ලැක්ටෝස් අසාත්මිකතාව—එය ඔබට තිබිය හැකිද?
මෙක්සිකෝවේ පිබිදෙව්! වාර්තාකරුගෙන්
“මගේ මහත්තයයි මායි මෙක්සිකෝවේ ප්යූබ්ලාවට ගියා අපේ යාළුවෝ කට්ටියක් හම්බ වෙන්න. ඒගොල්ලන්ගේ ගෙදර එළදෙනුන් ඇති කරනවා. ඉතිං ඒගොල්ලන් හැම කෑම වේලක් එක්කම වගේ අපට එළ කිරි බොන්න දුන්නා.
“පළවෙනි දවසේ රෑ අපිට පොඩි වෙනසක් දැනුණා. හැබැයි දෙවෙනි දවසේ නම් හොඳටම අමාරු වුණා. මගේ බඩ පුදුම විදිහට පිපෙන්න පටන්ගත්තා. මං හිටියේ හරියට බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක් වගේ! ඊට පස්සේ අපි දෙන්නටම හොඳටම බඩ එළිය ගියා.
“එදා නම් අපි දැනගෙන හිටියේ නෑ අපට එහෙම වුණේ ඇයි කියලා. අවුරුදු කීපයකට පස්සේ තමයි අපි දැනගත්තේ අපිට ලැක්ටෝස් අසාත්මිකතාව තියෙනවා කියලා.”—බ’තා.
බ’තාගේ අද්දැකීම අමුතු එකක් නොවෙයි. ලෝක ජනගහනයෙන් සියයට 75ක්ම ලැක්ටෝස් අසාත්මිකතාවෙන් පෙළෙන බව ගණනය කර තිබේ. එනම් එහි රෝග ලක්ෂණ සියල්ලම එහෙම නැත්නම් ඒවායින් කිහිපයක් හෝ ඔවුන්ට තිබේ.a ලැක්ටෝස් අසාත්මිකතාව කියන්නේ කුමක්ද? එය ඇති වන්නේ මන්ද? වඩාත් වැදගත්ම ප්රශ්නය වන්නේ, එයත් සමඟ සාර්ථක ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්නයි.
“ලැක්ටෝස් අසාත්මිකතාව” යන යෙදුම යොමු දක්වන්නේ, කිරිවල අඩංගු ප්‍රධානතම සීනි වර්ගය වන ලැක්ටෝස් ජීරණය කිරීමට ශරීරයට තිබෙන අපහසුතාවටයි. රුධිර පද්ධතිය තුළට ලැක්ටෝස් උරාගැනීමට නම්, එය ග්ලූකෝස් හා ගැලැක්ටෝස් බවට පරිවර්තනය විය යුතුයි. මේ සඳහා ලැක්ටේස් යනුවෙන් හඳුන්වන එන්සයිමයක් අවශ්‍ය වේ. නමුත් ළදරු වියෙන් පසු ශරීරයේ නිපදවන ලැක්ටේස් ප්‍රමාණය සෑහෙන අඩුයි. මෙය වැඩිහිටි වියේදී ලැක්ටෝස් අසාත්මිකතාව ඇතිවීමට තුඩු දිය හැක.
ඔරොත්තු නොදෙන ලැක්ටෝස් ප්‍රමාණයක් කෙනෙකුගේ ශරීරයට ඇතුල් වෙද්දී, මහාන්ත්රයෙහි ඇති බැක්ටීරියා සමඟ එය ප්‍රතික්‍රියා කරමින් ලැක්ටික් අම්ලය හා කාබන්ඩයොක්සයිඩ් බවට පත් වේ. විනාඩි 30ක් තරම් කෙටි කාලයක් ඇතුළත රෝග ලක්ෂණ මතුවීමට පටන්ගනියි. ඔක්කාර ගතිය, උදරයේ පිපීම හා වේදනාව මෙන්ම පාචනය මේ රෝග ලක්ෂණ අතර වේ. ලැක්ටෝස් අඩංගු වන්නේ කිරිවල සහ කිරිවලින් සාදන ලද වෙනත් ආහාරවලයි. නමුත් මේ සම්බන්ධයෙන් ලැක්ටෝස් අසාත්මිකතාවෙන් පෙළෙන ඇතමෙකු නොදනියි. එමනිසා තම උදරයට සහනයක් ලබාගැනීම සඳහා ඔවුන් තව තවත් කිරි බීමට පෙලඹෙයි. මෙයින් සිදු වන්නේ තත්වය වඩා උග්‍ර අතට හැරෙන එක පමණයි.
