ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 1/8 22-24 පි.
  • සුළං බලය ප්‍රයෝජනයට ගැනීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සුළං බලය ප්‍රයෝජනයට ගැනීම
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පාරිසරික වාසි
  • ඇතැම් අවාසි
  • රක්ෂණ ඔප්පුවක්?
  • බලශක්තියේ නව තාක්ෂණික ක්‍රම?
    2005 පිබිදෙව්!
  • දස දෙසින්
    2010 පිබිදෙව්!
  • ස්වාභාවික බලයන් පාලනය කළ හැකි කෙනෙක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • තෙල් කවදා හෝ නැති වී යයිද?
    2003 පිබිදෙව්!
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 1/8 22-24 පි.

සුළං බලය ප්‍රයෝජනයට ගැනීම

නෙදර්ලන්තයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

විශාල රෝටර තල වටේට කැරකේ. තමාට ඉදිරියට ගමන් කිරීමට ඉඩ නොදෙන දිය ප්‍රවාහයකට එරෙහිව මහත් ආයාසයෙන්, එයට විරුද්ධව නොනැවතී ක්‍රියා කරන පීනුම්කරුවෙකුගේ දෑත් මෙන් ඒවා සෙමින්, නොනැවතී, කැරකේ. කෙසේනමුත්, මෙම තල වාත ප්‍රවාහයට එරෙහිව නොව, නමුත් ඉන් අනුබල ලබමින් චලනය වේ. වාත ප්‍රවාහය වනාහි සුළඟය. සුළඟේ සර සර ශබ්දය හැර, මෙම යාන්ත්‍රික අත් වේගයෙන් කරකැවීම නිසා නිකුත් වන ශබ්දය පමණක් ඇසෙන්ට තිබේ. මෙය වනාහි සුළං බලයෙන් විදුලිය උපදවන සුළං ටර්බයිමයකි.

ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් ජනපදය වැනි රටවල, වේගයෙන් නිතර සුළං හමන ප්‍රදේශවල සුළං ටර්බයිම වඩා වැඩි සංඛ්‍යාවක් භූ දර්ශනයේ තැන් තැන්වල දකින්ට තිබේ. මේ වන විට එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ, ඒවා 16,000කට වඩා සංඛ්‍යාවක් තිබේ. සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයෙන් කිලෝමීටර් 50ක් පමණ නැඟෙනහිරින් පිහිටි ඇල්ටමොන්ට් දුර්ගයෙහි, නොනැවතී හමන සුළඟේ බලය ලබාගැනීම සඳහා හෙල්වල ටර්බයිම යන්ත්‍ර 7,000ක් පමණ ඇති සුළං ගොවිපොළක් තිබේ. මුළුමනින්ම ගත් කල, කැලිෆෝනියාවේ සුළං ටර්බයිම යන්ත්‍රවලට සැන් ෆ්‍රැන්සිස්කෝවේ සහ වොෂින්ටන්, ඩී.සී.,හි නිවාස අවශ්‍යතා සපුරාලීමට තරම් අවශ්‍ය බලය උත්පාදනය කිරීමට සමර්ථ බව පැවසේ.

සාගරයෙන් වට වී තිබෙන ඩෙන්මාර්කයද සුළං ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා මනා සේ ගැළපෙන ස්ථානයකි; එහි දැනටමත් සුළං ටර්බයිම යන්ත්‍ර 3,600ක් පමණ තිබේ. එක්දහස් නවසිය අනූඑකේදී, නෙදර්ලන්තයේ සුළං ටර්බයිම යන්ත්‍ර 300ක් පමණ තිබුණ මුත්, එම සංඛ්‍යාව 3,000ක් දක්වා නැංවීමට, එම රටේ වැඩියෙන් සුළං හමන පළාත් එකඟ විය. එංගලන්තයේ ශක්තිය සැලසුම්කරන්නන් විසින්ද සුළඟ එයාකාරයටම තම රට තුළ ප්‍රයෝජනයට ගැනීමට බලාපොරොත්තු වේ.

