ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 8/15 30-31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • විවාහය දෙවිගෙන් ලද දීමනාවක්
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • සාර්ථක විවාහයකට සූදානම් වීම
    පවුලේ සන්තෝෂයට රහස
  • විවාහය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 8/15 30-31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානීන් විවාහ ගිවිසගැනීම කොතරම් බැරෑරුම්ව සැලකිය යුතුද?

විවාහ ගිවිසගැනීම සතුටට හේතුවක් වුවද, එය සුළු පටු දෙයක්ද නොවෙයි. විවාහ ගිවිසගත්තායින් පසු, හිතුමනාපෙට ඕනෑම අවස්ථාවක අහෝසි කරන්න පුළුවන්යයි සිතමින්, එය සුළු කොට ගණන් ගැනීමෙන් වැළකීමට මේරූ ක්‍රිස්තියානීන් වගබලා ගත යුතුයි. විවාහ ගිවිසගැනීමෙන් පසු ගෙවන කාලය, විවාහයට පෙර යුවළක් එකිනෙකාව වඩාත් හොඳින් දැනහඳුනා ගැනීම සඳහා යොදාගත යුතු කාලයක්.

මෙම විෂය සාකච්ඡා කරද්දී, අප තේරුම්ගත යුතු දෙයක් නම්, විවාහයට සම්බන්ධ සමාජීය චාරිත්‍ර මෙන්ම ඊට මඟ පාදන පියවර, ප්‍රදේශය සහ කාලය අනුව බෙහෙවින් වෙනස් වන බවයි. බයිබලයෙහි මෙය පැහැදිලිව දැකගත හැකියි.

“පුරුෂයෙකු නෑඳින්න” ලොත්ගේ දූවරුන් දෙදෙනා, යම් ආකාරයකින් ප්‍රාදේශීය පුරුෂයන් දෙදෙනෙකු සමඟ විවාහ ගිවිසගෙන සිටියා. ලොත්ගේ ‘බෑනාවරුන් ඔහුගේ දූවරුන් සරණ පාවාගැනීමට’ [NW] සිටි බව බයිබලයෙහි සඳහන්ව තිබුණත්, එම විවාහ ගිවිසගැනීම් සිදු වූ ආකාරය සහ හේතු සඳහන් කරන්නේ නැහැ. එම දූවරුන් වැඩිහිටි වයසකද සිටියේ? විවාහ වන්නේ කා සමඟද කියා තෝරාගැනීමට අයිතියක් ඔවුන්ට තිබුණාද? ඔවුන් විවාහ ගිවිසගත්තේ යම් ප්‍රසිද්ධ පියවරක් ගැනීමෙන්ද? එය අපි දන්නේ නැහැ. (උත්පත්ති 19:8-14) නමුත්, යාකොබ් රාඛෙල්ගේ පියා සමඟ ගිවිසුමක් කළ බව නම් අපි දන්නවා. ඔහු ගිවිසගත්තේ ලාබන් වෙනුවෙන් වසර සතක් වැඩ කිරීමෙන් පසු රාඛෙල්ව විවාහ කරගැනීමටයි. යාකොබ් රාඛෙල්ව “මාගේ භාර්යාව” හැටියට හැඳින්වුවද, ඒ වසර සත තුළ ඔවුන් ලිංගික සම්බන්ධකම් පැවැත්වූයේ නැහැ. (උත්පත්ති 29:18-21) තවත් උදාහරණයක් බලමු. සාවුල්ගේ දියණිය විවාහ කරගැනීමට පෙර, දාවිත්ට සිදු වුණා පිලිස්තිවරුන්ට එරෙහිව ජය අත් කරගන්න. සාවුල්ගේ ඉල්ලීම ඉටු කළායින් පසු, මීඛල්ව විවාහ කරගැනීමට දාවිත්ට හැකි වුණා. (1 සාමුවෙල් 18:20-28) එවකට පැවැත්වූ “විවාහ ගිවිසගැනීම්” එකිනෙකට වෙනස් වූ අතර, අදදින පොදුවේ දක්නට ලැබෙන ගිවිසගැනීම්වලට වඩා වෙනස්ය.

