අතීතයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
“හේතුව සහ ඵලය ඉතා සියුම්ව දැක්වීමට වඩා දෙයක් ඉතිහාසඥයෙකුට තවත් නැත.” ඉතිහාසය පිළිබඳ සහකාර මහාචාර්ය ජෙරල්ඩ් ෂ්ලැබක්.
යම් සිදුවීමක් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ඉතිහාසඥයන්ගේ මුව අග රැඳෙන ප්‍රශ්න දෙකක් ඇත. පළමුවැන්න, ඒක එහෙම වුණේ ඇයි? දෙවැන්න, ඒක වුණේ කොහොමද? නිදසුනක් වශයෙන්, රෝම අධිරාජ්‍යය පරාජය වූ බව ඉතිහාසයේ කියැවේ. නමුත් එය පරාජය වූයේ මන්ද? දූෂණය නැත්නම් විනෝදාස්වාදයට දැක්වූ අධික ලොල්කම බලපෑවා විය හැකිද? අධිරාජ්‍යය පාලනය කිරීමට අසීරු වීම හෝ හමුදා මෙහෙයුම් සඳහා මිල මුදල් හිඟවීම ඊට හේතු වූවා විය හැකිද? එසේත් නැතිනම් පරාජයට පාදක වූයේ අධිරාජ්‍යයේ සතුරන් රෝමයට වඩා බලවත් වීමද?
නැඟෙනහිර යුරෝපීය රටවල් වෙළාගෙන තිබූ කොමියුනිස්ට්වාදය බටහිරට තර්ජනයක් සේ පෙනෙන්ට තිබුණද, මෑත කාලයේදී එය එක රැයකින් ඒ සෑම රටකටම ආයුබෝවන් කියා යන්ට ගියේය. නමුත් එහෙම වුණේ ඇයි? එයින් අප ඉගෙනගන්නේ කුමක්ද? ඉතිහාසඥයන් උත්තර දීමට වෑයම් කරන්නේ මෙවන් ප්‍රශ්නවලටය. නමුත් වගඋත්තර බැඳීමේදී ඔවුන්ගේ නිගමනවලට පක්ෂ භජනය මිශ්‍ර වී ඇත්තේ කොතරම් දුරකටද?
ඉතිහාසය පිළිබඳ නිගමන පිළිගත හැකිද?
ඉතිහාසඥයෙකු වනාහි විද්‍යාඥයෙකුට වඩා රහස් පරීක්ෂකයෙකු මෙනි. ඔවුන් අතීත වාර්තා පරීක්ෂණයට භාජන කරයි. ප්‍රශ්නයට නඟයි. අභියෝග කරයි. ඔවුන් සැබෑව සෙවීමට තැත් කළත් බොහෝවිට ඔවුන්ගේ ඉලක්කය වැරදී යයි. ඊට බලපාන එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ පර්යේෂණ බොහෝදුරට මිනිසුන් පිළිබඳ වතගොත සෙවීම හා බැඳී පැවතීමය. ඉතිහාසඥයන්ට, ජීවත් වන මිනිසාගේ මනසේ සිතුවිලි කියවීමට හැකියාවක් නැත. එසේ නම්, මියගිය අතීත මිනිසුන්ගේ මනස් කියවීම ගැන කතා කිරීමෙන් පලක් වේද? ඉතිහාසඥයන් යම් කාරණයක් පිළිබඳව කලින්ම තීරණවලට බැස තිබෙනවාද විය හැකිය. එසේත් නැත්නම්, යම් අගතිසහගත හැඟීම් තිබෙනවාද විය හැක. එමනිසා, සමහර අවස්ථාවලදී හොඳම ඉතිහාස කෘතිය ලේඛකයාගේ පෞද්ගලික අදහසක් විය හැකිය.
