ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 2 3-7 පි.
  • හැම පොතකටම වඩා වෙනස් පොතක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැම පොතකටම වඩා වෙනස් පොතක්!
  • 2016 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හොඳ මඟ පෙන්වීම් තියෙන පොතක්
  • දුක් වේදනාවලට හේතුව පැහැදිලි කරන පොතක්
  • බලාපොරොත්තුවක් ඇති කරන පොතක්
  • හරි වැරැද්ද: හරි පාර පෙන්නන්න බයිබලේට පුළුවන්
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • බයිබලය ලිවීමේ අරමුණ කුමක්ද?
    2007 පිබිදෙව්!
  • දෙවි අනුමත කරන සත්‍යය සොයාගත හැකි තැන
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විද්‍යාවේ සොයාගැනීම් බයිබලයට එකඟද?
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 2 3-7 පි.
බයිබලය කියවන කෙනෙක්

මුල් පිටුවෙන්

හැම පොතකටම වඩා වෙනස් පොතක්!

බයිබලය ලියලා දැන් අවුරුදු 2,000කටත් වඩා ගත වෙලා. ඒ කාලේ පුරාම තවත් පොත් පත් රාශියක් මිනිසුන් අතරට ආවත් කාලයත් එක්ක ඒ පොත් මිනිස්සුන්ගේ මතකයෙන් ගිලිහිලා ගියා. ඒත් බයිබලයට එහෙම වෙලා නැහැ. ඒ ඇයි?

  • බයිබලය මිනිස්සු අතට යන එක වළක්වන්න බලවත් අය ලොකු උත්සාහයක් දරලා තියෙනවා. උදාහරණයකට 13වෙනි සියවසත් 15වෙනි සියවසත් අතර කාලයේදී සමහර ක්‍රිස්තියානි කියන රටවල්වලම, “බයිබලය කියවපු හෝ ළඟ තබාගත්ත අයව සැලකුවේ මිථ්‍යාදෘෂ්ටිකයන් හෝ පල්ලියට විරුද්ධව වැඩ කරන අය හැටියටයි” කියලා එක පොතක සඳහන් වෙනවා. (An Introduction to the Medieval Bible) ඒ නිසා ඒ දවස්වල බයිබලය පරිවර්තනය කරපු අයගේ ජීවිත තිබුණේ අනතුරේ. සමහර අයව අමානුෂික විදිහට මරලා දැම්මා.

  • මොන බාධා තිබුණත් වැඩියෙන්ම බෙදාහැරලා තියෙන පොත විදිහට අදටත් නම් දරන්නේ බයිබලය. ඒක සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් පිටපත් බිලියන 5ක් විතර භාෂා 2,800කට වඩා වැඩි ගණනකින් පළ කරලා තියෙනවා. විද්‍යාව, දර්ශනවාදය හා වෙනත් ක්ෂේත්‍ර ගැන ලියලා තියෙන පොත් ප්‍රසිද්ධ වුණත් ඒ එකක්වත් බයිබලය තරම් බෙදාහැරලා නැහැ. ඒ විතරක් නෙමෙයි කාලයත් එක්ක ඒ පොත් පත් භාවිතයෙන් ඉවත් වුණා. ඒත් බයිබලයට එහෙම වෙලා නැහැ.

  • බයිබලය විවිධ භාෂාවලට පරිවර්තනය කරපු නිසා සමහර භාෂා භාවිතයෙන් අයින් නොවී අදටත් පවතිනවා. තවත් සමහර භාෂාවල දියුණුවටත් ඒක දායක වුණා. උදාහරණයකට ජර්මන් භාෂාවෙන් තියෙන මාටින් ලූතර්ගේ බයිබල් පරිවර්තනය ඒ භාෂාවේ දියුණුවට බලපෑවා. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන “කිං ජේම්ස් වර්ෂන්” බයිබලය “මිනිසුන්ට වැඩිම බලපෑමක් ඇති කරපු පොත” විදිහට හඳුන්වනවා.