විවාහය සහ විවාහ ගිවිසගැනීම් සම්බන්ධයෙන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි නීති රීති තිබුණා. නිදසුනකට, පුරුෂයෙකුට භාර්යාවන් කිහිපදෙනෙකුව විවාහ කරගන්න ඉඩ කඩ තිබුණා; විවිධ හේතු මත දික්කසාද වීමට හැකියාවද ඔහුට තිබුණා; කෙසේවෙතත් පෙනෙන ආකාරයට භාර්යාවකට එවැනි නිදහසක් තිබුණේ නැහැ. (නික්මයාම 22:16, 17; ද්විතීය කථාව 24:1-4) විවාහ ගිවිස නොගත් කන්‍යාවක් දූෂණය කළ පුරුෂයෙකු ඇයව විවාහ කරගැනීමට බැඳී සිටියේ එම කන්‍යාවගේ පියා ඊට එකඟ වූවොත් පමණයි. ඇයව කවදාවත් දික්කසාද කරන්න ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. (ද්විතීය කථාව 22:28, 29) විවාහයට අදාළ වූ වෙනත් නීතිද දක්නට ලැබුණා. නිදසුනක් වශයෙන්, ලිංගික සම්බන්ධකම්වලින් වැළකී සිටිය යුතු අවස්ථා දක්වා තිබුණා. (ලෙවී කථාව 12:2, 5; 15:24; 18:19) විවාහ ගිවිසගැනීම හා සම්බන්ධ වූයේ කුමන නීති රීතිද?

විවාහ ගිවිසගත් ඉශ්‍රායෙල් ජාතික ස්ත්‍රියකගේ නීත්‍යනුකූල ස්ථාවරය, ගිවිස නොගත් ස්ත්‍රියකගේ තත්වයට වඩා වෙනස් වුණා. ඇතැම් පැතිවලින් ඇය විවාහ වූ කෙනෙකු ලෙසයි සලකනු ලැබුවේ. (ද්විතීය කථාව 22:23-29; මතෙව් 1:18, 19) ඉශ්‍රායෙලිතයන්ට ඇතැම් ඥාතීන් සමඟ විවාහ ගිවිසගැනීමට හෝ විවාහ වීමට ඉඩ කඩ ලැබුණේ නැහැ. ඒ සාමාන්‍යයෙන් ලේ නෑකමක් තිබුණු අය සමඟයි. එනමුත් උරුමය කාට හිමි වේවිද යන්න ප්‍රශ්නයක් විය හැකි ඇතැම් විවාහ ගිවිසගැනීම් සහ විවාහයන්ද තහනම් කරනු ලැබුවා. (ලෙවී කථාව 18:6-20; මුරටැඹ [ඉංග්‍රීසියෙන්] 1978 මාර්තු 15, 25-8 පිටු බලන්න.) එසේ නම්, දෙවිගේ සේවකයන් විවාහ ගිවිසගැනීම සුළු පටු දෙයක් හැටියට නොසැලකිය යුතු බව මේ සියල්ලෙන් පැහැදිලියි.

ඉශ්‍රායෙලිතයන් ව්‍යවස්ථාවේ මෙවන් නීති රීති සියල්ලටම යටත්ව සිටියත්, ක්‍රිස්තියානීන්, විවාහ ගිවිසගැනීම සහ විවාහය පිළිබඳ නීති රීති ඇතුළත් එම ව්‍යවස්ථාව යටතේ නොසිටියි. (රෝම 7:4, 6; එපීස 2:14අ, 15; හෙබ්‍රෙව් 8:6, 13) ඇත්තෙන්ම, විවාහයට සම්බන්ධ ක්‍රිස්තියානි ප්‍රමිතිය ව්‍යවස්ථා ප්‍රමිතියට වඩා වෙනස් බව යේසුස් ඉගැන්නුවා. (මතෙව් 19:3-9) ඒ වුණත්, විවාහයේ හෝ විවාහ ගිවිසගැනීමේ බැරෑරුම්කම ඔහු සුළු කොට තැකුවේ නැහැ. ඉතින්, ක්‍රිස්තියානීන් විවාහ ගිවිසගැනීම නමැති විෂය ගැන කුමක්ද කියන්න තිබෙන්නේ?

