4වන පරිච්ඡේදය
“යෙහෝවා . . . බලයෙන් අතිමහත්ය”
1, 2. එලියා තමන්ගේ ජීවිතයේදී කිනම් විස්මයජනක දේවල් දැක තිබුණාද? නමුත් හොරෙබ් කන්දේ ගුහාවක් අසල සිටියදී ඔහු දුටු චමත්කාරජනක දේවල් මොනවාද?
එලියා මීට පෙර මහත් විස්මයජනක දේවල් දැක තිබුණා. තමා සැඟවී සිටි අවස්ථාවේදී දිනකට දෙවරක් කළු කපුටන් තමන්ට කෑම ගෙන ආවා ඔහු අද්දැක්කා. සාගත කාලය මුළුල්ලේ, කිසිවිටෙකත් හිස් නොවී පිටි සහ තෙල් තමන්ට සැපයූ භාජන දෙකක් ඔහු දැක තිබුණා. තමන්ගේ යාච්ඤාවලට පිළිතුරක් වශයෙන් අහසෙන් ගිනි බැස එනවාද ඔහු දැක තිබුණා. (1 රාජාවලිය 17, 18වන පරිච්ඡේද) එහෙත්, පහත දැක්වෙන දේ තරම් වෙන කිසිවක් එලියා කවදාවත් දැක තිබුණේ නැහැ.
2 ඔහු හොරෙබ් කන්ද මත පිහිටි ගල් ගුහාවක විවරය අසලට වී ගුලි ගැසී සිටිද්දී මහත් චමත්කාරජනක සිද්ධීන් මාලාවක් දුටුවා. පළමුවෙන්ම සුළඟක් හැමුවා. එයින් කන් බිහිරි කරවන, ගිගුම් දෙන මහත් හඬක් පිට වූවා විය හැකියි. එය කොතරම් ප්‍රබල වුණාද කීවොත් කඳු දෙදරවා ගල් පර්වත බිඳ දැම්මා. ඊළඟට පොළෝ ගැබේ සිට මහත් බලයක් ඉහළට යොමු කරමින් භූමිකම්පාවක් සිදු වුණා. ඊළඟට ගින්නක් ඇවිළෙන්ට පටන්ගත්තා. මුළු ප්‍රදේශය පුරා එම ගින්න ලැව් ගින්නක් මෙන් පැතිරෙන්ට පටන්ගත් විට එලියාට එහි තද රස්නය දැනෙන්ට ඇති.—1 රාජාවලිය 19:8-12.
3. එලියා කිනම් දිව්‍ය ගුණාංගයක සාක්ෂි දුටුවාද? තවද මෙම ගුණාංගය පිළිබඳ සාක්ෂි අපට සොයාගත හැක්කේ කොහෙන්ද?
3 එලියා දුටු මේ එකිනෙකට වෙනස් සිදුවීම්වල එක් පොදු දෙයක් තිබුණා. ඒවායින් නිරූපණය වුණේ යෙහෝවා දෙවිගේ අතිමහත් බලයයි. ඇත්ත වශයෙන්ම, දෙවිට මෙම ගති ලක්ෂණය තිබෙනවා කියා වටහාගැනීමට අපට ප්රාතිහාර්යයක් දැකීමට අවශ්‍ය වන්නේ නැහැ. එය සැණෙකින් දක්නට පිළිවන්. බයිබලය අපට කියන්නේ යෙහෝවාගේ “සදාකාලික වූ බලය හා දෙවිකම” පිළිබඳ සාක්ෂි අපට මැවිල්ලෙන් පැහැදිලිව දැකගත හැකි බවයි. (රෝම 1:20) තද ධාරානිපාත වැහි කුණාටුවක දීප්තිමත් විදිලි කෙටීම් සහ දරුණු ගර්ජනාවෝ, ගලා හැළෙන කුඩා දිය ඇල්ලක මනරම් දසුන හා තරුවලින් ගහන වූ පරක් තෙරක් නිමක් කොනක් නැති අහස් කුස ගැන නිකමට සිතා බලන්න! එවන් දසුන් තුළ දෙවිගේ බලය ඔබට පෙනෙන්නේ නැද්ද? එහෙත්, අද දින ලෝකයේ වෙසෙන්නන්ගෙන් දෙවිගේ බලය හඳුනාගෙන සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. ඒ අයගෙනුත් තව ස්වල්පදෙනෙක් පමණයි එය නිවැරදි ලෙස වටහාගෙන සිටින්නේ. එහෙත්, අප මෙම දිව්‍ය ගති ලක්ෂණය තේරුම්ගන්න විට යෙහෝවාට ළංවීමට එය අපට තවත් බොහෝ හේතු ලබා දෙනවා. මෙම කොටස තුළ, අප දැන් සැරසෙන්නේ යෙහෝවාගේ අසමසම බලය විස්තරාත්මකව අධ්‍යයනය කරන්නයි.
