ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 6/1 11-13 පි.
  • පරම්පරා හතකට ලැබුණු දායාදයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පරම්පරා හතකට ලැබුණු දායාදයක්!
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මිනී මස් කන අය අතරේ!
  • වටිනා “රන්”
  • විලියම්ස් මහත්මියගේ පැණි බේරෙන ඇපල්
  • මට ලැබුණු දායාදය
  • දෙවි අපෙන් ඉල්ලන දේ කරද්දී ආශීර්වාදවලින් අඩුවක් නෑ
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බොරු කිවනොහැකි දෙවියන්වහන්සේ විසින් උසුලනු ලැබීම
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සියවසකට පෙර - 1921
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 6/1 11-13 පි.
ජෙෆ්රි සහ ජැනිස් විලියම්ස්, කෙවින් සහ කැත්රින් විලියම්ස්

ජීවිත කතාව

පරම්පරා හතකට ලැබුණු දායාදයක්!

කෙවින් විලියම්ස්

හුඟක් අය කියනවා මං තාත්තා වගේ කියලා. ඉරියව්, ඇස්, හිනාව මේ හැම දෙයක්ම තාත්තාගේ වගේමයි. හැබැයි ඊටත් වඩා වටිනා දෙයක් එයාගෙන් ලැබුණා. ඒක පරම්පරා හතකටම ලැබුණු දායාදයක්. ඒ ගැන මම දැන් කියන්නම්.

තාත්තායි පුතායි එකතු වෙලා පවුලේ පරණ පින්තූර බලනවා

පරම්පරා හතකට ලැබුණු දායාදය ගැන තාත්තා මට කියනවා

මගේ කතාව පටන්ගන්නම් පරම්පරා හතේ මුල්ම කෙනාගෙන්. එයා 1815 ජනවාරි 20වෙනිදා එංගලන්තයේ හෝන්කාස්ල් නගරයේ ඉපදුණ තොමස් (1)a විලියම්ස්. අවුරුදු දෙකකට පස්සේ එයාගේ අම්මා මැරුණා. එයාවයි, නංගිවයි, මල්ලිලාවයි බලාගත්තේ එයාලගේ තාත්තා ජෝන් විලියම්ස්. එයා තොමස්ට වඩු වැඩ ඉගැන්නුවා. ඒත් තොමස් කැමති වුණේ වෙනත් දේකට.

ඒ කාලෙදී එංගලන්තේ පුරා ආගම ගැන ලොකු උනන්දුවක් ඇති වෙලා තිබුණා. ජෝන් වෙස්ලි කියන දේවගැතිවරයා එංගලන්ත සභාවෙන් ඈත් වෙලා මෙතෝදිස්ත සභාව පිහිටෙව්වා. මෙතෝදිස්ත සභාව මූලික තැන දුන්නේ බයිබලය අධ්‍යයනය කරන්නයි ප්‍රචාරය කරන්නයි. වෙස්ලිගේ ඉගැන්වීම් ළැව් ගින්නක් වගේ පැතිරෙද්දී විලියම්ස්ගේ පවුලේ අය ඒ ඉගැන්වීම් පිළිගත්තා. තොමස් විලියම්ස් දේශනා කරන්නත් පටන්ගත්තා. පැසිෆික් සාගරයේ දකුණේ තියෙන දූපත්වලට ගිහින් දේශනා කරන්න එයා එක පයින් කැමති වුණා. 1840 ජූලි මාසයේදී එයයි එයාගේ බිරිඳ, ඒ කියන්නේ මේරියි (2) ෆීජිවලට අයිති ලාකේබා දූපතටb ගියා. ඒක ගිනි කඳු තියෙන, මිනී මස් කන අය හිටිය තැනක්.

මිනී මස් කන අය අතරේ!

ෆීජිවල හිටිය මුල් කාලෙදී තොමස් සහ මේරි දුෂ්කර දේවලට මුහුණ දුන්නා. එයාලා තද අව්වේ පැය ගණන් වැඩ කළා. ගෝත්‍රික යුද්ධ, වැන්දඹුවන්ගේ බෙලි මිරිකලා මරලා දාන එක, ළදරුවන්ව මරන එක, මිනී මස් කන එක වගේ භයානක දේවලුත් දැක්කා. ඒ මිනිස්සු එයාලගේ පණිවිඩයත් ප්‍රතික්ෂේප කළා. මේරියි එයාගේ වැඩිමල් පුතා ජෝනුයි මරණාසන්න වෙන තරමටම ලෙඩ වුණා. 1843දී තොමස් මෙහෙම ලිව්වා. “මට දරාගන්න බැරි වුණා. . . . මං හොඳටම කලකිරුණා.” ඒත් යෙහෝවා දෙවියන්ව විශ්වාස කරපු නිසයි එයාටයි මේරිටයි විඳදරාගන්න පුළුවන් වුණේ.

