117වෙනි පරිච්ඡේදය
උයනේදී ඉමහත් වේදනාවක් විඳිමින්
යාච්ඤා කිරීමෙන් අනතුරුව යේසුස් හා ඔහුගේ විශ්වාසවන්ත ප්‍රේරිතයන් 11දෙනා යෙහෝවාට ප්‍රශංසා ගී ගයනවා. ඉන්පසු, ඔවුන් උඩුමහල් කාමරයෙන් බැස පිටතට එද්දී රාත්‍රිය එළඹී ඇති අතර, එය ඉතා ශීත මෙන්ම අඳුරු රාත්‍රියක්. ඔවුන් තම ගමන අරඹා ආපසු කිද්‍රොන් මිටියාවත හරහා පියමං කරන්නේ බෙතානිය වෙතටයි. ගමන අතරතුරේදී ඔවුන්ගේ ප්‍රියතම තැනක් වන ගෙත්සෙමන උයනේදී ඔවුන් නතර වෙනවා. මෙය තිබෙන්නේ ඔලීව කන්ද මත හෝ ඒ අවට ප්‍රදේශයකයි. යේසුස් බොහෝ වරක් මෙහි ඔලීව ගස් යටදී තම ප්‍රේරිතයන්ව හමු වී තිබෙනවා.
ඔහු ප්‍රේරිතයන් අටදෙනෙකුට උපදෙස් දෙන්නේ, “මා අතනට ගොස් යාච්ඤා කරන තුරු, මෙහි ඉඳගෙන සිටින්න” කියායි. සමහරවිට, ඔහු ප්‍රේරිතයන් අටදෙනාව දමා යන්නේ උයනට ඇතුල් වන ස්ථානයේදී විය හැකියි. ඉන්පසු, පේතෘස්, යාකොබ් හා යොහන් වන අනිත් ප්‍රේරිතයන් තුන්දෙනා සමඟ ඔහු උයනේ තවත් ඇතුළට ගමන් කරනවා. යේසුස් අතිශයින් ශෝකයට පත් වී ඔවුන්ට මෙසේ පවසනවා. “මැරෙන තරමටම මම අතිශයින් ශෝකව සිටිමි. ඔබ මෙහි නැවතී මා සමඟ සෝදිසියෙන් සිටින්න.”
යේසුස් ටික දුරක් ඉදිරියට ගොස්, මුණින් වැටී ඉතා හැඟීම්බරව මෙසේ යාච්ඤා කරනවා. “මාගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය මා කෙරෙන් පහවීමට ඉඩහරින්න. නමුත් මාගේ කැමැත්ත නොව, ඔබේ කැමැත්ත ලෙස වේවා.” ඔහු ඉන් අදහස් කරන්නේ කුමක්ද? ඔහු ‘මැරෙන තරමටම අතිශයින් ශෝකව සිටින්නේ’ ඇයි? දිවි පුදමින් මිදීමේ මිලය ගෙවීමට ඔහු ගත් තීරණය ගැන ඔහු දැන් පසුතැවෙනවාද? එය මඟහරින්න තැත් කරනවාද?
කොහෙත්ම නැහැ! යේසුස් ඉල්ලා සිටින්නේ තමාව මරණයෙන් ගලවන්න කියා නොවෙයි. යේසුස්ට තම යාගික මරණය මඟහැරිය හැකියයි පේතෘස් වරක් ඇඟවූ විට යේසුස්ගේ ප්‍රතිචාරයෙන් පැහැදිලි වූයේ එම අදහසට පවා ඔහු පිළිකුල් කරන බවයි. ළඟදීම නින්දිත අපරාධකරුවෙකු ලෙස ඔහුට මැරෙන්න සිදු වෙනවා. ඉතිං, ඔහු මිය යන ආකාරයෙන් පියාගේ නාමයට ලොකු කැලලක් ඇති විය හැකියි. ඔහුට දැඩි වේදනාවක් දැනෙන්නේ ඒ නිසයි. තව පැය කිහිපයකින් පහත්ම පහත් අපරාධකරුවෙකු ලෙස, එනම් දෙවිට අපහාස කරන්නෙකු වශයෙන් ඔහුව වධකණුවක ඇණ ගසා මරා දමනු ලබන බව යේසුස් දන්නවා! ඔහු දැඩි සේ කැලඹෙන්නේ ඒ නිසයි.
සෑහෙන වේලාවක් යාච්ඤා කළ පසු යේසුස් නැවත වරක් ප්‍රේරිතයන් තුන්දෙනා සිටින තැනට යනවා. එතැනට යද්දී තුන්දෙනාම නිදාගෙනයි සිටින්නේ. පේතෘස්ව අමතමින් යේසුස් මෙසේ පවසනවා. “ඔබට එක පැයක්වත් මා සමඟ සෝදිසියෙන් සිටින්න බැරි වුණාද? ඔබ වරදට නොපෙලඹෙන පිණිස සෝදිසියෙන් සිට නොකඩවා යාච්ඤා කරන්න.” ඒ කොහොම වුණත්, ඔවුන් දැඩි මානසික පීඩනයක් යටතේ සිටින බවත් බොහෝ සෙයින් රෑ බෝ වී ඇති බවත් පිළිගනිමින් ඔහු මෙසේ පවසනවා. “සිත නම් කැමතිය, නමුත් මාංසය දුර්වලය.”
