ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 33 පාඩම 197 පි.-200 පි. 4 ¶
  • උපායශීලී නමුත් ස්ථිරව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උපායශීලී නමුත් ස්ථිරව
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • උපායශීලී ව එහෙත් ස්ථිර ව ක්‍රියා කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • උපා නැණ පාවිච්චි කිරීමේ කලාව ඉගෙනගැනීම
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සංවාද හැකියාව දියුණු කරගත හැකි අයුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • අප ප්‍රකාශ කළ යුතු පණිවිඩය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 33 පාඩම 197 පි.-200 පි. 4 ¶

පාඩම 33

උපායශීලී නමුත් ස්ථිරව

කළ යුතු වන්නේ කුමක්ද?

අන් අයගේ සිත් රිදවීමෙන් වැළකීමට ඔබ කියන දේ සම්බන්ධයෙන්ද, කියන අන්දම සහ කියන අවස්ථාව සම්බන්ධයෙන්ද තැනට සුදුසු නුවණ යොදා ගන්න.

එය වැදගත් වන්නේ මන්ද?

ඔබ උපායශීලීව කටයුතු කරනවා නම්, ශුභාරංචියට විවෘත මනසකින් යුතුව සවන්දීමට ජනයා වැඩි කැමැත්තක් දැක්විය හැක. උපායශීලිත්වය සෙසු ක්‍රිස්තියානීන් සමඟ හොඳ සබඳතාවක් පවත්වාගැනීමටද උපකාරවත් වේ.

උපායශීලිත්වය යනු අන් අයගේ සිත් නොරිදවා ඔවුන් සමඟ කටයුතු කිරීමේ හැකියාවයි. යමක් පැවසිය යුත්තේ කෙසේද සහ කවර අවස්ථාවේදීද කියා දැනසිටීම ඒ හා බැඳී පවතී. මින් අදහස් කරන්නේ හරි දේ දියාරු කිරීමවත්, සැබෑ කාරණා විකෘති කොට දැක්වීමවත් නොවේ. එමනිසා උපායශීලිත්වය මිනිසුන්ට තිබෙන භය සමඟ පටලවා නොගත යුතුය.—හිතෝ. 29:25.

උපායශීලී වීමට හොඳම පදනම සපයන්නේ ශුද්ධාත්මයේ ඵලයි. මේ අනුව, ප්‍රේමයෙන් පෙලඹෙන පුද්ගලයෙක් අන් අයව කුපිත කිරීමට කැමැත්තක් නොදක්වයි. ඒ වෙනුවට ඔහුගේ ආශාව වන්නේ ඔවුන්ට යම් උපකාරයක් පිරිනැමීමයි. කාරුණිකව හා මෘදුව කටයුතු කරන කෙනෙකු ඔහුගේ කාරණා කටයුතුවලදී ක්‍රියා කරන්නේ දැඩි හෝ පරුෂ නොවන අන්දමකිනි. සාමය ඇති කරන පුද්ගලයෙක් නිතරම අන් අය සමඟ යහපත් සබඳතා ඇති කරගැනීමට මං සොයයි. මිනිසුන් පරුෂ විලාසයකින් කටයුතු කළත්, බොහෝ-ඉවසිලිවන්ත පුද්ගලයෙක් සන්සුන්ව සිටියි.—ගලා. 5:22, 23.

