවස් හයම එක දවසක් ලෙස මෝසෙස් දැක්වුවා. මේ අනුව, මැවීමේ දවස් සාමාන්‍ය පැය 24ක දවස් කියා තරයේ කීමට ශුද්ධ ලියවිල්ලේ පදනමක් සපයන්නේ නැහැ.

      එසේනම් මැවීමේ දවස් කෙතරම් දීර්ඝද? උත්පත්ති පළවෙනි හා දෙවෙනි පරිච්ඡේදවලින් අඟවන්නේ දිගු කාල පරිච්ඡේදයන් ඊට ඇතුළත් වී ඇති බවයි.

      දිස් වන්නේ ක්‍රම ක්‍රමයෙන්

      මෝසෙස් තම වාර්තාව හෙබ්‍රෙව් බසින් ලියූ අතර එසේ ලිව්වේ මිහිපිට සිටින කෙනෙක් දකින ආකාරයටයි යන කරුණත්, මැවීමේ කාලපරිච්ඡේදයන් හය පටන්ගැනීමට පෙර විශ්වය පැවතී තිබෙනවා යන්නත් මතකයේ තබාගතහොත් මැවීමේ “දවස්” සම්බන්ධ මත ගැටුම් විසඳගැනීමට හැකි වෙයි. ඒ කෙසේද?

      උත්පත්ති වාර්තාව හොඳින් පරීක්ෂා කර බලද්දී එක ‘දවසක්’ තුළ පටන්ගත් දේ සමහරවිට සම්පූර්ණ වුණේ ඊළඟ දවසේ හෝ දවස් කීපයක් ගතවීමෙන් පසුවයි. උදාහරණයකට මැවීමේ පළවෙනි “දවස” පටන්ගැනීමට පෙර හිරුගෙන් එන ආලෝකය ඝන වලාකුළු නිසා පොළොවට පතිත වුණේ නැහැ. (යෝබ් 38:9) පළවෙනි “දවස” තුළදී මෙම බාධකය ක්‍රම ක්‍රමයෙන් ඉවත් වෙමින් වායුගෝලය හරහා යම් දුරකට ආලෝකය පතිත වුණා.a

      පොළොවේ සිට කෙනෙකු බලා සිටියා නම් දෙවෙනි “දවස” තුළදී ඔහුට දකින්න ලැබෙන්නේ අහස හා පොළොව අතර අවකාශය මතු වෙන ආකාරයයි. නමුත් ඉර හා සඳ “අහස්තලයෙහි” පැහැදිලිවම දිස් වුණේ හතර වන ‘දවසේදීයි.’ (උත්පත්ති 1:14-16) ඉන් පැහැදිලි වන්නේ ආලෝකය පවා දිස් වෙන්න පටන්ගත්තේ ක්‍රම ක්‍රමයෙන් බවයි.

      කෘමී වර්ගද කුරුල්ලන්ද දැකගන්න හැකි වුණේ පස්වෙනි ‘දවසේදී’ බව උත්පත්ති පොතේ වාර්තාව පවසනවා. කෙසේවෙතත් හයවෙනි “දවස” තුළදීත් දෙවි “වනයෙහි සියලු මෘගයන්ද ආකාශයෙහි සියලු පක්ෂීන්ද” මවමින් සිටි බව බයිබලයේ සඳහන් කරයි.—උත්පත්ති 2:19.

      බයිබලයේ සඳහන් වන ආකාරයෙන් පැහැදිලි වන්නේ, සෑම ‘දවසකදීම’ නැතහොත් යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් ඇතුළත විශාල වැඩ කොටසක් සිදු කර තිබෙන අතර ඒවා සිදු කළේ ක්ෂණිකව නොව ක්‍රම ක්‍රමයෙන් බවයි. සමහර මැවීමේ ක්‍රියා එක දවසකදී පටන්ගෙන අනෙක් මැවීමේ ‘දවස්’ දක්වා දිව ගියා විය හැකියි.

