දෙවි බිලිඳුන් වැනි අයට සත්‍යය හෙළි කරයි
“ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන් සහ බුද්ධිමතුන් ලෙස සලකන අයගෙන් සඟවා, බිලිඳුන් වැනි අයට හෙළි කළා.”—ලූක් 10:21.
1. යේසුස් මහත් ප්‍රීතියකින් හිටියේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
එදා ‘දෙවිගේ බලය යේසුස් තුළ ප්‍රබල ලෙස ක්‍රියාත්මක වූ අතර ඔහු මහත් ප්‍රීතියකින් හිටියා.’ ඒ සතුට ඔහුගේ මුහුණෙන් පේන්න ඇති. දන්නවද යේසුස් ඒ තරම් සතුටකින් හිටියේ ඇයි කියලා? ඒ වෙනකොට ගෝලයන් 70දෙනෙකුව ශුභාරංචිය දේශනා කරන්න පිටත් කරලයි තිබුණේ. ගෝලයන් විවිධ බාධක මැද ඒ කාර්යය කොහොම කරයිද කියලා දැනගන්න යේසුස් හිටියේ නොඉවසිල්ලෙන්. මොකද ඒ වෙනකොට නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරුන් වගේ උගත්, බලවත් සතුරන් ශුභාරංචියට විරුද්ධව පෙළ ගැහිලයි හිටියේ. ඒ අයට ඕන වුණේ යේසුස් නිකම්ම වඩුවෙක් කියලත් ඔහුගේ ගෝලයෝ නූගත් අය කියලත් මිනිසුන්ට පෙන්නන්න. (ක්‍රියා 4:13; මාක් 6:3) භූතයන්ගෙනුත් ඔවුන්ට පීඩා එල්ල වුණා. ඒත් ඒ මොන බාධා ආවත් ගෝලයන් ශුභාරංචිය දේශනා කරලා සතුටින් යේසුස් ළඟට ආවා. ඔවුන් ඒ තරම් සතුටින්, ධෛර්යයකින් හිටියේ ඇයි?—ලූක් 10:1, 17-21 කියවන්න.
2. (අ) යේසුස්ගේ ගෝලයන් බිලිඳුන් වැනි අය වුණේ කොහොමද? (ආ) වටිනා සත්‍යයන් තේරුම්ගන්න ඔවුන්ට පුළුවන් වුණේ කොහොමද?
2 යේසුස් ඒ ගැන යෙහෝවා දෙවිට මෙහෙම කිව්වා. “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන පියාණෙනි, ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන්ද බුද්ධිමතුන්ගෙන්ද සඟවා බිලිඳුන් වැනි අයට හෙළි කළ නිසා ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්න මම කැමතියි. පියාණෙනි, එසේ සිදු වුණේ ඔබේ කැමැත්තට එකඟවයි.” (මතෙ. 11:25, 26) යේසුස් තම ගෝලයන්ව බිලිඳුන් වැනි අය කියලා හැඳින්නුවේ ඇයි? නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරුන් හරිම උඩඟු අය. ඔවුන් උසස් අධ්‍යාපනයක් ලබපු අය නිසා තමන් ප්‍රඥාවන්තයි කියලා හිතුවා. ඒත් යේසුස්ගේ ගෝලයන් ඊට වඩා වෙනස්. ඔවුන් හරියට බිලිඳුන් වගේ දේවල් ඉගෙනගන්න ආසාවෙන් හිටියා. ඒ වගේම ඔවුන් නිහතමානී වෙන්න ඉගෙනගෙන තිබුණා. (මතෙ. 18:1-4) ඔවුන් තුළ තිබුණු ඒ නිහතමානිකම නිසා ශුද්ධ ලියවිල්ලේ තියෙන වටිනා සත්‍යයන් තේරුම්ගන්නත් අනිත් අයට ඒවා කියලා දෙන්නත් යෙහෝවා දෙවි ඔවුන්ට බලය දුන්නා. ඒත් සාතන්ගේ බලපෑම නිසාත් ඔවුන්ගේ උඩඟුකම නිසාත් යුදෙව් ආගමික නායකයන් හිටියේ අන්ධ වෙලයි.
