සාර්ථක විවාහයකට අවශ්‍ය මොනවාද?
මුලින්ම පිහිනීමට ඉගෙනගන්නේ නැතුව ගඟට පනින්න ඔබ තෝරාගනීද? එවන් මෝඩ ක්‍රියාවක් හානිදායක විය හැකියි; සමහරක් විට මරණය එහි ප්‍රතිඵලය විය හැකියි. නමුත් දැන් මෙසේ සිතන්න: විවාහය හා සම්බන්ධව පවතින වගකීම්වල ඇති බැරෑරුම්කම නොදැන විවාහ දිවියට පා තබන කීදෙනෙක් සිටිනවාද?
යේසුස් මෙසේ පැවසුවා: “කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?” (ලූක් 14:28) කොතක් ගොඩනැඟීම සම්බන්ධ කාරණා විවාහයක් ගොඩනැඟීමටද ඒ හා සමානවම අදාළ වෙයි. එසේ විවාහ වීමට තෝරාගන්නා අය, එය සමඟ බැඳී ඇති වගකීම් ඉටු කිරීමට තමන්ට හැකි බවට සහතික වීම පිණිස විවාහයේ වියදම පරෙස්සමින් ගණන් බැලිය යුතුයි.
විවාහය දෙස බැලීම
ජීවිතයේ ඇති සන්තෝෂවත් මෙන්ම දුක්ඛදායක අවස්ථා බෙදාගැනීමට කලත්‍රයෙකු සිටීම ඇත්තෙන්ම ආශීර්වාදයකි. පාළුව හෝ බලාපොරොත්තු සුන්වීම නිසා ඇති විය හැකි හිස්කම තුරන් කිරීමට විවාහයට හැකියි. ප්‍රේමය, ඇසුර හා කුලුපගකම සඳහා අප තුළ ඇති සහජ ආශාව එයට සන්සිඳවිය හැකියි. එසේ නම්, ආදම්ව මැවීමෙන් පසු දෙවි මෙසේ පැවසුවේ හොඳ හේතු ඇතුවයි: “මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත. ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමි.”—උත්පත්ති 2:18; 24:67; 1 කොරින්ති 7:9.
එසේය, විවාහ වී සිටීම මගින් යම් ගැටලු විසඳිය හැකියි. නමුත් එමගින් තව අලුත් ඒවා හඳුන්වා දිය හැකියි. ඇයි? මන්දයත් විවාහය යනු එකඟතාවක් ඇති එහෙත් හැම පැත්තෙන්ම එක සමාන නොවූ එකිනෙකට වෙනස් පෞද්ගලිකත්වයන් දෙකක මුසුවීමකි. එහෙයින් හොඳින් ගැළපෙන යුවළයන් පවා ඉඳහිට යම් ගැටුම්වලට මුහුණ දෙයි. විවාහ වන අයට “මාංසයෙහි දුක්,” එසේත් නැතිනම් නව ඉංග්‍රීසි බයිබලය පෙන්නුම් කරන ආකාරයට “මෙම ශාරීරික ජීවිතයේ දුක හා වේදනාව” ඇති වන බව ක්‍රිස්තියානි ප්‍රේරිතයෙක් වන පාවුල් ලීවා.—1 කොරින්ති 7:28.
පාවුල් නිෂේධාත්මකවද කතා කරමින් සිටියේ? කොහෙත්ම නැහැ! ඔහු විවාහය ගැන සිතන අයට උනන්දු කළේ යථාර්ථවාදීව ඒ ගැන සිතා බලන හැටියට පමණයි. විවාහ දිනයෙන් පසුව එන මාස හා අවුරුදු ගණනාව තුළදී විවාහ ජීවිතය කෙබඳු එකක් වෙයිද කියා, තවත් කෙනෙකුට හිත ඇදී යෑමේ ඇති ප්රමුදිතබවේ හැඟීමෙන් පමණක්ම කිව නොහැකියි. සෑම විවාහයකටම ඊටම ආවේණික වූ අභියෝග හා ගැටලු තිබෙනවා. ප්රශ්නය වන්නේ ඒවා පැනනඟීද යන්න නොව ඒවා පැනනඟින විට ඒවාට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.