  • “ආගම දහමට විතරක් නෙමෙයි බටහිර සංස්කෘතියේ කලාවට, සාහිත්‍යයට, නීතියට සහ තවත් හුඟක් පැතිවලට බයිබලය ලොකු බලපෑමක් කරලා තියෙනවා” කියලා විශ්වකෝෂයක සඳහන් වෙනවා.—The Oxford Encyclopedia of the Books of the Bible.

අපි බැලුවේ බයිබලය අනිත් පොත්වලට වඩා විශේෂයි කියලා පෙන්වන කරුණු කිහිපයක් විතරයි. ඒත් ඇයි බයිබලය මෙච්චර ප්‍රසිද්ධ? බයිබලය වෙනුවෙන් සමහරු තමන්ගේ ජීවිත පවා පරදුවට තිබ්බේ ඇයි? ඒකට හේතු කිහිපයක් තියෙනවා. උදාහරණයකට මිනිසුන් ජීවත් වෙන්න ඕන විදිහ සහ මිනිසුන්ට දෙවියන්ට ළං වෙන්න පුළුවන් විදිහ ගැන හොඳ මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. ඒ වගේම මිනිසුන් දුක් විඳින්නේ ඇයි කියන එකට හේතුවත් දුක් වේදනා නිමා වෙන විදිහ ගැනත් බයිබලයේ කතා කරනවා.

තොරතුරු ලුහුඬින්

බයිබලයක්

පොත් 66ක් තියෙන බයිබලය ලියන්න අවුරුදු 1,600ක් විතර ගත වුණා.

ඒක ලියන්න දෙවියන් පුරුෂයන් 40දෙනෙක් විතර යොදාගත්තා. ඒ සමහරු ගොවියන්, ධීවරයන්, එඬේරුන්, විනිසුරුවන්, රජවරුන් හා සංගීතඥයන්.

බයිබලයේ තේමාව දේවරාජ්‍යයි. ඒක අනාගතයේදී මේ පොළොව පාලනය කරන්න යන ස්වර්ගයේ තියෙන ආණ්ඩුවක්. (දානියෙල් 2:44; 7:13, 14) ඒ රාජ්‍යය පොළොව පාලනය කරද්දී දුෂ්ටකම, දුක් වේදනා සහ මරණය නැති කරනවා. නිර්මාතෘ විදිහට යෙහෝවා දෙවියන්ට පාලනය කරන්න තියෙන අයිතියත් ඒකෙන් තහවුරු කරනවා.—1 කොරින්ති 15:24-26.

හොඳ මඟ පෙන්වීම් තියෙන පොතක්

ඉගෙනගන්න එක හොඳ දෙයක්. ඒත් “කෙනෙක් ඉහළට ඉගෙනගෙන උපාධි ලබාගත්තා කියලා එයාට හරි වැරැද්ද ගැන හොඳ අවබෝධයක් ඒකෙන් ලැබෙනවා කියන්න බැහැ” කියලා කැනඩාවේ එක් පුවත්පතක සඳහන් වුණා. (Ottawa Citizen) ඒ වගේම එක අධ්‍යයනයකින් හෙළි වුණේ “රජයේ සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ උසස් කියලා සලකන ගොඩක් අය මිනිසුන්ගේ දේවල් බලෙන් ගන්නවා, වංචා කරනවා, හොරකම් කරනවා. ඒ නිසා මිනිස්සුන්ට ඒ අය ගැන තියෙන විශ්වාසය නැති වෙලා” කියලයි.

