ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 4/1 18-22 පි.
  • යුක්තිය පෙරළූ නඩුවක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යුක්තිය පෙරළූ නඩුවක්
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නීතියට පටහැනි නඩුවක්
  • පිලාත් ඉදිරියේ
  • සිදු වූ දෙයින් හෙළි වන දේ
  • යේසුස්ව මරා දමන්න ගෙන යයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • මන්ත්‍රණ සභාවෙන් පසුව පිලාත් ළඟට ගෙන යයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • පොන්තියුස් පිලාත් කියන්නේ කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැන්හෙඩ්‍රිනය ඉදිරියේ, ඉන්පසු පිලාත් වෙතට
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 4/1 18-22 පි.

යුක්තිය පෙරළූ නඩුවක්

අතීතයේදී අසනු ලැබූ නඩු අතරින් යේසුස්ට මරණ තීන්දුව නියම කළ නඩුව කොයි කවුරුන් අතරත් ප්‍රසිද්ධයි. ඒ නඩු විභාගය පිළිබඳ තොරතුරු බයිබලයේ සුවිශේෂ පොත් හතරේම අන්තර්ගත වී තිබෙනවා. ඒ ගැන සොයා බැලීම වැදගත් වන්නේ ඇයි? තම මරණය සිහි කරන්න කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටි නිසාත් යේසුස්ට විරුද්ධව ගොනු කරනු ලැබූ සාක්ෂිවල ඇත්ත නැත්ත අපි දැනගත යුතු නිසාත් යේසුස් අප වෙනුවෙන් දිවි පිදූ නිසාත් ඔහුගේ මරණයට මඟ පෑදූ නඩුව ගැන අප දැන සිටීම වැදගත්.—ලූක් 22:19; යොහන් 6:40.

යේසුස්ගේ කාලයේදී පලස්තීනය පාලනය කළේ රෝම අධිරාජ්‍යය විසිනුයි. යුදෙව් ආගමික නායකයන්ට ඔවුන්ගේම නීති රීති අනුව නඩු විභාග කිරීමට රෝමයෙන් අවසර ලැබී තිබුණත් පෙනෙන ආකාරයට අපරාධකරුවන්ව මරණයට පත් කිරීමට අවසර ලැබී තිබුණේ නැහැ. යුදෙව් ආගමික නායකයන් යේසුස්ව අත්අඩංගුවට ගත්තත් ඔහුව මරණයට පත් කිරීමට රෝමයේ අනුමැතිය ඉල්ලා සිටියේ ඒ නිසයි. ඔවුන් යේසුස්ට එතරම්ම වෛර කළේ ඔහු ප්‍රසිද්ධියේම ඔවුන්ගේ වැරදි හෙළි කළ නිසයි. එමනිසා යේසුස්ව ඝාතනය කර එය නීතියට එකඟව සිදු කළ දෙයක් බව අඟවන්න ඔවුන් පියවර ගත්තා. ඒ අරමුණ ඉටු කරගැනීම සඳහා ඔවුන් යේසුස්ගේ නඩුව විභාග කළේ අයුක්තිසහගත ලෙසයි. නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් පැවසුවේ “මිනිස් ඉතිහාසයේ සිදු වී ඇති අසාධාරණම නඩු විභාගය එය” බවයි.

නීතියට පටහැනි නඩුවක්

මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීති මාලාව “මෙතෙක් බිහි වී තිබෙන විශිෂ්ටතම නීති මාලාව” ලෙස පිළිගැනෙනවා. කොහොමනමුත් යේසුස්ගේ කාලය වන විට යුදෙව් ආගමික ගුරුවරුන් එම නීතිවලට අමතර නීති රාශියක්ද එක් කර තිබුණා. (විසිවන පිටුවේ ඇති “පළමු සියවසේ යුදෙව් නීති” නමැති කොටුව බලන්න.) නමුත් ආගමික නායකයන් යේසුස්ගේ නඩුව විභාග කළ අවස්ථාවේදී මෝසෙස්ගේ නීතියවත් අඩුම තරමින් ඔවුන් විසින්ම පිහිටුවා තිබූ නීතිවත් සැලකිල්ලට ගත්තේ නැහැ.