යෙහෝවා සතු අතිවැදගත් ගති ලක්ෂණයක්
4, 5. (අ) යෙහෝවාගේ නාමය සහ ඔහුගේ පරාක්‍රමය හෝ බලය අතර තිබෙන සම්බන්ධය කුමක්ද? (ආ) යෙහෝවා තමන්ගේ බලය සංකේතවත් කිරීමට ගවයෙකුව යොදාගැනීම ඉතා සුදුසු දෙයක් වන්නේ ඇයි?
4 යෙහෝවා බලයෙන් අද්විතීයයි. යෙරෙමියා 10:6 මෙසේ කියනවා. “[යෙහෝවා], ඔබට සමාන වූ කිසිවෙක් නැත; ඔබ [උතුම්ය]. ඔබගේ නාමය පරාක්‍රමයෙන් උතුම්ව තිබේ.” පරාක්‍රමය හෙවත් බලය යෙහෝවාගේ නාමයට සම්බන්ධ වී ඇති අයුරු බලන්න. මෙය මතක තබාගන්න. එනම්, මේ නාමයේ අර්ථය “ඔහු සිදුවීමට සලස්වයි” යනුයි. තමන් කැමති ඕනෑම තත්වයකට පත්වීමට යෙහෝවාට හැකි කරවන්නේ කුමක්ද? එක් දෙයක් නම් බලයයි. ඔව්, ක්‍රියා කිරීමට, තමන්ගේ කැමැත්ත ඉෂ්ට කිරීමට යෙහෝවාට ඇති හැකියාව අසීමිතයි. එම බලය ඔහුගේ චරිතයේ අතිවැදගත් ගති ලක්ෂණයක් කියා කිව හැකියි.
5 අපට යෙහෝවාගේ බලයේ සම්පූර්ණ තරම මනසින් ග්‍රහණය කරගැනීමට කිසිදා බැරි නිසා, අපට මේ අතින් උපකාර කිරීමට ඔහු උපහැරණ යොදාගන්නවා. අප දැක තිබෙන පරිදි, තමන්ගේ බලය සංකේතවත් කිරීමට ඔහු ගවයාව යොදාගන්නවා. (එසකියෙල් 1:4-10) ඒ සංකේතය ඉතා සුදුසුයි. මන්ද සාමාන්‍යයෙන් ගෙදරක ඇති කරන ගවයෙකු පවා ඉතා විශාල බලයකින් අනූන සතෙක්. බයිබල් කාලවල පලස්තීන දේශයේ විසූ ජනයා, කවදා හෝ ඊට වඩා ශක්තිමත් සතෙකුට මුහුණ දුන්නා නම්, ඒ කලාතුරකින්. නමුත් ඊටත් වඩා පුදුම දනවනසුලු ගවයෙකු ගැන ඔවුන් ඇත්තටම දැන සිටියා. ඒ තමයි, කුළු හරකා හෙවත් දැන් වඳ වී ගොස් සිටින හීලෑ ගවයන්ගේ පූර්වජයා වන උරුසියා. (යෝබ් 39:9-12) මෙම ගවයන් ඇතෙකුගේ තරමටම විශාලයයි රෝම අධිරාජ්‍යයෙකු වූ ජූලියස් සීසර් වරක් ප්‍රකාශ කළා. “ඔවුන්ගේ ශක්තිය ඉතා මහත් හා වේගය ඉතා බලවත්” යනුවෙන් ඔහු ලීවා. එවන් සතෙකු අසල ඔබට සිටින්ට සිදු වුණොත් ඔබ එම සත්වයා ඉදිරියේ කොතරම් අසරණ වේවිද කියා සිතා බලන්න!
6. යෙහෝවාව පමණක් “සර්ව පරාක්‍රම වූ” තැනැත්තා ලෙස හඳුන්වන්නේ ඇයි?
6 මීට සමානව, බලයේ දෙවි වන යෙහෝවා සමඟ සසඳන විට, මිනිසා ඉතා දුර්වලයි, බල රහිතයි. බලවත් ජාතීන් පවා ඔහුට කුඩා තුලාවක් මත තැවරුණු දූවිලි පටලයක් වගෙයි. (යෙසායා 40:15) මැවිලිවලට වඩා වෙනස්ව, යෙහෝවාට අසීමිත බලයක් තිබෙනවා. මන්ද, “සර්ව පරාක්‍රම වූ” තැනැත්තා කියා හඳුන්වන්නේ ඔහුව පමණයි.a (එළිදරව් 15:3) “බලයෙන් මහත් වූ” යෙහෝවා ‘ගතික ශක්තියෙන් පිරිපුන්’ කෙනෙක්. (යෙසායා 40:26, NW) කිසිදා නොසිඳෙන සදා පිරී පවතින බලයේ උල්පත ඔහුයි. ‘බලය දෙවිට අයිති’ බැවින් ශක්තිය ලබාගැනීම සඳහා කිසිදු බාහිර උල්පතක් මත ඔහු රඳා සිටින්නේ නැහැ. (ගීතාවලිය 62:11, අකුරු ඇල කළේ අපය.) එහෙත්, යෙහෝවා සිය බලය විදහාපාන්නේ කිනම් මාර්ග තුළින්ද?
යෙහෝවා සිය බලය පාන අන්දම
7. යෙහෝවාගේ ශුද්ධාත්මය යනු කුමක්ද? බයිබලයේ භාවිතා කර ඇති ප්රාරම්භක භාෂාමය වචනවලින් අඟවන්නේ කුමක්ද?