කෙසේවෙතත්, බයිබලයේ පණිවිඩය කවර අන්දමකින් ඉදිරිපත් කළද, ඇතැම් පුද්ගලයෝ එය නුරුස්සති. මුල් සියවසේ යුදෙව්වන් බහුතරයකට දුෂ්ට හදවත් තිබුණු නිසා, යේසුස් ක්‍රිස්තුස් ඔවුන්ට “පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද” විය. (1 පේතෘ. 2:7, 8) රාජ්‍යය පිළිබඳ පණිවිඩය පතළ කිරීමට වූ තම කාර්යය සම්බන්ධයෙන් යේසුස් පැවසුවේ මෙසේය. “මා ආවේ පොළොවෙහිදී ගින්නක් අවුලවන්නටය.” (ලූක් 12:49, NW) ඇත්තෙන්ම මිනිස්වර්ගයා ඉදිරියෙහි තවමත් දැවෙන ප්‍රශ්නයකි, යෙහෝවාගේ රාජ්‍යය. මන්ද තම මැවුම්කරුගේ පරමාධිපත්‍යය මිනිසුන් විසින් පිළිගැනීමේ අවශ්‍යතාව ඒ හා බැඳී පවතින බැවිනි. මේ අනුව, දැන් පවතින දුෂ්ට ක්‍රමය දේවරාජ්‍යය මගින් ඉවත් කරනු ලබන බවට වූ පණිවිඩය බොහෝදෙනා නුරුස්සති. එනමුත්, අපි දෙවිට කීකරු වන නිසා, දිගටම දේශනා කරන්නෙමු. කෙසේවෙතත්, එසේ කරන අතරතුරේදී මෙම බයිබල් උපදෙස සිහියේ තබාගනිමු. “හැකි නම්, එනම් ඔබට හැකි උපරිමයෙන්, සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න.”—රෝම 12:18, NW.

උපායශීලීව සාක්ෂි දැරීම. අපි නොයෙකුත් තත්වයන් පසුබිම් කරගෙන අපගේ ඇදහිල්ල ගැන අන් අයට කතා කරන්නෙමු. ක්ෂේත්‍ර සේවයෙහිදී එසේ කරන බව ඇත්තය. එනමුත්, නෑදෑයන්, රැකියා ස්ථානයෙහි සගයන් සමඟ සහ පාසැලේ සෙසු ශිෂ්‍යයන් සමඟ කතා කිරීමට ප්‍රස්තා උදා වන තෙක් අපි බලා සිටිමු. මෙවැනි ඕනෑම අවස්ථාවකදී උපායශීලිත්වය අවශ්‍ය වේ.

අප අන් අයට රාජ්‍යය පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කරද්දී, ඔවුන්ට තරවටු කරන්නාක් මෙන් හා ඔවුන්ගේ විශ්වාසයන් හෙළා දකින්නාක් මෙන් කතා කරන බව ඔවුන්ට හැඟෙනවා නම්, ඔවුන් තුළ අමනාපයක් ඇති විය හැක. ඔවුන් යම් උපකාරයක් ඉල්ලා නැති විටක හෝ උපකාර අවශ්‍ය බව නොහැඟෙන විටක ඔවුන්ට යම් නිවැරදි කිරීමක් අවශ්‍ය බවට දෙන ඇඟවීම ඔවුන් විසින් නොරිස්සීමට ඉඩ ඇත. මෙවැනි වැරදි වැටහීමක් නොදීමට අපට කටයුතු කළ හැක්කේ කෙසේද? ප්‍රයෝජනවත් විය හැකි දෙයක් නම්, සුහද සංවාදයක් පැවැත්වීමේ කලාව ඉගෙනගැනීමය.