කෙසේවෙතත්, ඉතිහාසඥයෙකු තම කෘතියක ඔහුගේ අදහසට අනුව යමක් පැවසූ පමණින් එය සැක කටයුතුය කියා තීරණයකට එළඹීම සාධාරණ නැත. බයිබලයේ සාමුවෙල්, රාජාවලිය සහ ලේකම් වැනි පොත් ලියා තිබෙන්නේ ලේඛකයන් පස්දෙනෙකු විසිනි. එහි එකම සිද්ධිය ගැන පස්දෙනාම විවිධ කෝණවලින් අදහස් දක්වා තිබේ. එහෙත් ඒවා අතර සැලකිය යුතු පරස්පර විරෝධීභාවයක් හෝ දෝෂයක් සොයාගැනීමට නැත. සුවිශේෂ හතර සම්බන්ධයෙන් ගත් කලද කිව හැක්කේ එවැනිම දෙයකි. බයිබල් ලේඛකයන් බොහෝදෙනෙකු තමන් අතින් සිදු වූ වැරදි මෙන්ම ඉතාම අඥාන අතපසු වීම් ගැනද වාර්තා කර තිබේ. මෙවැනි අවංක වාර්තා ලෞකික මූලාශ්රවල සොයාගැනීමට නොමැත.—ගණන් කථාව 20:9-12; ද්විතීය කථාව 32:48-52.
ඉතිහාසය සම්බන්ධයෙන් කියවද්දී, පක්ෂ භජනයට අමතරව අප මතකයේ තබාගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ, ලේඛකයාගේ චේතනාවයි. “බලයේ සිටින්නෙක් හෝ බලය ලබාගැනීමට වෑයම් කරන්නෙක් හෝ ඔවුන්ගේ මිතුරෙක් හෝ ඉතිහාසය ගැන කතා කිරීමේදී සෑමවිටම එහි මොකක් හරි යටි කූට්ටු අදහසක් තිබෙනවා” කියා ඉතිහාසය තේරුම්ගැනීමට අත්පොතක් (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මයිකල් ස්ටැන්ෆඩ් පවසයි. සමහර ඉතිහාස කෘති ඉතා සූක්ෂ්ම ලෙස හෝ සමහර අවස්ථාවලදී ඉතා ඍජු ලෙස ජාතිවාදී මෙන්ම දේශානුරාගී අදහස්වලට දිරි දෙනවා. එවැනි කෘති පිටුපස ඇත්තේ සැක කටයුතු චේතනායි. මෙවැනි අදහස් උදහස් පාසැල් අච්චු පොත්වල පවා දක්නට ලැබීම ඉතාම කනගාටුදායක කරුණකි. පාසැල්වල ඉතිහාසය ඉගැන්වීමේ අරමුණ ගැන එක් ආණ්ඩුවක් ඍජුවම මෙසේ පැවසීය. “එහි අරමුණ, මිනිසුන්ගේ සිත් සතන්හි ජාතිවාදී සහ දේශානුරාගී හැඟීම් පැලපදියම් කිරීමය . . . කෙනෙකු දේශානුරාගයෙන් කටයුතු කිරීමට නම් ඔහුට තමන්ගේ ජාතියේ අතීතය පිළිබඳ දැනුම අත්‍යවශ්‍යය.”
කැමති අතට හරවාගත් ඉතිහාසය
සමහර අවස්ථාවලදී ඉතිහාසය පක්ෂ භජනයට ලක් කර තිබෙනවා පමණක් නොව, එය කෙනෙකුට රිසි ලෙස හරවාගෙනද ඇත. උදාහරණයක් හැටියට, කලින් සෝවියට් දේශය දෙස බලන්න. “ට්‍රොට්ස්කි යන නාමය ඉතිහාස වාර්තාවලින් මකා දැමුවේ එවැන්නෙකු පැවතුණාය යන්න අනාගත පරපුරෙන් වසන් කිරීමටය” කියා ඉතිහාසය පිළිබඳ සැබෑව (ඉංග්‍රීසියෙන්) නමැති පොත පවසයි. ට්‍රොට්ස්කි කවරෙකු වීද? ඔහු රුසියානු බොල්ෂෙවික් විප්ලවීය නායකයෙකු වූ අතර, ලෙනින්ගේ ප්‍රධාන සහයකයා විය. ලෙනින්ගේ මරණයෙන් පසු, ට්‍රොට්ස්කි ස්ටාලින් සමඟ ගැටුණේය. ඒ හේතුවෙන් ඔහුව කොමියුනිස්ට් පක්ෂයෙන් පන්නා දැමූ අතර, පසුව ඝාතනය කරන ලදි. ඔහුගේ නම සෝවියට් විශ්වකෝෂවලින් පවා ඉවත් කෙරිණ. ඒකාධිපති පාලනතන්ත්ර කිහිපයකම මෙවැනි ක්‍රියාකලාපයන් අනුගමනය කර ඇති අතර, ඊට පිටුපා හඬ නැඟූ පොත පත පුලුස්සා දැමීමට තරම්ම ඔවුන් එඩිතර විය. ඔවුහු ඔවුන්ගේ යකඩ මෙන් දරදඬු පාලන හස්තයෙන් ඉතිහාසය අඹරා දැමූහ.