3. අපි මේ ලිපියේ බලන්නේ මොකක් ගැනද?
3 අධ්‍යාපන මට්ටම මොකක් වුණත් කෙනෙක් නිහතමානී නම් ඒ කෙනාට ශුද්ධ ලියවිල්ලේ තිබුණු ගැඹුරු සත්‍යයන් තේරුම්ගන්න යෙහෝවා දෙවි උදව් කළා. ඒක දැකලයි එදා යේසුස් ඒ තරම් සතුටකින් හිටියේ. යෙහෝවා දෙවි වෙනස් වෙලා නැහැ. අදත් ඔහු බයිබලේ තියෙන සත්‍යයන් පැහැදිලි කරලා දෙන්නේ ඕනම කෙනෙකුට තේරුම්ගන්න පුළුවන්, සරල විදිහටයි. ඒ කොහොමද කියලා අපි බලමු.
ගැඹුරු සත්‍යයන් පැහැදිලි කරයි
4. සරල භාෂාවෙන් ඇති ‘මුරටැඹ’ පාඩම් කලාපය තෑග්ගක් කියලා කියන්නේ ඇයි?
4 පහුගිය අවුරුදු කීපයේදී තව තවත් සරලව, පැහැදිලිව උගන්වන්න දෙවිගේ සංවිධානය ලොකු උත්සාහයක් දරලා තියෙනවා. ඒකට උදාහරණ 3ක් බලමු. (1) සරල භාෂාවෙන් ඇති ‘මුරටැඹ’a පාඩම් කලාපය. භාෂාව ගැන ලොකු දැනුමක් නැති, කියවන්න අමාරු අයට මේක තෑග්ගක් වගේ. ඒ කලාපය නිසා දරුවන්ටත් ‘මුරටැඹ’ ලිපි දැන් තවත් හොඳට තේරෙනවා. ඒ ගැන අගය කරලා හුඟක් අය ලියුම් එවලා තියෙනවා. ‘මුරටැඹ’ පාඩමේදී අදහස් දක්වන්න බයෙන් හිටපු සහෝදරියක් මෙහෙම කියනවා. “සරල භාෂාවෙන් තියෙන ‘මුරටැඹ’ සඟරාව නිසා මං දැන් උත්තර එකකට වඩා දෙනවා. උත්තර දෙද්දී මට බයක් දැනෙන්නෙත් නැහැ. යෙහෝවා දෙවිටත් ඔයගොල්ලන්ටත් ගොඩක් ස්තුතියි.”
5. සංශෝධනය කරන ලද ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ තියෙන ප්‍රයෝජන මොනවද?
5 (2) සංශෝධනය කරන ලද ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය.’ ඒ පරිවර්තනය 2013 ඔක්තෝබර් 5වෙනිදා පවත්වපු වාර්ෂික රැස්වීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් මුදාහැරියා.b ඒකේ තියෙන විශේෂත්වය තමයි හුඟක් පද අඩු වචන ගාණකින් සරලව යොදලා තියෙන එක. ඒත් අර්ථය පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. උදාහරණෙකට කලින් ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණු ‘නව ලොව පරිවර්තනයේ’ යෝබ් 10:1 වචන 27ක් තිබුණා. මේ පරිවර්තනයේ වචන 19ක් දක්වා ඒක අඩු වෙලා. කලින් පරිවර්තනයේ හිතෝපදේශ 8:6 වචන 20ක් තිබුණත් මේ පරිවර්තනයේ තියෙන්නේ වචන 13යි. ඒ වුණත් දැන් ඒ පද දෙකම කලින්ට වඩා තේරුම්ගන්න ලේසියි. අවුරුදු ගාණක් පුරා විශ්වාසවන්තව සේවය කරන අභිෂේක ලත් සහෝදරයෙක් මෙහෙම කියනවා. “මං අලුත් පරිවර්තනයෙන් යෝබ් පොත කියවද්දී මට දැනුණේ හරියට ඒක පළවෙනි වතාවට කියවලා තේරුම්ගත්තා වගේ.”
