ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 110 ලිපිය
  • බව්තීස්මය කියන්නේ මොකක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බව්තීස්මය කියන්නේ මොකක්ද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • බව්තීස්මයෙන් අදහස් වෙන්නේ මොකක්ද?
  • ළදරුවන්ව ක්‍රිස්තියානි කරන එක සහ බව්තීස්ම කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
  • පියාණන්ව, පුත්‍රයාව සහ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගන්න අයව බව්තීස්ම කරනවා කියන්නේ මොකක්ද?
  • ආයෙත් බව්තීස්ම වෙන එක පාපයක්ද?
  • වෙනත් විදිහේ බව්තීස්මයන්
  • බව්තීස්ම විය යුත්තේ මන්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ බව්තීස්මයේ අර්ථය
    එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
  • ඔබ බව්තීස්ම විය යුතු ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බව්තීස්මය ගැන හිතන එක හරිම වැදගත්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 110 ලිපිය
යෞවනයෙක් බව්තීස්ම වෙනවා.

බව්තීස්මය කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

කෙනෙක්ව බව්තීස්ම කරනවා කියන්නේ ඒ කෙනාව සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්ලන එකටයි.a බයිබලයේ ගොඩක් බව්තීස්මයන් ගැන සඳහන් වෙනවා. (ක්‍රියා 2:41) යේසුස්ගේ බව්තීස්මය ඒ අතරින් එකක්. ඔහු බව්තීස්ම වුණේ යොර්දාන් ගඟේ. (මතෙව් 3:13, 16) ඊට අවුරුදු කීපයකට පස්සේ ඉතියෝපියානු නිලධාරියෙකුත් පාරේ ගමන් කරන අතරතුරේදී “ප්‍රමාණවත් ජලය ඇති තැනක” බව්තීස්ම වුණා.—ක්‍රියා 8:36-40.

යේසුස් කිව්වා ඔහුගේ අනුගාමිකයන් අනිවාර්යයෙන්ම බව්තීස්ම වෙන්න ඕනෙ කියලා. (මතෙව් 28:19, 20) පස්සේ කාලෙක පේතෘසුත් ඒකේ වැදගත්කම ගැන කතා කළා.—1 පේතෘස් 3:21.

මේ ලිපියෙන්

  • බව්තීස්මයෙන් අදහස් වෙන්නේ මොකක්ද?

  • ළදරුවන්ව ක්‍රිස්තියානි කරන එක සහ බව්තීස්ම කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

  • පියාණන්ව, පුත්‍රයාව සහ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගන්න අයව බව්තීස්ම කරනවා කියන්නේ මොකක්ද?

  • ආයෙත් බව්තීස්ම වෙන එක පාපයක්ද?

  • වෙනත් විදිහේ බව්තීස්මයන්

  • බව්තීස්මය ගැන තියෙන වැරදි මත

බව්තීස්මයෙන් අදහස් වෙන්නේ මොකක්ද?

බව්තීස්ම වෙද්දී කෙනෙක් ප්‍රසිද්ධියේ පෙන්නනවා එයා එයාගේ පව් ගැන පසුතැවිලි වෙලා තියෙනවා කියලා. ඒ වගේම මොන දේ වුණත් එයා දෙවියන්ගේ කැමැත්ත කරන්න ජීවිතේ කැප කරලා තියෙනවා කියලත් එයා ඒකෙන් පෙන්නනවා. බව්තීස්මයෙන් පස්සේ කෙනෙක් මුල් තැන දෙන්නේ දෙවියන්ගේ සහ යේසුස්ගේ කැමැත්ත කරන එකටයි. ඇත්තම කිව්වොත් කෙනෙක් බව්තීස්ම වෙද්දී අඩිය තියන්නේ සදාකාල ජීවනයට යන පාරට.

