ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fy 2 පරි. 13-26 පි.
  • සාර්ථක විවාහයකට සූදානම් වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාර්ථක විවාහයකට සූදානම් වීම
  • පවුලේ සන්තෝෂයට රහස
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔබ විවාහය සඳහා සූදානම්ද?
  • ප්‍රථමයෙන් ඔබවම දැනගන්න
  • කලත්‍රයෙකු සෙවීමේදී සැලකිල්ලට ගත යුතු දේ
  • කලින් සොයා බලන්න
  • ඔබේ පූර්ව විවාහ ඇසුර ගෞරවනීයව තබාගන්න
  • විවාහ මංගල්‍යයෙන් ඔබ්බට බැලීම
  • ඔබගේ විවාහයට කදිම අත්තිවාරමක් දැමීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • විවාහය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • විවාහය දෙවිගෙන් ලද දීමනාවක්
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • සාර්ථක විවාහයකට අවශ්‍ය මොනවාද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
පවුලේ සන්තෝෂයට රහස
fy 2 පරි. 13-26 පි.

2වෙනි පරිච්ඡේදය

සාර්ථක විවාහයකට සූදානම් වීම

1, 2. (අ) සැලසුම් යෙදීමේ වැදගත්කම යේසුස්වහන්සේ අවධාරණය කළේ කෙසේද? (ආ) සැලසුම් කිරීම විශේෂයෙන්ම වැදගත් වන්නේ කුමන ක්ෂේත්‍රයේදීද?

ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා සැලකිලිමත් සූදානමක් අවශ්‍යය. අත්තිවාරම දැමීමට පෙර, ඉඩම හිමි කරගෙන, සැලසුමක් ඇඳගත යුතුය. කෙසේවුවද, තවත් වැදගත් දෙයක් තිබේ. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?”—ලූක් 14:28.

2 ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සම්බන්ධයෙන් සත්‍යය වන දෙයම, සාර්ථක විවාහයක් ගොඩනැඟීම සම්බන්ධයෙන්ද අදාළ වේ. “මට විවාහ වෙන්න ඕනේ,” කියා බොහෝදෙනෙක් පවසති. එහෙත් ඊට ඇතුළත් වන සියල්ල ගැන සලකා බලන්නේ කීයෙන් කීදෙනාද? බයිබලය විවාහය ගැන ඒකාන්ත ආකාරයකින් කතා කරන අතරම, විවාහය ඉදිරිපත් කරන අභියෝග වෙතටද අවධානය යොමු කරවයි. (හිතෝපදේශ 18:22; 1 කොරින්ති 7:28) එමනිසා, විවාහ වීමට අදහස් කරන අය විවාහ වී සිටීමෙන් ලැබෙන ආශීර්වාද මෙන්ම පාඩු පිළිබඳව යථාර්ථවාදී දෘෂ්ටියකින් බැලිය යුතු වේ.

3. විවාහය සඳහා සැලසුම් කරන අයට බයිබලය අගනා ආධාරකයක් වන්නේ මන්ද, එමෙන්ම උත්තර සැපයීමට අපට උපකාර කරනු ඇත්තේ කිනම් ප්‍රශ්න තුනද?

3 උපකාර කිරීමට බයිබලයට හැක. එහි ඇති උපදෙස්, විවාහයේ මූලාරම්භකයාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ආනුභාවයෙන් පිරිනමන ලද්දකි. (එපීස 3:14, 15; 2 තිමෝති 3:16) පැරණි වුවත් මෙම ඉතා කාලෝචිත ගුරු පොතෙහි ඇති ප්‍රතිපත්ති යොදාගනිමින්, (1) තමා විවාහයට සූදානම්දැයි පුද්ගලයෙකුට පැවසිය හැක්කේ කෙසේද? (2) කලත්‍රයෙකු තුළ තිබේදැයි බැලිය යුත්තේ කවර දේවල්ද? තවද (3) පූර්ව විවාහ ඇසුරක් ගෞරවනීයව තබාගත හැක්කේ කෙසේද? කියා අපි නිශ්චය කරගනිමු.

ඔබ විවාහය සඳහා සූදානම්ද?

4. සාර්ථක විවාහයක් පවත්වාගැනීමට වැදගත් සාධකයක් වන්නේ කුමක්ද, තවද ඒ මන්ද?

4 ගොඩනැඟිල්ලක් ඉදි කිරීම මිල අධික කටයුත්තක් විය හැකි නමුත්, එහි දිගු කල් නඩත්තුව එලෙසම වියදම් සහිත එකකි. විවාහය සම්බන්ධයෙන්ද එය එසේමය. විවාහ වීමම අභියෝගයක් මෙන් පෙනෙන්ට තිබේ; කෙසේවුවත්, වසරක් වසරක් පාසා විවාහ සබඳතාවක් පවත්වාගැනීමද සලකා බැලිය යුතුය. එවැනි සබඳතාවක් පවත්වාගැනීමට කුමක් ඇතුළත් වේද? මුළු හදින් බැඳීම අත්‍යවශ්‍ය සාධකයකි. බයිබලයෙහි විවාහ සබඳතාව විස්තර කරන්නේ මෙයාකාරයෙනි: “පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.” (උත්පත්ති 2:24) යළි විවාහ වීමේ හැකියාව ඇතුව දික්කසාදය සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුන් එකම ශුද්ධ ලියවිලිමය පදනම—“වේශ්‍යාකම,” එනම්, විවාහයෙන් පිටත නීති විරෝධී ලිංගික සබඳතාව වේ. (මතෙව් 19:9) ඔබ විවාහ වීමට අදහස් කරන්නෙහි නම්, මෙම ශුද්ධ ලියවිලිමය ප්‍රමිති මනසෙහි තබාගන්න. මෙම බැරෑරුම් බැඳීම සඳහා ඔබ සූදානම් නැත්නම්, ඔබ විවාහය සඳහා සූදානම් නැත.—ද්විතීය කථාව 23:21; දේශනාකාරයා 5:4, 5.

