මගේ මුතුන්මිත්තන් ආපහු ජීවත් වෙයිද?
කොරියාවේ පුවත්පතක කුතුහලය අවුස්සන මේ ප්රශ්නය අහලා තිබුණා. “යේසුස් ක්‍රිස්තුස් ගැන කිසිම දෙයක් නොදන්නා ආදරණීය ෂිම් චං නරකාදියට ගියාද?”—The Chosun Ilbo.
කොරියාවේ ජන කතාවක එන ෂිම් චං කාගෙත් සිත් ගත් චරිතයක්. අන්ධ වෙලා හිටිය තාත්තාව ආදරයෙන් රැකබලා ගත්ත ෂිම් චං තාත්තා වෙනුවෙන් ජීවිතය පූජා කරපු ආදර්ශවත් දියණියක්. ඇය ගැන හැමෝටම තිබුණේ හොඳ හැඟීමක්.
බව්තීස්ම වුණු ක්‍රිස්තියානියෙක් වෙලා හිටියේ නැති නිසාම ෂිම් චං වගේ කෙනෙක්ව නරකාදියට දාන එක අසාධාරණයක් කියලයි හුඟදෙනෙකුට හැඟුණේ. හැබැයි ඒ කතාවේ හැටියට ෂිම් චං ජීවත් වෙලා තියෙන්නේ හුඟ කාලෙකට කලිනුයි. යේසුස් ගැන පණිවිඩය ඇය හිටියා කියන ගමට ගිහින් තියෙන්නේ ඊටපස්සේ කාලෙකයි.
පූජකයෙක් එක්ක කරපු සාකච්ඡාවකුත් ඒ පුවත්පතේ තිබුණා. යේසුස් ගැන දැනගන්න අවස්ථාවක් ලැබුණේ නැති හැම කෙනෙක්වම නරකාදියට දානවද කියලා ඔහුගෙන් ඇහුවම ඔහු කිව්වේ මෙහෙමයි. “අපි දන්නේ නැහැ. ඒත් අපි හිතනවා දෙවියන් ඒ වගේ අයට මොනවා හරි සැලසුමක් යොදලා ඇති කියලා.”
ගැලවීමට බව්තීස්මය අවශ්‍යද?
කතෝලික විශ්වකෝෂයක මේ වගේ අදහසක් තියෙනවා. “ගැලවීම ලබන්න බව්තීස්මය අත්‍යවශ්‍යයි. ක්‍රිස්තුස්වහන්සේ පැවසූ ලෙස යමෙකු වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත්, ඔහුට ස්වර්ග රාජ්‍යයට ඇතුල් විය නොහැකියි (ජොහන් 3:5).” (The New Catholic Encyclopedia) මේ නිසා සමහරු විශ්වාස කරන්නේ බව්තීස්ම වෙලා නැති අය මැරුණාම ඒ අයට නරකාදියේ හරි වෙන තැනක හරි දුක් විඳින්න වෙනවා කියලයි.
එහෙම විශ්වාස කරන එක අඥාන දෙයක් කියලා හුඟදෙනෙක් හිතනවා. මොකද බයිබලයේ තියෙන සත්‍යයන් දැනගන්න අවස්ථාවක් ලැබිලා නැති මිලියන ගණන්දෙනා දැනටමත් මිය ගිහින් තියෙනවා. ඒ අය නරකාදියේ දුක් විඳින එක සාධාරණද? බයිබලයේ ඒ ගැන කියන්නේ මොනවාද?
බයිබලයේ කියන දේ
දෙවියන්ගේ කැමැත්ත ගැන නොදැන මැරුණු අයගේ වැරදි ඔහු නොසලකාහරිනවා කියලා මේ බයිබල් පදයෙන් පැහැදිලියි. “මෙතෙක් නොදැනුවත්කමින් කළ දේ අමතක කර දමන්න දෙවි කැමතියි.” (ක්‍රියා 17:30) එහෙමනම් දෙවියන් ගැන දැනුමක් ලැබුණේ නැති අයට තියෙන බලාපොරොත්තුව මොකක්ද?
“ඔබ මා සමඟ පාරාදීසයේ සිටිනවා” කියලා යේසුස් දුන්න පොරොන්දුවෙන් අදහස් කරන්නේ මොකක්ද?
ඒකට උත්තරය යේසුස් තමන් ළඟ හිටපු අපරාධකාරයාට කියපු දෙයින් දැනගන්න පුළුවන්. අපරාධකාරයා යේසුස්ට මෙහෙම කිව්වා. “ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වන විට මාව අමතක කරන්න එපා.” එතකොට යේසුස් කිව්වේ “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා” කියලයි.—ලූක් 23:39-43.
යේසුස් අදහස් කළේ අපරාධකාරයා ස්වර්ගයට යනවා කියලද? නැහැ. මොකද දේවරාජ්‍යයට ඇතුල් වෙන්න නම් කෙනෙක් “අලුත් උපතක්” ලබාගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ වතුරෙන් බව්තීස්ම වෙලා දෙවියන්ගේ බලය ලබාගෙන අලුත් ජීවිතයක් අරඹලා තියෙන්න ඕන කියන එකයි. (යොහන් 3:3-6) ඒ නිසා යේසුස් අපරාධකාරයාට පොරොන්දු වුණේ ඔහුට පාරාදීසයේ නැවත ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා කියලයි. යුදෙව්වෙක් හැටියට අපරාධකාරයාට බයිබලයේ මුල් පොත වන උත්පත්ති පොතේ කතා කරලා තියෙන පාරාදීසය ගැන දැනුමක් තිබුණා. (උත්පත්ති 2:8) පොළොව නැවත පාරාදීසයක් වෙද්දී ආපහු ජීවත් වෙන්න ලැබෙනවා කියන සහතිකය යේසුස් දීපු පොරොන්දුවෙන් ඔහුට තහවුරු වුණා.
“ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව” බයිබලයේ කියනවා. (ක්‍රියා 24:15) ‘අධර්මිෂ්ඨ අයට’ අයත් වෙන්නේ දෙවියන්ගේ ප්‍රතිපත්ති දැනගන්න ලැබුණේ නැති නිසා ඒ අනුව ජීවත් වුණේ නැති අයයි. දෙවියන් ගැන දැනගන්න ලැබුණේ නැති ඒ අපරාධකාරයාවත් මිලියන ගණන් අධර්මිෂ්ඨ අයවත් යේසුස් නැවත නැඟිටුවනවා. ඒ අයට පාරාදීසයේදී දෙවියන්ගේ ප්‍රතිපත්ති ගැන කියලා දෙනවා. ඊටපස්සේ ඔවුන්ට පුළුවන් දෙවියන්ගේ නීතිවලට කීකරු වෙලා තමන් දෙවියන්ට ආදරෙයි කියලා ඔප්පු කරන්න.
අධර්මිෂ්ඨ අයව නැවත නැඟිටුවනවා
අධර්මිෂ්ඨ අයව නැවත නැඟිටෙව්වාම අතීතයේ කරපු වැරදි අනුව ඔවුන්ව විනිශ්චය කරයිද? “මිය ගිය පුද්ගලයා තම පාපයෙන් නිදහස්.” (රෝම 6:7) ඒ කියන්නේ ඔවුන් මැරුණාම ඔවුන් කරපු පව්වලට වන්දිය ගෙවලා ඉවරයි කියන එකයි. ඒ නිසා ඔවුන්ව විනිශ්චය කරන්නේ නැවත නැඟිටුණාට පස්සේ ඔවුන් කරන දේවල් අනුව මිසක් මිය යන්න කලින් කරපු දේවල් අනුව නෙවෙයි.
නැවත නැඟිටෙව්වට පස්සේ අධර්මිෂ්ඨ අයට සංකේතාත්මක අකුළන ලියවිලිවලින් දෙවියන්ගේ නීති හා ප්‍රතිපත්ති ගැන දැනගන්න ලැබෙනවා. ඊටපස්සේ ඔවුන්ගේ “ක්‍රියාවලට අනුව” ඒ කියන්නේ දෙවියන්ගේ නීතිවලට කීකරු වෙනවාද නැද්ද කියන එක මත ඔවුන්ව විනිශ්චය කරනවා. (එළිදරව් 20:12, 13) අධර්මිෂ්ඨ අයට දෙවියන්ගේ කැමැත්ත ඉගෙනගෙන ඔහුට කීකරු වීමෙන් සදාකාල ජීවනය අත් කරගන්න පුළුවන්.
බයිබලයේ තියෙන ඒ ඉගැන්වීම හුඟදෙනෙක්ට තමන්ගේ විශ්වාසය ආපහු ඇති කරගන්න උදව් වෙලා තියෙනවා. මේ අද්දැකීම බලන්න. යං සුග් හැදී වැඩුණේ භක්තිවන්ත කතෝලික පවුලකයි. ඇගේ පවුලේ සමහර අය පූජකයන්. එයාත් කන්‍යා සොහොයුරියක් වෙන්න කන්‍යාරාමයකට බැඳුණා. ඒත් එහේ වෙන දේවල් දැකලා කලකිරුණු යං සුග් එතනින් අයින් වුණා. මිනිසුන්ව නරකාදියක දාලා පුච්චන එක අසාධාරණ, කුරිරු දෙයක් කියලා හිතුව නිසා ඒ වගේ ඉගැන්වීමක් එයා පිළිගත්තේ නැහැ.
දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් එයාට මේ බයිබල් පදය පෙන්නුවා. “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.” (දේශනාකාරයා 9:5) මැරුණු අය ඉන්නේ තද නින්දක කියලත් ඒ අයට අනාගතයේදී නැවත නැඟිටීමක් තියෙනවා කියලත් සාක්ෂිකාරිය තේරුම් කරලා දුන්නා. ඒ නිසා එයාගේ මුතුන්මිත්තන් නරකාදියක දුක් විඳින්නේ නැහැ කියලා යං සුග්ට වටහාගන්න පුළුවන් වුණා.
හුඟක් අය බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් ගැන අහලා නැහැ කියලා තේරුම්ගත්ත යං සුග් යේසුස් කියපු මේ වදන් හිතට ගත්තා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙව් 24:14) දැන් ඇය බයිබලයෙන් ඉගෙනගෙන තියෙන සත්‍යයන් ගැන අනිත් අයට කියනවා.
“දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා”
බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. . . . කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.” (ක්‍රියා 10:34, 35) “ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය” කරන අපේ දෙවියන්ගෙන් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ සාධාරණකමක් නෙමෙයිද?—ගීතාවලිය 33:5.