කෙනෙක් ක්‍රිස්තියානියෙක් වෙද්දී එයා එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නවා. ඒක පෙන්නන්න පුළුවන් හොඳම විදිහක් තමයි වතුරේ ගිල්ලලා බව්තීස්ම කරන එක. ඇයි එහෙම කියන්නේ? බව්තීස්ම කරන එක බයිබලයේ මැරුණ කෙනෙක්ව වළලන එකට සමාන කරලා තියෙනවා. (රෝම 6:4; කොලොස්සි 2:12) කෙනෙක් වතුරෙන් යටට යද්දී ඒකෙන් සංකේතවත් වෙන්නේ එයා පරණ ජීවිතේ සම්පූර්ණයෙන්ම වළ දානවා කියන එකයි. වතුරෙන් උඩට එද්දී එයා දෙවියන්ට කැප වුණ ක්‍රිස්තියානියෙක් විදිහට අලුත්ම ජීවිතයක් පටන්ගන්නවා කියන එක සංකේතවත් වෙනවා.

ළදරුවන්ව ක්‍රිස්තියානි කරන එක සහ බව්තීස්ම කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

“ක්‍රිස්තියානි කරනවා”b කියන යෙදුමවත් අතදරුවන්ව බව්තීස්ම කරන එක ගැනවත් බයිබලයේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ.

ක්‍රිස්තියානි කරන අවස්ථාවකදී පූජකයෙක් අතදරුවෙක්ගේ ඔළුවට වතුර වත් කරනවා.

ළදරු බව්තීස්මය බයිබලයට පටහැනි ඉගැන්වීමක්. මොකද බයිබලයේ කියන්නේ කෙනෙක් බව්තීස්ම වෙන්න කලින් යම් සුදුසුකම් අත් කරගන්න ඕනෙ කියලයි. උදාහරණයකට ඒ කෙනා අඩුම තරමේ බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් ගැනවත් හොඳින් තේරුම් අරන් ඒවාට අනුව එයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. ඒ වගේම එයා එයාගේ පව් ගැන අවංකවම පසුතැවිලි වෙලා යාච්ඤාවෙන් එයාගේ ජීවිතේ දෙවියන්ට කැප කරන්නත් ඕනේ. (ක්‍රියා 2:38, 41; 8:12) කිරිසප්පයෙක්ට ඒ කිසිම දෙයක් කරන්න පුළුවන්ද?

පියාණන්ව, පුත්‍රයාව සහ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගන්න අයව බව්තීස්ම කරනවා කියන්නේ මොකක්ද?

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. “මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20) යේසුස් ඒකෙන් අදහස් කළේ මොකක්ද? බව්තීස්ම වෙන්න කලින් කෙනෙක් පියාණන්ට සහ පුත්‍රයාට තියෙන අධිකාරිය ගැනත් දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න ඔහුගේ බලය පාවිච්චි කරන විදිහ ගැනත් හොඳට අවබෝධ කරගෙන ඉන්න ඕනේ. සැරයක් පේතෘස් උපතින්ම කොර වෙච්ච කෙනෙක්ට මෙහෙම කිව්වා. “නාසරෙත් නුවරෙන් පැමිණි යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් නැඟිට ඇවිදින්න!” (ක්‍රියා 3:6) ඒකෙන් පැහැදිලියි යේසුස්ට තිබුණ අධිකාරිය ගැනත් ඒ කෙනාව සුව කරන්න පේතෘස්ට බලය ලැබුණේ යේසුස්ගෙන් කියලත් පේතෘස් හොඳටම තේරුම් අරන් හිටියා කියලා.

  • “පියාණන්” කියලා හඳුන්වන්නේ යෙහෝවාc දෙවියන්ව. අපිට ජීවිතේ දීපු නිර්මාතෘ සහ සියලු බලැති දෙවියන් ඔහුයි. ඔහු තමයි විශ්වයේ ඉන්න උසස්ම කෙනා.—උත්පත්ති 17:1; එළිදරව් 4:11.

  • “පුත්‍රයා” කියලා හඳුන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්ව. ඔහු තමයි අපි වෙනුවෙන් ජීවිතේ දුන්න කෙනා. (රෝම 6:23) මිනිස්සු ගැන දෙවියන්ට තියෙන අරමුණ ඉටු කරන්න යේසුස් කරන වැඩ කොටස හරියට තේරුම්ගත්තේ නැත්නම් ගැලවීම ලබන්න අපි කාටවත් බැහැ.—යොහන් 14:6; 20:31; ක්‍රියා 4:8-12.