5. විවාහයේ බැරෑරුම් බැඳීම ඇතමෙකුව බියගැන්වුවත්, විවාහ වීමට බලාපොරොත්තු වන අය විසින් එය ඉතා උසස් කොට අගය කළ යුත්තේ මන්ද?

5 බැරෑරුම් බැඳීමක් පිළිබඳ අදහසට බොහෝදෙනෙක් බිය වෙති. “අප දෙදෙනා බැඳී සිටින්නේ ජීවිත කාලයටම බව දැන සිටීමෙන්, මට සීමා පනවා, කොටු කර, මුළුමනින්ම සිර කර තිබෙන බවක් හැඟුණා,” යයි එක් තරුණ පුරුෂයෙක් පැවසීය. එහෙත් ඔබ විවාහ වීමට බලාපොරොත්තු වන පුද්ගලයාට ඔබ අවංකවම ආදරේ නම්, බැඳීම හිසරදයක් මෙන් නොපෙනෙනු ඇත. ඒ වෙනුවට, එය ආරක්ෂාවේ මූලාශ්‍රයක් මෙන් සලකනු ඇත. විවාහයෙහි අන්තර්ගතව තිබෙන බැඳීම පිළිබඳ අවබෝධය, යුවළකට දුකේදීත්, සැපේදීත් එකට සිටීමට වුවමනාවකුත්, කුමක් සිදු වුවත් එකිනෙකාට අනුබල දීමටත් ඉවහල් වනු ඇත. සැබෑ ප්‍රේමය “සියල්ල දරාගන්නේය” එමෙන්ම “සියල්ල ඉවසන්නේය” කියා ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් ලීවේය. (1 කොරින්ති 13:4, 7) “විවාහයේ බැඳීම මට වැඩි ආරක්ෂාවක් හැඟීමට සලස්වයි,” කියා එක් ස්ත්‍රියක් පවසයි. “අප එකට බැඳී සිටීමට බලාපොරොත්තු වන බව අප එකිනෙකාටත්, ලෝකයටත් ප්‍රකාශ කර තිබීමෙන් ලැබෙන සැනසීමට මා කැමතියි.”—දේශනාකාරයා 4:9-12.

6. ළා බාල වියකදී, විවාහ වීමට හදිසි නොවීම හොඳම දෙය වන්නේ මන්ද?

6 එවැනි බැඳීමකට අනුව ජීවත් වීමට මේරූකම අවශ්‍යය. මෙසේ, ලිංගික හැඟීම් බලවත් වන මෙන්ම කෙනෙකුගේ හරි විනිශ්චය විකෘති කළ හැකි අවදිය වන “යෞවනයේ මල් පූදින විය” පසුවන තුරු, ක්‍රිස්තියානීන් විවාහ නොවනවා නම් වඩා හොඳ බවට පාවුල් අවවාද කරයි. (1 කොරින්ති 7:36, NW ) යෞවන අය වැඩෙන විට ශීඝ්‍රයෙන් වෙනස් වෙති. ළා බාල වියේ විවාහ වන බොහෝදෙනාට වසර කීපයකට පසු තමන්ගේ මෙන්ම තම කලත්‍රයන්ගේ අවශ්‍යතා හා ආශාවන් වෙනස් වී ඇති බව දැනෙයි. තව ටික කලක් වැඩියෙන් සිට විවාහ වන අයට වඩා, නහඹර වියේදී විවාහ වන අයට අසන්තෝෂයට පත්වීමට හා දික්කසාද වීමට ඇති ඉඩ කඩ වැඩි බව සංඛ්‍යා ලේඛනවලින් හෙළි වෙයි. මෙනිසා විවාහ වීමට හදිසි නොවන්න. යෞවන, තනිකඩ වැඩිහිටියෙකු ලෙසින් යම් කාලයක් ගත කිරීමෙන්, වැඩි මේරූකමක්ද, කලත්‍රයෙකු වීම සඳහා හොඳින් සුදුසුකම් ලැබීමට ඉවහල් වන අගනා අද්දැකීම්ද ඔබට ලබාගත හැක. විවාහ වීමට ප්‍රමාද වීම, ඔබේ විවාහයේදී සාර්ථක සබඳතාවක් වර්ධනය කරගැනීමට අත්‍යවශ්‍ය දෙයක් වන, ඔබ ගැනම වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට උපකාරයක් විය හැක.

ප්‍රථමයෙන් ඔබවම දැනගන්න

7. විවාහ වීමට බලාපොරොත්තු වන අය පළමුව තමන්වම පරීක්ෂා කරගත යුත්තේ මන්ද?

