26වෙනි පරිච්ඡේදය
හොඳ දේවල් කරන එක අමාරු ඇයි?
සාවුල් වැරදි වැඩ කරද්දී කවුද සතුටු වුණේ?— සාතන් ඒ කියන්නේ යක්ෂයා තමයි සතුටු වුණේ. යුදෙව් ආගමේ නායකයනුත් සතුටු වුණා. හැබැයි සාවුල් යේසුස්ගේ ගෝලයෙක් වෙලා පාවුල් වුණාට පස්සේ හොඳ දේවල් කරන්න පටන්ගත්තාම ඒ අය එයාට වෛර කළා. දැන් ඔයාට තේරුණාද යේසුස්ගේ ගෝලයන්ට හොඳ දේවල් කරන්න අමාරු ඇයි කියලා?—
හොඳ දේවල් කරපු නිසා පාවුල්ට අද්දකින්න සිද්ධ වුණේ මොනවාද?
උත්තම පූජකයා වෙලා හිටපු අනනියස් එකපාරක් අනිත් අයට කිව්වා පාවුල්ගේ මූණට ගහන්න කියලා. එයා පාවුල්ව හිරේ දාන්නත් හැදුවා. ගෝලයෙක් වුණාට පස්සේ පාවුල් හුඟක් පීඩා වින්දා. දවසක් නපුරු මිනිසුන් එයාව මරන්න ගල්වලිනුත් ගැහුවා.—ක්‍රියා 23:1, 2; 2 කොරින්ති 11:24, 25.
හුඟක් අය හදන්නේ අපි ලවා වැරදි දේවල් කරවන්න. ඒ නිසා මේ ගැන හිතන්න. ඔයා හොඳ දේවල් කරන්න කොච්චර ආසද? හොඳ දේවල් කරන්න ඔයාට ලොකු ආසාවක් තියෙනවා නම් අනිත් අය ඔයා එක්ක තරහ වුණත් හොඳ දේවල් කරන එක ඔයා නතර කරන්නේ නැහැ. ඒකට නිර්භීතකම ඕනෙ නේද?—
‘අපි හොඳ දේවල් කරද්දී මිනිසුන් ඒ ගැන සතුටු වෙන්නේ නැතුව අපිට වෛර කරන්නේ ඇයි’ කියලා ඔයාට හිතෙනවා ඇති. දවසක් යේසුස් එක ගෙදරක ඉද්දී මුළු ගමේම අය යේසුස්ව බලන්න එහෙට ආවා. හුඟක් අය ආවේ යේසුස් ලෙඩ අයව සනීප කරපු නිසයි. (මාක් 1:33) යේසුස් හොඳ දේවල් කරපු නිසා මිනිසුන් එයාට කැමති වුණා.
යේසුස් නිතරම ඉගැන්නුවේ ඇත්ත දේවල්. ඒත් යේසුස් ඇත්ත උගන්වපු නිසා සමහර අයට යේසුස් එක්ක කේන්ති ගියා. තමන් හැදී වැඩුණු නාසරෙත් නුවරේ තිබුණු සිනගෝගයකට යේසුස් ගිය වෙලාවක ඒ වගේ දෙයක් වුණා. සිනගෝගයක් කියන්නේ යුදෙව් ජාතියේ අය දෙවිට නමස්කාර කරන්න එකතු වුණු ගොඩනැඟිල්ලටයි.
එදා යේසුස් ශුද්ධ ලියවිල්ලෙන් කොටසක් කියවලා ඒක පැහැදිලි කළා. යේසුස් හරිම දක්ෂ විදිහට කතා කරපු නිසා එතැන හිටපු අය පුදුම වුණා. මේ තමන්ගේම ගමේ හැදුණු වැඩුණු යේසුස්මද කියලා එයාලාට අදහාගන්නත් බැරි වුණා.