6. මතෙව් 24:45-47 ගැන තිබුණු අවබෝධය තවත් පැහැදිලි කරපු නිසා ඒ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?
6 (3) සමහර බයිබල් පද ගැන අපිට තිබුණු අවබෝධය තවත් පැහැදිලි වුණු විදිහ. උදාහරණෙකට 2013 ජූලි 15 ‘මුරටැඹ’ කලාපයේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ගැන තවත් හොඳින් පැහැදිලි කළා. (මතෙ. 24:45-47) විශ්වාසවන්ත දාසයා කියන්නේ පාලක මණ්ඩලයට කියලත් දාසයාගෙන් පෝෂණය ලබන ‘මෙහෙකරුවන්ගෙන්’ අභිෂේක ලත් අය වගේම ‘වෙනත් බැටළුවන්වත්’ නියෝජනය වෙනවා කියලා අපි දැනගත්තා. (යොහ. 10:16) ඒ වටිනා සත්‍යයන් ඉගෙනගන්න ලැබුණු එක ගැන අපි සතුටු වෙනවා වගේම ඒ ගැන අනිත් අයට කියලා දෙන්නත් අපි කැමැත්තෙන් ඉන්නවා. සරල, පැහැදිලි ඉගැන්වීම්වලට යෙහෝවා දෙවිගේ අනුමැතිය තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ තව මොන වගේ පැතිවලින්ද?
බයිබලේ සිද්ධීන් සරලව පැහැදිලි කරයි
7, 8. දෙවෙනි ඉටු වීමක් තියෙන බයිබලේ සඳහන් සමහර සිද්ධීන් මොනවද?
7 ඔයා කාලයක් තිස්සේ දෙවිට සේවය කරන කෙනෙක් නම් අපේ ප්රකාශනවල බයිබලේ සිද්ධීන් විස්තර කරන විදිහේ යම් වෙනසක් වෙලා තියෙනවා කියලා ඔයාට තේරෙයි. ඉස්සර සඟරාවල යම් සිද්ධියක් ගැන විස්තර කරද්දී ඒකේ දෙවෙනි ඉටු වීම ගැනත් බොහෝවිට සඳහන් වුණා. එහෙම කරන්න ඔවුන් පෙලඹුණේ ඇයි? ඒකට හේතුව යම් සිද්ධීන්වල දෙවෙනි ඉටු වීම ගැන බයිබලේම සඳහන් වෙන අවස්ථා තියෙන නිසයි. මේ උදාහරණේ බලන්න. යේසුස් එක අවස්ථාවක “අනාගතවක්තෘ යෝනාගේ ලකුණ” ගැන කිව්වා මතකද? (මතෙව් 12:39, 40 කියවන්න.) එතනදී යේසුස් කිව්වේ යෝනා මාළුවෙකුගේ බඩේ හිටපු දවස් තුනෙන් තමන් මිය ගියාට පස්සේ සොහොන් ගෙයි තැන්පත් කරලා ඉන්න කාලය නියෝජනය වෙනවා කියලයි.
