9 ක්‍රිස්තුස් හෙවත් අභිෂේක ලත් තැනැත්තා හෙබ්‍රෙව් බසින්, මෂියා. ග්‍රීක බසින්, ක්රිස්ටොස්
ක්‍රිස්තුස් යන වචනය පැමිණ තිබෙන්නේ ක්රිස්ටොස් යන ග්‍රීක වචනයෙනි. එම වචනය භාවිත කරනු ලැබුවේ මෂියා (මෙසියස්) යන හෙබ්‍රෙව් වචනය පරිවර්තනය කිරීමටය. එම වචනය භාවිත කරන්නේ කෙනෙකුව යම් විශේෂ පැවරුමකට පත් කිරීම හෝ අභිෂේක කිරීම සඳහා තෙල් ගැල්වීම හා තෙල් වත් කිරීම යන අදහස ලබා දීමටය. කෙනෙකුව යම් විශේෂ පැවරුමකට පත් කළ අවස්ථාවේදී ඔහුගේ හිස මත තෙල් වත් කළ විට ඒ තෙල් ඔහුගේ රැවුල දිගේ ගොස් කරපටිය දක්වා යයි. බයිබලය ලියූ කාලයේදී හෙබ්‍රෙව් ජාතිකයන් මෙන්ම වෙනත් ජාතිකයන්ද තම පාලකයන්ව උත්සවශ්‍රීයෙන් පත් කළේ ඒ අයුරිනි. තෙල් වත් කිරීමෙන් ඔවුන්ගේ පත්වීම වලංගු බව සනාථ විය.
ඇතැම් අවස්ථාවලදී පුද්ගලයෙකුගේ හිස මත තෙල් වත් කළේ නැතත් ඒ පුද්ගලයාව යම් විශේෂ කාර්යයක් සඳහා පත් කළ බව පිළිගන්නා ලදි. මන්ද ඒ පුද්ගලයාව එසේ පත් කළේ දෙවිය. නිදසුනකට මෝසෙස්ගේ හිසේ තෙල් වත් කළේ නැතත් ඔහුව විශේෂ කාර්යයක් සඳහා පත් කරන ලදි. යෙහෝවා දෙවි මෝසෙස්ව එසේ පත් කළේ තම අනාගතවක්තෘ හා නියෝජිතයා ලෙසත් ඊශ්‍රායෙල් ජාතියේ නායකයා සහ මිදුම්කරු ලෙසත්ය. එහෙයින් මෝසෙස්ට ක්‍රිස්තුස් හෝ අභිෂේක ලත් තැනැත්තා යන පදවියද ලබා දිය හැක. නාසරෙත් නුවරින් පැමිණි යේසුස්ද යෙහෝවා දෙවි විසින් පත් කරනු ලැබූ කෙනෙකි. ඔහුවද මෙසියස් හෝ ක්‍රිස්තුස් හෝ අභිෂේක ලත් තැනැත්තා ලෙස හෝ හඳුන්වන්නේ ඒ නිසාය. ඒ අනුව “ක්‍රිස්තුස්” යන්න නමක් නොවේ. එය කෙනෙකුට යම් පැවරුමක් හිමි වී ඇති බව දැක්වීමට භාවිත කරන වචනයකි. (මතෙව් 1:16; හෙබ්‍රෙව් 1:8, 9) යේසුස්ව පත් කළ විට ඔහුගේ හිස මතට තෙල් වත් කරනු ලැබුවේ නැත. ඒ වෙනුවට ඔහුට යෙහෝවා දෙවිගේ බලය විශේෂාකාරයෙන් ලැබිණ. (මතෙව් 3:16) ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි ඔහුව රජු, අනාගතවක්තෘ සහ උත්තම පූජකයා ලෙස පත් කළේය. යෙහෝවා දෙවි විසින් අභිෂේක කරනු ලැබූ තැනැත්තා ලෙස ඔහුව හඳුන්වා තිබෙන්නේ ඒ නිසාය. ශුද්ධ ලියවිල්ලේ අනාගතවක්තෘ, උත්තම පූජක සහ රජු යන තනතුරු තුනම හොබවන එකම තැනැත්තා යේසුස් ක්‍රිස්තුස්ය.
යේසුස්ට සමානව ඔහුගේ අනුගාමිකයන්ගෙන් පිරිසකටද දෙවිගේ බලය විශේෂාකාරයෙන් ලබා දී තිබේ. ඒ නිසා ඔවුහු දෙවිගේ දරුවෝය. ඔවුන්ව හඳුන්වනු ලබන්නේ දෙවි විසින් අභිෂේක කරනු ලැබූ අය ලෙසය. (2 කොරින්ති 1:21) යේසුස්ගේ සහෝදරයන්ගෙන් සෑදෙන එම කණ්ඩායමේ සාමාජිකයන්ව අභිෂේක කරනු ලබන්නේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනි. (ක්‍රියා 2:1-4, 32, 33) යේසුස් ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයෙහි පූජකයන් සහ රජවරුන් ලෙස කටයුතු කිරීමට ඔවුන්ව අභිෂේක කරන්නේ දෙවිය.