ජීවිත කතාව
ඕනෙම පැවරුමක් භාරගන්න අපි කැමැත්තෙන් හිටියා
මම කවදාවත් තනියම දේශනා සේවයේ ගිහිං තිබුණේ නැහැ. ඒ නිසා මම සේවයේ ගිය හැම දවසකම මගේ කකුල් වෙව්ලුවා. ඒ මදිවට ඒ පැත්තේ හිටපු මිනිස්සු මං කියපු පණිවිඩය අහන්න කැමති වුණෙත් නැහැ. සමහරු මට ගහනවා කියලත් භය කළා. මම පුරෝගාමි සේවය කරපු පළවෙනි මාසයටම බෙදුවේ එක පොත් පිංචයක් විතරයි.—මාකස්.
මම ඒ විස්තර කළේ 1949දී සිදු වුණ දෙයක්. මම ඉපදුණේ 1927දී. අපේ පවුලේ ළමයි හත්දෙනයි. මම හතරවෙනියා. අපි ජීවත් වුණේ නෙදර්ලන්තයේ පුංචි ගමක. අපේ තාත්තගේ නම හෙන්ඩ්‍රික්. එයා රස්සාවට කළේ සපත්තු හදන එකයි ගෙවතුවල වැඩ කරන එකයි. අපේ අසල්වැසියන් හුඟදෙනෙක්ට තිබුණේ ගොවිපොළවල්. මට අවුරුදු 19ක් වෙනකොට අපේ අසල්වැසියෙක් වුණ තියූනිස්ගෙන් මට සත්‍යය ගැන දැනගන්න ලැබුණා. ඒ 1947දී. මුලින් මට තියූනිස්ව මුණගැහුණ වෙලාවේදී මම එයාට ඒ තරම් කැමති වුණේ නැහැ. හැබැයි දෙවන ලෝක යුද්ධයෙන් ටික කාලෙකට පස්සේ එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණා. ඊටපස්සේ එයා කරුණාවන්ත මිත්‍රශීලී කෙනෙක් වුණ නිසා ඒ වෙනස වුණේ කොහොමද කියලා මට දැනගන්න ඕනෙ වුණා. මේ පොළොව පාරාදීසයක් වෙනවා කියලා එයා මට කියද්දී මටත් සාක්ෂිකරුවෙක් වෙන්න ඇති වුණේ ලොකු ආශාවක්. එදා ඉඳලා අපි දෙන්නා හොඳ යාළුවෝ.a
මම 1948 මැයි මාසයේ දේශනා සේවයේ යන්න පටන්ගත්තා. ජූනි 20වෙනිදා මම ඕරිච්වල පවත්වපු සමුළුවකදී බව්තීස්ම වුණා. මම පුරෝගාමි සේවය පටන්ගත්තේ 1949 ජනවාරි 1වෙනිදා. මට පැවරුම ලැබුණේ කිලෝමීටර් 130ක් විතර ඈතින් පිහිටි බෝකුලෝවල තිබුණ පොඩි සභාවකට. එහෙට මගේ බයිසිකලේ යන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඒත් එදා තද වැස්සත් හුළඟත් තිබ්බ නිසා මට දිගටම බයිසිකලේ යන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා ඉතුරු කිලෝමීටර් 90 කෝච්චියේ ගියා. අන්තිමට පැය හයකින් යන්න පුළුවන් වෙයි කියලා හිතපු ගමනට පැය 12ක්ම ගියා!
යුද්දේ ඉවර වුණ මුල් කාලේ මිනිසුන්ට එච්චර බඩුමුට්ටු තිබුණේ නැහැ. මටත් තිබුණේ සූට් එකකුයි කොට කලිසමකුයි විතරයි. සූට් එක මට ලොකු වැඩියි. කොට කලිසම හොඳටම කොටයි! මේ ලිපියේ මුලින් කිව්ව විදිහට මම බෝකුලෝවල ගත කරපු මුල් මාසය මට හරිම අමාරු වුණා. ඒත් යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසා මට බයිබල් පාඩම් ගොඩක් හම්බ වුණා. එහේ මාස නවයක් සේවය කළාට පස්සේ ඇම්ස්ටර්ඩෑම්වල සේවය කරන්න මට අලුත් පැවරුමක් ලැබුණා.