7 කලත්‍රයෙකු තුළ තිබීමට ඔබට වුවමනා කරන ගුණාංග ලැයිස්තුගත කිරීම පහසු බව ඔබට දැනෙනවාද? බොහෝදෙනෙකුට එසේ දැනේ. කෙසේවුවත්, ඔබේම ගුණාංග ගැන කුමක් කිව හැකිද? සාර්ථක විවාහයකට දායක වීමට ඔබට උපකාර කරවන කුමන ගුණාංග ඔබ සතුව ඇද්ද? ඔබ කෙබඳු ස්වාමිපුරුෂයෙකු හෝ භාර්යාවක වනු ඇද්ද? උදාහරණයක් වශයෙන්, ඔබ ඔබේ වැරදි නොසඟවා පිළිගන්නා අතර උපදෙස් පිළිගන්නවාද, නැතහොත් ඔබව හරිගස්වන සැමවිටකම නිදහසට කරුණු කීමට තැත් කරනවාද? ඔබ සාමාන්‍යයෙන්ම ප්‍රීතියෙන් හා ශුභවාදීව සිටිනවාද, නැතහොත් ඔබ දොම්නසින් සිට, නිතර නිතර පැමිණිලි කිරීමට ප්‍රවණතාවක් දක්වනවාද? (හිතෝපදේශ 8:33; 15:15) විවාහය ඔබේ පෞද්ගලිකත්වය වෙනස් නොකරන බව මතක තබාගන්න. ඔබ තනිකඩව සිටින විට ආඩම්බර, වුවමනාවට වඩා සංවේදීතාව දක්වන හෝ අධික ලෙස අශුභවාදී වන කෙනෙකු නම්, විවාහ වූ විටත් ඔබ එලෙසම සිටිනු ඇත. අන් අය අප දෙස බලන අයුරින්ම අපට අප දෙස බැලීමට අසීරු බැවින්, අවංක අදහස් හෝ යෝජනා ඉදිරිපත් කරන්නයයි දෙමව්පියෙකුගෙන් හෝ විශ්වසනීය මිත්‍රයෙකුගෙන් නොඉල්ලන්නේ මන්ද? වෙනස්කම් කිරීමට තිබෙන බව ඔබ දැනගතහොත්, විවාහයට පියවර ගැනීමට පෙර මේවා සම්බන්ධයෙන් ක්‍රියා කරන්න.

8-10. බයිබලය, පුද්ගලයෙකුට විවාහය සඳහා සූදානම් වීමට උපකාරවත් වනු ඇති, කුමන අවවාදයක් සපයයිද?

8 “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම” වැනි ගුණාංග නිපදවමින් අප තුළ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය ක්‍රියා කිරීමට ඉඩහරින්නයයි බයිබලය අපට දිරිගන්වයි. එමෙන්ම “චිත්තාත්මයෙන් අලුත්කරනු” ලැබීමට හා “සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්න” කියාද අපට පවසයි. (ගලාති 5:22, 23; එපීස 4:23, 24) තවමත් තනිකඩව සිටින ඔබ, මෙම උපදෙස අදාළ කරගැනීම හරියට බැංකුවේ මුදල් තැන්පත් කිරීමක් හා සමානය—එය අනාගතයේදී ඔබ විවාහ වන විට ඉතා වටිනා දෙයක් බවට ඔප්පු වනු ඇත.

9 උදාහරණයක් වශයෙන්, ඔබ ස්ත්‍රියක නම්, ඔබේ ශාරීරික පෙනුම වෙත අවධානය යොමු කරනවාට වඩා වැඩි අවධානයක් “සිතේ ඇතුල් මනුෂ්‍යයා” වෙත යොමු කිරීමට ඉගෙනගන්න. (1 පේතෘස් 3:3, 4) විනීතකම හා සිහිබුද්ධිය, සැබෑ “අලංකාර ඔටුන්නක්” වන ප්‍රඥාව ලබාගැනීමට ඔබට උපකාර කරනු ඇත. (හිතෝපදේශ 4:9; 31:10, 30; 1 තිමෝති 2:9, 10) ඔබ පුරුෂයෙකු නම්, කරුණාවන්ත හා ගෞරවනීය ආකාරයකින් ස්ත්‍රීන්ට සැලකීමට ඉගෙනගන්න. (1 තිමෝති 5:1, 2) තීරණ ගැනීමට හා වගකීම් ඉසිලීමට ඉගෙනගන්නා අතරම, විනීතව හා නිහතමානීව සිටීමටද ඉගෙනගන්න. බලය පෙන්වීමේ ආකල්පයක්, විවාහයක ගැටලු ඇති කිරීමට මඟ පාදනු ඇත.—හිතෝපදේශ 29:23; මීකා 6:8; එපීස 5:28, 29.

10 මේ පැතිවලින් මනස සාදාගැනීම පහසු නොවුවත්, සියලු ක්‍රිස්තියානීන් වැඩිදියුණු කිරීමට වෙර දැරිය යුතු දෙයකි, එය. තවද, එය ඔබට වඩාත් හොඳ විවාහ සහකරුවෙකු වීමට උපකාර කරනු ඇත.

කලත්‍රයෙකු සෙවීමේදී සැලකිල්ලට ගත යුතු දේ

11, 12. දෙදෙනෙකුහට තමන් ගැළපෙනවාද, නැද්ද යන්න සොයාගත හැක්කේ කෙසේද?

11 පුද්ගලයෙකු තමා විසින්ම තම කලත්‍රයා තෝරාගැනීම ඔබ ජීවත් වන ප්‍රදේශයේ සිරිතද? එය එසේනම්, ඔබේ සිත්ගන්නා විරුද්ධ පක්ෂයේ කෙනෙකු මුණගැසුණහොත් ඔබ ඉන් ඉදිරියට ක්‍රියා කළ යුත්තේ කෙසේද? පළමුව, ඔබෙන්ම මෙසේ අසන්න, ‘ඇත්තෙන්ම මා විවාහ වීමට බලාපොරොත්තු වෙනවාද?’ බොරු බලාපොරොත්තු ඇති කිරීමෙන් වෙනත් කෙනෙකුගේ හැඟීම් සමඟ සෙල්ලම් කිරීම, කෲරකමකි. (හිතෝපදේශ 13:12) එසේනම්, ඔබෙන් අසන්න, ‘මා විවාහ වීමට සුදුසු තත්වයක සිටිනවාද?’ ප්‍රශ්න දෙකටම උත්තරය එසේය නම්, ඔබ ඊළඟට ගන්නා පියවර දේශීය සිරිත් විරිත්වලට අනුව වෙනස් වනු ඇත. ඇතැම් රටවලට අනුව, යම් කලකට පුද්ගලයෙකුව නිරීක්ෂණය කිරීමෙන් පසු, පුද්ගලයා වෙත ගොස්, වඩා හොඳින් ඇඳිනගැනීමට ආශාවක් තිබෙන බව ප්‍රකාශ කිරීමට ඔබට හැක. නිෂේධාත්මක පිළිතුරක් ලැබේ නම්, තරහ කරගන්නා තරමටම ඒ මතම එල්බ නොසිටින්න. එම කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අනික් තැනැත්තාටද අයිතියක් තිබෙන බව මතක තබාගන්න. කෙසේවුවද, නිශ්චිත පිළිතුරක් ලැබේ නම්, එක්ව යහපත් ක්‍රියාකාරකම්වල යෙදීමට සැලසුම් යෙදීමට ඔබට හැක. මෙම පුද්ගලයා සමඟ විවාහ වීම ඥානවන්ත දෙයක් වනු ඇද්දැයි බැලීමට මෙය ඔබට ප්‍රස්තාව සලසනු ඇත.a මේ අවදියේදී ඔබ විමසිල්ලෙන් සිටිය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද?