ගැටලු, ස්වාමිපුරුෂයාටත් භාර්යාවටත් එකිනෙකා කෙරෙහි ඇති ප්‍රේමයේ අව්‍යාජ බව පෙන්වීමට අවස්ථාව සලසයි. මෙය අප මෙසේ පැහැදිලි කරමු: සංචාරක යාත්‍රාවක් ජැටියේ නිසොල්මන්ව තිබෙනවා දැකීම ඇත්තෙන්ම තේජාන්විත දසුනක් විය හැකියි. කොහොම වුණත්, සාගරය සමඟ පොරබැදීමට ඇති එහි සැබෑ හැකියාව, මුහුදේදී, සමහරක් විට චණ්ඩ මාරුතයක සැඩ පහරවලින් හොඳින් ඔප්පු විය හැකියි. එයාකාරයෙන්ම, ආදරයෙන් බැඳුණු සාමකාමී අවස්ථාවලින් පමණක්ම විවාහ බන්ධනයක් කොතරම් ශක්තිමත්දැයි මැනගත නොහැකියි. යුවළක් සැඩ කුණාටු වැනි පීඩාකාරි අවස්ථා අභිභවා යන විට මෙය ඔප්පු වෙයි.
යුවළකට එසේ කිරීම සඳහා බැඳීම අවශ්‍යයි; මන්දයත් දෙවි අරමුණු කළ ආකාරයට, පුරුෂයා “භාර්යාවට ඇලුම්ව” සිටින අතර දෙදෙනා “එක මාංසයක්” වෙයි. (උත්පත්ති 2:24) බැඳීම ගැන කතා කරද්දී එය අදදින සිටින බහුතරයක්ව තැතිගන්වයි. නමුත්, ඇත්තෙන්ම එකිනෙකාට ප්‍රේම කරන යුවළකට එකට වෙසෙන බවට පොරොන්දු වීමට උවමනා වීම සාධාරණයි. බැඳීම විවාහයේ ගෞරවයට දායක වෙයි. කුමක් සිදු වුණත්, ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් එකිනෙකාට සහයෝගය දක්වයි කියන විශ්වාසය සඳහා පදනමක් එයින් සපයයි.a ඔබ එවන් බැඳීමකට සූදානම් නැත්නම් ඔබ ඇත්තෙන්ම විවාහයට සූදානම් නැහැ. (දේශනාකාරයා 5:4, 5 සසඳන්න.) දැනටමත් විවාහ වී සිටින අය පවා කල්පවතින විවාහයකට, බැඳීම කොතරම් වැදගත්ද යන්න හොඳාකාරයෙන් තේරුම්ගැනීම අවශ්‍ය විය හැකියි.
ඔබ දෙසම බැලීම
කලත්‍රයෙකු තුළ තිබෙනවාට කැමති ගුණාංග ලැයිස්තුගත කිරීමට ඔබට හැකි බව නොඅනුමානයි. කොහොම වුණත්, විවාහයට දායක වන ආකාරය නිශ්චය කරගැනීමට ඔබ ගැනම කරන සෝදිසිය ඊට වඩා බොහෝ සෙයින් අසීරුයි. විවාහ පොරොන්දු දීමට පෙර හා පසුව තමන් සම්බන්ධයෙන් කරන ආත්ම සෝදිසිය ඇත්තෙන්ම වැදගත්. උදාහරණයක් හැටියට, මතු දැක්වෙන ප්‍රශ්න ඔබෙන්ම අසන්න:
• මගේ කලත්‍රයාට ජීවිතාන්තය දක්වාම බැඳී සිටින්න මම සූදානම්ද?—මතෙව් 19:6.
ප්‍රොපේත මලාකීගේ දවස්වලදී, බොහෝදුරට යෞවන ස්ත්‍රීන්ව විවාහ කරගැනීමේ අරමුණින් ස්වාමිපුරුෂයන් බොහෝදෙනෙක් තම කලත්‍රයන්ව අතහැරියා. අතහරින ලද භාර්යාවන්ගේ කඳුළින් තම පූජාසනය නැහැවී ඇති බව යෙහෝවා පෙන්නුම් කළ අතර, තම භාර්යාවන්ට “විරුද්ධව ද්‍රෝහිකම්” කළ පුරුෂයන්ව යෙහෝවා හෙළා දැක්කා.—මලාකී 2:13-16.
