යෞවන අය අසති . . .
මට මනස එක තැන තියාගන්න බැරි ඇයි?
“සමහර වෙලාවට ඒක වෙන්නේ අහම්බෙන්. මම රැස්වීමේ යන දේවල් අහගෙන ඉන්දැද්දී, එකපාරටම මගේ මනස එහෙ මෙහෙ දුවනවා. විනාඩි දහයක් විතර ගියාට පස්සේ ආයි මම අවධානය යොමු කරන්න පටන්ගන්නවා.”—ජෙසී.
“අවධානය යොමු කරන්න!” ඔබේ ගුරුවරුන්ගෙන් හෝ දෙමාපියන්ගෙන් ඔබට එම වචන නිතරම අසන්න ලැබෙනවාද? අසන්න ලැබෙනවා නම්, මනස එක දෙයක් මත යොමු කර තබාගැනීමේ ගැටලුව ඔබට තිබෙනවා විය හැකියි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබේ ලකුණ තත්වයන්වලට බලපෑමක්ද වනවා ඇති. ඒ වගේම ඔබ සිහින ලෝකෙක සැරිසරන කල්පනා සාගරයක ගිලිලා ඉන්න කෙනෙක් හැටියට හෝ නිකම්ම අශීලාචාර කෙනෙක් හැටියට සලකා, ඔබ ගැන පැහැදීමක් ඇති කරගන්නේ නැතුව ඔබව කොන් කරන බවත් ඔබට පෙනෙයි.
වඩා වැදගත් ලෙස, අවධානය යොමු කිරීමට නොහැකියාවෙන් ඔබේ ආත්මිකත්වයටද නිෂේධාත්මක බලපෑමක් ඇති කරන්න පුළුවන්. මන්දයත්, “ඔබ අසන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමු කරන්න” කියා බයිබලයම පවසයි. (ලූක් 8:18, NW) ඇත්තෙන්ම, ආත්මික කාරණා කෙරෙහි ‘සාමාන්‍යයට වඩා වැඩි අවධානයක්’ දීමට ක්‍රිස්තියානීන්ට අණ කර තිබෙනවා. (හෙබ්‍රෙව් 2:1, NW) ඉතින් මනස එක තැන තබාගැනීම අපහසු බව ඔබට වැටහෙයි නම්, මෙම උපදේශය පිළිපැදීමත් අපහසු වග ඔබට දැනෙයි.
ගැටලුව විය හැක්කේ කුමක්ද? සමහරක් අවස්ථාවලදී මනස එක තැන තබාගැනීමට නොහැකි වීම ශාරීරික ගැටලුවක ප්‍රතිඵලයක් විය හැකියි. උදාහරණයක් හැටියට, ඌන අවධාන අක්රමිකතාවට, මොළයේ ස්නායු පද්ධතිය නිසි අයුරින් ක්‍රියා නොකිරීම සම්බන්ධ වන බව සමහරක් ගවේෂකයන්ගේ මතයයි.a ශ්‍රවණාබාධ හා දෘශ්‍යාබාධ වැනි රෝග නිර්ණයක් ලබා නැති ලෙඩ, සමහරක් යෞවනයන්ට තිබෙනවා. මේවාට පවා කෙනෙකුගේ අවධානය යොමු කිරීමේ හැකියාව හීන කරවන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට වඩා යෞවනයන්ට මනස එක තැන තබාගැනීම අපහසු බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. එහෙයින් අවධානය යොමු කිරීමට ඇති නොහැකියාව යෞවනයන් අතරේ පොදු දෙයක් වන නමුත්, එය වෛද්‍යමය අක්රමිකතාවක ප්‍රතිඵලයක් වන්නේ කලාතුරකිනි.
ඔබේ වෙනස් වන සිතුවිලි රටාවන්
ඔබට මනස එක තැන තබාගැනීම අමාරුයි කියා දැනෙනවා නම්, කොටින්ම කිව්වොත් එයින් අදහස් වන්නේ වැඩීමේ ක්‍රියාවලියේ අද්දකින දුක්ගැහැටවලට ඔබ නතු වී සිටින බවයි. “මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කථාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනාකෙළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි” කියා ප්‍රේරිත පාවුල් ලිව්වා. (1 කොරින්ති 13:11) ඔව්, ඔබ වැඩිහිටිභාවය දක්වා වර්ධනය වත්ම, ඔබේ සිතීමේ රටාවන් වෙනස් වන්න යනවා. නව යොවුන් වියේ වර්ධනය (ඉංග්‍රීසියෙන්) යන පොතට අනුව, “නව සංකල්ප බිහි කිරීමේ හැකියාවන් . . . නව යොවුන් වියේ මුල් කාලය තුළදී ඉස්මතු වන්න පටන්ගන්නවා.” අපැහැදිලි සිතුවිලි හා සංකල්ප තේරුම්ගෙන විශ්ලේෂණය කිරීමේ හැකියාව ඔබ වර්ධනය කරගන්න යනවා. සදාචාරයන්, ආචාර විද්‍යාත්මක න්‍යායන් හා වෙනත් පුළුල් විෂයන් ගැඹුරින් ග්‍රහණය කරගැනීමට ඔබ පටන්ගන්නවා. ඔබ වැඩිහිටියෙකු වශයෙන් ඔබේ අනාගතය ගැන සිතන්න පටන්ගන්නවා.