12 එම ප්‍රශ්නයට උත්තර දීම සඳහා, සංගීත භාණ්ඩ දෙකක්, සමහරවිට පියානෝවක් හා ගිටාරයක් ගැන කල්පනා කර බලන්න. ඒවාට නියමිත ලෙස තනුව සකස් කර ඇත්නම්, එම එක් එක් භාණ්ඩයට තනිව මිහිරි සංගීතයක් සැපයිය හැක. එහෙත්, මෙම භාණ්ඩ එකවිට වාදනය කරනවා නම් සිදු වන්නේ කුමක්ද? දැන් ඒවායේ තනු එකිනෙකට සම්බන්ධව තිබිය යුතුය. ඔබ සම්බන්ධයෙන් හා විවාහ අපේක්ෂිත කලත්‍රයෙකු සම්බන්ධයෙන්ද එසේමය. පුද්ගලයන් වශයෙන් තම පෞද්ගලිකත්වය “සකස් කිරීමට” ඔබ දෙදෙනාම වෙහෙස වී ක්‍රියා කර තිබිය හැක. එහෙත් දැන් ප්‍රශ්නය මෙය වේ: ඔබ දෙදෙනා, එකිනෙකා සමඟ එකඟද? වෙනත් වචනවලින් පවසනවා නම්, ඔබ දෙදෙනා ගැළපෙනවාද?

13. ඔබේ ඇදහිල්ලට පංගුකාරයෙකු නොවන තැනැත්තෙකු සමඟ පූර්ව විවාහ ඇසුරක යෙදීම ඉතාම අනුවණ දෙයක් වන්නේ මන්ද?

13 ඔබ දෙදෙනාටම පොදු විශ්වාසයන් හා ප්‍රතිපත්ති තිබීම වැදගත්ය. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙල්ලා.” (2 කොරින්ති 6:14; 1 කොරින්ති 7:39) දෙවියන්වහන්සේ කෙරෙහි වූ ඔබේ ඇදහිල්ලට පංගුකාරයෙකු නොවන කෙනෙකු සමඟ විවාහ වීම මගින් බොහෝ සේ එකඟ නොවීම් තිබීමට ඇති ඉඩ කඩ වැඩි කරවයි. අනික් අතට, යෙහෝවඃ දෙවියන්වහන්සේ වෙත අන්‍යොන්‍ය භක්තියක් දැක්වීම, එකමුතුකමට බලවත්ම පදනම වේ. යෙහෝවඃවහන්සේට වුවමනා වන්නේ, ඔබ සන්තෝෂයෙන් සිටිනවා දැකීමටත්, ඔබ විවාහ වී සිටින පුද්ගලයා සමඟ සමීපව බැඳී සිටිනවා දැකීමටත්ය. උන්වහන්සේට වුවමනා කරන්නේ, ප්‍රේමයෙහි තෙවැදෑරුම් බැඳීමක් මගින් ඔබ උන්වහන්සේටත්, දෙදෙනා එකිනෙකාටත් බැඳී සිටීමය.—දේශනාකාරයා 4:12.

14, 15. විවාහයක එකමුතුකමට එකම අංග ලක්ෂණය, එකම ඇදහිල්ල තුළ සිටීම පමණක්ද? පැහැදිලි කරන්න.

14 එක්ව දෙවියන්වහන්සේට නමස්කාර කිරීම එකමුතුකමේ වැදගත්ම අංගයක් වන අතර, ඊටත් වඩා වැඩි දෙයක් ඇතුළත්ව තිබේ. එකඟත්වයකින් සිටීම සඳහා ඔබට හා ඔබේ කලත්‍රයාට එකම ඉලක්ක තිබිය යුතුය. ඔබේ ඉලක්ක මොනවාද? උදාහරණයක් වශයෙන්, දරුවන් සිටීම ගැන ඔබ දෙදෙනාටම හැඟෙන්නේ කෙසේද? ඔබේ ජීවිතයේ පළමු තැනට තබා තිබෙන්නේ කුමන දේවල්ද?b (මතෙව් 6:33) සැබවින්ම සාර්ථක විවාහයක් තුළ, යුවළ හොඳ මිත්‍රයන් වන අතර එකිනෙකාගේ ආශ්‍රය ප්‍රිය කරයි. (හිතෝපදේශ 17:17) මේ සඳහා ඔවුන්ට උනන්දුව දක්වන පොදු දේවල් තිබිය යුතුය. තත්වය මෙසේ නොවන විට—කිට්ටු මිත්‍රත්වයක්—ඊටත් වඩා විවාහයක් පවත්වාගැනීම අසීරු කාර්යයක් වේ. එහෙත්, ඔබේ විවාහ අපේක්ෂිත සහකරුවා හෝ සහකාරිය බොහෝ දුර ඇවිදීම වැනි විශේෂ ක්‍රියාකාරකමකින් සතුටක් ලබන අතර ඔබට එය එසේ නොවේ නම්, ඔබ දෙදෙනා විවාහ නොවිය යුතුයි කියා ඉන් අදහස් වේද? අනිවාර්යයෙන්ම නැත. සමහරවිට ඔබ වෙනත්, වඩාත් වැදගත් දේවල් හවුලේ භුක්තිවිඳිනවා විය හැක. එපමණක්ද නොව, අනික් තැනැත්තා යහපත් ක්‍රියාකාරකම්වලින් සතුටක් ලබන හෙයින්, ඒවායෙහි හවුල්වීමෙන් ඔබේ විවාහ අපේක්ෂිත සහකරුවාට සන්තෝෂය ගෙන දීමට ඔබට හැක.—ක්‍රියා 20:35.

