ජීවිත කතාව
ආදර්ශවත් අයගෙන් ඉගෙනගත්ත නිසා මං ආශීර්වාද ලැබුවා
යෞවන කාලේදී සේවේ යන එක මට හරිම අමාරු දෙයක්. මං තරුණ වයසට එද්දී මට කරන්න බැහැ කියලා හිතුණ පැවරුම් මට හම්බ වුණා. මගේ හිතේ තිබුණ බය නැති කරගෙන අවුරුදු 58ක් පුරා පූර්ණකාලීන සේවය සතුටින් කරන්න මට උදව් වුණ අය ගැන මං ඔයාලට කියන්නම්.
මං ඉපදුණේ කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ තිබුණ ක්විබෙක් නගරයේ. ඒ ප්‍රාන්තයේ අය කතා කළේ ප්‍රංශ භාෂාව. මගේ අම්මායි, තාත්තායි මාව ආදරෙන් හදා වඩා ගත්තා. මගේ තාත්තා ටිකක් ලැජ්ජාශීලී කෙනෙක්. එයා පොත් පත් කියවන්න ගොඩක් ආසයි. පොඩි කාලේ ඉඳන්ම මං ආස ලියන්න. මට ඕනෙ වුණේ කවදා හරි පුවත්පත් ලේඛකයෙක් වෙන්න.
දවසක් මගේ තාත්තා එක්ක වැඩ කරපු රොඩොල්ෆ් සුසී කියන කෙනා එයාගේ යාළුවෙක් එක්ක අපේ ගෙදර ආවා. එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. එතකොට මට වයස 12ක් විතර ඇති. ඒ වෙද්දී මං සාක්ෂිකරුවන් ගැන ඒ තරම් දැනන් හිටියේ නැහැ. එයාලගේ ආගම ගැන දැනගන්න මට එච්චර උනන්දුවක් තිබුණෙත් නැහැ. ඒත් අහන ප්‍රශ්නවලට සාක්ෂිකරුවන් බයිබලේ පාවිච්චි කරලා තර්කානුකූලව උත්තර දුන්න විදිහ මගේ හිත්ගත්තා. මගේ අම්මටයි, තාත්තටත් ඒකට ආස හිතුණා. ඒ නිසා අපි බයිබල් පාඩමක් කරන්න කැමති වුණා.
ඒ වෙද්දී මම ගියේ කතෝලික ඉස්කෝලෙකට. ඉඳලා හිටලා මං පන්තියේ ළමයි එක්ක බයිබලෙන් ඉගෙනගත්ත දේවල් ගැන කිව්වා. ඒ ගැන මගේ ගුරුවරුන්ට ආරංචි වුණා. එයාලා පූජකයන්. මං කියපු දේවල් වැරදියි කියලා බයිබලෙන් පෙන්නනවා වෙනුවට එක පූජකයෙක් පන්තිය ඉස්සරහා මට කැරලිකාරයෙක් කියලා බැන්නා. ඒක මුහුණ දෙන්න අමාරු සිද්ධියක් වුණත් ඉස්කෝලේ උගන්වපු ආගම බයිබලේ තියෙන දේවලට එකඟ නැහැ කියලා ඒ සිද්ධියෙන් මට තේරුණා. මගේ දෙමාපියන්ගේ අවසරය ඇතුව මං වෙන ඉස්කෝලෙකට ගියා.
සේවෙන් සතුටක් ලබන්න ඉගෙනගත්තා
මං දිගටම බයිබල් පාඩම කළත් ගෙයින් ගෙට සේවේ යන්න මට තිබුණ බය නිසා මං සත්‍යයේ දියුණු වුණේ නැහැ. ඒ කාලේ කතෝලික පල්ලියට සෑහෙන බලතල තිබුණ නිසා දේශනා සේවේට එයාලා දරුණු විරුද්ධවාදිකම් එල්ල කළා. ක්විබෙක්වල හිටපු දේශපාලන නායකයෙක් වුණ මොරිස් ඩුප්ලෙසිස් පල්ලියේ පූජකයන් එක්ක කිට්ටුවෙන් වැඩ කළා. එයාගේ සහය තිබුණ නිසා මිනිස්සු කල්ලි ගැහිලා සාක්ෂිකරුවන්ට අපහාස කළා. පහරත් දුන්නා. ඒ කාලේ දේශනා සේවේ යන්න සෑහෙන ධෛර්යයක් ඕනෙ වුණා.