මතක තබාගත යුතු කරුණක් තිබේ. ලැක්ටෝස් අසාත්මිකතාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සමහර අයට කුඩා කිරි වීදුරුවක් බීම ප්‍රශ්නයක් නොවේ. තවත් සමහරෙකුට නම් මෙය පවා අහිතකර විය හැක. නමුත් තමාට ඔරොත්තු දෙන ලැක්ටෝස් ප්‍රමාණය නිශ්චය කරගැනීම සඳහා කුඩා කිරි වීදුරුවක් බොන්න කියා ඇතමෙකු නිර්දේශ කරයි. ඊට පසුව, බොන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි කරන්න කියා ඔවුන් කියා සිටියි. ලැක්ටෝස් අසාත්මිකතාවේ රෝග ලක්ෂණවලින් යම් අපහසුතාවක් දැනුණත්, ඒවායින් බරපතළ හානියක් සිදු වන්නේ කලාතුරකින් බව මතක තබාගන්න.
කෑමට සුදුසු හා නුසුදුසු දේ තෝරාගැනීම
ඔබත් මෙම අසාත්මිකතාවෙන් පෙළෙනවා නම්, කෑ යුතු දේ හා නොකෑ යුතු දේ කුමක්ද කියා තීරණය කරගත යුතුයි. මෙය බොහෝවිට තීරණය වන්නේ ඔබට ලැක්ටෝස් කොතරම් දුරට ඔරොත්තු දෙනවාද යන්න මතයි. කිරි, අයිස් ක්‍රීම්, යෝගට්, බටර් හා චීස් වැනි ආහාරවල ලැක්ටෝස් අඩංගු වේ. විකිණීමට තිබෙන සමහර කේක් වර්ග, සීරියල් වර්ග හා සලාදවලට එකතු කරන ලද මිශ්‍රණවල (සැලඩ් ඩ්‍රෙසිං) පවා ලැක්ටෝස් තිබිය හැක. එමනිසා මෙම අසාත්මිකතාවෙන් පෙළෙන අය මෙවැනි ආහාර මිල දී ගැනීමට පෙර අඩංගු පෝෂ්‍ය පදාර්ථ පිළිබඳව ඇසුරුමෙහි දක්වා ඇති විස්තර හොඳින් සෝදිසි කළ යුතුයි.
කොහොම වුණත්, අප ප්‍රධාන වශයෙන්ම කැල්සියම් ලබාගන්නේ කිරිවලින් බව අමතක නොකළ යුතුයි. කැල්සියම් ඌනතාව ඔස්ටියෝපරෝසිස්වලට (අස්ථි ප්‍රදාහයට) මඟ පෑදිය හැකියි. එමනිසා ඔබ ලැක්ටෝස් අසාත්මිකතාවෙන් පෙළෙනවා නම් කැල්සියම් අනූන වෙනත් ආහාර ගැනීමට වෑයම් කරන්න. බ්‍රොකලි, ගෝවා, නිවිති වැනි අමු එළවළුවල කැල්සියම් අඩංගුයි. ආමන්ඩ්, තල මෙන්ම සැමන්, සාඩින් හා හුරුල්ලන් වැනි කටුව මොළොක් මාළු වර්ගද මේ සඳහා හොඳයි.