15 ඇත්තෙන්ම, පුළුල් පරිමාණයකට ගැළපෙනවාද යන්න තීරණය වන්නේ ඔබ අනන්‍යත්වයෙන් කෙතරම් සමාන වනවාද යන්නට වඩා, ඔබ දෙදෙනාම කෙතරම් දුරට සකස් වේද යන්න මගින්ය. “අප සෑම අතින්ම එකඟ වෙනවාද” කියා අසනවාට වඩා, මේවා වඩාත් හොඳ ප්‍රශ්න විය හැක: “අප එකඟ නොවන විට සිදු වන්නේ කුමක්ද? අප දෙදෙනාටම, එකිනෙකාව ගෞරවයට පත් කරමින් හා උසස් කරමින් කාරණා සන්සුන්ව සාකච්ඡා කළ හැකිද? නැතහොත් සාකච්ඡාවන් බොහෝවිට උණුසුම් වාදවිවාද බවට පත් වන තරමටම නරක අතට හැරෙනවාද?” (එපීස 4:29, 31) ඔබට විවාහ වීමට වුවමනා නම්, උඩඟු හා තම මතයේම එල්බ සිටින, කිසිවිටකත් සම්මුතියකට නොඑළඹෙන නැතහොත් ඔහුගේම හෝ ඇයගේම, ක්‍රමයට අනුව ක්‍රියා කිරීමට නිරතුරුවම බල කරන හා උපක්‍රම යොදන අයෙකුගෙන් පරෙස්සම් වන්න.

කලින් සොයා බලන්න

16, 17. විවාහ අපේක්ෂිත කලත්‍රයෙකු ගැන සලකා බලන විට, පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට සලකා බැලිය හැක්කේ කුමක්ද?

16 ක්‍රිස්තියානි සභාවෙහි, වගකීම් පවරා ඇති අයව “පළමුකොට සුදුසුදැයි පරීක්ෂා කර බැලීමට,” අවශ්‍ය වේ. (1 තිමෝති 3:10, NW ) ඔබටත් මෙම ප්‍රතිපත්තියම යොදාගත හැක. උදාහරණයක් වශයෙන්, ස්ත්‍රියකට මෙසේ ඇසිය හැක, “ඔහු අන්‍යයන් ඉදිරියේ දිනාගෙන ඇත්තේ කෙබඳු නාමයක්ද? ඔහුගේ මිත්‍රයන් කවුද? ඔහු ආත්ම දමනය විදහාපාන්නෙහිද? ඔහු මහලු අයට සලකන්නේ කෙසේද? ඔහු පැමිණෙන්නේ කිනම් ආකාරයක පවුලකින්ද? ඔවුන් සමඟ ඔහු ක්‍රියා කරන්නේ කෙලෙසද? මුදල් සම්බන්ධයෙන් ඔහුගේ ආකල්පය කුමක්ද? ඔහු මත්පැන් අනිසි ලෙස භාවිත කරන්නෙක්ද? ඔහු නිතර වෙනස් වන ගති ඇති, ප්‍රචණ්ඩකාරිත්වය පවා දක්වන පුද්ගලයෙක්ද? ඔහුට තිබෙන්නේ කුමන සභා වගකීම්ද, එමෙන්ම ඔහු ඒවා හසුරුවන්නේ කෙසේද? ඔහුට ගැඹුරු ගෞරවයක් දැක්වීමට මට හැකිද?”—ලෙවී කථාව 19:32; හිතෝපදේශ 22:29; 31:23; එපීස 5:3-5, 33; 1 තිමෝති 5:8; 6:10; තීතස් 2:6, 7.

17 පුරුෂයෙකුට මෙසේ ඇසිය හැක, “මෙම ස්ත්‍රිය දෙවියන්වහන්සේට ප්‍රේමය හා ගෞරවය දක්වනවාද? ඇය නිවසක් රැකබලා ගැනීමට දක්ෂද? ඇගේ පවුලේ අය අපෙන් කුමක් අපේක්ෂා කරනු ඇද්ද? ඇය ඥානවන්ත, කඩිසර, සැකසුරුවම් සහිත තැනැත්තියක්ද? ඇය කතා කරන්නේ කුමක් ගැනද? ඇය අන්‍යයන්ගේ ශුභසිද්ධිය ගැන අවංකවම සැලකිලිමත් වනවාද, නැත්නම් ඇය ආත්මාර්ථකාමී, අනුන්ගේ කාරණා සොයමින් සිටින තැනැත්තියක්ද? ඇය විශ්වාසවන්තද? ඇය මූලිකත්වයට යටත්වීමට කැමතිද, නැතහොත් මුරණ්ඩු, එමෙන්ම සමහරවිට කැරලිකාර තැනැත්තියක්ද?”—හිතෝපදේශ 31:10-31; ලූක් 6:45; එපීස 5:22, 23; 1 තිමෝති 5:13; 1 පේතෘස් 4:15.

