මරණයෙන් පසු ජීවිතයක්—කෙසේද, කොතැනකද, කවදාද?
මනුෂ්‍යයාගේ මරණයත් සමඟම ජීවිතය අනිවාර්යයෙන්ම සදාකාලයට අවසන් නොවන බවට, මනුෂ්‍යයාගේ මැවුම්කරුවාණෝ මෙන්ම ජීවිත දායකයාණෝ, තමාගේ පෞද්ගලික සහතිකය ඉදිරිපත් කරනසේක. එපමණක්ද නොව, දෙවියන්වහන්සේ අපට සහතික කරන්නේ, නැවතත් සීමිත ආයු කාලයක් භුක්තිවිඳීමට නොව, කෙදිනකවත් මරණය අත්නොදකින අපේක්ෂාව සමඟින් ජීවත්වීමටයි. ප්‍රේරිත පාවුල් සරලව නමුත් නිසැකකමින් කාරණය පැහැදිලි කළේය: “උන්වහන්සේ [දෙවියන්වහන්සේ] ඒ මනුෂ්‍යයා [ක්‍රිස්තුස් යේසුස්වහන්සේ] මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ.”—ක්‍රියා 17:31.
ඇත්තවශයෙන්ම, උත්තර සපයනු නොලැබූ මූලික ප්‍රශ්න තුනක් තවමත් පවතී: මියගිය කෙනෙකු නැවතත් ජීවනයට පැමිණෙන්නේ කෙසේද? මෙය සිදු වනු ඇත්තේ කවදාද? එම අලුත් ජීවිතයේ පැවැත්ම ඇරඹෙන්නේ කොතැනකද? ලොව පුරාම මෙම ප්‍රශ්නවලට නානාප්‍රකාර උත්තර සපයා තිබෙන මුත්, මේ කාරණයෙහි සත්‍යතාව තීරණය කිරීම සඳහා, මනුෂ්‍යයන් මියයන අවස්ථාවේදී ඔවුන්ට සිදු වන්නේ කුමක්ද යන්න ගැන නිවැරදි ලෙස වටහාගැනීම වැදගත් දෙයක් වේ.
අමරණීයත්වය උත්තරයද?
මනුෂ්‍යයන් සියල්ලන්ගේම යම් කොටසක් අමරණීය බවත්, මියයන්නේ ඔවුන්ගේ ශරීරය පමණක් බවත් යන්න ව්‍යාප්තව පවතින විශ්වාසයකි. ඔබ එවැනි දෙයක් පිළිබඳව අසා ඇති බවට කිසිම සැකයක් නැත. අමරණීයයි පැවසෙන මෙම කොටස, “ප්‍රාණය” හෝ “ආත්මය” හැටියට වෙනස් ආකාරවලින් හඳුන්වා තිබේ. මෙය, ශරීරයට සිදු වන මරණයෙන් බේරී වෙනත් ස්ථානයක දිගටම ජීවත් වන බව පවසනු ලැබේ. අවංකව කියතොත්, එවන් විශ්වාසයක් ආරම්භ වූයේ බයිබලයෙන් නොවේ. ඉපැරණි හෙබ්‍රෙව් බයිබල් චරිත මරණයෙන් පසු ජීවිතයක් කෙරෙහි බලා සිටි බව සැබෑවක් වන මුත්, එය ඔවුන්ගේ ශරීරයේ යම් අමරණීය කොටසක බේරී පැවැත්මක් ලෙස සලකනු ලැබුවේ නැත. නැවත නැඟිටවීම නමැති ප්රාතිහාර්යය මගින්, අනාගතයේදී නැවතත් පොළොව මත ජීවත්වීමේ බලාපොරොත්තුව කෙරෙහි ඔවුහු විශ්වාසයෙන් යුතුව බලා සිටියෝය.
