ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 18 පරි. 97-101 පි.
  • ස්තුතියි කියන්න ඔයාට මතක් වෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්තුතියි කියන්න ඔයාට මතක් වෙනවාද?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • ලාදුරු රෝගීන් දහදෙනෙක් සුව වුණත් ස්තුති කරන්නේ එක්කෙනයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යෙරුසලමට යන අන්තිම ගමනේදී යේසුස් ලාදුරු රෝගීන් දසදෙනෙකුව සුව කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ලාදුරු රෝගියෙකුට දැක්වූ අනුකම්පාව
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් දයානුකම්පිතව ලාදුරු රෝගියෙක්ව සුව කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 18 පරි. 97-101 පි.

18වෙනි පරිච්ඡේදය

ස්තුතියි කියන්න ඔයාට මතක් වෙනවාද?

ඔයා අද කෑම කෑවාද?— ඔයා දන්නවාද ඒවා ඉව්වේ කවුද කියලා?— අම්මා හරි වෙන කෙනෙක් හරි ඒවා උයන්න ඇති. ඒත් ඒ ගැන ඔයා දෙවිට ස්තුති කරන්න ඕනෙ ඇයි?— මොකද දෙවියන් තමයි අපි කෑමට ගන්න එළවළු, පලතුරු වගේ දේවල් හැදෙන්න සලස්වලා තියෙන්නේ. හැබැයි කෑම උයපු කෙනාටත් ඒවා බෙදපු කෙනාටත් ඔයා ස්තුති කරන්න ඕනේ.

අනිත් අය අපිට උදව් කළත් සමහර වෙලාවට ස්තුතියි කියන්න අපිට අමතක වෙනවා නේද? යේසුස් පොළොවේ ජීවත් වුණු කාලෙත් ස්තුති කරන්න අමතක කරපු අය හිටියා. ඒ වගේ සිද්ධියක් ගැන අපි දැන් බලමු.

ලාදුරු කියන ලෙඩේ ගැන ඔයා දන්නවාද?— ඒක හමේ හැදෙන ලෙඩක්. ඒක හැදුණාම ඇගේ මස් හැලෙනවා. යේසුස් පොළොවේ හිටිය කාලේ ලාදුරු හැදුණු අයට අනිත් මිනිසුන්ගෙන් වෙන් වෙලා ඉන්න වුණා. ලාදුරු හැදිලා තියෙන කෙනෙක් දුර තියාම කාව හරි දැක්කොත් ඒ කෙනාට අයින් වෙන්න පුළුවන් වෙන විදිහට කෑගහලා අනතුරු අඟවනවා. ඒ ලෙඩේ අනිත් අයට බෝ වෙන එක නතර කරන්නයි එහෙම කළේ.

දවසක් යේසුස් යෙරුසලමට යන ගමන් පුංචි ගමක් මැදින් ගියා. එහෙදී ලාදුරු රෝගීන් 10දෙනෙක් යේසුස්ව හමු වෙන්න ආවා. ඕනම ලෙඩක් හොඳ කරන්න දෙවියන් යේසුස්ට බලය දීලා තියෙනවා කියලා ඒ අයට ආරංචි වෙලා තිබුණා.

ඒ අය යේසුස් ළඟටම ගියේ නැහැ. ටිකක් දුරින් නතර වෙලා “යේසුස්, ගුරුතුමනි, අපට අනුකම්පා කරන්න” කියලා කෑගැහුවා. ලාදුරු රෝගය සුව කරන්න යේසුස්ට පුළුවන් කියලා එයාලා විශ්වාස කළා.

ලෙඩ වෙලා ඉන්න අය ගැන ඔයාට දුක හිතෙනවාද?— යේසුස්ටත් දුක හිතුණා. ලාදුරු හැදුණු අය කොයි තරම් දුක් විඳිනවාද කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ නිසා යේසුස් ඒ අයට කිව්වා ‘ගිහින් පූජකයා ඉස්සරහා පෙනී ඉන්න කියලා.’—ලූක් 17:11-14.