ඉතිහාසය රිසි අතට කැරකැවීම අද ඊයේ පටන්ගත්තක් නොවේ. එය මිසර සහ අෂූරීය ඉතිහාසය තරම් ඈතට දිව යයි. පුහුමාන්නයෙන් පෙළුණු උඩඟු ඵාරාවෝ ඇතුළු රජවරු සහ අධිරාජයන් තමන් සම්බන්ධ ඓතිහාසික සිදුවීම්වලට අතිශයෝක්තිය එක් කළහ. මෙලෙස, තමන් අත් කරගත් ජයග්රහණයන් අනිවාර්යයෙන්ම අතිශයෝක්තියෙන් විස්තර කළ අතර, සිදු වූ යුධ පරාජයන් වැනි නින්දාවට සහ ලැජ්ජාවට හේතු වන දේවල් ඉතිහාසයට එකතු නොවන ලෙස එහි බරපතළකම අඩු කර දක්වන ලදි. නැතහොත් ඉතිහාසයෙන් මකා දමන ලදි. බයිබලයෙහි වාර්තා කර ඇති ඉශ්රායෙල්වරුන්ගේ ඉතිහාසය ගැන සලකද්දී, එය ඊට හාත්පසින්ම වෙනස්ය. ඉශ්රායෙල් රජවරුන්ගේත්, ඔවුන්ගේ යටත් වැසියන්ගේත් ජයග්රහණයන් මෙන්ම පරාජයන් එක හා සමානව වාර්තා කර තිබේ.
ඉතිහාසඥයන් පුරාණ ලියවිලිවල නිරවද්‍යතාව පරීක්ෂා කර බලන්නේ කෙසේද? ඔවුන් ඒ සඳහා පුරාණ බදු වාර්තා, නීති සංග්‍රහයන්, වහල් වෙන්දේසි සඳහා පිළියෙළ කළ දැන්වීම්, ව්‍යාපාරික සහ පුද්ගලික ලිපි මෙන්ම වාර්තාවන්, බිඳී ගිය මැටි භාජනවල කොටස්, නැව්වල ගමන් වේගය පිළිබඳ වාර්තා සහ සොහොන් ගෙවල් සහ සොහොන් බිම්වලින් ගොඩගත් දේවල් යොදාගනී. මේවා පුරාණ ලියවිලි සමඟ සන්සන්දනය කරනු ලැබේ. මෙවැනි දේවල් මුල් පිටපත් වටහාගැනීම සඳහා වැඩිමනත් හෝ අමතර අවබෝධයක් ලබා දේ. තේරුම්ගැනීමට අපහසු හෝ අස්ථිර යමක් වෙතොත්, අඩුව පිරවීමට ඔවුහු තම අදහස් උදහස් පළ කරති. අවංක ඉතිහාසඥයන් නම් සාමාන්‍යයෙන් ඒ බව දැනුම් දෙයි. ඒ කෙසේවෙතත්, ඉතිහාසය සම්බන්ධයෙන් තමන්ට සමබර විග්‍රහයක් අවශ්‍ය කරයි නම්, බුද්ධිමත් පාඨකයා ඒ පිළිබඳව ඇති එක මූලාශ්‍රයකින් පමණක් සෑහීමට පත් නොවන්නේය.