අනාගතයේදී මළවුන්ගෙන් නැවත නැඟිටවීමක් කෙරෙහි ඇදහිල්ලක් තිබූ කැපීපෙනෙන ආදර්ශයකි, පිතෘ මූලිකයා වූ ආබ්‍රහම්. පූජාවකින් තම පුත්‍රයා වන ඊසාක්ව ඔප්පු කිරීමට ආබ්‍රහම් තුළ තිබූ කැමැත්ත විස්තර කරමින්, හෙබ්‍රෙව් 11:17-19 අපට මෙසේ පවසයි: “ආබ්‍රහම් පරීක්ෂාකරනු ලැබූ කල, ඇදහිල්ලෙන් ඊසාක් පූජාකළේය. . . . මළවුන්ගෙන් පවා නැගුටුවන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි ඔහු කල්පනාකොට,” ඊසාක්ව පූජා කිරීම දෙවියන්වහන්සේට අවශ්‍ය නොවූ බැවින් “උපහැරණ වශයෙන් මරණයෙන් ඔහු නැවත ලබාගත්තේය.” (ආත්ම විෂයක ජීවිතයේ අඛණ්ඩ පැවැත්මක් තිබෙනවා වෙනුවට) ඔවුන් පසු කලෙක නැවතත් ජීවනයට පැමිණෙනු ඇති බවට ඉශ්‍රායෙලිතයන් අතර පැවති මුල් විශ්වාසයට තවදුරටත් සාක්ෂි ඉදිරිපත් කරමින්, අනාගතවක්තෘ හොෂෙයා මෙසේ ලීවේය: “මම ඔවුන් මිනීවළේ [ෂෙයෝලයේ, NW] බලයෙන් නිදහස්කරන්නෙමි; ඔවුන් මරණයෙන් මුදාගන්නෙමි.”—හොෂෙයා 13:14.
එසේනම්, මනුෂ්‍යයාට සහජයෙන්ම අමරණීයත්වයක් තිබෙනවායයි සැලකෙන මතය, යුදෙව් චින්තනයට හා විශ්වාසයට ඇතුල් වූයේ කවදාද? “ප්‍රාණයේ අමරණීයත්වය පිළිබඳ මූලධර්මය යුදෙව් ධර්මයට ඇතුල් වූයේ, ග්‍රීක බලපෑම යටතේ විය හැකි බව” එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා පිළිගනී. කෙසේවෙතත්, අනාගතයේදී නැවත නැඟිටවීමක් සිදු වන බව ක්‍රිස්තුස්වහන්සේගේ කාලය දක්වා සිටි භක්තිවන්ත යුදෙව්වරු විශ්වාස කළ අතර, ඒ කෙරෙහි බලා සිටියෝය. මාර්තාගේ සහෝදරයා වූ ලාසරුස්ගේ මරණයේදී, යේසුස්වහන්සේ ඇය සමඟ පැවැත්වූ සංවාදයෙන් මෙය අපට පැහැදිලිව දැකබලා ගත හැක: “එසේ හෙයින් මාර්තා යේසුස්වහන්සේට කියන්නී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා නොමැරෙයි. . . . නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේයයි යේසුස්වහන්සේ ඈට කීසේක. අන්තිම දවසේ නැවත-නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමියි මාර්තා උන්වහන්සේට කීවාය.”—යොහන් 11:21-24.
මළවුන්ගේ තත්වය
මේ අවස්ථාවේදීත්, කාරණය සම්බන්ධයෙන් අනුමාන කිරීමට අපට අවශ්‍යතාවක් නැත. මළවුන් සම්බන්ධයෙන් ඇති සරල බයිබල් සත්‍යය නම්, ඔවුන් කිසිදු හැඟීමක් හෝ දැනුමක් නොමැතිව සිහිය නැතුව “සැතපී” සිටින බවය. බයිබලයෙහි එවන් සත්‍යයක් ඉදිරිපත් කර ඇත්තේ, වටහාගැනීමට අපහසු, සංකීර්ණ ආකාරයකින් නොවේ. තේරුම්ගැනීමට පහසු මෙම ශුද්ධ ලියවිලි පද සලකා බලන්න: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, . . . කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” (දේශනාකාරයා 9:5, 10) “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්. ඔහුගේ හුස්ම නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ.”—ගීතාවලිය 146:3, 4.