ඇත්තෙන්ම සුළං බලය ප්‍රයෝජනයට ගැනීම අලුත් දෙයක් නොවේ. එන්ජිම් බිහිවීමට කලින්, සුළං බලය උපයෝගි කරමින් සාගර හරහා යාත්‍රා කළ නෞකා සියල්ල ගැන නිකම් සිතා බලන්න. ජලය පොම්ප කිරීමට, ධාන්‍ය සහ කුළුබඩු ඇඹරීමට සහ ලී ඉරීමට සුළං මෝලවල් ශතවර්ෂ ගණනාවක් සිට භාවිත කර තිබේ. නෙදර්ලන්තයේ මෙවැනි සුන්දර ස්මාරක 900ක් පමණ ඉතිරිව තිබේ. ඒවායින් බොහොමයක්ම තවමත් විශ්වාසවන්තව ජලය පොම්ප කරයි; විදුලි බලය විරහිත අවස්ථාවලදී පවා මේවා විශ්වාසදායකය.

ඩේනිෂ් ජාතික මහාචාර්ය පෝල් ඩ ලා කූර් සුළං බලය ප්‍රයෝජනයට ගෙන, විදුලි බලය උත්පාදනය කිරීමට පළමුවෙන්ම පරීක්ෂණ පැවැත්වූයේ ශතවර්ෂයකට ඉහතදීය. අදදින නවීන සුළං ටර්බයිම යන්ත්‍රයේ ප්‍රථම කුඩා ආකෘතියක් ඔහු නිෂ්පාදනය කළේය. කෙසේවෙතත් ෆොසිල ඉන්ධන ප්‍රයෝජනයට ගැනීම වඩාත් පහසු බවත්, එය ප්‍රබල බලයක් සපයන බවත් මනුෂ්‍යයා 20වන ශතවර්ෂයේ සොයාගත්තේය. මුලදී එවන් ඉන්ධන ලාභව සහ බහුලව තිබුණු බව පෙනෙන්ට තිබිණ; එනිසා බලය ලබාගැනීමේ ප්‍රභවයක් ලෙස සුළඟ යොදාගැනීම, ඒවා ඉතා පහසුවෙන්ම නිෂ්ප්‍රභ කළේය. සුළං බලය නැවතත් බරපතළ ලෙස සැලකිල්ලට භාජන කරනු ලැබුවේ 1973දී සිදු වූ තෙල් අර්බුදයෙන් පසුව පමණි.

පාරිසරික වාසි

තෙල් අර්බුදය, ඉන්ධන සැපයුම් ක්ෂය වූ විට කුමක් සිදු වනු ඇද්ද කියා සලකා බැලීමට විද්‍යාඥයන්ව පෙලඹුවේය. සුළං බලය වැනි විකල්ප නව ආකාරයකින් ආකර්ෂණයක් ඇති කළේය. කවර ආකාරයකින් බැලුවත් සුළඟ ක්ෂය වන්නේ නැත. ඇත්තවශයෙන්ම, බයිබලය එය සම්බන්ධයෙන් පවසන පරිදි එය නිරතුරුවම තනියම අලුත් වැඩියා වේ: “නිතරම ඒකේ මාර්ගයෙහි මාරු වෙවී” ගමන් කරයි. (දේශනාකාරයා 1:6) අම්ල වැසි වැනි බිහිසුණු සිද්ධීන්වලට දායක විය හැකි මෙන්ම, හරිතාගාර ආචරනය තවත් තීව්‍ර කළ හැකි ෆොසිල ඉන්ධනවලට වඩා සුළං බලය පරිසරයටද බෙහෙවින් හිතකරය. සුළං ශක්තිය රසායනික ද්‍රව්‍ය කිසිවක් නිකුත් නොකරයි.