• විවාහ වීමට මම කල්පනා කරමින් සිටිනවා නම්, ලිංගික හැඟීම් තදින් බලපෑම් කළ හැකි, හොඳ තීරණයක් ගැනීමෙන් මාව වැළැක්විය හැකි යෞවන වයස මම පසු කොට සිටීද?—1 කොරින්ති 7:36, NW.
අවුරුදු 22දී විවාහ වූ නිකී පවසන ආකාරයට “ළාබාල වයසේදී විවාහ වෙන එක හරිම අවදානම් වැඩක්.” ඇය මෙසේ අනතුරු අඟවයි: “නහඹර වියේ අවසාන අවුරුදුවල සිට 20ගණන්වල මැදභාගය වන තුරු ඔබේ හැඟීම්, ඉලක්ක හා ආශාවන් වෙනස් වෙනවා.” නමුත් විවාහය සඳහා ඇති සූදානම වයසින් පමණක්ම මැනිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. කොහොම වුණත්, ලිංගික හැඟීම් අලුත්ව හා ප්රබලව තිබෙන යෞවන අවධිය පසු නොකළ කාලයකදී විවාහ වීමෙන් කෙනෙකුගේ සිතීමේ හැකියාව විකෘති කළ හැකි අතර, පැනනැඟිය හැකි ගැටලු සම්බන්ධයෙන්ද කෙනෙකුව අන්ධ කළ හැකියි.
• සාර්ථක විවාහයකට දායක වන කිනම් ගුණාංගද මම විදහාපාන්නේ?—ගලාති 5:22, 23.
ප්‍රේරිත පාවුල් කොලොස්සිවරුන්ට මෙසේ ලිව්වා: “දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද [පැළඳගන්න].” (කොලොස්සි 3:12) විවාහ වීමට බලාපොරොත්තු වන මෙන්ම දැනටමත් විවාහ වී සිටින අයට මෙම උපදේශය යෝග්‍ය වෙයි.
• අසීරු කාලවලදී කලත්‍රයෙකුට සහය දැක්වීමට අවශ්‍ය කරන මේරූබවක් මට තිබෙනවාද?—ගලාති 6:2.
“ගැටලු පැනනඟින විට වැඩි නැඹුරුවාව වන්නේ තම කලත්‍රයාට බැණ වැදීම බව” එක් වෛද්‍යවරයෙක් පවසයි. “වඩා වැදගත් වන්නේ වරද කාගෙද යන්න නොවෙයි. ඒ වෙනුවට, විවාහ සබඳතාව වැඩිදියුණු කිරීමට ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනා එකට සහයෝගය දැක්විය යුත්තේ කෙසේද යන්නයි.” නැණවත් සාලමොන් රජුගේ වචන විවාහක යුවළයන්ට හොඳින් අදාළ වෙයි. “එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය.” මන්දයත් “ඔවුන් වැටුණොත් එක්කෙනෙක් තමාගේ [කලත්‍රයා] නැගුටුවනවා ඇත. එහෙත් තමා නැඟුටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක්වෙයි.”—දේශනාකාරයා 4:9, 10.
• මම සාමාන්‍යයෙන් ප්‍රීතියෙන්ද ඉන්නේ? ඒකාන්තවද හිතන්නේ? නැතිනම් බොහෝවිට, මූණ එල්ලගෙනද ඉන්නේ? නිෂේධාත්මකවද හිතන්නේ?—හිතෝපදේශ 15:15.