එසේනම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණය නින්දක් ලෙස දැක්වූ හේතුව තේරුම්ගත හැකිය. යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් අතර පැවති සංවාදයක් ප්‍රේරිත යොහන් මෙසේ වාර්තා කරයි: “අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය; ඔහු පුබුදුවන පිණිස යමියි [උන්වහන්සේ] ඔවුන්ට කීසේක. එබැවින් ගෝලයෝ උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔහු සැතපී සිටී නම් ඔහුට සුවවේයයි කීවෝය. යේසුස්වහන්සේ කීවේ ඔහුගේ මරණය ගැනය. ඔව්හු, නින්දේ පහසුගැනීම ගැන උන්වහන්සේ කීසේකැයි සිතුවෝය. එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට පැහැදිලිලෙස කථාකොට: ලාසරුස් මැරිලාය.”—යොහන් 11:11-14.
සම්පූර්ණ පුද්ගලයාම නසින්නේය
මනුෂ්‍ය මරණයේ ක්‍රියාවලියට, ශරීරය මියයෑම පමණක් නොව, නමුත් සම්පූර්ණ පුද්ගලයාම ඇතුළත් වේ. පැහැදිලි බයිබල් ප්‍රකාශවලට අනුව, මනුෂ්‍යයාගේ ශරීරයේ මරණයෙන් පසු, බේරී ජීවත් විය හැකි අමරණීය ප්‍රාණයක් ඔහුට නැතැයි යන නිගමනයට අප බැසිය යුතුය. ප්‍රාණයකට මියයෑමට හැකි බව ශුද්ධ ලියවිලි පද පැහැදිලිව අඟවයි. “බලව, සියලුම ප්‍රාණ මට අයිතිය; පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව්කරන ප්‍රාණයම නසින්නේය.” (එසකියෙල් 18:4) “අමරණීය” හෝ “අමරණීයත්වය” යන වචන, මනුෂ්‍යවර්ගයා තුළ සහජයෙන්ම දක්නට ලැබෙන යමක් ලෙස කිසිදු ස්ථානයක සඳහන් කර නැත.
බයිබලයෙහි “ප්‍රාණය” වශයෙන් දක්වා ඇති හෙබ්‍රෙව් සහ ග්‍රීක වචනවල මෙම සිත්ගන්නා පසුබිම, නිව් කැතලික් එන්සයික්ලොපීඩියාහි සැපයේ: “පගි [පරණ ගිවිසුමෙහි] සඳහන් කර ඇති ප්‍රාණය නෙපෙෂ්ය, නගි [නව ගිවිසුමෙහි] එය [සයි·කේʹ] වේ . . . සමහරවිට හුස්ම ගැනීම යන්න අදහස් විය හැකි මුල් වචනයකින් නෙපෙෂ් යන වචනය රැගෙන තිබේ. තවද . . . මළවුන්ගෙන් ජීවත්වන්නන්ව වෙන් කොට හඳුනාගැනීම සඳහා හුස්ම උපකාරවත් වන බැවින්, ජීවිතය හෝ තමාම හෝ එසේ නැතහොත් සරලව පවසනවා නම්, පුද්ගලයාගේ ජීවිතය යන්න නෙපෙෂ් යන වචනයෙන් අදහස් වන්ට විය. . . . පගිහි සඳහන් ශරීරය හා ප්‍රාණයෙහි කිසිදු ද්විධාකරණයක් [කොටස් දෙකකට බෙදීමක්] නැත. ඉශ්රායෙලිතයා දේවල් සැලකුවේ සම්පූර්ණ වූ, නොබෙදිය හැකි දේවල් වශයෙන්ය; මෙසේ ඔහු මිනිසුන්ව සැලකුවේ පුද්ගලයන් හැටියට මිස විවිධ කොටස්වලින් සංයුක්ත වූ පුද්ගලයන් ලෙස නොවේය. නෙපෙෂ් නමැති වචනය, ප්‍රාණය යනුවෙන් අප භාවිත කරන වචනයෙන් පරිවර්තනය කළත්, පුද්ගලයාගේ ශරීරයෙන් නැතහොත් ඔහුගෙන් වෙන් වූ ප්‍රාණයක් යන්න කිසිවිටකත් අදහස් නොකරයි. . . . [සයි·කේʹ] යන යෙදුම නෙපෙෂ් සමඟ අනුරූප වන නගිහි වචනයයි. ජීවිතය පිළිබඳ මූලධර්මය, ජීවිතයම නැතහොත් පණැති ජීවියාවම එයින් අදහස් විය හැක.”