වායු, ගල් අඟුරු හෝ තෙල් වැනි ශක්ති ප්‍රභවයන් තරම්, සුළඟ සාන්ද්‍ර නොවුවත් එයට පුදුමසහගත වාසි තිබේ. නිදසුනක් වශයෙන්, පැයකට කිලෝමීටර් 10ක වේගයෙන් හමන මඳ සුළඟක සෙමින් කැරකැවෙන සුළං ටර්බයිම යන්ත්‍රයක් සිතේ මවාගන්න. හදිසියෙන්ම පැයකට කිලෝමීටර් 20ක වේගයකට දෙගුණ වීමෙන් සුළඟ වඩාත් වේගයෙන් හමන්ට පටන්ගනී. දැන් එම ටර්බයිම යන්ත්‍රය සුළඟින් ඊට වඩා කොතරම් ශක්ති ප්‍රමාණයක් උරාගනීද? කලින් ප්‍රමාණයට වඩා දෙගුණයක්ද? නැත. න්‍යු සයන්ටිස්ට් සඟරාව මෙසේ පැහැදිලි කරයි: “සුළං ශක්තිය වෙනස් වන්නේ, සුළඟේ වේගයේ ඝන ඵලයට අනුලෝම ලෙස සමානුපාතිකවය.” එනිසා සුළඟේ වේගය දෙගුණ වූ විට, එයින් අට ගුණයක බලයක් නිකුත් කෙරේ! මෙලෙස ඉන් අදහස් වන්නේ සුළඟේ වේගය කුඩා අගයකින් පවා වැඩි වුවත්, සුළං ටර්බයිම යන්ත්‍රයකින් විශාල ශක්ති ප්‍රමාණයක් ලැබෙන බවය. මෙම ඝන රීතියෙන් උපරිම ප්‍රයෝජනය ලබාගැනීම සඳහා, සුළං ටර්බයිම යන්ත්‍ර සුළඟ වේගයෙන් හමන කඳු මුදුන්වල තබනු ලැබේ.

සුළං ශක්තියේ තවත් සිත්ගන්නා කරුණක් වන්නේ එය සෑහෙන දුරට විමධ්‍යගත පද්ධතියක් වීමය. සුළං මෝලකට, ශක්ති ප්‍රභවය භාවිත කරන්නාගේ සමීපයටම ගෙන ආ හැකිය. එම යන්ත්‍ර ඉක්මනින්ම සවි කළ හැකි අතර, පහසුවෙන්ම එහා මෙහා ගෙන යෑමටද හැක. සුළඟ හාරා ලබාගන්නේවත්, නැව්ගත කරනු ලබන්නේවත්, මිල දී ගන්නේවත් නැත. විශේෂයෙන්ම විශාල තෙල් නැව්වලින් නැව්ගත කිරීමට සිදු වන බොර තෙල් හා සමඟ සසඳන විට, මෙම බලය බෙදා දීමට අපහසු නැති බව මින් අදහස් කෙරේ. මෙම නැව්, අනතුරුවලට භාජන වී තිබෙන අතර, මෙය අනන්ත අප්‍රමාණ අවස්ථාවල විශාල පාරිසරික විපත්වලට තුඩු දී ඇත—1989දී ඇලස්කාවේ සිදු වූ තෙල් කාන්දු වීම වැනි අනතුරු මීට උදාහරණයකි. සුළං ටර්බයිම යන්ත්‍රවලට එවන් අවාසි නැත.