බොහෝ රටවල, තමන් විවාහ වන්නේ කා සමඟද යන්න පුද්ගලයන් පෞද්ගලිකව තීරණය කරනවා. පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විවාහ වෙනවා කියා පොරොන්දු වුණහම, ඔවුන් විවාහ ගිවිසගෙන ඇතැයි සලකනු ලබනවා. සාමාන්‍යයෙන් මෙම ගිවිසගැනීම ස්ථාපිත කිරීමට යම් විධිමත් පියවරක් ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. හැබැයි, ඇතැම් ප්‍රදේශවල, පුරුෂයා තම අනාගත භාර්යාවට ඔවුන්ගේ විවාහ ගිවිසගැනීම සංකේතවත් කිරීමට මුද්දක් දීම චාරිත්‍රයක් වශයෙන් පවතිනවා. එහෙම නැත්නම්, පවුල සඳහා පවත්වන භෝජන සංග්‍රහයකදී හෝ කුඩා හමුවකදී, විවාහ ගිවිසගැනීම නෑදෑ හිතමිතුරන්ට නිවේදනය කිරීම චාරිත්‍රානුකූලව කෙරෙනවා. මේවා පෞද්ගලිකව කරන තේරීම් මිස ශුද්ධ ලියවිලිමය අවශ්‍යතා නොවෙයි. විවාහ ගිවිසගැනීමේදී වැදගත් වන්නේ දෙදෙනා අතර සිදු වන පොරොන්දුවයි.a

ක්‍රිස්තියානි භක්තිකයෙකු පූර්ව-විවාහ ඇසුරකට, විවාහ ගිවිසගැනීමකට හෝ විවාහයකට පා තබන්න හදිසි නොවිය යුතුයි. පූර්ව-විවාහ ඇසුරක් ඇරඹීමට හෝ විවාහ ගිවිසගැනීමට හෝ විවාහයට අවශ්‍ය පියවර ගැනීම ඥානවන්ත දෙයක්ද නැද්ද යන්න තනිකඩ පුද්ගලයන්ට තීරණය කිරීමට අවශ්‍ය බයිබලය මත පදනම් තොරතුරු අපි ප්‍රකාශයට පත් කර තිබෙනවා.b මෙම උපදෙස්වල වැදගත්ම අංගයක් වන්නේ ක්‍රිස්තියානි විවාහ බන්ධනය ස්ථිරසාර එකක් වීමයි.—උත්පත්ති 2:24; මාර්ක් 10:6-9.

විවාහ ගිවිසගැනීම ගැන කල්පනා කරන්න කලින්, ක්‍රිස්තියානි භක්තිකයන් දෙදෙනා එකිනෙකාව හොඳින් දැනහඳුනා ගත යුතුයි. දෙදෙනාටම මෙසේ ඇසිය හැකියි: ‘ඔහුගේ හෝ ඇගේ ආත්මිකත්වය ගැන හා දෙවි සඳහා ඇති භක්තිය ගැන මට ඇත්තෙන්ම ස්ථිරද? ඒ පුද්ගලයා සමඟ ජීවිතාන්තය දක්වාම දෙවිට සේවය කිරීම මට සිතින් මවාගන්න පුළුවන්ද? අපිට එකිනෙකාගේ පෞද්ගලිකත්වයේ ගතිලක්ෂණ ගැන ප්‍රමාණවත් දැනුමක් තිබෙනවාද? අප දෙදෙනා අතර කල්පවතින ගැළපීමක් තියෙයි කියලා මට ස්ථිරද? අපි දෙදෙනාට එකිනෙකාගේ අතීත ජීවිතය සහ වර්තමාන තත්වයන් ගැන ප්‍රමාණවත් දැනුමක් තිබෙනවාද?’