මෙසේ මියයන අවස්ථාවේදී, ඊට පෙර ජීවත්ව සිටි පුද්ගලයා එසේ නැතහොත් ජීවමාන ප්‍රාණය පැවැත්මෙන් තොර වන බව ඔබට තේරුම්ගත හැක. මිහිදන් කර ඉන්පසුව ක්‍රමානුකූලව දිරාපත් වීමෙන් හෝ ආදාහනය කිරීමෙන් ඉතා ඉක්මනින්ම, ශරීරය “දූවිල්ලට” එසේ නැතහොත් පොළොවේ මූලද්‍රව්‍යවලට නැවතත් හැරී යන්නේය. යෙහෝවඃවහන්සේ ආදම්ට මෙසේ පැවසූසේක: “නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) එසේනම්, මරණයෙන් පසු ජීවිතයක් පවතින්නේ කෙසේද? දෙවියන්වහන්සේට මියගිය පුද්ගලයා පිළිබඳ මතකයක් තිබෙන නිසාය. මනුෂ්‍යයන්ව මැවීම සඳහා යෙහෝවඃවහන්සේට ප්රාතිහාර්යමය බලය සහ හැකියාව තිබෙන බැවින්, උන්වහන්සේගේ මතකයෙහි පුද්ගලයෙකුගේ ජීවන රටාව සම්බන්ධයෙන් වාර්තාවක් තබාගැනීමට හැකිවීම පුදුමයක් නොවිය යුතුය. ඔව්, එම පුද්ගලයා නැවතත් ජීවත්වීමේ සෑම බලාපොරොත්තුවක්ම රඳාපවතින්නේ දෙවියන්වහන්සේ මතය.
“ආත්මය” ඒක දුන් සැබෑ දෙවියන්වහන්සේ වෙතට නැවතත් හැරී යන බවට පෙන්වා ඇති විට එම වචනයෙන් අදහස් කරන්නේ එයයි. මෙහි ප්‍රතිඵලය විස්තර කරමින්, දේශනාකාරයා පොතේ දේවානුභාවය ලත් ලේඛකයා මෙසේ පැහැදිලි කරයි: “දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්[නේය], ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්[නේය.]”—දේශනාකාරයා 12:7.
කෙනෙකුව නැවතත් ජීවත් කරවීමට හැක්කේ දෙවියන්වහන්සේට පමණයි. දෙවියන්වහන්සේ ඒදන්හි මනුෂ්‍යයාව මවා, ඔහුගේ නාස්පුඩු තුළට “ජීවනයේ හුස්ම” හෙළූ විට, එමගින් ආදම්ගේ පෙණහලු වාතයෙන් පිරවීමට පමණක් නොව, නමුත් ජීවබලයෙන් ඔහුගේ ශරීරයේ තිබුණාවූ සෛල සියල්ලක්ම ප්‍රාණවත් කරවීමටද යෙහෝවඃවහන්සේ සැලැස්සූසේක. (උත්පත්ති 2:7) පිළිසිඳගැනීමේ සහ උපත ලැබීමේ ක්‍රියාවලියෙන් මෙම ජීවබලය දෙමාපියන්ගෙන් දරුවන්ට උරුම කර දිය හැකි බැවින්, මනුෂ්‍ය ජීවිතය දෙමාපියන් තුළින් පැමිණුණත් එය ඇත්තෙන්ම දෙවියන්වහන්සේගෙන් පැමිණෙන බව හරි ලෙස පැවසිය හැකිය.