මට තිබුණ බය නැති කරගන්න මට උදව් කළේ සහෝදර ජෝන් රේ. එයා ගිලියද් පාසැලේ 9වෙනි පන්තියට සහභාගි වුණ කෙනෙක්. එයා හුඟක් අද්දැකීම් තිබුණ, නිහතමානී සහෝදරයෙක්. ඕනෙම දෙයක් බය නැතුව එයා එක්ක කතා කරන්නත් පුළුවන්. එයාගේ ආදර්ශයෙන් මං හුඟක් දේවල් ඉගෙනගත්තා. ජෝන්ට ප්‍රංශ භාෂාව කතා කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා මං එයාත් එක්ක සේවේ ගිහින් එයාට උදව් කළා. ජෝන් එක්ක මං නිතරම කාලේ ගත කරපු එක මට උදව් වුණා සාක්ෂිකරුවෙක් වෙන්න ඕනෙ කියන තීරණය ගන්න. සාක්ෂිකරුවන්ව හම්බ වෙලා අවුරුදු 10කට පස්සේ ඒ කියන්නේ 1951 මැයි 26වෙනිදා මං බව්තීස්ම වුණා.
ගෙයින් ගෙට සේවේ යන්න මට තිබුණ බය නැති කරගන්න සහෝදර ජෝන් රේගේ (1) ආදර්ශය මට (2) උදව් වුණා
ක්විබෙක් නගරයේ තිබුණ අපේ පොඩි සභාවේ වැඩිපුරම හිටියේ පුරෝගාමීන්. එයාලගේ ආදර්ශය නිසා මටත් ඕනෙ වුණා පුරෝගාමි සේවේ කරන්න. ඒ කාලේ අපි ගෙයින් ගෙට සේවේදී පාවිච්චි කළේ බයිබලේ විතරයි. ප්‍රකාශන පාවිච්චි කළේ නැති නිසා අපිට වුණා බයිබලේ හොඳින් පාවිච්චි කරලා දේශනා කරන්න. ඒ නිසා බයිබල් පද මතක තියාගන්න මං ගොඩක් මහන්සි වුණා. ඒත් කතෝලික පල්ලියේ අනුමැති තිබුණේ නැති කිසිම බයිබලයකින් කියවන්න හුඟක් මිනිසුන් අකමැති වුණා.
1952දී මං සිමෝන් පේට්‍රි එක්ක විවාහ වුණා. විවාහයෙන් පස්සේ අපි පදිංචි වුණේ මොන්ට්‍රියල්වල. අවුරුද්දක් ඇතුළත අපේ දුව ලීසාව අපිට හම්බ වුණා. බඳින්න ටික කාලෙකට කලින් මං පුරෝගාමි සේවේ නතර කළත් සිමෝනුයි, මමයි හැම වෙලාවේම උත්සාහ කළේ සරල ජීවිතයක් ගත කරන්න. මොකද අපිට ඕනෙ වුණේ පවුලක් විදිහට පුළුවන් උපරිමයෙන් සභාවේ වැඩවලට හවුල් වෙන්න.