ඔය අතරේ තොමස් වඩු කාර්මිකයෙක් හැටියට ලැබුව පුහුණුවෙන් ප්‍රයෝජන අරන් පහසුකම් තියෙන ගෙයක් යුරෝපීය තාලෙට හදන්න පටන්ගත්තා. ගෙබිම උස්සලා හැදුව නිසා වාතාශ්‍රය හොඳින් ලැබුණා. ඒක දකිද්දී ෆීජි වැසියන්ගේ කුතුහලය ඇවිස්සුණා. මේරිට දෙවෙනි පුතාව හම්බ වුණේ ගේ හදලා ඉවර වෙන්න කලින්. එයා තොමස් විට්න් (3) විලියම්ස්. අපේ පරම්පරාවේ ඊළඟ කෙනා එයයි.

එයාගේ තාත්තා 1843දී යොහන් සුවිශේෂය ෆීජි භාෂාවට පරිවර්තනය කරන්න උදව් කළා. ඒක එයාට ලේසි පහසු වැඩක් වුණේ නැහැ.c හැබැයි එයාට මිනිසුන්ගේ ජීවන රටාව තේරුම්ගන්න හොඳ හැකියාවක් තිබුණා. ඒ නිසා ෆීජි හා ඒ අවට හිටිය මිනිසුන් ගැන පොතක් ලිව්වා. ඒක 19වෙනි සියවසේ ජීවත් වුණ ෆීජි වැසියන්ගේ ජීවන රටාව ගැන පැහැදිලි චිත්‍රයක් ලැබෙන වාර්තාවක්.—Fiji and the Fijians (1858).

ෆීජිවල අවුරුදු 13ක් වෙහෙසිලා වැඩ කරපු තොමස් අසනීප වුණ නිසා පවුලේ අය එක්ක ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. දේවගැතිවරයෙක් විදිහට සෑහෙන කාලයක් සේවය කරපු තොමස් 1891දී වික්ටෝරියා ප්‍රාන්තයේ බාලරට් නගරයේදී මිය ගියා.

කෙවින් විලියම්ස් සහ එයාගේ මුතුන්මිත්තන් හිටිය කාලවකවානු

වටිනා “රන්”

තොමස් විට්න් විලියම්ස් සහ එයාගේ බිරිඳ ෆීබි (4) පුංචි දරුවනුත් එක්ක 1883දී බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ගියා. එතකොට එයාලගේ දෙවෙනි ළමයාට වයස අවුරුදු නමයයි. එයා ආතර් බේක්වෙල් (5) විලියම්ස්. ඊළඟ මුතුන්මිත්තා එයායි.

ආතර්ට වයස 22ක් වුණාම දියුණු වෙන්න හිතාගෙන රන් ආකර තියෙන කැල්ගූලි නගරයට ගියා. එහෙදී එයාට ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගේ (යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්) පොත් පත් කියවන්න ලැබුණා. එයා සඟරා මාස්පතා ගෙන්වගත්තා. (Zion’s Watch Tower) කියෙව්ව දේවල් හිතට කොච්චර කාවැදුණාද කියනවා නම් ඒවා අනිත් අය එක්ක බෙදාගන්නත්, රැස්වීම් තියලා උගන්වන්නත් පටන්ගත්තා. බටහිර ඕස්ට්‍රේලියාවේ අද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නේ ඒ පුංචි ආරම්භය නිසයි.

ආතර් දැනගත්ත දේවල් පවුලේ අය එක්කත් බෙදාගත්තා. බයිබල් ශිෂ්‍යයන් එක්ක ආශ්‍රය කරන එකට එයාගේ තාත්තා, තොමස් විට්න් සහයෝගය දුන්නා. ඒත් වැඩි කල් යන්න කලින් තාත්තා මැරුණා. එයාගේ අම්මායි (ෆීබි) නංගිලා දෙන්නායි (වයලට් සහ මේරි) බව්තීස්ම වුණා. වයලට් පූර්ණකාලීන සේවය, ඒ කියන්නේ පුරෝගාමි සේවය පටන්ගත්තා. “බටහිර ඕස්ට්‍රේලියාවේ උද්‍යෝගයෙන් සේවය කරපු හොඳම පුරෝගාමියා ඇයයි” කියලා ආතර් කිව්වා. එයා එහෙම කිව්වේ වයලට් එයාගේ නංගි හින්දා වෙන්න ඇති. ඒත් ඇගේ ආදර්ශය විලියම්ස් පරම්පරාවට ලොකු බලපෑමක් වුණා.