ක්‍රිස්තියානීන් දෙදෙනෙකු විවාහ ගිවිසගත්තායින් පසු, විවාහයක් සිදු වෙයි කියා ඔවුන් මෙන්ම අනිත් අයද අපේක්ෂා කිරීම යෝග්‍යයි. යේසුස් මෙසේ අවවාද කළා: “නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද; නැත, නැත කියාද වේවා.” (මතෙව් 5:37, ඇල අකුරු අපගේය.) විවාහ ගිවිසගන්නා ක්‍රිස්තියානීන් එය බැරෑරුම් බැඳීමක් ලෙස සැලකිය යුතුයි. කොහොම වුණත්, විවාහ ගිවිසගැනීමට පෙර යම් බරපතළ කාරණයක් සඳහන් නොකළ බව හෝ සඟවනු ලැබූ බව විවාහ ගිවිසගත් ක්‍රිස්තියානියෙකුට දැනගන්න ලැබිය හැකියි. කෙසේවෙතත්, මෙවන් අවස්ථා දුර්ලභයි. අනිත් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ අතීතයට සම්බන්ධ දුරාචාර ක්‍රියාවක් හෝ අපරාධ හා සම්බන්ධ ඉතා බරපතළ කාරණා මීට අයත් විය හැකියි. මේ ගැන දැනගන්නා ක්‍රිස්තියානි භක්තිකයා කුමක් කළ යුතුදැයි පෞද්ගලිකව තීරණය කළ යුතුයි. සමහරවිට, කාරණා හොඳින් සාකච්ඡා කොට, විවාහ ගිවිසගැනීම අවලංගු නොකිරීමට ඔවුන් තීරණය කළ හැකියි. එසේ නැත්නම්, එය අහෝසි කිරීමට ඔවුන් දෙදෙනාම තීරණය කළ හැකියි. මෙවැනි තීරණයක් ගැනීම පෞද්ගලික කාරණයක් වුණත්, එය බරපතළ ලෙස සැලකිය යුතු තීරණයක්. තවද අන්‍යයන් එවැනි දෙයකට ඇඟිලි ගැසීමෙන් හෝ විවේචනය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි. අනික් අතට, බරපතළ ප්‍රශ්නයක් ඇති බව දැනගන්නා පුද්ගලයාට විවාහ ගිවිසගැනීම අහෝසි කළ යුතුමයි කියා පෞද්ගලිකව හැඟිය හැකි වුණත්, අනිත් පුද්ගලයාට ඒ සඳහා කැමැත්තක් නොතිබෙනවා වෙන්න පුළුවන්.—මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1975 ජූනි 15හි “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.

විවාහයකට පා තබන්න කලින්, එවැනි ප්‍රශ්න සමථයකට පත් කිරීමට හොඳ හේතු තිබෙනවා. කෙනෙකුට නැවත විවාහ වීමට නිදහස ලබා දෙන දික්කසාදය සඳහා එකම ශුද්ධ ලියවිලිමය පදනම, අනිත් විවාහක කලත්‍රයා අතින් සිදු වන පෝර්·නිʹයා, එනම් බරපතළ ලිංගික දුරාචාරය බව යේසුස් පැවසුවා. (මතෙව් 5:32; 19:9) විවාහ මංගල්‍යයට කලින් සිදු වූ බරපතළ ගැටලුවක් හෝ වරදක් සම්බන්ධයෙන් යමෙක් දැනගත්තොත්, දික්කසාදයකින් නීතික විවාහයක් අහෝසි කළ හැකි බව යේසුස් පැවසුවේ නැහැ.

