ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 ඔක්තෝබර් 14-17 පි.
  • යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ආයෙත් ගොඩනඟාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ආයෙත් ගොඩනඟාගන්න
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අභියෝග මොනවාද?
  • සාධාරණ ඉලක්ක තියාගන්න
  • උත්සාහය අත්හරින්න එපා!
  • “වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න”
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අදදින දෙවියන් වහන්සේගේ දයාව අනුකරණය කරන්න
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන්ට ඔයාව හුඟක් වටිනවා!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • වැඩිමහල්ලෙනි, දිගටම පාවුල්ව ආදර්ශයට ගන්න!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 ඔක්තෝබර් 14-17 පි.
විනාශ වුණ ගෙදර ආයෙත් හදන එක ගැන හිතද්දී සහෝදරයාගේ හිතට ලොකු බරක් දැනෙනවා.

යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ආයෙත් ගොඩනඟාගන්න

හැම අවුරුද්දකම යෙහෝවාගේ වටිනා බැටළුවන් ගොඩදෙනෙක් ආයෙත් සභාවන්වලට එකතු වෙනවා. ඒක දකින “ස්වර්ගයේ සිටින දේවදූතයන් කොතරම් ප්‍රීති වෙනවා” ඇද්ද! (ලූක් 15:7, 10) ඔයාත් ඒ විදිහට ආයෙත් සභාවට එකතු වුණ කෙනෙක් නම් ඔයා ගැන යෙහෝවා, යේසුස්, දේවදූතයන් ගොඩක් සතුටු වෙනවා. හැබැයි ඔයා ආයෙත් යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ගොඩනඟාගද්දී සමහර අභියෝගවලට මුහුණ දෙන්න ඔයාට සිද්ධ වෙයි. ඒ මොනවාද? ඒවා ජය ගන්න ඔයාට පුළුවන් කොහොමද?

අභියෝග මොනවාද?

සභාවට ආයෙත් එකතු වුණාට පස්සෙත් සමහර අයට තමන්ගෙන් කිසි වැඩක් නැහැ කියලා හිතෙනවා. එයාලට දැනෙන්නෙත් දාවිත්ට දැනුණා වගේ. එයා කරපු වැරදිවලට යෙහෝවාගෙන් සමාව ලැබිලා තියෙද්දීත් දාවිත් කිව්වා “මා කළ වැරදි මා පිට පැමිණියේය” කියලා. (ගීතා. 40:12; 65:3) කෙනෙක් වැරදි හදාගෙන යෙහෝවා ළඟට ආපහු ආවත් අවුරුදු ගාණක් යන කල්ම එයාට ලොකු ලැජ්ජාවක්, තමන් වටින්නේ නැහැ කියන හැඟීමක් තියෙන්න පුළුවන්. ඉසබෙල්ව අවුරුදු 20කටත් වඩා වැඩි කාලෙකට සභාවෙන් ඉවත් කරලා තිබුණා.a “යෙහෝවා මගේ වැරදිවලට සමාව දීලා කියලා පිළිගන්න මට ගොඩක් අමාරු වුණා” කියලා එයා කියනවා. ඔයා ඒ විදිහට අධෛර්යය වුණොත් යෙහෝවාත් එක්ක තියෙන ඔයාගේ බැඳීම ආයෙත් දුර්වල වෙයි. (හිතෝ. 24:10) එහෙම වෙන්න දෙන්න එපා.

සභාවෙන් ඉවත් කරලා හිටපු කෙනෙක්ට ආයෙත් යෙහෝවාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ගොඩක් දේවල් කරන්න වෙනවා. ඒ හැම දේම කරන්න බැරි වෙයි කියලා හිතලා සමහර අය අධෛර්යය වෙනවා. “මං කලින් නමස්කාරයේ දේවල් කරපු විදිහ දැන් මට සම්පූර්ණයෙන්ම අමතක වෙලා” කියලා ඇන්ට්වාන් කියනවා. ඒ වගේ හැඟීම් නිසා සමහර අය යෙහෝවා වෙනුවෙන් එයාලගේ උපරිමය කරන්න අදිමදි කරනවා.