      ඒ ඒ වර්ග ලෙස

      ගස්කොළන් සහ සතුන් ක්‍රමානුකූලව හටගැන්වීමෙන් ඇඟවෙන්නේ විවිධ ජීවීන්ව බිහි කිරීමට දෙවි පරිණාමය යොදාගත් බවද? නැහැ. එම වාර්තාවේ කියන්නේ දෙවි විසින් ගස්කොළන් සහ සතුන් “ඒ ඒ වර්ග” ලෙස මැව්වා කියායි. (උත්පත්ති 1:11, 12, 20-25) මුලින්ම බිහි වූ මෙම ගස්කොළන් හා සතුන් “ඒ ඒ වර්ග” ලෙස මවා තිබුණේ වෙනස් වන පරිසරයට අනුව සකස් වීමට හෙවත් අනුවර්තනය වීමටද? “ඒ ඒ වර්ග” කියද්දී ඉන් අදහස් වන්නේ කුමක්ද? බයිබලයෙහි වර්ගය යන වචනය සවිස්තරාත්මකව දක්වා නැතත් ‘ඒ ඒ වර්ග ලෙස හටගත්’ සත්වයන් ගැන පවසනවා. (උත්පත්ති 1:21) එක් ‘වර්ගයක්’ තුළ පවා විවිධ විශේෂයන් හිටියත් උන් ඒ වර්ගයට පමණක් සීමා වී තිබෙන බව එම ප්‍රකාශයෙන් ඇඟවෙනවා. ෆොසිල පිළිබඳ වාර්තා හා නවීන පර්යේෂණයන් එය සනාථ කරනවා. ප්‍රධාන ශාක වර්ග හා සත්ව වර්ග අනාදිමත් කාලයක් තුළ වෙනස් වී ඇත්තේ ඉතා සුළු වශයෙන්.

      පොළොව හා එහි වෙසෙන ජීවීන් ඇතුළු මුළු විශ්වය මවනු ලැබුවේ ඉතා සුළු කාලයක් ඇතුළතදී බව සමහර මූලධර්මවාදීන් පැවසුවත් බයිබලයේ උත්පත්ති පොතේ වාර්තාව ඊට අනුකූල නැහැ. විශ්වයේ බිහිවීම හා ජීවීන් හටගැනීම පිළිබඳ උත්පත්ති පොතේ ඇති විස්තරයට මෑතකදී සිදු කළ විද්‍යාත්මක සොයාගැනීම් බොහොමයක් එකඟයි.

      බොහෝ විද්‍යාඥයන් තම දර්ශනයන් නිසා දෙවි සියල්ල මැවූ බව සඳහන් වන බයිබල් වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. කෙසේවෙතත් බයිබලයේ තිබෙන ඉපැරණි උත්පත්ති පොතේ වාර්තාවේ මෝසෙස් ලියුවේ විශ්වයට පටන්ගැන්මක් තිබෙන අතර යම් කාලයක් පුරා අදියරෙන් අදියර ජීවීන් බිහි වූ බවයි. විද්‍යාත්මකව නිවැරදි එම තොරතුරු මීට වසර 3,500කට පමණ පෙර මෝසෙස් දැනගත්තේ කොහොමද? එක දෙයක් තර්කානුකූලව පැහැදිලි කළ හැකියි. අහස හා පොළොව මැවීමට බලය හා ප්‍රඥාව තිබූ තැනැත්තා එවැනි දැනුමක් මෝසෙස්ට කලින්ම දී තිබෙනවා. බයිබලය “දේවානුභාවයෙන්” යන ප්‍රකාශය සැබෑවක් බව එයින් තහවුරු වෙනවා.—2 තිමෝති 3:16.

      [පාදසටහන]

      a පළවෙනි “දවස” තුළ සිදු වූ දේ ගැන දැක්වෙන විස්තරයේදී ආලෝකය සඳහා යොදා තිබෙන්නේ ’ඕර් යන වචනයයි. නමුත් හතරවෙනි දවසේ ආලෝකය ගැන සඳහන් කරද්දී යොදාගත්තේ ’මා ඕර් යන වචනයි. ඉන් යොමු දැක්වූයේ ආලෝකයේ ප්‍රභවය වන සූර්යාටයි.

      සිතා බැලීමට යමක්

      ◼ දෙවි විශ්වය මැව්වේ කොපමණ කාලයකට පෙරද?—උත්පත්ති 1:1.

      ◼ පොළොව මැව්වේ පැය 24 දවස් හයකින්ද?—උත්පත්ති 2:4.

      ◼ පොළොවේ පටන්ගැන්ම සම්බන්ධයෙන් මෝසෙස්ගේ ලියවිලි විද්‍යාත්මකව නිවැරදි වන්නේ කෙසේද?—2 තිමෝති 3:16.

