ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 10 පාඩම 115 පි.-117 පි. 4 ¶
  • උද්‍යෝගය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උද්‍යෝගය
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • උද්‍යෝගය සහ උණුසුම ප්‍රකාශ කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • උද්‍යෝගයෙන් උගන්වන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • තොරතුරු බරිත කරුණු පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ඔබේ සබය දැනුවත් කරවන තොරතුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 10 පාඩම 115 පි.-117 පි. 4 ¶

පාඩම 10

උද්‍යෝගය

කළ යුතු වන්නේ කුමක්ද?

ප්‍රාණවත් ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමෙන්, ඔබ පවසන දෙයෙහි වටිනාකම ගැන ඔබට ඉතා ගැඹුරු හැඟීම් ඇති බව පෙන්වන්න.

එය වැදගත් වන්නේ මන්ද?

ඔබ උද්‍යෝගයක් විදහාපෙන්වනවා නම්, එය ඔබේ සවන්දෙන්නන්ගේ අවධානය රඳවා තබාගැනීමට උපකාරවත් වේ. අනික් අතට ඔවුන්ව ක්‍රියාවට පෙලඹවීමට පවා එය හේතුවක් විය හැක. කීමට තිබෙන දේ ගැන ඔබට උද්‍යෝගයක් ඇත්නම්, ඔබේ සබයටද එය බෝ වනු ඇත.

කතාවකට ජීවයක් ලැබෙන්නේ කථිකයා විදහාපෙන්වන උද්‍යෝගයෙනි. ඉදිරිපත් කිරීමට ප්‍රයෝජනවත් තොරතුරු තිබීම වැදගත් වුවත්, ප්‍රාණවත්, උද්‍යෝගිමත් ඉදිරිපත් කිරීමක් සබයේ අවධානය රඳවා තබාගැනීමට උපකාරවත් වේ. ඔබේ සංස්කෘතික පසුබිම හෝ පෞද්ගලිකත්වය කුමක් වෙතත්, උද්‍යෝගය නමැති ගුණය වගා කිරීමට ඔබට පුළුවන.

හැඟීමකින් යුතුව කතා කරන්න. යේසුස් සමාරියේ ස්ත්‍රියකට කතා කරමින් සිටි විට, යෙහෝවාට නමස්කාර කරන අය “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කළ යුතු බව පැවසීය. (යොහ. 4:24) ඔවුන් නමස්කාරය සඳහා අගයෙන් පිරි හදවත්වලින් පෙලඹිය යුතු අතර, එය දේවවචනයෙහි සඳහන් සත්‍යතාවට එකඟව තිබිය යුතු වේ. පුද්ගලයෙකුට යමක් සම්බන්ධයෙන් ගැඹුරු අගයක් ඇත්නම්, එය ඔහු කතා කරන අන්දමින්ද පිළිබිඹු වේ. යෙහෝවාගේ ප්‍රේමනීය සැපයුම් ගැන ඔහු කතා කරන්නේ ඉමහත් උනන්දුවකිනි. එවිට ඔහුගේ මුහුණේ ඉරියව්, අභිනය, කටහඬ ආදියෙන් ඔහුට සැබවින්ම හැඟෙන ආකාරය මනාව පිළිබිඹු වේ.

කෙසේවෙතත්, යෙහෝවාට ප්‍රේම කරන, තමා පවසන දේ විශ්වාස කරන පුද්ගලයෙකු උද්‍යෝගයේ ඌනතාවක් විදහාපෙන්විය හැක්කේ මන්ද? තමා පවසන දේ සූදානම් කිරීම පමණක් මදිය. ඔහු තම විෂය තුළටම බැසිය යුතුය. ඉන් අදහස් වන්නේ ඔහු චිත්තවේගීය හැඟීම්වල නිමග්නව සිටිය යුතු බවය. නිදසුනකට, යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව ගැන කතා කිරීම ඔහුට පවරා ඇතැයි සිතමු. කථිකයා තම කතාව ඉදිරිපත් කරද්දී ඔහුගේ සිතුවිලි තොරතුරුවලින් පමණක් නොව, නමුත් යේසුස්ගේ පූජාව තුළින් තමාටත් සබයටත් අර්ථවත් වන දේ සඳහා ගැඹුරු අගයක් තිබිය යුතුය. මෙම මහඟු සැපයුම සඳහා යෙහෝවා දෙවි සහ ක්‍රිස්තුස් යේසුස් සඳහා තමාට ඇති වන කෘතඥතාවේ හැඟීම් සිහියට නැඟිය යුතුය. අවශ්‍ය තවත් දෙයක් වන්නේ මිනිස්වර්ගයා සඳහා ඉන් විවෘත වන සුවිශේෂ ප්‍රස්තා ගැනද කල්පනා කර බැලීමය. නැවත පිහිටුවන ලද පාරාදීසයක පිරිපුන් සෞඛ්‍යයක් භුක්තිවිඳීම සදාකල් සන්තෝෂයක් අද්දැකීමේ ප්‍රස්තාවකි! ඔව්, මෙම තොරතුරු ඉදිරිපත් කරද්දී ඔහු එය කළ යුත්තේ හදවතින්මයි.