ගැටලුව? මේ නව සිතුවිලි, අදහස් හා සංකල්ප ඔබේ මනසේ ක්‍රියා කරමින් තිබීම ඔබේ සිත වෙනතකට යොමු කරවන දෙයක් විය හැකියි. ඔබ තවදුරටත් ළමයෙකු සිතන සරල මූලික ක්‍රමයට හිතන්නේ නැහැ. ඔබ දකින හා අසන දෑ විශ්ලේෂණය කර ප්‍රශ්න කිරීමට දැන් ඔබේ මොළය ඔබට බල කරනවා. ගුරුවරයෙක් හෝ දේශකයෙක් පැවසූ දෙයක් ඔබව මනබන්ධනීය ගමනක යෙදවීමට සලස්වන්න පුළුවන්. නමුත් ඉබාගාතේ යන ඔබේ සිතුවිලි පාලනය කිරීමට ඉගෙනගත්තේ නැතිනම්, වටිනා තොරතුරු රැසක් ඔබෙන් ගිලිහී යන්න ඉඩ තිබෙනවා. උනන්දුවට කරුණක් වන්නේ, ධර්මිෂ්ඨ මිනිසා වූ ඊසාක්, යම් අවස්ථාවලදී නිස්කලංකව මෙනෙහි කිරීමට යම් කාලයක් ගත කළ බව බයිබලයේ සඳහන් වීමයි. (උත්පත්ති 24:63) සමහරක් විට විවේකගෙන, මෙනෙහි කිරීමට හා දේවල් සකස් කරගැනීමට සෑම දිනකම යම් කාලයක් ගැනීම, වෙනත් වේලාවලදී අවධානය යොමු කිරීමට උපකාරයක් විය හැකියි.
චිත්තවේගයන් හා හෝමෝන
ඔබේ චිත්තවේගයන් පවා අවධානය වෙනතකට යැවීමේ ප්‍රභවයක් විය හැකියි. ඔබ කියවන හෝ නරඹන දෙය කෙරෙහි ඔබේ මනස යොමු කරන්න උත්සාහ කළත්, ඔබ වෙනත් දේවල් ගැන කල්පනා කරන බවක් ඔබට පෙනීයයි. ඔබට එක් විටෙක නීරසබවක් හෝ ඉමහත් ප්රබෝධයකුත් තවත් විටෙක එපාවීමක් හෝ ප්‍රීති ප්රමෝදයකුත් දැනෙයි. ඉතින් කලබල වෙන්න එපා! ඔබට පිස්සු හැදීගෙන එනවා නෙවෙයි. බොහෝදුරට වෙනවා ඇත්තේ, ඔබේ හෝමෝන ඔබ සමඟ සෙල්ලම් කරන එක පමණයි. ඔබ යෞවනෝදයේ වෙනස්කම් අද්දකිමිනුයි සිටින්නේ.