7 ශුද්ධාත්මය අසීමිත ලෙස යෙහෝවාගෙන් ගලා එන සැපයුමක්. එය දෙවිගේ ක්‍රියාත්මක වන බලයයි. ඇත්ත වශයෙන්ම, බයිබලයේ උත්පත්ති 1:2හි [NW] එයට යොමු දක්වා තිබෙන්නේ, දෙවිගේ “ක්‍රියාකාරික බලය” හැටියටයි. “ආත්මය” යනුවෙන් ප්රාරම්භක හෙබ්‍රෙව් හා ග්‍රීක් බසින් ගෙනහැර දක්වා ඇති වචන වෙනත් පාඨ සම්බන්ධයන්හි “සුළඟ,” “හුස්ම” හෝ “සැඩ සුළඟ” යනුවෙන්ද පරිවර්තනය කළ හැකියි. ශබ්දකෝෂ කර්තෲන් කියන පරිදි, ප්රාරම්භක භාෂාමය වචන ක්‍රියාකාරි අදෘශ්‍යමාන බලවේගයක් අඟවනවා. සුළඟ මෙන්, දෙවිගේ ආත්මය අපගේ ඇස්වලට පෙනෙන්නේ නැහැ. නමුත් එහි බලපෑම සත්‍යයක් මෙන්ම වටහාගත හැකියි.
8. බයිබලය තුළ, දෙවිගේ ආත්මය සංකේතමය ලෙස හඳුන්වා තිබෙන්නේ කෙසේද? මෙම සැසඳීම් වඩාත් සුදුසු වන්නේ මන්ද?
8 දෙවිගේ ශුද්ධාත්මය නිමක් තෙරක් නැතිව ඕනෑම කාර්යයකට යොදාගත හැකියි. එනම් එය බහුශෘතයි. යෙහෝවාගේ මනසේ තිබෙන මොනයම් අරමුණක් හෝ ඉටු කරන්නට ඔහුට එය යොදාගන්න පුළුවන්. දෙවිගේ ආත්මය, ඔහුගේ ‘ඇඟිල්ල,’ “බලවත් හස්තය” හෝ ඔහුගේ ‘දිගු කළ බාහුව’ යනුවෙන් සංකේතමය ලෙස හැඳින්වීම ඉතා සුදුසු බව මේ අනුව පෙනී යනවා. (ලූක් 11:20; ද්විතීය කථාව 5:15; ගීතාවලිය 8:3) යම් මිනිසෙක් මහත් වැර යොදා කරන වැඩවල සිට පරෙස්සමින් සියුම් ලෙස කරන්ට තිබෙන වැඩ දක්වා නොයෙක් කාර්ය පරාසයන් නිම කිරීම සඳහා තම අත පාවිච්චි කරනවාක් මෙන්, දෙවිටද තමාගේ මොනයම් අරමුණක් වුවද ඉෂ්ට කිරීම සඳහා සිය ආත්මය යොදාගත හැකියි. එනම්, ඉතා කුඩාම පරමාණුව මැවීම, රතු මුහුද දෙකඩ කිරීම හෝ පළමු සියවසේ ක්‍රිස්තියානීන්ට අන්‍ය භාෂාවලින් කතා කිරීමට සැලැස්වීම වැනි කාර්යයන් සඳහාද එම ආත්මය යොදාගන්ට පිළිවන්.
9. යෙහෝවාගේ පාලන බලය කොතරම් ව්‍යාප්තද?
9 තවද විශ්වනීය පරමාධිපතියාණන් හැටියට යෙහෝවා තම අධිකාරිය තුළින්ද බලය පානවා. ඔබ යමක් අණ කළ වහාම එම අණ ඉටු කරන්ට සමර්ථ යටත් වැසියන් මිලියන පිට මිලියන ගණනක් ඔබට සිටිනවා ඉටාගන්ට ඔබට පුළුවන්ද? යෙහෝවාට තිබෙන්නේ එවන් පාලන බලයක්. ඔහු සතු මිනිස් සේවකයන්ව ශුද්ධ ලියවිල්ලේ බොහෝ විට සමාන කර තිබෙන්නේ සේනාවකටයි. (ගීතාවලිය 68:11; 110:3) එනමුත් දේවදූතයෙකු හා සසඳන විට මිනිසෙක් යනු දුර්වල මැවිල්ලක්. අෂූරිය හමුදාව දෙවිගේ සෙනඟට පහර දුන් අවස්ථාවේදී, එක් දේවදූතයෙක් එක රැයකදී එම සොල්දාදුවන් 1,85,000ක් මරා දැම්මා මතකද! (2 රාජාවලිය 19:35) ඇත්තෙන්ම, දෙවිගේ දූතයෝ ‘ශක්තියෙන් බලවන්තයි.’—ගීතාවලිය 103:19, 20.
10. (අ) සර්ව පරාක්‍රම තැනැත්තාව සේනාවල යෙහෝවා ලෙස හඳුන්වා ඇත්තේ ඇයි? (ආ) යෙහෝවාගේ සියලු මැවිලිවල පරාක්රමවත්ම තැනැත්තා කවුද?