ලාදුරු රෝගීන් දසදෙනා යේසුස්ගෙන් උදව් ඉල්ලනවා

යේසුස් මේ ලාදුරු රෝගීන්ට කියන්නේ මොනවා කරන්න කියලාද?

ඒ ඇයි? යෙහෝවා දෙවි දීලා තිබුණු නීතියේ එහෙම කරන්න කියලා තිබුණා. පූජකයා තමයි ලෙඩාව පරීක්ෂා කරලා ලෙඩේ සනීප වෙලාද නැද්ද කියලා කියන්නේ. ලෙඩේ හොඳ වුණාට පස්සේ ආයෙත් අනිත් මිනිසුන්ව ආශ්‍රය කරන්න පුළුවන් වෙනවා.—ලෙවී කතාව 13:16, 17.

හැබැයි මේ වෙද්දී ඒ 10දෙනාට ලෙඩේ හොඳ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ අය පූජකයාව මුණගැහෙන්න යන්න ඇද්ද?— ඔව්, ඒ වෙලාවෙම ඒ අය ගියා. මොකද ලාදුරු හොඳ කරන්න යේසුස්ට පුළුවන් කියලා ඒ අය විශ්වාස කළා. ඊළඟට මොකද වුණේ?

ඒ අය පූජකයා ළඟට යන අතරතුරේදී ලෙඩේ හොඳ වුණා. යේසුස් ගැන ඒ අය විශ්වාස කරපු නිසා ඒ හැමෝටම ආශීර්වාද ලැබුණා. ලෙඩේ හොඳ වුණු එක ගැන ඒ අයට කොයි තරම් සතුටක් දැනෙන්න ඇද්ද! හරි නම් දැන් ඒ අය මොනවාද කරන්න ඕනේ? ඔයා එතැන හිටියා නම් මොනවා කරයිද?

සුව වුණ එක මිනිසෙක් යේසුස් ළඟ දණින් වැටිලා ස්තුති කරනවා

මෙයා අමතක කළේ නැත්තේ මොනවා කරන්නද?

එක් කෙනෙක් විතරයි යේසුස් ළඟට ආවේ. එයා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තා. එයා කරපු දේ හරි. මොකද ලෙඩේ හොඳ කරන්න යේසුස්ට බලය දුන්නේ යෙහෝවා දෙවියි. ඒ කෙනා යේසුස් ළඟ දණින් වැටිලා යේසුස්ටත් ස්තුති කළා.

අනිත් නවදෙනා මොකද කළේ? යේසුස් මෙහෙම ඇහුවා. ‘දහදෙනාම සුව වුණා නේද? අනිත් නවදෙනා කෝ? දෙවිට ප්‍රශංසා කරන්න ආවේ එක් කෙනෙක් විතරද?’

ඔව්, දෙවිට ප්‍රශංසා කළෙත් යේසුස්ට ස්තුති කළෙත් එක් කෙනෙක් විතරයි. එයා සමරිතානු ජාතිකයෙක්, ඒ කියන්නේ වෙන රටක කෙනෙක්.—ලූක් 17:15-19.

ඔයා වැඩ කරන්නේ ඒ අයගෙන් කවුරු විදිහටද? අපි හැමෝම කැමති සමරිතානු ජාතිකයා වගේ වෙන්න නේද?— කෙනෙක් අපිට උදව්වක් කළාම අපි කරන්න ඕනෙ මොනවාද?— ස්තුති කරන්න ඕනේ. හුඟක් වෙලාවට ස්තුතියි කියන්න මිනිසුන්ට අමතක වෙනවා. හැබැයි ස්තුති කරන එක හරිම හොඳ පුරුද්දක්. අපි එහෙම කරද්දී යෙහෝවා දෙවිත් යේසුත් ඒ ගැන හුඟක් සතුටු වෙනවා.

