ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 11/15 10-14 පි.
  • ඉවසීමෙන් බලා ඉමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉවසීමෙන් බලා ඉමු
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඉවසිල්ලෙන් බලා සිටි මීකා
  • බලා සිටි කාලය අවසන්
  • දෙවිගේ ඉවසීම අගය කරමු
  • යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම ගමන් කරමු!
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාගේ සේවකයන්ට සැබෑ බලාපොරොත්තුවක් තිබේ
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අනාගතවක්තෘ මීකා අපිට ආදර්ශයක්!
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 11/15 10-14 පි.

ඉවසීමෙන් බලා ඉමු

“මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.”—මීකා 7:7.

ඔබේ පිළිතුර මොකක්ද?

  • මීකාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

  • ඉදිරියේදී සිදු වෙන්න තියෙන්නේ මොන වගේ සිදුවීම්ද?

  • යෙහෝවා දෙවිගේ ඉවසීම අපි අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

1. ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න එක අතහැරලා දාන්න සමහරුන්ට හිතෙන්නේ ඇයි?

යේසුස් 1914 රජ වීමත් එක්කම සාතන්ව සහ ඔහුගේ භූතයන්ව පොළොවට හෙළුවා. (එළිදරව් 12:7-9 කියවන්න.) සාතන් දන්නවා දැන් ඔහුට ඉතුරු වෙලා තියෙන්නේ “ඉතා කෙටි කාල පරිච්ඡේදයක්” විතරයි කියලා. (එළි. 12:12) ඒත් ඒ ‘කෙටි කාලය’ හිතුවට වඩා දිගයිනේ කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඔබටත් එහෙම හිතිලා තියෙනවද?

2. මේ ලිපියෙන් අපි පිළිතුරු දැනගන්නේ මොන ප්‍රශ්නවලටද?

2 දෙවිගේ විනිශ්චය දවස එනකල් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න පුරුදු වෙන එක හරිම වැදගත්. බලාපොරොත්තු අත්හැරලා වැඩ කළොත් අපි අතින් වැරදි දෙයක් වුණත් වෙන්න පුළුවන්. ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න අපිට උදව් වෙන්නේ මොනවද? ඒ ගැන තේරුම්ගන්න අපිට උදව් වෙන ප්‍රශ්න තුනකට පිළිතුරු මේ ලිපියෙන් බලමු. (1) ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න එක ගැන මීකාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? (2) බලාගෙන හිටපු කාලය අවසන් කියලා පැහැදිලි වෙන්නේ ඉදිරියේදී වෙන කුමන සිද්ධීන් එක්කද? (3) දෙවිගේ ඉවසීම අගය කරනවා කියලා අපිට පෙන්වන්න පුළුවන් කොහොමද?

ඉවසිල්ලෙන් බලා සිටි මීකා

3. මීකාගේ කාලයේදී ඊශ්‍රායෙලයේ තිබුණේ මොන වගේ තත්වයක්ද?

3 මීකා 7:2-6 කියවන්න. ඊශ්‍රායෙල්වරුන්ට දෙවි ගැන තිබුණ විශ්වාසය දවසින් දවසම නැති වෙනවා මීකා දැක්කා. ආහස් රජුගේ කාලයේදී ඔවුන්ගේ තත්වය පහත්ම අඩියට වැටුණා. හරියට කටු පඳුරකින් මිනිසුන්ට තුවාල වෙනවා වගේ ඊශ්‍රායෙල්වරුන් එකිනෙකාට සලකපු විදිහ නිසා බොහෝදෙනෙක් වේදනා වින්දා. ඔවුන් තමන්ගේ පවුලේ අයටවත් කිසිම සෙනෙහසක් දැක්වුවේ නැහැ. ඒ තත්වය වෙනස් කරන්න තමන්ට බැහැ කියලා තේරුම්ගත්ත මීකා, ඒ ගැන දෙවිට යාච්ඤා කළා. දෙවි නියමිත කාලයේදී ඒ වෙනුවෙන් යමක් කරයි කියන එක ගැන නම් මීකාට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු ඉවසිල්ලෙන් බලාගෙන හිටියා.

4. අපි මුහුණ දෙන්නේ මොන වගේ ප්‍රශ්නවලටද?