ඒත් මිනිසුන් ජීවත් වෙන්න ඕන විදිහ සහ මිනිසුන්ට දෙවියන්ට ළං වෙන්න පුළුවන් විදිහ ගැන හොඳ මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. ‘යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල එනම්, ධර්මිෂ්ඨකම, යුක්තිය සහ අවංකකම ගැන හොඳ අවබෝධයක් ලබාගන්න’ බයිබලය අපිට උදව් වෙනවා. (හිතෝපදේශ 2:9) මේ අද්දැකීම බලන්න. 23 හැවිරිදි ස්ටීවන්a හිටියේ පෝලන්තයේ සිරගෙදරක. ඒ කාලයේදී එයා බයිබලය ඉගෙනගත්තා. ඒකෙ වටිනාකම තේරුම්ගත්ත ස්ටීවන් මෙහෙම ලියනවා. “‘පියාටත් මවටත් ගෞරව කරන්න’ කියලා බයිබලයේ කියලා තියෙන්නේ ඇයි කියලා දැන් මට තේරෙනවා. ඒ ඉගෙනගන්න දේවල් මට ගොඩක් උදව් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මගේ කේන්තිය පාලනය කරගන්න ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා.”—එෆීස 4:31; 6:2.

ස්ටීවන්ට උදව් වුණේ බයිබලයේ හිතෝපදේශ 19:11 කියන මේ දේයි. “වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි. වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයකි.” දැන් ස්ටීවන් ඉස්සර වගේ නෙමෙයි. කේන්තිය ඇවිස්සෙන දෙයක් වුණොත් සන්සුන්ව බයිබලයේ කියන විදිහට වැඩ කරන්න එයා උත්සාහ කරනවා. “බයිබලය තමයි හොඳම මඟ පෙන්වීම් තියෙන පොත කියලා මට කිසි සැකයක් නැහැ” කියලත් එයා කියනවා.

මරියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. දවසක් සාක්ෂිකරුවන්ට අකමැති කාන්තාවක් ඇයට අනිත් අය ඉස්සරහා නොසෑහෙන්න බැන්නා. ඒත් මරියා මුකුත් නොකියා එතනින් යන්න ගියා. පස්සේ ඒ කාන්තාව තමන් කරපු දේ ගැන දුක් වෙලා මරියාව හම්බ වෙන්න ඕන කියලා හිතුවා. එයා සාක්ෂිකරුවන් ඉන්නේ කොහෙද කියලා හොයලා බැලුවා. මාසයකට පස්සේ මරියාව හම්බ වුණාම එයාගෙන් සමාව ඉල්ලුවා. එදා මරියා සන්සුන්ව, එකට එක කරන්නේ නැතුව එතනින් පිට වෙලා ගියේ මෘදුකම, තමාව පාලනය කරගැනීම වගේ හොඳ ගුණාංග බයිබලයෙන් ඉගෙනගෙන තිබුණු නිසයි කියලත් ඒ කාන්තාව දැනගත්තා. ඒ නිසා ඒ කාන්තාවයි පවුලේ තවත් 5දෙනෙකුයි බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

කෙනෙක් ප්‍රඥාවන්තයෙක් කියලා ඔප්පු වෙන්නේ ඔහුගේ ක්‍රියාවලින් කියලා යේසුස් කිව්වා. (ලූක් 7:35) බයිබලයේ තියෙන උපදෙසුත් ප්‍රඥාවන්තයි කියලා ඒවා අදාළ කරගන්න අය වැඩ කරන විදිහෙන් පේනවා. බයිබලයේ තියෙන ඒ වටිනා උපදෙස් අදාළ කරගද්දී කෙනෙක් දෙවියන්ට ළං වෙනවා. එයාගේ ජීවිතේ අර්ථවත් වෙනවා. ‘අද්දැකීම් අඩු තැනැත්තාට ප්‍රඥාව ලැබෙනවා.’ ඒ වගේම සිතට සතුටකුත් ලැබෙනවා.—ගීතාවලිය 19:7, 8.