පස්සේ කාලෙක ආතර් විවාහ වෙලා ඩොනිබෘක්වලට ගියා. ඒක බටහිර ඕස්ට්‍රේලියාවේ පලතුරු වැවෙන නගරයක්. එහෙදී එයාට “1914 පිස්සා” කියලා නමක් පටබැඳුණා. ඒකට හේතුව බයිබල් අනාවැකි ඒ අවුරුද්දේ ඉටු වෙනවා කියලා උද්‍යෝගයෙන් දේශනා කරපු නිසයි.d 1වෙනි ලෝක මහා යුද්ධය පටන්ගද්දී ඔහුට කරපු සරදම නැවතුණා. ආතර් එයාගේ වෙළඳසැලට ආගිය අයට සාක්ෂි දැරුවා. බයිබල් පොත් පත් ජනේලෙන් පේන විදිහටත් තිබ්බා. ත්‍රිත්වය බයිබලයට පටහැනියි කියලා ආතර් තරයේ කිව්වා. ත්‍රිත්වය ඔප්පු කරන්න පුළුවන් කෙනෙක්ට ඕස්ට්‍රේලියාවේ මුදලින් පවුම් 100ක් දෙනවා කියලා දැන්වීමකුත් දැම්මා. කාටවත් බැරි වුණා ඒ පවුම් 100 ලබාගන්න!

විලියම්ස්ගේ නිවස බයිබල් පාඩම් සහ සභා රැස්වීම් පවත්වන ප්‍රධාන තැනක් බවට පත් වුණා. ඊටපස්සේ ආතර් බටහිර ඕස්ට්‍රේලියාවේ නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කළා. එයා වයස 70 ගණන්වල හිටියත් ටයි කෝට් ඇඳලා, එයාගේ අශ්වයාගේ පිටේ නැඟලා ඩොනිබෘක් පුරාම දේශනා කළා.

ආතර් හැමෝගෙම හිත දිනාගත්ත තැන්පත් කෙනෙක්. ඒ වුණත් එයා උද්‍යෝගයෙන් සේවය කළා. ඒ ආදර්ශය එයාගේ දරුවන්ට ලොකු බලපෑමක් වුණා. එයාගේ දුව, ෆ්ලොරන්ස් (6) ඉන්දියාවේ මිෂනාරිවරියක් හැටියට සේවය කළා. එයාගේ පුතාලා දෙන්නා, ආතර් ලින්ඩ්සේ (7) සහ තොමස්, තාත්තා වගේම හුඟක් කල් සභාවේ වැඩිමහල්ලන් හැටියට සේවය කළා.

විලියම්ස් මහත්මියගේ පැණි බේරෙන ඇපල්

මගේ තාත්තාගේ සීයා ආතර් ලින්ඩ්සේ විලියම්ස්. එයා හරිම කරුණාවන්ත කෙනෙක්. එයාට හැමෝම ආදරේ වුණා. අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න එයා කොයි වෙලෙත් ලෑස්ති වෙලයි හිටියේ. එයා පොරොවේ වැඩටත් දක්ෂයෙක්. අවුරුදු 12ක් ඇතුළත පොරොවෙන් ශිල්ප දක්වන තරඟ 18ක්ම දිනලා!

හැබැයි ආතර් එයාගේ පුතා කරපු හපන්කමට නම් සතුටු වුණේ නැහැ. පුතාට, ඒ කියන්නේ රොනල්ඩ්ට (8) (මගේ සීයා) ඒ වෙද්දී අවුරුදු දෙකයි. ගේ ළඟ තිබුණු පුංචි ඇපල් ගහට රොනල්ඩ් පොරොවෙන් කෙටුවා. එයාගේ අම්මා ගහේ තුවාල වුණ තැන පටියකින් ඔතලා සාත්තු කළා. පස්සේ ඒ ගහේ හැදුණ පැණි බේරෙන ඇපල්, විලියම්ස් මහත්මියගේ ඇපල් කියලා ප්‍රසිද්ධ වුණා. අද ලෝකේ පුරාම තියෙන ක්‍රිප්ස් පින්ක් ඇපල් ආවේ ඒ ඇපල්වලින්.