10 දේවදූතයන් කොපමණ දෙනෙක් සිටිනවාද? දිවැස්වර දානියෙල් ස්වර්ගයේ දර්ශනයක් දුටුවා. ඔහු දුටුවේ එහි මිලියන 100කට වඩා ගණනක් ආත්ම මැවිලි යෙහෝවාගේ සිංහාසනය ඉදිරිපිට සිටින බවයි. නමුත් මවන ලද සියලු දේවදූතයන්ව ඔහු දුටු බවක් මෙහිදී අඟවන්නේ නැහැ. (දානියෙල් 7:10) එබැවින්, දේවදූතයන් මිලියන සිය ගණනක් සිටින්නට පුළුවන්. මේ නිසයි දෙවිව සේනාවල යෙහෝවා ලෙස හඳුන්වන්නේ. සංවිධානය කරන ලද පරාක්‍රමවත් දේවදූතයන් අතිමහත් සේනාවක හමුදාපති ලෙස ඔහු දරන බලවත් තනතුර එම පදවි නාමයෙන් විස්තර කරනවා. මේ සියලු ආත්ම මැවිලිවලට ඉහළින්, “මැවිල්ලේ කුලුඳුලා” වන තමාගේම ප්‍රේමවන්ත පුත්‍රයාව ඒ මුළු මහත් සේනාවේ නායකයා ලෙස යෙහෝවා පත් කර තිබෙනවා. (කොලොස්සි 1:15) සියලු දේවදූතයන්ගේ, සෙරාප්වරුන්ගේ සහ කෙරුබ්වරුන්ගේ ප්‍රධානියා එනම් අග්‍ර දේවදූතයා වන යේසුස්, යෙහෝවාගේ සියලු මැවිලිවල පරාක්රමවත්ම තැනැත්තායි.
11, 12. (අ) දෙවිගේ වචනය බලවත් වන්නේ කිනම් ආකාරවලින්ද? (ආ) යෙහෝවාගේ බලයේ තරම ගැන යේසුස් සාක්ෂි දැරුවේ කෙසේද?
11 යෙහෝවාට බලය පෑ හැකි තවත් ක්‍රමයක් තිබෙනවා. හෙබ්‍රෙව් 4:12හි මෙසේ කියනවා. ‘දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය.’ දැන් බයිබලය තුළ ආරක්ෂා කර ඇති ආත්මයෙන් ආනුභාවය ලත් පණිවුඩය හෙවත් දේවවචනයේ සුවිශේෂ බලය ඔබට කවදා හෝ දැනී තිබෙනවාද? එය අපව ශක්තිමත් කර, අපගේ ඇදහිල්ල ගොඩනංවා, අප තුළම ගැඹුරු වෙනස්කම් කරගැනීමට මහෝපකාරි විය හැකියි. අතිදරුණු හා පහත් දුරාචාර ජීවන රටාවක් ගෙවන මිනිසුන්ට එරෙහිව ප්‍රේරිත පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට අනතුරු ඇඟෙව්වා. ඉන් පසු ඔහු මෙසේද කීවා. “නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය.” (1 කොරින්ති 6:9-11) ඔව්, ‘දෙවිගේ වචනයෙහි’ බලය ඔවුන් තුළ බලපෑමක් කර වෙනස් වීමට ඔවුන්ට උපකාර කළා.
12 යෙහෝවාගේ බලය කොතරම් බලවත්ද, ඔහු බලය පාන ආකාරය කොතරම් ප්‍රබලද කිවහොත්, ඔහුට එරෙහි වන්නට කිසිවෙකුට හෝ කිසිවකට බැහැ. යේසුස් මෙසේ පැවසුවා. ‘දෙවිට සියල්ලම පුළුවන.’ (මතෙව් 19:26) යෙහෝවා සිය බලය මෙහෙයවන්නේ කිනම් අරමුණු ඉටු කරගැනීම සඳහාද?
අරමුණකින් යුතුව හසුරුවනු ලබන බලය
13, 14. (අ) යෙහෝවා පෞද්ගලිකත්වයක් නොමැති බලයේ උල්පතක් නොවන බව අපට කිව හැක්කේ ඇයි? (ආ) යෙහෝවා සිය බලය යොදාගන්නේ කිනම් ආකාරවලින්ද?
13 යෙහෝවාගේ ආත්මය මොනයම් භෞතික බලයකටත් වඩා බෙහෙවින් ශ්‍රේෂ්ඨයි. තවද යෙහෝවා පෞද්ගලිකත්වයක් නොමැති බලවේගයක්වත්, නිකම්ම බලය නිකුත් වන උල්පතක්වත් නොවෙයි. ඔහු තමාගේ බලය පූර්ණ ලෙස පාලනය කරන පෞද්ගලිකත්වයකින් යුතු දෙවිකෙනෙක්. එහෙත්, එය යොදාගැනීමට ඔහුව පොලඹවන්නේ කුමක්ද?
