ඔබ ආදරය කළ මියගිය අය—ඔබ යළිත් ඔවුන් දකිනු ඇත්ද?
ජෝන්ගේ මව මැරුණු විට, ඔහු අවුරුදු නවයක් පමණක් වයස්ව සිටියේය. පසුව, මළගෙදර සිදුවූ දෙය ඔහු මෙසේ මතක් කළේය: “මම ඇය සඳහා කුඩා චිත්‍රයක් ඇඳ, අප සියල්ලන් සඳහා ස්වර්ගයෙහි බලාසිටින ලෙස ඇගෙන් ඉල්ලමින්, කෙටි සටහනක් එහි ලීවා. ඇය සමඟ එය මිනීපෙට්ටියට දමන ලෙස මම එය තාත්තාට දුන්නා, ඇය මියගොස් සිටියත්, එම අන්තිම පණිවුඩය මගෙන් ඇයට ලැබෙන්ට ඇතැයි කියා සිතීමට මම කැමතියි.”—දෙමව්පියෙකු මියයන විට, හැඟෙන ආකාරය, ජිල් ක්රෙමෙන්ට්ස් විසිනි.
ජෝන් සිය මවට ආදරණීය ලෙස ප්‍රේම කළ බවට කිසිම සැකයක් තිබිය නොහැක. ඇගේ හොඳ ගුණාංග විස්තර කිරීමෙන් පසු, ඔහු මෙසේ පැවසීය: “නරක දේවල් ගැන කල්පනා කිරීමට මට වුවමනා නැතුවා විය හැකියි, නමුත් ඇය පිළිබඳව නරක යම්කිසිවක් ගැන මට කල්පනා කළ නොහැකියි. මගේ මුළු ජීවිතය තුළදීම මා මෙතෙක් දැක තිබෙන ලස්සනම කාන්තාව ඇයයි.”
ජෝන් මෙන්, බොහෝ දෙනෙකුට තමන් ආදරය කළාවූ මළවුන් පිළිබඳව ප්‍රිය මතක සටහන් තිබේ, තවද ඔවුන්ව නැවත දැකීමට ඇති චිත්තවේගීය අවශ්‍යතාව ඔවුහු පිළිගනිති. පිළිකාවෙන් මියගිය අවුරුදු 26ක් වයසැති තමාගේ පුත්‍රයා පිළිබඳව, ඊඩිත් මෙසේ පැවසුවාය: “මාගේ පුත්‍රයා යම්තැනක ජීවත්වන බවට විශ්වාස කිරීමට මට අවශ්‍යතාව ඇත, නමුත් කොතැනක සිටිනවාදැයි මා දන්නේ නෑ. මා නැවත වරක් ඔහුව දකීවිද? මා දන්නේ නෑ. නමුත් මට හැකිවනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා.”
සැබවින්ම, මෙම සාමාන්‍ය මිනිස් ආශාව පිළිබඳව මිනිසාගේ ප්‍රේමනීය මැවුම්කරුවාණන් හැඟීමකින් තොරව සිටින්නේ නැත. දශලක්ෂ ගණන් අයවලුන් තමන් ආදරය කළාවූ මළවුන් සමඟ නැවත එක්සත් වන්නාවූ කාලය පැමිණෙනු ඇතැයි යනුවෙන් උන්වහන්සේ පොරොන්දුකර තිබෙනේනේ ඒ නිසාය. මළවුන්ගේ පැමිණෙන නැවත-නැගිටීමක් පිළිබඳ මෙම පොරොන්දුවට සම්බන්ධ යොමු දැක්වීම් රාශියක් දේව වචනයේ ඇතුළත් වේ.—යෙසායා 26:19; දානියෙල් 12:2, 13; හොෂෙයා 13:14; යොහන් 5:28, 29; එළිදරව් 20:12, 13.
ස්වර්ගයට නැවත-නැගුටුවනු ලබන්නෝ කවරහුද?