  • “දෙවිගේ බලය” තමයි දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න පාවිච්චි කරන්නේ.d හැම දේම නිර්මාණය කරන්න, අපිට ජීවිතේ දෙන්න, අනාගතවක්තෘවරුන්ට සහ අනිත් අයට පණිවිඩ දැනුම් දෙන්න සහ දෙවියන්ගේ කැමැත්ත කරන්න එයාලට උදව් කරන්න ඔහු පාවිච්චි කරන්නේ ඔහුගේ බලයයි. (උත්පත්ති 1:2; යෝබ් 33:4; රෝම 15:18, 19) දෙවියන් බයිබලය ලියන්න මිනිස්සුන්ට මඟ පෙන්නුවෙත් ඔහුගේ බලය පාවිච්චි කරලයි.—2 පේතෘස් 1:21.

ආයෙත් බව්තීස්ම වෙන එක පාපයක්ද?

සමහර අය කාලයක් ගියාට පස්සේ එයාලාගේ ආගම වෙනස් කරන්න තීරණය කරනවා. ඒ වගේ කෙනෙක් කලින් ගිය පල්ලියේ බව්තීස්ම වෙලා තියෙනවා නම් මොකද කරන්නේ? ආයෙත් බව්තීස්ම වුණොත් ඒක පාපයක්ද? සමහරු හිතන්නේ එහෙමයි. සමහර වෙලාවට එයාලා එහෙම හිතන්නේ එෆීස 4:5 තියෙන මේ අදහස නිසා වෙන්න ඇති. එතන කියනවා “සිටින්නේ එක ස්වාමියෙක්ය. අපගේ විශ්වාසයට ඇත්තේ එක පදනමක්ය. ඇත්තේ එක බව්තීස්මයක්ය” කියලා. හැබැයි ඒ පදයෙන් අදහස් වෙන්නේ නැහැ බව්තීස්ම වුණ කෙනෙක්ට ආයේ බව්තීස්ම වෙන්න බැහැ කියලා. කොහොමද ඒක අපි හරියටම දන්නේ?

අවට පද. එෆීස 4:5 අවට පද බැලුවාම අපිට පැහැදිලි වෙනවා පාවුල් එතන කාවද්දන්නේ ක්‍රිස්තියානීන් හැමෝම අතරේ එකම ඉගැන්වීමක් සහ එකම විශ්වාසයක් තියෙන්න ඕනෙ කියන එක ගැන කියලා. (එෆීස 4:1-3, 16) ඒ වගේ එක්සත්කමක් තියෙන්න නම් එයාලා එකම ස්වාමීන්ගේ ඒ කියන්නේ යේසුස්ගේ අඩි පාරේ යන්න ඕනේ. ඒ වගේම එයාලට එකම විශ්වාසයක් තියෙන්න ඕනේ. වෙන විදිහකින් කියනවා නම් එයාලා බයිබලයේ තියෙන ඉගැන්වීම් එකම විදිහට අවබෝධ කරගෙන ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි බයිබලයේ කියලා තියෙන විදිහට බව්තීස්ම වෙන්න තියෙන සුදුසුකම් හැම එකක්ම එයාලට තියෙන්නත් ඕනේ.

කලින් බව්තීස්ම වෙලා හිටපු සමහර අයට ආයේ බව්තීස්ම වෙන්න කියලා පාවුල් දිරිගැන්නුවා. මොකද එයාලා කලින් බව්තීස්ම වෙලා හිටියේ ක්‍රිස්තියානි ඉගැන්වීම් ගැන හරි හැටි අවබෝධයක් නැතුවයි.—ක්‍රියා 19:1-5.