ඉශ්‍රායෙල්හි ගුරුවරයෙකු වූ පිටපත්කරු එස්රා සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ, ඔහු “යෙහෝවාගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඉශ්‍රායෙල්හි පනත්ද විනිශ්චයන්ද උගන්වන්ටත් තමාගේ සිත යොමු කරගත් [හදවත සූදානම් කරගත්, NW]” බවය. (එස්රා 7:10) අපද එසේම, එනම් තොරතුරු පමණක් නොව අපගේ හදවතද සූදානම් කළ යුතුය. එසේ කළහොත්, අපටත් අපගේ හද පත්ලෙන්ම කතා කළ හැකි වේ. මෙසේ සත්‍යය ගැන හද පතුලෙන්ම අදහස් පළ කරන විට, අපට සවන් දෙන අයට සත්‍යය සඳහා සැබෑ ඇල්මක්, ප්‍රේමයක්, ආදරයක් වර්ධනය කරගැනීමට පුළුවන.

ඔබේ සබය ගැන සිතන්න. උද්‍යෝගය පවත්වාගෙන යෑමට ඉවහල් වන තවත් වැදගත් සාධකයක් වන්නේ ඔබට කීමට තිබෙන දේ සබය ඇසිය යුතුමයි යන ඒකාන්ත විශ්වාසය ඇතුව සිටීමයි. එසේ නම්, ඔබේ ඉදිරිපත් කිරීම සූදානම් වෙද්දී ප්‍රයෝජනවත් තොරතුරු එක්රැස් කිරීමෙන් සෑහීමට පත් විය නොහැක. ඔබ කතා කරන අයගේ ප්‍රයෝජනය සඳහා ඒවා භාවිත කිරීමට යෙහෝවාගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කළ යුතුය. (ගීතා. 32:8; මතෙ. 7:7, 8) මෙම තොරතුරුවලට ඔබේ සබය සවන් දිය යුත්තේ මන්ද, ඉන් ඔවුන්ට ප්‍රයෝජන නෙළාගත හැකි අන්දම හා එහි වටිනාකම අගය කරන අයුරින් එය ඉදිරිපත් කළ හැකි ආකාරය යනාදිය විග්‍රහ කරන්න.

ඔබට තිබෙන තොරතුරු ගැන යම් උද්‍යෝගයක් ඇති වන තෙක්, ඒවා අධ්‍යයනය කරන්න. තොරතුරු අලුත් අලුත් ඒවා විය යුතු නැත. විෂයට ඔබ පිවිසෙන ආකාරයෙන්, ඊට නැවුම් මුහුණුවරක් දීම වැදගත්ය. ඔබේ සබයට යෙහෝවා සමඟ ඔවුන්ගේ සබඳතාව ශක්තිමත් කරගැනීමට, ඔහුගේ සැපයුම් අගය කිරීමට, දැන් පවතින මේ දුෂ්ට ක්‍රමයේ පීඩනවලට සාර්ථකව මුහුණ දීමට හෝ තම දේවසේවයෙහි යහපත් ප්‍රතිඵල නෙළාගැනීමට බෙහෙවින් උපකාරවත් වන යමක් සූදානම් කළහොත්, ඔබේ කතාව ගැන උද්‍යෝගිමත් වීමට ඔබට හොඳ හේතු ඇති බව කිව හැක.