      [19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

      විශ්වය මෑතකදී කෙටි කාලයක් තුළ මැව්වා යන අදහස උත්පත්ති වාර්තාවේ උගන්වන්නේ නැහැ

      [20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

      “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් මැව්වේය.”—උත්පත්ති 1:1

      [18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

      Universe: IAC/​RGO/​David Malin Images

      [20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

      NASA photo

  • මැවීම පිළිබඳ මගේ විශ්වාසය අන් අයට පහදා දෙන්නේ කෙසේද?
    2006 පිබිදෙව්! | සැප්තැම්බර්
    • යෞවන අය අසති . . .

      මැවීම පිළිබඳ මගේ විශ්වාසය අන් අයට පහදා දෙන්නේ කෙසේද?

      “පරිණාමය සත්‍යයක් කියා පන්තියේදී උගන්වපු දේ මැවීම ගැන මම ඉගෙනගෙන තිබෙන දෙයට වඩා වෙනස් නිසා එය මගේ විශ්වාසයට තර්ජනයක්.”—රයන්, අවුරුදු 18යි.

      “මගේ ගුරුතුමිය පරිණාමය තදින් විශ්වාස කළා. ඇගේ කාර් එකේ පවා ඩාවින්ගේ ලාංඡනයක් තිබුණා. ඒ නිසා මැවීම ගැන මගේ විශ්වාසය ඇය එක්ක කතා කරන්න මම භය වුණා. එතකොට මට වයස අවුරුදු 12යි.”—ටයිල, අවුරුදු 19යි.

      “සමාජ අධ්‍යයනය ගුරුතුමිය ඊළඟට තියෙන්නේ පරිණාම පාඩම කියලා කිව්වාම මම භය වුණා. මම දැනගත්තා පන්තියේදී මගේ විශ්වාසය ගැන පැහැදිලි කරන්න වෙයි කියලා.”—රාඛෙල්, අවුරුදු 14යි.

      දෙවි ‘සියල්ල මැව්වා’ කියා ඔබ විශ්වාස කරනවා නම් සමහරවිට රයන්, ටයිල සහ රාඛෙල් වගේ ඔබත් පරිණාමය පිළිබඳ විෂය පන්තියේ උගන්වන විට භයෙන් ඇති. (එළිදරව් 4:11) ඒත් අවට පෙනෙන්න තිබෙන සියල්ලෙන් ඔබට පැහැදිලි වෙන්නේ බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටින බවයි. ඔබේ ගුරුවරයා මෙන්ම පාඩම් පොත්වල කියන්නේ අපි පරිණාමයකින් ආවා කියලයි. ප්‍රවීණයන්ගේ මේ අදහස් සමඟ ඔබ තර්ක කරන්නේ කොහොමද? ඒ විතරක් නෙවෙයි පන්තියේදී දෙවි කෙනෙක් ගැන කතා කළොත් ඔබේ යාළුවෝ මොනවා කියයිද?

      මෙම ප්‍රශ්න ඔබව අපහසුතාවට පත් කරයිද, භය වෙන්න එපා! මැවීම විශ්වාස කරන්නේ ඔබ පමණක් නෙවෙයි. ඇත්තටම බොහෝ ගුරුවරුන්ටත් විද්‍යාඥයන්ටත් පරිණාමවාදය පිළිගන්න අමාරුයි. පාඩම් පොත්වල පරිණාමවාදය ඉගැන්නුවත් එක්සත් ජනපදයේ ළමුන් පස්දෙනෙකුගෙන් හතරදෙනෙක්ම මැවුම්කරුවෙකුව විශ්වාස කරන බව තිබෙන සංඛ්‍යා ලේඛනවල පෙන්නුම් කරනවා.

      ඒත් ‘මැවීම ගැන තිබෙන විශ්වාසය මම අන් අයට පහදා දෙන්නේ කොහොමද’ කියා ඔබට සිතෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. ඔබ ලැජ්ජාශීලී පුද්ගලයෙක් වුණත් යම් සූදානම් කිරීමක් කළොත් මෙය ඔබ හිතන තරම් අමාරු දෙයක් වෙන්නේ නැහැ.

      ඔබේ විශ්වාසය පරීක්ෂා කර බලන්න!