නැවත නැඟිටවීම—සන්තෝෂවත් කාලයක්
නැවත නැඟිටවීම, පුනර්භවය සමඟ පටලවා නොගත යුතුය, ශුද්ධ ලියවිලිවල මේ සඳහා කිසිදු අනුබලයක් නොමැත. පුනර්භවය යනු, කෙනෙකු මියගියායින් පසු, ඔහු අඛණ්ඩව පවතින භවයකදී හෝ කිහිපයකදී නැවත ඉපදෙන බවට තිබෙන විශ්වාසයයි. යමෙකුගේ පෙර ජීවිතය හා සැසඳීමේදී, මෙය වඩා උසස් නොහොත් වඩා පහත් තලයක පැවැත්මක් ලෙස සලකනු ලැබේ; කෙනෙකු කලින් ගත කළ එම ජීවිතයේදී ගොඩනඟාගත් බවට කියන වාර්තාව මෙයට බලපාන බව සැලකේ. මේ විශ්වාසයට අනුව, යමෙකු මිනිසෙකු හෝ සතෙකු ලෙස “නැවත ඉපදිය” හැකිය. මෙය බයිබලය උගන්වන දෙයට සම්පූර්ණයෙන්ම පටහැනි වේ.
ඇ·නාʹස්ටා·සිස් නමැති ග්‍රීක් වචනය “නැවත නැඟිටීම” ලෙස පරිවර්තනය කර ඇති අතර, වචනානුසාරයෙන්ම එයින් අදහස් වන්නේ “නැවත නැඟිට සිටීම” යන්නය. (ග්‍රීක් භාෂාව හෙබ්‍රෙව් භාෂාවට පරිවර්තනය කරන්නන්, ඇ·නාʹස්ටා·සිස් දක්වා තිබෙන්නේ ටෙචි·යාත්ʹ හම්·මේ·තිම්ʹ යන හෙබ්‍රෙව් වචනවලිනි; ඒවායෙහි අර්ථය “මළවුන් යළි පණගැන්වීමයි.”) දෙවියන්වහන්සේ ස්වකීය මතකයේ රඳවා සිටි පුද්ගලයාගේ ජීවන රටාව යළි පණගැන්වීම, නැවත නැඟිටීමට ඇතුළත් වේ. එම පුද්ගලයා කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව, ඒ තැනැත්තාට මනුෂ්‍ය ශරීරයක් හෝ ආත්ම ශරීරයක් දෙනු ලැබුවත්, ඔහු තම පෞද්ගලික අනන්‍යතාව තවමත් රැකගෙන සිටී; එනම් මියගිය විට ඔහුට තිබූ පෞද්ගලිකත්වය හා මතක සටහන් තවමත් ඔහුට තිබේ.
එසේය, බයිබලය නැවත නැඟිටවීම් වර්ග දෙකක් ගැන කතා කරයි. ආත්ම ශරීරයක් සමඟින් ස්වර්ගයට නැවත නැඟිටීමට ලැබීම ඉන් එකකි; මෙය සාපේක්ෂ වශයෙන් සුළු සංඛ්‍යාවකට සීමා වී තිබේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එවැනි නැවත නැඟිටවීමක් ලැබූසේක. (1 පේතෘස් 3:18) විශ්වාසවන්ත ප්‍රේරිතයන් පටන්, උන්වහන්සේව අනුගමනය කරන්නාවූ අනුගාමිකයන් අතුරින් තෝරාගත් කිහිපදෙනෙකුට එවැන්නක් අද්දැකීමට ලැබෙන බව උන්වහන්සේ ඇඟවූ අතර, උන්වහන්සේ එම ප්‍රේරිතයන්ට මෙම පොරොන්දුව දුන්සේක: “නුඹලාට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි. . . . මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.” (යොහන් 14:2, 3) බයිබලය මෙය මුලින්ම සිදු වන, තත්වයෙන් උසස්, “පළමුවෙනි නැවත-නැගිටීම” හැටියට හඳුන්වයි. මෙසේ ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටීම ලබන අය, දෙවියන්වහන්සේගේ පූජකයන් හැටියටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ රජවරුන් හැටියටත් පාලනය කරන බව ශුද්ධ ලියවිලි විස්තර කරයි. (එළිදරව් 20:6) මෙම “පළමුවෙනි නැවත-නැගිටීම” සීමිත සංඛ්‍යාවකට පමණක් වන අතර, විශ්වාසවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් අතුරින් 1,44,000දෙනෙකු මේ සඳහා තෝරාගෙන ඇති බව ශුද්ධ ලියවිලි හෙළි කරයි. තමන්ගේ ඇදහිල්ල පිළිබඳව වෙනත් අයට සාක්ෂිදැරීම සම්බන්ධයෙන් ක්‍රියාශීලීව සිටීමෙන් ඔවුන් තම මරණය දක්වාම, යෙහෝවඃ දෙවියන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට තමන්ගේ අඛණ්ඩතාව ඔප්පු කර තිබෙනු ඇත.—එළිදරව් 14: 1, 3, 4
