ලෝක විනාශය ගැන ඇති විවිධ මත
‘පොළොව විනාශ කර දමන අයව විනාශ කර දැමීමට නියමිත කාලය පැමිණියේය.’—එළිදරව් 11:18.
ලෝක විනාශය යන වචනය ඇසෙද්දී ඔබේ මනසේ මැවෙන්නේ මොන වගේ චිත්‍රයක්ද? සමහරවිට මහා විනාශයක් සිදු වෙන ආකාරය ඔබේ මනසේ මැවෙනවා ඇති. ලෝක විනාශය සිදු වන ආකාරය ගැන ආගමික නායකයන් මෙන්ම ජනමාධ්‍ය මගින්ද විවිධ අදහස් පළ කරනවා.
ලෝක විනාශය ගැන මිනිසුන් දරන මත හා බයිබලයේ සඳහන් දේ අතර සමානකමක් තිබෙනවාද? ඒ ගැන දැනගැනීම ඉතා වැදගත්. ලෝක විනාශය ගැන නිවැරදි අවබෝධය ලබාගැනීමෙන් ඒ ගැන ඇති අනවශ්‍ය බිය නැති කරගන්නත් අනාගතය ගැන දීප්තිමත් බලාපොරොත්තුවක් ඇති කරගන්නත් දෙවි මොන තරම් ප්‍රේමණීය කෙනෙක්ද කියා තේරුම්ගන්නත් හැකියි.
ලෝක විනාශය ගැන මිනිසුන් දරන මත තුනක් සහ ඒ ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද කියා අපි දැන් බලමු.
1. මිනිසුන්ගේ ක්‍රියා නිසා මේ මුළු ලෝකයම විනාශ වෙයිද?
අතීතයේදී දරුණු යුද්ධ නිසා බොහෝ විනාශයන් සිදු වුණා. පළමුවන සහ දෙවන ලෝක මහා යුද්ධ ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි. එම යුද්ධවලට පසුව ඇමරිකා එක්සත් ජනපදය හා එවකට පැවති සෝවියට් දේශය අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙයි යන බිය බොහෝදෙනා තුළ පැවතුණා. ලෝක විනාශයට එම යුද්ධය හේතු විය හැකියි කියා බොහෝ අය සිතුවා. අනික් අතට පරිසර දූෂණය නිසා ලෝක විනාශයක් ඇති වෙයි කියා අද දින සිටින ප්‍රවීණයන් තුළ බියක් තිබෙනවා.
ඉන් අදහස් කරන්නේ කුමක්ද? පොළොව හා මිනිසුන්ගේ අනාගතය රඳා පවතින්නේ ආණ්ඩු මතයි. ඔවුන් නිවැරදිව පාලනය නොකළොත් පොළොව විනාශ වෙනවා.
බයිබලයේ පවසන දේ: මේ පොළොව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට දෙවි මිනිසුන්ට ඉඩ දෙන්නේ නැහැ. ‘දෙවි පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහායි.’ (යෙසායා 45:18) ඒ නිසා ඔහු මිනිසුන්ට මේ පොළොව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු “පොළොව විනාශ කර දමන අයව විනාශ කර” දමනවා.—එළිදරව් 11:18.
2. ස්වාභාවික විපතක් මගින් ලෝකය විනාශ වෙයිද?
මහා පරිමාණයෙන් සිදු වන ස්වාභාවික විපතක් නිසා ලෝකය විනාශ වෙයි කියා සමහර අය සිතනවා. ඒ වගේම අභ්‍යවකාශයේ ඇති වස්තුවක් පොළොවේ ගැටීමෙන් පොළොව විනාශ වෙයි යන බියද සමහර අය තුළ තිබෙනවා.
ඉන් අදහස් කරන්නේ කුමක්ද? ලෝකය විනාශ වන විට අහිංසක මිනිසුන් පවා විනාශ වෙනවා. ඔවුන්ට බේරීමට කිසිම ක්‍රමයක් නැහැ.
බයිබලයේ පවසන දේ: ස්වාභාවික ව්‍යසනයක් මගින් මුළු පොළොවම විනාශ වන්නේ නැහැ. නමුත් ඉදිරියේදී පොළොවේ සිටින සියලුම දුෂ්ට මිනිසුන් පිට විනාශයක් පැමිණෙන බව බයිබලයේ සඳහන් වෙනවා. බයිබලයේ සඳහන් මේ දෙයින් එය පැහැදිලියි. “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය.”—ගීතාවලිය 37:10.
3. දෙවි මුළු පොළොවම විනාශ කර දමයිද?
මේ පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වන බව සමහර ආගම්වල සිටින අය විශ්වාස කරනවා. ඇමරිකාවේ සිදු කළ සමීක්ෂණයකට සහභාගි වූ අයගෙන් සියයට 40ක් විශ්වාස කළේ යුද්ධයක් මගින් මේ පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වෙන බවයි.
ඉන් අදහස් කරන්නේ කුමක්ද? මනුෂ්‍යයන් සහ පොළොව නිර්මාණය කර තිබෙන්නේ සදහටම පැවතීමට නොවෙයි. දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ යම් කාලයක් ජීවත් වී මිය යෑමටයි.
බයිබලයේ පවසන දේ: දෙවි ‘පොළොව ස්ථිර ලෙස පිහිටෙවූ බවත් එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදු’ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 104:5) පොළොවේ ජීවත් වෙන මිනිසුන් ගැන එහි මෙවැනි දෙයක් සඳහන් කර තිබෙනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.
ලෝක විනාශය ගැන බොහෝදෙනෙකු තුළ කුතුහලයක් තිබෙන නිසා ඔවුන් ඒ ගැන විවිධ මත දරන බව ඉහත තොරතුරුවලින් පැහැදිලි වෙනවා. නමුත් ඒවා නිවැරදිද? මේ පොළොවේ සිටින සියලුදෙනාටම මුහුණ දීමට සිදු වන යුද්ධයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. බයිබලයේ එය හඳුන්වන්නේ “හර්–මගෙදොන්” ලෙසයි. නමුත් එය මිනිසුන් දරන මතවලට වඩා බොහෝ සෙයින් වෙනස්. ඒ ගැන තොරතුරු ඊළඟ ලිපිවලින් සලකා බලමු.