කැතී මකොයි හා චාල්ස් විබල්ස්මන් මෙසේ ලියයි: “නව යොවුන් වියේදී හැඟීම් බහුලයි. . . . මෙම හැඟීම් කලින් කලට වෙනස් වීමට යම් තාක් දුරට හේතු වන්නේ නව යොවුන් වියැත්තෙකු වීමයි. මෙය, දැන් ඔබ අද්දකින මේ වෙනස් වීම්වලින් එන පීඩනයට යම් තාක් දුරට සම්බන්ධයි.” තවදුරටත්, ඔබ ලිංගික ආශාවන් එහි උච්චාවස්ථාවටම පැමිණ ඇති “යෞවනයේ මල් පූදින වියට” පා තබමින් සිටියි. (1 කොරින්ති 7:36, NW) රූත් බෙල් නම් ලේඛිකාව මෙසේ පවසයි: “නව යොවුන් වියත් සමඟ සිදු වන වෙනස්කම් බොහෝදුරට ප්‍රබල ලිංගික හැඟීම් ඇති කරවයි. ඔබ ලිංගික දේ ගැන වැඩියෙන් සිතන බවත්, පහසුවෙන්ම ලිංගිකව උද්දීපනය වන බවත්, සමහරක් අවස්ථාවලදී ඔබේ කල්පනා ලිංගික කාරණාවලම ගිලී ඇති බවත් ඔබට දැනෙයි.”b
මුලින් සඳහන් කළ ජෙසී, නහඹරයන් අතර ඉතා පොදු දෙයක් වන මනසින් සක්මන් කිරීම අද්දකිනවා, ඔහු මෙසේ පවසයි: “සමහරක් වෙලාවට මම ගෑනු ළමයි ගැන නැත්තං මට තියෙන කරදරයක් හරි මම පස්සේ කරන්න යන දෙයක් ගැන හරි කල්පනා කරනවා.” අන්තිමේදී, සැඩ කුණාටුවක් මෙන් වූ ඔබේ හැඟීම් පහව යයි. ඒ අතරතුර කාලයේදී ස්වයංවිනය යන කාරණය සම්බන්ධයෙන් වැඩ කරන්න. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා: “මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි.” (1 කොරින්ති 9:27) ඔබ ඔබේ හැඟීම් පාලනය කිරීමට ඉගෙනගන්නා තරමට, ඔබ වැඩියෙන් මනස එක තැන තබාගන්නත් යනවා.
ඔබේ නිදාගැනීමේ පුරුදු
ඔබට ශාරීරික ලෙස වර්ධනය වීමට උපකාර කිරීමටත්, දිනපතා ඔබ හමුවට එන නව සංකල්පයන් හා හැඟීම් ඔබේ මොළයට තේරුම් බේරුම් කරගැනීමට ඉඩ දීමටත්, ඔබේ වැඩෙන සිරුරට ප්‍රමාණවත් නින්දක් අවශ්‍යයි. කොහොම වුණත්, නිදාගැනීමට කෙටි කාලයක් සලසා දෙන කාලසටහනක් තමයි නහඹරයන් වැඩිදෙනෙක් තමන්ටම සකස් කරගන්නේ. එක් ස්නායුවේදියෙක් මෙසේ පවසයි: “පුද්ගලයෙක් තම සිරුරට ලබා දිය යුතු නිදාගැනීමේ පැය එය අමතක කරන්න යන්නේ නැහැ. ඊට වෙනස්ව, සිරුර එය සැමවිටම මතක තබාගනිමින් හදිසියේම ඒ වාඩුව පුද්ගලයෙකුගෙන් අය කිරීමට යන අතර අමතක වීම්, මනස එක තැන තබාගැනීමේ ගැටලු හා මන්දගාමී සිතීමේ හැකියාවක් යන දේ එයට ඇතුළත් විය හැකියි.”
සමහරක් ගවේෂකයන් විශ්වාස කරන්නේ සෑම රැයකම තම නින්දට පැයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකතු කරගැනීමෙන් කෙනෙකුගේ මනස එක තැන තබාගැනීමේ හැකියාව මහත් සේ දියුණු කරගත හැකි බවයි. හැබැයි බයිබලය කම්මැළිකම හා නින්දට ඇලුම් වීම හෙළා දකියි. (හිතෝපදේශ 20:13) කොහොම වුණත්, කාර්යක්ෂමව ක්‍රියා කිරීමට නම් ප්‍රමාණවත් විවේකයක් ගත යුතුයයි පැවසීම ප්‍රායෝගික වෙනවා.—දේශනාකාරයා 4:6.
ආහාර රටාව හා මනස එක තැන තබාගැනීම
තවත් ගැටලුවක් විය හැක්කේ ආහාර රටාවයි. මේදවලින් පිරි පැණි රස කෑම නහඹරයන් අතර ජනප්‍රියයි. ගවේෂකයන් පවසන්නේ කඩචෝරු කටට රස විය හැකි වුණත්, ඒවායින් චින්තන ශක්තිය අඩු කරවන බවයි. පාන්, ධාන්‍ය, බත් හා පිටි වර්ගවලින් යුත් ආහාරයක් ගත් පසු මානසික ක්‍රියාකාරිත්වයේ කාර්යක්ෂමතාව දුර්වල වන බවත් අධ්‍යයනවලින් අඟවනවා. මෙයට හේතුව කාබෝහයිඩ්රේට් මගින් මොළයේ තිබෙන සෙරටෝනින් නමැති රසායනිකයේ ප්‍රමාණය වැඩි කර කෙනෙකුට නිදිමත ගතිය ඇති කරන නිසා විය හැකියි. එහෙයින් සමහරක් පෝෂණවේදීන්ගේ මතය වන්නේ, මනසෙහි සාවධානිබව අවශ්‍ය වන ඕනෑම ක්රියාකාරිත්වයකට පෙර ප්‍රෝටීන් බහුල ආහාර ගන්නා හැටියටයි.