ගමෙන් නගරයට
ගමක හැදුණ වැඩුණ මම, නෙදර්ලන්තයේ ලොකුම නගරය වුණ ඇම්ස්ටර්ඩෑම්වලට ගියා. එහේ සේවය හරි සාර්ථකයි. මම කලින් මාස නවයේදී දීපු සඟරා පොත් පත්වලට වඩා වැඩි ප්‍රමාණයක් පළවෙනි මාසයේදිම දුන්නා. වැඩි කාලයක් යන්න කලින් මට බයිබල් පාඩම් අටකුත් ලැබුණා. වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක වුණාම මට මගේ පළවෙනි බයිබල් දේශනය දෙන්න නියමිත වෙලා තිබුණා. මට නම් ඒ ගැන තිබුණේ ලොකු භයක්. ඒත් ඒ දේශනය දෙන්න කලින් වෙන සභාවකට මට පැවරුමක් ලැබුණා. දේශනය දෙන්න බැරි වුණ එක නම් මට ලොකු සහනයක්! ඒත් ඉදිරියේදී දේශන 5,000කටත් වඩා වැඩියෙන් දෙන්න වෙයි කියලා එදා මම හිතුවේ නැහැ.
ඉහළ: මාකස් (දකුණු කෙළවරේ) 1950දී ඇම්ස්ටර්ඩෑම් ළඟ වීථි සේවය කරමින්
වර්ෂ 1950දී මගේ පැවරුම හාර්ලම්වලට මාරු කළා. ඊටපස්සේ චාරිකා සේවයේ යන්න මට ආරාධනයක් ලැබුණා. ඒ ගැන දැනගත්තට පස්සේ දවස් තුනක් විතර මට හරියට නින්ද ගියෙත් නැහැ! ඒ පැවරුම භාරගන්න අවශ්‍ය සුදුසුකම් නැහැ කියලා මට හිතෙනවා කියලා, මම ශාඛා කාර්යාලයේ සේවය කරපු සහෝදර රොබට් වින්ක්ලර්ට කිව්වා. ඒත් එයා මට මෙහෙම කිව්වා. “භය වෙන්නේ නැතුව ෆෝම් එක පුරවලා දාන්න. ඔයා දේවල් කරන විදිහ ඉගෙනගනියි.” ටික කාලෙකට පස්සේ මම මාසයක පුහුණුවක් ලබලා චාරිකා සේවය පටන්ගත්තා. එහෙම යනකොට එක සභාවක මට හම්බ වුණා, යෙහෝවා දෙවිට ගොඩක් ආදරේ කරන, දෙවි වෙනුවෙන් ඕනෙම කැප කිරීමක් කරන්න කැමති, නිතරම සතුටින් ඉන්න තරුණ පුරෝගාමි සහෝදරියක්. එයාගේ නම යානි ටාට්කන්. අපි දෙන්නා 1955දී විවාහ වුණා. යානි පුරෝගාමි සේවය පටන්ගත්ත විදිහත් අපි විවාහ වුණාට පස්සේ සේවය කරපු විදිහත් දැන් යානි විස්තර කරයි. ඊටපස්සේ මම මගේ කතන්දරේ ඉතුරු කොටස කියන්නම්.
අපි විවාහ වුණාට පස්සේ
යානි: මගේ අම්මා 1945දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණා. එතකොට මට අවුරුදු 11යි. දරුවෝ තුන්දෙනාටත් බයිබලයේ තියෙන දේවල් කියලා දෙන එක කොච්චර වැදගත්ද කියලා අම්මට තේරුණා. ඒත් තාත්තා සත්‍යයට විරුද්ධ වුණ නිසා තාත්තා ගෙදර නැති වෙලාවේ තමයි අම්මා අපිට බයිබලය ගැන කියලා දුන්නේ.