ඔබ ලැක්ටෝස් අසාත්මිකතාවෙන් පෙළුණත් කිරි සහිත ආහාරවලින් සම්පූර්ණයෙන්ම වැළකීම අවශ්‍ය නැත. ඒ වෙනුවට, ඔබේ ශරීරයට ඔරොත්තු දිය හැකි ලැක්ටෝස් ප්‍රමාණය නිශ්චය කරගන්න. හැකි නම්, ලැක්ටෝස් අඩංගු ආහාර සමඟ වෙනත් ආහාර අනුභව කිරීමට වෑයම් කරන්න. කිරිවලින් සෑදූ වෙනත් ආහාරවලට වඩා පරණ චීස්වල ලැක්ටෝස් ප්‍රමාණය අඩු නිසා, සමහරවිට එයින් වැඩි හානියක් සිදු නොවිය හැකි බවත් මතක තබාගන්න. යෝගට් ගැන කුමක් කිව හැකිද? කිරිවලට සමාන ලැක්ටෝස් ප්‍රමාණයක් යෝගට්වල අඩංගුයි. නමුත් ලැක්ටෝස් අසාත්මිකතාව තිබෙන ඇතමෙකුට එයින් කිසිම හානියක් සිදු නොවේ. ඒ මන්ද? යෝගට්වල ලැක්ටේස් නිපදවන ක්ෂුද්‍ර ජීවීන් සිටී. මෙය ලැක්ටෝස් ජීරණයට උපකාරයකි.
එමනිසා ඔබ ලැක්ටෝස් අසාත්මිකතාවෙන් පෙළෙනවා නම් කලබල වන්න එපා. මේ රෝගය පිළිබඳව තොරතුරු රැස් කරගැනීමෙන් ඔබට ඒ සමඟ සාර්ථක ලෙස කටයුතු කළ හැක. නමුත් මෙම කරුණු මතක තබාගන්න.
(1) කිරි හෝ කිරි සහිත ආහාර ගනිද්දී, වෙනත් ආහාර සමඟ ඒවා සුළු වශයෙන් ආහාරයට ගන්න. මෙසේ කරද්දී ඔබට ඔරොත්තු දිය හැකි ලැක්ටෝස් ප්‍රමාණය නිශ්චය කරගත හැකියි.
(2) වඩා පහසුවෙන් ජීරණය වන යෝගට් හා පරණ චීස් ආහාරයට ගන්න.
(3) ලැක්ටෝස් රහිත හෝ ලැක්ටේස් සහිත ආහාර තිබෙනවා නම් එයින් උපරිම ප්‍රයෝජන ගන්න.
මෙම යෝජනා පිළිපැදීමෙන් ඔබටත් ලැක්ටෝස් අසාත්මිකතාව සමඟ සාර්ථක ලෙස කටයුතු කරන්න පුළුවන්!
[පාදසටහන]
a වැඩියෙන්ම ලැක්ටෝස් අසාත්මිකතාවෙන් පෙළෙන්නේ ආසියාතිකයන්ය. උතුරු යුරෝපීයයන්ට මෙම රෝගය නොමැති තරම්ය.
[22, 23වන පිටුවේ කොටුව/පින්තූරය]
ලැක්ටෝස් අසාත්මිකතාව හඳුනාගැනීම
ලැක්ටෝස් අසාත්මිකතාව හඳුනාගැනීමට ක්‍රම කිහිපයක් තිබේ.
ලැක්ටෝස් ඔරොත්තු දීමේ පරීක්ෂණය: නිරාහාරව සිට, රෝගියා ලැක්ටෝස් අඩංගු දියරයක් බොයි. ඉන්පසු, ලැක්ටෝස් කොතරම් හොඳට ජීරණය වනවාද කියා බැලීමට රුධිර සාම්පලයක් ගනියි.
හයිඩ්රජන් ආඝ්රාණ පරීක්ෂණය: ලැක්ටෝස් ජීරණය නොවූ විට හයිඩ්රජන් ඇතුළු වායූන් කිහිපයක් නිපදවේ. මෙය බඩවැල්වල සිට රුධිර සංසරණ පද්ධතියටත් පසුව පෙණහලුවලටත් ගමන් කරයි. ඉන්පසුව එය ශ්වාසනාලයෙන් පිට වේ.
අසූචිවල ආම්ලිකතාව පරීක්ෂා කිරීම: ලැක්ටෝස් ජීරණය නොවූ විට මහාන්ත්‍රයේ විවිධ අම්ල නිපදවේ. මෙය අසූචි පරීක්ෂණයකින් සොයාගත හැක.
සාමාන්‍යයෙන් මෙම පරීක්ෂණ පැවැත්වීම සඳහා රෝහල්ගත වීම අවශ්‍ය නැත.