ඇතැම් අවාසි

මනුෂ්‍යවර්ගයාගේ බලශක්ති ගැටලුවලට සුළං බලය සර්ව නිවාරණයක් බව මින් අදහස් නොකෙරේ. සුළඟේ අවිනිශ්චිතභාවය එක් විශාල අභියෝගයකට තුඩු දෙයි. එයට ඕනෑම වෙලාවකදී දිශාව මාරු කළ හැක. පරීක්ෂකයෝ මෙම ගැටලුව සඳහා බොහෝ කලක් පුරා විසඳුම් සොයමින් සිට ඇත්තාහ. ප්‍රංශ ඉංජිනේරුවෙකු වන ජෝර්ජ් ඩැරියු විසින් සිරස් අක්ෂයක් සහිත සුළං ටර්බයිම යන්ත්‍රයක්, එක්දහස් නවසිය විසිගණන්වල නිපදවනු ලැබූ විට මෙයට පිළිතුරක් සොයාගනු ලැබීය. එය විශාල මිශ්‍ර කරන යන්ත්‍රයක් මෙන් පෙනෙන්ට තිබෙන අතර, සුළඟේ දිශාව කුමක්වෙතත් එය ක්‍රියාත්මක වේ. මෙම අමුතු පෙනුමකින් යුත් සමාන උපකරණ අදදින පවතී. කෙසේවෙතත් සුළඟ හැමීමද මුළුමනින්ම නැවතිය හැක. අනික් අතට හදිසියෙන් හමන මාරුත රෝටර තලවලට සහ ටර්බයිම යන්ත්‍රයට අලාභ හානි සිදු කළ හැක.

සුළං බලය භාවිත කිරීම සම්බන්ධයෙන් පවතින වඩාත් ප්‍රබල විරුද්ධවාදිකම්වලින් සමහරක් පරිසරය හා සම්බන්ධ වීම පුදුමයට හේතුවකි. එක් දෙයක් නම් වර්තමාන උසස් තාක්ෂණයකින් යුත් සුළං ටර්බයිම යන්ත්‍ර, පසුගිය කාලවල තිබූ දර්ශනීය, චමත්කාරජනක ඉදි කිරීම්වලට වඩා බොහෝසෙයින් වෙනස්ය. විශාල ඒවා මීටර් 100ක් තරම් උසය; මධ්‍යම ප්‍රමාණයේ ඒවා මීටර් 40කි. ඒවා අලංකාරයි කියා විස්තර කරන්ට නැඹුරු වන්නේ ටිකදෙනෙකු පමණි. බොහෝ අධිබල විදුලි රැහැන් සහ ගුවන්විදුලි කුලුනු එම උසට විහිදිය හැකි බව සැබෑ වුවත්, සුළං ටර්බයිම යන්ත්‍රයක කැරකෙන තල ඊට වඩා අවධානයක් ලබාගනී.

තවත් ශබ්දය පිළිබඳ කාරණය තිබේ. එයින් නිකුත් කරන ශබ්දය නිසා සුළං ටර්බයිම යන්ත්‍ර අහල පහළ තිබීම ගැන ඇතැම්හු බලවත් සේ විරුද්ධ වෙති. එහෙත් පැයකට කිලෝමීටර් 60ක වේගයෙන් ගමන් කරන මෝටර් රථයක් මීටර් 7ක දුරකින් ඔබ පසු කර යන විට, ඔබට ඇසෙන ශබ්දයට සමාන ශබ්ද මට්ටමක්, එංගලන්තයේ කොන්වෝල්හි තිබෙන මධ්‍යම ප්‍රමාණයේ ටර්බයිමයක් නිකුත් කරන බව එක්තරා අධ්‍යයනයක් සොයාගැනීම උනන්දුමත් කරුණකි. දුර ප්‍රමාණය වැඩි වෙත්ම මෙම ශබ්ද මට්ටම පුදුමාකාර ලෙස පහත බසී. මීටර් 300ක් ඈතින් සිටින පුද්ගලයෙකුට සාමාන්‍ය පුස්තකාලයක ඔහුට ඇසෙන ශබ්දයට වඩා වැඩි යමක් නොඇසේ. මීට අමතරව, ටර්බයිමය කරකැවීමට ඉවහල් වන සුළඟ, ශබ්දය නොඇසීමට සලස්වයි. කෙසේවෙතත් එක් ස්ථානයක සුළං ටර්බයිම යන්ත්‍ර සිය ගණනක් තිබෙන විට, එසේ නැතහොත් කැලිෆෝනියාවේ ඇල්ටමොන්ට් දුර්ගයෙහි තිබෙන්නාක් මෙන් දහස් ගණනක් තිබෙන විට, ශබ්දය විශාල ගැටලුවක් විය හැකි බව පිළිගත යුත්තකි.