ජෝන්ගේ ආදරණීය මව ඔහු එන තෙක් ස්වර්ගයෙහි බලාසිටින්නේයයි යන ඔහුගේ බලාපොරොත්තුව අපි සලකා බලමු. බොහෝ පල්ලි යන්නන්ට මෙම බලාපොරොත්තුව හෝ විශ්වාසය තිබේ. එබඳු මත තහවුරු කිරීමට දරන වෑයමක් වශයෙන්, පූජකයෝ හා ඇතැම් සමාජ සේවකයෝ බයිබලයේ පාඨ වරදවා අදාළ කරති.
උදාහරණයක් වශයෙන්, ශෝකවන්නන්ට උපකාර කිරීමෙහි ප්රවිණයෙකු වන, වෛද්යාචාර්ය ඉලිසබත් කියුබ්ලර්රෝස්, ඔන් චිල්රන් ඇන්ඩ් ඩෙත් යන තමාගේ පොතෙහි මෙසේ පැවසුවාය: “මියයෑමෙන් අදහස් කරන්නේ පරණ අබලන්වූ කබායක් අප ඉවතලන්නාසේම, අපගේ ශරීරය ඉවත් කිරීම හෝ එක් කාමරයක සිට තව එකකට මාරුවී යෑම පමණි. දේශනාකාරයා 12:7හි අපට මෙසේ කියවීමට තිබේ: ‘දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයනවා ඇත, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරී යනවා ඇත.’ යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: ‘මා සිටින තැන නුඹලාත් සිටින පිණිස, නුඹලාට ස්ථානයක් පිළියෙළකරන පිණිස මම යමි.’ තවද කුරුසය මත සිටි සොරාට: ‘අදම නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය.’ ”
අප ආදරය කළාවූ අපගේ මළවුන් දැන් ජීවමානව ස්වර්ගයෙහි අප සඳහා බලාසිටින බවක් ඉහත සඳහන් පාඨවලින් සැබෑ ලෙසම අදහස් කරයිද? දේශනාකාරයා 12:7 සමඟ ආරම්භ කරමින්, පාඨ වඩාත් පරෙස්සම් ලෙස අපි සලකා බලමු. පැහැදිලිවම, එම වචන ලියූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයා එම බයිබල් පොතෙහිම තමා ඒවන විටත් සඳහන්කර තිබූ දෙයට පටහැනිවීමට අදහස් කළේ නැත: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති.” (දේශනාකාරයා 9:5) පොදුවේ මනුෂ්‍යවර්ගයාගේ මරණය ගැන ඔහු සාකච්ඡා කරමින් සිටියේය. තමන් අදේවදෘෂ්ටිකයන් යයි ස්ථිර ලෙස කියාපාන සියල්ලන්ම හා තදබල අපරාධකරුවන්, ඔවුන්ගේ මරණයත් සමඟ දෙවියන්වහන්සේ වෙතට ආපසු යනු ඇතැයි කියා විශ්වාස කිරීම සාධාරණද? කිසිසේත්ම නැත. අප හොඳ හෝ නරක කියා අප ගැන කෙසේ සිතාගෙන සිටියත්, සැබවින්ම, අප කිසිවෙකු ගැනවත් එසේ පැවසිය නොහැක. ස්වර්ගයෙහි දෙවියන්වහන්සේ සමඟ අප කිසිවෙකු සිට නොතිබෙන නිසා, අප උන්වහන්සේ වෙතට ආපසු යන්නේයයි පැවසිය හැක්කේ කෙසේද?