4 අද අපි ජීවත් වෙන්නෙත් ‘ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන, තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති’ මිනිසුන්ගෙන් වට වුණ සමාජයක. (2 තිමෝ. 3:2, 3) එකට වැඩ කරන අය, පාසැලේ එකට ඉගෙනගන්න අය, අසල්වාසීන් ආත්මාර්ථකාමී විදිහට වැඩ කරද්දී ඒක අපිට ලොකු පීඩනයක්. අපි අතර ඉන්න සමහරුන්ට පවුලේ අයගෙන් එන පීඩාවලටත් මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. “මා ආවේ මිනිසෙකු තම පියා සමඟද දුව ඇගේ මව සමඟද අලුතෙන් විවාහ වූ ස්ත්‍රිය ඇගේ නැන්දම්මා සමඟද භේද කරවීමටයි. ඇත්තෙන්ම මිනිසෙකුගේ සතුරන් වන්නේ ඔහුගේම පවුලේ සාමාජිකයන්.” (මතෙ. 10:35, 36) ඒ වචන මීකා 7:6 තියෙන වචනවලට සමානයි. දෙවිට සේවය කරන්නේ නැති පවුලේ අය අපිව විහිළුවට ගද්දී, පීඩා කරද්දී ඒක දරාගන්න අමාරුයි. ඔබ ඉන්නෙත් ඒ වගේ තත්වයක නම් අධෛර්යය වෙනවා වෙනුවට දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න. දෙවි තත්වය හොඳ අතට ගේනකල් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න. දිගටම දෙවිට යාච්ඤා කරලා උදව් ඉල්ලනවා නම් ඔහුට විශ්වාසවන්තව ඉන්න අවශ්‍ය ශක්තිය හා ප්‍රඥාව ඔහු ඔබට ලබා දෙනවා.

5, 6. ඉවසීමෙන් බලාගෙන හිටපු මීකාට දෙවි ආශීර්වාද කළේ කොහොමද? මීකා ඉටු වෙනවා දැක්කේ නැත්තේ ඔහු කියපු මොන අනාවැකියද?

5 මීකා ඉවසිල්ලෙන් බලාගෙන හිටපු නිසා ඔහු දෙවිගේ ආශීර්වාද අද්දැක්කා. දුෂ්ට ආහස් රජුගෙත් ඔහුගේ පාලනයෙත් අවසානය ඔහු දැක්කා. ආහස් රජුගේ පුතා හෙසකියා රජ, ආයෙත් මිනිසුන්ව දෙවි වෙතට ළං කරන්න වැඩ කරනවා මීකා දැක්කා. ඇසිරියානුවන් ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යය යටත් කරගද්දී සමාරිය ගැන ඔහු කියපු අනාවැකියේ ඉටු වීම දකින්නත් ඔහුට අවස්ථාව ලැබුණා.—මීකා 1:6.

6 ඒත් මේ අනාවැකියේ ඉටු වීම නම් ඔහු දැක්කේ නැහැ. “අවසාන කාලයේදී, යෙහෝවා දෙවිගේ ගෘහය පිහිටි කන්ද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවනු ලබන්නේය. එය සියලුම කඳුවලටත් හෙල්වලටත් වඩා ඉහළින් පිහිටුවනු ලබන්නේය. ඒ කාලයේදී ජනයා වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය. එතැනට යන බොහෝ ජාතීහු මෙසේ කියන්නෝය. ‘ජනයෙනි, එන්න. අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු.’” (මීකා 4:1, 2) වටේ ඉන්න අය මොනවා කළත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න එක මීකාගේ අධිෂ්ඨානය වුණා. ඒ නිසයි ඔහු මෙහෙම ලිව්වේ. “අන් අය තම තමන්ගේ දෙවිවරුන්ගේ කැමැත්තට අනුව ජීවත් වුණත් අපි සදහටම අපේ දෙවි වන යෙහෝවාගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙමු.” (මීකා 4:5) යෙහෝවා දෙවිගේ හැම පොරොන්දුවක්ම ඔහු ඒ විදිහටම ඉටු කරනවා කියලා ලොකු විශ්වාසයක් තිබුණ නිසා අමාරු කාලවලදීත් මීකා ඉවසිල්ලෙන් බලාගෙන හිටියා.

7, 8. (අ) දෙවිව විශ්වාස කරන්න අපිට තියෙන හේතු මොනවද? (ආ) කාලය ඉක්මනින්ම ගෙවෙනවා කියලා දැනෙන්නේ අපි මොනවා කළොත්ද?