බව්තීස්ම වෙන්න තියෙන එකම පදනම. කෙනෙක්ගේ බව්තීස්මය දෙවියන් පිළිගන්න නම් එයා බව්තීස්ම වෙන්න කලින් බයිබලයේ තියෙන ඉගැන්වීම් ගැන නිවැරදි දැනුමක් ලබාගන්න ඕනේ. (1 තිමෝති 2:3, 4) මොකද එයා බව්තීස්ම වෙලා තියෙන්නේ බයිබලයට පටහැනි ඉගැන්වීම් පිළි අරන් නම් ඒ බව්තීස්මය දෙවියන් පිළිගන්නේ නැහැ. (යොහන් 4:23, 24) ඇත්ත, සමහර වෙලාවට ඒ කෙනා බව්තීස්ම වුණේ හරි චේතනාවෙන් වෙන්න පුළුවන්. ඒත් එයාට “නිවැරදි දැනුම” නැති නිසා ඒ දැනුමට එකඟව එයා වැඩ කළේ නැහැ. (රෝම 10:2) ඉතින් දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න නම් ඒ වගේ කෙනෙක් මුලින්ම බයිබලයේ තියෙන නිවැරදි දැනුම ලබාගන්න ඕනේ. ඊටපස්සේ ඉගෙනගත්ත දේවල් අදාළ කරගෙන දෙවියන්ට එයාගේ ජීවිතේ කැප කරලා ආයෙත් බව්තීස්ම වෙන්න ඕනේ. ඒ විදිහට බව්තීස්ම වෙන එක පාපයක් නෙවෙයි. ඇත්තටම ඒක තමයි කෙනෙක් කරන්න ඕන හරි දේ.

වෙනත් විදිහේ බව්තීස්මයන්

බයිබලයේ වෙනත් විදිහේ බව්තීස්මයන් ගැනත් සඳහන් වෙනවා. හැබැයි ඒවායින් අදහස් කරන දේ යේසුස්ගේ අනුගාමිකයන් වතුරෙන් බව්තීස්ම වෙද්දී අදහස් කරන දේට වඩා වෙනස්. මේ උදාහරණ කීපය බලන්න.

යොහන් බව්තීස්ත කරපු බව්තීස්මය.e අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් මෝසෙස් මාර්ගයෙන් නීතියක් දුන්නා. හැබැයි යුදෙව්වන්ට සහ යුදෙව් ආගමට හැරුණු අයට ඒ නීතිය අකුරටම රකින්න බැරි වුණා. ඒ වගේ කෙනෙක් තමන් කරපු වැරදි ගැන පසුතැවිලි වෙනවා කියලා පෙන්නන්න නම් බව්තීස්ම වෙන්න ඕනෙ කියලා යොහන් එයාලට කිව්වා. ඇත්තටම යොහන් කරපු බව්තීස්මයෙන් යේසුස්ව ගැලවුම්කරු විදිහට අඳුරගෙන ඔහුව පිළිගන්න මිනිස්සුන්ව සූදානම් කළා.—ලූක් 1:13-17; 3:2, 3; ක්‍රියා 19:4.

යේසුස්ගේ බව්තීස්මය. යේසුස්ව බව්තීස්ම කළේ යොහන් බව්තීස්තයි. හැබැයි ඒ බව්තීස්මය අනිත් හැම එකටම වඩා විශේෂයි. මොකද යේසුස් පරිපූර්ණ කෙනෙක් නිසා ඔහු අතින් කිසිම පාපයක් වුණේ නැහැ. (1 පේතෘස් 2:21, 22) ඒ නිසා වැරදි ගැන පසුතැවිලි වෙලා ‘දෙවිගෙන් නිදොස් හෘදය සාක්ෂියක් සඳහා ඉල්ලීමක්’ කරන්න යේසුස්ට අවශ්‍ය වුණේ නැහැ. (1 පේතෘස් 3:21) එහෙනම් ඇයි යේසුස් බව්තීස්ම වුණේ? ඒ පොරොන්දු වුණ ගැලවුම්කරු විදිහට දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔහු සූදානමින් ඉන්නවා කියලා පෙන්නන්න. ඒකට ඔහුගේ ජීවිතේ අපි වෙනුවෙන් පූජා කරන එකත් ඇතුළත්.—හෙබ්‍රෙව් 10:7-10.

යොහන් බව්තීස්ත යේසුස්ව බව්තීස්ම කරනවා.

දෙවිගේ බලයෙන් කරන බව්තීස්මය. යොහන් බව්තීස්ත වගේම යේසුත් දෙවිගේ බලයෙන් කරන බව්තීස්මයක් ගැන කතා කළා. (මතෙව් 3:11; ලූක් 3:16; ක්‍රියා 1:1-5) ඒත් ඒ බව්තීස්මය දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගන්න කෙනෙක්ව බව්තීස්ම කරන එකට වඩා ගොඩක් වෙනස්. (මතෙව් 28:19) අපි කොහොමද ඒක දන්නේ?