අනික් තැනැත්තාගේ උනන්දුවට හේතු වන විෂයක් භාවිත කරමින් සංවාදය ඇරඹීමට උත්සාහ දරන්න. ඒ පුද්ගලයා නෑදෑයෙකු, රැකියා ස්ථානයෙහි සගයෙකු හෝ පාසැලේ සෙසු ශිෂ්‍යයෙකු නම්, ඔහුගේ උනන්දුවට හේතු වන දේවල් ඔබ දැනටමත් දන්නවා විය හැක. එනමුත්, ඔබ මුල්ම වතාවට හමු වන පුද්ගලයෙකුට වුවත්, ප්‍රවෘත්තිවල ඇසූ දෙයක් හෝ පුවත්පතක කියෙවූ දෙයක් ගැන සඳහන් කරන්නට පුළුවන. බොහෝ දුරට එවැනි පුවත් මිනිසුන්ගේ මනස්වල තිබේ. අනික් අතට, ගෙයින් ගෙට සේවයෙහි නිරත වෙද්දී හොඳ නිරීක්ෂකයෙකු වන්න. නිවසේ තිබෙන සැරසිලි, වත්තේ විසිරී ඇති සෙල්ලම් බඩු, ආගමික රූප ඇතුළු පූජනීය යයි සලකන දේවල් සහ මිදුලේ නතර කර තිබෙන රථයේ අලවා ඇති ස්ටිකර් යනාදියෙන් නිවැසියාගේ උනන්දුවට හේතු වන වෙනත් දේවල් සම්බන්ධයෙන් යම් අදහසක් ඔබට ලබා දිය හැක. නිවැසියා දොර ළඟට පැමිණ කතා කරන විට, ඔහුගේ අදහස්වලට සවන් දෙන්න. ඇතැම්විට පවසන දෙයින් ඔහු උනන්දුව දක්වන දේ සම්බන්ධයෙන් හා ඔහු දරන අදහස් සම්බන්ධයෙන් ඔබ කලින් සිතාගත් දේ සනාථ කිරීමට හෝ නිවැරදි කිරීමට පුළුවන. එමෙන්ම සාක්ෂියක් දැරීම සඳහා සලකා බැලිය යුතු දේවල් සම්බන්ධයෙන් අමතර අදහස්ද ඔබට ලබාගත හැකිය.

සංවාදය දිගටම කරගෙන යත්ම, සාකච්ඡා කරන විෂයට අදාළව බයිබලය සහ බයිබලය මත පදනම් පොත් පත් සඟරා ඇසුරෙන් අදහස් බෙදාගන්න. එහෙත්, සංවාදය ඔබේ අතට ගෙන සම්පූර්ණයෙන්ම මෙහෙයවීමට උත්සාහ කරන්න එපා. (දේශ. 3:7) නිවැසියා කැමති නම්, සාකච්ඡාවට ඔහුව හවුල් කරගන්න. ඔහු අදහස් සහ මතයන් ඉදිරිපත් කරද්දී උනන්දුවක් දක්වන්න. සමහරවිට තවදුරටත් උපායශීලී විය යුතු පැති සම්බන්ධයෙන් යමක් දැනගැනීමට මෙමගින් ඔබට හැකි වේවි.

යමක් පැවසීමට පෙර, එය අනික් පුද්ගලයා කෙසේ භාරගනීවිදැයි යන්න සලකා බලන්න. හිතෝපදේශ 12:8හි “මුඛය නුවණින් විහිදන්නා” [NW] පැසසුමට ලක් කර ඇත. මෙහිදී නුවණ සඳහා යොදා ඇති හෙබ්‍රෙව් වචනය තීක්ෂ්ණ බුද්ධිය සහ විචක්ෂණ බුද්ධිය යන සංකල්පවලට නෑකම් කියයි. මේ අනුව ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමේ අරමුණින් යම් කාරණයක් හොඳින් සලකා බැලිය යුතුය. එහි ප්‍රතිඵලයක් වශයෙන් කෙනෙක් කතා කරද්දී කල්පනාකාරි වේ. නුවණ ලෙස භාවිත කරන යෙදුමට මෙම අදහස් කිහිපය ඇතුළත් වේ. හිතෝපදේශයේ එම පරිච්ඡේදයේම හිතෝ 12 18වන පදයෙහි අපට අවවාද කරන්නේ “කඩුවෙන් අනින්නාක් මෙන් රළු බස්” කීමෙන් වැළකී සිටීමටය. එසේ නම්, කෙනෙකුගේ සිත පාරන්නේ නැතුව බයිබල් සත්‍යතාවලට එකඟව කතා කිරීම කළ හැක්කකි.