14 අප දැන් දකින්ට යන පරිදි, දෙවි තම බලය මැවීමට, විනාශ කිරීමට, ආරක්ෂා කිරීමට හා යළි පිහිටුවීමට යොදාගන්නවා. කෙටියෙන් කියතොත්, තමාගේ පරිපූර්ණ අරමුණට සරිලන ඕනෑම දෙයක් කිරීමට ඔහු එම බලය පාවිච්චි කරනවා. (යෙසායා 46:10) ඇතැම් අවස්ථාවලදී, යෙහෝවා තම පෞද්ගලිකත්වයේ සහ ප්‍රමිතිවල වැදගත් අංගයන් හෙළි කිරීමටද තම බලය යොදාගන්නවා. මේ සියල්ලට වඩා, ඔහු තම බලය හසුරුවන්නේ තමාගේ කැමැත්ත ඉෂ්ට කිරීමටයි. එනම්, තමාගේ පරමාධිපත්‍යය තහවුරු කිරීමටත්, මෙසියානු රාජ්‍යය මගින් තම නාමය විශුද්ධ කිරීමටත් එම බලය හසුරුවනවා. කිසිවෙකුට හෝ කිසිවකට කවදාවත් එම අරමුණට එරෙහි වන්ට බැහැ.
15. යෙහෝවා තම සේවකයන් වෙනුවෙන් බලය යොදන්නේ කිනම් අරමුණක් ඇතුවද? තවද එලියා සම්බන්ධ සිද්ධියේදී මෙය නිරූපණය වූයේ කෙසේද?
15 තවද පුද්ගලයන් වශයෙන් අපට ප්‍රයෝජන ගෙන දීමටද යෙහෝවා සිය බලය යොදාගන්නවා. මේ පිළිබඳව 2 ලේකම් 16:9හි පවසන දේ සැලකිල්ලට ගන්න. ‘යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිට වෙන පිණිස ඔහුගේ බලය පාමින්, ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවන්නේය.’ මුලදී සඳහන් කරන ලද එලියාගේ අද්දැකීම මේ සඳහා හොඳ උදාහරණයක්. මේ අතිවිස්මිත දිව්‍ය බලයේ නිරූපණය යෙහෝවා විසින් සිදු කළේ ඇයි? දුෂ්ට යෙසෙබෙල් බිසව එලියාව ඝාතනය කරන බවට දිවුරා තිබුණා. මේ ගැන ඇසූ ප්‍රොපේතවරයා තම ජීවිතය බේරාගැනීම සඳහා පලා ගියා. ඔහුට මහා තනිකමක් හා භයක් දැනුණා. ඔහු අධෛර්යයට පත් වුණා. ඔහුට හැඟුණේ හරියට ඔහු කළ සියලුම වැඩ නිෂ්ඵල වුණා වගෙයි. කැලඹුණු මේ මිනිසාව සැනසීම පිණිස, යෙහෝවා එලියාට දිව්‍ය බලය විවිධාකාර ලෙස නිරූපණය කර පෙන්නුවා. සුළඟ, භූමිකම්පාව සහ ගින්දරවලින් පෙන්නුම් කළේ විශ්වයේ බලවත්ම තැනැත්තා එලියා සමඟ සිටිය බවයි. සර්ව පරාක්‍රම දෙවි ඔහු සමඟ සිටින විට යෙසෙබෙල්ට භය වන්නේ කුමකටද?—1 රාජාවලිය 19:1-12.b
16. යෙහෝවාගේ මහත් බලය ගැන කල්පනා කරන විට, අපට සැනසීම ලැබිය හැක්කේ මන්ද?
16 ප්රාතිහාර්ය කිරීමට යෙහෝවාගේ කාලය දැන් නොවුවත්, එලියාගේ කාලයේ පටන් ඔහු වෙනස් වී නැහැ. (1 කොරින්ති 13:8) තමන්ට ප්‍රේම කරන අය වෙනුවෙන් තම බලය පාවිච්චි කිරීමට ඔහු එදා වගේම අදත් ඉතා කැමැත්තෙන් සිටිනවා. ඔහු ඉතා උසස් ආත්ම විෂයක ජීවත් වන බව ඇත්තයි. නමුත් ඔහු අපගෙන් බොහෝ දුරස්ව සිටිනවා නොවෙයි. ඔහුගේ බලය අසීමිතයි. එබැවින් දුර කිසිම අන්දමකින් බාධාවක් වන්නේ නැහැ. ඒ වෙනුවට, ‘යෙහෝවා තමන්ට යාච්ඤා කරන සියල්ලන්ට ළංව සිටියි.’ (ගීතාවලිය 145:18) වරක් දිවැස්වර දානියෙල් යෙහෝවාගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කළ විට, ඔහු යාච්ඤාව අවසන් කිරීමටත් පෙර, දේවදූතයෙක් ඔහු ඉදිරියේ පෙනී සිටියා. (දානියෙල් 9:20-23) තමන් ප්‍රේම කරන අයට උපකාර කිරීමෙනුත් ඔවුන්ව ශක්තිමත් කිරීමෙනුත් යෙහෝවාව වැළැක්වීමට කිසිවෙකුට හෝ කිසිවකට බැහැ.—ගීතාවලිය 118:6.