7 දෙවිව විශ්වාස කරන්න අපිටත් මොන තරම් නම් හේතු තියෙනවද! මීකා නොදැකපු ඒ අනාවැකියේ ඉටු වීම අද අපි දකිනවා. හැම ජාතියකටම, ගෝත්‍රයකටම, භාෂාවකටම අයත් මිලියන ගාණක්දෙනා “යෙහෝවා දෙවිගේ ගෘහය පිහිටි කන්ද” වෙතට එනවා. ඒ අතරින් සමහරු එකිනෙකාට වෛර කරන, යුද්ධ කරන ජාතීන්වලට අයත් අයයි. ඒත් ඔවුන් දැන් ‘යුද්ධයට පුහුණු වන්නේ නැහැ.’ ඒ වෙනුවට “ඔවුහු තමුන්ගේ කඩුවලින් නගුල්” හදාගන්නවා. (මීකා 4:3) යෙහෝවා දෙවිගේ සාමකාමී සෙනඟට අයත් කෙනෙක් වෙන්න ලැබීම මහත් ගෞරවයක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

8 අපි හැමෝටම ඕනෙ දෙවි මේ දුෂ්ට සමාජයට ඉක්මනින්ම අවසානයක් ගේනවා දකින්නයි. ඒත් දෙවි ඒක කරනකල් ඉවසීමෙන් බලාගෙන ඉන්න නම් අපි දෙවි හිතන විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනෙ. මිනිසුන්ව විනිශ්චය කරන්න දෙවි දැනටමත් යේසුස්ව පත් කරලා තියෙනවා විතරක් නෙවෙයි ඒක කරන දවසත් නියම කරලා ඉවරයි. (ක්‍රියා 17:31) ඒත් ඒ දවසට කලින් “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුම” ලබාගෙන ඒ අනුව ජීවිත වෙනස් කරගන්න දෙවි මිනිසුන්ට තවමත් අවස්ථාව දීලා තියෙනවා. (1 තිමෝති 2:3, 4 කියවන්න.) මේ දුෂ්ට සමාජය අවසාන වෙන්න තියෙන්නේ තව ටික දවසයි. ඒ නිසා මිනිසුන්ගේ ජීවිත තියෙන්නේ අනතුරේ. දෙවි ගැන ඉගෙනගන්න මිනිසුන්ට උදව් කරන්න අපි වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා නම් ඒ ටික දවසත් ඉක්මනින්ම ගත වෙනවා කියලා අපිට දැනෙයි. තියෙන මේ ටික කාලය මිනිසුන්ට දෙවි ගැන කියලා දෙන්න වැය කරපු එක ගැන විනාශය ආපු දාට අපිට සතුටු වෙන්න පුළුවන්.

බලා සිටි කාලය අවසන්

9-11. 1 තෙසලෝනික 5:3හි සඳහන් අනාවැකිය ඉටු වෙලාද? පැහැදිලි කරන්න.

9 1 තෙසලෝනික 5:1-3 කියවන්න. ඉතාමත් ළඟදී ජාතීන් “සාමය සහ සුරක්ෂිතභාවය” කියන ප්‍රකාශය කරනවා. පරෙස්සම් වුණේ නැත්නම් අපිත් ඒකට රැවටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි “අවදිව සිටිමින් හොඳ සිහිකල්පනාවෙන් සිටිමු.” (1 තෙස. 5:6) ඉදිරියේදී ඒ වැදගත් ප්‍රකාශය කරන්න පාර කැපුණ සිදුවීම් කිහිපයක් දැන් අපි බලමු.

10 ලෝක මහා යුද්ධ දෙකේදීම සාමයේ අවශ්‍යතාව මිනිසුන්ට තදින්ම දැනුණා. මුලින්ම ජාතීන්ගේ සංගමයත් ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඔවුන් පිහිටුවාගත්තේ ඒ නිසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ලෝකෙට ඇත්තටම සාමය ගෙනෙයි කියලා මිනිසුන් බලාපොරොත්තු වෙනවා. ලෝක ආණ්ඩු විතරක් නෙවෙයි ආගමික නායකයනුත් ඒ දේ විශ්වාස කරනවා. උදාහරණයකට එක්සත් ජාතීන්ගේ සංවිධානය 1986 ජාත්‍යන්තර සාම වර්ෂය කියලා නම් කළා. ඒක අනුමත කරමින් හුඟක් දේශපාලන හා ආගමික නායකයන් කතෝලික ආගමේ නායකයත් එක්ක එකතු වෙලා සාමය පතා යාච්ඤා කළා.

