ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/10 10-12 පි.
  • උණු උණු කෑම නිවසින් කාර්යාලයට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උණු උණු කෑම නිවසින් කාර්යාලයට
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කුඩා ආරම්භයක්
  • කදිම සේවයක්
  • දවසේ වැඩ කොටස
  • සුහද සේවයට පිදුම්!
  • හිටිවන ඉදිරිපත් කිරීම්
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ඔවුන් බේරුණේ නූලෙන්
    2007 පිබිදෙව්!
  • උද්‍යෝගය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • හරි දෙය දැනගෙන එය කිරීම
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 11/10 10-12 පි.

උණු උණු කෑම නිවසින් කාර්යාලයට

ඔබ පාන්දර පහට පමණ රැකියාව සඳහා ගෙදරින් පිට වෙනවා කියා සිතන්න. දවල් කෑම වේලාව පැමිණෙන විට කටට රසට ලුණු ඇඹුල් ඇතුව නිවසේම පිළියෙල කළ කෑම වේලක රස බලන්න තිබෙනවා නම් කොයි තරම් හොඳද! ඉන්දියාවේ මුම්බායි නගරයේ කාර්යාල සේවකයන්ට නම් එය සාමාන්‍ය දෙයක්. ඒ වෙනුවෙන් ඔවුන් ස්තුතිවන්ත විය යුත්තේ දබ්බාවාලා නම් පිරිසටයි.a

කුඩා ආරම්භයක්

මුම්බායි නගරය, 19වන සියවසේ අගභාගය වන විට ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් තිබුණා. එදා කාර්යාලවල සේවය කළ අයට ඒ සඳහා දිනපතා සෑහෙන දුරක් යෑමට සිදු වුණා. ඒ වන විට ප්‍රවාහණ පහසුකම් දියුණු මට්ටමක නොතිබුණ අතර ආපන ශාලා තිබුණේද අතළොස්සක් පමණයි. ඒ නිසා නිවසේ පිසූ දිවා ආහාරය කාර්යාලයට ගෙන්වාගැනීමට ඔවුන් සේවකයෙකුව යොදාගත්තා. මෙය හොඳ ව්‍යාපාරයක් ඇරඹීමට අවස්ථාවක් බව තේරුම්ගත් එක් පුද්ගලයෙක් ගම්වල සිටි තරුණයන්ව ගෙන්වාගෙන නිවෙස්වල පිසූ දිවා ආහාරය කාර්යාලවලට සැපයීම ආරම්භ කළා. එය දැවැන්ත ව්‍යාපාරයක පළමු පියවර බව ඔහු නොදැන සිටින්න ඇති.

අද වන විට මුම්බායි නගරය හරි දියුණුයි. ආපන ශාලා ඕනෑ තරම්. ඒ වුණත් නිවසේ පිසූ ආහාර ගෙන්වාගැනීමට තවමත් බොහෝදෙනා කැමැත්තක් දක්වනවා. ආහාර තෝරා බේරා කන අයට එය පහසුවක් වී තිබෙන අතර එය සාක්කුවටත් වාසියක්.

කදිම සේවයක්

සේවකයන් අතළොස්සක් සමඟින් ආරම්භ කළ මෙම ව්‍යාපාරය අද වන විට 5,000කට අධික පිරිසක් සිටින මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. ඒ වුණත් ඔවුන් භාවිත කළ ක්‍රම වෙනස් වී නැති තරම්. ඔවුන් දිනපතාම මුම්බායි නගරයේ සේවය කරන 2,00,000කට අධික පිරිසකට දිවා ආහාරය ගෙනැවිත් දෙනවා. සමහර අය එම ආහාර රැගෙන එන්නේ කිලෝමීටර් 60ක් පමණ දුරක සිටයි. මේ සඳහා ඔවුන් අත්කරත්ත, පාපැදි මෙන්ම දුම්රිය සේවය භාවිත කරනවා. සාමාන්‍යයෙන් එක් අයෙකු දිනකට කෑම 30ක් හෝ 40ක් පමණ බෙදාහරින අතර නිසි වේලාවට අදාළ පුද්ගලයා අතට එය පත් කිරීමටත් ඔවුන් වගබලා ගන්නවා. පුදුමයට කරුණක් වන්නේ කෑම පෙට්ටියක් මාරු වීමට තිබෙන ඉඩකඩ මිලියන හයකින් එකක් පමණ වීමයි. මෙතරම් නිවැරදි වාර්තාවක් ඔවුන් තබාගන්නේ කෙසේද?