      ඔබ මැවීම විශ්වාස කරන්නේ ඇයි? ක්‍රිස්තියානීන් වූ ඔබේ දෙමාපියන් එය ඔබට උගන්වා තිබෙන නිසාද? එසේ කිරීම වැදගත් වුණත් ඔබ වයසින් මුහුකුරා යද්දී ඔබට අවශ්‍ය වන්නේ ඔබේ විශ්වාසයන්ට පදනමක් ඇතුව “කල්පනා ශක්තිය” පාවිච්චි කරමින් දෙවිට නමස්කාර කරන්නයි. (රෝම 12:1) ඒ නිසයි පාවුල් පළමු ශත වර්ෂයේ ක්‍රිස්තියානීන්ට දිරිගැන්වූයේ ‘සියල්ල සෝදිසි කර බලන්න’ කියලා. (1 තෙසලෝනික 5:21) ඔබටත් එසේ කරන්න පුළුවන් කොහොමද?

      මුලින්ම, පාවුල් දෙවි ගැන ලියූ දෙය සලකා බලමු. ‘මන්ද ඔහුගේ අදෘශ්‍යමාන ගුණාංග, . . .ලෝකය මැවීමේ පටන් පැහැදිලිව පෙනේ. සාදා තිබෙන දේවලින් ඒවා පැහැදිලි ලෙස වටහාගත හැකියි.’ (රෝම 1:20) මේ අදහස මනසේ තබාගෙන මනුෂ්‍ය ශරීරය, පෘථිවිය, විශ්වය, සාගර, පොළොවේ සිටින ආකර්ෂණීය කෘමීන්, ශාක හා සත්වයන් ගැන සලකා බලන්න. ඔබ කැමති ඕනෑම දෙයක් හොඳින් අධ්‍යයනය කර “කල්පනා ශක්තිය” පාවිච්චි කරමින් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මැවුම්කරුවෙක් සිටින බව මට ඔප්පු වන්නේ කුමකින්ද?’

      ඒ ප්‍රශ්නයට පිළිතුර සඳහා වයස අවුරුදු 14ක් වූ සෑම් මනුෂ්‍ය ශරීරය අධ්‍යයනය කර බැලුවා. “එය හරිම පිළිවෙළයි සහ සංකීර්ණයි. ඒත් මේ සියලුම අවයවයන් වැඩ කරන්නේ එකමුතුවයි. එහෙමනම් මනුෂ්‍ය ශරීරය පරිණාමයෙන් ආපු එකක් වෙන්න බැහැ!” වයස අවුරුදු 16ක් වූ හොලීගේ අදහස මෙයයි. “මට දියවැඩියාව තිබෙනවා කියලා පරීක්ෂණය කළාට පස්සේ ශරීරයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බොහෝ දේවල් මම ඉගෙනගත්තා. එය පුදුමාකාරයි. උදාහරණයකට අග්න්‍යාශය ආමාශයට පිටුපසින් සැඟවී තිබෙන කුඩා අවයවයක් වුණත් එයින් කෙරෙන කාර්යය විශාලයි. ඒ වගේම අනිත් ඉන්ද්‍රියයන්ට සහය දෙමින් රුධිරයේ නියම තත්වය පවත්වාගෙන යන්නත් උපකාර කරනවා. මේ ගැන දැනගත්තාම මම පුදුම වුණා.”

      තවත් යෞවනයන් මේ ප්‍රශ්නයට පිළිතුරු සෙව්වේ වෙනත් ආකාරයකටයි. වයස අවුරුදු 19ක් වූ ජැරෙඩ් කියන්නේ මෙයයි. “දෙයක් පරිණාමය වීමට ආගම දහමට ලැදියාවක්, ඉගෙනගැනීමට ආශාවක්, අලංකාර දේවල් දෙස බලා අගය කිරීමේ හැකියාවක් වැනි ගුණාංග අවශ්‍ය නැහැ. නමුත් අපිට මෙවැනි ගුණාංග තිබීමෙන් පැහැදිලි වන්නේ මිනිසා පරිණාමයකින් ආවේ නැති බවයි. කාටහරි අවශ්‍ය වෙලා තියෙන්නේ මිනිසුන් තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා දකින්න කියන දේ මට මෙයින් තේරුණා.” කලින් සඳහන් කළ ටයිලද ඒ හා සමාන අදහසක් ඉදිරිපත් කරනවා. “ශාකවල ඇති සංකීර්ණත්වය හා ඒවා අපේ පැවැත්මට දායක වන විදිහ දැනගත්තට පස්සේ මට තේරුණා මැවුම්කරුවෙක් ඉන්න ඕනෙ කියලා.”

