ක්ෂුද්‍රජීවියෙක් වලහෙක් වගේ
ජපානයේ පිබිදෙව්! ලේඛක විසින්
◼ මේ චූටි සතාව ඔබ මීට කලින් කවදාහරි දැකලා තියෙනවාද? සාමාන්‍යයෙන් මේ සතුන්ව ජලය තිබෙන තැනක හෝ තෙතමනය තිබෙන ඕනෑම තැනක දැකගන්න පුළුවන්. පාසිවල, අයිස්වල, ඇළවල්වල, උණු වතුර ළිංවල, විල්වල, මුහුදේ හා සමහරවිට ඔබේම වත්තේ වුණත් ඔබ හොඳින් බැලුවොත් ඔබට දැකගන්න ලැබෙයි. මේ චූටි සතා ඇසට නොපෙනෙන තරම් පුංචි වුණත්, විනාශ කරන්නම බැරි සතෙක්. උගේ නියපොතු සහිත කකුල් අටත්, කොටස් හතරකින් යුත් ශරීරයත් සමෙන් වැසිලයි තිබෙන්නේ. බැලූ බැල්මට ඉටි ගාලා වගෙයි පේන්නේ. මේ පුංචි ක්ෂුද්‍රජීවියා තෙතමනය ඇති තැන්වල ඉන්න නිසාත්, උගේ පෙනුම හා ඇවිදින විදිහ ටිකක් වලසෙකුට සමාන නිසාත් ඌව දිය වලසා කියා හැඳින්විය හැකියි.
දිය වලසුන් අයිති වෙන්නේ ටාර්ඩිග්රැඩා පවුලටයි. එම නමේ අර්ථය වන්නේ “සෙමින් ගමන් කරන්නා” යන්නයි. දිය වලසුන් වර්ග සිය ගණනක් සිටිනවා. සාමාන්‍යයෙන් බිත්තර 1ත් 30ත් අතර සංඛ්‍යාවක් තමයි ගෑනු සතා දාන්නේ. තෙත සහිත පස් ස්වල්පයක වුණත් මේ සතුන් දස දහස් ගණනක් සිටින්න පුළුවන්. මේ සතුන්ව පහසුවෙන්ම දැකගත හැකියි වහලේ බැඳෙන පාසිවල.
දිය වලසාට ඕනෑම කටුක තත්වයකදී වුණත් තම දිවි රැකගන්න පුළුවන්. “දිය වලසුන් කිහිපදෙනෙකුව දින අටක් වාතය නැති තැනක තබා ඊට පස්සේ කාමර උෂ්ණත්වය යටතේ දින තුනක් හීලියම් වායුව තිබෙන ස්ථානයකට මාරු කළා. පසුව පැය කිහිපයකට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 272ක් යටතේ තබා අවසානයේදී සාමාන්‍ය උෂ්ණත්වය ඇති තැනකට ගෙනා විට දිය වලසුන්ට නැවතත් පණ ආවා” කියා එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා විශ්වකෝෂයේ සඳහන් වුණා. මනුෂ්‍යයෙකු මිය යන මට්ටමේ X-කිරණවල බලය සිය ගුණයකින් වැඩි කර දිය වලසුන්ව ඊට නිරාවරණය කළත් උන් මිය යන්නේ නැහැ. ඒ වගේම වාතය නැති අභ්‍යවකාශයේ වුණත් මේ සතාට ජීවත් වෙන්න පුළුවන් කියා විශ්වාස කරනවා.
කටුක අවස්ථාවකදී වුණත් මේ සතාගේ දිවි රැකෙන්නේ උගේ ශරීරයේ ක්‍රියාවලිය සියයට 0.01ක් දක්වා පහත වැටෙන නිසයි. එතකොට උන් ඉන්නේ හරියට මැරුණා වගෙයි. උන් කරන්නේ මේ අවස්ථාවේදී උගේ කකුල් අකුළලා ශරීරය ඇතුළට ගැනීමයි. ඒ වගේම ශරීරය තුළ තිබෙන දියර රසායනික ද්‍රව්‍යයක් බවට හරවාගන්නවා. ඊට පස්සේ ඉටි වර්ගයකින් ශරීරය සම්පූර්ණයෙන් ආවරණය කරගෙන පුංචි ඉටි බෝලයක් වගේ වෙනවා. කෙසේවෙතත් උන්ට ජීවත් විය හැකි තත්වයක් ආ විට විනාඩි කිහිපයකින් හෝ පැය කිහිපයකින් උන් නැවතත් සාමාන්‍ය තත්වයටම පැමිණෙනවා. එක් අවස්ථාවකදී අවුරුදු 100ක විතර කාලයක් පුරා එලෙස සිටි දිය වලසුන්ට නැවතත් සුදුසු තත්වයක් ආ විගස පණ ආවා.
ඇත්තෙන්ම මේ වගේ ‘බඩගා යන චූටි සතුන්’ පවා නිහඬව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරනවා—ගීතාවලිය 148:10, 13, NW.
[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
© Diane Nelson/Visuals Unlimited