දුක් වේදනාවලට හේතුව පැහැදිලි කරන පොතක්

වසංගත රෝගයකට පිලියමක් හොයාගන්න නම් ඒ රෝගය ඇති වෙන්න මුල් වුණු හේතුව හොයාගන්න ඕනේ. ඒ හා සමානව මිනිස්සු දුක් විඳින්නේ ඇයි කියලා දැනගන්න නම් ඒකට මුල් වුණු හේතුව අපි දැනගන්න ඕනේ. මිනිස්සුන්ට දුක් වේදනා මුලින්ම ඇති වුණු කාලය ගැන සඳහන් වෙන්නේ බයිබලයේ. ඒ නිසා මිනිසුන් දුක් විඳින්නේ ඇයි කියන එකට හේතුවත් අපිට බයිබලයෙන්ම දැනගන්න පුළුවන්.

මිනිස්සු දුක් විඳින්න පටන්ගත්තේ පළවෙනි මිනිස් යුවළ දෙවියන්ට අකීකරු වුණාට පස්සෙයි කියලා බයිබලයේ උත්පත්ති පොතේ කියනවා. ඒ වෙලාවේ ඔවුන් හරි වැරැද්ද තීරණය කිරීමේ අයිතිය ඔවුන්ගේ අතට ගත්තා. ඒත් ඒ අයිතිය තියෙන්නේ නිර්මාතෘ දෙවියන්ට විතරයි. (උත්පත්ති 3:1-7) ඒ නිසයි “මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැහැ” කියලා බයිබලයේ කියන්නේ. (යෙරෙමියා 10:23) එදා වගේ අදත් මිනිස්සු කරන්නේ හරි වැරැද්ද ගැන තමන්ට ඕන ඕන විදිහට තීරණ ගන්න එක. ඒ නිසයි ඉතිහාසය දිහා හැරිලා බැලුවාම සාමය සමාදානය වෙනුවට ප්‍රශ්න ගැටලු හා දුක් කරදර විතරක් දකින්න ලැබෙන්නේ. (දේශනාකාරයා 8:9) ඒත් මිනිස්සු තමන්ට ඕන ඕන විදිහට තීරණ ගන්න කාලය ළඟදීම නිමා වෙනවා.

බලාපොරොත්තුවක් ඇති කරන පොතක්

දෙවියන්ට කීකරු අයට හැමදාම දුක් විඳින්න ඔහු ඉඩ තියන්නේ නැහැ. දුක් වේදනාවලට හේතු වන හැම දෙයක්ම දෙවියන් අයින් කරනවා. එදාට දුෂ්ටයන්ට ඔවුන්ගේ ‘ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න සිදු වෙනවා.’ (හිතෝපදේශ 1:30, 31) ඒත් “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය” කියලා බයිබලයේ කියනවා.—ගීතාවලිය 37:11.

බයිබලයක් සහ තේ කෝප්පයක්

‘සෑම තරාතිරමකම මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්’ දෙවියන්ගේ කැමැත්තයි.—1 තිමෝති 2:3, 4

ඉදිරියේදී මේ පොළොව පාලනය කරන්නේ ‘දෙවිගේ රාජ්‍යයයි.’ එදාට මේ පොළොව සාමය පිරුණු තැනක් වෙයි. (ලූක් 4:43) පාලනය කරන්න අයිතිය තියෙන්නේ දෙවියන්ට විතරයි කියලත් එදාට හැමෝම දැනගනියි. ඒ නිසයි යේසුස් මෙහෙම කිව්වේ. “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!”—මතෙව් 6:10.

ඒ කාලෙදී මිනිස්සු මේ ලෝකයේ පාලකයා හැටියට සලකන්නේ එකම සැබෑ දෙවියන්වයි. දුප්පත් පොහොසත් භේද, ජාති භේද, යුද්ධ, අපරාධ වගේ දේවල් එදාට නැහැ. හරි වැරැද්ද ගැන දෙවියන් උගන්වන දේ හැමෝම පිළිගන්නවා. එදාට මුළු ලෝකයම පාලනය කරන්නේ එක ආණ්ඩුවක්.—එළිදරව් 11:15.