නීතියට අනුව පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීමට අවසර තිබුණේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි පදනම් කරගෙනයි. යම් අසාධාරණයකට මුහුණ දුන් කෙනෙකුට ඒ අසාධාරණය කළ විත්තිකරු ගැන අධිකරණයට පැමිණිලි කිරීමට අවසර තිබුණා. නමුත් ඒ විත්තිකරුට චෝදනා එල්ල කිරීමට අධිකරණයට හැකියාව තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් අධිකරණයෙන් සිදු වුණේ විත්තිකරුට විරුද්ධව ගොනු කර තිබූ චෝදනා විභාග කිරීමයි. විත්තිකරුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට අධිකරණයට හැකියාව තිබුණේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කළ සාක්ෂිවල යම් එකඟතාවක් තිබුණා නම් පමණයි. ඒ සඳහා එක් සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි පමණක් ප්‍රමාණවත් වුණේ නැහැ. (ද්විතීය කතාව 19:15) නමුත් යේසුස්ව අත්අඩංගුවට ගත්තේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි පදනම් කරගෙන නෙවෙයි. ඊට හේතුව උපක්‍රමයක් යොදා සෙනඟ නැති රාත්‍රියකදී යේසුස්ව අත්අඩංගුවට ගෙන මරා දැමීමට ආගමික නායකයන්ට අවශ්‍ය වීමයි.—ලූක් 22:2, 5, 6, 53.

යේසුස්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුට විරුද්ධව කිසිම චෝදනාවක් තිබුණේ නැහැ. ආගමික නායකයන් සහ මන්ත්‍රණ සභාව එනම් යුදෙව් මහාධිකරණය ඔහුට විරුද්ධව සාක්ෂි සෙව්වේ ඔහුව අත්අඩංගුවට ගත් පසුවයි. (මතෙව් 26:59) පුද්ගලයෙකුට විරුද්ධව සාක්ෂි සෙවීම අධිකරණයට අයිති දෙයක් නොවෙයි. නමුත් යේසුස්ගේ නඩු විභාගයේදී ඔවුන් එය කළා. නීතීඥයෙක් සහ ලේඛකයෙක් ලෙස කටයුතු කරන ටේල ඉනස් ඒ ගැන පැවසුවේ මෙයයි. “කෙනෙක් කළ වරද පිළිබඳව කිසිම සාක්ෂියක් නොමැතිව ඔහුව මරණයට පත් කිරීම සඳහා නඩු විභාගයක් පැවැත්වීම අදහාගත නොහැකි දෙයක්.”

යේසුස්ව අත්අඩංගුවට ගත් පසු ප්‍රශ්න කිරීම සඳහා ඔහුව කලින් උත්තම පූජකයාව සිටි අන්නස්ගේ නිවසට රැගෙන ගියා. (ලූක් 22:54; යොහන් 18:12, 13) නීතියට අනුව ප්‍රශ්න කිරීම සිදු කළ යුත්තේ දහවල් කාලයේ මිස රාත්‍රියේදී නොවෙයි. නමුත් අන්නස් එය කළේ රාත්‍රියේදියි. එමෙන්ම එය කළ යුත්තේ සියලුදෙනාටම පෙනෙන ලෙස පිටත මළුවේදී වුණත් යේසුස්ගෙන් ප්‍රශ්න කළේ ඇතුල් මළුවේ සිටයි. එපමණක්ද නොව අන්නස් කළ යුතුව තිබුණේ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම මිස යේසුස්ගෙන් ප්‍රශ්න කිරීම නොවෙයි. යේසුස් අන්නස්ගෙන් මෙසේ ඇසුවේ ඒ නිසයි. “ඔබ මගෙන් මේ ප්‍රශ්න අසන්නේ ඇයි? මා පැවසූ දේවල් අසාගෙන සිටි අයගෙන් අහලා බලන්න. මා කතා කළ දේවල් ගැන ඔවුන් දන්නවා.” (යොහන් 18:21) අන්නස් සාධාරණ විනිශ්චයකරුවෙක් නම් යේසුස් ඇසූ දේ ගැන සිතා බැලිය යුතුව තිබුණා. නමුත් ඔහු එය ගණනකටවත් ගත්තේ නැහැ.