ඔබේ පැවරුම ප්‍රසිද්ධියේ කියවීමක් නම් කුමක් කිව හැකිද? උද්‍යෝගයෙන් කියවීමට නම්, වචන නිවැරදිව උච්චාරණය කිරීමෙන් හා එකට කියවිය යුතු වචන සමූහය නිසි ලෙස එකට කියවීමෙන් සෑහීමට පත් විය නොහැක. තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න. බයිබලයේ කොටසක් කියවීමට තිබේ නම්, ඒ ගැන පර්යේෂණ කරන්න. එහි මූලික අරුත ඔබට තේරෙනවාද කියා සහතික වන්න. ඔබටත් ඔබේ සබයටත් එය ප්‍රයෝජනවත් වන ආකාරය සලකා, එම හැඟීමෙන් එය කියවීමට අදිටන් කරගන්න.

ඔබ සූදානම් වන්නේ ක්ෂේත්‍ර සේවයෙහි යෑමටද? සාකච්ඡා කරන විෂයද, භාවිත කිරීමට අදහස් කරන ශුද්ධ ලියවිලි පදද පුනරීක්ෂණය කරන්න. ජනයාගේ සිත්වල කෙබඳු කාරණා ඇද්දැයි සලකා බලන්න. ප්‍රවෘත්තිවල මෑතකදී පළ වූයේ කුමක්ද? ඔවුන් මුහුණ දෙන්නේ කවර ගැටලුවලටද? ජනතාවට මහත් හිසරදයක් වී ඇති ගැටලුවලටම කියාපු විසඳුම් දේවවචනයෙහි තිබෙන බව පෙන්වීමට ඔබ සූදානම්ව සිටින විට, ඒ සඳහා උනන්දුවක් ඔබ තුළ ජනිත වේ. එවිට ඔබගේ උද්‍යෝගය නිරායාසයෙන්ම දැකිය හැක.

ජීවයක් කැවීමෙන් උද්‍යෝගය පෙන්වන්න. උද්‍යෝගය වඩාත් පැහැදිලිව දිස් වන්නේ ඔබේ ඉදිරිපත් කිරීමට ජීවයක් කැවීමෙනි. ඔබේ මුහුණේ ඉරියව්වෙන් මෙය පැහැදිලි විය යුතුය. පවසන දේ ඔබට සම්පූර්ණයෙන් ඒත්තුගොස් ඇති බව දිස් විය යුතු වුවත්, අත්තනෝමතික (අන්තවාදී) ස්වභාවයකින් වැළකී සිටීම අවශ්‍යය.

මෙහිදී සමබරතාව අත්‍යවශ්‍යය. සමහරු සෑම දෙයක් ගැනම මහත් උනන්දුවක් පෙන්වති. කෙනෙකු පුරසාරම් දොඩමින් හෝ පමණ ඉක්මවා හැඟීම්බරව කතා කරන විට, සබයේ අවධානය පණිවිඩයට නොව ඔහු වෙත ඇදී යන බව එම තැනැත්තාට තේරුම්ගැනීමට උපකාර කළ යුතුය. අනික් අතට, බයාදු අයව දිරිගැන්විය යුත්තේ තම හැඟීම් වසාලන්නේ නැතුව විවෘතව ප්‍රකාශ කිරීමටය.

උද්‍යෝගය බෝවනසුලුය. ඔබ සබය සමඟ හොඳ දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගන්නවා නම්, ඔබේ කතාව ගැන උද්‍යෝගිමත්ව සිටිනවා නම්, එම උද්‍යෝගය සබයටද දැනේ. අපොල්ලොස් ප්‍රාණවත් ලෙස කතා කළ අතර, ඔහුව විස්තර කර ඇත්තේ ව්‍යක්ත කථිකයෙකු ලෙසය. ඔබද දෙවිගේ ආත්මයෙන් ජ්වලිතව සිටින්නෙක් නම්, ඔබේ ප්‍රාණවත් ඉදිරිපත් කිරීම ඔබේ සවන් දෙන්නන්ව ක්‍රියාවට පොලඹවනු නියතය.—ක්‍රියා 18:24, 25, න. අ.; රෝම 12:11.