දෙවිගේ බලය ඔහු වෙත එළඹීමෙන් අපව වළක්වනවාද?
17. යෙහෝවාගේ බලය අප තුළ ඔහු කෙරෙහි භයක් ඇති කරවන්නේ කිනම් අර්ථයෙන්ද? නමුත් එයින් ඇති නොකරන්නේ කිනම් ආකාරයේ භයක්ද?
17 දෙවිගේ බලය අප තුළ ඔහු කෙරෙහි භයක් ඇති කළ යුතුද? අප පිළිතුරු දිය යුත්තේ ඔව් සහ නැහැ කියායි. ඔව් කියා පවසන විට එයින් ගම්‍ය වන්නේ, මෙම ගති ලක්ෂණය දේවභය ඇති කරගැනීම සඳහා අවශ්‍ය තරම් හේතු අපට ලබා දෙන බවට වූ අදහසයි. අප මීට කලින් පරිච්ඡේදයේ කෙටියෙන් සාකච්ඡා කළ ගැඹුරු ගරුබිය සහ ගෞරවය එයයි. එම භය, “ප්‍රඥාවේ පටන්ගැන්ම” බව බයිබලය අපට කියනවා. (ගීතාවලිය 111:10) කෙසේවෙතත්, අප නැහැ කියා පවසන විට, දෙවි කෙරෙහි නිෂ්කාරණ භයක් හෝ ඔහු වෙතට ළංවීමෙන් අපව වළක්වනසුලු භීතියක් තිබීමට කිසිදු හේතුවක් නැත යන අදහස ගම්‍ය වෙනවා.
18. (අ) බොහෝදෙනෙක් බලය ඇති පුද්ගලයන්ව අවිශ්වාස කරන්නේ ඇයි? (ආ) යෙහෝවාව ඔහුගේ බලය මගින් කෙලෙසා නැති බව අප දන්නේ කෙසේද?
18 “බලයට දූෂ්‍ය කරවන බලපෑමක් ඇත. පූර්ණ බලයක් අතට ලැබුණොත්, පූර්ණ දූෂණයක් නියතය” කියා 1887දී ඉංග්‍රීසි ජාතික ප්රභූවරයෙකු වූ ඇක්ටන් සාමිවරයා ලීවා. ඔහු කළ ඒ ප්‍රකාශය බොහෝ විට පුන පුනා ප්‍රකාශ කර තිබෙනවා. එයට හේතුව, සමහරවිට එය බැහැර කළ නොහැකි සත්‍යයක් වී ඇති නිසා විය හැකියි. ඉතිහාසය යළි යළිත් තහවුරු කර ඇතිවාක් සේ, අසම්පූර්ණ මිනිසුන් බොහෝ විට බලය අනිසි ලෙස පාවිච්චි කර තිබෙනවා. (දේශනාකාරයා 4:1; 8:9) මේ හේතුවෙන්, බොහෝදෙනෙක් බලය සතු පුද්ගලයන්ව විශ්වාස නොකර, ඔවුන්ගෙන් ඈත් වෙනවා. දැන්, මෙය මෙසේ ගනිමු. යෙහෝවාට තිබෙන්නේ පරම බලයයි. එය ඔහුව කිසිවිටෙකත් කිසිම අන්දමකින් කෙලෙසා තිබෙනවාද? සහතිකවම නැහැ! අප දැක තිබෙන පරිදි, ඔහු ශුද්ධයි. අබ මල් රේණුවක තරමින්වත් කෙලෙසී නැහැ. යෙහෝවා, මේ දූෂිත ලෝකයේ අසම්පූර්ණ පිරිමින් සහ ගැහැනුන් මෙන් නොවේ. ඔහු කිසිවිටෙකත් තම බලය අනිසි ලෙස පාවිච්චි කර නැහැ. එමෙන්ම ඉදිරියට කවදාවක්වත් ඔහු එසේ කරන්නේද නැහැ.
19, 20. (අ) යෙහෝවා සෑමවිටම සිය බලය පාවිච්චි කරන්නේ වෙනත් කිනම් ගුණාංගවලට අනුකූලවද? මෙය බියසැක දුරු කරන්නක් වන්නේ ඇයි? (ආ) යෙහෝවාගේ සංයමය ගැන ඔබට කෙසේ උපහැරණය කළ හැකිද? මෙය ඔබේ සිත් ඇදගන්නේ ඇයි?
19 මෙහිදී බලය යෙහෝවා සතු එකම ගති ලක්ෂණය නොවන බව මතක තබාගන්න. ඔහුගේ යුක්තිය, ඔහුගේ ප්‍රඥාව සහ ඔහුගේ ප්‍රේමය ගැන අපට තව හුඟක් අධ්‍යයනය කරන්ට තිබෙනවා. කෙසේවෙතත්, යෙහෝවා එක් වතාවකට තමා සතු එක් ගුණාංගයක් පමණක් පාවිච්චි කරන බව සිතමින්, යෙහෝවා තම ගති ලක්ෂණ රළු, යාන්ත්‍රික අන්දමින් යොදාගන්නා බව අප නිගමනය නොකළ යුතුයි. මීට පටහැනිව, යෙහෝවා තම බලය තමන්ගේ යුක්තිය, තමාගේ ප්‍රඥාව සහ තමාගේ ප්‍රේමය යන ගුණාංගවලට අනුකූලව සෑමවිටම යොදාගන්නා බව මීළඟට පැමිණෙන පරිච්ඡේදවලදී අප දකිනවා ඇති. දෙවි සතු වූ තවත් ගුණාංගයක් ගැන සිතා බලන්න. එය මේ ලෝකයේ පාලකයන් තුළ ඉතා විරල වූ ගුණාංගයක්. එය නම්, සංයමයයි.