මම ඉස්සෙල්ලාම ගියේ හේග්වල තිබුණ සමුළුවකට. ඒ 1950දී. ඒකෙන් සතියකට පස්සේ අසන්වල තිබුණ නමස්කාර මධ්‍යස්ථානයේ රැස්වීමකට මම පළමු වතාවට ගියා. ඒ ගැන තාත්තට කොච්චර තරහ ගියාද කිව්වොත් එයා මාව ගෙදරින් එළියට දැම්මා. “ඔයාට පාරේ ඉන්න වෙන්නේ නැහැ” කියලා අම්මා කියද්දී මට තේරුණා සභාවේ සහෝදර සහෝදරියන් මාව බලාගනියි කියලා. මම මුලින් නතර වුණේ ළඟ හිටපු සාක්ෂිකාර පවුලක් එක්කයි. ඒත් තාත්තා මට ගොඩක් කරදර කරපු නිසා මම කිලෝමීටර් 95ක් විතර ඈතින් තිබුණ ඩෙවන්ටර්වල සභාවකට ගියා. මම බාල වයස්කාර දරුවෙක් නිසා මාව ගෙදරින් එළියට දැම්මට බලධාරීන්ගෙන් තාත්තට ප්‍රශ්න ආවා. ඒ නිසා තාත්තා මට ආපහු ගෙදර එන්න කිව්වා. මගේ තාත්තා කවදාවත් සාක්ෂිකරුවෙක් වුණේ නැහැ. ඒත් පස්සේ රැස්වීම්වලට යන්නත් සේවයේ යන්නත් මට නිදහස දුන්නා.
පහළ: යානි (වම් කෙළවරේ) 1952දී සහායක පුරෝගාමි සේවය කරමින්
මම ගෙදර ඇවිල්ලා ටික කාලෙකින් අම්මා හොඳටම අසනීප වුණා. ඒ නිසා ගෙදර වැඩ ටික කරන්න වුණේ මට. ඒ වුණත් මම සත්‍යය තුළ දිගටම දියුණු වෙලා 1951දී බව්තීස්ම වුණා. එතකොට මට අවුරුදු 17යි. අම්මා සනීප වුණාට පස්සේ, ඒ කියන්නේ 1952දී තවත් පුරෝගාමි සහෝදරියන් තුන්දෙනෙක් එක්ක මම සහායක පුරෝගාමියෙක් විදිහට මාස දෙකක් සේවය කළා. ඒ කාලයේ අපි නවාතැන් ගන්න පුළුවන් විදිහට හදපු බෝට්ටුවක නැවතිලා, ඩ්රෙන්ත්වල තිබුණ පුංචි නගර දෙකක දේශනා කළා. මම 1953දී ස්ථාවර පුරෝගාමියෙක් වුණා. අවුරුද්දකට පස්සේ තරුණ චාරිකා සේවකයෙක් අපේ සභාවට ආවා. ඒ තමයි මාකස්. විවාහ වෙලා යෙහෝවා දෙවිට මීට වඩා වැඩියෙන් සේවය කරන්න අපි කැමති වුණා. (දේශ. 4:9-12) අපි දෙන්නා 1955 මැයි මාසයේදී විවාහ වුණා.
දකුණ: අපි විවාහ වුණේ 1955දී
මාකස්: අපිට මුලින්ම වේන්ඩාම්වල පුරෝගාමි සේවය කරන්න පැවරුමක් ලැබුණා. අපි හිටපු කාමරේ දිග අඩි දහයයි පළල අඩි හතයි. ඒත් යානි කාමරේ ලස්සනට තියාගත්තා. හැමදාම රෑට අපි අපේ පොඩි මේසයයි පුටු දෙකයි පැත්තකට කරලා, බිත්තියටම හේත්තු කරලා හදපු ඇඳ පහත් කරලා නිදාගත්තා.
මාස හයකට පස්සේ බෙල්ජියමේ චාරිකා සේවය කරන්න අපිට ආරාධනයක් ලැබුණා. ඒ රටේ 1955දී හිටියේ ප්‍රචාරකයන් 4,000ක් වගේ සංඛ්‍යාවක් විතරයි. දැන් ඒ සංඛ්‍යාව හය ගුණයකින් වැඩි වෙලා! බෙල්ජියමේ උතුරට වෙන්න පිහිටි ෆ්ලන්ඩර්වල ඉන්න අය නෙදර්ලන්තයේ කතා කරන භාෂාවම තමයි කතා කරන්නේ. ඒත් ඒගොල්ලන් වචන උච්චාරණය කරන විදිහ හරි වෙනස්. ඒ නිසා මුලදී අපිට ඒක අභියෝගයක් වුණා.