හිතන්න සුළි කුණාටුවක් නිසා කෙනෙක්ගේ ගෙයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා කියලා. ඒ ගෙය ආයෙත් අලුතෙන් ගොඩනඟන්න කොච්චර කාලයක්, මහන්සියක් දරන්න වෙනවාද කියලා හිතද්දී සමහරවිට එයා අධෛර්යය වෙයි. ඒ වගේ, බරපතළ පාපයක් කරපු නිසා යෙහෝවා දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීමට ලොකු හානියක් වෙලා තියෙනවා නම් ඒ බැඳීම ආයෙත් ගොඩනඟාගන්න ලොකු වෑයමක් දරන්න ඔයාට සිද්ධ වෙයි. ඒ ගැන හිතද්දී සමහරවිට ඔයාත් අධෛර්යය වෙන්න පුළුවන්. හැබැයි ඔයා තනි වෙලා නැහැ. ඔයාට උදව් කරන්න හුඟදෙනෙක් ඉන්නවා.

“ජනයෙනි, එන්න. අපි සාකච්ඡා කර මෙම ප්‍රශ්නය නිරාකරණය කරගනිමු. නැවතත් මා සමඟ හොඳ සබඳතාවක් ඇති කරගන්නා ආකාරය මම ඔබට කියා දෙන්නෙමි” කියලා යෙහෝවා ඔයාට කියනවා. (යෙසා. 1:18) ඔයා දැනටමත් ඒ දේ කරන්න ලොකු වෑයමක් දරලා තියෙනවා. ඒක දෙවියන් ගොඩක් අගය කරනවා. ටිකකට මේ ගැන හිතලා බලන්න. ඔයා දැනටමත් කරලා තියෙන දේවල් නිසා සාතන් කරන චෝදනා බොරුයි කියලා ඔප්පු කරන්න යෙහෝවාට පුළුවන් වෙලා තියෙනවා.—හිතෝ. 27:11.

ඔයා දැනටමත් යෙහෝවාට ළං වෙන්න පියවර අරන් තියෙන නිසා දෙවියනුත් ඔයාට ළං වෙනවා. (යාකො. 4:8) ඔයා ආයෙත් සභාවට එකතු වුණ එක ගොඩක් හොඳයි. හැබැයි ඔයාගේ පැත්තෙන් කරන්න තවත් දේවල් තියෙනවා. ඔයා දිගටම ඔයාගේ ආදරණීය තාත්තාට තවත් ළං වෙන්නත් ඔහු එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නත් මහන්සි වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද?

සාධාරණ ඉලක්ක තියාගන්න

සාධාරණ ඉලක්ක තියාගන්න. යෙහෝවා දෙවියන් ගැන, ඔහු දීලා තියෙන පොරොන්දු ගැන තියෙන ඉගැන්වීම් ඔයාට තාමත් මතක ඇති. හැබැයි සේවේ යන එක, සහෝදර සහෝදරියන් එක්ක ආශ්‍රය කරන එක වගේ ඔයා ඉස්සර කරපු දේවල් ආයෙත් කරන්න ඔයාට පුරුදු වෙන්න සිද්ධ වෙයි. ඔයාට මේ වගේ ඉලක්ක තියාගන්න පුළුවන්.

නිතරම යෙහෝවාට කතා කරන්න. ඔයාගේ හිත වධ දෙන නිසා යාච්ඤා කරන එක ලේසි නැහැ කියලා යෙහෝවා දන්නවා. (රෝම 8:26) ඔයාට එහෙම දැනුණත් ආයෙත් දෙවියන්ට ළං වෙන්න ඔයාට ඕනෙ කියලා ‘නොකඩවාම යාච්ඤා කරලා’ කියන්න. (රෝම 12:12) අන්ද්‍රේ මෙහෙම කියනවා. “මගේ හිත ගොඩක් වධ දුන්නා. ලොකු ලැජ්ජාවකුත් දැනුණා. හැබැයි යෙහෝවාට යාච්ඤා කරන්න කරන්න මට දැනුණ ඒ හැඟීම් ටික ටික අඩු වුණා. ඒක නිසා මට ලොකු සහනයක් දැනුණා.” යාච්ඤා කරද්දී කියන්න ඕනෙ මොනවාද කියලා ඔයාට තේරෙන්නේ නැත්නම් ගීතාවලිය පොතේ 51 සහ 65 ගීතිකාවල පසුතැවිලි වුණ දාවිත් රජ යාච්ඤාවෙන් කියපු දේවල් ඔයාට උදව් වෙයි.