යේසුස් අන්නස්ට එසේ පැවසූ විට නිලධාරියෙක් යේසුස්ගේ කම්මුලට පාරක් ගැසුවා. (ලූක් 22:63; යොහන් 18:22) ඊශ්‍රායෙල්වරුන්ගේ නීතියේ සඳහන් වූ ආකාරයට යම් කෙනෙක් ආරක්ෂිත නුවරකට පලා ගිය විට ඔහු වරදකරුවෙක් කියා ඔප්පු වෙන තුරු ඔහුට ආරක්ෂාව සැපයිය යුතු වුණා. (ගණන් කතාව 35වන පරිච්ඡේදය) නමුත් යේසුස්ට නම් කිසිම ආරක්ෂාවක් ලැබුණේ නැහැ.

අන්නස්ගෙන් පසුව යේසුස්ව රැගෙන ගියේ උත්තම පූජකයා වූ කායෆස් වෙතටයි. (ලූක් 22:54; යොහන් 18:24) එහිදී නීතියට පටහැනි ලෙස ‘යේසුස්ව මරණයට පත් කිරීම සඳහා ඔවුන් ඔහුට විරුද්ධව බොරු සාක්ෂි සෙව්වා.’ නමුත් ඒ සාක්ෂි අතර කිසි එකඟතාවක් තිබුණේ නැහැ. (මතෙව් 26:59; මාක් 14:56-59) එමනිසා යේසුස්ගේ කටින්ම ඔහුව අල්ලාගැනීමට කායෆස් මෙසේ ඇසුවා. “ඔබ කිසි පිළිතුරක් දෙන්නේ නැද්ද? මොවුන් ඔබට විරුද්ධව දෙන මේ සාක්ෂි ඔබට ඇහෙනවාද?” (මාක් 14:60) කලින් සඳහන් කළ ඉනස් ඒ ගැන මෙසේ පවසා තිබෙනවා. “විත්තිකරුව හසු කරගැනීමේ අරමුණින් ඔහුට විරුද්ධව තිබෙන චෝදනා ගැන ඔහුටම පිළිතුරක් දෙන්න කියා පැවසීම යුක්තිය කනපිට පෙරළීමක්.”

අවසානයේදී කායෆස් නැවතත් මෙසේ ඇසුවා. “ඔබ ශුද්ධ දෙවිගේ පුත් ක්‍රිස්තුස්ද?” එවිට යේසුස් “ඒ මම තමයි. මනුෂ්‍ය පුත්‍රයා බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටින ආකාරයත් ආකාශයේ වලාකුළු සහිතව එන ආකාරයත් ඔබට දකින්න ලැබෙයි” කියා පිළිතුරු දුන්නා. එයින් කෝපයට පත් වූ පූජකයන් එය දේවඅපහාසයක් කියා පවසමින් ‘ඔහුට මරණ දණ්ඩනය නියම කළ යුතුයි කියා පැවසුවා.’—මාක් 14:61-64.a

නීතියේ සඳහන්ව තිබූ ආකාරයට ඕනෑම නඩුවක් විභාග කළ යුතුව තිබුණේ ප්‍රසිද්ධියේයි. (ද්විතීය කතාව 16:18; රූත් 4:1) නමුත් යේසුස්ගේ නඩුව විභාග කෙරුණේ රහසිගතවයි. එපමණක්ද නොව යේසුස්ට පක්ෂව සාක්ෂි තිබෙනවාද කියාවත් පොරොන්දු කර තිබූ ගැලවුම්කරු යේසුස් බවට වූ සාක්ෂිවත් ඔවුන් සොයා බැලුවේ නැහැ. ඒ අවස්ථාවේ සිටි එක විනිශ්චයකරුවෙකුවත් යේසුස්ට කිසිම අනුකම්පාවක් දැක්වුවේ නැහැ.