තවත් ගැටලුවක් පක්ෂීන් හා සම්බන්ධයි. පක්ෂීන් ආහාර ගන්නා සහ බෝ කරන ස්ථානවල සුළං ගොවිපොළවල් ගොඩනැඟීමට විරුද්ධව නෙදර්ලන්තයේ පක්ෂි ආරක්ෂක සංවිධානයක් මෑතකදී අවවාද කළේය—ඊට හේතුව පිටත අඳුරුව හෝ මීදුමෙන් වැසුණු විට උන් රෝටර තල තුළට කඩා වැටිය හැකි බැවිනි. එක් තක්සේරු කිරීමකට අනුව, මේ ආකාරයෙන් ටර්බයිම යන්ත්‍ර 260ක් ඇති ලන්දේසි සුළං ගොවිපොළක වසරකට පක්ෂීන් 1,00,000ක් පමණ සංඛ්‍යාවක් මරණයට පත් විය හැක. කෙසේවෙතත් සුළං ටර්බයිම යන්ත්‍ර පක්ෂීන් මත එතරම් බලපෑමක් නොකරන බව වෙනත් අධ්‍යයනවල අඟවනු ලැබේ.

රක්ෂණ ඔප්පුවක්?

මෙවන් බාධක තිබියදීත්, ෆොසිල ඉන්ධනවල ලෝක පරිභෝජනය අඩු කිරීම සඳහා සුළං බලයට වැදගත් ලෙස දායක විය හැකි බව පැහැදිලිය. අමෙරිකා එක්සත් ජනපදයේ, කැනසස් ජනපදයේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගැරි එල්. ජොන්සන්, සිය වින්ඩ් එනර්ජි සිස්ටම්ස් යන පොතේ, ශක්තිය උපදවන වඩාත් සම්මත පද්ධති සමඟ සුළං බලය එකට ක්‍රියා කළ හැකි බව පැහැදිලි කරයි. ඔහු පවසන පරිදි, මෙලෙස භාවිත කරනු ලැබේ නම්, “සුළං උත්පාදක බැරෑරුම් ඉන්ධන සැපයුම් ගැටලු වෙනුවෙන් තිබෙන රක්ෂණ ඔප්පුවක් ලෙස සැලකිය හැක.”

වැඩි කල් යන්ට මත්තෙන්, මිනිසා එවන් රක්ෂණ ඔප්පුවක් අතිශයින් ඕනෑ කරන තත්වයක සිටිය හැක. ඉන්ධන සඳහා මිනිසාගේ නිමක් නැති ගවේෂණය ගැන ජනසන්නිවේදන මාධ්‍යවල නිතර නිතර සඳහන් වේ. ගල් අඟුරු සඳහා පතල් කැනීමෙන්ද, පොළොවට නළ බස්වා තෙල් සහ වායු ලබාගැනීමෙන්ද, ඔහු මෙම නැවත ඇති කළ නොහැකි ද්‍රව්‍ය ක්ෂය කරනවා පමණක් නොව, නමුත් මේවා භාවිතයට ගැනීම තුළින් ඇතැම් ප්‍රදේශවල තමාගේම පරිසරයද දූෂණය කරයි! මේ අතර පිරිසිදු, නිමක් නැති, බොහෝදුරට නොසලකා හරිනු ලබන සුළඟ දිගටම හමයි.

[23වන පිටුවේ පින්තූරය]

බොහෝ රටවල සුළං ටර්බයිම යන්ත්‍ර දහස් ගණනක් විදුලිය උපදවයි

[24වන පිටුවේ පින්තූරය]

මෙම සුන්දර ස්මාරක සිය ගණනක් තවමත් නෙදර්ලන්තයේ ඉතිරිව තිබේ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න