ඔය විදිහට අවුරුදු 10ක් ගත වුණා. ඊටපස්සේ ආයෙත් පුරෝගාමි සේවේ කරන්න මං පෙලඹුණ සිද්ධියක් වුණා. 1962දී වැඩිමහල්ලන්ට කැනඩාවේ බෙතෙල් එකේ පාසැලක් තිබුණා. ඒ කාලේ පුරා මං හිටියේ කැමීල් වොලැට් කියන සහෝදරයාත් එක්ක. එයාට දරුවෝ හිටියත් එයාට ඕනෙ වුණේ පුරෝගාමි සේවේ කරන්න. ඒ කාලේ දරුවෝ හදා වඩා ගන්න ගමන් පුරෝගාමි සේවේ කරපු අය ක්විබෙක්වල හිටියේ නැති තරම්. අපි දෙන්නා එකට ගත කරපු කාලේදී ආයෙත් පුරෝගාමි සේවේ කරන්න එයා මාව දිරිගැන්නුවා. ඊට මාස කීපයකට පස්සේ මට තේරුණා ආයෙත් පුරෝගාමි සේවේ පටන්ගන්න මට පුළුවන් කියලා. මං ගන්නේ ඥානවන්ත තීරණයක් නෙමෙයි කියලා සමහරු කිව්වත් යෙහෝවා දෙවියන් මට උදව් කරනවා කියන විශ්වාසයෙන් මං පුරෝගාමි සේවේ පටන්ගත්තා.
විශේෂ පුරෝගාමීන් විදිහට ආයෙත් ක්විබෙක් නගරෙට ආවා
1964දී සිමෝන්ටයි, මටයි පැවරුමක් ලැබුණා අපි හැදුණ වැඩුණ ක්විබෙක් නගරේම විශේෂ පුරෝගාමීන් විදිහට සේවේ කරන්න. එහේ අපි අවුරුදු කීපයක්ම සේවේ කළා. ඒ වෙද්දී කලින් තරම් දේශනා සේවේට විරුද්ධවාදිකම් තිබුණේ නැතත් අපිට විරුද්ධ වුණ අය හිටියා.
සෙනසුරාදා දවසක හැන්දෑවේ මං ක්විබෙක් නගරයට කිට්ටුවෙන් තිබුණ සෙන්ට් මරි කියන පොඩි ටවුමේ සේවේ කරකර ඉද්දී මාව අත්අඩංගුවට ගත්තා. අවසරයක් නැතුව ගෙයින් ගෙට දේශනා සේවේ කරපු එකයි මට තිබුණ චෝදනාව. පස්සේ මාව විනිසුරුවරයෙක් ළඟට ගෙනිච්චා. එයා ගාම්භීර පෙනුමක් තිබුණ කෙනෙක්. එයා මගෙන් ඇහුවා උසාවියේදී මං වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයා කවුද කියලා. ග්ලෙන් හව් කියලා මං කිව්වාම විනිසුරුවරයා ටිකක් කලබල වෙලා කිව්වා “ආපෝ! එයාද” කියලා. එයා එහෙම කිව්වේ සහෝදර ග්ලෙන් සාක්ෂිකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් දක්ෂ විදිහට කතා කරන කෙනෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටපු නිසයි. පස්සේ උසාවියෙන් මට දැනුම් දුන්නා මට තිබුණ චෝදනාව අයින් කළා කියලා.
ක්විබෙක්වල අපේ සේවේට තිබුණ විරුද්ධවාදිකම් නිසා රැස්වීම් පවත්වන්න තැන් කුලියට ගන්නත් අපිට අමාරු වුණා. අපේ සභාවට රැස් වෙන්න හොයාගන්න පුළුවන් වුණේ පරණ ගරාජ් එකක් විතරයි. ඒකේ හීටර්වත් තිබුණේ නැහැ. ශීත කාලේදී සහෝදරයන් තෙල්වලින් දුවපු හීටර් එකක් තමයි පාවිච්චි කළේ. රැස්වීම පටන්ගන්න පැය කීපයකට කලින් අපි ඒක වටේ ඉඳගෙන දිරිගන්වන අද්දැකීම් බෙදාගත්තා.
ගත වුණ අවරුදු ගාණ පුරා දේශනා සේවෙන් ලැබිලා තියෙන හොඳ ප්‍රතිඵල ගැන හිතද්දී මට දැනෙන්නේ ලොකු සතුටක්. 1960 ගණන්වල ක්විබෙක් නගරයේ, කොට් නෝ පැත්තේ සහ ගැස්පේ අර්ධද්වීපයේ තිබුණේ පොඩි සභා කීපයක් විතරයි. අද වෙද්දී ඒ පැතිවල ගොඩක් සභා තියෙනවා. සහෝදරයන්ට රැස් වෙන්න ලස්සන නමස්කාර මධ්‍යස්ථානත් තියෙනවා.