      මැවිල්ල අධ්‍යයනය කර ඔබටම ඒවා ඒත්තු ගන්වාගැනීමෙන් මැවීම ගැන අනිත් අයට කියන්න ඔබට පහසු වෙනවා. ඒ නිසයි සෑම්, හොලී, ජැරෙඩ් සහ ටයිල කළාක් මෙන් ඔබත් දෙවිගේ අත් වැඩය හෙවත් මැවිල්ල තුළින් සාක්ෂි සොයා බලන්න කාලය ගන්න අවශ්‍ය වෙන්නේ. එම සාක්ෂි හොඳින් අධ්‍යයනය කරන්න. එවිට ඔබත් පාවුල් වගේ දෙවි කෙනෙක් සිටින බවටත් ඔහුගේ ගුණාංග ‘සාදා තිබෙන දේවල්වලින් පැහැදිලි ලෙස පෙනේ’ කියා පැවසූ වදන්වලටත් එකඟ වෙනවාට කිසිම සැකයක් නැහැ.a

      බයිබලයේ උගන්වන දේ දැනගන්න

      විවිධ දේවල්වලට කිට්ටු අවධානයක් දෙනවාට අමතරව බයිබලයේ මැවිල්ල ගැන පවසා තිබෙන දේත් ඔබ දැනගන්න අවශ්‍යයි. බයිබලයේ කෙළින්ම පවසා නැති කරුණු සම්බන්ධයෙන් කරදර විය යුතු නැහැ. අපි ඊට උදාහරණ කිහිපයක් සලකා බලමු.

      ◼ මගේ විද්‍යා පොතේ තියෙන්නේ පෘථිවිය හා සෞරග්‍රහ මණ්ඩලය පවතින්නේ අවුරුදු බිලියන ගණනක සිට කියලයි. බයිබලයේ පෘථිවිය හෝ සෞරග්‍රහ මණ්ඩලය පැවතී තිබෙන සම්පූර්ණ අවුරුදු ගණන විස්තර කර නැහැ. නමුත් මැවීමේ පළමු දවසට පෙර විශ්වය අවුරුදු බිලියන ගණනක සිට පැවතී තිබෙනවා යන අදහසද ගන්න පුළුවන්.—උත්පත්ති 1:1, 2.

      ◼ පොළොව දවස් හයකින් නිර්මාණය කරන්න බැහැ කියා මගේ ගුරුතුමා කියනවා. මැවීමේ දවස් හය සාමාන්‍ය පැය 24ක දවස් කියා බයිබලයේ පවසන්නේ නැහැ. වැඩි විස්තර සඳහා මෙම සඟරාවේ 18-20 දක්වා පිටු බලන්න.

      ◼ අපේ පන්තියේදී සාකච්ඡා කළේ මිනිසුන් හා සතුන් කාලයත් සමඟ පරිණාමය වන ආකාරය ගැනයි. බයිබලයෙහි පවසන්නේ දෙවි ජීවමාන සියල්ලක්ම “ඒ ඒ වර්ගයට අනුව” මැවුවා කියායි. (උත්පත්ති 1:20, 21) මෙහි ජීවය අජීවී දෙයකින් ආරම්භ වුණා කියා හෝ ඒක සෛලී ජීවියෙකුගෙන් පරිණාම ක්‍රියාවලිය දෙවි ආරම්භ කළා කියා හෝ පවසන්නේ නැහැ. තවදුරටත් මේ හැම ‘වර්ගයකම’ ප්‍රභේද තිබෙනවා. එසේනම් බයිබලයේ පෙන්නුම් කරන්නේ එකම වර්ගයකින් එම කුලයට අයත් “තව වර්ගයක්” ඇති වෙන්න පුළුවන් කියායි.