18. පූර්ව විවාහ ඇසුරේදී සුළු දුර්වලකම් දක්නට ලැබේ නම්, කුමක් මතකයේ තබාගත යුතුද?

18 ඔබ කටයුතු කරන්නේ ප්‍රේම නවකතාවල දැක්වෙන යම් පරමාදර්ශී වීරයෙකු හෝ වීරවරියක සමඟ නොව, ආදම්ගෙන් පැවතෙන අසම්පූර්ණ කෙනෙකු සමඟ බව අමතක නොකරන්න. සෑම කෙනෙකු තුළම අඩුපාඩුකම් තිබෙන අතර, මේවාවලින් සමහරක්—එනම් ඔබේ හා විවාහ අපේක්ෂිත ඔබේ සහකරුවා හෝ සහකාරියගේ අඩුපාඩුකම් නොසලකා හැරීමට සිදු වනු ඇත. (රෝම 3:23; යාකොබ් 3:2) තවදුරටත්, අවබෝධ කරගත් දුර්වලකමක් ආත්මිකව දියුණුවීමට ප්‍රස්තාවක් ඉදිරිපත් කළ හැක. උදාහරණයක් වශයෙන්, ඔබේ පූර්ව විවාහ ඇසුරේදී ඔබ අතර වාදයක් ඇති වූවායයි සිතන්න. සලකන්න: එකිනෙකාට ප්‍රේමය හා ගෞරවය දක්වන අය පවා ඇතැම් අවස්ථාවලදී එකඟ නොවේ. (සසඳන්න උත්පත්ති 30:2; ක්‍රියා 15:39.) ඔබ දෙදෙනාම මීට වඩා ටිකක් ‘ඔබේ ආත්ම හික්මවාගැනීමටත්,’ කාරණා වඩාත් සාමකාමීව විසඳන ආකාරය ඉගෙනීමටත් අවශ්‍ය වනවා විය හැකිද? (හිතෝපදේශ 25:28) ඔබේ විවාහ අපේක්ෂිත කලත්‍රයා වඩා හොඳ අතට හැරීමට ආශාවක් දක්වනවාද? ඔබත් එසේමද? ඔබට අඩු සංවේදීතාවක් දැක්වීමට, විගස අමනාප වීම අඩු කරගැනීමට ඉගෙනගත හැකිද? (දේශනාකාරයා 7:9) ගැටලු විසඳාගැනීමට ඉගෙනීමෙන්, ඔබ දෙදෙනා විවාහ වුවහොත් අත්‍යවශ්‍ය වන අවංක අදහස් හුවමාරු කරගැනීමේ රටාවක් පිහිටුවාගත හැකි වේ.—කොලොස්සි 3:13.

19. පූර්ව විවාහ ඇසුරේදී බරපතළ ගැටලු මතු වේ නම්, ගත යුතු ඥානවන්ත ක්‍රියාමාර්ගය කුමක් වනු ඇද්ද?

19 එහෙත්, ඔබට තදින් වද දෙන යම් දේවල් තිබෙන බව ඔබට පෙනී යනවා නම්, කුමක්ද? එම සැකයන් පරෙස්සමින් සලකා බැලිය යුතු වේ. ඔබට කෙතරම් ආදර හැඟීමක් තිබෙනවා වුවත්, නැතහොත් ඔබ විවාහ වීමට කෙතරම් ආශාවෙන් සිටිනවා වුවත්, බරපතළ වැරදි නොදකින ලෙස ඔබේ නෙත් පියා නොගන්න. (හිතෝපදේශ 22:3; දේශනාකාරයා 2:14) ඔබට දැඩි සැකයන් ඇති කෙනෙකු සමඟ ඔබ සබඳකමක් පවත්වනවා නම්, සබඳකම නවතා දැමීමත්, ඒ තැනැත්තා සමඟ බැරෑරුම් බැඳීමක් ඇති කරගැනීමෙන් වැළකී සිටීමත් ඥානවන්ත දෙයකි.

ඔබේ පූර්ව විවාහ ඇසුර ගෞරවනීයව තබාගන්න

20. පූර්ව විවාහ ඇසුරක යෙදෙන යුවළකට, නින්දාවට පත් නොවන සදාචාර හැසිරීමක් පවත්වාගත හැක්කේ කෙසේද?

20 ඔබේ පූර්ව විවාහ ඇසුර ගෞරවනීයව තබාගැනීමට ඔබට හැක්කේ කෙසේද? පළමුව, ඔබේ සදාචාර හැසිරීම නින්දාවට ලක් නොවන එකක් වන බවට වගබලා ගන්න. ඔබ වෙසෙන ප්‍රදේශයේ අත් ඇල්ලීම, සිපගැනීම හෝ වැලඳගැනීම අවිවාහක යුවළයන් සඳහා සුදුසු හැසිරීමක් ලෙස සැලකේද? එවැනි ආදරය දැක්වීම් අප්‍රසන්න නොවන විට පවා, ඒවාට ඉඩහළ යුත්තේ විවාහය ස්ථිරයෙන්ම සැලසුම් කළ සන්ධිස්ථානයකට පැමිණ ඇත්නම් පමණි. ආදරය දැක්වීම අපවිත්‍ර හැසිරීමකට හෝ වේශ්‍යාකමට පවා මඟ පාදන ලෙස උත්සන්න නොවන සේ පරෙස්සම් වන්න. (එපීස 4:18, 19; සසඳන්න සාලමොන්ගේ ගීතිකාව 1:2; 2:6; 8:5, 9, 10.) හෘදය රැවටිලිකාර නිසා නිවසක, නේවාසික කාමරයක, නවතා ඇති වාහනයක හෝ වැරදි හැසිරීමකට ප්‍රස්තාවක් දෙන වෙනත් ඕනෑම ස්ථානයක හුදකලා වීමෙන් වැළකීම ඔබ දෙදෙනාටම ඥානවන්ත දෙයක් වනු ඇත. (යෙරෙමියා 17:9) ඔබේ පූර්ව විවාහ ඇසුර සදාචාරමය ලෙස පිරිසිදුව තබාගැනීමෙන් ඔබට ආත්මදමනය තිබෙන බවටත්, ඔබේම ආශාවලට වඩා අනික් තැනැත්තාගේ ශුභසිද්ධිය සඳහා පරාර්ථකාමී සැලකිල්ලක් දක්වන බවටත් පැහැදිලි සාක්ෂියක් සපයයි. පිරිසිදු පූර්ව විවාහ ඇසුරක් මඟින් අපිරිසිදුකමෙන් හා වේශ්‍යාකමෙන් වැළකීමට අණ කරන යෙහෝවඃ දෙවියන්වහන්සේව සතුටු කිරීම වඩාත්ම වැදගත් දෙයයි.—ගලාති 5:19-21.