හැම දවසකම බයිබලය අධ්‍යයනය කරන්න. එහෙම කරද්දී ඔයාගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්නත් යෙහෝවා ගැන තියෙන ආදරය තවත් වැඩි කරගන්නත් ඔයාට පුළුවන්. (ගීතා. 19:7-11) ෆෙලීපේ මෙහෙම කියනවා. “කලින් මම යෙහෝවාගෙන් ඈත් වෙලා වැරදි කරන්න පෙලඹුණේ බයිබලය අධ්‍යයනය කරන එක වගේ දේවල් හරියට කළේ නැති නිසයි. හැබැයි මට ආයෙත් ඒ දේ වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා මං අතපසු කරන්නේ නැතුව බයිබලය අධ්‍යයනය කළා.” ඔයාටත් ඒ දේම කරන්න පුළුවන්. අධ්‍යයනය කරන්න ඕනෙ මොන වගේ මාතෘකා ගැනද කියලා ඔයා හරියටම දන්නේ නැත්නම් අද්දැකීම් තියෙන කෙනෙක්ගෙන් ඒ ගැන අහන්න.

සහෝදර සහෝදරියන්ට ආයෙත් ළං වෙන්න. සභාවට ආයෙත් එකතු වෙන සමහර අය හිතනවා සභාවේ අය එයාලත් එක්ක ඉන්නේ කේන්තියෙන් කියලා. ඒ ගැන ලැරිසා කියන්නේ මෙහෙමයි. “මං කරපු දේ නිසා සභාවේ අයට ලොකු දුකක් දැනුණා කියලා මං දැනන් හිටියා. ඒ නිසා කාලයක් යන කල්ම මට ලොකු ලැජ්ජාවක් දැනුණා.” ආයෙත් යෙහෝවාට ළං වෙන්න ඔයා උත්සාහ කරද්දී ඔයාට උදව් කරන්න වැඩිමහල්ලනුයි අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියනුයි ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා මතක තියාගන්න. (“වැඩිමහල්ලන්ට කරන්න පුළුවන් මොනවාද?” කියන කොටුව බලන්න.) ඔයා ආයෙත් සභාවට ආපු එක ගැන එයාලට ගොඩක් සතුටුයි. එයාලා ආස ඔයා හැමදාටම සතුටින් ඉන්නවා දකින්න.—හිතෝ. 17:17.

සහෝදර සහෝදරියන්ට ආයෙත් ළං වෙන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? එයාලත් එක්ක එකතු වෙලා රැස්වීම්, සේවේ යන එක ඔයාට උදව් වෙයි. ඒ ගැන ෆීලික්ස් මෙහෙම කියනවා. “මං ආයෙත් එන කල් සභාවේ අය හරිම ආසාවෙන් බලාගෙන හිටියා. එයාලා මට ගොඩක් ආදරෙයි කියලත් මට දැනුණා. එයාලා කියපු කරපු දේවල් නිසා ආයෙත් මං ඒ පවුලේ කොටසක් කියලා මට දැනුණා. කලින් සිද්ධ වුණ දේවල් අමතක කරලා ආයෙත් දෙවියන්ට සේවය කරන්න ඒ නිසා මට පුළුවන් වුණා.”—“ඔයාට කරන්න පුළුවන් මොනවාද?” කියන කොටුව බලන්න.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

හැමදාම යාච්ඤා කරන එක, බයිබලය කියවන එක සහ සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන එක වගේ දේවල් ආයෙත් කරන්න පටන්ගන්න

ආයෙත් දෙවියන් ළං වුණ සහෝදරයෙක් එක්ක වැඩිමහල්ලෙක් යාච්ඤා කරනවා.