ස්වර්ගික ජීවිතයක් සඳහා නැවත නැඟිටවනු ලබන අය සඳහා, මළවුන්ගේ නැවත නැඟිටවීම අප්‍රමාණ සන්තෝෂයේ කාලයක් වන බවට කිසිදු සැකයක් නැත. එහෙත් එම සන්තෝෂය එතැනින් අවසන් වන්නේ නැත; මන්දයත්, මේ පොළොවේ ජීවිතය සඳහාත් නැවත නැඟිටවීමක් පොරොන්දු වී තිබෙන බැවිනි. නැවත නැඟිටුවනු ලබන අය, වත්මන් දුෂ්ට පිළිවෙළේ අවසානයෙන් බේරී ජීවත් වන අසංඛ්‍යාත ගණනක් හා එක්වනු ඇත. ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටවනු ලැබීමට සුදුසුකම් ලබන සුළු සංඛ්‍යාව දැකීමෙන් පසු, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහය[කගේ]” දර්ශනයක් ප්‍රේරිත යොහන්ට දෙන ලදි. මිලියන ගණනක්, සමහරවිට බිලියන ගණනක් පොළොව මත යළි ජීවනයට පැමිණෙන විට, එය මොනතරම් සන්තෝෂවත් කාලයක් වනු ඇද්ද!—එළිදරව් 7:9, 16, 17.
එය සිදු වනු ඇත්තේ කවදාද?
අදදින තත්වයට සමානව, සතුරුකම, ලේ වැගිරවීම්, පරිසර දූෂණ සහ සාහසිකකම්වලින් පිරුණාවූ පොළොවකට මළවුන් නැවත නැඟිටවනු ලැබුවහොත්, පවතින්නාවූ ඕනෑම ප්‍රීතියක් හා සන්තෝෂයක් වැඩි කල් නොපවතිනු ඇත. “අලුත් පොළොවක්” පිහිටුවන තෙක් නැවත නැඟිටවීම සිදු නොවනු ඇත. පොළොවත් එහි මුල් අලංකාරයත් නාස්ති කිරීමට හා පොළොවෙහි වැසියන් කෙරෙහි කියා නිම කළ නොහැකි දුක් වේදනා ගෙන දීමට යොමු වී තිබෙන පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් පිරිසිදු වූ පොළෝතළයක් සිතේ මවාගන්න.—2 පේතෘස් 3:13; එළිදරව් 11:18.
මනුෂ්‍යවර්ගයාගේ පොදු නැවත නැඟිටවීම තවමත් ඉදිරියෙහි තිබෙන බව පැහැදිලිය. එහෙත් එය නුදුරින් තිබීම ශුභාරංචියකි. මෙම වත්මන් දුෂ්ට දේවල පිළිවෙළෙහි අවසානය වන තෙක් එය සිදු නොවන බව සැබෑය. කෙසේවෙතත්, “මහත් පීඩාව” හදිසියෙන්ම ආරම්භ වීමට කාලය අත ළඟ බව සාක්ෂි බොහොමයකින් ඔප්පු වන අතර, මෙය අර්මගෙදොන් ලෙස පොදුවේ යොමු දක්වා තිබෙන “සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධය” සමඟින් උච්චාවස්ථාවකට පත් වනු ඇත. (මතෙව් 24:3-14, 21; එළිදරව් 16:14, 16) මෙමගින් මේ රමණීය පෘථිවි ග්‍රහයාගෙන් සියලුම දුෂ්ටකම් ඉවත් කරනු ලබනවා ඇත. ඉන් අනතුරුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහස් අවුරුදු පාලනය පැමිණෙනු ඇති අතර, මේ කාලයේදී පොළොව ක්‍රමානුකූලව පාරාදීසමය තත්වයකට පත් කරනු ලබනවා ඇත.