යානි: චාරිකා සේවය කරන්න නම් හුඟක් කැප කිරීම් කරන්න ඕනෙ. අපි සභාවලට ගියේ අපේ බයිසිකල්වල. නතර වුණේ සහෝදරයන්ගේ ගෙවල්වල. අපේම කියලා ගෙයක් තිබුණේ නැති නිසා අපි සඳුදත් සහෝදරයන්ගේ ගෙවල්වල ඉඳලා අඟහරුවාදා ඊළඟ සභාවට ගියා. ඒත් අපි හැම වෙලේම අපේ පැවරුම සැලකුවේ යෙහෝවා දෙවිගෙන් ලැබුණ ආශීර්වාදයක් විදිහටයි.
මාකස්: අපිට ඒ සහෝදර සහෝදරියන්ව හමු වුණේ මුල් වතාවට වුණත් එයාලා අපිට හොඳට සැලකුවා. (හෙබ්‍රෙ. 13:2) ඊළඟ අවුරුදු කිහිපය පුරා අපි බෙල්ජියමේ, ලන්දේසි භාෂාව කතා කරන සභා හැම එකකටම කිහිප වතාවක්ම ගියා. ඒ කාලය තුළ අපිට හුඟක් ආශීර්වාද ලැබුණා. එක ආශීර්වාදයක් තමයි ඒ සභාවල සහෝදර සහෝදරියන්ව දැන හඳුනා ගන්න ලැබුණ එක. එයාලා අපේ හොඳ යාළුවන් වුණා. දරුවන් සිය ගණනක් යෙහෝවා දෙවිට තම ජීවත කැප කරලා සේවයට මුල් තැන දෙනවා දකින්නත් අපිට පුළුවන් වුණා. ඒ අයගෙන් හුඟක් අය පූර්ණකාලීනව යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන එකත් අපිට ලොකු සතුටක්. (3 යොහ. 4) ඒ විදිහට ‘එකිනෙකාව දිරිගන්වන්න’ පුළුවන් වුණ නිසා අපේ පැවරුම මුළු හදවතින්ම ඉටු කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.—රෝම 1:12.
අභියෝගයක් වුණත් ආශීර්වාදයක්
මාකස්: විවාහ වුණ දවසේ ඉඳලම අපි හරි ආශාවෙන් හිටියේ ගිලියද් පාසැලට යන්න. ඒ නිසා හැමදාම අඩු තරමින් පැයක්වත් අපි ඉංග්‍රීසි ඉගෙනගත්තා. ඒත් පොත් පත්වලින් විතරක් ඉංග්‍රීසි ඉගෙනගන්න අමාරු නිසා නිවාඩු කාලය එංගලන්තයේ ගත කරන්න අපි හිතුවා. එහේ දේශනා සේවයේදී අපි ඉංග්‍රීසියෙන් කතා කළා. අන්තිමේදී 1963දී බෘක්ලින්වල තියෙන අපේ ලෝක මූලස්ථානයෙන් අපිට ලියුම් දෙකක් ලැබුණා. එකක් යානිට එකක් මට. මට මාස දහයක් පුරා පවත්වපු විශේෂ ගිලියද් පාසැලකට ආරාධනා කරලා තිබුණා. ඒ පාසැලේ මූලික අරමුණ වුණේ සහෝදරයන්ට සංවිධානයේ කටයුතු ගැන විශේෂ පුහුණුවක් ලබා දීමයි. ඒ පාසැලට ආරාධනය ලැබුණ 100දෙනාගෙන් 82ක්ම සහෝදරයන්.
යානි: මට තිබුණ ලියුමේ මගෙන් අහලා තිබුණේ, මාකස් ගිලියද් පාසැලට ගිහින් එනකල් බෙල්ජියමේ නතර වෙලා වැඩ කරන්න පුළුවන්ද කියලා, යාච්ඤා කරලා හිතලා බලන්න කියලයි. මම දරපු උත්සාහයට යෙහෝවා දෙවි ආශීර්වාද කළේ නැද්ද කියලා හිතුණ නිසා මට මුලින් ටිකක් දුක හිතුණා. ඒත් මම ගිලියද් පාසැලේ අරමුණ ගැන හිතුවා. ඒ තමයි දේශනා සේවය ලෝක ව්‍යාප්තව කරන්න අවශ්‍ය පුහුණුව ලබා දෙන එක. ඊටපස්සේ මම බෙල්ජියමේ නතර වෙන්න කැමති වුණා. මට අද්දැකීම් ලත් විශේෂ පුරෝගාමීන් දෙන්නෙක් වන ආනා සහ මරීයා කෝල්පර්ට් එක්ක ගෙන්ට් කියන නගරයේ විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවය කරන්න පැවරුමක් ලැබුණා.