රූපවාහිනි හා පරිගණක පරම්පරාව
රූපවාහිනිය හා එහි ඉක්මනින් වෙනස් වන රූප මගින් යෞවනයන්ගේ අවධාන කාලාන්තරය කෙටි කරන බව ශීක්ෂකයන්ට දැනී ඇති අතර, සමහරුන් දැන් පරිගණකයටද එම චෝදනාවම එල්ල කරමින් සිටියි. මෙම නවීන තාක්ෂණික උපාංග යෞවනයන්ට කොතරම් බලපාන්නේද යන්න ප්‍රවීණයන් අතර දැඩි සේ වාදයට භාජන වන කරුණක් වුවත්, රූපවාහිනිය නැරඹීම සඳහා හෝ පරිගණක ක්‍රීඩා කිරීම සඳහා වැඩි කාලයක් ගත කිරීම ඇත්තෙන්ම ගුණදායක දෙයක් විය නොහැකියි. එක් යෞවනයෙක් මෙසේ පිළිගනියි: “වීඩියෝ ක්‍රීඩා, පරිගණක හා අන්තර් ජාලය වගේ දේවල් නිසා අපි වගේ යෞවනයන් සකස් වෙලා ඉන්නේ අපිට ඕන දේ ඒ වෙලාවේම ලබාගන්නයි.”
නමුත් ගැටලුව මෙයයි, එනම් ජීවිතයේ බොහෝ දේවල් අත් කරගත හැකි එකම ක්‍රමය වී ඇත්තේ ප්රයත්නය, නොපසුබස්නා උත්සාහය හා අතීතයේ දෙයක් බවට පත්ව ඇති ඉවසීම මගින් පමණක් වීමයි. (හෙබ්‍රෙව් 6:12; යාකොබ් 5:7 සසඳන්න.) එහෙයින් යම් දෙයක වටිනාකම එහි ඉක්මනින් වෙනස් වීම මතවත් විනෝදය ගෙන දීම මතවත් රඳාපවතීය කියා කවදාකවත් සිතන්න එපා. රූපවාහිනිය නැරඹීම හා පරිගණක ක්‍රීඩා කිරීම විනෝදය ගෙන දිය හැකි වුණත්, චිත්‍ර ඇඳීමට හෝ යම් තූර්ය භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙන නොගන්නේ මන්ද? එවැනි කුසලතා මනස එක තැන තබාගැනීමේ ඔබේ හැකියාවන්වල වැඩිදියුණුවට දායක වන්න පුළුවන්.
ඔබේ මනස එක තැන තබාගැනීමේ හැකියාවන් වර්ධනය කළ හැකි වෙනත් ක්‍රම තිබෙනවාද? ඇත්තෙන්ම තිබෙන අතර, මතු ලිපියකදී ඒ ගැන තවදුරටත් ගවේෂණය කරනු ලබයි.
[පාදසටහන්වල]
a පිබිදෙව්! කලාපවල 1995 මැයි 8, පිටු 3-12; 1996 ජූනි 22, පිටු 11-13 (ඉංග්‍රීසියෙන්) හා 1997 මාර්තු 8, පිටු 5-10 බලන්න.
b අපේ 1995 පෙබරවාරි 8 කලාපයේ “යෞවන අය අසති . . . විරුද්ධ ලිංගයේ අය ගැන සිත සිතා සිටීම මට නතර කළ හැක්කේ කෙසේද?” යන ලිපිය බලන්න.
[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ගවේෂකයන් පවසන්නේ කඩචෝරු මගින් චින්තන ශක්තිය අඩු කරවන බවයි
[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“සමහරක් වෙලාවට මම ගෑනු ළමයි ගැන නැත්තං මට තියෙන කරදරයක් . . . ගැන හරි කල්පනා කරනවා”
[19වන පිටුවේ පින්තූරය]
පන්ති කාමරයේදී අවධානය යොමු කිරීම අපහසු බව ඔබට වැටහී තිබෙනවාදද?