ඉතිහාසඥයෙකු විවිධාකාර අභියෝගවලට මුහුණ දුන්නද ඔවුන්ගේ කෘතිවලින් බොහෝ සෙයින් ප්‍රයෝජන අත් කරගත හැක. එක් ඉතිහාස පොතක මෙසේ පැහැදිලි කරයි. “ලියන්න ඒ තරම්ම පහසු නැතත්, . . . ලෝක ඉතිහාසය අපට වැදගත්ය, අත්‍යවශ්‍යය.” අතීතයට එබිකම් කිරීමට ඉතිහාසය කවුළුවක් වෙනවාට අමතරව මිනිසාගේ වර්තමාන තත්වය දෙස පුළුල් අවබෝධයකින් බැලීමට එය අපේ නුවණැස පාදයි. උදාහරණයක් වශයෙන් පැරැන්නන් සතු වූ ගතිලක්ෂණ ඒ අයුරින්ම අද ජීවත්වන්නන්ද සතු බව එමගින් අපට විගස තේරුම්ගත හැකි වේ. නැවත නැවත ඉස්මතු වන මේ ගතිලක්ෂණ මිනිස් ඉතිහාසය පුරා විශාල බලපෑම් සිදු කර ඇත. එබැවින් යටගියාව යළි මතු වේයයි සමහරු කියති. එහෙත්, මෙවැනි නිගමනයකට පැමිණීමට පැහැදිලි හේතු සාධක තිබේද?
ඇත්තටම යටගියාව යළි මතු වේද?
අතීතය පදනම් කරගෙන අපට අනාගතය ගැන නිවැරදි අනාවැකි පළ කළ හැකිද? සමහර සිද්ධීන් යළි යළිත් සිදු වේ. උදාහරණයක් හැටියට, එක්සත් ජනපදයේ හිටපු විදේශ අමාත්‍ය හෙන්රි කිසිංගර් මෙසේ කීවේය. “මෙතෙක් පැවත ඇති සෑම ශිෂ්ටාචාරයක්ම බිඳ වැටී ඇත. ඉතිහාසය කියන්නේ අසාර්ථක වූ උත්සාහයන් පිළිබඳ වාර්තාවකි. ඉටු නොවුණු ප්‍රාර්ථනා ගොන්නකි. . . . එබැවින් ඛේදනීය සිදුවීම් වැළැක්විය නොහැකි බව ඉතිහාසඥයෙකු විසින් පිළිගත යුතුය.”
කෙසේවෙතත්, සැමවිටම අධිරාජ්‍යයන් දෙකක් එකම ආකාරයකට බිඳ වැටී නැත. බබිලෝනිය පො.යු.පෙ. 539දී එක රැයකින් මේද පර්සියාව අතට පත් විය. මහා ඇලෙක්සැන්ඩර්ගෙන් පසු ග්‍රීසියේ අධිරාජ්‍යය රාජ්‍යයන් කිහිපයකට බෙදී, අන්තිමට රෝමයට නතු විය. කෙසේවෙතත්, රෝමයේ බිඳ වැටීමට හේතු කිසිවෙකු සොයාගෙන නැත. ඉතිහාසඥ ජෙරල්ඩ් ෂ්ලැබක් මෙසේ අසයි. “රෝමය බිඳ වැටුණේ කවදාද? එය ඇත්තටම බිඳ වැටුණාද? එහෙත්, පොදු යුගයේ 400ත් 600ත් අතර කාලයේදී බටහිර යුරෝපයෙහි යම් වෙනසක් සිදු විය. කෙසේවෙතත්, බොහෝ දේවල් නොවෙනස්ව දිගටම පැවතුණි.”a පැහැදිලිවම, ඉතිහාසයේ සමහර අංග නැවත නැවත ඉස්මතු වුණත්, සමහර ඒවා එසේ සිදු නොවේ.
වෙනස් නොවී යළි යළිත් ඉතිහාසයෙන් උගන්වන පාඩමක් වන්නේ මිනිස් පාලන ක්‍රමවල ඇති අසාර්ථකත්වයයි. මිනිසා ජීවත් වූ සෑම යුගයකදීම යහපත් ආණ්ඩුවක අවශ්‍යතාව තිබුණි. එහෙත්, ආත්මාර්ථකාමිකම, අදූරදර්ශීබව, ගිජුකම, දූෂණය, ඥාතීන්ට අනිසි සැලකිලි සහ විශේෂයෙන්ම බල තණ්හාව එම අවශ්‍යතාව පාගා දමා පැත්තකට වීසි කළේය. මේ හේතුවෙන් ඉතිහාසය පිරී තිබෙන්නේ, යුධ ශක්තිය තර කිරීම, ගිවිසුම් අසාර්ථක වීම, යුද්ධ, සමාජ කැලඹීම් සහ සැහැසියාව, ධනය සම සේ බෙදී නොයෑම සහ කඩා වැටුණු ආර්ථික ක්‍රම වැනි දේවලිනි.