මාකස්: ඉංග්‍රීසි භාෂාව තව ටිකක් දියුණු කරගන්න ඕනෙ නිසා පාසැල පටන්ගන්න මාස පහකට කලින් මට බෘක්ලින්වලට එන්න කිව්වා. එහෙදී මම සඟරා පොත් පත් බෙදාහරින අංශයේ සහ සේවා අංශයේ වැඩ කළා. ලෝක මූලස්ථානයේ සේවය කරන්න ලැබුණ එකත්, ආසියාවටයි යුරෝපයටයි දකුණු ඇමරිකාවටයි සඟරා පොත් පත් බෙදාහරින අංශයේ වැඩ කරන්න ලැබුණ එකත්, මට උදව් වුණා අපිට ලෝක ව්‍යාප්ත සහෝදර පවුලක් ඉන්නවා කියන එක මතක තියාගන්න. ඒ කාලයේදී මට සහෝදර ඒ. එච්. මැක්මිලන්වත් අඳුරගන්න ලැබුණා. එයා සහෝදර රසල්ගේ කාලයේ සංචාරක සේවයේ ගිය සහෝදරයෙක්. මම බෘක්ලින්වලට ගිය කාලේ එයා හුඟක් වයසයි. වැඩිය කන් ඇහෙන්නෙත් නැහැ. ඒත් එයා සභාවේ හැම රැස්වීමකටම ගියා. සහෝදරයන් එක්ක ආශ්‍රය කරන්න තියෙන අවස්ථාව අපි කවදාවත් සුළුවෙන් තකන්න හොඳ නැහැ කියන කාරණය මම එයාගෙන් ඉගෙනගත්තා.—හෙබ්‍රෙ. 10:24, 25.
යානි: මාකසුයි මායි සතියට කිහිප වතාවක්ම එකිනෙකාට ලියුම් ලිව්වා. අපි වෙන් වෙලා හිටපු නිසා ලොකු පාළුවක් දැනුණා. ඒත් ගිලියද් පාසැලෙන් ලැබුණ පුහුණුව ගැන මාකස් හිටියේ හරිම සතුටින්. ඒ වගේම සේවයෙන් මමත් ලොකු සතුටක් ලැබුවා. පාසැල ඉවර වෙලා මාකස් ගෙදර එනකොට මට බයිබල් පාඩම් 17ක්ම තිබුණා! මාකස් ආපු ප්ලේන් එක පැය ගාණක් පරක්කු වුණා. අන්තිමට එයා ආවම අපි දෙන්නා බදාගෙන ඇඬුවා. එදායින් පස්සේ අපි කවදාවත් එකිනෙකාගෙන් වෙන් වෙලා නැහැ. අවුරුද්දයි මාස තුනක් වෙන් වෙලා ඉන්න වුණ එක ලොකු අභියෝගයක් වුණත් අපි කරපු කැප කිරීම් වෙනුවෙන් යෙහෝවා දෙවි අපිට ආශීර්වාද කළා.
හැම පැවරුමක් අපිට හරි අගෙයි
මාකස්: අපේ ඊළඟ පැවරුම වුණේ බෙතෙල් සේවයයි. ඒ 1964දී. ඒත් ඒක තාවකාලික පැවරුමක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ. මාස තුනකට පස්සේ ෆ්ලාන්ඩස්වල දිස්ත්‍රික් සේවකයෙක් විදිහට මට පැවරුමක් ලැබුණා. ඇල්සන් සහ එල්ස් විකරස්මා, මිෂනාරිවරුන් විදිහට බෙල්ජියමට ආවාම දිස්ත්‍රික් සේවයේ යන්න එයාලට පැවරුමක් ලැබුණා. අපිට ආයෙත් බෙතෙල් එකේ සේවය කරන්න ආරාධනා කළා. එහෙදී මම සේවා අංශයේ වැඩ කළා. අපි 1968 ඉඳන් 1980 වෙනකල් සංචාරක සේවයෙත් බෙතෙල් එකෙත් මාරුවෙන් මාරුවට වැඩ කළා. අන්තිමේදී 1980 ඉඳන් 2005 වෙනකල් මම ආයෙත් දිස්ත්‍රික් සේවකයෙක් විදිහට සේවය කළා.