චාරිකා සේවේ කරන්න ආරාධනයක්
1977දී ටොරොන්ටෝවල චාරිකා සේවකයන්ට තිබුණ රැස්වීමකට මං සහභාගි වුණා
සිමෝන්ටයි, මටයි 1970දී චාරිකා සේවේ යන්නත් 1973දී දිස්ත්‍රික් සේවේ යන්නත් පැවරුම් ලැබුණා. ඒ අවුරුදු ගාණ පුරාම ලෝරියේ සෝමියර් සහ ඩේවිඩ් ස්ප්ලේන්a වගේ දක්ෂ සහෝදරයන්ගෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ සහෝදරයන් දෙන්නාම චාරිකා සේවේ කරපු අය. සාමාන්‍යයෙන් සමුළුවක් ඉවර වුණාම සහෝදර ඩේවිඩුයි, මමයි අපේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගන්න පුළුවන් පැති ගැන කතා කරනවා. මට මතකයි දවසක් සහෝදර ඩේවිඩ් මෙහෙම කිව්වා. “ලියොන්ස් ඔයාගේ අන්තිම දේශනය ලස්සනයි. ඒත් ඔයා පාවිච්චි කරපු තොරතුරුවලින් මං නම් දේශන තුනක්වත් දෙනවා.” දේශනවලට ගොඩක් තොරතුරු ඇතුළත් කරන්න මං පුරුදු වෙලා හිටියා. දේවල් සරලව, කෙටියෙන් කියන්න මං ඉගෙනගන්න ඕනෙ කියලා මට තේරුණා.
කැනඩාවේ නැඟෙනහිර පැත්තේ තිබුණ හුඟක් නගරවල මං සේවේ කළා
ඒ කාලේ දිස්ත්‍රික් සේවකයන්ට තිබුණ වගකීමක් තමයි චාරිකා සේවකයන්ව දිරිගන්වන එක. ක්විබෙක්වල හිටපු හුඟක් ප්‍රචාරකයන් මාව හොඳට අඳුරන නිසා මං චාරිකා සේවක එක්ක එයාලගේ සභාවලට ගියාම එයාලට ඕනෙ වුණා මාත් එක්ක සේවේ යන්න. එයාලත් එක්ක සේවේ ගිහින් මං ලොකු සතුටක් ලැබුවා. ඒත් ඒකෙන් මට චාරිකා සේවක එක්ක වැඩියෙන් කාලේ ගත කරන්න හම්බ වුණේ නැහැ. දවසක් එක චාරිකා සේවකයෙක් මට ආදරෙන් මෙහෙම කිව්වා. “ඔයා සහෝදරයන් එක්ක කාලේ ගත කරන එක හොඳ දෙයක්. ඒත් අමතක කරන්න එපා ඔයා ආවේ මාත් එක්ක වැඩිපුර කාලේ ගත කරන්නයි. මටත් දිරිගැන්වීම් ඕනේ.” එයා ආදරෙන් දුන්න ඒ සිහිගැන්වීම මට ගොඩක් උදව් වුණා.