මෙම ව්‍යාපාරය 1956දී ලියාපදිංචි කළ අතර එය කාර්යය මණ්ඩලයකින්ද සමන්විතයි. එක් එක් ප්‍රදේශවල සිටින කුඩා කණ්ඩායම් අධීක්ෂකයෙකු යටතේ වැඩ කළත් ඔවුන් සියලුදෙනාම මෙම ව්‍යාපාරයේ කොටස්කරුවන්. මෙහි සාර්ථකත්වයට රහස එය බව ඔවුන් පවසනවා. මෙම ව්‍යාපාරයේ ආරම්භයේ සිට මේ වන තුරු කිසිම වැඩ වර්ජනයක් සිදු වී නැහැ.

මෙහි සේවකයන්ට හැඳුනුම්පතක් දී තිබෙන අතර ඔවුන් ඇඳ සිටින සුදු පැහැති දිග කමිසය, ලිහිල් කලිසම සහ සුදු තොප්පිය නිසා ඔවුන්ව හඳුනාගැනීම ඉතා පහසුයි. ඊට අමතරව සාධාරණ හේතුවක් නොමැතිව සේවයට වාර්තා නොකළොත් නැත්නම් සේවා කාලය තුළ තොප්පිය පැළඳ නොසිටියොත් හෝ මත්පැන් පානය කර හසු වුණොත් ඔවුන්ට දඩ ගෙවීමට සිදු වෙනවා.

දවසේ වැඩ කොටස

මෙම දබ්බාවාලා පිරිසගේ වැඩ ආරම්භ වන්නේ උදෑසන 8:30ට පමණ වන අතර ඔවුන් ගොස් නිවෙස්වලින් කෑම භාජන එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් මෙම භාජනයක් කොටස් කිහිපයකින් යුක්තයි. ඔවුන් ඒවා රැගෙන ඉක්මනින් දුම්රියපොළ වෙත යනවා. එහිදී ඔවුන්ට සෙසු සේවකයන්වත් මුණගැසෙන අතර සියලුදෙනාම එක් වී කෑම භාජන යා යුතු අදාළ ස්ථානය අනුව ඒවා වෙන් කරනවා. එය හරියට තැපැල් කන්තෝරුවේ ලියුම් වෙන් කරනවා වගෙයි.

සෑම භාජනයකම එය ලබාගත් නිවස, ළඟම දුම්රිය ස්ථානය, යා යුතු දුම්රිය ස්ථානය, යා යුතු ගොඩනැඟිල්ලේ නම සහ තට්ටුවේ අංකය සඳහන් ලේබලයක් අලවා තිබෙනවා. ඒවා දක්වා ඇත්තේ අකුරු, අංක සහ වර්ණයක් සහිතවයි. එක් ප්‍රදේශයකට යැවිය යුතු සියලුම කෑම භාජන ලී පෙට්ටියක අසුරනවා. එවැනි පෙට්ටියකට කෑම භාජන 48ක් ඇසිරිය හැකියි. අදාළ දුම්රිය පැමිණි විගස මෙම ලී පෙට්ටි පටවන්නේ රියදුරු මැදිරියත් සමඟ තිබෙන කොටසටයි. ඉන්පසු දුම්රිය නතර කරන සමහර ස්ථානවලදී, අදාළ ස්ථාන අනුව නැවතත් එම කෑම භාජන වෙනත් දුම්රියවලට පටවයි. අවසානයේදී ඒවා අදාළ දුම්රිය ස්ථානයට ගිය පසු සේවකයන් විසින් ඒවා භාරගෙන, පාපැදිවලින් හෝ අත් කරත්තවලින් කාර්යාල වෙත රැගෙන යනවා.