නිෂේධාත්මකව සිතන තැනැත්තෙක් සෑම දිනයක් දෙසම බලන්නේ දෙගිඩියාවෙනි. විවාහ වූ පමණින්ම මෙම ආකල්පය එක රැයකින් වෙනස් වෙන්නේ නැහැ! විවේචනාත්මක හා නිෂේධාත්මක තනිකඩ පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් බොහෝදුරට විවේචනාත්මක හා නිෂේධාත්මක විවාහකයෙක් බවටද පත් වෙයි. එවන් නිෂේධාත්මක දෘෂ්ටියක් විවාහයට පුදුමාකාර බලපෑමක් කළ හැකියි.—හිතෝපදේශ 21:9 සසඳන්න.
• පීඩනය යටතේදී මම සංයමයෙන් යුතුවද සිටින්නේ නැතිනම් පාලනය කළ නොහැකි කෝපාවිෂ්ට ප්රකාශයන්ට මම ඉඩ දෙනවාද?—ගලාති 5:19, 20.
“උදහස්වීමටත් ප්‍රමාද” වන හැටියට ක්‍රිස්තියානීන්ට ආඥා කොට තිබෙනවා. (යාකොබ් 1:19) විවාහයට පෙර හා විවාහය තුළදී, මෙම උපදේශයට එකඟව ජීවත් වීමට වූ හැකියාව පුරුෂයෙක් හා භාර්යාවක් වර්ධනය කරගත යුතුයි: “කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.”—එපීස 4:26.
ඔබේ අනාගත කලත්‍රයා දෙස බැලීම
“බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි” කියා එක් බයිබල් උපදේශයක් පෙන්නුම් කරයි. (හිතෝපදේශ 14:15) විවාහ කලත්‍රයෙක් සෙවීමේදී මෙය ඇත්තෙන්ම සැබෑවක්. පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් ගන්නා වැදගත්ම තීරණවලින් එකක් වන්නේ විවාහ කලත්‍රයෙක් තෝරාගැනීමයි. එහෙත්, වැඩිදෙනෙක් විවාහ කරගන්නේ කුමන පුද්ගලයාවද යන්න ගැන සිතා බලනවාට වඩා මිල දී ගන්නේ කුමන වාහනයද නැතිනම් ඉගෙනුම ලබන්න යන්නේ කුමන පාසැලේද යන්න ගැන සිතීමට වැඩි කාලයක් ගන්නා බව නිරීක්ෂණ කොට තිබෙනවා.
ක්‍රිස්තියානි සභාව තුළ, වගකීම් භාර දී ඇති අයව “පළමුකොට යෝග්‍යතාව සඳහා සෝදිසි කරනු ලබයි.” (1 තිමෝති 3:10, NW) ඔබ විවාහ වීම ගැන කල්පනා කරන්නේ නම්, අනික් තැනැත්තාගේ ‘යෝග්‍යභාවය’ ගැන සහතික වීමට ඔබට වුවමනා වනු ඇත. උදාහරණයක් හැටියට, මතු දැක්වෙන ප්‍රශ්න සලකා බලන්න. ස්ත්‍රියකට අදාළ වන අයුරින් මෙම ප්‍රශ්න ඉදිරිපත් කොට ඇතත්, මෙම ප්රතිපත්තිවලින් බොහොමයක් පුරුෂයන්ටද එක සේ අදාළ වෙයි. තවද දැනටමත් විවාහ වී ඇති අයටද මෙම කරුණු සලකා බැලිය හැකියි.
• අන් අය අතරේ ඔහුට ඇත්තේ කෙබඳු නමක්ද?—පිලිප්පි 2:19-22.
හිතෝපදේශ 31:23හි “දේශයේ වැඩිමහල්ලන් සමග දොරටුවල [ඉඳගන්නා]” පුරුෂයෙක්ව විස්තර කරනු ලබයි. නගරයේ වැඩිමහල්ලන් නුවර ගේට්ටු අසල ඉඳගත්තේ විනිශ්චය දීම පිණිසයි. එසේ නම් පෙනෙන ප්‍රකාරයට ඔහුට පොදු ශුභසාධනය හා සම්බන්ධ වගකීමක් තිබුණා. වෙනත් අය කෙනෙකුව දකින ආකාරයෙන් ඒ තැනැත්තා දිනාගෙන ඇති නම සම්බන්ධයෙන්ද යමක් දැනගත හැකියි. මෙයද සලකා බලන්න: ඔහුගේ අධිකාරිත්වය යටතේ සිටින අය ඔහු ගැන සිතන්නේ කෙසේද? මෙමගින් ඔහුගේ කලත්‍රයා හැටියට ඔබව ඔහු තැකීමට යන්නේ කෙසේදැයි කලින්ම ඔබට ඇඟවිය හැකියි.—1 සාමුවෙල් 25:3, 23-25 සසඳන්න.