1976දී නොහිතපු විදිහේ දුක්බර අද්දැකීමකට මුහුණ දෙන්න මට වුණා. මගේ බිරිඳ සිමෝන් හොඳටම අසනීප වෙලා මිය ගියා. එයා මට හොඳ සහකාරියක් වුණා. එයා හැම තිස්සේම අනිත් අය ගැන හිතලා වැඩ කරපු කෙනෙක්. එයා යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරේ කළා. මං සේවේ වෙනුවෙන් ගොඩක් කාලේ දුන්න නිසා එයා නැති දුක දරාගන්න මට පුළුවන් වුණා. ඒ අමාරු කාලේ පුරා යෙහෝවා දෙවියන් මට උදව් කරපු එක ගැන මං ඔහුට ස්තුති කරනවා. කාලෙකට පස්සේ මං කැරලයින් එලියට් කියන සහෝදරියත් එක්ක විවාහ වුණා. එයා ඉංග්‍රීසි භාෂාව කතා කරන පුරෝගාමි සහෝදරියක්. ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවේ කරන්න නිසයි එයා ක්විබෙක්වලට ඇවිත් තිබුණේ. කැරලයින් එක්ක ඕනෙම කෙනෙක්ට ලේසියෙන් කතා කරන්න පුළුවන්. එයා අනිත් අය ගැන අවංක උනන්දුවක් දක්වනවා. විශේෂයෙන්ම ටිකක් ලැජ්ජාශීලී, තනිකමක් දැනුණ අයට එයා උදව් කරනවා. එයා මාත් එක්ක චාරිකා සේවේ යන්න පටන්ගත්තාම එයා ගොඩක් පැතිවලින් මට උදව් කළා.
හරිම විශේෂ අවුරුද්දක්
1978 ජනවාරි මාසේදී මට පැවරුමක් ලැබුණා ක්විබෙක්වල තිබුණ මුල්ම පුරෝගාමි පාසැලේ උපදේශකයෙක් විදිහට සේවේ කරන්න. මං පුරෝගාමි පාසැලකට සහභාගි වෙලා තිබුණේවත් පාසැලේ පාවිච්චි කරන පොත දැකලා තිබුණේවත් නැහැ. ඒ නිසා මට ලොකු බයක් දැනුණා. ඒත් මුල්ම පාසැලට ආවේ හුඟක් අද්දැකීම් තිබුණ පුරෝගාමීන්. මං උපදේශකයා වුණාට මං එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා.
ඒ අවුරුද්දේම මොන්ට්‍රියල්වල ජාත්‍යන්තර සමුළුවක් පැවැත්තුවා. ඒක තමයි ක්විබෙක්වල තිබුණ ලොකුම සමුළුව. ඒකට 80,000කට වඩා වැඩි පිරිසක් ආවා. සමුළුවේ මගේ පැවරුම වුණේ තොරතුරු අංශයේ සේවේ කරන එකයි. සමුළුවට ආපු වාර්තාකරුවන් හුඟදෙනෙක් එක්ක මං කතා කළා. එයාලා සමුළුව ගැන ගොඩක් හොඳ වාර්තාවන් ලියලා තිබුණ එක ගැන මට දැනුණේ ලොකු සතුටක්. TV එකේ සහ රේඩියෝ එකේ පැය 20කට වඩා වැඩි කාලයක් සමුළුව ගැන අපි එක්ක කරපු සම්මුඛ සාකච්ඡා විකාශනය වුණා. පත්තරවල සහ සඟරාවල ලිපි සිය ගාණකටත් වඩා වැඩියෙන් පළ වුණා. ඒක ඇත්තටම ලොකු සාක්ෂියක්!
වෙනත් ප්‍රදේශයකට ගියා
1996දී මට ලොකු වෙනසකට මුහුණ දෙන්න වුණා. බව්තීස්ම වුණ දවසේ ඉඳන්ම මං සේවේ කරලා තිබුණේ ප්‍රංශ භාෂාව කතා කරපු අය ඉන්න ක්විබෙක්වල. ඒත් ඒ අවුරුද්දේදී මට පැවරුමක් ලැබුණා ටොරොන්ටෝවල දිස්ත්‍රික් සේවක හැටියට සේවේ කරන්න. එහේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන සභා. ඒ පැවරුම කරන්න මට හැකියාවක් නැහැ කියලයි මං හිතුවේ. මං දැනන් හිටියේ කැඩිච්ච ඉංග්‍රීසි නිසා දේශන දෙන්න මට බයක් දැනුණා. මං තව වැඩියෙන් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ඔහු මත සම්පූර්ණයෙන්ම රඳා ඉන්න ඕනෙ කියලා මං තේරුම්ගත්තා.