11 ඒත් ඒ වසරේ සාමය ගැන කරපු ඒ ප්‍රකාශයවත් සාමය ගැන කරපු වෙනත් ප්‍රකාශයන්වත් 1 තෙසලෝනික 5:3හි සඳහන් අනාවැකියේ ඉටු වීම නෙවෙයි. මොකද ‘හදිසි විනාශයක්’ තාමත් සිදු වෙලා නැහැ.

12. “සාමය සහ සුරක්ෂිතභාවය” කියන ප්‍රකාශය ගැන අපි දන්නේ මොනවද?

12 “සාමය සහ සුරක්ෂිතභාවය” ගැන නිවේදනය කවුරුන් කරයිද? ක්‍රිස්තියානියයි කියාගන්න ආගම් ඇතුළු වෙනත් ආගම්වල නායකයන් ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ආණ්ඩු ඒකට කොහොම සම්බන්ධ වෙයිද? ඒ හැම විස්තරයක්ම බයිබලයේ නැහැ. ඒත් අපි එක දෙයක් දන්නවා. ඒ නිවේදනය කොහොම කළත් ඒක ඇත්තටම වෙනවා වගේ පේන්න තිබුණත් “සාමය සහ සුරක්ෂිතභාවය” ගේන්න මිනිසුන්ට නම් බැහැ. ඒකට හේතුව සාතන්ගේ පාලනය යටතේ තියෙන මේ දුෂ්ට සමාජය ගොඩගන්න බැරි තරමට පිරිහිලා අවසන්. අපි දේශපාලනයට අපේ හිතෙන්වත් සම්බන්ධ වෙන්න හොඳ නැහැ. නැත්නම් සාමය ගැන සාතන් මවාපාන දේ පිළිගන්න අපි පෙලඹෙන්න පුළුවන්.

13. දේවදූතයෝ විනාශය නමැති සුළං නවත්වගෙන ඉන්නේ ඇයි?

13 එළිදරව් 7:1-4 කියවන්න. අපි 1 තෙසලෝනික 5:3 ඉටු වෙනකල් බලාගෙන ඉන්න අතරේ බලවත් දේවදූත පිරිසක් මහත් පීඩාව නවත්වගෙන ඉන්නවා. ඔවුන් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ ‘දෙවිගේ දාසයන්ට’ අවසාන මුද්‍රාව ලැබෙනකල්.a ඒක සිදු වෙලා අවසන් වෙනවත් එක්කම ඔවුන් විනාශය නමැති සුළං මුදාහරිනවා.

14. මහ බැබිලෝනියේ විනාශය අත ළඟයි කියලා දැනටමත් පේන්න තියෙන්නේ කොහොමද?

14 දේවදූතයන් විනාශය නමැති සුළං මුදාහරිනවත් එක්කම දේශපාලන සංවිධාන, අසත්‍යය උගන්වන සියලුම ආගම් විනාශ කරනවා. ඒ දේ සිදු වෙන්න ඉතාමත් ආසන්නයි කියලා දැනටමත් පේන්න තියෙනවා. ඒක නතර කරන්න කාටවත් බැහැ. (එළි. 16:12; 17:15-18; 18:7, 8, 21) මේ වෙනකොටත් ආගම් හා ඒවායේ නායකයන්ව විවේචනය කරමින් විවිධ ප්‍රවෘත්ති පළ වෙනවා. ඒත් තමන් ඉන්නේ අනතුරක කියලා ඔවුන්ට තේරෙන්නේ නැහැ. “සාමය සහ සුරක්ෂිතභාවය” කියන ප්‍රකාශය නිකුත් කළාට පස්සේ අසත්‍යය උගන්වන ආගම් සියල්ල එක සැණින් විනාශ කරනවා. ඒ ඓතිහාසික සිදුවීම වෙන තුරු ඉවසිල්ලෙන් බලන් ඉන්න එක ඇත්තටම වටින්නේ නැද්ද?—එළි. 18:8, 10.

දෙවිගේ ඉවසීම අගය කරමු

15. යෙහෝවා දෙවි ඉවසීමෙන් බලාගෙන ඉන්නේ ඇයි?