මළවුන්ගේ නැවත නැඟිටවීම මෙම දහස් අවුරුදු පාලන සමයේදී සිදු වනු ඇති බව බයිබලය හෙළි කරයි. එවිට, යේසුස්වහන්සේ පොළොව මත සිටියදී පැවසූ මේ පොරොන්දුව ඉටු වනු ඇත: “මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, . . . නැවත-නැගිටීමටත් පිටත්ව එන්නෝය.”—යොහන් 5:28, 29.
නැවත නැඟිටවීමේ බලාපොරොත්තුවේ බලපෑම
මළවුන් නැවතත් ජීවනයට පැමිණෙන කාලයක් වන, නැවත නැඟිටවීමේ මෙම අපේක්ෂාව, අනාගතය සඳහා මොනතරම් මවිතකර බලාපොරොත්තුවක්ද! වයස්ගත වීම, අසනීප වීම, අනපේක්ෂිත විපත්ති සහ ශෝකය හේතුවෙන් අද්දකින දුෂ්කරතාවලට හා දෛනික ජීවිතයේ පීඩන මෙන්ම ගැටලුවලට අප මුහුණ දෙන විට, එය අපට මොනතරම් දිරිගැන්වීමක්ද! දුක සම්පූර්ණයෙන් ඉවත් නොකළත්, එය මරණයෙන් ඇති වන දැඩි වේදනාව ඉවත් කරමින්, අනාගතය සඳහා කිසිදු බලාපොරොත්තුවක් නොමැති අයගෙන් අපව වෙන් කරවයි. නැවත නැඟිටවීමේ බලාපොරොත්තුව අපට සැනසීම ගෙන දෙන බවට වූ කාරණය ප්‍රේරිත පාවුල් මෙම වදන්වලින් ඒත්තුගත්තේය: “සහෝදරයෙනි, බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස, සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව. මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණුසේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ කරණකොටගෙන, සැතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙනසේක.”—1 තෙසලෝනික 4:13, 14.
ප්‍රාචීන දේශයක විසූ මිනිසෙකු වන යෝබ් විසින් නිරීක්ෂණය කරන ලද තවත් දෙයක සත්‍යතාවක් අප දැනටමත් අද්දැක තිබෙනවා විය හැක: “මනුෂ්‍යයා නරක් වූ දෙයක් සේ ක්ෂයවන්නේය, කාවුන් කෑ වස්ත්‍රයක් මෙන් වන්නේය. ස්ත්‍රියකගෙන් උපන් මනුෂ්‍යයා, ටික දවසක් පවතින කනස්සලුවලින් පූර්ණ වූ කෙනෙකි. ඔහු මලක් මෙන් විකසිත වී පර වී යන්නේය; පලායන සෙවණැල්ලක් මෙන්, ඔහු දිගටම නොපවතින්නේය.” (යෝබ් 13:28-14:2, නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්) ජීවිතයේ අවිනිශ්චිතබව මෙන්ම අපෙන් ඕනෑම කෙනෙකුට “කාලයත් හදිසි කාරණාත්” ඇති විය හැකි බවට වූ අප්‍රිය යථාර්ථය පිළිබඳව අපිද අවබෝධයෙන් සිටිමු. (දේශනාකාරයා 9:11) මියයෑමේ ක්‍රියාවලියට මුහුණ දීමේ අදහස අප කිසිවෙකුගේ සතුටට කාරණයක් නොවන බව සහතිකය. කෙසේවෙතත්, මරණය කෙරෙහි ඇති අතිමහත් බිය ඉවත් කිරීමට, නැවත නැඟිටවීම පිළිබඳව ඇති සැබෑ බලාපොරොත්තුව උපකාරවත් වෙයි.
එබැවින් ධෛර්යවත් වන්න! මරණයෙන් සිදු වන සැතපී සිටීමට වඩා ඔබ්බට බලා, නැවත නැඟිටවීම නමැති ප්‍රාතිහාර්යයෙන් නැවත ජීවනයට පැමිණීම කෙරෙහි බලා සිටින්න. අවසානයක් නොමැති අනාගත ජීවිතය නමැති අපේක්ෂාව දෙස නිසැකකමින් යුතුව බලා සිටින්න; එවැනි ආශීර්වාදවත් කාලයක් නුදුරු අනාගතයෙහි තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රීති වන්න.