එසේ නම්, මරණයේදී ‘ආත්මය [ස්ප්‍රීතුව, NW] ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට ආපසු යන්නේයයි’ පැවසීමෙන් බයිබල් ලේඛකයා අදහස් කළේ කුමක්ද? “ආත්මය [ස්ප්‍රීතුව, NW],” ලෙස පරිවර්තනය කරන ලද හෙබ්‍රෙව් වචනය භාවිතා කිරීමේදී, එක් මනුෂ්‍යයෙකුගෙන් තව කෙනෙකු වෙනස්කොට දක්වන අසහාය යම්කිසිවකට ඔහු යොමු දක්වමින් සිටියේ නැත. ඒ වෙනුවට, දේශනාකාරයා 3:19හි, මිනිසා හා සතුන් යන “සියල්ලන්ටම ඇත්තේ එක හුස්මය [ස්ප්රීතුවය, NW] කියා දේවානුභාවය ලත් එම බයිබල් ලේඛකයා පැහැදිලි කරයි. මිනිසා හා සතුන්ගේ භෞතික ශරීර සකස්වන සෛල තුළ ඇති ජීවන බලය වනාහි “ආත්මය [ස්ප්‍රීතුව, NW]” වශයෙන් ඔහු අදහස් කළ බව පැහැදිලිය. මෙම ආත්මය [ස්ප්‍රීතුව, NW] අපට කෙළින්ම දෙවියන්වහන්සේගෙන් ලැබුණේ නැත. අප පිළිසිඳගත් විට හා පසුව ඉපදුණ විට අපගේ මනුෂ්‍ය දෙමව්පියන්ගෙන් එය අපට ලැබිණ. තවදුරටත්, මරණනයේදී මෙම ආත්මය [ස්ප්‍රීතුව, NW] වචානුසාරයෙන්ම අවකාශය තුළින් ගමන්කොට දෙවියන්වහන්සේ වෙතට ආපසු යන්නේ නැත. ‘ආත්මය [ස්ප්‍රීතුව, NW] ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරී යන්නේය’ යන ප්‍රකාශය වනාහි උපමාලංකාර ප්‍රකාශයකි, ඉන් අදහස් කරන්නේ මැරුණු පුද්ගලයාගේ අනාගත ජීවන බලාපොරොත්තු දැන් දෙවියන්වහන්සේ සමඟ රඳා පවතින බවය. තමන් සිහිකරනු ලබන්නේ කවරකුද සහ අන්තිමේදී නැවත-නැගුටුවන්නේ කවරකුද කියා තීරණය කිරීම උන්වහන්සේට භාරය. ගීතාවලිය 104:29, 30හි බයිබලය මෙය මොනතරම් පැහැදිලි ලෙස දක්වනවාද යන්න ඔබම සැලකිල්ලට ගන්න.
දෙවියන්වහන්සේගේ ආත්ම පුත්‍රයන් වශයෙන් ස්වර්ගික ජීවනයට නැවත-නැගුටුවනු ලබනවා ඇත්තේ මුළුමනින්ම 1,44,000ක් පමණක් වන, ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසවන්ත අනුගාමිකයන්ගේ සීමිත සංඛ්‍යාවක් බවට යෙහෝවඃ දෙවියන්වහන්සේ අරමුණුකොට තිබෙනසේක. (එළිදරව් 14:1, 3) පොළොවෙහි සිටින මනුෂ්‍යවර්ගයාට ආශීර්වාද කිරීම සඳහා මොවුහු ක්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගික ආණ්ඩුවක් සාදති.
මේ ගැන මුලින්ම දැනගත් අයවලුන් වූයේ යේසුස්වහන්සේගේ විශ්වසාවන්ත ප්රේරිතවරුන්ය, ඔවුන්ට උන්වහන්සේ මෙසේ පැවසූසේක: “මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; එසේ නොවූයේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත; මක්නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.” (යොහන් 14:2, 3) මියගියාවූ එම ප්‍රේරිතවරුන්ට හා වෙනත් මුල් ක්‍රිස්තියානින්ට ස්වර්ගික නැවත-නැගිටීමකින් විපාක ලැබීමට යේසුස්වහන්සේගේ පැමිණීම තෙක්, මරණය තුළ සිහිසන් නැතුව බලාසිටීමට සිදුවිය. පළමු ක්‍රිස්තියානි දිවි පුදන්නාවූ, ස්තේපන් “[මරණය තුළ, NW] සැතපුණේය” කියා අපට කියවීමට තිබෙන්නේ ඒ නිසාය.—ක්‍රියා 7:60; 1 තෙසලෝනික 4:13.