8 ඒ වගේ දෙවෙනි ඉටු වීමක් තියෙන තවත් සිද්ධීන් කීපයක් පාවුල්ගේ ලිපිවලත් විස්තර කරලා තියෙනවා. එකක් තමයි හාගර් සහ සාරා එක්ක ආබ්‍රහම්ට තිබුණු බැඳීම. ඒකෙන් යෙහෝවා දෙවිට ඊශ්‍රායෙල් සෙනඟ එක්ක සහ දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස එක්ක තියෙන බැඳීම සංකේතවත් වෙනවා කියලා පාවුල් කිව්වා. (ගලා. 4:22-26) ඒ විදිහටම ශුද්ධ කූඩාරමෙන්, දේවමාලිගාවෙන්, සමඟි වීමේ දවසෙන්, උත්තම පූජකයාගෙන් සහ නීතියට ඇතුළත් වෙනත් දේවලිනුත් යම් දේවල් නියෝජනය වුණා. ඒ දේවල් “සැබෑ දෙයෙහි ඡායාවක් පමණි. එය අපට දෙනු ලැබුවේ ඉදිරියේදී පැමිණෙන වඩාත් හොඳ දේවල් පිළිබඳ යම් අදහසක් අපට ලබා දීම සඳහාය” කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. (හෙබ්‍රෙ. 9:23-25; 10:1) බයිබලේ තියෙන ඒ වගේ සිද්ධීන්වල දෙවෙනි ඉටු වීම අධ්‍යයනය කරද්දී, ඒවා තේරුම්ගද්දී අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ බයිබලේ සඳහන් හැම කෙනෙක්ගෙන්ම, හැම සිද්ධියකින්ම, හැම භාණ්ඩයකින්ම යමක් නියෝජනය වෙනවා කියලා.
9. ඉස්සර අපේ ප්රකාශනවල නාබොත් ගැන සඳහන් සිද්ධිය පැහැදිලි කළේ කොහොමද?
9 අතීතයේදී අපේ සඟරා, පොත්වල බයිබල් සිද්ධීන් විස්තර කරද්දී ඒකෙන් නියෝජනය වෙන දේවල් ගැන සඳහන් කළා. උදාහරණෙකට දුෂ්ට යෙසබෙල් රැජිණ ආහබ් රජුට නාබොත්ගේ මිදිවත්ත අරන් දෙන්න නාබොත්ව මරපු සිද්ධිය ගැන බලමු. (1 රාජා. 21:1-16) 1932 පළ වුණු ‘මුරටැඹ’ කලාපයක සඳහන් වුණේ ආහබ්ගෙන් සහ යෙසබෙල්ගෙන් සාතන්වත් ඔහුගේ සංවිධානයත් නියෝජනය වුණා කියලයි. නාබොත්ගෙන් යේසුස්ව නියෝජනය වුණා කියලත් ඔහුව මරලා දාපු එකෙන් අදහස් කළේ යේසුස්ව මරා දැමීම කියලත් ඒකේ සඳහන් වුණා. ඒත් 1961 පළ කරපු ‘ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!’ කියන පොතේ ඒ පැහැදිලි කිරීමේ වෙනසක් කරලා තිබුණා. ඒකේ සඳහන් වුණේ නාබොත්ගෙන් අභිෂේක ලත් අයව නියෝජනය වුණා කියලයි. යෙසබෙල්ගෙන් නියෝජනය වුණේ ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්. ඇය නාබොත්ට දීපු වධ හිංසාවලින් මේ අවසාන දවස්වල අභිෂේක ලත් අය විඳින පීඩා නියෝජනය වෙනවා කියලත් එතන සඳහන් වුණා. ඒ වගේ පැහැදිලි කිරීම් නිසා අවුරුදු ගාණක් පුරාම දෙවිගේ සෙනඟට ප්‍රයෝජන ලැබුණා. ඔවුන්ගේ විශ්වාසය තවත් වැඩි වුණා. එහෙමනම් බයිබලේ සඳහන් සිද්ධීන් දැන් අපි ඒ විදිහට විස්තර කරන්නේ නැත්තේ ඇයි?
10. (අ) බයිබල් සිද්ධීන් පැහැදිලි කරද්දී දාසයා කල්පනාකාරී වෙලා තියෙන්නේ කොහොමද? (ආ) දැන් අපේ ප්රකාශනවල වැඩි අවධානයක් දෙන්නේ මොනවටද?