ඔබ තෝරාගන්නා වචන සම්බන්ධයෙන් හොඳ විචාර බුද්ධියක් පෙන්වීමෙන් පමණක්ම, අනවශ්‍ය ලෙස පැනනඟින ගැටලු මඟහරවා ගත හැකිය. “බයිබලය” යන වචනය සවන්දෙන්නාගේ මනසට යම් බාධාවක් ඇති කරයි නම්, “ශුද්ධ ලියවිල්ල” නැතහොත් “දැන් භාෂා 2,000කින් පළ කරන පොතක්” වැනි යෙදුම් භාවිත කිරීමට පුළුවන. ඔබ බයිබලය ගැන සඳහන් කළහොත්, ඒ සම්බන්ධයෙන් ඔහු දරන මතය ඔබට විමසිය හැකි අතර, සංවාදය පවත්වන අතරතුරේදී ඔහුගේ අදහස් සැලකිල්ලට ගන්න.

උපායශීලී වීමට බොහෝ දුරට සම්බන්ධ තවත් දෙයක් වන්නේ යමක් පැවසීමට නියමිත අවස්ථාව තීරණය කිරීමයි. (හිතෝ. 25:11) අනික් පුද්ගලයා පවසන සෑම දෙයකටම එකඟ විය නොහැකි වුවත්, ශුද්ධ ලියවිල්ලට එකඟ නොවන සෑම කාරණයක්ම අභියෝගයට ලක් කිරීමට අවශ්‍යතාවක් නැත. නිවැසියාට සෑම දෙයක්ම එකවරම පැවසීමට උත්සාහ නොකරන්න. යේසුස් තම ගෝලයන්ට පැවසුවේ “ඔබට කියන්ට තව බොහෝ දේ මට තිබේ. නමුත් දැන් ඒවා දැරීමට ඔබට නොහැක” යන්නය.—යොහ. 16:12, NW.

හැකි අවස්ථාවලදී ඔබ අමතන අයව අවංකව පැසසුමට ලක් කරන්න. නිවැසියා යම් විවාදශීලී ගතියක් විදහාපෙන්වුවත්, යම් මතයක් දැරීම සම්බන්ධයෙන් ඇතැම්විට ඔහුව පැසසිය හැක. ඇතන්ස්හි ඇරියෝපගයේ සිටි දාර්ශනිකයන්ට කතා කළ ප්‍රේරිත පාවුල් මෙවන් දෙයක් කළේය. එම දාර්ශනිකයෝ ඔහුට “විරුද්ධව කරුණු දක්වමින්” සිටියෝය. කාගෙවත් සිත පාරන්නේ නැතුව තම කාරණා ඒත්තුගැන්වීමට ඔහුට හැකි වේද? එසේ කරන්නේ කෙසේද? ඔවුන්ගේ දෙවිවරුන් වෙනුවෙන් නොයෙකුත් පූජාසන සාදා තිබුණු බව මීට කලින් ඔහුගේ අවධානයට ලක් වී තිබිණ. කෙසේවෙතත්, රූප වන්දනාවෙන් ගහන වූ ඇතන්ස්හි වැසියන්ගේ නමස්කාර පිළිවෙත් හෙළාදකිනවා වෙනුවට, ඔහු කළේ ඔවුන් තුළ දක්නට ලැබූ ප්‍රබල ආගමික භක්තිය පැසසුමට ලක් කිරීමයි. ඔහු පැවසුවේ මෙසේය. “ඔබ සියලු කාරණාවලදී අනුන්ට වඩා දෙවි දේවතාවන් කෙරෙහි භයක් ඇතිව සිටින බව මට පෙනේ.” මෙම එළඹීම භාවිත කළ නිසා, සැබෑ දෙවි පිළිබඳ ඔහුගේ පණිවිඩය ඉදිරිපත් කිරීමට මං විවෘත විය. එහි ප්‍රතිඵලය වූයේ, සමහරුන් ඇදහිලිවන්තයන් බවට පත්වීමයි.—ක්‍රියා 17:18, 22, 34, NW.