15 මිනිසුන් මොන තරම් දෙවිගේ නමට අගෞරව කළත් තමන් නියම කළ කාලය එනකල් යෙහෝවා දෙවි ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. අවංක හදවත් තියෙන කිසිම කෙනෙක් විනාශ වෙනවට අපේ ප්‍රේමණීය දෙවි කැමති නැහැ. (2 පේතෘ. 3:9, 10) අපිට හිතෙන්න ඕනෙත් ඒ විදිහටම නේද? දෙවි ඉවසීමෙන් බලාගෙන ඉන්න එක අපි අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් විදි තුනක් ගැන දැන් බලමු.

16, 17. (අ) දෙවිගෙන් ඈත් වෙලා ඉන්න අයට ආපහු දෙවිට ළං වෙන්න උදව් කරන්න ඕනෙ ඇයි? (ආ) ඒ වගේ කෙනෙක් ඉක්මනින්ම දෙවි වෙතට ළං වෙන්න ඕනෙ ඇයි?

16 (1) දෙවිගෙන් ඈත් වෙලා ඉන්න අයට ආයෙත් දෙවිට ළං වෙන්න උදව් කරමු. නැති වුණ එක බැටළුවෙක්ව හරි හම්බ වුණොත් ස්වර්ගයේ හැමෝම සතුටු වෙනවා කියලා යේසුස් කිව්වා. (මතෙ. 18:14; ලූක් 15:3-7) සමහරු දෙවිට සේවය කරන එක දැන් නවත්වලා තිබුණත් ඔවුන් කාලයක් දෙවිට පෙන්වපු ආදරය, දෙවි වෙනුවෙන් දරපු වෙහෙස දෙවි තාමත් අගය කරනවා. ඒ වගේ කෙනෙක්ට ආයෙත් දෙවිට ළං වෙන්න අපි උදව් කරනවා නම් යෙහෝවා දෙවි වගේම දේවදූතයනුත් ඒ ගැන හුඟක් සතුටු වෙනවා.

17 ඔබත් දෙවිට කාලයක් සේවය කරලා දැන් දෙවිගෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක්ද? සමහරවිට ඔබ දැන් රැස්වීම්වලට යන්නේ නැත්තේ සභාවේ ඉන්න කෙනෙක් ඔබේ හිත රිද්දපු නිසා වෙන්න ඇති. එහෙම වෙලා දැන් කාලයක් ගිහිල්ලත් ඇති. එහෙමනම් මේ ප්‍රශ්න ටික ඔබෙන්ම අහගන්න. ‘මං දෙවිට සේවය කරන එක නැවැත්තුවා කියලා දැන් මගේ ජීවිතය හොඳ අතට හැරිලද? මං දැන් ඉන්නේ සතුටින්ද? මට රිද්දුවේ යෙහෝවා දෙවිද නැත්නම් මං වගේම අඩුපාඩු තියෙන කෙනෙක්ද? මගේ ආදරණීය දෙවි මට රිද්දන, හානියෙක් වෙන දෙයක් කවදා හරි කරලා තියෙනවද?’ මෙහෙමත් හිතන්න. දෙවි හැමදාම අපිට ආදරෙන් සැලකුවේ නැද්ද? අපි දෙවිට සේවය කරනවා කියලා වුණ පොරොන්දුව දැන් කඩ කරලා තිබුණත් දෙවි අපිට දෙන යහපත් දේවල් දෙන්නේ නැතුව ඉන්නවද? (යාකො. 1:16, 17) දෙවිගේ දවස ළඟදීම එනවා කියන එක අමතක කරන්න එපා. අපේ ආදරණීය පියා වෙතට, ඔහුගේ සභාව වෙතට ආයෙත් එන්න කාලය දැන් ඇවිත්. මේ අන්තිම දවස්වල අපිට ඉන්න පුළුවන් හොඳම තැන එතැනයි.—ද්වි. 33:27; හෙබ්‍රෙ. 10:24, 25.

දෙවිගෙන් ඈත් වුණ අයව ආයෙත් දෙවි වෙතට ළං කරන්න අපිට කරන්න පුළුවන් හැම දේම කරමු (16 සහ 17 ඡේද බලන්න)

18. පෙරමුණ ගන්න අයට අපි සහය දෙන්න ඕනෙ ඇයි?