20 ඉතා විශාල යෝධයෙකු බඳු උස මහත බලවත් මිනිසෙකු දැක ඔබ බියෙන් සලිත වෙනවායයි සිතන්න. කෙසේවෙතත්, මද වේලාවක් ගත වෙද්දී, ඔහු ඉතා මෘදු පුද්ගලයෙකු බව ඔබට පෙනෙයි. තමන්ගේ බලය පාවිච්චි කර මිනිසුන්ට උදව් කිරීමටත් විශේෂයෙන්ම අනාරක්ෂිත හා පහසුවෙන් පීඩාවට ලක් විය හැකි මිනිසුන්ව ආරක්ෂා කිරීමටත් ඔහු ඕනෑම මොහොතක සූදානම්ව සිටිනවා. ඔහු කිසිවිටෙකත් තම ශක්තිය අනිසි ලෙස පාවිච්චි කරන්නේ නැහැ. කිසිම හේතුවක් නැතුව ඔහුට යමෙක් අපහාස කර තිබෙන නමුත් ඔහුගේ හැසිරීම් ලීලාව නිසසලයි. එමෙන්ම සන්සුන්, ගෞරවනීය මෙන්ම කාරුණිකයි. විශේෂයෙන් ඔබටත් එම ශක්තියම තිබුණා නම්, ඒ තරමටම මෘදු ස්වභාවයකින් සහ සංයමයකින් හැසිරෙන්නට ඔබටත් හැකිද කියා ඔබ කල්පනා කරනවා වෙන්ට පුළුවන්! එවන් මිනිසෙකු ගැන ඔබට දැනගන්ට ලැබෙන විට, එම පුද්ගලයාට ළංවීමට ඔබට සිතෙන්නේ නැද්ද? ඒ අන්දමින් බලන කල, සර්ව පරාක්‍රම යෙහෝවාට ළංවීමට අපට බොහෝ හේතු තිබෙනවා. මේ පරිච්ඡේදයේ තේමාව සඳහා පදනම වන මෙම මුළු වාක්‍යය ගැන සලකා බලන්න. “යෙහෝවා උදහස් වීමට ප්‍රමාද වන්නේය. ඔහු බලයෙන් අතිමහත්ය.” (නාහුම් 1:3, NW) ජනයාට එරෙහිව තමන්ගේ බලය පාවිච්චි කරන්ට යෙහෝවා ඉක්මන් වන්නේ නැහැ. දුෂ්ටයන්ට එරෙහිවත් එසේ කරන්ට ඉක්මන් වන්නේ නැහැ. ඔහු මොළොක් ස්වභාවයක් විදහාපෙන්වන අතර කටයුතු කරන්නේ කරුණාවන්තවයි. ප්‍රකෝප කරවන බොහෝ අවස්ථාවන්හිදී තමා “උදහස් වීමට ප්‍රමාද” බව ඔහු ඔප්පු කර තිබෙනවා.—ගීතාවලිය 78:37-41.
21. යෙහෝවා තම කැමැත්ත කිරීමට ජනයාට බල කිරීමෙන් වැළකී සිටින්නේ ඇයි? මෙය අපට ඔහු ගැන කියා පාන්නේ කුමක්ද?
21 යෙහෝවාගේ සංයමය වෙනත් කෝණයකින් සලකා බලන්න. ඔබට අසීමිත බලයක් තිබුණා නම්, ඇතැම් විට, මිනිසුන් ලවා ඔබට වුවමනා විදිහට වැඩ කරගැනීමට ඔබ තුළ පෙලඹීමක් ඇති වන්නේ නැද්ද? සියලු බලය සතු යෙහෝවා තමන්ට සේවය කරන ලෙස කාටවත් බල කරන්නේ නැහැ. සදාකාල ජීවනය ලැබීම සඳහා එකම මඟ දෙවිට සේවය කිරීම වුණත්, එවන් සේවයක් කිරීම සඳහා යෙහෝවා අපට බල කරන්නේ නැහැ. ඒ වෙනුවට, සෑම පුද්ගලයෙකු සතු තෝරාගැනීමේ නිදහසට ඔහු කාරුණිකව ගරු කරනවා. නපුරු විපාක ගැන අනතුරු අඟවන ඔහු, හොඳ තේරීම් නිසා ඇති වන යහපත් විපාක ගැනත් අපට කියනවා. නමුත් අප කරන තේරීම අපටම කරන්නට ඔහු ඉඩහරිනවා. (ද්විතීය කථාව 30:19, 20) කාගෙවත් බල කිරීමක් නිසා හෝ ඔහුගේ බලයට තිබෙන භය නිසා හෝ කිසි කෙනෙක් තමාට සේවය කරනවාට යෙහෝවා කොහෙත්ම කැමති නැහැ. ඔහු සොයන්නේ තමන්ට මුළු හද පිරි කැමැත්තෙන්ම, ප්‍රේමයෙන් පෙලඹී සේවය කරන අයවයි.—2 කොරින්ති 9:7.