පැවරුම පටන්ගන්න කලින් මට ලොකු බයක් දැනුණත් ටොරොන්ටෝවල සේවේ කරපු අවුරුදු දෙක පුරාම මං සේවේ කළේ සතුටෙන්. ඉංග්‍රීසි භාෂාව තව හොඳින් කතා කරන්න කැරලයින් මට ආදරෙන් උදව් කළා. එහේ හිටපු සහෝදරයනුත් මාව දිරිගැන්නුවා. මට උදව් කළා. අපිට ඉක්මනින්ම අලුත් යාළුවෝ හුඟක් හම්බ වුණා.
සති අන්තයේ සමුළු තිබුණත් මං සිකුරාදා හවස පැයක් විතර ගෙයින් ගෙට සේවේ හවුල් වුණා. සමහරු හිතන්න ඇති ‘සති අන්තයේ තියෙන සමුළුවට සූදානම් වෙන්න තියෙද්දී සිකුරාදා සේවේ යන්න ඕනෙද’ කියලා. ඒත් සේවේ ගිහින් උනන්දුව දක්වපු අය එක්ක කතා කරද්දී ඒකෙන් මං ලොකු දිරිගැන්වීමක් ලැබුවා. අද වුණත් සේවේ හවුල් වුණාට පස්සේ මට දැනෙන්නේ මගේ සතුට තව වැඩි වෙනවා කියලයි.
1998දී කැරලයින්ටයි, මටයි මොන්ට්‍රියල්වල විශේෂ පුරෝගාමීන් විදිහට සේවේ කරන්න ආයෙත් පැවරුමක් ලැබුණා. පොදු සේවය සැලසුම් කරන එක, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන තියෙන වැරදි මත නිවැරදි කරන්න මාධ්‍ය අංශයත් එක්ක සේවේ කරන එක අවුරුදු ගාණක් යන කල් මගේ පැවරුමට ඇතුළත් වුණා. දැන් මායි, කැරලයිනුයි මෑතකදී කැනඩාවේ පදිංචියට ආපු විදේශිකයන්ට දේශනා කරනවා.
මගේ බිරිඳ කැරලයින් එක්ක
බව්තීස්ම වුණ දවසේ ඉඳන් යෙහෝවා දෙවියන්ට සේවේ කරමින් ගත කරපු අවුරුදු 68 දිහා ආපහු හැරිලා බලද්දී යෙහෝවා දෙවියන් මට කොච්චර ආශීර්වාද කරලා තියෙනවාද කියලා පේනවා. සේවෙන් සතුටක් ලබන්න මං ඉගෙනගත්ත නිසාත් හුඟදෙනෙක්ට යෙහෝවා දෙවියන් ගැන දැනගන්න උදව් කරපු නිසාත් මට දැනෙන්නේ ලොකු තෘප්තියක්. මගේ දුව ලීසාගේ දරුවෝ උස් මහත් වුණාට පස්සේ එයායි, එයාගේ මහත්තයායි ස්ථාවර පුරෝගාමි සේවේ පටන්ගත්තා. සේවේ ගැන ලීසාට තියෙන උද්‍යෝගය දකිද්දී ඒක මට සතුටක්. යෙහෝවා දෙවියන් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න, විවිධ පැවරුම් කරලා ඔහුට සේවේ කරන්න සහෝදරයෝ හුඟදෙනෙකුගේ ආදර්ශ මට උදව් වුණා. අදටත් එයාලා ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු අගයක්. දෙවියන්ගේ සංවිධානය අපිට ලබා දෙන පැවරුම් හොඳින් කරන්න අපිට පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවියන් මත අපි රඳා හිටියොත් විතරයි කියලා මං ඉගෙනගත්තා. (ගීතා. 51:11) යෙහෝවා දෙවියන්ගේ නමට ප්‍රශංසා කරන්න ඔහු මට ලබා දුන්න අවස්ථාව ගැන මං ඔහුට හැමදාමත් ස්තුති කරනවා.—ගීතා. 54:6.
a සහෝදර ඩේවිඩ් ස්ප්ලේන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට සේවේ කරනවා.