18 (2) පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන්ට සම්පූර්ණ සහය දෙමු. එඬේරෙක් වගේ යෙහෝවා දෙවි අපිට මඟ පෙන්වනවා. අපිව ආරක්ෂා කරනවා. දෙවිගේ රැළ රැකබලා ගන්න ප්‍රධාන එඬේරා විදිහට ඔහු යේසුස්ව පත් කරලා තියෙනවා. (1 පේතෘ. 5:4) ලොව පුරා 1,00,000කටත් වඩා තියෙන සභාවල ඉන්න හැම බැටළුවෙකුවම බලාගන්න වැඩිමහල්ලන්වත් ඔහු පත් කරලා තියෙනවා. (ක්‍රියා 20:28) අපි ඔවුන්ට සම්පූර්ණ සහයෝගය දෙනවා නම් ඒකෙන් පෙන්වන්නේ යෙහෝවා දෙවි හා යේසුස් අපි වෙනුවෙන් කරන දේවල් අගය කරනවා කියන එකයි.

19. සහෝදර සහෝදරියන්ට කිට්ටු වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවද?

19 (3) අපේ සහෝදර සහෝදරියන්ට තව තවත් කිට්ටු වෙමු. හමුදාවක ඉන්න සෙබළුන්ට සතුරන්ගේ හදිසි ප්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා හිතන්න. ඒ වෙලාවට ඔවුන් එකිනෙකාගෙන් වෙන් වෙලා තනියම සටන් කරන්නේ නැහැ. ඔවුන් පුළුවන් තරම් කිට්ටු වෙලා එකා වගේ එකට ඉඳලා සතුරා එක්ක සටන් කරනවා. එතකොට ඔවුන්ට හානියක් කරන්න සතුරට අමාරුයි. අපේ සතුරා වන සාතන් අපිට එල්ල කරන ප්‍රහාරත් එන්න එන්නම වැඩි කරනවා. ඒක අමතක කරලා අපේ සහෝදර සහෝදරියන් සතුරෝ කියලා හිතලා එකිනෙකාට විරුද්ධව සටන් කරන්න මේක කාලය නෙවෙයි. දැන් ඇවිත් තියෙන්නේ එකිනෙකාට තවත් කිට්ටු වෙන්න ඕනෙ කාලයයි. ඒ වගේම එකිනෙකාගේ අඩුපාඩුකම් අමතක කරලා යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න ඕනෙ කාලයයි.

එකිනෙකාට තවත් කිට්ටු වෙලා සාතන්ට සහ ඔහුගේ භූතයන්ට විරුද්ධව සටන් කරමු (19 ඡේදය බලන්න)

20. මේ කාලයේදී අපි කරන්න ඕනෙ මොනවද?

20 අපි ඉවසිල්ලෙන් බලන් ඉන්න මේ කාලයේදී යෙහෝවා දෙවි එක්ක තියෙන අපේ බැඳීම තව තවත් ශක්තිමත් කරගන්න උත්සාහ කරමු. “සාමය සහ සුරක්ෂිතභාවය” කියන ප්‍රකාශය කරන දවස එන තුරුත් අභිෂේක ලත් අයට අවසාන මුද්‍රාව තියලා අවසන් වෙන දවස එන තුරුත් අපි ඉවසිල්ලෙන් බලන් ඉමු. ඒ දේවල් සිදු වුණාට පස්සේ බලවත් දේවදූතයන් හතරදෙනා විනාශය නමැති සුළං මුදාහරියි. මහ බැබිලෝනිය සම්පූර්ණයෙන්ම විනාශ වෙයි. ඒ පුදුමාකාර සිදුවීම් වෙන තුරු ඉවසිල්ලෙන් බලන් ඉන්න අතරේ දෙවිගේ සංවිධානයේ පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන්ගේ මඟ පෙන්වීම්වලට දිගටම යටත් වෙමු. තව තවත් එකිනෙකාට කිට්ටු වෙලා සාතන්ට හා ඔහුගේ භූතයන්ට විරුද්ධව සටන් කරමු. ඒ අතරේ “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා සිටින සියල්ලෙනි, ධෛර්යවත්ව සිටින්න. කිසි දෙයකට භය නොවන්න” කියන වචන නිතරම මතක තියාගමු.—ගීතා. 31:24.

a වැඩි විස්තර දැනගන්න 2007 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ 30-31 පිටු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න