පොළොව මත ජීවනයට නැවත-නැගිටීම
තමා අසල මියගියාවූ අපරාධකරුවාට දුන් යේසුස්වහන්සේගේ පොරොන්දුව ගැන කුමක් කිව හැකිද? දෙවියන්වහන්සේ විසින් මෙසියස් කෙනෙකු එවනු ලබන අතර, උන්වහන්සේ විසින් රාජ්‍යයක් පිහිටුවා, පොළොව මත යුදෙව් ජාතියට සාමය හා සුරක්ෂිතභාවය නැවත පිහිටුවනු ඇතැයි කියා එවකට සිටි බොහෝ යුදෙව්වරුන් මෙන්, මෙම මනුෂ්‍යයා විශ්වාස කළේය. (1 රාජාවලිය 4:20-25 සමඟ ලූක් 19:11; 24:21 සහ ක්‍රියා 1:6 සසඳන්න.) මීට අමතරව, රජු වීමට දෙවියන්වහන්සේ විසින් තෝරාගන්නා ලද තැනැත්තා යේසුස්වහන්සේම බවට අපරාධකරුවා ඇදහිල්ල ප්‍රකාශ කළේය. එහෙත්, එම මොහොතේදී, වරදටපත් කළ මනුෂ්‍යයෙකු වශයෙන් යේසුස්වහන්සේගේ මරණය ඉතා ආසන්න නිසා එය සිදුවිය නොහැක්කක් ලෙස පෙනෙන්ට තිබිණ. “සැබවින්ම මම ඔබට කියමි අද, ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටිනු ඇත” යන මෙම වචනවලින් උන්වහන්සේගේ පොරොන්දුව හඳුන්වා දීමෙන් අපරාධකරුවාට යේසුස්වහන්සේ සහතික කළේ ඒ නිසාය.—ලූක් 23:42, 43, NW.
“අද” යන වචනයට පෙර කොමාවක් ඇතුළු කරන බයිබල් පරිවර්තන, යේසුස්වහන්සේගේ වචන තේරුම් ගැනීමට වුවමනා කරන මනුෂ්‍යයන් සඳහා ගැටලුවක් ඇති කරයි. එම දවසේදීම යේසුස්වහන්සේ කිසිම පාරාදීසයකට නොගියසේක. ඒ වෙනුවට, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව නැවත-නැගුටුවනු ලබන තෙක්, දවස් තුනක් සඳහා මරණයෙන් සිහිසන් නැතුව උන්වහන්සේ සැතපී සිටිසේක. යේසුස්වහන්සේගේ නැවත-නැගිටීමෙන් හා ස්වර්ගයට යෑමෙන් පසුව පවා, මනුෂ්‍යවර්ගයා කෙරෙහි රජු වශයෙන් ආණ්ඩු කිරීමට උන්වහන්සේ සඳහා කාලය එළඹෙන තෙක්, තම පියාණන්ගේ දකුණත පැත්තෙහි බලාසිටීමට උන්වහන්සේට සිදුවිය. (හෙබ්‍රෙව් 10:12, 13) ඉක්මනින්ම, යේසුස්වහන්සේගේ රාජ්‍යය පාලනය මනුෂ්‍යවර්ගයාට සහනය පමුණුවා, මුළු පොළොවම පාරාදීසයක් බවට පත්කරනු ඇත. (ලූක් 21:10, 11, 25-31) එවිට උන්වහන්සේ එම අපරාධකරුවාව පොළොව මත ජීවනයට නැවත-නැගුටුවීමෙන් උන්වහන්සේ තම පොරොන්දුව ඔහුට ඉටු කරනවා ඇත. තවද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ නීති සමඟ ඔහුගේ ජීවන-රටාව එකඟත්වයකට ගෙන ඒමට ඇති අවශ්‍යතාව ඇතුළුව, මනුෂ්‍යයාගේ සියලු අවශ්‍යතා සමඟ ඔහුට උපකාර කිරීමේ අර්ථයෙන් යේසුස්වහන්සේ එම මනුෂ්‍යයා සමඟ සිටිනවා ඇත.