එමනිසා, යම් විරෝධතා ඉස්මතු වූ පමණින් හදිසි වී ප්‍රතික්‍රියා කරන්න එපා. සන්සුන්ව සිටින්න. පුද්ගලයන් කල්පනා කරන ආකාරය පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරගැනීමට මෙම අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න. තම අදහස් පළ කිරීම ගැන එම තැනැත්තාට ස්තුති කරන්නටද පුළුවන. ඔහු හදිසියෙන් “මට ආගමක් තිබෙනවා” කියා පැවසුවොත් කුමක්ද? ඔබට උපායශීලී අන්දමකින් මෙසේ ඇසිය හැක. “ඔබ කුඩා කල සිටම ආගම දහමට ලැදි කෙනෙක්ද?” ඊළඟට, ඔහුගේ ප්‍රතිචාරයෙන් පසු, මෙසේ පවසන්න. “මුළු මිනිස්වර්ගයා කවදාහරි එක ආගමක් ලෙස එක්සත් වුණොත්, ඔබ හිතන්නේ ඒක හොඳ දෙයක් නොවෙයිද?” මින් සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට මඟ පෑදිය හැකිය.

පෞද්ගලිකව අප ගැනම සමබර ආකල්පයක් තිබීමත් උපායශීලී වීමට පිටුවහලකි. යෙහෝවාගේ මාර්ග නිවැරදි බවත් ඔහුගේ වචන සත්‍යවාදි බවත් අපට සම්පූර්ණයෙන්ම ඒත්තුගොස් තිබේ. එමනිසා අප මේ දේවල් ගැන කතා කරන්නේ ස්ථිර විශ්වාසයකිනි. කෙසේවෙතත්, ආත්ම-ධර්මිෂ්ඨකම විදහාපෙන්වීමට අප එය හේතුවක් කරගන්නේ නැත. (දේශ. 7:15, 16) සත්‍යය දැන සිටීම ගැනත්, යෙහෝවාගේ ආශීර්වාද භුක්ති විඳීම ගැනත් අප සිටින්නේ කෘතගුණෙන් පිරි හදවත් ඇතුවය. එනමුත්, ඔහුගේ අනුමැතිය අපට ලැබී තිබෙන්නේ අපගේ ධර්මිෂ්ඨකම නිසා නොව, නමුත් ඔහුගේ මහත් කරුණාව සහ ක්‍රිස්තුස් කෙරෙහි අපගේ ඇදහිල්ල හේතුවෙන් බව හොඳ හැටි දනිමු. (එපී. 2:8, 9) මේ අනුව, ‘අප ඇදහිල්ලෙහි සිටිනවාද කියා අපම පරීක්ෂා කර’ බැලීමේ අවශ්‍යතාවක් සහ අපවම නිරන්තරයෙන් ‘සෝදිසි කර බැලීමේ’ අවශ්‍යතාවක් ඇති බව ඒත්තුගෙන සිටිමු. (2 කොරි. 13:5) එමනිසා දෙවි ඉල්ලා සිටින දේට එකඟව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ගැන අනුන්ට කතා කරද්දී, අපි නිහතමානීව බයිබලයේ උපදෙස් පෞද්ගලිකවද අදාළ කරගන්නෙමු. අප හා සමාන මනුෂ්‍යයන් විනිශ්චය කිරීම අපගේ කාර්යයක් නොවේ. යෙහෝවා “විනිශ්චය කිරීම සම්පූර්ණයෙන්ම පුත්‍රයාට පවරා තිබේ.” එමනිසා අප කරන සියල්ලට උත්තර දිය යුත්තේ ඔහුගේ විනිශ්චයාසනය ඉදිරියෙහිය.—යොහ. 5:22, NW, [5:23, පැ. අ.]; 2 කොරි. 5:10.