      නොසැලෙන විශ්වාසයක් තබාගන්න

      මැවීම සම්බන්ධයෙන් ඇති ඔබේ විශ්වාසය නිසා ලැජ්ජා වීමට අවශ්‍ය නැහැ. තිබෙන විද්‍යානුකූල සාක්ෂිවලට අනුව බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටින බව පැහැදිලියි. මැවීම ඔප්පු කරන්න සාක්ෂි තිබුණත් පරිණාමය ඔප්පු කරන්න සාක්ෂි නැහැ. මෙම සඟරාවේ තිබෙන අනිකුත් ලිපි සලකා බැලීමෙන් මැවීම පිළිබඳ සාක්ෂි තුළින් මැවුම්කරුවෙක් සිටින බවට ඔබම අවබෝධ කරගන්නවාට කිසිම සැකයක් නැහැ. ඔබ ලබාගෙන තිබෙන සාක්ෂි නිසා කල්පනා ශක්තිය පාවිච්චි කරමින් දැන් ඔබට පන්තියේදී ඔබේ විශ්වාසය ගැන ලොකු නිසැකකමකින් යුතුව අන් අයට පහදා දෙන්න හැකි වෙයි.

      කලින් සඳහන් කළ රාඛෙල්ටත් හැඟුණේ ඒ විදිහටමයි. ඇය මෙසේ පැවසුවා. “මට දවස් කිහිපයකින් අවබෝධ වුණා මගේ විශ්වාසය ගැන අනිත් අයටත් කියන්න ඕනෙ කියලා. ඒ නිසා ජීවය—මෙහාට පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? යන ප්‍රකාශනයේ සමහර තැන් ලකුණු කර පාසැලේ මගේ ගුරුතුමියට දුන්නා. ඇය කිව්වා මේ ප්‍රකාශනයෙන් පරිණාමයේ ඇත්ත නැත්ත අවබෝධ වුණා කියලා. ඒ වගේම ඉදිරි පාඩම්වලදී මෙහි කරුණුද එයට එකතු කරනවා කියලා.”

      [පාදසටහන]

      a අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද? එසේනම් ඇයි මෙතරම් දුක් පීඩා? ඒවාට නිමාවක් නැද්ද? සහ ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන ප්‍රකාශනවල ඇති තොරතුරු බොහෝ යෞවනයන්ට ප්‍රයෝජනවත් වී තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන දෙකක්.

      සිතා බලන්න

      ◼ පාසැලේදී මැවීම ගැන ඔබට තිබෙන විශ්වාසය ගැන පහසුවෙන් පහදා දෙන්න පුළුවන් කොහොමද?

      ◼ සියල්ල මැවූ පුද්ගලයාට ඔබේ අගය පෙන්වන්නේ කොහොමද?—ක්‍රියා 17:26, 27.

      බහුලව ඇති සාක්ෂි

      “පාසැලේදී පරිණාමය ඉගෙනගනිමින් සිටින ඒත් මැවුම්කරුවෙකු විශ්වාස කරන යෞවනයෙකුට දෙන උපදෙස කුමක්ද?” කියා යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියකගෙන් ඇහුවා. ඇය කියන්නේ “මෙය දෙවි කෙනෙක් සිටින බවට ඔබටම ඔප්පු කරගන්න කදිම අවස්ථාවක්. ඒකෙන් නියම ප්‍රයෝජන ගනිමින් සාක්ෂි සලකා බලා කවුරුත් කියන නිසා නෙවෙයි ඔබම මැවුම්කරුවෙක් සිටින බවට ස්ථිර වෙන්න. සමහරවිට ගුරුවරුන්ට පරිණාමය ඔප්පු කරන්න කිව්වොත් ඔවුන්ට ඒ සඳහා සාක්ෂි නැහැ. ඒත් ඔවුන් මෙය උගන්වන්නේ ඔවුනුත් මේ විදිහට ඉගෙනගෙන තිබෙන නිසයි. ඔබටත් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා නිර්මාතෘවරයෙක් සිටින බව ඔබටම ස්ථිර කරගන්න. මෙයට හුඟක් සාක්ෂි තිබෙන නිසා ඒක අමාරු දෙයක් නෙවෙයි.”

      [28වන පිටුවේ කොටුව/පින්තූරය]

      ඔබේ විශ්වාසයට හේතු

      මැවුම්කරුවෙක් සිටින බවට ඔබට නිසැක විය හැකි හේතු තුනක් සඳහන් කරන්න.

      1. .....

      2. .....

      3. .....

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න