දෙවිගේ බලයෙන් බව්තීස්ම වෙන්නේ යේසුස්ගේ අනුගාමිකයන් අතරින් හරිම ටිකදෙනයි. එයාලව යේසුස් එක්ක ස්වර්ගයේ රජවරුන් සහ පූජකයන් විදිහට සේවය කරන්න දෙවිගේ බලයෙන් අභිෂේක කරනවා.f (1 පේතෘස් 1:3, 4; එළිදරව් 5:9, 10) එයාලාගේ පාලනය යටතේ මිලියන ගාණක් දෙනාට සදාකාලයටම පාරාදීස පොළොවක ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—මතෙව් 5:5; ලූක් 23:43.

යේසුස් සමඟ එකට බැඳී සිටින අය විදිහට බව්තීස්ම වෙලා ඔහු වින්දා වගේ මරණයකට මුහුණ දීම. දෙවිගේ බලයෙන් බව්තීස්ම වෙන අය “ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස බව්තීස්ම වෙනවා” කියලත් කියන්න පුළුවන්. (රෝම 6:3) ඒ විදිහට බව්තීස්ම වෙන්නේ යේසුස් එක්ක ස්වර්ගයේ ඉඳන් පාලනය කරන්න හවුල් වෙන අභිෂේක ලත් අය. යේසුස් සමඟ එකට බැඳී සිටින අය විදිහට බව්තීස්ම වෙද්දී එයාලා අභිෂේක ලත් අයගෙන් හැදුණ සභාවක් වෙනවා. ඒ සභාවේ හිස යේසුස්. ශරීරය තමයි එයාලා.—1 කොරින්ති 12:12, 13, 27; කොලොස්සි 1:18.

අභිෂේක ලත් අයට ‘යේසුස් සමඟ මිය ගොස් තැන්පත් කර ඇති අය’ විදිහටත් බව්තීස්ම වෙන්න වෙනවා. (රෝම 6:3, 4) යේසුස් වගේ එයාලත් හැම දෙයක්ම කරන්නේ එයාලාගේ සතුට වෙනුවෙන් නෙවෙයි, දෙවියන්ගේ සතුට වෙනුවෙන්. ඒ වගේම එයාලා දන්නවා යේසුස්ට වගේ එයාලටත් මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා. සංකේතවත් විදිහට එයාලා වෙන මේ බව්තීස්මය සම්පූර්ණ වෙන්නේ එයාලා මැරිලා, ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් අය විදිහට නැවත නැඟිට්ටාට පස්සේ.—රෝම 6:5; 1 කොරින්ති 15:42-44.

ගින්නෙන් වෙන බව්තීස්මය. යොහන් බව්තීස්ත එක අවස්ථාවක මෙහෙම කිව්වා. ‘යේසුස් ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන් හා ගින්නෙනුයි. දැනුත් ඔහුගේ අතේ ධාන්‍ය පොළන කුල්ලක් තිබෙනවා. ඔහු තමන්ගේ කමත හොඳින් පිරිසිදු කර හොඳ තිරිඟු ගබඩාවට රැස් කරයි. නමුත් කිසිවෙකුට නිවිය නොහැකි ගින්නකින් ඔහු දහයියා සියල්ල දවා දමයි.’ (මතෙව් 3:11, 12) ඇත්තටම දෙවිගේ බලයෙන් බව්තීස්ම වෙන එකයි, ගින්නෙන් බව්තීස්ම වෙන එකයි අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒක තේරුම්ගන්න යොහන් මේ උදාහරණයෙන් කියන්න හැදුවේ මොකක්ද කියලා අපි බලමු.

යොහන් කියපු විදිහට තිරිඟුවලින් නියෝජනය වෙන්නේ යේසුස්ට ඇහුම්කන් දීලා ඔහුට කීකරු වෙන අයව. එයාලට දෙවිගේ බලයෙන් බව්තීස්ම වෙන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි දහයියාවලින් නියෝජනය වෙන්නේ යේසුස්ට ඇහුම්කන් දෙන්නේ නැති අයව. එයාලව බව්තීස්ම කරන්නේ ගින්නෙන්. ඒ කියන්නේ එයාලා සදහටම විනාශ වෙනවා කියන එකයි.—මතෙව් 3:7-12; ලූක් 3:16, 17.