ඒ කාලයේ ජීවත් වෙන්න නම් කෙනෙක් මොනවද කරන්න ඕනේ? ඒකට “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුම” ලබාගන්න ඕනේ කියලා බයිබලයේ 1 තිමෝති 2:4 කියනවා. දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී පවතින නීති සහ ප්‍රතිපත්ති ගැන බයිබලයේ තියෙන දේවල් දැනගැනීම ඒ නිවැරදි දැනුමට ඇතුළත්. ඒ දැනුම ලබාගත්තොත් තමයි කෙනෙක්ට දේවරාජ්‍යයේ යටත්වැසියෙක් වෙන්න පුළුවන් වෙන්නේ. යේසුස් මේ පොළොවේ ඉද්දී දුන්න දේශනයකිනුත් ඒ නීති සහ ප්‍රතිපත්ති කිහිපයක් ගැන අපිට දැනගන්න පුළුවන්. (මතෙව් 5-7 පරිච්ඡේද) ඒ වාර්තාව කියවද්දී යේසුස් කියපු දේ හැමෝම පිළිපදින කාලය මොන වගේ එකක් වෙයිද කියලා හිතින් මවාගන්න උත්සාහ කරන්න.

බයිබලය ලෝකයේ වැඩියෙන්ම බෙදාහැරලා තියෙන පොත බවට පත් වෙලා තියෙන එක ගැන අපිට පුදුම වෙන්න හේතුවක් නැහැ. මොකද බයිබලය කියන්නේ දෙවියන් මිනිස්සුන්ට දීපු ඔහුගේ මඟ පෙන්වීම්වලින් පිරුණු වටිනා පොතක්. ඒ විතරක් නෙමෙයි බයිබලය මෙතරම් පුළුල්ව බෙදාහැරලා තියෙන එකෙන් පේන්නේ ලෝකෙ ඉන්න හැම කෙනෙක්ම දෙවියන් ගැන දැනගෙන දේවරාජ්‍යයේ ආශීර්වාද භුක්ති විඳිනවා දකින්න දෙවියන් කොච්චර ආසද කියන එකයි.—ක්‍රියා 10:34, 35.

a නම් වෙනස් කර ඇත.

තරු පිරුණු අහසක්

විශ්වය පාලනය වෙන නීති තියෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා

මිථ්‍යා විශ්වාසයන් බිඳ දැමූ පොතක්

“මේ විශ්වයේ සිදු වන දේවල්වලට විවිධ දෙවිවරුන්ගේ බලපෑම තියෙනවා” කියලා අතීතයේ හිටිය අය විශ්වාස කළ බව එක විශ්වකෝෂයක සඳහන් වෙනවා. (Encyclopedia of Science and Religion) ඒත් බයිබලයේ කියන්නේ විශ්වය පාලනය වෙන්නේ භෞතික නීතිවලින් කියලයි. උදාහරණයකට මීට අවුරුදු 3,500කට කලින් බයිබලයේ එක පොතක “විශ්වය පාලනය කරන නීති” තියෙනවා කියලා සඳහන් වුණා. (යෝබ් 38:33) ඒ වගේම ‘සඳට හා තාරකාවලටත්’ නීති තියෙනවා කියලා බයිබලයේ යෙරෙමියා 31:35 සඳහන් වෙනවා. බයිබලයේ තියෙන ඒ දේවල් අවබෝධ කරගත්ත අය මිථ්‍යා විශ්වාසයන්වලින් සහ බොරු දෙවිවරුන්ට නමස්කාර කරන එකෙන් බේරුණා.—යෝබ් 31:26-28; යෙසායා 47:1, 13.