පවුලේ සාමාජිකයන් සහ සෙසු ක්‍රිස්තියානීන් සමඟ. උපායශීලිත්වය ක්ෂේත්‍ර සේවයට පමණක් සීමා වී ඇති දෙයක් නොවේ. උපායශීලිත්වය දෙවිගේ ආත්මයේ ඵල දැක්වීමට අවස්ථාවක් ලබාදෙන නිසා, නිවසේදී පවුලේ සාමාජිකයන් සමඟ උපායශීලිත්වයෙන් කටයුතු කිරීමට හොඳ පදනමක් තිබේ. අන් අයගේ හැඟීම් ගැන සැලකිල්ල දැක්වීමට ප්‍රේමය අපව පොලඹවනු ඇත. එස්තර් බිසවගේ පුරුෂයා යෙහෝවාගේ නමස්කාරකයෙකු නොවුවත්, ඇය ඔහුට දැක්වූයේ නිසි ගෞරවයකි. අනික් අතට යෙහෝවාගේ සේවකයන් සම්බන්ධ වී සිටි කාරණා ඔහුට ඉදිරිපත් කරද්දී ඇය සුවිශේෂ අන්දමකින් විචාර බුද්ධිය භාවිත කළාය. (එස්තර්, 3-8 පරි.) සාක්ෂිකරුවන් නොවන පවුලේ සාමාජිකයන් සමඟ කටයුතු කිරීමේදී උපායශීලිත්වය පෙන්විය හැක්කේ කෙසේද? ඇතැම්විට, අපගේ විශ්වාසයන් පැහැදිලි කරනවාට වඩා, අපගේ හැසිරීම තුළින් සත්‍යය මාර්ගයේ ගමන් කිරීම කොතරම් යෝග්‍යද කියා පැහැදිලි කළ හැකිය.—1 පේතෘ. 3:1, 2.

ඒ හා සමානව, සභාවේ සාමාජිකයන් හොඳින් දැනහඳුනන පළියට අකාරුණික හා රළු ආකාරයකින් ඔවුන් සමඟ කටයුතු කළ හැකි බව අදහස් කරන්නේ නැත. ඔවුන් මේරූ අය කියා සිතා, එවැන්නක් දරාගැනීමට ඔවුන්ට හැකියාවක් තිබිය යුතුයි කියා අප නිගමනය නොකළ යුතුය. “ඒ තමයි මගේ හැටි” කියමින් අපගේ හැසිරීම සාධාරණීකරණය කිරීමද නොකළ යුත්තකි. අප අන් අයට අදහස් පළ කරන ආකාරයෙන් ඔවුන්ගේ සිත් රිදෙන බව පෙනී යනවා නම්, යම් වෙනස්කම් සිදු කරගැනීමට අප අදිටන් කරගත යුතුය. අප “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව” සිටින නිසා, අප පෙලඹිය යුත්තේ “ඇදහිල්ලේ පවුලට අයිති වූවන්ට යහපත්කම්” කිරීමටය.—1 පේතෘ. 4:8, 15; ගලා. 6:10.

සබයක් අමතන විට. වේදිකාවේ සිට කතා කරන අයද උපායශීලී විය යුතුය. සාමාන්‍යයෙන් සබයක විවිධ පසුබිම් හා තත්වයන්වල අය සිටිති. ඔවුන් ලබා තිබෙන ආත්මික ප්‍රගතියද එකිනෙකාට වෙනස්ය. ඒ අතර සමහරදෙනෙකු රාජ්‍ය ශාලාවට පැමිණ ඇත්තේ මුල්ම අවස්ථාවටයි. තවත් සමහරුන් කථිකයා පෞද්ගලිකව නොදන්නා වූ යම් දුෂ්කර තත්වයකට මුහුණ දෙමින් සිටිනවා විය හැක. එසේ නම් තම සබයේ සිටින අයගේ සිත් රිදවීමෙන් වැළකී සිටීමට කුමක් උපකාරවත් විය හැකිද?