උදාහරණයක් හැටියට, බටහිර ශිෂ්ටාචාරය ලෝකයේ ඉතිරි රටවල් කෙරෙහි ඇති කළ බලපෑම ගැන, ද කොලම්බියා හිස්ට්‍රි ඔෆ් ද වර්ල්ඩ් යන පොතේ සඳහන් දේ බලමු. එහි මෙසේ පවසා තිබේ. “කොලම්බස් සහ කෝර්ටස් බටහිර යුරෝපයේ සිටි මිනිසුන්ගේ මනස් පිබිදවූහ. ඔවුන්ට කළ හැකි දේවල් ගැන අවබෝධයක් ලබා දුන්හ. මෙයින් ඇවිස්සුණු ජනයා මිනිසුන්ව ආගම්වලට හරවාගැනීමට, ලාභ ලැබීමට සහ කීර්තිය අත් කරගැනීමට තමන්ට ඇති හැකියාව වටහාගත්හ. මෙසේ ඔවුහු බයිනෙත්තුවෙන් මුළු ලෝකයටම වාගේ බටහිර ශිෂ්ටාචාරය හඳුන්වා දුන්හ. කිසිවෙකුට නැති ආකාරයේ යුධායුදවලින් සන්නද්ධව රට රාජ්‍යයන් අල්ලාගැනීමට තලු මරමින්, මහා යුරෝපීය බලය තමන්ව ලෝ වැසි සැමගේ අප්‍රසාදයට ලක් වන අයුරින් ක්‍රියා කළහ. . . . කොටින්ම කියනවා නම්, යටත් විජිත බවට පත් වූ එම මහාද්වීපවල [අප්‍රිකානු, ආසියානු සහ අමෙරිකානු] විසූ ජනයා කෲර මෙන්ම දැඩි ලෙස ශ්‍රමය සූරාකෑමේ ගොදුරු බවට පත් වූහ.” බයිබලයේ දේශනාකාරයා පොතේ 8:9හි කියන දේ මොනතරම් සැබෑද! “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක් තිබේ.”
ඉතිහාසයෙන් ඉගෙනගත හැකි එකම දෙය වන්නේ, මිනිසා ඉතිහාසයෙන් කිසිවක් ඉගෙනගෙන නැත යන්නයි කියා ජර්මානු දාර්ශනිකයෙකු කියන්ට ඇත්තේ මෙවන් දුඃඛිත සිදුවීම් නිසා විය හැක. යෙරෙමියා 10:23 මෙසේ කියයි. “තම ගමන් මඟ හැසිරවීම මිනිසාට කළ නොහැක්කකි. තමාගේ ජීවිතයෙහි පියවර මෙහෙයවීම මිනිසා සතු කාර්යයක් නොවේ.” (ද ජෙරූසලම් බයිබල්) අපේ පියවර මෙහෙයවීමට හැකියාවක් නැතිකම ගැන අප විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. ඊට හේතුව කුමක්ද? ඊට හේතුව නම්, පෙර නොවූ විරූ පරිමාණයකින් මිනිසා අදදින පීඩිත තත්වයන්ට ගොදුරු වීමයි. මේ තත්වයට අප සාර්ථක ලෙස මුහුණ දෙන්නේ කෙසේද?
පෙර නොවූ විරූ ආකාරයේ ගැටලු
මිනිස් ඉතිහාසයේ කවරදාකවත් මුළු පොළොවම මෙතරම් දුරට ප්‍රබල තර්ජනයකට ගොදුරු වී නැත. වනාන්තර එළි කිරීම, පාංශු ඛාදනය, කාන්තාර වැඩිවීම, ශාක සහ සත්ව වර්ග වඳ වී යෑම, ඕසෝන් ස්තරය ක්ෂය වීම, පරිසර දූෂණය, පෘථිවි උෂ්ණත්වය වේගයෙන් ඉහළ යෑම, කොරල් පර විනාශ වීම නිසා සාගර අසිරිය වැනසී යෑම, පාලනයෙන් තොර ජනගහන වර්ධනය වැනි දෑ මේ තර්ජනයට අයත් වේ.