හැබැයි ඒ වෙලාවේ යේසුස් තව දේකුත් කිව්වා. යේසුස් කිව්වේ දෙවි යුදෙව් ජාතියට අයිති නැති අයටත් ආශීර්වාද කරලා තියෙනවා කියලයි. ඒක ඇහුණාම සිනගෝගයේ හිටපු අයට තරහ ගියා. ඔයා දන්නවාද ඒ ඇයි කියලා?— දෙවියන් ආශීර්වාද කරන්නේ යුදෙව්වරුන්ට විතරයි කියලත් අනිත් හැමෝටම වඩා යුදෙව්වරු හොඳයි කියලත් එයාලා හිතාගෙන හිටියා. ඒ නිසා එයාලා යේසුස්ට කරන්න හැදුවේ මොනවාද කියලා ඔයා දන්නවාද?—
බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. ‘ඒ අය යේසුස්ව නුවරින් එළියට අරන් ගියා. එයාලාට ඕන වුණේ යේසුස්ව කන්දේ කෙළවරින් පහළට තල්ලු කරලා මරන්නයි. හැබැයි යේසුස් එතැනින් බේරිලා ගියා.’—ලූක් 4:16-30.
මේ අය යේසුස්ව මරන්න හදන්නේ ඇයි?
ඔයාට කවුරු හරි කට්ටියක් එහෙම කළොත් ඔයා ආපහු එයාලා ළඟට ගිහින් දෙවියන් ගැන කියලා දෙනවාද?— ඒකට නිර්භීතකම ඕනෙ නේද?— හැබැයි යේසුස් නම් අවුරුද්දකට විතර පස්සේ ආපහු නාසරෙත්වලට ගිහින් ‘සිනගෝගයේදී සෙනඟට ඉගැන්නුවා.’ දෙවිට ආදරේ නැති අය පීඩා කරයි කියලා බයේ යේසුස් ඇත්ත කතා කරන එක නතර කළේ නැහැ.—මතෙව් 13:54.
එක සබත් දවසක යේසුස් දැක්කා අතක් පණ නැති මිනිසෙක්ව. යේසුස්ට එයාව සනීප කරන්න බලය තිබුණා. හැබැයි එදා ඒක කරනවාට සමහර අය කැමති වුණේ නැහැ. මොකද යුදෙව්වරුන්ගේ නීතියේ හැටියට සබත් දවසේ වැඩ කරන එක වැරදියි. ඉතිං යේසුස් මොකද කළේ?— යේසුස් මුලින්ම මෙහෙම ඇහුවා. ‘ඔයාලාගේ බැටළුවෙක් සබත් දවසක වළක වැටුණොත් ඌව ගොඩගන්නේ නැද්ද?’
සබත් දවසකදී වුණත් එහෙම දෙයක් වුණොත් ඒ අය අනිවාර්යයෙන්ම බැටළුවාව ගොඩගන්නවා. ඒ නිසා යේසුස් මෙහෙම කිව්වා. ‘බැටළුවෙක්ට වඩා මිනිසෙක් වටින නිසා සබත් දවසකදී මිනිසෙක්ව සනීප කරන එක හුඟක් වටිනවා.’ එහෙමනම් යේසුස් ලෙඩින් ඉන්න කෙනාව සනීප කරන එක කොච්චර හොඳද!
අත පණ නැති කෙනාට යේසුස් කිව්වා අත දිගහරින්න කියලා. එයා ඒක කළාම අත සනීප වුණා. එයාට කොච්චර සතුටු හිතෙන්න ඇද්ද! හැබැයි අනිත් අයත් ඒ ගැන සතුටු වුණාද?— නැහැ. එයාලාට යේසුස් එක්ක තිබුණු කේන්තිය තවත් වැඩි වුණා. ඒ නිසා යේසුස්ව මරන්න සැලසුම් කළා.—මතෙව් 12:9-14.
