නිහතමානී සිතක්!
නිහතමානී කෙනෙක්
තමන් ගැන ඕනෑවට වඩා හිතන අහංකාර කෙනෙක් නෙමෙයි. එහෙම කෙනෙක් අනිත් අයට වඩා තමන් උසස් කියලා හිතන්නේ නැහැ. ඒ වගේම තමන්ට කරන්න පුළුවන් දේවල් වගේම බැරි දේවලුත් තියෙනවා කියලා එයා තේරුම්ගන්නවා.
මෝසෙස් නිහතමානී කෙනෙක් කියලා ඔප්පු වෙන්නේ කොහොමද?
හුඟක් වෙලාවට කෙනෙක්ට බලතල ලැබුණාම එයා ඒ ගැන ලොකුවට හිතලා අහංකාර විදිහට වැඩ කරනවා. එක ලේඛකයෙක් කිව්ව මේ දෙයිනුත් ඒක පැහැදිලි වෙනවා. “කෙනෙක් ඇත්තටම නිහතමානීද නැද්ද කියලා දැනගන්න එයාට බලතල දීලා බලන්න ඕන.” යෙහෝවා දෙවියන් මෝසෙස්ව ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා හැටියට පත් කරලා හුඟක් බලතල දුන්නත් එයා කවදාවත් අහංකාර විදිහට වැඩ කළේ නැහැ. මේ උදාහරණය බලන්න.
අතීතයේදී පියාගේ උරුමය ලැබුණේ පුතුන්ටයි. හැබැයි දියණියන් විතරක් ඉන්න පවුලකට උරුමය ලැබෙන්න ඕන කොහොමද කියන එක ගැන හරි මඟ පෙන්වීමක් දීලා තිබුණේ නැහැ. මෝසෙස් නායකයා හැටියට හිටපු කාලේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුණා. (ගණන් කතාව 27:1-11) ඒක සැහැල්ලුවට ගන්න පුළුවන් ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ආයිත් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක විසඳන්නේ කොහොමද කියන එක තීරණය වුණේ මෝසෙස් ඒ අවස්ථාවේ ප්‍රශ්නේ විසඳන විදිහෙනුයි.
මෝසෙස් නායකයා නිසාත් එයාට ගොඩක් අද්දැකීම් තිබුණු නිසාත් යෙහෝවා දෙවියන් හිතන විදිහ එයා තේරුම් අරන් හිටිය නිසාත් එයා හිතුවද මේ ප්‍රශ්නෙට තනියම තීරණයක් දෙන්න පුළුවන් කියලා? නැහැ.
ඒ වෙලාවේ එයා කරපු දේ බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “මෝසෙස් ඔවුන් කී කාරණය ගැන යෙහෝවා දෙවිගෙන් විමසුවේය.” (ගණන් කතාව 27:5) අවුරුදු 40ක් පුරා මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා වෙලා හිටියත් එයාගේ හැකියාවෙන්, පළපුරුද්දෙන් ප්‍රශ්නේ විසඳන්න හදනවා වෙනුවට නිහතමානීව දෙවිගෙන් උපකාර ඉල්ලුවා.
මෝසෙස් කවදාවත් බලයට කෑදර වුණේ නැහැ. එයාට තිබුණා වගේ බලතල යෙහෝවා දෙවියන් අනිත් අයටත් දුන්නම එයා ඒ ගැන හුඟක් සතුටු වුණා. (ගණන් කතාව 11:24-29) තවත් අවස්ථාවක එයාට තිබුණු වැඩ රාජකාරි අනිත් අය එක්ක බෙදාගන්න කියලා එයාගේ මාමණ්ඩි කිව්වම එයා ඒ විදිහට කළා. (නික්මයාම 18:13-24) ඒ වගේම කාලයක් පුරා ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට හිටිය මෝසෙස්, යෙහෝවා දෙවිට කිව්වා එයා වෙනුවට වෙන කෙනෙක්ව නායකයා විදිහට පත් කරන්න කියලා. දෙවියන් යෝෂුවාව පත් කළාම එයා මෝසෙස්ට වඩා බාල කෙනෙක් වුණත් මෝසෙස් එයාට සහයෝගය දුන්නා. යෝෂුවාගේ නායකත්වයට කීකරු වෙන්න කියලා සෙනඟටත් කිව්වා. (ගණන් කතාව 27:15-18; ද්විතීය කතාව 31:3-6; 34:7) ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා හැටියට සෙනඟට මඟ පෙන්වන්න ලැබීම ගැන මෝසෙස් සතුටු වුණත් එයාට ඕන වුණේ තමන්ගේ බලතල රැකගන්නවට වඩා සෙනඟට යහපතක් වෙනවා දකින්නයි.
අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
අපිට තියෙන බලතල, හැකියාවන් හින්දා කවදාවත් ආඩම්බර වෙන්න හොඳ නැහැ. යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන දේවල් හොඳට කරන්න පුළුවන් වෙන්නේ අපි නිහතමානී නම් විතරයි. (1 සාමුවෙල් 15:17) අපි කොච්චර පළපුරුදු අය වුණත් අපිට හැකියාවන් තිබුණත් අපි නිහතමානී නම් “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න” කියන උපදෙස අදාළ කරගන්නවා.—හිතෝපදේශ 3:5, 6.
තනතුරු, බලතල ගැන ලොකුවට හිතන්නේ නැතුව ඉන්න මෝසෙස් අපිට හොඳ ආදර්ශයක්.
මෝසෙස් වගේ අපිත් නිහතමානී වුණොත් අනිත් අයට අපිත් එක්ක පෑහිලා ඉන්න ලේසියි. ඒ වගේම අනිත් අයගේ හිත දිනාගන්නත් අපිට පුළුවන්. නිහතමානී වුණොත් ලැබෙන වටිනාම ආශීර්වාදය යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙන එකයි. නිහතමානී දෙවි කෙනෙක් වන යෙහෝවා “උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි” කියලා බයිබලයේ කියලා තියෙනවා. (ගීතාවලිය 18:35; 1 පේතෘස් 5:5) එහෙමනම් මෝසෙස් වගේ නිහතමානී වෙන්න උත්සාහ කරන එක කොච්චර වැදගත්ද!