නිතරම යෙහෝවාට යාච්ඤා කරන්න

දෙවියන්ට යාච්ඤා කරලා ආයෙත් ඔහුට ළං වෙන්න ඔයාට ඕනෙ කියලා කියන්න. වැඩිමහල්ලන් ඔයාත් එක්ක එකතු වෙලා ඔයා වෙනුවෙන් යාච්ඤා කරයි

වැඩිමහල්ලා “යෙහෝවාට ළං වන්න” පොත පාවිච්චි කරලා ඒ සහෝදරයාත් එක්ක බයිබල් පාඩමක් කරනවා.

පුරුද්දක් විදිහට බයිබලය අධ්‍යයනය කරන්න

යෙහෝවා ගැන ඔයාගේ හිතේ තියෙන ආදරය තවත් වැඩි කරගන්න ඒක ඔයාට උදව් වෙයි

ඒ සහෝදරයා සභාවේ සුහද හමුවකදී අනිත් අයත් එක්ක කතා කරනවා.

සහෝදර සහෝදරියන්ට ආයෙත් ළං වෙන්න

සභාවේ අයත් එක්ක එකතු වෙලා හැම රැස්වීමකටම සහභාගි වෙන්න. එයාලත් එක්ක සේවේ යන්න

උත්සාහය අත්හරින්න එපා!

ඔයා යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ආයෙත් ගොඩනඟාගන්න උත්සාහ කරද්දී සාතන් අනිවාර්යයෙන්ම තවත් සුළි කුණාටු වගේ පීඩා ගෙනෙයි. (ලූක් 4:13) ඒවාට හොඳින් මුහුණ දෙන්න දැන් ඉඳලාම යෙහෝවා එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න.

යෙහෝවා ඔහුගෙන් ඈත් වුණ ආදරණීය බැටළුවන්ට මේ පොරොන්දුව දීලා තියෙනවා. “මම නැති වූ බැටළුවන්ව සොයා යන්නෙමි. අයාලේ ගිය බැටළුවන්ව නැවත රැගෙන එන්නෙමි. උන්ගේ තුවාලවලට බෙහෙත් බැඳ සාත්තු කරන්නෙමි. ලෙඩ වූ බැටළුවන්ව සුව කර ශක්තිමත් කරන්නෙමි.” (එස. 34:16) ආයෙත් ඔහු ළඟට එන්න දෙවියන් හුඟදෙනෙක්ට උදව් කරලා තියෙනවා. යෙහෝවාත් එක්ක තියෙන බැඳීම තව තවත් ශක්තිමත් කරගන්න ඔහු අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා කියලා අමතක කරන්න එපා.

වැඩිමහල්ලන්ට කරන්න පුළුවන් මොනවාද?

සහෝදරයාගේ කැඩුණ ගෙදර ආයෙත් ගොඩනඟාගන්න වැඩිමහල්ලා උදව් කරනවා.

සභාවට ආයෙත් පිළිගත්ත අයට උදව් කරන්න වැඩිමහල්ලන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. එයාලට කරන්න පුළුවන් දේවල් කීපයක් බලන්න.

ආදරේ දැනෙන්න සලස්වන්න. බරපතළ වරදක් කරපු කෙනෙක්ට දැනෙන ‘අධික දුක නිසා ඔහු සම්පූර්ණයෙන්ම කලකිරෙන්න’ පුළුවන් කියලා පාවුල් දැනන් හිටියා. (2 කොරි. 2:7) ඒ වගේ කෙනෙක් තමන් වටින්නේ නැහැ කියලා හිතලා අධෛර්යය වෙන්න ඉඩ තියෙනවා. ඒකයි පාවුල් සභාවේ අයට කිව්වේ ඒ කෙනාට “කාරුණිකව සමාව දී ඔහුව සැනසිය යුතුයි” කියලා. ආයෙත් සභාවට එකතු වුණ අයට යෙහෝවා, සභාවේ අය ගොඩක් ආදරෙයි කියලා දැනෙන්න සලස්වන්න. වැඩිමහල්ලන් ඒ අයව දිරිගන්වලා දිගටම උදව් කරද්දී අධෛර්යය නොවී ඉන්න එයාලට පුළුවන් වෙනවා.