10 පහුගිය කාලේ පුරාම විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට තව තවත් නුවණැතිව, කල්පනාකාරීව දේවල් කරන්න දෙවි උදව් කරලා තියෙනවා. ඒ කොහොමද? දාසයා බයිබලේ තියෙන යම් දේකින් යමක් නියෝජනය වෙනවා නැත්නම් දෙවෙනි ඉටු වීමක් තියෙනවා කියලා දැන් කියන්නේ ඒකට බයිබලෙන් ප්‍රමාණවත් සාක්ෂි තිබුණොත් විතරයි. කලින් කරලා තිබුණු ඒ වගේ පැහැදිලි කිරීම් තේරුම්ගන්න, මතක තියාගන්න සහ ජීවිතේට අදාළ කරගන්න ලේසි නැහැ. බයිබලේ තියෙන යම් දේකින් නියෝජනය වෙන්නේ මොනවද කියලා ඕනෑවට වඩා හිතන්න ගියොත් ඒ දෙයින් අපේ ජීවිතේට ගන්න පුළුවන් පාඩම් මඟහැරෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අද වෙනකොට අපේ සඟරා, පොත්වල වැඩි අවධානයක් දෙන්නේ යමකින් නියෝජනය වෙන දේට වඩා බයිබලේ සඳහන් සිද්ධීන්වලින් අපේ විශ්වාසය, විඳදරාගැනීම, දේවගරුබිය වගේ වටිනා ගුණාංග තවත් වැඩි කරගන්න පුළුවන් කොහොමද කියන කාරණයටයි.c
නාබොත්ගෙන් අපිට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන් (11 ඡේදය බලන්න)
11. (අ) නාබොත්ගේ සිද්ධිය දැන් අපි තේරුම්ගන්නේ කොහොමද? ඔහුගේ ආදර්ශය අපිට උදව් වෙන්නේ කොහොමද? (ආ) මෑත කාලවලදී අපේ ප්රකාශනවල බයිබල් සිද්ධීන්වල දෙවෙනි ඉටු වීම ගැන අඩුවෙන් සඳහන් වෙන්නේ ඇයි? (මේ කලාපයේ තියෙන “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.)
11 නාබොත්ගේ සිද්ධිය දැන් අපි තේරුම්ගන්න විදිහ හරිම සරලයි, පැහැදිලියි. යේසුස්ව නැත්නම් අභිෂේක ලත් අයව නියෝජනය කරන්න ඕන නිසා නාබොත් මිය ගියේ නැහැ. ඔහු මිය ගියේ දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔහු තුළ තිබුණු අධිෂ්ඨානය නිසයි. බලවත් පාලකයන් මොන තරම් පීඩා ගෙනාවත් යෙහෝවා දෙවිගේ නීතියට ඔහු දිගටම කීකරු වුණා. (ගණන්. 36:7; 1 රාජා. 21:3) පීඩා විඳින අද ඉන්න දෙවිගේ සෙනඟට ඔහු මොන තරම් වටින ආදර්ශයක්ද! (2 තිමෝති 3:12 කියවන්න.) ඒ තොරතුරු තේරුම්ගන්න, මතක තියාගන්න, ජීවිතේට අදාළ කරගන්න හරි පහසුයි. ඒ නිසා ඕනම කෙනෙකුට ඒ තොරතුරුවලින් ඔවුන්ගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න පුළුවන්.
12. (අ) බයිබලේ හැම සිද්ධියක්ම තියෙන්නේ අපිට යම් පාඩම් ඉගෙනගන්න විතරයි කියලා හිතන්න හොඳ නැත්තේ ඇයි? (ආ) බයිබලේ සඳහන් ගැඹුරු දේවල් වුණත් අපිට තේරුම්ගන්න පහසු වෙලා තියෙන්නේ ඇයි? (පාදසටහන බලන්න.)