• ඔහුට ඇත්තේ කිනම් සදාචාර ප්‍රමිතිද?
දිව්‍ය ප්‍රඥාව “පළමුකොට පිරිසිදුව” තිබේ. (යාකොබ් 3:17) ඔබේ අනාගත කලත්‍රයා දෙවි ඉදිරියේ ඇති ඔහුගේ හා ඔබේ ස්ථාවරයට වඩා තමාගේම ලිංගික තෘප්තිය ගැනද උනන්දු වන්නේ? දෙවිගේ සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට ඔහු දැන් උත්සාහ නොකරයි නම්, විවාහයෙන් පසු ඔහු එසේ කරයි කියා ස්ථිර වීමට ඇති පදනම කුමක්ද?—උත්පත්ති 39:7-12.
• ඔහු මට සලකන්නේ කොහොමද?—එපීස 5:28, 29.
හිතෝපදේශ නමැති බයිබල් පොත, තම භාර්යාව කෙරෙහි “විශ්වාස” කරන ස්වාමිපුරුෂයෙක් ගැන කතා කරයි. තවදුරටත් ‘ඔහු ඇයට ප්‍රශංසා කරයි.’ (හිතෝපදේශ 31:11, 28) ඔහු තමන්ටම අයිති කරගන්නා තරමටම ඊර්ෂ්‍යාසහගත නොවන අතර, ඇයගෙන් බලාපොරොත්තු වන දෑ සම්බන්ධයෙන් අසාධාරණ වන්නේද නැහැ. යාකොබ් ලිවූ ආකාරයට, ඉහළින් පැමිණෙන ප්‍රඥාව ‘සමාදානව, ඉවසිලිවන්තව දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව තිබේ.’—යාකොබ් 3:17.
• තම පවුලේ අයව ඔහු සලකන්නේ කොහොමද?—නික්මයාම 20:12.
දෙමාපියන්ට ඇති ගෞරවය කුඩා දරුවන්ගෙන් පමණක් අපේක්ෂා කරන දෙයක් නෙවෙයි. බයිබලය මෙසේ පවසයි: “නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසන්න; නුඹේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න.” (හිතෝපදේශ 23:22) වෛද්‍ය ඩබ්ලිව්. හියූ මිසල්ඩීන් ලිවූ කාරණය උනන්දුවට කාරණයකි: “අනාගත මනමාලයා හා මනමාලිය එකිනෙකාගේ නිවෙස්වලට ඉඳහිට ගොස් ‘විවාහ වීමට බලාපොරොත්තු වන පුද්ගලයා’ හා ඔහුගේ දෙමාපියන් අතර ඇති සම්බන්ධතාව නිරීක්ෂණය කිරීමෙන් විවාහයේ ඇති වන අසීරුතාවන් හා එකඟ නොවීම් මඟ හරවාගත හැකිය; එහෙම නැත්නම් අඩුම තරමින් කලින් දැකගැනීමටවත් හැකියි. ඔහු දෙමාපියන් දෙස බලන ආකාරය තම කලත්‍රයා දෙස බලන ආකාරයටද බලපෑම් කරයි. කෙනෙක් තමාගෙන්ම මෙසේ ඇසිය යුතුයි: ‘ඔහු ඔහුගේ දෙමාපියන්ට දෙන සැලකිල්ලම ලබන්න මමත් කැමතිද?’ තවද ඔහුගේ දෙමාපියන් ඔහුට සලකන ආකාරයෙන්, ඔහු තමාටම දක්වන සැලකිල්ල හා මධුසමයෙන් පසු ඔබෙන් බලාපොරොත්තු වන සැලකිල්ලද හොඳින් නිරූපණය වෙයි.”