ආහාර ප්‍රවාහණය කිරීම සඳහා දුම්රිය, පාපැදි වගේම අත් කරත්ත භාවිත කිරීම ලාභදායී මෙන්ම ඉතා කාර්යක්ෂමයි. අතුරු පාරවලින් හා කුඩා ඉඩ ප්‍රමාණයකින් වුණත් ගමන් කළ හැකි නිසා වාහන තදබදය ඔවුන්ට ගැටලුවක් නොවෙයි. කෙසේ හෝ 12:30 වන විට නිවසේ පිසූ ප්‍රණීත ආහාර වේල අදාළ පුද්ගලයා අතට පත් කරයි. මෙම දබ්බාවාලා පිරිසද තම දිවා ආහාරය ගැනීමෙන් පසු 1:15ත් 2:00ත් අතර කාලයේදී නැවතත් සුපුරුදු ගමන අරඹන්නේ හිස් කෑම භාජන එකතු කරගැනීමටයි. පසු දින උදෑසනින්ම නැවතත් ඒවා එකතු කරගැනීමේ බලාපොරොත්තුව ඇතුව ඔහු ඒවා අදාළ නිවෙස්වලට භාර දෙයි. ඔවුන්ගේ කාර්යබහුල දිනයක අවසානය එයයි.

සුහද සේවයට පිදුම්!

ඔවුන් පිරිනමන මෙම අතිවිශිෂ්ට සේවය ලොව පුරා පැසසුමට ලක් වී තිබෙනවා. මෙම ව්‍යාපාරයේ ඇති මනා සංවිධානාත්මක භාවය තවත් ව්‍යාපාරිකයන් විසින් අධ්‍යයනය කර තිබෙන්නේ ඔවුන්ටත් ඉන් යම් පාඩමක් ගත හැකි නිසයි. මුම්බායි නගරයේ සේවය කරන දබ්බාවාලා පිරිස පිළිබඳව වාර්තාගත චිත්‍රපටි පවා නිෂ්පාදනය කර තිබෙනවා. එමෙන්ම ව්‍යාපාරික ලෝකයේ පිළිගත් ෆෝබ්ස් සඟරාව මගින් කළ ශ්‍රේණිගත කිරීම්වලදී ඔවුන්ට උසස් ස්ථානයක් ලබා දී තිබෙන අතර ඔවුන් ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වීමටද සමත් වුණා. ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පාඨමාලාවලදී මේ අයව ආදර්ශයට ගන්නා අතර ඔවුන් පිරිනමන සේවය ගැන පුදුම වී විවිධ රාජ්‍ය නායකයන්ද ඔවුන්ව දැකගැනීමට පැමිණ තිබෙනවා. බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ සිදු වූ විවාහ මංගල්‍ය උත්සවයකට දබ්බාවාලා පිරිසගෙන් කිහිපදෙනෙකුටද ඇරයුම් ලැබුණා.

ඔවුන්ගේ ව්‍යාපාරය කොතරම් දියුණුද කියනවා නම් සේවාදායකයන් පිළිබඳ වාර්තා තැබීමට හා ඇණවුම් ලබාගැනීමට දැන් ඔවුන් පරිගණක හා ජංගම දුරකථන භාවිත කරන තත්වයට පත් වී තිබෙනවා. ඒ වුණත් කෑම ප්‍රවාහණය හා බෙදාහැරීමේ ක්‍රමය නම් වෙනස් වී නැහැ. මුම්බායි නගරයේ සිටින කාර්යාල සේවකයන්ට කලට වේලාවට ඔවුන්ගේ දිවා ආහාර ගැනීමට හැකි වන්නේ දබ්බාවාලා කණ්ඩායමේ අනගි සේවය නිසයි.

[පාදසටහන]

a දබ්බා කියන්නේ “ඇසුරුමටයි.” වාලා කියන්නේ සේවකයාටයි.

[11වන පිටුවේ පින්තූරය]

කෑම භාජන ටික දුම්රියට පටවයි

[11වන පිටුවේ පින්තූරය]

එකමත එක තැබිය හැකි මෙම කෑම භාජන පහසුවෙන් ගෙන යා හැකියි

[12වන පිටුවේ පින්තූරය]

“දබ්බාවාලා” කණ්ඩායමේ කෑම බෙදාහැරීමේ කාර්යක්ෂම ක්‍රමය වෙනත් ව්‍යාපාර ආදර්ශයට ගෙන තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න