මෙහිදී ප්‍රේරිත පාවුල් තීතස්ට දුන් උපදෙස් සලකා බැලීම වටී. ඊට එකඟව “කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, . . . ඉවසිලිවන්තව [සාධාරණව, NW] සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක් ගුණය පෙන්වන්ටද” ඉලක්ක කරගන්න. (තීත. 3:2) වෙනත් ජාතියක, භාෂාවක, කණ්ඩායමක හෝ වර්ගයක මිනිසුන් පහත් කිරීමට ලෝකය භාවිත කරන යෙදුම් අනුකරණය නොකිරීමට වගබලා ගන්න. (එළි. 7:9, 10) යෙහෝවා අපගෙන් බලාපොරොත්තු වන දේවල් ගැන අවංකව සහ සත්‍යවාදීව සාකච්ඡා කර, ඒවා අදාළ කරගැනීම කොතරම් ඥානවන්ත දෙයක්ද යන්න ගෙනහැර දක්වන්න. එනමුත් යෙහෝවාගේ මාර්ගයන්හි තවමත් පූර්ණ ලෙස ගමන් නොකරන අය ගැන නින්දාසහගත දේවල් කීමෙන් වැළකී සිටින්න. ඒ වෙනුවට දෙවිගේ කැමැත්ත තේරුම්ගෙන, ඔහුට ප්‍රසන්න දේ කිරීමට සියල්ලන්ව දිරිගන්වන්න. උපදෙස් දෙන අතරතුරේදී එහි පිටුපස ඇති මෘදු චේතනාව ඔප් නැංවීම සඳහා, උණුසුම් සහ අවංක අයුරින් ඔවුන්ව පැසසුමට ලක් කරන්න. එවිට සබයට උපදෙස් වඩාත් පහසුවෙන් භාරගත හැකි වේ. ඔබ කතා කරන අයුරින් සහ ඔබේ කටහඬේ ස්වරය මගින් අප එකිනෙකා සඳහා තිබිය යුතු සහෝදර සෙනෙහස විදහාපෙන්වන්න.—1 තෙස. 4:1-12; 1 පේතෘ. 3:8.

එය කරන්නේ කෙසේද?

  • තරවටු කරන්නාක් මෙන් උපදෙස් දෙනවා වෙනුවට ජනයා සමඟ සුහදව කතා කරන්න.

  • ඔබ කීමට අදහස් කරන දේ අනික් තැනැත්තා කෙසේ භාරගනීවිද යන්න ගැන හොඳින් කල්පනා කර බලන්න.

  • කතා කිරීමට පෙර, යම් කාරණයක් සාකච්ඡා කිරීමට මෙය සුදුසු වේලාවක්දැයි සලකා බලන්න.

  • හැකි අවස්ථාවලදී, අවංකව පසසන්න.

  • යම් විරෝධතා ඉස්මතු වන විට හදිසි වී ප්‍රතික්‍රියා කරන්න එපා.

  • ආත්ම-ධර්මිෂ්ඨ ස්වභාවයකින් වැළකී සිටින්න. අන් අයව විනිශ්චය නොකරන්න.

අභ්‍යාසය: මතු දැක්වෙන බයිබල් වාර්තා පරෙස්සමින් කියවන්න: 2 සාමුවෙල් 12:1-9; ක්‍රියා 4:18-20. මෙම වාර්තා දෙකේදීම මතු දැක්වෙන කාරණා සැලකිල්ලට ගන්න. (1) උපායශීලිත්වය දැක්වූ බවට සාක්ෂි සහ (2) යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ගවල ස්ථිරව ඇලී සිටි බවට අඟවන අදහස්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න