12 එහෙමනම් බයිබලේ හැම සිද්ධියක්ම තියෙන්නේ අපිට යම් පාඩම් ඉගෙනගන්න විතරද? ඒවාවලට වෙන අර්ථයක් නැද්ද? එහෙම කියන්න බැහැ. බයිබලේ සඳහන් සිද්ධීන් එකකට එකක් සමාන වෙන්නේ කොහොමද කියලත් දැන් අපේ ප්රකාශනවල පැහැදිලි කරනවා. උදාහරණෙකට නාබොත්ගේ සිද්ධියම ගමු. නාබොත් වධ හිංසා දරාගෙන මරණය දක්වාම විශ්වාසවන්තව හිටපු එක යේසුස්ගේ සහ අභිෂේක ලත් අයගේ විශ්වාසවන්තකමට සමානයි කියලා අපිට මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි නාබොත් පෙන්නපු විශ්වාසය පීඩා දරාගෙන දෙවිට සේවය කරන ‘වෙනත් බැටළුවන්ගේ’ විශ්වාසයටත් සමාන කරන්න පුළුවන්. යෙහෝවා දෙවි අපිට මේ තරම් සරලව, පැහැදිලිව උගන්වන එක ගැන අපි කොයි තරම් සතුටු වෙන්න ඕනෙද!d
යේසුස්ගේ උපමා සරලව පැහැදිලි කරයි
13. යේසුස් කියපු සමහර උපමා දැන් අපි වඩා සරලව විස්තර කරනවා කියන්න තියෙන උදාහරණ මොනවද?
13 මෙතෙක් ජීවත් වුණු හොඳම ගුරුවරයා වන යේසුස් උගන්වද්දී නිතරම වගේ උපමා, උදාහරණ යොදාගත්තා. (මතෙ. 13:34) ඒවා හොඳ ඉගැන්වීමේ ක්‍රම. මොකද තේරුම්ගන්න අමාරු කාරණා සරලව තේරුම් කරලා දෙන්න ඒවාවලට පුළුවන්. ඒ වගේම තොරතුරු ගැන හිතන්නත් ඒවා හිතට ගන්නත් උපමා උදව් වෙනවා. පහුගිය කාලේ පුරාම අපේ ප්‍රකාශනවලින් යේසුස් කියපු උපමා සරලව, පැහැදිලිව විස්තර කළා. 2008 ජූලි 15 ‘මුරටැඹ’ කලාපයේ මුහුන්, අබ ඇටය සහ මාළු දැල ගැන උපමා පැහැදිලි කළා මතකද? ඒ උපමාවලින් යොමු දැක්වුවේ දේවරාජ්‍යයටයි කියලා දැන් අපි දන්නවා. ඒවා පැහැදිලිව තේරුම්ගත්ත නිසා හුඟදෙනෙක්ට මේ දුෂ්ට සමාජයේ දේවලින් ඈත් වෙලා යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න පුළුවන් වෙලා තියෙනවා.
14. (අ) කරුණාවන්ත සමරිතානුවරයාගේ උපමාව කලින් අපි විස්තර කළේ කොහොමද? (ආ) දැන් අපි ඒ උපමාව තේරුම්ගන්නේ කොහොමද?