බව්තීස්මය ගැන තියෙන වැරදි මත

වැරදි මතය: කෙනෙක්ව සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්ලනවා වෙනුවට ඒ කෙනාට වතුර ඉහලා හරි වතුර වත් කරලා හරි බව්තීස්ම කළාට කමක් නැහැ.

ඇත්ත මේකයි: බයිබලයේ සඳහන් වෙන හැම බව්තීස්මයක්ම කරලා තියෙන්නේ කෙනෙක්ව සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්ලලා. (මතෙව් 3:13, 16; ක්‍රියා 8:36-39) කෙනෙක්ට වතුර ඉහලා කරපු එක බව්තීස්මයක්වත් බයිබලයේ වාර්තා වෙන්නේ නැහැ.g මොකද එහෙම කරද්දී බව්තීස්මයෙන් සංකේතවත් වෙන ප්‍රධානම දේ මඟ හැරෙනවා. ඒ තමයි එයා එයාගේ පරණ ජීවිතේ වළ දාලා දෙවියන්ට කැප වුණ කෙනෙක් විදිහට අලුත් ජීවිතයක් පටන්ගත්තා කියන එක.

වැරදි මතය: බයිබලයේ සඳහන් වෙනවා ෆිලිප්පියේ හිටපු නිලධාරියෙක්ගේ “පවුලේ සියලුදෙනා බව්තීස්ම වුණා” කියලා. (ක්‍රියා 16:25, 31-34) ඒ කියන්නේ ඒ පවුලේ හිටපු අතදරුවොත් බව්තීස්ම වෙලා තියෙනවා.

ඇත්ත මේකයි: පළවෙනි දේ තමයි ඒ පවුලේ අයගේ වයස් බයිබලයේ සඳහන් කරලා නැහැ. අනිත් එක තමයි සිරගෙයි භාරකරු සහ එයාගේ පවුලේ අය එදා “යෙහෝවා දෙවිගේ පණිවිඩය” අහලා ඒක පිළිගත්තා. (ක්‍රියා 16:31, 32, 34) ඉතින් ඒ විදිහට පණිවිඩය පිළි අරගෙන දෙවියන් ගැන, යේසුස් ගැන විශ්වාසය තියන්න නම් එයාලා දැනුම් තේරුම් තියෙන වයසක ඉන්න ඕනේ.

a “බව්තීස්මය” කියද්දී පාවිච්චි කරලා තියෙන ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ “වතුරට බැහැලා, සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්ලලා, ආයෙත් උඩට ගන්න එකයි.”—Vine’s Complete Expository Dictionary of Old and New Testament Words.

b “ක්‍රිස්තියානි කරනවා” කියලා කියන්නේ පල්ලිවල කරන චාරිත්‍රයක්. ඒකෙදී ළදරුවෙකුට නමක් දීලා, එයාගේ ඔළුවට වතුර ඉහලා හරි වතුර වත් කරලා හරි “බව්තීස්ම” කරනවා.

c යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න ”‏යෙහෝවා කියන්නේ කවුද?”‏ කියන ලිපිය බලන්න.

d “ශුද්ධාත්මය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

e “යොහන් බව්තීස්ත කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

f “ස්වර්ගයට යන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

g “බව්තීස්මය” කියන යෙදුම නමස්කාරයට සම්බන්ධ උපකරණ චාරිත්‍රානුකූලව පවිත්‍ර කරන එක ගැන විස්තර කරද්දීත් පාවිච්චි කරලා තියෙනවා. (මාක් 7:4; හෙබ්‍රෙව් 9:10) හැබැයි යේසුස්ගේ බව්තීස්මය සහ ඔහුගේ අනුගාමිකයන්ගේ බව්තීස්මය ඊට වඩා හාත්පසින්ම වෙනස්. මොකද එයාලා බව්තීස්ම වුණේ සම්පූර්ණයෙන්ම වතුරේ ගිලිලා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න