අපේ පැවරුම නිතර නිතර වෙනස් වුණත් අපි අපේ ජීවිතය කැප කළේ යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කරන්නයි කියන කාරණය අපි කවදාවත් අමතක කළේ නැහැ. පැවරුමේ වෙනසක් ඇති වුණත් එහෙම වුණේ දෙවිගේ රාජ්‍යයේ කටයුතු ව්‍යාප්ත කිරීම වෙනුවෙනුයි කියන විශ්වාසය අපිට තිබුණා. ඒ නිසා අපිට ලැබුණ හැම පැවරුමකින්ම අපි ලොකු සතුටක් ලැබුවා.
යානි: ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට පුහුණුව ලබන්න, මාකස් 1977දී බෘක්ලින්වලටත් 1997දී පැටසන්වලටත් ගිය අවස්ථාවලදී එයත් එක්ක මටත් යන්න ලැබුණ එක ගැන මම හුඟක් සතුටු වුණා.
අපිට අවශ්‍ය දේ යෙහෝවා දෙවි දන්නවා
මාකස්: යානිට 1982දී ශල්‍යකර්මයකට මුහුණ දෙන්න වුණත් එයා ඉක්මනින්ම සනීප වුණා. අවුරුදු තුනකට පස්සේ ලියුවන් සභාවේ සහෝදරයන් එයාලගේ නමස්කාර මධ්‍යස්ථානයේ ඉහළ මහලේ තිබුණ අංග සම්පූර්ණ කාමරයක පදිංචි වෙන්න අපිට අවස්ථාව දුන්නා. අපිටම කියලා පුංචි තැනක අපි පදිංචි වුණේ අවුරුදු 30කට පස්සෙයි. අඟහරුවාදා දවසේ අපි චාරිකා සේවේ යන්න ලෑස්ති වෙනකොට මට අපේ බඩු පල්ලෙහාට ගෙනියන්න කිහිප වතාවක්ම පඩි 54ක් බහින්නයි නඟින්නයි වුණා. ඒ නිසා 2002දී පහළ මහලේ කාමරයක පදිංචි වෙන්න පුළුවන් වුණ එක අපිට ලොකු සහනයක් වුණා. මට වයස අවුරුදු 78ක් වුණාම ලොකරා කියන නගරයේ විශේෂ පුරෝගාමි සේවය කරන්න අපිට පැවරුමක් ලැබුණා. දිගටම පූර්ණකාලීන සේවය කරන්නත් හැමදාම සේවයේ යන්නත් පුළුවන් වෙලා තියෙන එක ගැන අපිට හරි සතුටුයි.
“අපි සේවය කරන්නේ කොහේද, කරන්නේ මොන වගේ පැවරුමක්ද කියන එක අපිට වැදගත් වුණේ නැහැ. වැදගත් වුණේ අපි සේවය කරන්නේ කාටද කියන එක විතරයි”
යානි: අපි දෙන්නා පූර්ණකාලීන සේවය කරපු කාලය එකට එකතු කළා නම් අවුරුදු 120කටත් වඩා වැඩියි. ඒ කාලය තුළ “ඔබට කිසි දෙයකින් අඩුවක් වෙන්න ඉඩ තැබුවේ නැහැ” කියලත් ‘මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැහැ’ කියලත් යෙහෝවා දෙවි දීලා තියෙන පොරොන්දු ඉටු වෙනවා අපි අද්දැකලා තියෙනවා.—ද්වි. 2:7; හෙබ්‍රෙ. 13:5.
මාකස්: තරුණ කාලේ ඉඳන්ම අපි අපේ ජීවිත යෙහෝවා දෙවිට කැප කළා. අපි ලොකු දේවල් හෙව්වේ නැහැ. අපි සේවය කරන්නේ කොහේද, කරන්නේ මොන වගේ පැවරුමක්ද කියන එක අපිට වැදගත් වුණේ නැහැ. වැදගත් වුණේ අපි සේවය කරන්නේ කාටද කියන එක විතරයි. ඒ නිසා අපිට ලැබුණ ඕනෙම පැවරුමක් අපි සතුටින් භාරගත්තා.
a කාලයක් යද්දී මගේ තාත්තයි අම්මයි අක්කයි මල්ලිලා දෙන්නෙකුයි සාක්ෂිකරුවන් වුණා.