පිලාත් ඉදිරියේ

යේසුස්ව මරා දැමීමට අවසර ගැනීම සඳහා යුදෙව්වන් රෝමයේ ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත් ළඟට ඔහුව රැගෙන ගියා. පිලාත් මුලින්ම ඇසුවේ “ඔබ මේ මිනිසාට විරුද්ධව නඟන චෝදනාව මොකක්ද” කියායි. එවිට යුදෙව්වන් “මේ මිනිසා වරදකරුවෙක් නොවෙයි නම් අප ඔහුව ඔබට භාර දෙන්නේ නැහැ” කියා පැවසුවා. (යොහන් 18:29, 30) යුදෙව්වන්ට අවශ්‍ය වුණේ ප්‍රශ්න කිරීමකින් තොරව යේසුස්ව මරා දැමීම සඳහා පිලාත්ගෙන් අවසර ලබාගැනීමටයි. යේසුස් දෙවිට අපහාස කළා කියා ඔවුන් පිලාත්ට නොපැවසුවේ එය වලංගු චෝදනාවක් ලෙස පිලාත් පිළි නොගැනීමට ඉඩ තිබූ නිසයි. එමනිසා ඔවුන් යේසුස්ට විරුද්ධව අලුත් චෝදනාවක් නැඟුවා. “මේ මිනිසා අපේ ජාතිය අතර භේද ඇති කරනවා. ඔහු සීසර්ට බදු ගෙවීම තහනම් කරනවා. තමා ක්‍රිස්තුස් කියාත් තමා රජ කෙනෙක් කියාත් ප්‍රකාශ කරන ආකාරය අපට ඇහුණා.” (ලූක් 23:2) එලෙස ඔවුන් යේසුස්ව රාජද්‍රෝහියෙක් ලෙස හැඳින්නුවා.

“බදු ගෙවීම තහනම් කරනවා” කියා යේසුස්ට විරුද්ධව නැඟූ චෝදනාව බොරුවක් බව යුදෙව්වන්ම දැන සිටියා. මන්ද යේසුස් දිරිගන්වා සිටියේ බදු ගෙවන්න කියායි. (මතෙව් 22:15-22) එමෙන්ම යේසුස් තමාවම රජ කෙනෙකු කියා පැවසූ බවට නැඟූ චෝදනාවත් රෝමයට තර්ජනයක් ලෙස පිලාත් සැලකුවේ නැහැ. එමනිසා ‘මොහු වරදකරුවෙක් බව මට නම් පෙනෙන්නේ නැහැ’ කියා පිලාත් පැවසුවා. (යොහන් 18:38) ඒ නඩු විභාගය අතරතුර කිහිප වතාවක්ම පිලාත් එසේ පැවසුවා.

පාස්කු කාලයේදී සිරභාරයේ සිටි කෙනෙකුව නිදහස් කිරීමේ සිරිතක් තිබූ නිසා යේසුස්ව නිදහස් කිරීමට පිලාත් උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැති නිසා මිනී මැරීමේ චෝදනාව පිට සිරභාරයේ සිටි බරබ්බස්ව නිදහස් කිරීමට ඔහුට සිදු වුණා.—ලූක් 23:18, 19; යොහන් 18:39, 40.

යේසුස්ව නිදහස් කිරීමට පිලාත් තවත් ක්‍රමයක් අත්හදා බලමින් ඔහුට කස පහර දී නින්දා අපහාස විඳින්න සැලැස්සුවා. ඉන්පසු කටු ඔටුන්නක් දමා දම්පාට වස්ත්‍රයක් අන්දවා සෙනඟ ඉදිරියට ඔහුව ගෙනාවා. ඒ අවස්ථාවෙත් පිලාත් පැවසුවේ යේසුස් අතේ කිසිම වරදක් නැහැ කියායි. ඇතැම්විට යේසුස් කස පහර කා තුවාල වී සිටින ආකාරය දැකීමෙන් යුදෙව් ආගමික නායකයන්ගේ වෛරය සන්සිඳෙයි කියා ඔහු සිතන්න ඇති. (ලූක් 23:22) නමුත් එවැනි දෙයක් සිදු වුණේ නැහැ.