ඒ වගේ අය අදත් ඉන්නවා. අපි කොච්චර හොඳ දේවල් කළත් ඒ අය සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනෙ අපිට ඇත්තටම සතුටු කරන්න ඕනෙ කාවද කියලා. ඒ යෙහෝවා දෙවිවයි, යේසුස්වයි නේද? එහෙමනම් අපි කරන්න ඕනෙ ඒ දෙන්නා කැමති දේවල්. ඒත් අපි එහෙම කරද්දී අපිට වෛර කරන්නේ කවුද? හරි දේ කරන එක අපිට තවත් අමාරු කරන්නේ කවුද?—
සාතන් ඒ කියන්නේ යක්ෂයා අපිට වෛර කරනවා. වෙන කවුද?— යක්ෂයාට රැවටිලා වැරදි දේවල් කරන අයත් අපිට වෛර කරනවා. යේසුස් එදා හිටපු ආගමික නායකයන්ට මේ දේ කිව්වා. ‘ඔයාලාගේ පියා යක්ෂයායි. ඔයාලා කැමති ඔයාලාගේ පියාගේ ආසාවන් ඉටු කරන්නයි.’—යොහන් 8:44.
යක්ෂයාට ඕන දේ කරන හුඟක් අය ඉන්නවා. ඒ අය ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. ‘ඔයාලා මේ ලෝකයේ මිනිසුන්ට සමාන වෙලා හිටියා නම් ඒ අය ඔයාලාට කැමති වෙයි. හැබැයි ඔයාලා මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැති නිසාත් මම ඔයාලාව ඒ අය අතරින් තෝරාගෙන තියෙන නිසාත් එයාලා ඔයාලාට වෛර කරනවා.’—යොහන් 15:19.
ගෝලයන්ට වෛර කරන මේ ලෝකයේ අය යේසුස්ව අනුගමනය කරන අය නෙවෙයි. එයාලා ගෝලයන්ට වෛර කරන්නේ ඇයි?— ඒක තේරුම්ගන්න මුලින්ම මේ ගැන හිතන්න. කවුද මේ ලෝකයේ පාලකයා?— බයිබලයේ කියන්නේ මේ මුළු ලෝකයම තියෙන්නේ යක්ෂයාගේ පාලනය යටතේ කියලයි.—1 යොහන් 5:19.
දැන් ඔයාට තේරුණාද හොඳ දේවල් කරන්න අමාරු ඇයි කියලා?— එක හේතුවක් තමයි යක්ෂයා. අනිත් හේතුව තමයි මේ ලෝකයේ ඉන්න මිනිසුන්. හැබැයි තව හේතුවකුත් තියෙනවා. ඔයාට ඒක මතකද?— ඒ තමයි අපි මේ පොතේ 23වෙනි පරිච්ඡේදයෙන් ඉගෙනගත්ත විදිහට අපිට උරුම වෙලා තියෙන පාපය. යක්ෂයාවයි, මේ ලෝකයේ මිනිසුන්වයි, පාපයයි නැති කළාම අපි කොච්චර සතුටින් ඉඳියිද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද?—
නරක අය විනාශ වුණාට පස්සේ හොඳ දේවල් කරපු අයට වෙන්නේ මොනවාද?
“මේ ලෝකය” නැති වෙලා යනවා කියලා බයිබලයේ කියනවා. ඒ කියන්නේ යේසුස් කියලා තියෙන විදිහට ජීවත් වෙන්නේ නැති හැමෝම විනාශ වෙනවා කියන එකයි. විනාශ වෙන්නේ නැතුව හැමදාටම ජීවත් වෙන්න ලැබෙන්නේ කාටද කියලා ඔයා දන්නවාද?— ඒ ගැනත් බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. ‘හැමදාටම ජීවත් වෙන්නේ දෙවිගේ කැමැත්ත කරන කෙනායි.’ (1 යොහන් 2:17) ඔව්, ‘දෙවිගේ කැමැත්ත කරන,’ හොඳ දේවල් කරන අයට විතරයි හැමදාටම පාරාදීසයේ ජීවත් වෙන්න ලැබෙන්නේ. ඒ නිසා අමාරු වුණත් හොඳ දේවල් කරන්න අපි කැමතියි නේද?—
හොඳ දේවල් කරන එක අමාරු ඇයි කියලා දැනගන්න අපි මේ බයිබල් පද දැන් කියවලා බලමු. මතෙව් 7:13, 14; ලූක් 13:23, 24; ක්‍රියා 14:21, 22.