• ඔහුට නිතර නිතර කේන්ති යනවාද? නැතිනම් නින්දාසහගත ලෙස කතා කිරීමට ඔහු නැඹුරු වෙනවාද?
බයිබලය මෙසේ අවවාද කරයි: “සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.” (එපීස 4:31) ‘වචන ගැන ප්‍රශ්න කරන වාද කරන’ මෙන්ම ‘ඊර්ෂ්‍යාව, විවාදය, අපහාසය, නපුරු සිතුවිලි හා සුළු සුළු කාරණා ගැන වාද කරන’ ක්‍රිස්තියානීන් ගැන පාවුල් තිමෝතිට අනතුරු ඇඟෙව්වා.—1 තිමෝති 6:4, 5, NW.
ඊට අමතරව, සභාවේ විශේෂ වගකීම්වලට සුදුසුකම් ලබන අය “ගහගන්නෙක්” නැතිනම් මුල් ග්‍රීක් භාෂාවට අනුව “ගුටිමුර දෙන” කෙනෙකු නොවිය යුතු බව පාවුල් ලීවා. (1 තිමෝති 3:3, NW, පාදසටහන) ඔහු මිනිසුන්ට ශාරීරිකව තළා පෙළන හෝ වාචිකව පහර දෙන කෙනෙකු නොවිය යුතුයි. කෝප වූ සැණින් ප්‍රචණ්ඩකාරි වන පුද්ගලයෙක් විවාහ කලත්‍රයෙකු හැටියට සුදුසු නොවෙයි.
• ඔහුගේ ඉලක්ක මොනවාද?
සමහරුන් ධනය පස්සේ හඹාගොස් එහි නොවැළැක්විය හැකි ප්‍රතිවිපාක නෙළාගනියි. (1 තිමෝති 6:9, 10) වෙනත් අය අත් කරගැනීමට කිසිම ඉලක්කයක් නොමැතිව ජීවිතය ගත කරයි. (හිතෝපදේශ 6:6-11) කොහොම වුණත්, දේවභක්තික මිනිසෙක් මෙසේ පැවසූ යෝෂුවා පෙන්නුම් කළ අධිෂ්ඨානයම පෙන්වයි: ‘මමද මාගේ පවුලද යෙහෝවාට සේවය කරමුව.’—යෝෂුවා 24:15.
වගකීම් හා වරප්‍රසාද
විවාහය දිව්‍ය විධිවිධානයකි. එය යෙහෝවා දෙවි විසින් නියම කර පිහිටුවනු ලැබූවක්. (උත්පත්ති 2:22-24) පුරුෂයා හා ස්ත්‍රිය යන දෙදෙනා එකිනෙකාට අන්‍යොන්‍ය වශයෙන් උපකාර ලබන පිණිස, දෙදෙනා අතර ස්ථිර බැඳීමක් ඇති කරගැනීමට ඔහු විවාහ විධිවිධානය නිර්මාණය කළා. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත් විට, ජීවිතයේ තමන්ට හිමි තැන ප්‍රීතිමත් එකක් වන බවට ස්වාමිපුරුෂයාට හා භාර්යාවට අපේක්ෂා කළ හැක.—දේශනාකාරයා 9:7-9.
ඒ වුණත්, අප ජීවත් වන්නේ “කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්වල” බව අමතක නොකළ යුතුයි. මේ කාලයේදී මිනිසුන් “තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, . . . අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, . . . ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව” සිටිනවා. (2 තිමෝති 3:1, NW, 2-5) මෙම ගතිලක්ෂණවලට කෙනෙකුගේ විවාහය කෙරෙහි බලගතු බලපෑමක් ඇති කළ හැකියි. එහෙයින්, විවාහ වීමට කල්පනා කරන අය එයට යන වියදම පරෙස්සමින් ගණන් බැලිය යුතුයි. තවද දැනට විවාහ වී සිටින අය, බයිබලයේ ඇති දිව්‍ය මඟ පෙන්වීම ඉගෙනීමෙන් හා අදාළ කරගැනීමෙන් ඔවුන්ගේ එකමුතුකම වර්ධනය කරගැනීමට දිගටම වෙර දැරිය යුතුයි.