22, 23. (අ) යෙහෝවා තම බලය අන්‍යයන්ට බෙදා දීමෙන් සතුටක් ලබන බව කුමකින් පෙන්වයිද? (ආ) ඊළඟ පරිච්ඡේදයේ අප සලකා බලනු ඇත්තේ කුමක්ද?
22 අප සර්වබලධාරී දෙවිට අනිසි භයකින් යුතුව ජීවත් වීමට අවශ්‍ය නැති බව වටහාගැනීම සඳහා තවත් හේතුවක් දෙස බලන්න. බලවත් මිනිසුන් තමන් සතු බලය වෙන අය සමඟ බෙදාගැනීමට භය වෙනවා. කෙසේවෙතත්, යෙහෝවා තමන්ගේ පක්ෂපාත නමස්කාරකයන්ට බලය බෙදා දීමෙන් සතුටක් ලබනවා. තම පුත්‍රයා වැනි වෙනත් අයට සැලකිය යුතු අධිකාරයක් දානය කිරීම ඔහුට ඉමහත් සතුටක්. (මතෙව් 28:18) යෙහෝවා සිය සේවකයන්ට බලය ලබා දෙන තවත් ක්රමයක්ද තිබෙනවා. එය බයිබලය පැහැදිලි කරන්නේ මෙසේයි. “[යෙහෝවා], මහන්තත්වයද, පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය. . . . බලයද පරාක්‍රමයද ඔබගේ අතෙහිය; සියල්ලන් උසස් කරන්ටත් ශක්තිමත් කරන්ටත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය.”—1 ලේකම් 29:11, 12.
23 ඔව්, ඔබට ශක්තිය දීමට යෙහෝවා ඉතා සතුටු වෙනවා. තමන්ට සේවය කිරීමට කැමැත්තක් දක්වන අයට “සාමාන්‍ය ඉක්මවූ බලය” පවා ඔහු දානය කරනවා. (2 කොරින්ති 4:7, NW) තම බලය මෙතරම් කාරුණික අන්දමින් හා ප්‍රතිපත්ති ගරුකව පාවිච්චි කරන මෙම මහා බලැති ජීවමාන දෙවි වෙත ඇදී යන බවක් ඔබට හැඟෙන්නේ නැද්ද? යෙහෝවා සිය බලය මැවීමට යොදාගන්නා අන්දම අපි ඊළඟ පරිච්ඡේදය තුළ සාකච්ඡා කරමු.
[පාදසටහන්වල]
a “සර්ව පරාක්‍රම” යනුවෙන් ග්‍රීක් බසින් පරිවර්තනය කර ඇති වචනයේ පදගතාර්ථය නම්, “සියලු දේවල පාලක වූ, සියලු බලය සතු” යන්නයි.
b ‘යෙහෝවා සුළඟ . . . පොළෝ කම්පාව . . . ගින්න තුළ නොසිටියේය’ කියා බයිබලය සඳහන් කරනවා. ස්වභාව ධර්මය දේවත්වයේලා පුදන මිථ්‍යා දෘෂ්ටීන් මෙන් නොව, යෙහෝවාගේ සේවකයන් ඔහුව ස්වාභාවික බලයන් තුළ දකින්ට උත්සාහ කරන්නේ නැහැ. මවා ඇති මොනයම් දෙයකටවත් ඔහුව සීමා කරන්ට බැරි තරමට ඔහු ඉතා ශ්‍රේෂ්ඨයි.—1 රාජාවලිය 8:27.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
2 ලේකම් 16:7-13 යෙහෝවාගේ බලය ගැන විශ්වාසය තැබීමට අපොහොසත් වීමේ බරපතළකම ආසාගේ ආදර්ශයෙන් පෙන්නුම් කරන්නේ කෙසේද?
ගීතාවලිය 89:6-18 යෙහෝවාගේ බලය සිය නමස්කාරකයන් මත ඇති කරන්නේ කිනම් බලපෑමක්ද?
යෙසායා 40:10-31 මෙහි යෙහෝවාගේ බලය විස්තර කොට ඇත්තේ කෙසේද? එය කොතරම් පුළුල්ව විහිදෙනවාද? එය අපට පෞද්ගලිකව ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද?
එළිදරව් 11:16-18 යෙහෝවා අනාගතයේදී තමන්ගේ බලය යොදාගනිමින් කිරීමට පොරොන්දු වන්නේ කුමක්ද? මෙය සැබෑ ක්‍රිස්තියානීන්ට මහත් අස්වැසිල්ලක් වනුයේ මන්ද?
[39වන පිටුවේ පින්තූරය]
‘එවිට, යෙහෝවා ඒ ළඟින් ගියේය’