එකට යාච්ඤා කරන්න. “ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක” කියලා බයිබලේ කියනවා. (යාකො. 5:16) කලින් සඳහන් කරපු ලැරිසා මෙහෙම කියනවා. “මට තිබුණ බය සැක ගැන මං වැඩිමහල්ලන්ට කිව්වා. එතකොට එයාලා මාත් එක්ක යාච්ඤා කළා. එයාලගේ හිතේ තරහක් නෑ කියලත් එයාලට ඕනෙ ආයෙත් යෙහෝවාට ළං වෙන්න මට උදව් කරන්නයි කියලත් ඒ වෙලාවේ මට තේරුණා.” තියෝ කියන දේ බලන්න. “යෙහෝවා මට ඇත්තටම ආදරෙයි කියලත් වැරදි විතරක් නෙවෙයි මගේ හොඳත් ඔහු දකිනවා කියලත් තේරුම්ගන්න වැඩිමහල්ලන්ගේ යාච්ඤා මට උදව් වුණා.”

හොඳ යාළුවෙක් වෙන්න. වැඩිමහල්ලෙක් වන ජස්ටින් කියනවා “පුළුවන් හැම වෙලාවකදීම එයාලව බලන්න යන්න, එයාලත් එක්ක සේවේ යන්න සැලසුම් කරන්න. මොකද මේ වෙලාවේ එයාලට හොඳ යාළුවෝ ඕනෙමයි” කියලා. හෙන්රි කියන වැඩිමහල්ලා මෙහෙම කියනවා. “සභාවට ආයෙත් පිළිගත්ත අයව වැඩිමහල්ලන් කිට්ටු යාළුවෝ කරගද්දී සභාවේ අයත් ඒ දේම කරන්න පෙලඹෙනවා.”

අධ්‍යයනය කරන්න උදව් කරන්න. සභාවට ආයෙත් එකතු වුණ කෙනෙක්ට පුරුද්දක් විදිහට බයිබලය අධ්‍යයනය කරන්න උදව් කරන්න අවබෝධයෙන් වැඩ කරන යාළුවෙක්ට පුළුවන්. වැඩිමහල්ලෙක් වන ඩාකෝ මෙහෙම කියනවා. “බයිබලය අධ්‍යයනය කරද්දී ඉගෙනගත්ත වටිනා මැණික් මං එයාලත් එක්ක බෙදාගන්නවා. අධ්‍යයනය කරන එකෙන් කොච්චර සතුටක් ලැබෙනවාද කියලා එතකොට එයාලට තේරෙනවා. එයාලා එක්ක එකතු වෙලා සමහර දේවල් අධ්‍යයනය කරන්නත් මං සැලසුම් කරනවා.” ක්ලේටන් කියන වැඩිමහල්ලා මෙහෙම කියනවා. “එයාලා මුහුණ දුන්නා වගේ තත්වයන්වලට මුහුණ දුන්න බයිබල් චරිත ගැන අධ්‍යයනය කරන්න කියලා මං එයාලට දිරිගන්වනවා.”

හොඳ එඬේරෙක් වෙන්න. වැඩිමහල්ලන් විනිශ්චයකරුවන් විදිහට වැඩ කරනවා සභාවෙන් ඉවත් කරපු කෙනා කලින් දැක්කා. හැබැයි සභාවට පිළිගත්තාට පස්සේ වැඩිමහල්ලන් ප්‍රේමණීය එඬේරුන් කියලා එයා දකින්න ඕනේ. (යෙරෙ. 23:4) නිතරම එයාලට ඇහුම්කන් දෙන්න. කරන හොඳ දේවල් අගය කරන්න. එයාලා හොඳින් ඉන්නවාද කියලා හොයලා බලන්න. මාර්කස් කියන වැඩිමහල්ලා මෙහෙම කියනවා. “එයාලව බලන්න යද්දී අපි එයාලත් එක්ක දිරිගැන්වෙන බයිබල් පදයක් බෙදාගන්නවා. ඒ වගේම එයාලා ආපහු සභාවට එන්න දරපු උත්සාහය අපි වගේම යෙහෝවාත් ගොඩක් අගය කරනවා කියලා අපි මතක් කරනවා. ඒ වගේම යන්න කලින් ආපහු එයාලව බලන්න එන දවසක් අපි කතා කරගන්නවා.”

a නම් වෙනස් කර ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න