යේසුස්ව නිදහස් කිරීමට පිලාත් කොතරම් උත්සාහ කළත් යුදෙව්වන් කෑගසමින් ඔහුට මෙසේ පැවසුවා. “ඔබ මේ මිනිසාව නිදහස් කර හැරියොත් ඔබ සීසර්ගේ මිත්‍රයෙක් වන්නේ නැහැ. රජෙක් හැටියට පත් වෙන්න උත්සාහ කරන ඕනෑම කෙනෙක් වැඩ කරන්නේ සීසර්ට විරුද්ධවයි.” (යොහන් 19:12) ඒ කාලයේ සීසර් ලෙස කටයුතු කළේ තමාට විරුද්ධව නැඟී සිටින ඕනෑම උසස් බලධාරියෙකු පවා මරා දැමීමට තරම් කුරිරු වූ ටයිබීරියස් අධිරාජ්‍යයායි. සීසර්ට විරුද්ධව වැඩ කරන කෙනෙක් ලෙස තමාව හඳුන්වයි කියා බිය වූ පිලාත් කිසිම වරදක් නොකළ යේසුස්ව මරා දැමීමට අණ කළා.—යොහන් 19:16.

සිදු වූ දෙයින් හෙළි වන දේ

නීතිය ගැන හදාරන බොහෝ විචාරකයන් යේසුස්ගේ නඩු විභාගය ගැන බයිබලයේ සඳහන් තොරතුරු අධ්‍යයනය කිරීමෙන් පසු පැමිණ තිබෙන නිගමනය වන්නේ එය අයුක්තිසහගත නඩු විභාගයක් බවයි. එක් නීතීඥයෙක් ඒ ගැන මෙසේ පවසා තිබෙනවා. “රාත්‍රියේම නඩු විභාගය අරඹා එළි වීමටත් කලින් තීන්දුවක් ඉදිරිපත් කිරීම හෙබ්‍රෙව් නීතියට පටහැනි දෙයක්. එය මහත් අයුක්තිසහගත ක්‍රියාවක්.” එමෙන්ම නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක්ද මෙසේ පවසනවා. “යේසුස්ගේ නඩුව ඉතා අසාධාරණ ලෙස පවත්වනු ලැබූ නිසා එය නීතිය අතකොලුවක් කරගනිමින් කරන ලද මිනී මැරුමක් කිව්වොත් වැරදි නැහැ.”

යේසුස් කිසිම වරදක් කළේ නැහැ. නමුත් අපව ගලවාගැනීමට නම් තමන් මිය යා යුතු බව ඔහු දැන සිටියා. (මතෙව් 20:28) ඔහු යුක්තියට බොහෝ සෙයින් ප්‍රිය කළත් මෙතෙක් සිදු වී ඇති අයුක්තිසහගතම මරණය අද්දකින්න ඔහුට සිදු වුණා. ඔහු මිය ගියේ පාපය උරුම වී ඇති අපි වෙනුවෙනුයි. අපි කිසිදාක එය අමතක නොකරමු.

[පාදසටහන]

a දේවඅපහාසයක් ලෙස ගණන්ගැනුණේ දෙවිගේ නාමයට අපහාස කිරීම හෝ දෙවිගේ අධිකාරිය සිය අතට ගෙන වැඩ කිරීමයි. නමුත් යේසුස් එලෙස ක්‍රියා කර තිබූ බව ඔහුට විරුද්ධව චෝදනා කළ අය පැවසුවේ නැහැ.

[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පළමු සියවසේ යුදෙව් නීති

ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වලදී ලේඛනගත කරනු ලැබූ ඈත අතීතයේ සිට පැවතුණු බවට සැලකෙන යුදෙව් නීති සමහරක්

▪ මරණ දණ්ඩනය නියම විය හැකි නඩු විභාගයකදී විත්තිකරුව නිර්දෝෂයි කියා තීන්දු කිරීමට තිබෙන පදනම ගැන අධිකරණය මුලින්ම සොයා බැලිය යුතු වුණා

▪ විත්තිකරුව නිදහස් කිරීමට විනිසුරුවන් හැකි සියල්ල කළ යුතු වුණා

▪ විත්තිකරුට පක්ෂව කතා කිරීමට විනිසුරුවන්ට හැකි වුණත් ඔහුට විරුද්ධව චෝදනා එල්ල කිරීමට ඔවුන්ට අවසර තිබුණේ නැහැ