යේසුස් දෙවන වතාවටත් එතැනින් අහකට ගොස් ඉල්ලා සිටින්නේ, “මේ කුසලානය” හෙවත් ඔහු විසින් ඉටු කළ යුතුව තිබෙන යෙහෝවාගේ අරමුණ හෝ වැඩ කොටස තමා වෙතින් ඉවත් කරන ලෙසයි. ඔහු ආපසු ප්‍රේරිතයන් සිටින තැනට යනවා. මේ වතාවේදීත් ඔවුන් නිදා සිටින බව පෙනේ. ඇත්තෙන්ම මෙවැනි අවස්ථාවකදී ඔවුන් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස යාච්ඤා කරමින් සිටිය යුතුයි. යේසුස් ඔවුන්ට කතා කරද්දී ඔහුට කෙසේ පිළිතුරු දෙන්නද කියා ඔවුන් දන්නේ නැහැ.
අන්තිමට තුන්වන වතාවටත් යේසුස් මදක් ඈතට ගොස්, දණින් වැටී ඉතාමත් හැඟීම්බරව හඬ නඟමින් හා කඳුළු සලමින් මෙසේ යාච්ඤා කරනවා. “පියාණෙනි, ඔබ කැමති නම්, මේ කුසලානය මා වෙතින් ඉවත් කරන්න.” අපරාධකරුවෙකු ලෙස මිය යෑමේදී තම පියාගේ නමට ඇති වන නින්දාව ගැන යේසුස්ට දැඩි වේදනාවක් දැනෙන බව පැහැදිලියි. දෙවිට අපහාස කරන්නෙකු හෙවත් ශාප කරන්නෙකු ලෙස චෝදනා කරනු ලැබීම ඔහුට දරාගත නොහැකි තරම්!
එහෙත්, “මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා” කිය යේසුස් තවදුරටත් යාච්ඤා කරනවා. යේසුස් කීකරුව දෙවිගේ කැමැත්තට යටත් වෙනවා. මේ අවස්ථාවේදී, ස්වර්ගයෙන් දේවදූතයෙක් ඇවිත් දිරිගන්වනසුලු වචනවලින් ඔහුව ශක්තිමත් කරනවා. සමහරවිට, දේවදූතයා යේසුස්ට පවසන්නේ ඔහු තම පියාව සතුටට පත් කර ඔහුගේ අනුමැතිය දිනාගෙන සිටින බව වෙන්න ඇති.
යේසුස්ට පවරා ඇති වගකීම මොන තරම් භාරදූර එකක්ද කියා සිතා බලන්න! ඔහුට මෙන්ම මුළු මිනිස් සංහතියටම සදාකල් ජීවත් වීමට ඇති ප්‍රස්තාව පවතින්නේ අවදානම් තත්වයකයි. ඔහුට දැනෙන මානසික පීඩනය ඉමහත්. ඒ නිසා, යේසුස් වඩාත් හැඟීම්බරව නොනවත්වාම යාච්ඤා කරනවා. ඔහුගේ දහඩිය ලේ බිඳු මෙන් බිමට වැටෙනවා. “මෙය ඉතාමත් කලාතුරකින් සිදු වන දෙයක් වුවත්, දැඩි චිත්ත පීඩාවකින් පෙළෙන අවස්ථාවලදී . . . දහඩිය ලේ සමඟ පිට විය හැකි” බව එක්තරා වෛද්‍ය සඟරාවක (The Journal of the American Medical Association) සඳහන් කරනවා.
ඉන්පසු, යේසුස් තුන්වන වතාවටත් ප්‍රේරිතයන් වෙතට යද්දී, ඔවුන් නිදා සිටින බව ඔහු දකිනවා. අධික ශෝකයෙන් සිටින නිසා ඔවුන් ශාරීරිකවත් හෙම්බත් වෙලයි ඉන්නේ. ඔහු මහත් හැඟීමකින් මෙසේ පවසනවා. “මෙවැනි වෙලාවකත් ඔබ නිදාගෙන විවේක ගන්නවාද! ඉතින් ඇති! පැය පැමිණ තිබේ! මෙන්න! මනුෂ්‍ය පුත්‍රයාව පව්කාරයන්ගේ අත්වලට පාවා දෙනු ලබන්නේය. නැඟිටින්න, අපි යමු. මෙන්න! මා පාවා දෙන්නා ළඟටම ඇවිත් ඇත.”
ඔහු කතා කරමින් සිටියදීම, යූදස් ඉස්කාරියොත් සමඟ පහන්ද පන්දම්ද ආයුධද අතැති විශාල සමූහයක් පැමිණෙනවා. මතෙව් 26:30, 36-47; 16:21-23; මාක් 14:26, 32-43; ලූක් 22:39-47; යොහන් 18:1-3; හෙබ්‍රෙව් 5:7; NW.
▪ උඩුමහල් කාමරයෙන් පිටත්ව යෑමෙන් පසු, යේසුස් ප්‍රේරිතයන්ව කොතැනකට ගෙන යයිද? ඔහු එතැනදී කරන්නේ කුමක්ද?
▪ යේසුස් යාච්ඤා කරමින් සිටින අතරේදී, ප්‍රේරිතයන් කරමින් සිටින්නේ කුමක්ද?
▪ යේසුස් දැඩි වේදනාවක් දැනෙන්නේ කුමක් නිසාද? ඔහු දෙවිගෙන් ඉල්ලන්නේ කුමක්ද?
▪ යේසුස්ගේ දහඩිය ලේ බිඳු බවට පත්වීමෙන් පෙන්වන්නේ කුමක්ද?