14 යේසුස් කියපු සමහර උපමාවල ටිකක් වැඩිපුර විස්තර තියෙනවා. ඒ අතරින් සමහර ඒවා ඔහු කිව්වේ සංකේත අර්ථයකින්. තවත් ඒවා අනාවැකි. ජීවිතේට යම් පාඩම් කියලා දෙන උපමාත් තියෙනවා. අපි කොහොමද ඒවා වෙන වෙනම අඳුනගන්නේ? ගත වුණු අවුරුදු ගාණ පුරාම අපේ ප්‍රකාශනවලින් ක්‍රමානුකූලව ඒ ගැන අපිට පැහැදිලි කළා. උදාහරණෙකට කරුණාවන්ත සමරිතානුවරයාගේ උපමාව කලින් අපි විස්තර කරපු විදිහ බලන්න. (ලූක් 10:30-37) 1924 පළ වුණු ‘මුරටැඹ’ කලාපයක තිබුණේ සමරිතානුවරයාගෙන් යේසුස්ව නියෝජනය වෙනවා කියලයි. යෙරුසලමේ ඉඳන් යෙරිකෝවට බැස යන පාරෙන් අදහස් කළේ ඒදන් උයනේ කැරැල්ලෙන් පස්සේ මිනිස් වර්ගයා ක්‍රමානුකූලව පිරිහුණු ආකාරය කියලත් ඒකේ සඳහන් වුණා. සොරුන්ගෙන් නියෝජනය වෙන්නේ විශාල ව්‍යාපාර සහ කෑදර ව්‍යාපාරිකයන්ව කියලත් පූජකයාගෙන් සහ ලෙවීවරයාගෙන් ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම් නියෝජනය වෙනවා කියලත් ඒ සඟරාවේ තිබුණා. ඒත් අපේ ප්රකාශනවල ඒ උපමාව දැන් ඒ විදිහට පැහැදිලි කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ උපමාවෙන් අපිට උගන්වන්නේ හැමෝටම එක වගේ සලකන්න කියන පාඩමයි. ඒ වගේම උදව් ඕන කරන හැමෝටම අපි උදව් කරන්න ඕනෙ කියලත් විශේෂයෙන්ම දෙවි ගැන කියලා දීලා ඔවුන්ට උදව් කරන්න ඕනෙ කියලත් ඒ උපමාවෙන් අපි ඉගෙනගන්නවා. යෙහෝවා දෙවි ඒ විදිහට සරලව, පැහැදිලිව උපමා තේරුම් කරලා දීලා තියෙන එක ගැන අපි කොයි තරම් සතුටු වෙන්න ඕනෙද!
15. ඊළඟ ලිපියේ අපි බලන්නේ මොකක් ගැනද?
15 ඊළඟ ලිපියෙන් අපි යේසුස් කියපු අවිවාහක තරුණියන් දහදෙනාගේ උපමාව ගැන බලමු. (මතෙ. 25:1-13) ඒ උපමාව අවසාන දවස්වල ජීවත් වෙන තම අනුගාමිකයන් කොහොම තේරුම්ගන්නවටද යේසුස් කැමති? ඒකේ සඳහන් වෙන හැම කෙනෙක්ගෙන්ම, දේකින්ම, සිද්ධියකින්ම අනාගතේ යම් දෙයක් නියෝජනය වෙනවද? එහෙම නැත්නම් යේසුස්ට ඕනෙ ඒ උපමාවෙන් අපේ ජීවිතවලට වටිනා පාඩම් කියලා දෙන්නද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.
a මේ සඟරාව මුලින්ම ප්‍රකාශයට පත් කළේ 2011 ජූලි මාසේදී. ඒ ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් තවත් භාෂා කීපයකින්ම ඒක මුද්‍රණය කරනවා.
b සිංහල බයිබලය පරිවර්තනය කරද්දී යොදාගත්තෙත් ඉංග්‍රීසි බයිබලය සංශෝධනය කරද්දී යොදාගත්ත ක්‍රමමයි.
c ‘ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්’ කියන පොත ඒකට හොඳ උදාහරණයක්. බයිබලේ සඳහන් 14දෙනෙක් ගැන කතා කරන ඒ පොතේ, ඔවුන්ගෙන් නියෝජනය වෙන්නේ මොනවද කියලා කියනවට වඩා ඔවුන්ගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන කතා කරනවා.
d පාවුල්ගේ ලිපිවල තියෙනවා වගේ “තේරුම්ගැනීමට අමාරු” දේවල් බයිබලේ තියෙනවා. ඒත් බයිබල් ලේඛකයන් ඒවා ලිව්වේ දෙවිගේ බලයේ උදව්වෙන්. ඒ නිසා “දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා පවා” අද ඉන්න සැබෑ ක්‍රිස්තියානීන්ට තේරුම්ගන්න උදව් කරන්න දෙවිගේ බලයට පුළුවන්.—2 පේතෘ. 3:16, 17; 1 කොරි. 2:10.