21. පූර්ව විවාහ ඇසුර ගෞරවනීයව පවත්වාගැනීම සඳහා අවශ්‍ය විය හැක්කේ කුමන අවංක අදහස් හුවමාරු කිරීමද?

21 දෙවනුව, ගෞරවනීය පූර්ව විවාහ ඇසුරකට අවංකව අදහස් හුවමාරු කිරීමද ඇතුළත්ව තිබේ. ඔබේ පූර්ව විවාහ ඇසුර විවාහය තෙක් වැඩිදියුණු වන විට, ඇතැම් කාරණා ගැන විවෘතව සාකච්ඡා කිරීම අවශ්‍ය වනු ඇත. ඔබ ජීවත් වන්ට යන්නේ කොතැනකද? ඔබ දෙදෙනාම බාහිර රැකියාවල යෙදෙනවාද? ඔබට දරුවන් ඇති කරගැනීමට වුවමනාද? එමෙන්ම, කෙනෙකුගේ විවාහයට බලපෑ හැකි, ඇතැම්විට යමෙකුගේ අතීතයේ දේවල් අනාවරණය කිරීම සාධාරණ දෙයකි. මේවාට විශාල ණය හෝ බැඳීම් හෝ ඔබට තිබිය හැකි යම් දරුණු රෝගයක් හෝ තත්වයක් වැනි සෞඛ්‍ය කාරණා ඇතුළත් විය හැක. විගස රෝග ලක්ෂණ පහළ නොකළත් බොහෝදෙනෙකු එච්අයිවීවලින් (ඒඩ්ස් රෝගය ඇති කරන වෛරසයෙන්) ආසාදිතව සිටින බැවින්, අතීතයේදී ලිංගික දුරාචාරයේ යෙදී ඇති නැතහොත් මත්ද්‍රව්‍ය විදගත් තැනැත්තෙකුට, ඒඩ්ස් සඳහා පරීක්ෂණයක් කරන්නයයි අනික් තැනැත්තා විසින් හෝ සැලකිලිමත් දෙමව්පියන් විසින් ඉල්ලනු ලැබුවහොත් එය වැරදි දෙයක් නොවේ. පරීක්ෂණය ධන ප්‍රතිඵල පෙන්නුම් කරයි නම්, එමෙන්ම විවාහ වීමට බලාපොරොත්තු වන කලත්‍රයා සබඳකම නැවැත්වීමට දැන් කැමැත්තක් දක්වයි නම්, ආසාදිත පුද්ගලයා, එය දිගටම ගෙන යෑම සඳහා බල කර නොසිටිය යුතුය. සැබවින්ම, අධි-අවදානම් ජීවිත-රටාවක නියැලී ඇති ඕනෑම කෙනෙකු, පූර්ව විවාහ ඇසුරක් ඇරඹීමට පෙර ඒඩ්ස් සඳහා රුධිර පරීක්ෂණයක් කරගැනීමට ස්වේච්ඡාවෙන්ම යටත්වීම සුදුසු වනු ඇත.

විවාහ මංගල්‍යයෙන් ඔබ්බට බැලීම

22, 23. (අ) විවාහයකට සූදානම් වීමේදී සමබරතාව බිඳී යා හැක්කේ කෙසේද? (ආ) විවාහ මංගල්‍යය හා විවාහ ජීවිතය සලකා බැලීමේදී කුමන සමබර දෘෂ්ටියක් පවත්වාගත යුතුද?

22 විවාහයට පෙර අවසාන මාස තුළදී, ඔබ දෙදෙනාම විවාහය සඳහා සැලසුම් කරමින් ඉතා කාර්ය බහුලව සිටීමට ඉඩ කඩ තිබේ. මධ්‍යස්ථව කටයුතු කිරීම මගින් ඔබට පීඩාකාරි තත්වය බෙහෙවින් අඩු කළ හැකි වේ. විසිතුරු විවාහ මංගල්‍යයක් නෑයන් හා ප්‍රජාව සතුටු කළ හැකි නමුත්, අලුත විවාහවූවන්ට හා ඔවුන්ගේ පවුල්වලට එය ශාරීරිකව වෙහෙසකර විය හැකි අතර, මූල්‍යමය වශයෙන් දරාගත නොහැකි බරක්ද විය හැක. යම් දුරකට ප්‍රාදේශීය සිරිත් විරිත් පිළිපැදීම සාධාරණ නමුත්, අත දිග හැර වියදම් කිරීම හා සමහරවිට තරඟකාරි ස්වභාවයක් දැක්වීම මගින් උත්සවයේ අර්ථය මැකී යා හැකි අතර, ඔබ තුළ තිබිය යුතු ප්‍රීතිය ඔබෙන් ගිලිහී යා හැක. අන්‍යයන්ගේ හැඟීම් සලකා බැලිය යුතු අතර, විවාහ මංගල උත්සවයේ සිදු වනු ඇති දේ තීරණය කිරීම සඳහා මූලිකම වගකීම මණමාලයා සතු වේ.—යොහන් 2:9.