පුංචි කාලේ හපන්කමක් කරපු සීයා පස්සේ කාලෙක දෑතේ සවියෙන් වැඩදායක දේවල් කෙරුවා. සීයායි ආච්චියි ඕස්ට්‍රේලියාවේ සහ සොලමන් දූපත්වල සාක්ෂිකරුවන්ගේ ඉදි කිරීමේ ව්‍යාපෘතිවල ස්වේච්ඡා සේවකයන් හැටියට වැඩ කෙරුවා. දැන් සීයාගේ වයස 80ක් වුණත් සභාවේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා. බටහිර ඕස්ට්‍රේලියාවේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්නත් අලුත්වැඩියා කරන්නත් උදව් කරනවා.

මට ලැබුණු දායාදය

මගේ තාත්තායි අම්මායි, ඒ කියන්නේ ජෙෆ්රි (9) සහ ජැනිස් (10) විලියම්ස්, නංගිවයි (කැත්රින් (11)) මාවයි (12) ඇතිදැඩි කළේ ක්‍රිස්තියානි ප්‍රතිපත්ති අනුවයි. මට 13ක් වෙද්දී මම දෙවියන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගත්තා. දවසක් සමුළුවකට ගියාම, සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජෝන් ඊ. බාර් දේශනයක් දෙද්දී යෞවනයන්ට මෙහෙම කිව්වා. “ඕගොල්ලන්ට ලැබිලා තියෙන වටිනාම දේ තමයි යෙහෝවා දෙවියන්ව දැනගෙන ඔහුට ප්‍රේම කරන්න ලැබුණු ප්‍රස්තාව. ඒක නැති කරගන්න එපා.” එදා රෑ මං යෙහෝවා දෙවියන්ට මගේ ජීවිතේ කැප කළා. ඊට අවුරුදු 2කට පස්සේ මම පුරෝගාමි සේවය පටන්ගත්තා.

දැන් මම මගේ බිරිඳ ක්ලොයී එක්ක බටහිර ඕස්ට්‍රේලියාවේ වයඹදිග ප්‍රදේශයේ ටොම් ප්‍රයිස් නගරයේ පුරෝගාමීන් හැටියට සේවය කරනවා. ඒක පතල් තියෙන දුෂ්කර නගරයක්. අපේ අවශ්‍යතා සපුරගන්න අපි අර්ධකාලීන රැකියා කරනවා. මගේ දෙමව්පියනුයි, නංගියි එයාගේ මහත්තයායි (කැත්රින් සහ ඇන්ඩෘ) කිලෝමීටර් 420ක් උතුරින් තියෙන හෙඩ්ලන්ඩ් වරාය අවට පුරෝගාමි සේවය කරනවා. තාත්තායි මායි සභාවේ වැඩිමහල්ලන් හැටියටත් සේවය කරනවා.

පරම්පරා හතේ මුල්ම කෙනා තොමස් විලියම්ස්. එයා යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු නිසා මටත් දෙවියන්ට සේවය කරන්න මටත් අවස්ථාව ලැබුණා. ඒ දායාදය මම හුඟක් අගය කරනවා.

a අංකවලින් දක්වන්නේ එක් එක් කෙනාගේ පින්තූරයි.

b කලින් ඒක හැඳින්නුවේ ලාකෙම්බා කියලයි. ඒක ෆීජිවලට නැඟෙනහිරෙන් තියෙන ලාවෝ දූපත් කාණ්ඩයෙන් එකක්.

c ජෝන් හන්ට් කියන මිෂනාරිවරයා බයිබලයේ ග්‍රීක ලියවිල්ලේ වැඩි හරියක් ෆීජි භාෂාවට පරිවර්තනය කළා. ඒක පළ වුණේ 1847දී. ඒකේ දෙවියන්ගේ නම “යෙහෝවා” කියලා ෆීජි භාෂාවෙන් සඳහන් වෙන එක විශේෂ දෙයක්.

d ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ උපග්‍රන්ථයේ “සුවිශේෂී වසරක් වන 1914” කියන කොටස බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. එය www.pr418.com/si වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න