සොබා දහම පිළිබඳ ඉතිහාසය (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ කියන්නේ “වර්තමාන සමාජය මුහුණ දෙන තවත් අභියෝගයක් නම් වෙනස් වීම් සිදු වන වේගය” කියායි. වර්ල්ඩ් වොච් සඟරාවේ කර්තෘ වන එඩ් ආර්ස් මෙසේ ලියයි. “අප හමුවට පැමිණෙන යම්කිසි දෙයකි. එය අපගේ අද්දැකීමට කොතරම් නුහුරු නුපුරුදුද කිවහොත් ඉතා පැහැදිලි සාක්ෂි මැද පවා එය අපට නොපෙනේ. එය අපේ ජීවිතයට මෙන්ම භෞතික පරිසරයටද දැවැන්ත වෙනස්කම් සිදු කරන, අපට පහර දෙන වෙඩි වරුසාවක් මෙනි.”
මෙම ගැටලු සහ ඊට අදාළ වෙනත් ගැටලු දෙස බලා ඉතිහාසඥ පාර්ඩන් ඊ. ටිලිංහාස්ට් මෙසේ පවසයි. “සමාජය ගමන් කරන දිශාව එන්න එන්නම සංකීර්ණ වී ඇත. විසඳිය නොහැකි ප්‍රශ්න අප බොහෝදෙනෙකුව තුෂ්ණිම්භූත කරන්නේය. ව්‍යාකූල වී සිටින ජනයා වෙනුවෙන් ඉතිහාසඥයන්ට දිය හැකි ප්‍රායෝගික මඟ පෙන්වීම කුමක්ද? පෙනෙන විදිහට ඔවුන්ද අතරමං වී ඇත.”
මොනවා කරන්නද මොනවා කියන්නද කියා නොදැන දක්ෂ ඉතිහාසඥයන් අතරමං වී ඇතත්, අපේ මැවුම්කරුවා නම් එසේ වී නැති බව සහතිකයි. ඇත්ත වශයෙන්ම, ඔහු බයිබලයෙහි මේ අන්තිම දවස් ගැන පුරෝකථනය කර ඇත්තේ, “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්” හැටියටයි. (2 තිමෝති 3:1-5, NW) එහෙත් දෙවි ඉන් ඔබ්බටත් යමින් ඉතිහාසඥයන්ට කළ නොහැකි දෙයක් කර තිබේ. අප ඊළඟ ලිපියෙන් සොයා බලන්ට යන පරිදි, ගැළවෙන මාර්ගය දෙවි මිනිසාට පෙන්වා දී තිබේ.
[පාදසටහන]
a රෝම අධිරාජ්‍යය තුළින්ම මතු වන තවත් ආණ්ඩුවක් කරණකොටගෙන එය වර්ධනය වූ ආකාරය පිළිබඳ අනාගතවක්තෘ දානියෙල්ගේ අනාවැකි හා ෂ්ලැබක්ගේ නිරීක්ෂණයන් අතර බොහෝ සමානකම් ඇත. කරුණාකර Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොතේ හතරවන සහ නවවන පරිච්ඡේද බලන්න.
[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“බලයේ සිටින්නෙක් . . . ඉතිහාසය ගැන කතා කිරීමේදී සෑමවිටම එහි මොකක් හරි යටි කූට්ටු අදහසක් තිබෙනවා.” ඉතිහාසඥ මයිකල් ස්ටැන්ෆඩ්
[24වන පිටුවේ පින්තූරය]
නීරෝ අධිරාජ්‍යයා
[හිමිකම් විස්තර]
Roma, Musei Capitolini
[27වන පිටුවේ පින්තූර]
සෑම යුගයකදීම “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකර” තිබේ
[හිමිකම් විස්තර]
පියෙර් ෆ්රිටෙල් ලියූ “ජයග්රහකයෝ.“ (වමේ සිට දකුණට): IIවන රැම්සස්, අතීලා, හැනිබාල්, ටැමර්ලේන්, ජුලියස් සීසර් (මැද), Iවන නැපෝලියන්, මහා ඇලෙක්සැන්ඩර්, නෙබුකද්නෙශර් සහ ෂාලමේන්. From the book The Library of Historic Characters and Famous Events, IIIවන කාණ්ඩය, 1895; ගුවන් යානා: USAF ඡායාරූප