▪ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ කාර්යයේ බරපතළකම කාවද්දනු ලැබුවා

▪ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විභාග කළ යුතු වුණේ තනි තනිවම මිස අනික් සාක්ෂිකරුවන් ඉදිරියේ නොවෙයි

▪ අපරාධය සිදු වූ වේලාව, දිනය, ස්ථානය, ඇතුළු සාක්ෂිවලට ඇතුළත් විය යුතු වෙනත් ප්‍රධාන සාධක අතර එකඟතාවක් තිබිය යුතු වුණා

▪ මරණ දණ්ඩනය නියම විය හැකි නඩුවක් විභාග කළ යුත්තේත් තීන්දුව දිය යුත්තේත් දහවල් කාලයේදීයි

▪ සබත් දිනවලදී හෝ උත්සව දිනවලදී මරණ දණ්ඩනය නියම විය හැකි නඩු විභාග පැවැත්වීමට අවසර නැහැ

▪ මරණ දණ්ඩනය නියම විය හැකි නඩු විභාගයක් එක් දවසකදී අවසන් කළ හැක්කේ විත්තිකරුට පක්ෂව අධිකරණය තීන්දුවක් ගෙන තිබෙනවා නම් පමණයි. නමුත් විත්තිකරුට මරණ දණ්ඩනය නියම කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා නම් එම තීන්දුව දිය යුතුව තිබුණේ ඊළඟ දිනයේදීයි

▪ මරණ දණ්ඩනය නියම විය හැකි නඩුවක් විභාග කිරීමට අවම වශයෙන් විනිසුරුවන් 23දෙනෙක්වත් සිටිය යුතු වුණා

▪ විනිසුරුවන් අතරින් බාලම කෙනාගෙන් පටන්ගෙන වැඩිමල්ම කෙනා දක්වා විත්තිකරුට පක්ෂව හෝ විපක්ෂව ඡන්දයක් දමනු ලැබුවා. විත්තිකරුට මරණ දණ්ඩනය නියම කළ යුතු බවට හෝ නිදහස් කළ යුතු බවට විනිසුරුවන් දැක්වූ අදහස්, පිටපත් කරන්නන් විසින් වාර්තා කළ යුතු වුණා

▪ විත්තිකරුව නිදහස් කිරීම සඳහා වැඩිපුර ඡන්ද එකක් පමණක් ප්‍රමාණවත් වුණත් ඔහුව වැරදිකරු ලෙස නියම කිරීමට නම් වැඩිපුර ඡන්ද දෙකක් තිබිය යුතු වුණා. විත්තිකරුව වැරදිකරු බවට නියම කළ ඡන්ද සංඛ්‍යාව එකකින් වැඩි වූ අවස්ථාවලදී සාධාරණ තීන්දුවක් ලබාගැනීමට අලුතින් විනිශ්චයකරුවන් දෙදෙනෙකුව සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ඡන්දත් ඊට ඇතුළත් කරනු ලැබුවා. වතාවන් කිහිපයකදී වුණත් එසේ අලුතින් විනිසුරුවන් දෙදෙනෙකුව පත් කළ හැකි වුණා

▪ සියලුම විනිසුරුවන් විත්තිකරුට විපක්ෂව තම තීන්දුව දෙනු ලැබුවොත් එම තීන්දුව පිළිගැනුණේ නැහැ. එය සලකනු ලැබුවේ විත්තිකරුට එරෙහිව කරනු ලැබූ “කුමන්ත්‍රණයක්” ලෙසයි

යේසුස් මුහුණ දුන් අසාධාරණ නඩු විභාගය

▪ යේසුස් නිර්දෝෂයි කියා පැවසීමට තිබෙන පදනම ගැනවත් යේසුස්ට පක්ෂව සාක්ෂි තිබෙනවාද කියාවත් අධිකරණය සොයා බැලුවේ නැහැ

▪ සියලුම විනිසුරුවන් යේසුස්ගේ සතුරන් ලෙස ඔහුට විරුද්ධව නැඟී සිටියා මිස ඔහුට පක්ෂව කතා කළේ නැහැ