අවංක අදහස් තියෙන පොතක්

තමන්ට වැරදුණු තැන් ගැන අවංකව සඳහන් කරපු එක බයිබල් ලේඛකයන්ගේ විශේෂත්වයක්. උදාහරණයකට දාවිත් රජ බැත්-ෂෙබා කියන කාන්තාව එක්ක අනාචාරයේ යෙදුණාට පස්සේ අවංකව පසුතැවෙමින් ‘දුෂ්ටයි කියා දෙවියන් සලකන දේ මම කළෙමි’ කියලා සඳහන් කළා. (ගීතාවලිය 51:4) යේසුස්ගේ ගෝලයෙක් වුණු යොහන් තමන් කළ වරදක් ගැන සඳහන් කරපු තවත් කෙනෙක්. එයා දෙවතාවක් දේවදූතයෙක්ට නමස්කාර කළා. ඒ වෙලාවේ දේවදූතයා “පරෙස්සම් වන්න! එසේ නොකරන්න! . . . ඔබ නමස්කාර කළ යුත්තේ දෙවිටය” කියලා ඔහුට කිව්වා. (එළිදරව් 19:10; 22:8, 9) ඒ වගේ අවංකකමක් අතීතයේ හිටිය වෙනත් ලේඛකයන් තුළ දකින්න නැති තරම්.

මානසික සුවය ලබා දෙන පොතක්

හොඳ මනසක් ඇතුව ඉන්න උදව් වෙන ගුණාංග වර්ධනය කරගන්න කියලා බයිබලයේ කියනවා. උදාහරණෙකට එෆීස 4:32 කියන්නේ “කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. . . . එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න” කියලයි.

සෞඛ්‍ය සංවිධානයකින් පළ කරපු වාර්තාවකත් මේ වගේ සඳහන් වුණා. “ඔයා අනිත් අයට සමාව දෙන්නේ නැත්නම් හානි වෙන්නේ ඔයාටමයි. මොකද සමාව දෙනකොට අනිත් අයත් එක්ක තියෙන බැඳීම් ශක්තිමත් වෙනවා. හිතේ කරදර අඩු වෙනවා. සමහර ලෙඩ රෝග හැදෙන්න තියෙන අවදානමත් අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්න තියෙන ප්‍රවණතාවත් අඩු වෙනවා.”

ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට උත්තර තියෙන පොතක්

මිනිස් කලලයක්

මිනිස් කලලයක්

අද විද්‍යාවෙන් හුඟක් ප්‍රශ්නවලට උත්තර හොයාගෙන තිබුණත් විද්‍යාවට උත්තර දෙන්න බැරි ප්‍රශ්නත් තියෙනවා. එක පොතක කියන්නේ “හරි වැරැද්ද, ආගමික විශ්වාසයන් හා සදාචාරය ගැන මතු වෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න විද්‍යාවට බැහැ කියලා හුඟක් දර්ශනවාදීන්, වෛද්‍යවරු සහ විද්‍යාඥයන් පිළිගන්වා” කියලයි.—Biotechnology—Changing Life Through Science.

  • විද්‍යාවට පුළුවන් විශ්වය පාලනය වන නීති ක්‍රියාත්මක වෙන විදිහ ගැන සූත්‍ර ඉදිරිපත් කරන්න. ඒත් විශ්වය පවතින්නේ ඇයි සහ භෞතික නීති තිතටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්න විද්‍යාවට බැහැ.

  • විද්‍යාවට පුළුවන් ප්‍රජනන ඉන්ද්‍රියන් වැඩ කරන හැටි විස්තර කරන්න. ඒත් ලිංගික කාරණා සම්බන්ධයෙන් හරි තීරණ ගන්න උදව් වෙන විද්‍යාත්මක සූත්‍රයක් නැහැ.

  • විද්‍යාවට පුළුවන් කලලයක් වර්ධනය වෙන විදිහ විස්තර කරන්න. ඒත් ගබ්සා කිරීම හරිද වැරදිද කියලා පෙන්නන විද්‍යාත්මක සූත්‍රයක් නැහැ.

මේ කාරණා ඇතුළු තවත් හුඟක් ප්‍රශ්නවලදී අපිට හරි තීරණ ගන්න උදව් කරන්න බයිබලයට පුළුවන්. මොකද “යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල එනම්, ධර්මිෂ්ඨකම, යුක්තිය සහ අවංකකම ගැන” හොඳ අවබෝධයක් බයිබලයෙන් ලැබෙනවා.—හිතෝපදේශ 2:9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න