නිදසුනකට, යේසුස්ගේ දවසේ ලාදුරු රෝගය වැළඳීමට සෑහෙන ඉඩ කඩ තිබුණා. යුදෙව් පුරුෂයෙක් ස්ත්‍රියක්ව විවාහ කරගත් විට, (දැනුවත්ව හෝ නොදැනුවත්ව) ඇය ලාදුරු රෝගියෙකු වූ බව දැනගත්තොත්, දික්කසාද වීම සඳහා පදනමක් ඔහුට තිබුණාද? ව්‍යවස්ථාව යටතේ සිටි යුදෙව්වෙකුට එසේ දික්කසාද වන්න හැකියාව තිබුණද, තම අනුගාමිකයන්ට එය සුදුසු ක්‍රියාමාර්ගයක් බව යේසුස් පැවසුවේ නැහැ. නවීන කාලයට අදාළ තත්වයන් කිහිපයක් සලකා බලන්න. සිෆිලිස්, ප්‍රජනක ඉන්ද්‍රියයන්වලට බලපාන හර්පීස්, HIV හෝ බෝවන වෙනත් බරපතළ රෝගයකින් ආසාදනය වී ඇති පුරුෂයෙක්, තමා රෝගියෙකු බව අඟවන්නේ නැතුව විවාහ විය හැකියි. ඔහුට එම රෝගය වැළඳුණේ විවාහ ගිවිසගැනීම අතරතුර හෝ ඊට පෙර ඔහු ලිංගික දුරාචාරයෙහි නිරත වූ නිසා වෙන්න ඇති. ඔහුගේ රෝගය ගැන හෝ අතීතයේ දුරාචාරයෙහි නිරත වුණ සැටි (සමහරවිට වඳභාවය හෝ ලිංගික බෙලහීනබව වුණත්) භාර්යාව පසුව දැනගත්තත්, ඔවුන් දෙදෙනා දැන් විවාහ වී සිටින බවට වූ කාරණය වෙනස් වන්නේ නැහැ. විවාහයට කලින් කළ අවකල් ක්‍රියා, විවාහයක් අහෝසි කිරීමට ඇයට ශුද්ධ ලියවිලිමය පදනමක් සපයන්නේ නැහැ. තවද භාර්යාවකට යම් රෝගයක් වැළඳී තිබුණත්, විවාහයට කලින් වෙනත් පුරුෂයෙකු අතින් සිදු වූ ගැබ්ගැනීමක් විවාහ වෙද්දී වසං කර තිබුණත්, විවාහය අහෝසි කිරීමට එයිනුත් පදනමක් සැපයෙන්නේ නැහැ. ඔවුන් දැන් විවාහ වී සිටින අතර, එකිනෙකාට බැඳී සිටිනවා.

මෙවැනි තත්වයන් ඉස්මතු වන්නේ කලාතුරකින් බව පිළිගත යුතු වුවත්, විවාහ ගිවිසගැනීමක් සුළු පටු දෙයක් ලෙස නොතැකිය යුතුයි යන මූලික කාරණය ඉහත සඳහන් උදාහරණවලින් කැපීපෙනෙන්න සලස්වනවා. විවාහ ගිවිසගැනීමකට පෙර සහ ඒ අතරතුරේදී, එකිනෙකාව හොඳින් දැනහඳුනා ගැනීමට ක්‍රිස්තියානීන් උපරිම උත්සාහයක් දැරිය යුතුයි. දෙපාර්ශ්වයම එකිනෙකා ගැන දැනගන්න ඕනෑ දේවල් මෙන්ම දැනගන්න අයිතියක් ඇති දේවල් ගැන අවංක විය යුතුයි. (ඇතැම් රටවල විවාහයකට කලින් ඇතැම් යුවළයන්ට සිදු වෙනවා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන්න. තවත් සමහරු තම පෞද්ගලික දැනගැනීම සඳහා එවැනි දෙයක් කිරීමට කැමැත්තක් දැක්විය හැකියි.) විවාහ ගිවිසගෙන සිටීමේ කාලපරිච්ඡේදයෙහි විදහා පෙන්වන ප්‍රීතිය මෙන්ම බැරෑරුම් ලෙස සැලකීම ගෞරවාන්විත අරමුණක් ඉටු කළද, ඊටත් වඩා ප්‍රීතිමත් මෙන්ම බැරෑරුම් අවස්ථාව වන විවාහයටයි ඒ දෙදෙනා පා නඟන්නේ.—හිතෝපදේශ 5:18, 19; එපීස 5:33.

[පාදසටහන්වල]

a ඇතැම් රටවල දෙමාපියන් තවමත් තම දරුවන්ගේ විවාහ ගිවිසගැනීමට කටයුතු පිළියෙළ කරනවා. අදාළ දෙදෙනා විවාහ වීමට පුළුවන් තත්වයකට එළඹෙන්න සෑහෙන්න කලින් වුණත් මෙය සිදු කිරීමට ඉඩ තිබෙනවා. ඒ අතරවාරයේදී, ඔවුන්ව සලකන්නේ විවාහ ගිවිසගෙන ඇති හෝ විවාහ වීමට පොරොන්දු වී සිටින යුවළක් හැටියටයි. කෙසේවෙතත්, ඔවුන් විවාහ වී සිටිනවායයි සලකන්නේ නැහැ.

b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු, 28-32 පරිච්ඡේද සහ පවුලේ සන්තෝෂයට රහස, 2වන පරිච්ඡේදය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න