එසේය, විවාහ වීමට කල්පනා කරන අය විවාහ දිනයට ඔබ්බෙන් බැලීමෙන් තමන්ට යහපතක් කරගනියි. තවද සියල්ලන්ම විවාහ වීමේ ක්‍රියාව ගැන පමණක් නොව විවාහ ජීවිතය ගැනද කල්පනා කළ යුතුයි. ආදරයෙන් බැඳුණු හැඟීමකින් දේවල් දෙස බලනවා වෙනුවට යථාර්ථවාදීව දැකගැනීම පිණිස යෙහෝවාගේ මඟ පෙන්වීම වෙත හැරෙන්න. එසේ කිරීමෙන් ඔබට වඩාත් සාර්ථක විවාහ ජීවිතයක් භුක්ති විඳීමට හැකි වනු ඇත.
[පාදසටහන]
a නැවත විවාහ වීමේ අටියෙන් දික්කසාද වීම සඳහා බයිබලය සපයන්නේ එක පදනමක් පමණයි; ඒ “වේශ්‍යාකම,” එනම් විවාහයෙන් පිටත සිදු වන ලිංගික සබඳතාවයි.—මතෙව් 19:9.
[5වන පිටුවේ කොටුව]
“මම දැනට කියවා ඇති ප්‍රේමයේ විශිෂ්ටතම අර්ථ දැක්වීම”
“ඔබ ඇත්තටම ප්‍රේමයෙන් බැඳී සිටිනවාද කියා දැනගන්නේ කොහොමද?” කියා වෛද්‍ය කෙවින් ලීමන් ඇසුවා. “ප්‍රේමය අර්ථ දක්වා ඇති පෞරාණික පොතක් තිබෙනවා. ඒ පොත අවුරුදු දෙදාහක් තරම් පැරණි වුණත්, මම දැනට කියවා ඇති ප්‍රේමයේ විශිෂ්ටතම අර්ථ දැක්වීම ඒකයි.”
වෛද්‍ය ලීමන් යොමු දක්වමින් සිටියේ 1වන කොරින්ති 13:4-8හි සොයාගත හැකි ප්‍රේරිත පාවුල්ගේ වචනවලටයි. එහි මෙසේ කියවේ:
“ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත, උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත; අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය, සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය. ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.”
[8වන පිටුවේ කොටුව]
චිත්තවේගයන් මුළා කරවිය හැකියි
ආදර හැඟීම්වල ඇති මුළා කරවිය හැකි බලය ගැන බයිබල් කාලවල සිටි ෂුලෙම්මීය කත හොඳින් දැන සිටියා. බලවත් සාලමොන් රජ විසින් ඇයට ඉඟි පෑ විට, “ප්‍රේමය කැමතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත්” ඇය ඇගේ යෙහෙළියන්ට පැවසුවා. (සාලමොන්ගේ ගීතිකාව 2:7) තම චිත්තවේගයන් මගින් පාලනය වීමට තම යෙහෙළියන් පීඩනය කරනවාට, මෙම නැණවත් යෞවනිය කැමති වූයේ නැහැ. අදදින විවාහ වීමට කල්පනා කරන අයටත් මෙය ප්‍රායෝගිකයි. ඔබේ හැඟීම් ඔබේ පාලනය යටතේ තබාගන්න. ඔබ විවාහ වනවා නම් විවාහ විය යුත්තේ, විවාහ වී සිටිය යුතුය යන සංකල්පය නිසා නොව, නමුත් පුද්ගලයෙකු සමඟ ආදරයෙන් බැඳී සිටීම නිසා විය යුතුයි.
[6වන පිටුවේ පින්තූරය]
විවාහ වී දිගු කාලයක් ගත වූ අයට පවා තම විවාහ බැම්ම ශක්තිමත් කරගත හැකියි
[7වන පිටුවේ පින්තූරය]
ඔහු ඔහුගේ දෙමාපියන්ට සලකන්නේ කොහොමද?