අම්මා කෙනෙක් අසනීප වුණ දරුවාට බෙහෙත් පොවමින්

ස්තුති කරපු ලාදුරු රෝගියාගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ටිකක් හිතුවොත් ඔයාට මතක් වෙයි අනිත් අය ඔයාට කොච්චර උදව් කරලා තියෙනවාද කියලා. ඔයා කවදා හරි ලෙඩ වෙලා තියෙනවාද?— ලාදුරු රෝගීන් 10දෙනා තරම් නම් ඔයා කවදාවත් ලෙඩ වෙලා නැතුව ඇති. හැබැයි උණක් නැත්නම් බඩේ කැක්කුමක් ඔයාට හැදිලා ඇති. ඒ වගේ වෙලාවක කවුරු හරි ඔයාව ආදරෙන් බලාගත්තාද?— සමහරවිට ඒ අය ඔයාට බෙහෙත් අරන් දීලා ඔයාට ඕන දේවල් දෙන්න ඇති. ඒ අය ඔයාට උදව් කරපු එක ගැන ඔයාට සතුටු හිතුණාද?—

යේසුස් තමන්ව සුව කරපු එක ගැන සමරිතානු ජාතිකයා යේසුස්ට ස්තුති කළා. යේසුස් ඒ ගැන හුඟක් සතුටු වුණා. ඔයාගේ අම්මායි තාත්තායි ඔයා වෙනුවෙන් කරන දේවල්වලට ඔයා ස්තුති කළොත් ඒ ගැන ඒ අය සතුටු වෙයිද?— ඔව්, හුඟක් සතුටු වෙයි.

දරුවෙක් ගුරුවරියට ස්තුති කරපු නිසා ඒ ගුරුතුමියට සතුටුයි

ස්තුතියි කියන එක වැදගත් වෙන්නේ ඇයි?

සමහර අය හැමදාම නැත්නම් හැම සතියකම ඔයා වෙනුවෙන් දේවල් කරනවා. සමහරවිට ඒක ඒ අයගේ රාජකාරිය වෙන්න ඇති. ඒ අය ඒ දේවල් කරන්නේ හුඟක් සතුටින් වෙන්න ඇති. ඒත් ඒ අයට ස්තුති කරන්න ඔයාට අමතක වෙයි. ඔයාගේ පන්තියේ ටීචර් ඔයාට උගන්වන්න හුඟක් මහන්සි වෙනවා නේද? ඒක එයාගේ රාජකාරිය තමයි. හැබැයි ඔයාට උදව් කරන එක ගැන ටීචර්ට ස්තුති කළොත් එයා ඒ ගැන හුඟක් සතුටු වෙයි.

සමහර වෙලාවට අනිත් අය ඔයා වෙනුවෙන් පුංචි දේවල් කරනවා වෙන්න පුළුවන්. මොනවා හරි බර දෙයක් උස්සන් යන්න කවුරු හරි ඔයාට උදව් කරලා තියෙනවාද? නැත්නම් කෑම කද්දී කෑම ටික ඔයා ළඟට ගෙනත් දීලා තියෙනවාද? ඒ වගේ දේවල්වලටත් ස්තුතියි කියන එක හුඟක් හොඳයි.

දරුවෙක් එයාගේ අම්මාව වැළඳගෙන මල් කීපයක් දෙනවා

අපි මිනිසුන්ට ස්තුති කරන්න අමතක කරන්නේ නැත්නම් ස්වර්ගයේ ඉන්න දෙවිට ස්තුති කරන්නත් අපිට අමතක වෙන එකක් නැහැ. යෙහෝවා දෙවිට ස්තුති කරන්න අපිට කොයි තරම් නම් දේවල් තියෙනවාද! අපේ ජීවිතය විතරක් නෙවෙයි සතුටින් ජීවත් වෙන්න ඕන කරන හැම දෙයක්මත් දෙවි අපිට දීලා තියෙනවා. ඒ නිසා හැම දවසකම දෙවිට ප්‍රශංසා කරන්නත් දෙවි ගැන කතා කරන්නත් අපිට ඇති තරම් හේතු තියෙනවා.

ස්තුති කරන එක ගැන කියන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. ගීතාවලිය 92:1; එෆීස 5:20; කොලොස්සි 3:17; 1 තෙසලෝනික 5:18.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න