තොරතුරුවලට ඔබිනා උද්‍යෝගයක්. ඔබ ඔබේ උද්‍යෝගය කතාව පුරාම ඉහළ මට්ටමක පවත්වාගෙන ගියහොත් ඔබේ සබය වෙහෙසට පත් විය හැකි නිසා, එසේ නොකිරීමට වගබලා ගන්න. සාකච්ඡා කළ දේ සම්බන්ධයෙන් ක්‍රියාවට නැඟිය යුතු යම් අවවාදයක් හෙම්බත් වූ සබයකට දරාගත නොහැකි වේ. මින් අවධාරණය කෙරෙන කාරණය නම්, ඔබේ ඉදිරිපත් කිරීමේ විවිධත්වයකට ඉඩ කඩ සලසන අන්දමකින් තොරතුරුවලට සූදානම් වීමය. යම් නොසැලකිලිමත් ස්වභාවයක් පිළිබිඹු කරන විලාසයකට ඇද නොවැටෙන්නට බලාගන්න. ඔබේ තොරතුරු පරෙස්සමින් තෝරාගතහොත් ඔබට ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් තිබෙනවාට සැකයක් නොමැත. එනමුත්, ඔබ සිහියේ තබාගත යුතු දෙයක් නම්, ඇතැම් කරුණු ඉදිරිපත් කිරීමට වැඩි උද්‍යෝගයක්ද, ඇතැම් ඒවා ඉදිරිපත් කිරීමට මද උද්‍යෝගයක්ද අවශ්‍ය බවයි. ඔබේ කතාව පුරාම ඒ ගතිලක්ෂණය දක්ෂ ලෙස විදහා පෑ යුතුය.

විශේෂයෙන්ම උද්‍යෝගයෙන් ඉදිරිපත් කළ යුතු වන්නේ මූලික කරුණුය. ඔබේ කතාවෙහි උච්චාවස්ථාවන් තිබිය යුතුය. එම අවස්ථා දක්වා ඔබේ කතාව කෙමෙන් කෙමෙන් ගොඩනැඟිය යුතුය. මේවා ඔබේ කතාවේ විශේෂ අවස්ථා වන බැවින්, එම කරුණු සාමාන්‍යයෙන් සකස් කරන්නේ ඔබේ සබය තුළ යම් පෙලඹවීමක් ඇති කරවන අන්දමකිනි. ඔබේ සබයට ඒත්තුගැන්වීමෙන් අනතුරුව, ඔවුන්ව පුබුදුවාලීමද අවශ්‍යය. එනම් සාකච්ඡා කර ඇති දෙය අදාළ කරගැනීමේ ප්‍රයෝජන ඔවුන්ට පෙන්නුම් කළ යුතුය. එවිට එම කාරණා ඔබේ සවන්දෙන්නන්ගේ හදවත් තුළට යැවීමට ඔබේ උද්‍යෝගය දායක වෙයි. ප්‍රාණවත් ඉදිරිපත් කිරීමක් නිරායාසයෙන්ම කළ යුතු යමක් වේ. එය මවා පාන දෙයක් නොවේ. ඒ සඳහා හේතුවක් තිබිය යුතුය. ඒ හේතුව ලබාගත හැක්කේ ඔබේ තොරතුරුවලිනි.

එය වර්ධනය කරගන්නා ආකාරය

  • තොරතුරු පමණක් නොව ඔබේ හදවතේ හැඟීම් ඉදිරිපත් කරන ආකාරය සූදානම් වෙන්න. එසේ කළහොත් ඔබ එය ඉදිරිපත් කරන්නේ ඔබේ හද පත්ලෙන්මයි.

  • පියවීමට අදහස් කරන තොරතුරු ඔබ අමතන අයට ප්‍රයෝජනවත් වන ආකාරය ගැන හොඳින් සිතා බලන්න.

  • විශේෂ උද්‍යෝගයකින් ඉදිරිපත් කළ යුතු කොටස් මොනවාදැයි හඳුනාගන්න.

  • ප්‍රාණවත් ආකාරයකින් කතා කරන්න. ඔබේ හැඟීම් ඔබේ මුහුණේ ඉරියව්වෙන් පිළිබිඹු වන බවට සහතික වන්න. ප්‍රබලව හා දැවෙන උනන්දුවකින් කතා කරන්න.

අභ්‍යාසය: යෝෂුවා 1වන සහ 2වන පරිච්ඡේද පරීක්ෂා කර බලන්න. මෙම වාර්තාව කියවන විට උද්‍යෝගය පළ කළ හැකි යෝග්‍ය ස්ථාන මොනවාද හා උද්‍යෝගය පළ කරන්නේ කෙසේද යන්න තීරණය කරන්න. සරිලන උද්‍යෝගයක් විදහාපෙන්වමින් ශබ්ද නඟා කියවීම පෙරහුරු කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න