▪ යේසුස්ව මරා දැමීම සඳහා විනිසුරුවන් බොරු සාක්ෂිකරුවන්ට සවන් දුන්නා

▪ යේසුස්ට මරණ දණ්ඩනය නියම වූ නඩුව විභාග කළේ රාත්‍රී කාලයේ කිසිවෙකුටවත් නොපෙනන ස්ථානයක සිටයි

▪ එම නඩුව උත්සව දවසකදී පවත්වනු ලැබූ අතර එය මරණ දණ්ඩනය නියම වූ නඩුවක් වුණත් එක් දිනයක් ඇතුළතදී තීන්දුව දෙනු ලැබුවා

▪ යේසුස්ව අත්අඩංගුවට ගනු ලැබුවේ කිසිම චෝදනාවක් නොමැතිවයි

▪ යේසුස් තමාවම ගැලවුම්කරු ලෙස හැඳින්වීම “දේවඅපහසයක්” කියා පූජකයන් පැවසුවත් යේසුස් එසේ පැවසුවේ ඇයි කියා ඔවුන් සොයා බැලුවේ නැහැ

▪ පිලාත් වෙතට ගෙන ගිය පසු ඔවුන් යේසුස්ට විරුද්ධව වෙනත් චෝදනාවක් ඉදිරිපත් කළා

▪ යේසුස්ට විරුද්ධව එල්ල කළ චෝදනා සියල්ල බොරු ඒවා වුණා

▪ යේසුස් නිර්දෝෂයි කියා පිලාත් දැන සිටියත් ඔහුව මරා දැමීමට අවසර දුන්නා

[22වන පිටුවේ කොටුව]

සාක්ෂි දීමේ බැරෑරුම්කම

මරණ දණ්ඩනය නියම විය හැකි නඩු විභාගයකදී සාක්ෂි දීම සඳහා ඉදිරිපත් වන අයට ජීවිතයේ වටිනාකම පෙන්වීමට යුදෙව් අධිකරණවල මෙවැනි දෙයක් ප්‍රකාශ කරනු ලැබුවා.

“සමහරවිට ඔබ සාක්ෂි දෙන්නේ ඔබට අසන්න ලැබුණු දෙයක් හෝ ඔබ අනුමාන කරන දෙයක් හෝ වෙනත් සාක්ෂිකරුවෙක් පැවසූ දෙයක් පදනම් කරගෙන විය හැකියි. එසේත් නැත්නම් ‘මට ඒක දැනගන්න ලැබුණේ විශ්වාසවන්ත කෙනෙක් මාර්ගයෙන්’ කියා සිතමින් ඔබ සාක්ෂි දිය හැකියි. ඔබ ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් ඔබෙන් ප්‍රශ්න කරන බව මෙහිදී මතක තබාගත යුතුයි. මරණ දණ්ඩනය නියම විය හැකි නඩුවක් ඉඩකඩම් හා සම්බන්ධ නඩුවවලට වඩා වෙනස් බවත් ඔබ හොඳින් තේරුම්ගත යුතුයි. ඉඩකඩම් හා සම්බන්ධ නඩුවකදී නම් කෙනෙකුට වන්දියක් ලෙස මුදල් ගෙවිය හැකියි. නමුත් මරණ දණ්ඩනය නියම විය හැකි නඩුවකදී බොරු සාක්ෂි දී විත්තිකරුව නිරපරාදේ මරා දැමීමට සම්බන්ධ වෙන කෙනෙකුට විත්තිකරුගේ ජීවිතය වෙනුවෙනුත් ඔහු මාර්ගයෙන් ඉපදීමට සිටි අය වෙනුවෙනුත් වන්දි ගෙවීමට සිදු වෙනවා.”—Babylonian Talmud, Sanhedrin, 37a.

විත්තිකරුට මරණ දණ්ඩනය නියම වූවොත් ඔහුට විරුද්ධව සාක්ෂි දුන් අයම ඔහුව මරා දැමීමට මූලිකත්වය ගත යුතු වුණා.—ලෙවී කතාව 24:14; ද්විතීය කතාව 17:6, 7.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න