23 ඔබේ විවාහ මංගල්‍යය පවතින්නේ එක දවසක් නමුත්, විවාහය ජීවිත කාලයටම පවතින බව මතක තබාගන්න. විවාහ වීමේ ක්‍රියාව ගැන වුවමනාවට වඩා අවධානය යොමු කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට, මඟ පෙන්වීම සඳහා යෙහෝවඃ දෙවියන්වහන්සේ දෙස බලන්න, තවද විවාහ වී සිටීමේ ජීවිතයක් සඳහා කලින් සැලසුම් කරන්න. එවිට ඔබ සාර්ථක විවාහයකට හොඳින් සූදානම්ව සිටිනු ඇත.

a මෙය අදාළ වනු ඇත්තේ, ක්‍රිස්තියානීන් සඳහා විරුද්ධ පක්ෂයේ අය සමඟ තනිව ඇසුරු කිරීම යෝග්‍යයයි සැලකෙන දේශවලය.

b ඇත්තෙන්ම කියනවා නම්, ක්‍රිස්තියානි සභාවේ පවා, ආත්මික වැට අද්දරෙහි ජීවත් වන අය සිටිය හැක. දෙවියන්වහන්සේට මුළු හදින්ම සේවය කරන අය වනවා වෙනුවට, ඔවුන් ලෝකයේ ආකල්ප හා හැසිරීම මගින් බලපෑම් ලැබිය හැක.—යොහන් 17:16; යාකොබ් 4:4.

සාර්ථක විවාහයක් සඳහා සූදානම් වීමට කෙනෙකුට . . . මෙම බයිබල් ප්‍රතිපත්ති උපකාර වන්නේ කෙසේද?

ස්වාමිපුරුෂයෙකු හා භාර්යාවක එකිනෙකා සමඟ බැඳීමකින් සිටිය යුතුය.—උත්පත්ති 2:24.

බාහිර පෙනුමට වඩා ඇතුළාන්ත පුද්ගලයා වඩාත් වැදගත් වේ.—1 පේතෘස් 3:3, 4.

‘අසමලෙස සම්බන්ධ නොවන්න’—2 කොරින්ති 6:14.

සදාචාරමය ලෙස අපිරිසිදු අය, දෙවියන්වහන්සේගෙන් ඈත්ය.—එපීස 4:18, 19.

සිරිත් විරිත් හා බයිබලය

අඹුවැද්ද සහ දෑවැද්ද: ඇතැම් රටවල මණාලියගේ පවුලට, මණාලයාගේ පවුල විසින් මුදල් දීම අපේක්ෂා කෙරේ (අඹුවැද්ද). වෙනත් රටවල, මණාලියගේ පවුල මණාලයාගේ පවුලට මුදල් දෙයි (දෑවැද්ද). මේවා නීත්‍යනුකූල වන තාක් කල්, මෙම සිරිත් විරිත්වල වරදක් නොතිබිය හැක. (රෝම 13:1) කෙසේවුවද, අවස්ථා දෙකේදීම, එය ලබන පවුල, අසාධාරණ වන තරමටම ගිජු ලෙස වැඩි මුදලක් හෝ දේවල් හෝ ඉල්ලා සිටීමෙන් වැළකිය යුතුය. (හිතෝපදේශ 20:21; 1 කොරින්ති 6:10) තවදුරටත්, අඹුවැද්ද ගෙවීමේ පිළිවෙත, භාර්යාවක් හුදෙක් මිල දී ගත් භාණ්ඩයක් ලෙස ඇඟවීමට කිසිවිටකත් යොදා නොගත යුතුය; තම භාර්යාව හා තම විවාහ ඥාතීන් වෙත තිබෙන එකම වගකීම මූල්‍යමය එකක් බවට ස්වාමිපුරුෂයෙකුට නොහැඟිය යුතුය.

බහු විවාහය: ඇතැම් සංස්කෘතීන්, පුරුෂයෙකුට එක් භාර්යාවකට වඩා වැඩියෙන් ගැනීමට ඉඩහරියි. එවන් වාතාවරණයක් යටතේ, ස්වාමිපුරුෂයෙකු හා පියෙකු වනවාට වඩා එම මිනිසා අධිපතියෙකු බවට පත් විය හැක. තවදුරටත්, බහු භාර්යා විවාහය බොහෝවිට භාර්යාවන් අතර තරඟයකට රුකුලක් වෙයි. ක්‍රිස්තියානීන් සඳහා, බයිබලය ඉඩහරින්නේ තනිකඩභාවයට හෝ ඒක විවාහයට පමණි.—1 කොරින්ති 7:2.

අත්හදා බැලීමේ විවාහය: විවාහයට පෙර එකට විසීම, තම ගැළපීම පිරික්සා බැලීමට තමන්ට උපකාරවත් වනු ඇතැයි බොහෝ යුවළයෝ පවසා සිටිති. එහෙත්, අත්හදා බැලීමේ විවාහය, විවාහ ජීවිතයේ අතිවැදගත් මූලිකාංගයන්ගෙන් එකක්—එනම් බැඳීම—පිරික්සන්නේ නැත. විවාහය හැර වෙන කිසිම විධිවිධානයක්—බැඳීම හේතුවෙන් බිහි විය හැකි ඕනෑම දරුවෙකු ඇතුළුව—සියලු පක්ෂවලට රැකවරණය හා සුරක්ෂිතභාවය එකම ප්‍රමාණයකින් සලසා දෙන්නේ නැත. යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ, නීත්‍යනුකූලව විවාහ නොවී එකට ජීවත්වීම වේශ්‍යාකමකි.—1 කොරින්ති 6:18; හෙබ්‍රෙව් 13:4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න