බොහෝ දෙනෙකුගේ නැවත-නැගිටීම
එම පසුතැවිලි වූ අපරාධකරුවා සමඟ මෙන්, මනුෂ්‍යයන් වැඩිදෙනෙකුගේ නැවත-නැගිටීම මෙම පොළොව මත සිදුවනු ඇත. මනුෂ්‍යයාව මැවීමෙහි දෙවියන්වහන්සේගේ අරමුණ සමඟ මෙය එකඟය. පළමු මනුෂ්‍යයා සහ ස්ත්‍රිය පාරාදීස උද්‍යානයක තබන ලද අතර, පොළොව යටත්කර ගන්නා ලෙස පවසා තිබිණ. ඔවුන් දෙවියන්වහන්සේට කීකරුව සිටියෙහි නම්, ඔවුන් කිසිවිටකත් මහලු වී මියයන්නේ නැත. දෙවියන්වහන්සේගේ නියමිත කාලයේදී, මුළු පොළොවම යටත්කරනු ලැබ තිබෙන අතර, ආදම් හා ඔහුගේ පරිපූර්ණ පැවතෙන්නන් විසින් ලෝක ව්‍යාප්ත පාරාදීසයක් බවට පත්කරනු ලබනවා ඇත.—උත්පත්ති 1:28; 2:8, 9.
කෙසේවුවද, ආදම් සහ ඒව හිතාමතා පව්කළ බැවින්, ඔවුහු තමන් පිටත්, තමන්ගේ මතු දූදරුවන් පිටත් මරණය පමුණුවා ගත්හ. (උත්පත්ති 2:16, 17; 3:17-19) බයිබලය මෙසේ සඳහන් කරන්නේ ඒ නිසාය: “එක් මනුෂ්‍යයෙකු [ආදම්] කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.”—රෝම 5:12.
උරුමවූ පාපයෙන් නිදහස්ව ඉපදුණේ එක් මනුෂ්‍යයෙකු පමණකි. ඒ වනාහි දෙවියන්වහන්සේගේ පරිපූර්ණ පුත්‍රයාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේය, උන්වහන්සේගේ ජීවිතය යුදෙව් කන්‍යාවක වූ, මරියාගේ ගර්භාශයට මාරුකරනු ලැබිණ. යේසුස්වහන්සේ පාප රහිතව පැවත සිටි අතර, මරා දමනු ලැබීමට සුදුසුව සිටියේ නැත. එමනිසා, උන්වහන්සේගේ මරණයට “ලෝකයේ පාපය” උදෙසා මුදවාගැනීමේ වටිනාකමක් තිබේ. (යොහන් 1:29; මතෙව් 20:28) මෙසේ පැවසීමට යේසුස්වහන්සේට හැකි වන්නේ ඒ නිසාය: “නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.”—යොහන් 11:25.
එසේය, ඔබ ආදරය කළාවූ මළවුන් සමඟ නැවත එක්සත්වීමේ බලාපොරොත්තුව ඔබට තබාගත හැක, නමුත් ඔබගේ මිදුම්කරුවාණන් වශයෙන් යේසුස්වහන්සේ කෙරෙහි ඔබ ඇදහිල්ල පවත්වා, දෙවියන්වහන්සේගේ පත්කරන ලද රජු වශයෙන් උන්වහන්සේට කීකරුවීම මෙයට වුවමනා කෙරේ. ඉක්මනින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය මේ පොළොවෙන් සියලු අයහපත්කම ඉවත්කරනවා ඇත. එහි පාලනයට යටත්වීම ප්‍රතික්ෂේප කරන සියලුම මනුෂ්‍යයන් විනාශ කරනු ලබනවා ඇත. කෙසේවුවද, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ යටත්වැසියන් බේරෙන අතර, මෙම පොළොව පාරාදීසයකට හැරවීමේ වැඩය තුළ ඔවුහු කාර්ය බහුල වන්නෝය.—ගීතාවලිය 37:10, 11; එළිදරව් 21:3-5.
ඊළඟට නැවත-නැගිටීම ආරම්භ වීම සඳහා ප්‍රීතිදායක කාලය උදාවනු ඇත. මළවුන් නැවත පිළිගැනීමට ඔබ එහි සිටිනු ඇත්ද? ඒ සියල්ලක්ම රඳා පවතින්නේ ඔබ දැන් කරන දෙය මතය. තම පුත්‍රයාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන යෙහෝවඃවහන්සේගේ රාජ්‍යයේ පාලනතන්ත්රයට දැන් යටත්වන්නාවූ සියල්ලන්ටම පුදුමාකාර ආශීර්වාද ලැබීමට තිබේ.